Thursday, November 19, 2015

ස්කූල් බස්


 

ඉස්කෝලේ ගිය කාලේ  අමතක වුනා කියමු. ඒත් ස්කූල් බස් මතකය නම් අමතක වෙන එකක් නෑ. මේ දවස්වල ෂෝක් බයිට් එක කියලා කෙල්ලන්ගේ බස් එකකට බැරි වෙලා නැග්ග කොල්ලෙක් පෙන්වන බිස්කට් දැන්වීමකුත් තියෙන්නේ. මේවා ඇත්තටම   කරපු අය අද තමන්ගේ දරුවොත් එක්ක ටී.වී එකේ යන මේ දැන්වීම බලනවා ඇති.

ස්කූල් බස් කීවට ඒක ඒ බස් පාරේ තියන එකම ලංගම බස් එක වෙන්න පුළුවන්. උදේ බස් එක යන වෙලාවට ඉස්කෝලේ අය හැමෝම ඒකට නගින නිසා ඒක නිකම්ම ස්කූල් බස් එක වෙනවා. පයින් යන දුරක ඉස්කෝලේ තිබුණ අයට නම් මේවායේ ගානක් නෑ. ඒ දවස් වල ස්කූල් වෑන් තිබුණෙත් නැති නිසා වෙන විකල්පත් නෑ.

අපි අපේ බස් එකට කීවේ හයයි කාලේ බස් එක කියලා. ඒ අපේ ගෙදර ළඟින් යන්නේ ඒ වෙලාව නිසා. හවසට බස් එක අන්තිමට යනකොට අපි බලා ගන්නවා ඩ්‍රයිවර් කවුද කියලා. එයාම තමා පහුවදා උදේට එන්නෙත්. ඩ්‍රයිවර් අනුවත් වෙලාව වෙනස් වෙනවා. ඒ බස් එක බැරි වුනොත් එන අනික් බස් එක ටවුන් එකට යනකොට ඉස්කෝලේ පටන් ගන්න වෙලාව පැනලා. අනික ඒ බස් එකේ ඔෆිස් යන අය පිරිලා. බැරි වෙලා හරි උදේ බස් එක නැති වුනොත් අපිට දෙවනි බස් එකක් නෑ කියලා හිත හදා ගෙන වෙන ක්‍රමයකට ඉස්කෝලේ යන්න වෙනවා. නැතිවුන බස් එකේ සෙනඟයි ඒ බස් එකේ සෙනඟයි නිසා අපට බස් එක නවත්තන්නේ නෑ.

අපේ බස් එක කිලෝ මීටර දොළහක් විතර ගෙවලා අපේ ගෙවල් ළඟට එනකොට. තවත් කිලෝ මීටර හතරක් තියනවා එතන ඉඳන්. බස් එක උදේ පහයි හතළිස් පහට විතර පටන් ගන්නවා. එතනින්ම නගින අයට කැමති සීට් අල්ලා ගන්න පුළුවන්. අපි නගින තැන වෙනකොට අපිට ඒ සීට් අල්ලාගෙන හිටගෙන යන්න පුළුවන්.

ගොඩක් වෙලාවට අපිට ස්ථිර තැන් තිබුණා බස් එකේ හිටගෙන යන්න. තඩි බෑග් පිටේ පටවාගෙන බස් එකේ සෙනඟ පීරඟෙන යාළුවෝ ඉන්න තැනට එනවා. අනික් අයගේ මූණවල් සමතලා කරගෙන බෑග් ගලවලා ඉඳගෙන ඉන්න අයගේ ඔඩොක්කුවට දෙනවා. ඒ අය වැහෙන තරමටම බෑග් පිරෙනවා ටික දුරක් යනකොට. ෆුඩ් බෝඩ් වල එල්ලෙන කොල්ලන්ගේ පොත් මිටි ජනෙල් වලින් ඇතුලට අතාරිනවා. ඒ දවස් වල හිතා ගන්න බෑ ඒ අය්යලාගේ පොත් මිටි ඒ අක්කලාගේම ඔඩොක්කුවට වැටෙන්නේ කොහාමද කියලා.  ඉඳගෙන ඉන්න ඒ අක්කගේ හිත වේදනාවෙන් පිරිලා යනවා තනි කකුලෙන් ෆුඩ් බෝඩ් යන අය්යා දැක්කම. පස්සේ දැන ගත්තා ඒකට තමා කියන්නේ කැපවීම කියලා.

අපේ බස් එකේ ප්‍රබලම චරිතය තමා කොන්දොස්තර. ළමයි නැග්ග වෙලේ ඉඳලාම එයා කෑ ගහනවා. බස් එකේ සීට් ටික පිරෙනවා පළවෙනි කිලෝ මීටර දෙක එනකොටම. එතන ඉඳන් ළමයි නැග්ගාම “"පුතාලා ඉස්සරහාට යන්න" කියනවා.

තවත් කිලෝ මීටර දෙකක් විතර ගියාම බස් එක සෑහෙන්න පිරිලා. එතකොට "ළමයි කතාකර  කර ඉන්නේ නැතුව ඉස්සරහාට යන්න" කියලා කට හඩ උස් කරලා කියනවා.

තව කිලෝ මීටර හතරක් යද්දී බස් එක පිරිලා. "මේ ඕයි කන් ඇහෙන්නේ නැද්ද යනවලාකෝ ඉස්සරහට ඔය කණු ඇතෑරලා" කියලා කෑ  ගහනවා.

තවත් කිලෝ මීටර දෙකක් යද්දී කොන්දොස්තර තනි කකුලෙන් හිටාගන ටිකට් ලියනවා. සීසන් චෙක් කරනවා. ෆුඩ් බෝඩ් එකේ ඉඳලා සෙනඟ පිරිලා හුස්ම ගන්නවත් බෑ. තවත් ළමයි නගිනවා. " යකෝ කන්  ඇහෙන්නේ නැද්ද? පලයව් කෝ ඉස්සරහට. මේ ළමයිට නගින්න ඉඩ දීලා .... කල්පනා කරපල්ලකෝ තමුන්ගේ යාළුවෝ නේද කියලා.. " මෙහෙම කෑ ගහලා කොහොම හරි ළමයි ටික දාගන්නවා.

තවත් කිලෝ මීටරයක් විතර යන්න තියනවා. එතනදි එයා බැහැලා ඒ ඉඩත් ළමයින්ට දීලා පිම්බිලා තියන බස් එකට ටිකට් පොතෙන් තඩි බාලා මැද ඉන්න ළමයි කිටි කිටියේ ළං කරවනවා. "යකුනේ දැං මං එන්නේ පයින්ද? "කියලා බිම  ඉඳලා කෑ ගහනවා. එතකොට ඩ්‍රයිවර් කියනවා "කොන්දොස්තර නැතුව මට බස් එක අදින්න බෑ" කියලා. එතකොට ළමයි සීට් අස්සටත් රිංගලා ඉඩ අරන් දෙනවා. කොන්දොස්තර බස් එකේ එල්ලිලා "හරී යං" කියනවා. ඒ බෙල් එක ගහන්න තියා බෙල් එක තියන තැනවත් හොයා ගන්න බැරි නිසා.

කොහොමත් ස්කූල් බස් එකේ කණ්ඩායම් කීපයක් හිටියා. සමහර අයට සෙට් වෙන්න කණ්ඩායමක් නැති වුනාම හොඳටම නැගලා යන කණ්ඩායමක කෙල්ලන්ට කෝචොක් කර කර වෙලාව ගෙවා ගන්නවා. තමන්ගේ ඉස්කෝලෙට මොකක් හරි කිව්වොත් ඒක ඉතිං සදාකල් පවතින තරහක්.

"මේ ඉස්කෝලෙට මොනවත් කියන්න එපා හරිද ? "

කියලා තමයි වලිය පටං ගන්නේ එදා බස් එකෙන් බැහැලා යනකොටත් ඒ කොල්ලන්න රව රවා තමා යන්නේ. ඒත් ඒ ළමයි පහුවදා බෑග් එක දුන්නොත් රවාගෙන හරි ගන්නවා. තනි කකුලෙන් බස් එකේ යන අමාරුව හැමෝම දන්නවා . අනික් එක ළමයෙකුට යන ඉඩකට වඩා ඉඩක් බෑග් එකකට යන නිසා ඒක කාට හරි දෙන්නම වෙනවා. සමහර ළමයි හිටියා සුදු ගවුම පොඩි වෙයි කියලා වැඩිය බෑග් ගන්නේ නැති අය. එතකොට නසරානි කොල්ලෝ කරන්නේ අනික් අයගේ බෑග් බලෙන් අරගෙන එහෙම කෙල්ලන්ට පටවන එක. අය්යලා නිසා බෑ කියන්නත් බෑ. සුදු ගවුම පොඩි වෙන නිසා අරගන්නත් බෑ. සමහර   වෙලාවට බෑග් එකේ පිටිපස්සේ පටි දෙක බකල් එකෙන් ගලවලා හිමිහිට ආපහු දෙනවා. නොබලා කරේ දාගත්තොත් බෑග් එක  බිම. කෙල්ලන්ගේ රිබන් එකට බඳන එක, ගවුම් එකට තියලා කටු ගහන එක මම හිතන්නේ හැමෝටම පොදු අත්දැකීමක්.

ඒ දවස් වල අපි දැම්මේ කැන්වස් සපත්තු . ඒ වගේ කීප දෙනෙකුගේ අඩි පාරවල් තියනවා බහින කොට. සපත්තු දෙක පෑගෙන එක ගැන නම් පොඩි අකමැත්තක් තියනවා. මොකද සතිය මැද ඒක හෝදන එක කීයටවත් කරන්න බැරි නිසා. ටවුන් එකට එනකොට සෙනඟ ටිකක් තුනී වෙලා අතරමග තියන ඉස්කෝල වල ළමයි බැහැලා නිසා. අපිත් බිමට බැහැලා සපත්තු පොළවේ ගහලා , අතපය දිගෑරලා ඇඟේ හැඩේ හදාගෙන කොන්ද දෙකට කැඩෙන බෑග් එක දාගෙන ඉස්කෝලෙට දුවනවා.

දැං නම් අපේ දරුවෝ ඉස්කෝලේ එක්කගෙන යන විදිහ කල්පනා කරන කොට අපි මොන දුකක් විඳලා තියනවද කියලා හිතෙනවා. ඒත් ඒ කාලේ ඒක මොනතරම් සතුටක්ද? ස්කූල් බස් එක නැතිවුන දාට තියන පාළුව කොච්චරක්ද?

Wednesday, November 11, 2015

ඇස්ටෝං ගෙවල්


 

ගමේ ගොඩක් ජනප්‍රිය හමුවක් . පාටි එකක් කියන්නත් බෑ. මොකද තේ මේසයක් විතරයි ඇස්ටෝං ගෙයක තියෙන්නේ. ගෑණු ළමයෙක්ගේ උත්සවයක්, ගෙට ගෙවදීමක් වගේ දෙයක් තමයි  ගොඩක් වෙලාවට නිමිත්ත වෙන්නේ. ඒත් සමහර වෙලාවට හෝම් කමින් එකක් වුනත් මේ විදිහට ගන්නවා. 

සතියකට විතර කලින්  බුලත් අතක් අරගෙන ගමේ හැම ගෙදරකටම යනවා ආරාධනා කරන්න. මේකට දවල් වෙලාවට එන්නේ නෑ. රෑට කොයි කවුරුත් ගෙවල් වල ඉන්න නිසා එන්නේ ඒ වෙලාවට. ආරාධනාව අරන් එන කෙනා තනියම එන්නෙත් නෑ. ගෑනු ළමයෙක් සම්බන්ධයෙන් නම් ඒ ළමයාගේ අම්මයි නැන්දයි තමා එන්නේ. හෝම් කමින් එකක් නම් මනමාල මහත්තයයි එයාගේ තාත්තයි එනවා. ගෙට ගෙවදීමක් නම් දෙමහල්ලෝම එනවා.

ආරාධනාව කරන්න ආවට එක පාරටම ඒ ගැන කියන්නේ නෑ. කොහොමත් ගමේ දෙයක් නිසා හැමෝම  ඒක දන්නවා. ගෙදරට ඇවිල්ලා කාලගුණය ගැන කතා කරලා , වාත අමාරු වැඩි වෙන එක ගැන කතා කරලා වටින් ගොඩින් මාතෘකාවට එනවා. අපේ මේ චුටි දුව....... ඉතිං දිය වැක්කිරිල්ල තියෙන්නේ හෙට උදේ. ඇස්ටෝං එකට මේ .... එන්න කියලා කියන්න ඉතිං ............. ඔය වගේ බාගෙට තමා කියන්නේ. එහෙම කියලා අරන් එන බුලත් අත ගෙදර තියන බුලත් හෙප්පුව උඩ තියලා සුදු රෙදි කෑල්ලකින් වහලා ඒ ගෙදර අයට දෙනවා. ඒක ගන්න කෙනා බුලත් කොළයක් ගත්තොත් එදා උත්සවයට එන්නේ එක්කනයි. දෙකක් ගත්තොත් දෙන්නම එනවා කියන එක.  ගෙදරින් එක්කනෙක් විතරක් යන්නේ ටිකක් නෑ කමිනුත් ඈත හිතවත්කමිනුත් ඈත ගෙදරක උත්සවයකට. දෙන්නම යනවා නම් අපිටත් යන්න චාන්ස් එකක් එනවා. අපිව අමතක වෙයි කියන බයට බුලත් දෙනකල් අපිත් දැවටි දැවටි ඉන්නවා. අම්මටයි අප්පච්චිටයි බුලත් දීලා යන්න පිටත් වෙද්දී අපේ ඔලුවත් අතගලා “ කැවුම් ගෙඩියක් කාලා යන්න එන්ඩ ඈ...“  කියලා අපට ආරාධනාව කරනවා. හිතේ ලොකු ගින්දරක් නිවුණා වගේ. එවලේ ඉඳලාම ඒ උත්සවේ ගැන අහනවා. මොකටද එන්න කීවේ. ඒ අක්කට මොකද්ද වෙලා තියෙන්නේ? ඉතිං ලොකු ළමයෙක් කියන්නේ එයා එක පාරටම උස ගිහින්ද වගේ අපභ්‍රංශ ප්‍රශ්ණ කෙලවර වෙන්නේ අම්මගෙන් හොඳ සැරට එකක් අහගත්තාම. ඊට පස්සේ  අපි අපි කතා වෙලා දන්න තරමින් ඒ ප්‍රශ්ණ විසඳා ගන්නවා.

හෝම් කමින් එකක් නම් එච්චර ඇඹරි ඇඹරී කියන්න තරම් දෙයක් නෙවේ. ඒත් ඉතිං මනමාල මහත්තයාට නම් ලැජ්ජා පාටයි. සමහර විට මනමාලකම කියන්නේ ඒක වෙන්න ඇති. ඒ ඇස්ටෝං වලට මනමාලිගේ පැත්තෙන් එන්න ඉස්සරලා ගමේ ආරාධිතයන් ගිහින් ඉන්න ඕනෑ. නැත්තං ගෙවල් හිස් වගේනේ. අපිටත් මේ තරම් නෑදෑ පරපුරක් ඉන්නවා කියලා මනමාලිගේ පැත්තට පෙන්නන්න එපායෑ. උදේ දහය වගේ වෙනකොට තේ මේසේ අරින නිසා නමය විතර වෙනකොට වත් කට්ටිය ගිහින් ඉන්න ඕනෑ. සිරිතක් විදිහට මනමාලි ගැනත් අහනවා. අන්තිමට එයාට මොකක් හරි නෑ කමකුත් තියනවා ගමේ කාගේ හරි. මනමාල මහත්තයා කරන්නේ එයාගේ තාත්තගේ මූණ බලන එක ප්‍රශ්ණ අහන ගානට. හැබැයි බුලත් හෙප්පුව අරගෙන ආරාධනා කරන්නේ එයා. අපිත් එක්කත් ලැජ්ජාවට වගේ හිනාවෙලා එදාට අම්මලා එක්ක එන්න කියලා කියනවා. මේ ගැන නම් ප්‍රශ්ණ අහන්නේ නෑ. අපිට වෙන්නේ මොකද්ද කියලා තේරෙනවා.

ගෙට ගෙවදිල්ලක් නම් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බවුන්ඩේසං කපන දවසේ ඉඳන්ම දන්නවා ආරාධනාව ලැබෙන එක ගැන. ඒත් ඉතිං අපිව අමතක වෙයි කියන බයට ආරාධනාව කරන කල් දැවටි දැවටී ඉන්නවා.

ඇස්ටෝං ගෙවල් වල යද්දී මගුල් ගෙවල් වල යනවා තරම් හොඳට  ඇඳගෙන යන්නෑ. ඒත් ඒකත් උත්සවයක් නිසා පිළිවෙලකට යනවා. ඇස්ටෝං ගෙදර පේන මානයේ නම් ටිකක් බලනවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. කීප දෙනෙක් එන්න ඇරලා අපිත් යනවා. ආයුබෝං කියලා පිළිඅරගෙන ගේ ඇතුලේ හරි අලුතින් හදපු ටෙන්ට් එක ඇතුලේ හරි ඉඳගන්න කියනවා. ගෑනු ළමයගේ කටයුත්තක් නම් එයාට ගෙනියපු තෑගි ටික එයා අතට දෙනවා  එයා හැමෝටම වඳිනවා.

තේ මේසේ හදලා තියෙන්නේ ගෙයින් එළියේ අමු පොල් අතු වියලා හදපු මඩුවක. ඒකේ වහලෙටත් අමු පොල් අතු. පොල් අත්තේ හිල් අස්සෙන් ක්‍රේප් පටි දාලා බැලුන් පුම්බලා බැඳලා තියනවා. අව්ව වැටෙද්දී එක දෙක ඩෝං පටෝං ගාන කොට අළුත් බැලුන් එතනට බඳිනවා. අපිට ඉන්න කම්මැලි හිතුනාම ක්‍රේප් පටිවල අග්ගිස්ස කඩාගෙන කටේ දාලා හපනවා. එතකොට කට ඒ ක්‍රේප් පටියේ පාට වෙනවා. මනමාල ජෝඩුව එනකොට හැමෝම නැගිටලා ආචාර කරනවා. එයාලා කෙලින්ම තේ මේසෙට ඉන්දවලා ඉඩ තියන විදිහට ගමේ අයට වතුර වීදුරුවක් අල්ලලා මේසෙට ආරාධනා කරනවා. වතුර අල්ලන්නේ ගෙදරට ආව පිළිවලට. මේසේ වහලා තියෙන්නේ සුදු රෙද්දකින්. එක්කනෙක් ඒක අයින් කරනවා. තව එක්කනෙක් අනිත් පැත්ත හරවලා තියන පිඟන් හරි පැත්ත හරව හරවා යනවා. ඒ වෙනකොට කැසට් එක එහෙම  හය්යෙන් දාලා. තමන් කැමති දේවල් පිඟානට දාගෙන කන්නයි තියෙන්නේ. පොඩි අයට නම් බල කර කර කවන්න හීන් අඩියකින් රත් වුන  කෙනෙක් ඉන්නවාමයි. කන්න බෑ කිවුවත් මොනවා හරි පිඟානට බෙදනවා. කාලා ඉවර වේගන එද්දී තේ අරගෙන එනවා. ඒ තේ මේසෙන් නැගිට්ටාම කලබලේට පිඟන් අස් කරලා අළුත් ඒවා තියලා  , මේසෙට අඩුපාඩු තියලා   අනිත් අයට ආරාධනා කරනවා. පොඩි අයට නම් ඕන වෙලාවට වතුර ඇල්ලුවත් නැතත් මේසෙට ඉඳගන්න පුළුවන්. ඒත් අපි ලැජ්ජාවට අම්මලත් එක්කමයි යන්නේ. මනමාල ජෝඩුවට තෑගි දීලා කට්ටිය ආපහු එනවා.

ගෙට ගෙවදිල්ලක් නම් ගෙදරට ගියපු ගමන් වුනත් මේසෙට ඉඳගෙන කාලා තේ බීලා එන්න පුළුවන්. කොහොමත් දවල් කෑම කන වෙලාව වෙනකොට මේස අස්කරලා ඇස්ටෝං ඉවර කරනවා. බැලුම් බෝලත් ඉවරයි එක්කෝ ළමයි ගෙනිහිං නැත්තං පිපිරිලා. ඉතුරු කරපු කෑම කන්න පිරිච්ච බල්ලෝ ඇරුණාම ළඟම නෑදැයෝ විතරයි ඒ වෙලාවට ඉන්නේ. එයාලත් පිඟන් කෝප්ප අස් කරලා හෝදලා පිහලා එක ගොඩකින් තියනවා.

හවසට වෙන ගෙවල් වලින් අරන් ගිය මේස පුටු , පිඟන් බෙදාගෙන යනවා. අපි ඒ වෙනකල් බලාගෙන ඉන්නේ. අපේ ගෙවල් වලින් අරන් ගිය බඩුත් එක්ක ලොකු කැවිලි පාර්සලක් හම්බ වෙනවා. ඒක කාපු හැටි මතක් වෙනකොට හිතෙනවා ඒ කාලේ ආමාශ දෙකක් තියෙන්න ඇති කියලා!

Monday, November 2, 2015

අපිටත් අවුරුදු


 

 
අප්‍රේල් නිවාඩුව හම්බවෙනවා පළවෙනි සතියේ සිකුරාදා වෙනකොට. ඒ තරම් ආසාවෙන් බලාගෙන ඉන්න නිවාඩුවක් නම් තවත් නෑ. හරියටම මාසයකට කිට්ටු වෙන්න නිවාඩුව තියෙනවා. ඉස්කෝලේ වැඩ පටවන්නෙත් නැති නිසා අපි නිදහස්. අවුරුදු පරිසරය එන්නේ මාර්තු අග ඉඳන්. දිග ඉඩෝරේ ඉවර වෙලා රෑට වහිනවා. උදේ නැගිටිනකොට පොළවේ නැවුම් සුවඳයි, එක එක මල් ජාතිවල සුවඳයි කලවම් වෙලා අවුරුදු සුවඳ එනවා. ජනේලය ඇරපුවාම මග රැකගෙන හිටියා වගේ සීතල හුළඟ කඩා වදිනවා. ඒ වුනත් දවල් කාලය නම් හරිම ඌෂ්ණයි. ඒ රස්නෙට තමා අඹ මල් , කජු මල් පීදෙන්නේ.

නිවාඩුව දුන්න ගමන් අම්මා අපේ ගවුම් මහලා ඉවර කරනවා. මල් තියන ගවුම් . කොලර් එකක් දාලා මැදින් බොත්තම් පේළියක් දාලා රැළි සාය, බෝරිච්චි අත් දෙක. පිටිපස්සට බඳන්න පටි දෙකක් තියනවා. ඒක කිටි කිටියේ ගැට ගහලා තමා ඇඟේ හැඩේ ගන්නේ.

අවුරුදු නිවාඩුවේ මුල ඉඳන්ම කරන්න තියන දේවල් අතර ගස් ගානේ ඇවිද ඇවිද ගෙඩි කඩාගෙන කන එක ඉදිරියෙන්ම තියනවා. පළතුරු වැඩියෙන්ම හැදෙන්නේ මේ කාලේ. අපිටයි සත්තුන්ටයි දෙගොල්ලොම කාලා ගස් යට වැටෙන්න තරම් පළතුරු හැදෙනවා. අවුරුදු ගේන කොහා වගේම එරබදු මල් අද නම් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.

අවුරුදු ළං වුනාම ගෙවල් දොරවල් සුද්ද කරන එක අනිවාර්යයි. ගොඩක් වෙලාවට අළුතින් තීන්ත ගානවා. ඊට කලින් පොල් අත්තක් හරි කැප්පිටියා කොල හරි බැඳපු ලීයක් අරගෙන මකුළු දැල් සුද්ද කරලා වහලයත් සුද්ද කරනවා. දැං වගේ වැහි පිහිළි දාපු ගෙවල් වැඩිය තිබුනේ නෑ. වැහි පිහිළි තියනවා නම් ඒ වැඩ  ටික ඉවර කරගන්න දවසක් විතර ගත වෙනවා. තීන්ත ගෑවාම මුළු ගෙදරම අලුත් වෙනවා. ඒ දවස් වලට බාස්ලා අල්ලන්න හරිම අමාරුයි. ගෙවල් ඇතුලත් ඒ වගේම අළුත් වෙනවා. පුටු කවර හෝදලා, මැක්‍රම් වලට අළුත් මල් දාලා දොර ජනෙල් රෙදි වෙනස් කරලා අවුරුද්දට ලෑස්ති වෙන්නේ. අවුරුද්දට දවස් හතරක් පහක් තියලා කැවුම් උයනවා. මුං කැවුම් , අතිරස , කොකිස් හැම ගෙදරකම හදනවා. ආස්මී හදන්නේ ඒකට විශේෂයෙන් හැකියාවක් තියන අය විතරයි. එක එක ගෙවල් තියනවා එක එක කෑමට විශේෂ වුන. අපි ඒ ගෙවල් වලට යන්නේ ඒ කෑම ජාතිය කන්න බලාගෙනමයි. කැවුම් හදන දවසට අහල පහල කීප දෙනෙක් එකතු වෙනවා. කැවුම් උයන කුස්සිය පළාතේ පොඩි ළමයින්ට එන්න දෙන්නෑ. අපිව ගන්නේ අත් උදව් දෙන්න විතරයි. පුංචි කෑලි වලට හනසු ඉරලා දෙන්න, පොඩි දර කෝටු ගෙනත් දෙන්න, කැවුම් අතුරන වට්ටි හෝදලා පිහලා දෙන්න, පොල් ගාලා දෙන්න, කෙසෙල් කොළ කපලා දෙන්න නම් අපිට කතා කරනවා. කොහොමත් අඟහරුවාදා දවස් වලට කැවුම් උයන්න ගන්නේ නෑ තෙල් පිච්චෙනවා වැඩි නිසා. එකම දවස් වලට ගමේ කීප තැනකම කැවුම් උයන නිසා හැම තැනින්ම තෙල් සුවඳ එනවා. ගොඩක් වෙලාවට එකම දවසේ තමා මුං කැවුනුයි කොකිසුයි හදන්නේ. කොකිස් හදන්න හොඳම අච්චු තියෙන්නේ ගමටම දෙක තුනක් විතරයි. ඒ හින්දා හිතූ හිතූ විදිහට කොකිස් හදන්නත් බෑ .වට්ටි ගානක් කැවුම් කොකිස් හැදුවට එකක්වත් කන්න ලැබෙන්නේ නෑ. අඩුම ගානේ දාලා කරවෙලා ගිය එකක්වත්. මුට්ටිවලට දාලා පත්තර පිටු තුන හතරික් වහලා සැනෙල් ලනු පොටවල් කීපයකින් කට තද කරනවා. අපිත් කට තදකරගෙන ඒක බලාගෙන ඉන්නවා. අතිරස හදනවා පහුවදාට. එතකොට ලොකු වැඩ ඉවරයි. අවුරුදු කිට්ටු කරලා දොදොල් , අළුවා , වැලි තලප වගේ දේවල් හදා ගන්නවා.

දොදොල් හදන්න ගන්නේ හවස් වරුවේ. අඩුම ගානේ පොල් ගෙඩි දොලහක් වත් අපි ගානවා. පැය හතරක් විතර හැඳි ගාලා ට්‍රේ වලට දාලා නිමෙන්න අරිනවා. එදාට තියන ලොකුම වැඩේ තමා සිමෙන්තිය මදින එක. දොදොල් වලට ගාපු පොල් වල ඉතුරු වෙන පොල් කුඩු මේකට කියාපු දේ. ගෙදර පුටු අස් කරලා අතු ගාලා කොනක ඉඳන් පොල් කුඩු දාලා කකුලෙන් අතුල්ලනවා. දාර නම් අතින් අතුල්ලන්න වෙනවා. පොල් කුඩු කලු පාට වෙනකොට ගේ සිමෙන්තිය රතු පාටින් දිලිසෙනවා. තෙල් ගතියත් එක්ක පොලිෂ් කරාට වැඩිය ලස්සනයි. ඒ වැඩ ටික ඉවර වෙනකොට මහ රෑ වෙනවා. ඒ වෙනකොට අපි කතා කරන දේ අපිට ඇහෙන්නේ නැති වෙන තරමට වැස්ස. අකුණු ගහනවා. ගොරවනවා. ඇඳට වැටෙනවා විතරයි දන්නේ. පහුවදා නැගිටින කොට අත පය තලලා දාලා වගේ. ඒත් පහුවදාටත් කරන්න වැඩ තියනවා.

අළුත් මේස රෙදි දාලා පිඟන් කෝප්ප කබඩ් ඇතුලෙන් අරන් හෝදනවා. ඒවා වතුර බේරෙන්න පත්තර පිටු උඩින් නමනවා. කුස්සියේ අච්චාරු දාන එකට ලූණු පොතු අරින්නත් අහු වෙනවා. කඳුලු පෙරිලාම වෙලාවට ඇස් නොපෙනී යනවා. ඒ  වෙලාවට අම්මා අපිව යවනවා අමු ගස් ලබු කඩා ගෙන එන්න. ලීයක් අරගෙන උඩ පැන පැන ගස් ලබු වලට අනින කොට හිතෙනවා ගෙදර බංකුවට වෙලා ලූණු පොතු අරින එක මීට වඩා හොඳයි කියලා.

අවුරුද්ද හෙටයි කියලා ලොකු කිරි කජු ගෝනියක් කඩවා ගන්නවා වත්තේ වැඩ කරන කාට හරි කියලා . මට පෙන්නන්නම බැරි වැඩේ ඒක තමා. කපන කිරි කජු ගලවන්න දෙන්නේ අපිට. බිම බලා ගෙන වරුවක් තිස්සේ ඉරට දෙකින් කජු මද ගලව ගලවා වතුර බාජනේට දානවා. ඉඳලා හිටලා හරි එකක් කෑවොත් ලෝක විනාසේ වුනා වගේ දකින කෙනා කෑ ගහන්නේ. තව ජාති හයක් ඒකට එකතු කරලා හත් මාළුව හදනවා අවුරුදු දවසේ දවල්ට කන්න. හවසට දහඅට මාසේ ගහෙන් පොළොස් ගෙඩි පහක් විතර ගෙනත් පොළොස් ඇඹුලක් හදලා එළියේ ලිපේ තැම්බෙන්න අරිනවා. ඒකට දාන්නේ බුරුත දර. ඒකට පොල් ගෙඩි දහයක් විතර ගානවා. ඒ පොල් කුඩු වලින් කුස්සියේ බිම සුද්ද කරනවා. ආය මේ කුස්සියේ උයන්නේ අලුත් අවුරුද්දට. ඒ වෙනකොට අළුත් ලිපක් තියනවා මැටි ගාලා හදපු. ඒ නැකතට කිරි උතුර වන්න. කොහොමත් කලින් දවසේ රෑ කෑම එච්චර සැලකිල්ලකින් හදන්නේ නෑ. පහුවදාට හදන දේවල් ඉවර කර ගන්න තමා බලන්නේ. දුම් ගහලා ඉදවපු කෙසෙල් කැන් ගෙදර ගෙනත් පරෙස්සමින් ඇවරි වලට කපලා බිම පැදුරක් දාලා අතුරනවා. ඒ කාමරේට ගියත් බඩ පිරෙනවා වගේ . කැවුම් සුවඳයි කෙසෙල් සුවඳයි කලවම් වෙලා .

තැන් තැන් වලින් රතිඤ්ඤා ඇහුනට කවුරුත් එක දිගට පත්තු කරන්නේ නෑ. අපරාදේ කියන්න බෑ වෙනදා කොහේද කියලා හොයා ගන්න බැරි බල්ලෝ ඒ දවස් වල ගේ ඇතුලටම වෙලා ඉන්නවා. අපි අපේ ළඟම නෑදෑයන්නේ ගෙවල් වල යන්නේ පරණ අවුරුදු දවසේ රෑ. බුලත් දීලා වැඳලා එනවා.

මට මතක තියන කාලේ ඉඳලාම නොනගතේ ආවේ උදේ වරුවේ. එහෙමයි කියලා අපි නොකා නම් ඉඳලා නෑ. හැබැයි උයන්නේ නෑ. රෑට වැඩියෙන් උයපුවා කාලා නැකැත් වෙලාව එනකල් ඇති තරම් සෙල්ලම් කරනවා. බැනුම් අහන්නේ නැතුව සෙල්ලමක් කරන්න තියන එකම වෙලාව ඒක විතරයි.

අළුත් අවුරුද්ද ලබන වෙලාවට එකම රතිඤ්ඤා සද්දයක්. ඒත් එක්කම වගේ කිරි උතුරවන වෙලාවත් එන නිසා කුස්සියේ කලබලය ආය පටන් ගන්නවා. අප්පච්චි ඔරලෝසුව ළඟ ඉඳගෙන වෙලාව බලාගෙන දැන් ළඟයි දැන් ළඟයි කියනවා. අම්මා දිසාව බලාගෙන ලිප පැත්තට හනස්ස දික්කර ගෙන ඉන්නවා. තව කෙනෙක් ගිනි පෙට්ටියට ගිනි කූර තියාගෙන බලාගෙන ඉන්නවා. අනිත් අය රතිඤ්ඤා වැල ළඟ. වෙලාව හරී කියන කොට ගිනි කූර  ගැහුවත් කලබලේට වදින්නේ නෑ. අඩුම ගානේ ගිනි කූරු පහක් විතර ගහන්න වෙනවා. ඒ වෙනකොට රතිඤ්ඤා පත්තු වෙලත් ඉවරයි. අළුත් අවුරුද්දේ බනින්න බැරි හින්දා අම්මා තරහව පෙන්නනනේ නැතිව ඉන්නවා. කිරි උතුරන වෙලාවට හැමෝම ඒක බලන්න එනවා. බුලත් කොලේකින් උතුරන කිරි ටික ටික අපේ ඔලුවේ ගානවා. අළුත් අවුරුද්ද ඇවිල්ලා.

අවුරුදු මේසෙට ගෙදර තියන හැම කෑමක්ම තියනවා. නැකත එනකල් ඉන්නේ අමාරුවෙන්. පහන පත්තු කරලා නැකතට කිරිබත් කනකොට මොන බඩගින්නක් තිබිලා තියනවාද කියලා දැනෙනවා. බුලත් දීලා අම්මටයි අප්පච්චිටයි වැන්දට අපට නම් ඒ වෙලාවට තෑගි වත් සල්ලි වත් ලැබිලා නෑ. ඒත් සමහර පළාත්වල නම් ඒ වෙලාවට ළමයින්ටත් සල්ලි දෙනවලු. අපරාදේ අපේ පවුලත් ඒ වගේ පළාතක ඉපදෙන්න තිබ්බේ!

අපේ ගමේ ගෙවල් හතලිහක් විතර තිබුණා. ඒ හැම ගෙදරකට කැවුම් පිඟානක් අරගෙන යනවා. ඒ හැම ගෙදරකින්ම කැවුම් කොකිස් කනවා. එක ගෙදරකින් තේ දුන්නොත් අනික් ගෙදරින් කිරි තේ. අනික් ගෙදරින් කෝපි. අනිත් ගෙදරින් ඔරේන්ජ් බාර්ලි. හවස වැස්සේ තෙමි තෙමී , වැටවල් වලින් පැන පැන , හපන්න එන බල්ලන්ගෙන් බේරිලා ගෙදර දුවගෙන එද්දී අර කාපු බීපු ඔක්කොම  එකට එකතු වෙලා හරියට බඩ ඇතුලේ පිස්සු බල්ලෝ වගේ!.