Friday, July 14, 2017

රිසි නොරිසි


කඳුවල පරණ තේ පඳුරු ඔහේ මාසෙකට සැරයක් විතර අලුත් දල්ලක් දාන ගමන් ඉවරයක් නැති සිරිපොදයට මුහුණ දෙනවා. කිසිම සැලකිල්ලක් නොකර තමන්ව අභාවයට යන්න ඇරිය නිසා වත්තේ තේ දලු ඉවරටෙම ඉවර වෙලා දැං දෑවුරුද්දක් විතර. ඉඳලා හිටලා ඇවිත් යන රාණිත් වත්තේ වැවිලා තියන ගොටු කොළ ටික ගලවාගෙන යනවා මිසක් ආය වෙන දේකට එන්නෑ. බලන්න එපායෑ ඒ දවස් වල රාණි හිටපු විදිහ. හැම වෙලාවකම නාන්නේ සුවඳ සබන් ගාලා. අනිත් ලැයිමේ අයගේ වගේ තේ කහට තිබුණේ නෑ ඇඟිලි වල. හවසට කූඩළු ගෙඩියක් දාලා නියපොතු සුද්ද කරගන්නවා. පෙනුමත් සුදුයි. ඒකට හේතුව විදිහට ගමේ අය කීවේ රාණිගේ තාත්තා ඉස්සර වත්තේ අයිතිකාර සුද්දා වුන හින්දා කියලා.
රාණි ඒ කාලේ හිටිය ඒ වත්තේ ලස්සනම කෙල්ල. රාණිගේ අම්මා නැතිවෙන කොට රාණිට වයස අවුරුදු දාසයයි. අම්මලා වගේ තේ දළු කඩන්නේ නෑ කියන තැනම තමා රාණි ඉස්කෝලෙන් අයින් වෙනකොටත් කීවේ. තාත්තත් නැති අම්මත් නැති රාණි වත්තේ වැඩට ආවේ නැත්තං ලැයිමෙන් යන්න වෙනවා. නෑදෑයෙක් ළඟටවත් යන්න රාණිගේ හිත නැමුනේ නෑ. අන්තිමට වත්තේ නෝනා කරපු යෝජනාවට රාණි කැමති වුණා. ඒ නෝනාලාගේ බංලාවේ වැඩට යන එකට. ඒකට කැමති වුණෙත් තව අවුරුදු කීපයකින් එහේ බේබිලා අරගෙන  කොළඹ යනකොට එක්කගෙන යනවා කියාපු නිසා. මුලදී බංගලාවේ වැඩ කරලා හවසට ගෙදර ආවත් පස්සේ පස්සේ තනියම ලැයිමේ ඉන්න එක රාණිට එපා වුනා. ලැයිමේ මිනිස්සුන්ටත් චාරයක් නෑ. හවසට වැනි වැනි යන ගමන් රාණිගේ ලැයිමටත් එබීගෙන යනවා. ඒ අය අතරේ රාණිගේ අම්මගේ වයසේ මිනිස්සුත් හිටියා. කොහොමින් හරි වුනේ රාණි බංගලාවට සින්න වුන එක.
බංගලාවේ වැඩ ලේසි නෑ. අතුගාන්න, කාණු හෝදන්න, උයන්න වගේම බල්ලෝ බලා ගන්නත් තියනවා. එළියේ වැඩට නම් පිරිමි කට්ටිය හිටියා. සමහරදාට  උයන්න  නෝනත් එනවා. ඒත් ආවහම කරදර වැඩියි. හිතෙන හිතෙන ඒවා හදනවා කම්පියුටර් එකෙන් බලාගෙන. ඒ අතරේ මොකක් හරි කෝල් එකක් ආවොත් ඔක්කොම නවත්තලා ඒක විතරයි. රාණිට ඒ වැඩයි මේ වැඩයි දෙකම පැටවෙනවා. මහත්තයාගේ අම්මා ලෙඩ ගානේ ඉන්නේ. එයාට පොඩ්ඩ වරදින්න බෑ. කෑ ගහනවා . අර බේබිලා බලන්න අරං ඉන්න කෙල්ල නම් පැත්ත පලාතේ යන්නෑ. රාණි ඉතිං බැන්නත් පාඩුවේ ඉල්ලන දෙයක් ගිහින් දෙනවා.
බේබිලා ලොකු වුණා. කිව්වත් වගේම නෝනා එයාලාව අරගෙන කොළඹට ගියා. රාණිත් ගියා.  මහත්තයා බංගලාවේ වැඩට පිරිමි කෙනෙක් ගන්නවා කීවා නෝනත් නැතුව ගෑනු නවත්තාගන්න බැරි නිසා. කොළඹ වැඩ නම් ලේසියි. ඒත් බදුල්ලේ වගේ සීතල නෑ. උදේට නම් යුද්දයක් වගේ බේබිලා තුන්දෙනාටම කෑම හදලා , පොත් බෑග් හදලා , අන්දවලා එයාලා ඉස්කෝලෙට ගෙනියන්නේ රාණි. ඒ ඇවිත් අනික් අතට ගෙවල් සුද්ද කරලා දවල්ට උයනවා. නෝනා ජිම් එකට ගිහින් දවල්ට බබාලා අරගෙන ඇවිත් ටිකක් නිදා ගන්නවා. රාණිට නම් නිදා ගන්න වෙන්නෑ. පහුවදා ඉස්කෝලේ ගෙනියන දේවල් හොයන්න, රූප කපන්න, කාසි අච්චු ගහන්න තියනවනේ.  බේබිලා තුන්දෙනාම කොල්ලෝ වුනාට රාණිට ආදරෙයි. හැබැයි පොඩ්ඩක්වත් බය නෑ. නෝනා ලොකු පාලුවකින් තමා කල් ඇරියේ. මූණේ හිනාවක් ආවේ මහත්තයා කොළඹ ආවම විතරයි.
මුලදි මහත්තයා කොළඹ ආව සතියක් ‍ගානේ. ඒ එනකොට කවුරු හරි යාළු මහත්තයෙක් එක්කන් එනවා තනියම එන්නේ නැතුව .  නෝනා කිව්වේ එනකොට ඩ්‍රයිවර් එක්ක එන්න නැත්තං ගෙදර අයට එකට ඉන්න වත් ලැබෙන්නේ නෑ යාලුවෝ ආවම කියලා.  මහත්තයා කළේ තමන්ට කැමති දේ විතරයි.  මහත්තයා කොළඹ ගෙදරට එන එක අඩු වුණා බේබිලා ලොකු වෙනකොට . ඒ වෙනුවට එයාලා නිවාඩු අල්ලලා බදුල්ලට ගියා . රාණිත් ගියා ඒත් එක්ක. දැං ලයිමත් දිලා වෙන කෙනෙකුට. රාණිට කසාදයක් කරලා දීලා හොඳ තැනකින් ගේ පොඩ්ඩක් හදලා දෙනවා කීව නිසා එයාගේ කලබලයක් තිබුණේ නෑ. ඒ ගියාමත් නෝනට නිදහසේ මහත්තයා එක්ක කතා කරන්නවත් නෑ. හැම වෙලාවෙම මහත්තයාට වෙන රාජකාරි.
නෝනයි මහත්තයයි ටික ටික නොහොඳ වෙන්න ගත්තා. මොකක් නමුත් ලොකු දෙයකට නෝනා‍‍ තද අමනාපයක් ඇති කර ගත්තා. මහත්තයා නිතර යාළුවෝ ආශ්‍රය කරපු එකත් නෝනගේ හිත තැලුවා. හැම ඉරිදටම වරද්දන්නේ නැතුව පල්ලි ගිය කෙනා ඒකත් අතෑරියා .දවසක්  ඩේසි නෝනා ඒ කියන්‍නේ මහත්තයාගේ යාලුවෙකුගේ නෝනා කෙනෙක් ආවා කොළඹ ගෙදරට . ඇවිත් දෙන්නා එක්ක ගොඩක් වෙලා කතා කර කර හිටියා. එදා නම් නෝනා දරුවෝ දිහා වත් බැලුවේ නෑ. නෝනගේ ගෙදරට කතා කරලා හරියට ඇ‍ඩුවා. බඳින්දලා දෙන්න ඉස්සරලා තමන් කීව දේවල් වලට විරුද්ධ වුණා කියලා නෝනගේ තාත්තට තදින් කතා කලා.  අන්තිමට
"ඒක දෙවියන්ගේ කැමැත්ත නෙවේ මමී ..." කියලා උස් හඩින් කියලා ෆොන් එක තිබ්බා. ආය ඒ ගෙදරින් ආව එක කෝල් එකකටවත් උත්තර දුන්නේ නෑ.
ඊට පස්සේ දවසක ටෙලි‍ෆෝන් එකෙන් මහත්තයට බොහෝම දොස් කීවා . දිගටම වාද වුණා. අන්තිමට ෆෝන් එක තිබ්බේ මහත්තයාගේ ජීවිතේ එයාට කැමති විදිහට ගත කරන්න නෝනා ඉඩ දෙනවා කියලා . පහුවදා උදේ කාමරේ දොර අරින්නේ නැතුව නෝනා හිටියා. අන්තිමට රාණිට වුණා ගෙදර  ඩ්‍රයිවර්ට කියලා දොර කඩවන්න. කිසි දවසක රාණි දකින්න බලා‍පොරොත්තු නොවුණ විදිහට නෝනා කාමරේ විදුලි පංකාවේ එල්ලිලා හිටියා. වෙනදට එක එක සායම් ගාලා රෝස පාට කරපු  නියපොතු නිල් වෙලා. ලස්සන මූණ ලොකු වේදනාවකින් පිරිලා. බේබිලා තුන් දෙනා රාණිගේ ඇ‍‍‍ඟේ එල්ලිලා විලාප තිබ්බා.
මළ ගෙදර කටයුතු කෙරුණු විදිය රාණිට මතක නෑ. මතකේ තිබ්බේ බේබිලා තුන්දෙනා විතරයි. තමන්ගේ විවාහය අමතක කරලා රාණි බේබිලා ලොකු මහත් කරා. කොහොමත් ගමේ හැදිලා තිබුණ කතා වලට ආය රාණිට හරි හමන් දීගෙක යන්නත් බෑ. ඒත් මහත්තයා රාණිටවත් වෙන ගෑනු කෙනෙකුටවත් තමන්ගේ ජීවිතේ බෙදා ගන්න දුන්නේ නෑ.
බේබිලා ඉගන ගත්තා. රට‍ ගියා දෙන්නෙක්. දෙවනි බේබි දොස්තර කෙනෙක් වෙලා මෙහේම නැවතුනා. ඒ වෙනකොට එයාලා රාණිගෙන් ඈත් වෙලා. අන්තිමට ගෙදර ඉතුරු වුනේ රාණියි ඩ්‍රයිවරුයි විතරයි. මහත්තයා තීරණය කළා කොළඹ ගෙදර විකුණලා දෙවනි බේබිට අලුත් ගෙයක් අරං දෙන්න. රාණි අවුරුදු තිහකට පස්සේ ආපහු තමන්ගේ රෙදි ටිකත් ඔතාගෙන බදුල්ලට ආවා. වත්තේ බංගලාවට යන්න හිත දෙන්නෑ. හැම වෙලාවෙම මහත්තුරු පිරිලා. මහත්තයාගේ මේ අමුතු ආශ්‍රය ගැන රාණිටත් ටිකක් අපුලක් දැනෙන්ට පටන් අරන්. ඇරත් ගමේ මිනිස්සු කියන දේ වලට නෝනා ගැන පපුව පැලෙන්න වේදනායි රාණිට. අන්තිමට මහත්තයා අර හදලා දෙනවා කිව ගේ පොඩ්ඩ වෙනුවට පරණ ටකරන් ගැලවුන වහලයක් තියන ලැයින් කාමරයක් අස් කරලා රාණිට දුන්නා. බංගලාවට ඇවිත් අඩු පාඩු ගෙනියන්න කීවත් හැමදාම ඔය කන්ද නැගලා බහින්න රාණිට බෑ. අවුරුදු ගණනාවක් රෑ දවල් නැතුව මහන්සි වෙලා රාණි දැං වයසට වඩා වයසයි.
දරුවන්ට වියදම් කරලා ඉවර වුනාම මහත්තයත් තේ වතු අතෑරියා. දරුවෝ නම් තාත්තා ඉන්නවද නැද්ද කියලා බැලුවේ නෑ. ටිකක් හරි බැලුවේ දොස්තර බේබි විතරයි. ඒ බේබිත් කසාද බඳින්න යනවා කියලා ආරංචි වුණා බංගලාවේ පැත්තේ ගිය දවසක. එදා ඒ දෙන්නම රාණිට හම්බ වුණා. දොස්තර බේබිට තිබ්බේ තාත්තාගේ හැඩ රුව මයි. ඇවතුම් පැවතුම් ඒ වගේ වෙයිද කියලා රාණිට හිතුනා. ඒත් හොයාගෙන තියන චූටි නෝනා නම් බේබිලාගේ අම්මා වගෙ නෙවේ. ටිකක් සැර පාටයි.
දෙන්නා වැඩි සද්දයක් නැතුව මගුලක් අරගෙන බංගලාවේ පදිංචි වුණා ටික දවසකට. ඒ දවස්වල බේබි වත්තේ ඉස්පිරිතාලේ වැඩ කළේ. බැන්ද අලුත වුණත් නිතර රෑ වැඩ කියලා  බංගලාවට ආවේ නෑ. රාණිත් ඉස්සරට වැඩිය බංගලාව පැත්තේ ගියා . මහත්තයා වයසට ගියත් පුරුදු විදිහමයි. යාළුවෝම තමා.
බොහොම සතුටින් දුව පැන පැන හිටපු චූටි නෝනා ටික දවසක ඉඳලා ලොකු කල්පනාවක. අනේ මේ වගේම අඳුරක් තිබුණා අපේ නෝනගේ මූනෙත් රාණිට හිතුනා.
"රාණි අම්මා, සුදේෂ්ගේ අම්මා මැරුණේ ඇයි? " නොහිතපු වෙලාවට චූටි නෝනා රාණිගෙන් බේබි මහත්තයාගේ අම්මා ගැන ඇහුවා.
රාණි ඇත්තටම කාරණයක් දැනං හිටියේ නෑ. පස්සේ නම් එක එක දේවල් එයාට හිතිලා තිබ්බා.
"මට එයාගේ ඩයරියක් හම්බ වුණා....." චූටි නෝනා පරණ දින පොතක් පෙන්නුවා.
"මේ එයා අන්තිමට ලියපු දවස.. ඊට සතියකට පස්සේ තමා මැරිලා තියෙන්නේ...
කියවන්න බැරි වුනත් රාණි දිනපොත ගත්තා. නෝනගේ අකුරු තමා.

Why God created human beings and  made them  male and female ? It was  god's wish to  unite man and women and to become one flesh. Was it Satan's wish to  united man and man  and to become one flesh?  
නෝනා ලියලා තිබුණේ එහෙමයි.

චූටි නෝනගේ  ඇස් වේදනාවට හරි කේන්තියට හරි දිළිසෙනවා. ඒත් කතා කළේ හරිම සන්සුන් ස්වරයකින්.

" තවත් මෙහේ හිටියොත් මටත් ඩයරි එකේ ලියන්න වෙන්නේ  මේකම තමා... රාණි අම්මා මම දැන් අපේ ඩැඩී ආවම ගෙදර යනවා. කලබල වෙන්න එපා. මම සුදේෂ්ටයි , එයාගේ තාත්තටයි කතා කරලා මම යන බව කීවා. සුදේෂ් ආව දවසක  මේ යතුර එයාට දෙන්න"

Wednesday, July 12, 2017

රිලව්


රිලව් කියන්නේ පේරාදෙණි‍ය කැම්පස් එකේ මතකයන්ගෙන් කොටසක්. මිනිස්සු පැවතගෙන එන්නේ රිලවුන්ගෙන් කියලයි හිතෙන්නේ  ඒ හැසිරීම දැක්කම. කැම්පස් පාරවල් , හොස්ටල් වටේම ගස් කොළන් තියන නිසා අපි සහ රිලවු අතර හොඳ සමාජ ආශ්‍රයක් තිබුණා. මේ ආශ්‍රය හොඳටම වැඩි දියුණු වුණේ දෙවනි අවුරුද්දේ ඉඳන්. අපි හිටියේ සංඝමිත්තා ‍ක්ලස්‍ටර්ස් වල. එහා පැත්තෙන් මහවැලි ගඟ. රිලා ආකර්ෂණය තියන කැලෑවක් තිබ්බේ. ඒකේ රිලව් තට්ටු ගෙවල් හදාගෙන පදිංචි වෙලා හිටියා.
මම අවුරුදු හතරක අත්දැකීම් වලින් දන්නවා රිලව් කැමති නිල් පාටට කියලා. අපේ රෙදි හෝදලා වැඩි පරෙස්සමට කටුත් ගහලා වැලේ දැම්මාම උදේ අට වෙනකොට රාජකාරියට වාර්තා කරන රිලව් ටික ඉස්සරලාම කරන්නේ කටුව ගලවාගෙන කටේ දාලා දෙකට කැඩෙන්න හපන එක. ඊට පස්සේ නිල් පාට ඇඳුම් ටික තෝරලා තමන්ගේ සර්වාංගයම ඒවායෙන් පිහ ගන්නවා. අනිත් ඇඳුම් ටික කැමති විදිහට හපන්න, පාගන්න නැත්තං කඹ අදින්න යොදාගන්නවා. කොහොමත් රෙදි වැලේ තියන හැම ඇඳුමකම පශ්චාත්භාගය ගාගෙන තමා හැම එකාම වහලට පනින්නේ. ඒ රෙදි සතියක් පෙ‍‍ඟෙන්න දාලා හේදුවත් රිලා ගඳ යන්නෑ.
සංඝමිත්තා එකේ ඉද්දී  රිලා රංචුවක නායකයා වගේ හිටියේ තඩි රිලවෙක්. ඒකට අපි කිව්වේ  හර්ෂ කියලා. ඒකට හේතුව අපේ යාලුවෙක් හිටියා ඒ සයිස් එකේම. එයාට උපහාරයක් විදිහට තමා ඒ නම දැම්මේ.
උදේ පාන්දර රිලා රංචුව ඇවිත් අපේ රෙදි මිරිකන කොට
" අන්න හර්ෂ ඇවිත් ඔයාලගේ රෙදි ගෙනියනවෝ...." කියලා කවුරු හරි කෑ ගහනවානේ.
ඒ වෙලාවට අපේ සබ් වෝඩ්න් බූසෑ කොණ්ඩෙත් අවුල් කරගෙන නයිටිය පිටින්ම එළියට පනිනවා  ඒ පණට ආදරේ නැතුව හොස්ටල් එකට පැනපු කොල්ලා මොකාද බලන්න. මුලදී නම් අපට කෑ ගැහුවා විකාර නම් සත්තුන්ට කියන්න එපා කියලා . පස්සේ පස්සේ එයත් කියන්න ගත්තා
"ළමයි ඔයාලගේ වැරදි නිසා තමයි හර්ෂලා හොස්ටල් එකට පනින්නේ" කියලා.
ඒ දවස්වල මේන් හෝල් එකේ මොනවද ‍අලුත් වැඩියාවක්. සිමෙන්ති බාල්දි උඩට අදින කඹයක් තිබුණා ස්ලැබ් එක උඩ දාලා. දවසක් පුරුදු විදිහට හර්ෂ ඇවිත් වතුර බට දිගේ , වහළ දිගේ නටනවා. එක පාරට උඩ තට්ටුවේ එල්ලී එල්ලී තිබුණ කඹේ දැකලා එල්ලුනා. නිකම්ම තිබුණ කඹේ හර්ෂත් එක්කම බිම. අපමණ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හර්ෂ ගස් වලට පැනලා නොපෙනී ගියා!
තුන්වෙනි හතරවෙනි අවුරුදු වල අපි  ජේ. පී . හෝල් එකේ .  අපරාදේ කියන්න බෑ එහෙදි නම් අපි එයාලගේ තැනට ආව විදිහට තමා රිලව් අපට සැලකුවේ. දවල් එකට තියන ලෙක්චර්ස් වලට යන්න කලින් අර මනමාලි එළියට බහිනවා වගේ රතිඤ්ඤා පත්තු කරගෙන තමයි කට්ටිය යන්නේ. ඒ සද්දෙට කොරිඩෝවල පවත්වන මහා සභා රැස්වීම ඉබේම විසිරිලා ගස් වල එල්ලෙනවා. ඉතුරු හරිය රතිඤ්ඤා ශබ්දය ඇසී විනාඩි විස්සක් ගෙවුණ පසු ආපසු පැවැත්වේ.... නැවතත් රතිඤ්ඤා හඩ ... නැවතත් විසිර යාම.  ඔය වගේ තමා.
අපේ කාමර වල එළි‍යේ බැල්කනි එකට ඇරෙන දොරකුයි, ජනේලයකුයි තියෙනවා. හදිසියේ හරි ඒක වහන්න අමතක වෙලා ගිහින් තිබුණොත් කාමරේ බිත්ති හතර විතරයි අපි ආපහු බලාපොරොත්තුවෙන් එන්නේ. එහෙම වුණා එක දවසක්. අපි ලෙක්චර්ස් ඉවර වෙලා එනකොට රිලව් තුන් හතර දෙනෙක් කාමරේට පැනලා අපේ ඇඳ යට තිබුණ අලිපේර බාගෙට කාලා, බිත්තර බිඳලා ඇඳ උඩ. සීනි හලලා, බිස්කට් නම් තිබ්බ තැනවත් නෑ. එක්කනෙක් පේෂල් කරගෙන ඉන්නවා අපේ  කිරිපිටි වලින්. මදිපාඩුවට අපේ ගුරුලේත්තුව කෑලි වලට බිඳලා. ඒ වතුරේ පනිනවා , ඇඳන් උඩට පනිනවා.
සමහර වෙලාවට අපේ පනා , කන්නාඩි අරගෙන  හොරෙන් පනිනවා . ගස් වලට වෙලා කන්නාඩියෙන් බල බලා පනාවේ අනික් පැත්තෙන් කොණ්ඩේ පීරනවා. සමහර වෙලාවට අපේ ඇඳුම් ඇඳගන්නවා හරිම පිලිවෙළට. ගවුමේ අතින් දානවා ඔලුව . එතකොට අර වෙඩින් වලට ඇන්දා වගේ ඇඳුම දිගට තියනවා. ඊට පස්සේ වහලේ දිගේ හොල්මන වගේ පැන පැන යනවා ගවුම පැටලෙන කල්.
‍ජේ.පී එකේ තිබුණ පොකුණේ හිටියා ඉබ්බෙක්. දවල්ට  නලපාන ජාතකයේ අළුත්ම වර්ෂන් එක එතන රඟ දැක්වෙනවා. රිලව් ඇවිත් පොකුණට බැහැලා නාන ගමන් ඉබ්බව අල්ලලා එළියෙන් තියනවා. ඒ ඉබ්බත් ටිකක් වෙලා කටුව ඇතුළේ ඉඳලා පනිනවා පොකුණට. හරියට බලාගෙන හිටියා වගේ රිලවෙක් ඇවිත් ඒ ඉබ්බා පොකුණේ පතුළේ ගෑවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී ආපහු දෝතින් බදා එළියේ තැන්පත් කරනවා.
රිලා අත්දැකිම් වලින් මම ආසම මේකට. අපේ හොස්ටල් එක සුද්ද කරන කෙනෙක් හිටියා . නම මුත්තු වගේ මතක. සුද්ද කරනවා කීවාට බොරුවේ හොඳම එක. ආයි වෝඩ්න්ටවත් බය නෑ. බොරුවට බාත් රූම් වලට වතුර දෙකක් ගහලා අපිටත් පාට් දාලා වෝඩ්න්ටත් පාට් දාලා දවසම විට කකා ඉඳලා යනවා. මිනිහා දවසක් එනවා උදේම කාට හරි බැන බැන. ඒ වෙලාවේ කොරිඩෝවේ මුල්ලේ තියන බින් එකේ රිලවු පිරිලා. අපි අනික් පැත්තේ ඉදන් දන්න විදිහට කීවා රිලව් ඉන්නවා එන්න එපා කියලා.
" මොනවා මේ නාන කාමරේ.. මම සුදු වෙන්න මැදලා ගියේ. ඔය මිසීලට ඕන ඕන විදිහට මට බෑ මේවා අතුල්ලන්ට "  මුත්තු හිතුවේ අපි බාත් රූම් එක සුද්ද කරන්න කීවා කියලා.
එහෙම කියාගෙන හැරෙන කොටම එතන රිලව්. පාර්ශව දෙකම බයවුණා. රිලව් පැන්නා මුත්තුගේ ඇඟට. මුත්තු පැන්නා බාගෙට ඇරලා තිබ්බ කාමරේකට.
හදිසියේ ඇති වුණ රිලා සහ නූතන වානරයාගේ ආගමනයෙන් උද්දාමට පත් උපාධි අපේක්ෂිකාවන් ගිරිය යටින් නැගූ ඔල්වරසන් හඩ පේරාදෙණියේ අනන්‍යතාව කියාපෑවා.

මිනිසා සැබවින්ම පැවත එන්නේ රිලවුන්ගෙනි!