Thursday, July 30, 2015

වල්ගා තරුව


 

පහුගිය සති අන්තේ අපේ මහ ගෙදර ගිය වෙලාවේ මම මගේ පරණ පොත් ඇවිස්සුවා. ඒ අතරේ තිබුණ රචනා පොතේ මැද පිටුවේ මුද්දර හතරක් තිබුණා. ඒ මුද්දර නිකුත් කරලා තිබුණේ හේලීගේ වල්ගා තරුව නිමිත්තෙන්. සත හැත්තෑ පහේ එකයි, සත පනහේ එකයි, රුපියල් හයයි පනහේ එකයි, රුපියල් අටයි පනහේ එකයි එතන තිබුණා.

1986 ලංකාවට හේලිගේ වල්ගා තරුව පෑයුවා. ඒ ගැන කාලයක් තිස්සේ පත්තර වලින් දැනුවත් කරලා තිබ්බේ. ආපහු 2061  ඒ කියන්නේ අවුරුදු හැත්තෑ ගණනකට සැරයක් විතර ආපහු දකින්න ලැබෙන නිසාත් , ලංකාවට ඉතා හොඳින් දකින්න ලැබෙන නිසාත් ඒක බලන්න ලොකු පෙළඹවීමක් තිබුණා. මිහිර පත්තරේයි විජය පත්තරේයි ඒ ගැන ලොකු විස්තර දාලා  තිබුණා. මිනිස්  ඇසින් ජීවිතයේ දෙවරක් දැකිය හැකි එකම වල්ගා තරුව කියලා හඳුන්වලා තිබුණා. වල්ගා තරුවක් කියන්නේ අසුබ නිමිත්තක් කියලා ගොඩක් අය විශ්වාස කළා. ඒ විශ්වාසය නිසා තරුව බැලීමේ උනන්දුව  අඩු වුනේ  නෑ.

එක දවසක පාන්දර එකට විතර අපේ ගෙදර ඔක්කොමලා නැගිටලා පල්ලහා වෙලට ගියා. කොච්චර නිදිමතේ උනත් තනියම ගෙදර නිදා ගන්න බය නිසා මමත් පිටිපස්සෙන් ගියා. වෙල මැදට ගියාම පුංචි තරු අතරේ වල්ගා තරුව හරිම අපූරුවට පෙනුනා. 2061 බලා ගන්න බැරි වුනොත් කියලා ජීවිතේටම මතක තියන විදිහට වල්ගා තරුව බලා ගත්තා. තරුවෙන් අඩි දෙකක් විතර දිග ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් පිට වෙනවා අපිට පෙණුනා. මට නම් හිතුනේ වල්ගා තරුව කියලා දැම්මට වැඩිය වෙන නමක් දැම්මා නම් හොඳයි කියලා. ඒත් අදටත් ඒකට ගැලපෙන වෙන නමක් හිතා ගන්න බෑ.

සීතල හුළඟ හමන වෙල් යායක මේ වගේ වෙලාවක තරුවක් බලනවා කියන එකත් අමුතු ම අත්දැකීමක්. අපි විතරක් නෙවේ ගමේ කීප දෙනෙක්ම තාරකා නිරීක්ෂණ මධ්‍යස්ථානයට ඇවිත් හිටියා. මගේ බල්ලාට වත් එපා කියන්න බැරි නිසා වෙන්න ඇති ඒ අයත් එක්ක ගෙදර බල්ලෝත් ඇවිත් තිබුණා. මට මේ වල්ගා තරුව බලපු සිද්ධීය හොඳින් මතක තියෙන්න එක හේතුවකුත් ඒකයි. එදා වෙලට නරි දෙන්නෙක් ඇවිල්ලා. වෙනදත් එනවා ඇති. ඒත් එදානේ අපි වෙලට ගියේ. ගමේ ඉන්න බල්ලෝ ටික එකතු වෙලා අර නරි දෙන්නව ඒ මේ අතට එළවනවා. උන් දෙන්නා අන්තිමට බේරිලා උස ගලකට නැගලා හූ කියන්න පටන් ගත්තා. ඒ හූ සද්දෙටයි බල්ලෝ උඩු බුරලන සද්දෙටයි තමයි ගොඩක් අය වෙලට ආවේ. ඒත් ඒ කවුරුත් වල්ගා තරුව බලන්න ආව ගමන් බලු - නරි ගැටුම බැලුවා වගේ තමා කතා කලේ.

1 comment:

  1. •Chamila Senevirathne nice, Renu akka
    Like • Reply •

    ReplyDelete