Thursday, August 16, 2018

පාට පිරුණු ජීවිත


රූපවාහිනියට යාබද තණ බිස්සේ තැන් තැන් වල සවිකරපු පුවරු වල දරුවෝ චිත්‍ර අඳිනවා. එයාලාට උපදෙස් දෙන්න චිත්‍ර කර්මය හදාරපු ප්‍රවීණයෙක් සැරෙන් සැරේ ඒ පුවරු වලට එබෙනවා. මොකක් හරි පොඩි අඩුපාඩුවක් දැක්කත් බොහෝම උනන්දුවෙන් දරුවාට ඒක කියලා දෙනකොට මැද්දට පනිනවා අම්මලා. දරුවට හරි විදිහට උපදෙස අහන්න ලැබෙන්නේ නෑ. ඒ මදිවට මැද්දට පනින ඒ අම්මලාට මතක නෑ එයාලා බාධා කරන්නේ අනෙක් දරුවන්ට බව.
“කරුණාකරලා අම්මලා ටික එහා පැත්තට වෙලා මෙතන දරුවන්ට නිදහස් කරලා දෙන්නකෝ. අපි දැන් රූප ගත කිරීම් පටන් ගන්න යන්නේ”  පැහැදිළී විධානයක් ලැබුණා. ඒ පණිවිඩේ නා ගස් යට පුටුවල ඉඳගෙන හිටපු මටයි කාන්ති අක්කාටයි දෙන්නටම ඇහුණා.
“ මේ අම්මලා ගෙවල් වලත් ඔය විදිහම ඇති. අර බලන්නකෝ ඈත ඉඳන් ළමයින්ට උපදෙස් දෙන හැටි.. ඔයාකාර බලකරලා මොකද මේ රට අල්ලන්න හදන චිත්‍රයක් අඳිනවා නෙවෙයිනේ නේද නංගි”
කැළණියේ ඉඳන් තමන්ගේ දුව රූපවාහිනියේ චිත්‍ර පැය වැඩසටහන ආව කාන්ති අක්කා මට හම්බ වුනේ එ් විදිහට.
“ කාලෙකට පස්සේ කකුල් දෙක දිගෑරලා ඉඳගන ඉන්නේ. ගෙදර ඉතිං කප්පරකට වැඩ.. අද මේ ආවෙත් පොඩි දුවට දුක හිතෙන හින්දා.. අද මහත්තයා  ඉරිදා නිසා ගෙදර .. දවල්ට උයලා තියන්නම් කිව්වා. ඒ හින්දා මම මේ  ආවේ.”
“ මහත්තයා ගෙදර වැඩට උදව් කරනවා වගේ? “ මම ඇහැව්වා
“ ඒ ඉවිල්ලෙන් නම් ඉතිං මට වැඩ වැඩි වෙනවා . ඒත් මේ පොඩි දුවගේ වැඩේ නෙකෙරෙන නිසා මම කුස්සිය බාර දීලා අ‍ාවේ. අනික කෙල්ලගේ වැඩක් පාඩු වෙනවාට එයා කැමති නෑ.”
“ කාන්ති අක්කට ඉන්නේ මේ දුව විතරද?”
“ මේ මගේ නංගිගේ දුව.. මාස තුනේ ඉඳලා මම හදන්නේ....මගේ දුව වගේම තමා ඉතිං. මටත් වඩා මගේ මහත්තයා තමා එයාට ආදරේ...”
නොකියවුණු දිග කතාවක් කාන්ති අක්කගේ මූණේ ලියවුණා. සතුටයි දුකකි දෙකම මිශ්‍ර වුණු කතාවක  පෙරවදන මම තනියම කියෙව්වා. කතාව අහන්න ලොකු පෙළඹවීමක් ආවා වුනත් දැඩි ශෝකයෙන් මි‍රිකෙන ඇස් වලට ටික වෙලාවක් දෙන්න වෙන බව මට දැණුනා.
“ මගේ නංගි හරි ලස්සනයි ඒ වගේ ම හිතුවක්කාරයි. ඉස්කෝලේ යන කාලේ සෙල්ලක්කාර කමට  යාළු වෙච්ච කෙනාම බැන්දා. අපි දන්නා තරම් කිව්වා ඒ කෙනා නංගිට ගැලපෙන්නේ නැති බව. මොන කනකට ගත්‍තේ නෑ. අන්තිමට දෙන්නා පැනලා ගියාම අපේ මහත්තයා කොහොම හරි දෙන්නාව ගෙනල්ලා බන්දලා දුන්නා. එතකොට මගේ පුතාට අවුරුදු හතක් විතර ඇති. ප්‍රශනේ පටන් ගත්තේ එතන ඉඳන්. අපේ මහ ගෙදර මගේ නමට ලියලා තිබුණු එකට නංගි පටන් ගත්තා රණ්ඩුව..  මගේ අම්මලාට කනක් ඇහිලා ඉන්න නැති පාර ඒක අපි දෙන්නම කතා වෙලා නංගි‍ගේ නමට ලිව්වා. ඒකට එයාගේ මහත්තයා අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා. අපිට දෙමව්පියෝ බලන්නවත් යන්න බැරි තැනට ප්‍රශ්ණ ආවේ. එයාගේ මහත්තයා බීමට ඇබ්බැහි වෙලා අන්තිමට නංගි දෙන්නා අතරේ කෙළවරක් නැති රණ්ඩු සරුවල් ආවා. එක දවසක් ලොකු රණ්ඩුවක් වෙලා මේ මිනිහා ගෙදරින් පැනලාම යන්න ගියා එයා ගහපු පාරකට නංගී මැරුණාම තමා කියලා හිතාගෙන . නංගිගේ ජීවිතේ බේරුණා. ඉස්පිරිතාලේ ඉඳලා ඇවිත් එයාට සාත්තු කරන්න මගේ වයසක අම්මාට බැරි හින්දා මම නංගිව ගෙදර ගෙනාවා. නංගිට ආපහු පවුල් කන්න උවමනාවක් තිබුනේ නෑ . එයාට ඕන වුනේ රට යන්න. අපි විරුද්ධ වුනා. මේ තරුණ කෙල්ල නොදන්න රටවල වහල් කමට යන්න පුළුවන්ද?”
“ ඉතිං නංගි ඒ අදහස අත් ඇරියද?
“ඔව් ටික දවසකට..”
“........................”
“ මොකද නංගි ඒ වෙලාවේ තමා දැනගත්තේ එයාට බබෙක් ලැබෙන්න බව.... එයාට ඕන වුනේ දරුවාව නැති කරලා නිදහස් වෙලා යන්න. අපි දෙන්නා ඒකට විරුද්ධ වුණා. එතන ප්‍රශ්ණ ගොඩක්. නංගිට දැන් මහත්තයකුත් නෑ, රස්සාවකුත් නෑ . අපිට තිබුනෙත් මහත්තයාගේ රස්සාව විතරයි. එයා බස් ඩ්‍රයිවර් කෙනෙක්. ඒ ආදායම අමාරුවෙන් පිරිමහගෙන හිටියේ. ඒත් දරුවෙක් නැති කරන්න හිතන්නේ කොහොමද? ඒ හැමදේම ඉවසන්න පුළුවන් අර අසත්පුරුෂයා එක එක්කනාට ආරංචි වෙන විදිහට කියන්න අරන් තිබුණා ඒ නංගිගේ බඩේ ඉන්නේ එයාගේ දරුවෙක් නොවන බව...”
“ ඓහමෙ ප්‍රශ්ණයකුත් තිබුණාද?”
“ ඒ මිනිහා ගොතපු බොරු. තමන්ගේ දරුවාගේ පියා කියලා පිළීගන්න කැමති නැති නරුමයෙක්”
කාන්ති අක්කා නොසරුප් වචනයක් කිව්වත් ආපහු මම දිහා බලලා සමාව ඉල්ලුවා.
“ ඒක නෙවේ දරුණුම කතාව. ඒ දරුවා මගේ මහත්තාගේය කියලා තමා ගමේ කතාව හදලා තිබුණේ. මට මුලින්ම ඉහිලුම් දුන‍්නේ නෑ.. මම දන්නවා මගේ මහත්තයා එයාගේ නෑනා දිහා බැලුවේ තමන්ගේ දරුවෙක් දිහා වගේ බව. ඒත් මගේ හිතට හරි වේදනවාවක් ඒ කතාව. නංගි ඉන්න තත්ත්වේ අනුව අපිට එයාට දුකක් දෙන්න බෑ. ඒ හින්දා අපි දෙන්නා කොහොම හරි එයාව බලාගෙන දරුවා ලැබෙන්න ඉස්පිරිතාලෙට නංගි ඇතුල් කළා. ඒ ලැබුනේ මේ දුව. ගෙදර ආවම නංගි දරුවා ගැන බැලුවේම නෑ.. එයාට රට යන පිස්සුවම තමා තිබුණේ. මට හරි කේන්තියි ඒකට. අපි දෙන්නා දවසක් වාද වුණාම මගේ නංගී මගේ මූණටම කිව්වා එයාගේ දරුවාගේ තාත්තා මගේ මහත්තයා බව. ඒ වෙලාවේ මගේ මහත්තයාට හැදුනා පපුවේ අමාරුවක්. ගමේ අය එකතු වෙලා එයාව ඉස්පිරිතානේ නොගෙනියන්න එයා අද ජීවතුන් අතර නෑ.”
“ නංගි කිව්වේ බොරුවක්ද?
“ඔව් මොකද මට අපේ මිඩ්වයිෆ් නෝනා ඒ කාරණේ පහදලා දුන්නා. මේක මේ අර විරසකය වෙන්න කලින් සිද්ද වුණ බව දින ගාන ගැනල‍ාම. එහෙම නොවෙන්න මාත් මගේ මහත්තයාව සැක කරයි. ඒ රණ්ඩුවෙන් පස්සේ නංගි ළමයා අපට දාලා ගියා. පස්සේ දිග ලියමනක් එවලා තිබ්බා එයාගේ දුව බලාගන්න ආයම මේ රටට එන්නෙ නෑ කියලා. කොටින්ම අපිට අන්තිම යුතුකම විදිහට මහ ගෙදරත් උකස් කරලායි ගිහින් රට තිබුණේ....”
“ දරුවාව අපි දෙන්නගේ නමට උප්පැන්නේ දාලා හැදුවා. මගේ මහත්තයා බෝධි සත්වයෙක්. දුවට කිසිදාක අඩුවක් කළේ නෑ. එයාට වැඩිකල් රස්සාව කරන්න බැරි වුනා . දියවැඩියාව ඇවිත් කකුලක් කපන්න වුනා. හැමදේම වුනේ මානසික පිීඩාව නිසා. මගේ පුතත් කරදරයක් නැති දරුවෙක්. එයාත් ඉගෙන ගත්තා. “
“දුව අම්මා ගැන දන්නේ නැද්ද?”
“ දන්නවා. එයා දැන් හත වසරේ ඉන්නේ. අපි හැමදේම කිව්වා පිටින් ආරංචි වෙන්න කලින්. එයාට අපෙන් අඩුවක් නොවුණු නිසා හොඳ කීකරුව ඉන්න දරුවෙක් වුනා. වැඩිම ආදරේ එයාගේ තාත්තාට තමා මටත් වැඩිය. දැං මහත්තයා රෑට සෙකුයුරිටි ‍ජොබ් එකක් කරනවා. එයාට දවල් වැඩ කරන්න බෑ..
“ඇයි ඉතිං ඔය අසනීප වලටත් හොඳ නෑනේ නිදිමරන්න?”
“මේකනේ නංගි දවල් සෙකුරිටි වැඩ කළෙ‍ාත්  සපත්තු දාන්න වෙනවා. එයාට තියෙන්නේ එක කකුලයිනේ..”
මේ සංවාදය දරුවො චිත්‍ර අඳිනකම්ම කෙරිලා තියන බව අපට දැනුනේ දරුවන්ගේ චිත්‍ර විග්‍රය පටන් ගත්තාම.
කාන්ති අක්කයි මමයි කොච්චර වෙලා කතා කරලා තිබුණද කියලා  කිව්වොත් ඒ කාල සීමාව ඇතුළත සුදු පාට පිටුවල ළමයින්ගේ ලෝක මැවිලා තිබුණා. ඈත මුහුදේ යන බෝට්ටු කිසි හව්හරණක් නැතුව පාවෙමින් තිබුණා. ඒවට එළිය  පෙන්නලා දෙන්න ප්‍රදීපාගාරයක්වත් අඳින්න දරුවට අමතක වෙලා හැඩයි. ඒත් සමහර වෙලාවට කොච්චර මග පෙන්නන්න එළියක් දුන්නත් ඒ කිසි දෙයක් ප්‍රයෝජනයට නොගන්න බෝට්ටුත් තියනවනේ.
සමහර චිත්‍ර වල තිබුණා වර්ණ තැවරුණු හැන්දෑවල්. කළු සුදු විතරක් තියන ජීවිත වලට වර්ණ තියන හැන්දෑවල් අත්දකින්න ලැබෙන්නේ නෑ.
තවත් සමහර චිත්‍රවල කිසිදාක දැකලා නැති ඝන කැලෑ. අපි පොඩි කාලේ නම් කැළෑවක් අඳින්න හිතුවේ වත් නෑ. ඒ අමුතුවෙන් අඳින්න ආසාවක් නැති නිසා. කොයි පැත්ත බැලුවත් කොළ පාට කැලෑවක් පේන්න තිබුණනේ. ඒත් මේ දරුවෝ ගොඩක් අය ඒ දර්ශන ඇඳලා තිබ්බේ තමුන්ට ඒවා දකින්න තිබුණ ආසාව නිසා වෙන්න ඇති.
චිත්‍ර ගුරුතුමා කොළ ටික ලොකු ලෑල්ලක එල්ලලා ප්ලාස්ටික් කූරු දෙකක් ගැහැව්වා. ‍චිත්‍ර වල අයිතිකාරයෝ පිළිවෙලකට එතන්ට ගිහින් ටීවී එකට තමන්ගේ නිර්මාණය ගැන කතා කරනවා.
කාන්ති අක්කගේ දුවගේ චිත්‍රය තිබුණේ තුන්වෙනියට. දෙපැත්තට දාලා තියන කොණ්ඩ දෙක වන වනා ගිහිල්ලා පොඩි කෙල්ල ඉඳගත්තා උස පුටුවේ. ඒ මූණත් චිත්‍රයක් වගේමයි. හැඟීම් ගොඩක එකතුවක්.
ඒ දුව ඇඳලා තිබුණේ තමන්ගේ ගෙදර. පාට පිරුණු ලස්සන චිත්‍රයක්. ඒ මගේ විග්‍රහය.
චිත්‍ර ගුරුවරයා දැක්කා ඊට වඩා දෙයක්. ගෙදරක් පසුබිම් කරගත් චිත්‍රයේ බාගෙට ඇරුණු ගේට්ටුවක් ළඟ පුංචි දරුවෙක් ඉන්නවා. එයා පාර දිහා බලාගෙන ඉන්නවා. පාරේ එනවා වැඩට ගිහින් එන තාත්තා. එතකොට මේ දුව ඉන්නේ තාත්තා එනකල්.
“මොකද්ද මේ චිත්‍රයෙන් කියවෙන්නේ දුවේ?”
“ මේ මගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර එනවා. මම හැන්දෑවට හැමදාම බලාගෙන ඉන්නවා එයා එනකල් . ඒක තමා මම ඇන්දේ...”
“ඇත්තද දුවේ ..... ඇයි ඒ තරම් ආසා දුව තාත්තා හවස ගෙදර එනවට..?”
“ඒ මගේ තාත්තාට කවදාකවත් හවසට ගෙදර එන්න නැති නිසා... ඒ කියන්නේ ...ඒ කියන්නේ එයා රෑ වැඩ රස්සාවක් කරන්නේ... මම හින්දා... ඒත් මම  ආසයි තාත්තා හවසට ගෙදර එනවා නම්... ඒකයි...මේ ඇන්දේ ”
චිත්‍ර ගුරුතුමා ආයාසයකින් කතාව වෙනස් කලා.
“ කොච්චර හොඳ හැඟීමක්ද බලන්නකෝ.. ඉතිං දුව කියන්න බලන්න මේ චිත්‍රයේ තාත්තාගේ සපත්තු දෙක මෙච්චර ලස්සනට ඇඳලා තියෙන්නේ ඇයි කියලා...” චිත්‍ර ගුරුතුමා  ආපහු අහනවා.
“ මගේ තාත්තට කිසි දවසක මේ වගේ සපත්තු දාන්න ලැබෙන්නේ නෑ... එයාගේ කකුලක් නෑනේ... මං ආසයි මගේ තාත්තාට ලස්සන සපත්තු දෙකක් දාන්න ලැබෙනවා නම් ඒකයි මෙහෙම ඇන්දේ ...”