Monday, October 2, 2017

කහවණු


 කහවණු



කහ පාට ෆයිල් කවරෙ ඇතුළේ තිබුණ කොලේ  හිමිහිට යමුනා මිස්ගේ මේසෙට මාරු වුණා. කොලේ ගෙනත් තිබ්බ බන්දුගේ මූනේ තිබුණ හිනාව යමුනා අඳුරනවා.



“ලියන්න මිස්  අත දිගෑරලා පන්දාහක්. පණ්ඩිත මහත්තයා මොන තරමක් මිස්ට උදව් කරලා තියනවද?“



යමුනා මිස්ට හිනාවක් පැන්නා. තමන් බැංකුවට ආව දවසේ ඉඳලා මොන තරමක් පණ්ඩිත මහත්තයා එක්ක වාද විවාද වෙලා තියනවද කියලා මතක් වුණා.



පණ්ඩිතරත්ත මහත්තයා බොහෝම පොඩි තනතුරකට ආවේ. හැබැයි හරිම උත්සාහයෙන් අද  දෙවනි මහත්තයාගේ තැනට ඇවිත්. ඒ ගමන  ගැන එයා වැඩිය කතා කරන්න කැමති නෑ. ඒත් පරණ සේවකයෝ දන්නවා ඉතිහාසේ.  බන්දු  කියන්නේ පණ්ඩිතරත්න මහත්තයාගේ හඳහනේ තිබුණලු කවදාහරි දවසක බැංකුවක් අරිනවා කියලා. එයාගේ දෙමව්පියෝ මැරෙන කල් බලාගෙන හිටියේ තමන්ගේ පුතා බැංකුවක අයිතිකාරයෙක් වෙන කල්ලු. ඒත් හඳහනේ තියන දේ ඇත්ත වුනේ පණ්ඩිතරත්න මහත්තයාට අවුරුදු විසි දෙක වෙද්දිලු. මොකද කුකුළා අතින් අරගෙන බැංකුවට බැඳුන දා ඉඳන් ආව ඒ මහත්තයාලු හැමදාම බැංකුව ඇරියේ! ආව වෙලාවේ ඉඳන් අකුරට වැඩ කරලා, හැම වගකීමක් ම ඉෂ්ඨ කරලා ඉතුරු වෙලාවේ පාඩම් වැඩ කරලා කොහොම හරි ඉහලට ආවා. එහෙම ඉහලට ආව පණ්ඩිත මහත්තයාට මේ අද ඊයේ උපාධි ගත්ත යමුනා මිස්ලාගේ වැඩ බලාගෙන ඉන්න පුලුවන්ද?



යමුනා මිස්ලාගේ කණ්ඩායමේ අට දෙනෙක් ආවා බැංකුවට ඉස් ඉස්සෙල්ලාම පත්වීම අරගෙන‍ . ඒ අයව ලොකු මහත්තයා  බාර දුන්නේ පණ්ඩිත මහත්තයාට. හැබැයි වැඩ බෙදලා දීලා තමා එහෙම බාර දුන්නේ. ඒ හැම වැඩක්ම මීට ඉස්සර තිබුනේ පණ්ඩිතගේ අතේ. ඒ බව දැනගත්ත හැටියේ පණ්ඩිත මහත්තයා දිව්වා ලොකු මහත්තයා ළඟට. අද ඊයෙ කජු කිරි කොල්ලන්ට මේ වගකීම් දුන්නොත් බැංකුවේ වහලේ බිමට පාත්වෙන්න වැඩි දවසක් යන්නේ නෑ කියලා උගුර ලේ රහ වෙනකල් කියලා   දුන්නත් තේරුනේ නෑනේ ලොකු මහත්තයාට.



යමුනා මිස් වැටුනේ පණ්ඩිත මහත්තයාගේ දෙවනි මිස් විදහට. අනිත් නගරං කොල්ලෝ ටික නම් පණ්ඩිත මහත්තයාට දකින කොටත් කරදරයක්. මුලින්ම දේසනාවෙදි කිව්වා කිසිම කෙනෙක් ඔෆිස් ඉවර වෙන වෙලාවල් අහන්න එපා කියලා. ඒ වගේම ගෙවල් වල ප්‍රශ්ණ නිසා හවසට ගෙදර දුවන්න , නිවාඩු දාන්න එපා කිව්වා. තව යාලු මිත්‍ර කම් එකට රංචු ගැහිලා කෑම කන එක, ලන්ච් වලට එළියට යන ඒවා කරන්නත් බෑ. තමන් ඒ කිසි දෙයක් නොකර ආයතනයේ දියුණු කරපු නිසා තමා මේ අට දෙනා ඇවිත් සනීපෙට මේ ඉ ඳගෙන වැඩ කරන්නේ කියලත් කිව්වා.

අළුතින් ආපු කාණ්ඩේ පිළිගන්න පොඩි උත්සවයක් තිබ්බා ලොකු මහත්තයාගේ ගානේ. ඒ උත්සවේ වෙලාවේ ලොකු මහත්තයා කිව්වේ කිසිම වෙලාවක තමන්ගේ පෞද්ගලික ජීවිතේ පස්සට දාන්න එපා තමන්ගේ රස්සාව නිසා කියලා. ඒ දෙක සමබර කරගත්තොත් තමා ජීවිතේ නියම සතුට විඳින්න  පුළුවන් කියලා අළුත් කොල්ලන්ට කෙල්ලන්ට කියලා දුන්නා. පණ්ඩිත මහත්තයා නම් විරුද්ධ වුනා කතාවට. එයා ඉතිං බැංකුවනේ බැඳලා ඉන්නේ.



යමුනා මිස්ලට ඕපදූප අරං එන්නේ බන්දු. ඒ වෙනකොට අවුරුදු හතලිහ පැනලා හිටපු පණ්ඩිතරත්න මහත්තයා බැන්දේ අවුරුදු තිස් හයෙන් බවත් තාම දරු සම්පතක් නැති බවත් කටිටිය දැනගත්තා. ඕකට ඉතිං අළුත් කොල්ලෝ නොකියන කතාවක් නෑ. හැබැයි ඕකේ බරපතලකම දැනගත්තට පස්සේ හැමෝම විහිළු කරන එක නැවැත්තුවා. පණ්ඩිත මහත්තයාගේ කසාදේ කැඩෙන්න ඔන්න මෙන්න කියලා තියෙන බව දැන ගත්තට පස්සේ ඔතන හිටපු දුලිත මහත්තයා එයාගේ දොස්තර අය්යා ලව්වා පරීක්ෂණ පෙළක්ම කරවලා දුන්නා. මේවා කළේ ලොකු මහත්තයා හරහා. පණ්ඩිත මහත්තයා පස්ස ගහන කොට ලොකු මහත්තයා බලෙන්ම යැව්වා ඒවට. අන්තිමට තීරණය වුනා සිංගප්පූරුවේ ගිහින් ඉතුරු ප්‍රතිකර්ම ටික කරොත් දරුවෙක් හදන්න පුළුවන් කියන එක. පණ්ඩිත මහත්තයාගේ නෝනා කැමතියි  පුරුදු විදිහට පණ්ඩිත පස්ස ගහනවා. සල්ලි පැත්තෙන් කරදර නම් අළුත් අය ලෑස්තියි ඒකටත් උදව් කරන්න.  සල්ලි වකාරෙට තියනවා කියලා ලොකු මහත්තයා කෑ ගැව්වා.



“ මේ මිනිහගේ කුණු කම.... දරුවෙක් මල්ලෙක් බලන්නවත් කහවණු මල්ල හොල්ලන්නෑ......“



කට්ටියම එකතු වෙලා බලෙන්ම පණ්ඩිතව කැමති කරගත්තා. ඒ පාර බැංකුවේ වගකීම් , තව සමිති සමාගම් ඕවා මේවා දාලා මාසයක් සිංගප්පූරුවේ ඉන්න බැරිලු. යන වියදමත් උහුලන්න බැරි බවකුත් කියලා තිබුණා. ඒක එළිපිට නොකිව්වේ නෝනා මුළු වියදම දරන්න ලෑස්ති වෙලා ඒ වෙනකොටත් එකවුන්ට් එකෙන් සල්ලි අරං තිබුණ නිසා. නිවාඩුත් බලහත්කාරයෙන්ම අනුමත වෙලානේ තිබුණේ. සිංගප්පූරු යන්න  දවස් තුනකට  ඉස්සරලා පණ්ඩිත හිමිහිට ලොක්කගේ කාමරේට  ගෑටුවා. අළුත් මහත්තුරු ලන්ච් අවුට් ගිහින්.



“සර්... මං මේ බැලුවේ මෙතන අළුත් ළමයින්ට දාලා යන්නේ කොහොමද කියලා. කිසිම වැඩක් හරියට කරගන්න කෙනෙක් නෑ. මම එනකොට මෙතන විනාස වෙලා තියෙයි.. මම කියන්න ආවේ මේ ...............මම තව නෝනත් එක්ක කතා කරෙත් නෑ.. මේ බැලුවේ නෝනව යවලා මම සතියකට විතර පස්සේ ගිහින් එන්නද කියලා..“

ලොකු මහත්තයාට නැගිට්ටුනා.



“..........................“  බැංකුවට නොගැලපෙන වචන දෙක තුනක් ලොක්කාගෙන් පිට වුනා. පස්සේ ටිකක් සන්සුන් වෙලා ඕයි ............ තමුසේ ඔල්මාදෙන්ද? එච්චරයි ඇහුවේ. කාරෙකේ යතුරත් අරගෙන එළියට ගියා.



අන්තිමට පණ්ඩිත මහත්තයා සිංගප්පූරුවට පැටවුනා මාසෙකට‍.



සැරෙන් සැරේ ලොකු මහත්තයා එහේට කතා කළා. අන්තිමට මුලු බැංකුවම සතුටු වෙන ආරංචියක් ආවා. තවත් සති දෙකක් වැඩිපුර ඉඳලා පණ්ඩිත මහත්තයි නෝනයි ලංකාවට ආවා. දෙන්නා දෙමව්පියෝ වෙන්න යන්නේ. පණ්ඩිත මහත්තයාට සතුට වාවන්නෑ. ඒ වගේමයි වියදම් වුණ සල්ලි මතක් වෙනකොටත් පපුව වෑවෙන්නෑ. ඔක්කොට එහා මේ අළුත් එව්වෝ ලොකු මහත්තයා අල්ලගෙන මුළු බැංකුවම වෙනස් කරලා. විනාස කරලා. මහා සල්ලියක් වියදම් කරලා මල් පෝච්චි, මල් පොකුරු , අළුත් බෝඩ්, විච්චූරණ මේස ............. මොන එහෙකටද මේවා. මදිවට එන එන මිනිස්සු බැංකුවේ වැඩ ඉක්මන් කමයි, සිරියාවට හිනා වෙලා වැඩ කරන අළුත් නෝනලා මහත්තුරු ගැනයි කියවන එක ඉවසන්න බෑ. අනේ අර වයසක උන්දෙලා ආවම මේ අළුත් කාණ්ඩේ අතට පයට වැඩ කරලා දෙන හැටි!



පණ්ඩිත මහත්තයා අතෑරියේ නෑ. අළුත් අය මොකද්ද කියන්නේ පණ්ඩිත මහත්තයා බෑ කියනවා. පණ්ඩිත මහත්තයා බෑ කියන්නේ මොක්දද අළුත් අය හා කියනවා. වැඩේ කියන්නේ මේ බැංකුවට සම්මානෙකුත් හම්බ වුනානේ ඒ අවුරුද්දේ. ඔන්න කට්ටියම එකතු වෙලා එදා ස්ටේජ් එකේ ගත්ත පින්තූරේ පණ්ඩිත මහත්තයාත් විරිත්තාගෙන ඉන්නවා. පණ්ඩිත මහත්තයාට හැබෑම සම්මානේ ලබන මාසේ හම්බ වෙනවා කියලා ගොඩක් අය එදා උත්සවේදි දැන ගත්තා.



හැබෑම සම්මානේ ගන්න නෝනා ඇතුලත් වුනේ නම ගිය ඉස්පිරිතාලෙක. ආයෙමත් පණ්ඩිත මහත්තයා වියදම් ගැන කල්පනා කරනවා. මෙච්චර අමාරුවෙන් ලබා ගත්ත සම්පත ගැන සතුටින් ඉන්න නෝනානම් තඹ සතේකට වියදම් ගැන හිතුවෙ  නෑ .එයා කියන්නේ මෙච්චර කල් ඉතුරු කලේ දරුවන්ට නම් ආය තවත් මොන ලෝබකම්ද කියලා.



පණ්ඩිත මහත්තයත් තාත්තෙක් වුණා. ඒත් ඒ ගැන එච්චර සතුටක් නැති පාටයි. මේකට නිවාඩු දාගෙන ගිහින් බැංකුවේ තමන්ට තිබ්බ තැනත් නැතිවුණා කියලා හිතෙනවා එයාට. ඒ මදිවාට එකවුන්ට් දෙකක්ම හිස් වුනානේ.



දරුවාට මාස තුන පිරුණාම කට්ටය කතා වුණා බලන්න යන්න. පණ්ඩිත මහත්තයා කිව්වේ මාස තුනේ ඉංජෙක්ෂන් එක දෙන්න ගේන ගමන් බැංකුවට අරන් ආවම කාටත් බලන්න පුළුවන් කියලා. ඒකට මනුර විරුද්ධ වුනා.

“මොකද්ද මිස්ට පණ්ඩිත.... අපි ඇවිත් එහේ බංග්ලෝ  එකේ නැවතිලා අර දිය ඇල්ලෙන් නාලා ස්පෙන්ඩ් ද ඩේ කරලා ආපහු කොළඹ එන්න බැලුවේ“



පණ්ඩිත මහත්තයාට කොහොමත් මනුර දිරවන්නෑ. මිනිහගේ එංගලන්ත ඌරුවට කරන කතා බහ තමා පළවෙනි එක. අනික මිනිහා මහා නාස්තිකාරයෙක්. මුළු පඩියම අඳින්න වියදම් කරනවා. බැංකුවම සුවඳයි උදේට එනකොට. අත දිගෑරලා තෑගි දෙන්නේ සෝබනේට. අනික මිනිහා ලෑස්ති  වුණාලු නේ පණ්ඩිත මහත්තයාටත් සල්ලි දෙන්න. පස්සේ කවුරු හරි  කියලා තිබ්බලු පණ්ඩිත මහත්තයාට පුස් කාච්ච සල්ලිත් තියන බව.



පණ්ඩිත මහත්තයාට  මොනවා කිව්වත් කට්ටිය  බබා බලන්න එන එක නතර කරගන්න බැරි වුනා. කොහොම ගනන් හදලා බැලුවත් කොළඹ ඉඳලා කළුතරට එන්න පැය දෙකක් යනවා. එතකොට පැයක් හමාරක් කතා කර කර ඉඳලා ආපහු පිටත් කරත් තව පැය දෙකක් යාවි. යමුනා මිස් ජා ඇල. එතකොට මනුර කඩවත. ලොකු මහත්තයා නම් පන්නිපිටියේ එතකාට තව.. කොහෙම බැලුවත් තේ දීලා පිටත් කරන්න බැරි පාටයි.



“එහෙම නම් උදේ පාන්දරින් පිටත් වෙන්ට .. එතකොට නමය විතර වෙනකොට අපේ ගෙදර ආවොත් තේ ටිකක් බීලා එකොළහට විතර ආපහු පිටත් වෙන්න බැරියෑ“



“ එහෙම බෑ..  අපිට ලන්ච් ඕන එහෙන්...“ රත්නාවලී මිස් කිව්වම පණ්ඩිත මහත්තයාට කට උත්තර නෑ.



අනේ මේ නාකි ගෑනුනේ වැඩේ. බඳින කල් බඳින්නේ නැද්ද ඇහුවා. ඊට පස්සේ ළමයි නෑ නේද ඇහුවා. දැන් කරච්චලේ බබාව බලන්න එන්න.



“හරි පණ්ඩිත ... කිසි දේකට කලබල වෙන්න එපා ලබන සෙනසුරාදා නෙවේ ඊළඟ සෙනසුරාදා අපි එහේ. අපි සුජාතාට කිව්වා . එයා ඔක්කොම ලෑස්ති කරයි. පණ්ඩිතට තියෙන්නේ අළුතෙන් බෝතල් ටිකක් හොයලා කඩලා ගන්න. අනේ අපි නම් ඔය පැත්තේ කිතුලෙන් බාන ඒවට වුණත් කැමතියි“ ඒ සුමනසේකර මහත්තයා.



ඒ ගමන යන්න සල්ලි එකතු කරන කොලේ තමයි අර යමුනා මිස්ගේ මේසෙට ආවේ.



කවුරුත් ලෝබ නැතුව ගාණ ලිව්වා. අපරාදේ කියන්න බෑ සුළු සේවකයන්ට තහනම් ඒ ලිස්ට් වලට සල්ලි දාන්න. ඒත් ඒ තුන් දෙනාම එනවා කළුතර යන්න. ඩ්‍රයිවර් මහත්තයත් එක්ක දාහත් දෙනෙක් ගමනට යනවා. පණ්ඩිතගේ කළ එළියක් නැති මූණ දැකලා ක්‍රිස්ටින් ඇහුවා එයාගේ මහත්යාගේ හොටෙල් එකේ ලන්ච් ගමුද කියලා. ලොකු මහත්තයා විරුද්ධ වුනා. මගුල් ගෙදරටවත් අපිට ආරාධනා නොකරපු එකේ ගෙදර ගිහින් සතුටටත් එක්ක කෑම වේලක් කාලම යමු කියලයි එයා කිව්වේ. අනික් අතට බර ගාණක් එකතු වෙලා තියනවා තෑග්ගට.



සිකුරාදා කට්ටිය බලෙන්ම යවන්න ගියේ පණ්ඩිත මහත්තයා වරුවක් නිවාඩු දම්මලා. මොන හෙල්ලුනේ නෑ වෙනදා වෙලාව එනකල්. සෙනසුරාදා කට්ටිය කියාපු වෙලාවටම කොළඹින් පිටත් වුනා. කටකම සෙය්යාවක් නැතුව පැය දෙකක් විතර විනෝද සාගරේක ගිලිලා හිටපු කට්ටිය කළුතරින් වාහනේ හැරෙව්වාම ආපහු තොල් පාට කරගෙන, කොණ්ඩා පීරගෙන  නිශ්ශබ්ද වුනා. වාහනේ ඇතුළු වුනේ පරණ බංගලාවකට . අක්කර දහයක් විතර මුළු ඉඩම. දෙපැත්තේ මැංගුස් ගස්. ගෙදර පරණ වුනාට බොහෝම අලංකාරයි.



පණ්ඩිත මහත්තයා කට්ටිය පිළිගත්තා. බීරලු රේන්ද දාලා හැඩ දාපු සෙටියේ ලොකු මහත්තයා බර වුනේ අවුරුදු තිහකට උඩදි දැක්ක ගේ එක ඩිංගක් වෙනස් වෙලා නෑ නේද කියලා.



පණ්ඩිත මහත්තයා තැඹිලි කපලා කට්ටියට දුන්නා. වෙන මොකවත් හැදුවේ නෑ කිව්වා කෑම කන්න බැරි වෙන නිසා. මනුර හිමිහිට ඇන්නා යමුනට. වාද්දූවෙන් තේ බිව්වෙත් නෑ යමුනා මෙහේ ඇවිත් උදේ තේ බොන්න වෙන නිසා කියලා.



සුජාතා බබාව වඩාගෙන ආවා. අපූරු කොලු පැටියා. හැමෝම ආදරෙන් හුරතල් කරනවා බලාගෙන හිටපු පණ්ඩිතගේ පපුව ආඩම්බරෙන් පිරුණා.



ගස් වල වැක්කෙරෙන්න හැදිලා තිබ්බ පේර , නමිනං, ජම්බු වලට කට්ටිය වග කිව්වා. දවල්ට කන්න කලින් කතා වෙලා ආව විදිහට පහළ දිය ඇල්ලෙන් නාලා එනකොට යකෙක් කන්න බඩ ගිනියි. මහත්තුරුන්ට නම් එතෙන්ටම කිතුලෙන් බාපුවා හම්බ වුණා.  නෝනලා ටික බඩගින්නේ.



කෑමට කට්ටිය ඉඳගත්තා. පණ්ඩිත මහත්තයා හැමෝටම රතු බත් බෙදුවා.



“ඔන්න අපේ නෝනගේ වදේ චයිනීස් හෝටලෙන් කෑම ඕඩර් කරමු කියලා. මම කිව්වා මේ හාපුරා කියලා එන අයට ගෙදරම උයලා දෙන්න ඕනෑ කියලා. ඕං ලොකු මහත්තයා අපේ පල්ලෙහා ගහේ කොස්. මේ කරකොල මැල්ලුම, එතකොට මට හවසම වෙල් මාළු ගෙන්නා ගත්තා. මේ පහළ වත්තේ සාරණයි කොස් ඇටයි, එතකොට මේ කොහිල අල සුජාතාගේ අම්මා එවපුවා. තරහා නැතුව මේ කඩෙන් ගත්ත පපඩමකුත් බෙදා ගන්නකෝ....

අතුරුපසට ඇඹුල් කෙසෙල් මේ ඒවත් අපේ වත්තෙන්“



කිසි කතාවක් නැතුව කෑම කාලා කට්ටිය ආපහු යන්න ලෑස්ති වුනා. පොඩ්ඩා සැප නින්දේ..



“ යසරත්න මහත්තයා අපේ දරුවට නමක් තියන්නකෝ මම අකුරු ටික බැලෙව්වා ම යන්න තමා සුබ කියන්නේ. මේ බොරු වැඩ එක එක්කනාට දාස් ගණන් දීලා නම් තියන්නේ. “ පණ්ඩිත මහත්තයා ඇදලා පැදලා කිව්වා.



යසරත්න මහත්තයා එදා ඉඳලාම පණ්ඩිත මහත්තයාව දන්නවා. කොච්චර වෙනස් කරන්න හැදුවත්  කහවණු පොදි ගහන ගතිය වෙනස් වුනේම නෑනේ. ටිකක් උඩ බලාගෙන යසරත්න මහත්තයා කල්පනා කරා. රැල් බුරුල් ඇරලා කටහඩ පෑදුවා.



“ මට්ටකුණ්ඩලී........... ඒ නම ගැලපෙයි මයේ හිතේ ..........."