Wednesday, September 7, 2016

පට්ට


“අනේ රාළහාමි මගේ එහා ගෙදර මහා නැහැදිච්ච ගෑණියක් ඉන්නේ.......” සුළු පැමිණිලි අංශය‍ට ආව කාන්තාව එතන පුටුවේ ඉඳගෙන හිටපු පොලිස් නිලධාරියාට කීවා.

දවසට අප්‍රමාණ පැමිණිලි ගානක් එන තැනක‍ ඉතිං  මහා දේකුත් නෙවේනේ මේක. ඒ වුනත් හිසකේ අවුල් වුන , බාගට සෙරෙප්පු දමා ගත් , කිසිම ලකයකට ඇඳුමක් ඇදලා නොහිටපු කාන්තාවගේ හිතේ ලොකු පටලැවිල්ලක් තියන බව  රාළහාමිට තේරුණා.

“ඇයි මුකුත් තමුන්ගේ මහත්තයා එක්ක මොකක් හරි..................’’

“නෑ.........නෑ.....මම තාම බැඳලත් නෑ.... අපි නම් නම්බුකාර විදිහට ඉන්නවා. ඒත් මෙහෙමත් ගෑනු!”  කාන්තාව ආයෙමත් කම්පා වුනා.

“හරි පැමිණිල්ල ලියමුකෝ. මොකක්ද දැං කාරණාව?’

“රාළහාමි මම ඉන්නේ අපේ පරම්පරාගත ගෙදර. අපේ මල්ලිලා කවුරුත් මේකට අයිතිවාසිකම් කියන්නේ නෑ. හැමෝම කැමැත්තෙන් මට මේක දුන්නා. මාව බඳින්න නම් ඕන තරම් අය ඉන්නවා. මේ දැං උනත්. මම නම් එහෙම කැමති වෙන්නෑ. හොඳ හැදිච්ච කමක් තියන අය එහෙම ආවට ගියාට මගුල් තුලා හොයා ගන්නේ‍ නෑනේ.... ඕන කෙනෙකුගෙන් අහන්න රාළහාමි මම කොහොම කෙනෙක්ද කියලා.......”

රාළහාමි පෑන පැත්තකින් තියලා කාන්තාවගේ  උඩ ඉඳලා පල්ලහාට බැලුවා. තැනින් තැන සුදුවුන හිසකේ, තරබාරු ශරීරය, බාගට නියපොතු ගෙවුන ඇඟිලි නිසා අවුරුදු පනහකට වැඩි පෙනුමක් තිබුණා.

“දැං ප්‍රශ්නේ මොකද්ද?”

“මේකයි රාළහාමි, හැදිච්ච කමක් නැති ගෑණියකට මොනවා තිබුණත් මොකටද නේද?”

“ඒක ඉතිං පැමිණිල්ලක් නෙවේනේ.......”

“’අපේ එහා පැත්තේ ඉඩමේ අලුතින් ගෙයක් හදාගෙන ගෑණියක් ආවා පදිංචියට. අනේ ගෙවල් කීවට අපේ ගෙවල් අහලකින් තියන්න බෑ. බිත්ති වලට ගල් අල්ලලා. ගල් කනු දාලා, මහා  ලොකු හුළං කපොලු දාලා..... එක මලක් වත් පිපෙන්නේනැති මල් පෝච්චි තියාගෙන...”

“ම්හු..... ඒකෙත් පැමිණිල්ලක් දාන්න තරම් දෙයක් නෑ....”

“නෑ... නෑ...... මේකයි කාරනේ .......... මේ ගෑනි පෙන්නගෙන ඉන්නේ හරි වැදගත් විදිහට. තනියම කාරකේ යනවා එනවා... මොකද්ද ලෙච්චර් දෙන තැනකලු. නිකමටවත් අහල  පහල කඩේකට යන්නෑ. කිසි කෙනෙක් එක්ක ඇයි හොඳයියක් නෑ. කොටින් ම කීවොත් ගෙදරට ලඟට එන කීර කාරයාවත් බෙල් ගැහුවට එන්නෑලු. මෙහෙම කෙනා නාන්නේ  නිර්වස්ත්‍රයෙන්. ඇදුමක් නැති ගානයි. පොත්ත සුදු වුනා කියලා හැදිච්ච ගෑනියකුට මේවා කරන්න පුළුවන්ද?”

“මොනවා ........ ප්‍රසිද්ධියේ  එහෙම නානවද?’

“ඒකනේ කියන්නේ...” කාන්තාවගේ හඩ ප්‍රබෝධමත් වුනා. “හැමදාම එහෙම තමා .. මටත් අහක බලාගෙන ඉන්න තිබුණා මේ ඉලන්දාරි ටික නොහියා නම්”

“ඉලන්දාරි කිව්වේ........?”‍                                                                                                                                 

“ආ......... මම ඉතිං මේ නිකං තියන ගෙදර පිරිමි ළමයි ටිකකට නවාතැන් දීලා තියනවා. මට ඇහිලා තියනවා කට්ටිය මේ ගෑනි ගැන කියනවා . මොකද්ද වචනයක් මේ .... ඒංජල් ද මොකද්ද වගේ කීවා. නම වෙන්ඩැති... මට බය මේ ගෑණි නාන විදිහ දැක්කොත් ... අනේ මේ  අපිටත් ලැජ්ජයි....”කාන්තාව උරහිස් ඇකිලුවා. “ මේ කොල්ලෝ මම ගැනත් ‍මොනවා කතා වෙනවාද දන්නෑ. දවසක් මේ ළමයි අපේ ළඟ ඉද්දී ‍මේ ඉස්කුරුප්පුව කිරිස් ගාලා කාර් එක ගසාගෙන ගියා. කොල්ලෝ පට්ට  කීවා. නොකීවට රාළහාමි මේ ගෑනුන්ට කියන  වචනය ඕක තමා....” කාන්තාව ලොකු හුස්මක් ඇරියා.

“මට මේක මහා වදයක්. රාළහාමි මේ පැමිණිල්ල ලියාගන්න.”

“හොදයි. තමුන් ගේ පැමිණිල්ල ගැන ඔය කියන  ඒංජල්  නෝනා ගෙන්නලා බලමු...”

හිතේ පිරුණු සහනයෙන් කාන්තාව නැගිට්ටා.  ඒත් ආපහු ඉඳගත්තා.

“මට මේ ඉවසන්නම බැරි වුනේ පෙරේදා ඉඳන් ඔය බැඳලා ඉන්නවා කියන සුද්දා එක්කත් අර විදිහටම නානවනේ. මොකද මේ රටේ මිනිහෙක් ඉන්නේ එයාට විතරයෑ..ඒ මිනිහා ගෙන්න ගත්තේ මට පෙන්නන්න වෙන්න ඇති”

තව  දේවල් කියන්න උවමනාව තිබුණත් රාලහාමි ඔලුව දුන්න සංඥාව තේරුම් අරං කාන්තාව  ලොකු හිනාවක් දාලා පොලීසියෙන් පිටවුණා.

මොකක්  හරි හේතුවක් නිසා  පරික්ෂණය ඉක්මන් වුනා. රාලහාමි ගියා පැමිණිල්ලටයි විත්තියටයි‍ පොලිසියට එන්න කියලා නිල දැනුම් දීම කරන්න. පැමිණිලි කාරයාගේ ගෙදර හොයා ගත්තා කියන්නේ විත්තිය එහා පැත්තේ ගෙදර ඉන්නවා කියන එකනේ.

බොහෝම පරණ තාලේ  ගෙයක් තමා දිලා තිබුණ ලිපිනයට අදාල වුනේ. ගෙදර පරණ වුනාටත් වැඩියෙන් පරණ කම කැපිලා පේන්නේ එහා පැත්තේ තිබුන නවීන පන්නේ ගෙදර නිසා. ‍අළුත් ගෙදර ජර්මන් තාලෙට හදලා තිබු‍නේ.  තොරතුරු ලබා දීමේ ‍හොඳකම නිසා ‘ ඒ ගෙදර ඒන්ජල් නෝනාගේ බව රාලහාමිට තේරුම් ගියා. පරණ ගෙදර මලකඩ කාපු ගේට්ටුව හිමින් තල්ලු කරගෙන ගිහින් දෙපාරක් විතර දොරට තඩිබාන කොට අර කාන්තාව අත් දෙක හවුස් කෝට් එකෙන් පිහපිහා දුවගෙන ආවා.

“හොඳ වෙලාවට රාලහාමි ආවේ . මේ අර ගෑනි නාන වෙලාව.. අද නම් සාක්කි ඇතුවම උසාවි දාන්න පුළුවන්....” එයා සතුටින් කීවා.

ඒ ගෙදර පරණ වහලේ කඩා වැටෙයි කියලා හිතුනා මේ කෑ ගැහිල්ලට. කොහෙමත් අයිතිකාරයාත් ඒ ගෙදරම කොටසක් වගේ. කිසිම නඩත්තුවක් නැතුව අභාවයට යමින් තිබුණා.

“අර ඉලන්දාරි නවාතැන් අරං ඉන්නේ කොයි පැත්තෙද?”

“අනික් පැත්තේ ..” කාන්තාව වම් අත පැත්තේ තියන ගෙට අල්ලපු කුඩා කාමර තුනක් පෙන්නුවා. ඒකයි මහ ගෙදරයි සම්බන්ධ වෙන්නේ පොඩි ගේට්ටුවකින්. අර කියන නෝනගේ ගෙදර ති‍යෙන්නේ ගෙට දකුණ පැත්තෙන්.

“එහේ ඉන්න ඉලන්දාරින්ට මේ පැත්තට එන්න පුළුවන්ද?”

“අපෝ බෑ.. මම මේ ගේට්ටුව වහලාමයි තියන්නේ.”

“එතකොට අර කියන ගෙදරට යන්න කොහොමත් බැරුව ඇති. පේන්නෙත් නැතුව ඇති”

“අපෝ බෑ....”

“දැං ඔය තැනැත්තී කොහොමද අර  නෝනා නානවා දකින්නේ?” රාලහාමි කුතුහලයෙන් ඇහුවා.

“එන්නකෝ රාලහාමි පෙන්නන්න ...” කාන්තාව රාලහාමිට ඉස්සර වෙලා ගියා. එහා ගෙදර බිත්තියයි මේ ගෙදරයි අතරේ අඩි දෙකක විතර පරතරයක් තිබුණා. දිය සෙවල බැදිච්චි බිත්තිය මග ඇරලා කඩා වැටිලා තිබුණ වැහි පිහිලි උඩින් පැනලා කුණු ගඳ ගහන කානුව දිගේ දෙන්නම දුෂ්කර ගමනක් ආවා.

“මම මේ පැත්ත පාවිච්චි කරන්නේම නෑ. අතෑරලාමයි තියෙන්නේ” කාන්තාව කිව්වා.

“මේන් මෙතන මේ ගැලවිච්ච ගඩොල් දෙකට අඩිය තියලා නගින්නකෝ”.

රාලහාමි විධානයට අවනත වෙලා බයෙන් වගේ කඩාවැටෙන්න ඔන්න මෙන්න තියන තාප්පෙට නැග්ගා.

“තව ගල් දෙකක් නගින්න... රාලහාමිත් නැග්ගා. මැසි මදුරුවෝ එලව එලවා පහර දෙන්න පටං අරං...

“දැං රාලහාමි  ඔය උඩ තියන බාල්කෙට දාලා තියන ලනුවේ එල්ලිලා තාප්පේ හිලෙන් අර ගෙදර පැත්ත බලන්නකෝ”

ලනුවේ එල්ලුන සර්කස් කාරයා වගෙ රාලහාමිත් කැරකි කැරකි තාප්පේ හි‍ලෙන් බලං හිටියා. ඒන්ජල්සා බලන්න ලේසි නෑ.

ජර්මන් ගෙදර නෝනා  මේ කිසි දෙයක් දන්නෑ. එයා එයාගේ මහත්තයා එක්ක තමන්ගේ නාන තටාකෙට බැහැලා ඉන්නවා. ලෝකේ සම්මත නාන ඇඳුම් තමා ඇඳලා ඉන්නේ. බොහෝම විවේකී තැනක්. ඒ වගේම බොහොම පෞද්ගලික තැනක්. තමන් එල්ලිලා ඉන්නේ ලනුවක බව රාලහාමිට මො‍හොතකට අමතක වුනා ඒන්ජල් නෝනාගේ ලස්සන දැකලා. ඇත්තටම කොල්ලෝ දාපු නම හරි. ගෙදරත් දිව්‍ය ලොකේ වගේ තමා

“නානවා නේද? හරිම හිරි‍කිතයි නේද? අපායෙන් කතා කරලා ඇහුවා.

තමන් ආවේ රාජකාර ගමනක් බව මතක් වෙලා රාලහාමි බිමට බැස්සේ  බාගෙට ගැලවුන ග‍‍‍ඩොල් වලට වැලමිටි දෙකම හූරාගෙන. සපත්තු දෙකේ දිය සෙවල ඇලිලා.

“දැක්කා නේද? මම කීවේ. අපේ වැදගත් කම... “   රාළහාමිගේ රැවිල්ලට කතාව අතරමග නැවතුනා. කකුල්‍ දෙක පොලවේ ගහලා දිය සෙවල ඇර ගත්ත රාලහාමි අඩියට දෙකට ගේට්ටුව පැත්තට දීවා.

“ රාළහාමි කවදද ඒ ගෑනි පොලිසියට ගෙන්නනේ ....”

“ඕයි... අඩුම ගානේ නෝනා දවසට සැරයක් හරි වතුරට  බහිනවනේ..  තමුනුත් ඒක බලලා නිකං ඉන්නේ නැතුව දවසට සැරයක් හරි මූණ කට  හෝදලා දත් ටික මැදගන්නවා.... දඩාස් ගලා ගේට්ටුව වහගෙන එලියට  පනින ගමන් රාළහාමි  කීවා.

කාකි කෝට් එකට  වැහුනට මොකද වැලමිටි දෙක සීරුවට ඇදුම් කනවා.

“පට්ට තමා.......”රාළහාමි තමුන්ටම  කියාගත්තා.


Friday, August 26, 2016

රාජකාරි‍ය




කොළඹ ්‍රධාන පාසලක ත්‍යාග ප්‍රදානෝත්සවයක්. රටේ නම ගිය අය සහභාගී වෙන්නේ ඒ පාසලේ ආදි සිසුන් විදිහට. ඒ හැමෝම මේ විදිහට තමන්ගේ පාසලේ ත්‍යාග ලබා ගත්ත අය. පාසලෙන් ලබපු ඇගයුමටත් වඩා ගෞරවයක් විදිහට සැලකෙන්නේ මේ උත්සවයට ආරාධනා ලැබීම. තමන්ගේ අතීතය දිහා හැරිලා බලලා සතුටු වෙන්න මේ පුටුවල ඉඳගන්න අයට පුළුවන්. තමන් එක්ක එකට විභාග ලියපු , සෙල්ලම් කරපු, බාහිර වැඩ වල යෙදුන අය නැවත මේ විදිහට හම්බවෙන්නේ නමේ ඉස්සරහා ආචාර්ය, මහාචාර්ය වගේ කෑලිත් එක්ක. එක්‍කෙනෙකුට එක්කනෙක් නොදෙ‍වනි වෙන විදිහට නිලතල , බලතල වගේම පෙනුමත් . එහෙම වෙලාවට හිතෙනවා අපේ රටේ ඉන්න හැමෝම මේ මට්ටමේ ‍නේද කියලා. මේ ඉස්කෝලේ කවදාවත් දේශපාලඥයෙක් ඇවිල්ලා තෑගි දෙන්නේ නෑ. ඒ වාසනාව ලබන්නේ පාසලේ රන් පදක්කමක් දිනපු දක්ෂතම ශිෂ්‍යයා. ඒකට  සීතල තරඟයකුත් ආදි සිසුන් අතරේ තියනවා.

මේ අවුරුද්දේ ආරාධනාව ලැබුවේ අමාත්‍යාංශයක ඉහලම නිලධාරියෙක්. එයා ආදි සිසුවෙක් වගේම පාසලේ දෙමව්පියෙක්. ඒත් කිසිදාක දරුවගේ පන්ති රැස්වීම් වලට ඇවිත් නෑ. ඒ ඇත්තටම කාර්ය බහුල නිසා. ඉස්කෝලේ කාලේ හැම අතින්ම කැපිලා පෙනෙන චරිතයක්. මුළු පාසල් ජීවිතේටම දින දහයයි නෑවිත් තියෙන්නේ. එයා ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුන දවසේ භාර ගුරුතුමා විශේෂ කතාවක් කළා. පාසලට පළවෙනියටම එන අන්තිමටම පාසලෙන් පිටවෙන ළමයාට ශිෂ්‍ය නායකකමක් අළුතින් දෙන්න දෙයක් නෑ කියලා තමා කීවේ. ඉස්කෝලේ පවත්වා ගත්ත විනය ඒ විදිහටම පවත්වාගෙන තමන්ගේ රාජකාරි ජීවිතයත්  ගෙදර ජීවිතයත් දෙකම  සාර්ථක කරගන්න එයාට - අමරසිංහ මහත්තයාට පුලුවන් වුනා.

ආරාධනාව ලැබුන වෙලාවේ ලොකු සතුටක් දැනුනත් ඒක පිළිගන්න අමරසිංහ ටිකක් අදිමදි කළා. ඒ දවස්වල රටේ නාය යෑමක් නිසා පවුල් ගණනාවක් අනාථ වෙලා හිටියේ. ඒ වැඩ කටයුතු ගොඩක් තමන්ගේ අතේ තිබුණ  එක තමා ප්‍රශ්ණය. ඒත් තමන්ට මෙච්චර අලෝකයක් දුන්න  පාසලේ විදුහල්පතිතුමාගේ ඉල්ලීම ප්‍රතිෂේප කරන්නේ කොහොමද?   දැන් ප්‍රධාන අමුත්තාගේ  සහභාගී වීම හරි.

ඊළඟ දවසේ  අමරසිංහගේ පුතා ගෙදර ආවේ උඩ පැන පැන. තෑගි‍ දෙන දවසේ අමුත්තෝ පිළිගන්න එයාව තෝරාගෙන. ඒකත් සුළුපටු ගෞරවයක් යෑ.......

උත්සවේ දවසේ පාන්දර පහට  අමරසිංහ මහත්තයට කෝල් එකක් ආවා. තවත් නාය යාමක් වෙලා . එයා යන්නම ඕන එතෙන්ට. හවස හතරවෙනකොට උත්සවයට යන්න ගෙදර එන පොරොන්දුව පිට කොළඹින් පිටත් වුනා. අම්මයි පුතයි දවල් දොලහේ ඉඳන් මග බලනවා. දෙන්නම ලෑස්ති වෙලා පැය දෙකක් විතර බලාගෙන හිටියා. තව පැය බාගයයි උත්සවේට. පුතාට ඉස්කෝලෙට  එන්න නියම කරපු වෙලාව පහු වෙලා පැයකට වැඩියි. තමන්ට නම් කිසිම සමාවක් නැති බව පුතා දන්නවා.  මොනම හේතුවකටවත් පරක්කු වෙලා අමුත්තන් පිළිගන්න වැඩේට එන්න එපා කියලා ඒ රාජකාරිය  බාර දීලා තිබුන ගුරුතුමී කීවේ. එයා කතා කිසි දෙයක් කතා කරලා විසඳා ගන්න පුලුවන් කෙනෙක් නෙවේ.

විනාඩි විස්සක් තියලා ප්‍රධාන අමුත්තා ගෙදරට සැපත් වුනා. මඩ ගෑවුන කකුල්, අවුල් වුන හිසකේ දැකලා  පුතා තාත්තාගෙන් ප්‍රමාදයට හේතුව ඇහුවේ නෑ. විනාඩි පහෙන් අමරසිංහ මහත්තයා ලෑස්ති  වුනා.

“ දුක් වෙන්න එපා පුතේ. ඔයාට ටිකක් ප්‍රමාද‍ වෙලා උත්සවට යන්න පුළුවන්. ඔයාගේ ඉස්කෝලේට කිසි දෙයක් වෙලා නෑ. ඒත් අර දරුවන්ගේ ඉස්කෝලේ වැහිලා තියෙන්නේ ඒ ළමයින්වත් ගෙවල් වලට යට කරගෙන......”

පුතා එක මොහොතට තාත්තා කීව දේ තේරුම් ගත්තා. තමන් මේ නොසන්සුන් වෙලා ඉන්නේ කොච්චර සරල දෙයකටද කියලා හිතුනාම හිත සැහැල්ලු වුනා.

අම්මයි , තාත්තයි , පුතයි ඉස්කෝලෙට යනකොට පැය බාගයක් ප්‍රමාද වෙලා. හැම දේම ලෑස්තියි  ප්‍රධාන අමුත්තා පිළිගන්න. අම්මා පුතාවත් අරගෙන අමුත්තෝ පිළිගන්න ලෑස්තිවෙලා ඉන්න තැනට ගියේ ඒ ගුරුතුමීට කාරණාව  කියලා සමාව ඉල්ලන්න.

එක වචනයක් කියන්න ලැබුණේ නෑ.

“මොකද ළමයෝ වෙලාවක් කීවම එන්න දන්නේ නැද්ද? අම්මලා තමා මේ ළමයිව නරක් කරන්නේ. මේක ඉස්කෝලයක්. යනවා පෝළිමේ පිටිපස්සට. මේ ළමයට බෑ ප්‍රධාන අමුත්තා පිළිගන්න. ඒ වගේ වැදගත් කෙනෙක්ට අගෞරවයක් ඒක.මට කාරණා පැහැදිළි කරන්න එපා. කරුණාකරලා උත්සවේ ඉවර වෙලා ප්‍රින්සිපල් හම්බවෙන්න එන්න” ගුරුතුමී කඩා පැන්නා.

අම්මාවයි , පුතාවයි දන්න ගුරුවරයෙක් මැදිහත් වෙලා   ‍අමරසිංහ මහත්මියව ප්‍රධාන ළඟට අරන් ගිහින්  ප්‍රධාන අමුත්තා ළඟ හිට්ටව්වා. ඔක්කොම හරි.  බෑන්ඩ් එක ගහලා අමුත්තන් පිළිගත්තා. ඉස්කෝලේ ළමයි ප්‍රධාන ශාලාව ලඟ පේළියට හිටයා බුලත් අරගෙන. ඉස්සරලා කීව ගුරුතුමී ප්‍රසන්න හිනාවක් එක්ක පළවෙනියට හිටපු දරුවා ‍යොමු කරා ප්‍රධාන අමුත්තා ළඟට . ‍දෙවනියා අමුත්තාගේ පිය බිරිඳ ‍ අමරසිංහ මහත්මිය ළඟට කිට්ටු කරවලා  ගුරුතුමී ඔලුව උස්සලා බැලුවා.

මේ මොහොතකට කලින් තමන් බැන වැදුනේ ප්‍රධාන අමුත්තාගේ බිරිඳටයි පුතාටයි බව  දැනගත්තාම එයාගේ ඔලුව බිමට නැමුණා. ඒත් තමන්ගේ අත අල්ලලා අමරසිංහ මහත්මිය කීව දේ හිත පතුලටම දැනුනා.

“ඔයා ඔයාගේ රාජකාරිය හරියටම කරන කෙනෙක් නිසා තමා කලබල වුනේ. ප්‍රශ්ණේ වුනේ මගේ මහත්තයත් ඒ විදිහම කෙනෙක් වුන එක. අපි මොකටද ඒ ගැන හිත නරක්කරගන්නේ .....”

Thursday, July 21, 2016

රුවට යටින්


 

චැන්ගි ගුවන් තොටුපළ පැය විසිහතරම හරිම ක්‍රියාශීලී තැනක්. ඒත් කිසි කලබලයක් මතුපිටින් පේන්නේ නෑ. රාජකාරි ගමනකින් පස්සේ බංගලාදේශයේ ඉඳන් ඇවිත් මම මේ ගුවන් තොටුපලට වෙලා බලාගෙන ඉන්නේ මගේ පවුලේ තුන්දෙනා එනකකල්. මම එනකොට උදේ පහ හමාරයි. එයාලා එන්නේ උදේ හත හමාරට. පැය දෙකක් මම කොච්චර නොඉවසිල්ලකින් ගෙවන්නද? ගුවන් තොටුපලෙන් එලියට ඇවිල්ලා මම කැෆේ එකක අයිනේ ආසනයක ඉඳ ගත්තා. බොහොම හිමින් කිරි තේ ලොකු කෝප්පයකුයි ටෝස්‍ට් කරපු පාන් පෙති කීපයකුයි කාලා වෙලාව බැලුවා. විනාඩි පහළවයි ගිහින් තියෙන්නේ. නිදිමතට ඇස් වැහෙනවා. අනික් පැත්තේ තියන දිග ආසනයකට මාරු වුනේ ටිකක් හරි නිදාගන්න බලන්න. එක පාරයි ඇස් වැහුනේ.

“ඔයා ලංකාවෙන් නේද?” මට ඉස්සරහා හිටිය අවුරුදු පනහක විතර පිරිමි කෙනෙක් දෙමළ උච්චාරණයක් සහිත ඉංග්‍රීසියෙන් ඇහුවා.

“ මම බෑග් එකේ ලියලා තියන එකෙන් දැනගත්තේ. හිටියා. අසනීපයක් වෙලා මම ගිය මාසේ ලංකාවේ හොස්පිටල් එකක හිටියා” එයා ස්වේච්ඡාවෙන් කීවා.

ඒ විශ්වාදරන්. ඉන්දීය ජාතිකයෙක්. විද්‍යා උපාධිධාරීයෙක්. රජයේ නිලධාරියෙක් විදිහට සේවය කරලා දුවලා දෙන්නගේ අධ්‍යාපන වැඩ නිසා කලින්ම සේවයෙන් අයින් වුනා කීවා. එයා බිරිඳ නැතිවුන දවසේ ඉඳලා දරුවෝ දෙන්නා ජීවිතේ එකම වස්තුව විදිහට සලකලා ජීවත් වෙන කෙනෙක් බව මට දැනුනා.

“මම මගේ දුවලා දෙන්නයි මහත්තයයි එනකල් මේ ඉන්නේ?” නිකම්ම කට පියාගෙන ඉන්න බැරි නිසාත් වෙන මොකක් හරි හේතුවක් නිසාත් මම කීවා.

“දුවලා දෙන්නෙක්.......... ? දෙන්නම දුවලද?”  විශ්වා බයවෙලා වගේ ඇහුවා.

මට දුවලා දෙන්නෙක් ඉන්න එකට එයා බය වෙන්නේ ඇයි?

විශ්වා ලොකු හුස්මක් පහළ දාලා කතාවක් පටන් ගත්තා.

“ මම මේ කතාව කාටවත් කියන්න හිතුවේ නෑ... ඒත් මට දැං ඒක කියන්න හිතෙනවා. මම බොහොම සැපට මගේ පොඩි කාලේ ගෙවපු කෙනෙක් . මගේ අම්මටයි තාත්තටයි හිටියේ මම විතරයි. මම ඉගනගන්න ගොඩක්  උනන්දුවක් දක්වපු කෙනෙක් නෙවේ. ඒත් ‍විද්‍යා උපාධියක් ගත්තා. ලේසියෙන්ම රස්සාවක් හොයා ගත්තා. අනික් අයට තිබුණ ප්‍රශ්ණ මට තිබුණේ නෑ. එකම ප්‍රශ්ණයකට තිබුණේ මට පොඩි කාලෙම බඳින්න කතා කරලා තිබුණ මගේ නෑදැයෙක්ගේ දුවව කසාද බඳින්න මට බෑකියලා හිතුන එක. මම ගෙදරට ඒ ගැන කීවා. අම්මයි තාත්තයි විරුද්ධ වුනා මම සාවිත්‍රි ඒ ‍කියන්නේ  මට කැම්පස් එකේදී හමුවුන ගෑණු ළමයා බඳිනවාට. මම එයාව බැන්දා. මුම්බායට මාරුවක් හදා ගත්තා. අතේ තිබුණ සල්ලි වලින් ගෙයක් ගත්තා. කාරෙකක් ගත්තා. අපි දෙන්නා හරිම හොඳ ජීවිතයක් පටං ගත්තා. මුබ්බාය කියන්නේ ෆිල්ම් වලට හැදුන තැනක් . අපි දෙන්නා හැමදාම ෆිල්ම් එකක් බලන්න ගියා. ඒ ෆිල්ම්වල හිටපු නිළියන්ට වඩා සාවිත්‍රි ගොඩක් ලස්සනයි. කොටින්ම කියනවානම් එයා යනකොට නිළියොත් හැරි හැරී බලනවා. මම ඒකට ගොඩක් ආඩම්බර වුනා. මම හැමතිස්සෙම එයාගේ ලස්සන පරෙස්සම් කරන්න හැදුවේ. සාවිත්‍රි රස්සාවකට යැව්වෙත් නෑනේ මම. එයා දවසම ගෙදරට වෙලා අව්වෙන් වැස්සෙන් පරෙස්සම් වෙලා , රූපේ ලස්සන වෙන දේ කාලා, මූණේ ගාලා  තවත් ලස්සන ‍වුනා. ඒත් ඒ වගේ ලස්සනක් දැකලාවත් අපේ අම්මගේ හිත හැදුනේ නෑ. මගේ විනාසය ඕක තමා කියලා කීවේ. ටික දවසක් යන කොට සාවිත්‍රිට නිළියක් වෙන්න ඕන වුනා. මම ඒකට නම් අවසර දුන්නේ නෑ. අපි දෙන්නා ගැටුම් ඇති කර ගත්තා ඒ නිසා. සාවිත්‍රි නොකා නොබී දුක් වුනා මගේ තීරණයට . අන්තිමට එයා තීරණය කළා එයාට බැරි දේ එයාගේ දරුවෝ ලවා කරවන්න. එයා හිතුවා වගේම අපට දෙපාරම ලැබුණේ දුවලා දෙන්නෙක්. පොඩි කාලේ ඉඳලාම ලස්සනයි. අපේ ලොකු දුවට අවුරුදු 5ක් වෙනකොට පොඩි දුවත් ලැබුණා. මුම්බායේ තියනවා රූප රැජිනියෝ බිහි කරන පාසල්. සාවිත්‍රි ලොකු දුව අවුරුදු හය සම්පූර්ණ කරනකල් බලාගෙන ඉඳලා එයාව ඒ පාසලකට දැම්මා තනි කැමැත්තට. ඒ පා‍සලෙන් කරන්නේ රූප රැජිනියකට ඒ තරඟවලට ගිහින් දිනන්න අවශ්‍ය සියළුම දේ උගන්නන එක. සාවිත්‍රිගේ ගතිගුණම දුවට ඇවිත් තියන නිසා වෙන්න ඇති එයා හරිම දක්ෂ විදිහට ඒ දේවල් ඉගන ගත්තා. ගෙදර ඇවිත් ඇවිද්දෙත් ඒ උගන්නපු විදිහට. මටත් හිත යටින් ආඩම්බරයක් දැනුනා. ඒත් අපි ඉගන ගත්ත දේවල් ඉගන ගන්න ඒ ළමයට අවස්ථාව නැති වුනා නේද කියලා මගේ හිතේ හැම වෙලාවෙම තැවුලක් තිබුණා......”

විශ්වා කතාව නවත්තලා වතුර බෝතලෙන් වතුර ටිකක් බීවා. ඒ බෝතලේ වතුර ප්‍රමාණය පැහැදිලිව සටහන් කරලා තිබුණා. එහෙම මැනලා වතුර බොන්නේ එයාගේ අසනීපය නිසා බවත් මට කීවා. ආයම කතාව.

“සාවිත්‍රි මගේ විරුද්ධත්වය තකන්නේ නැතුව පොඩි දුවවත් ඒ ඉස්කෝලෙට දැම්මා. සාවිත්‍රිට වෙන ලෝකයක් නෑ. දුවලට කෑම හදනවා. ඇඳුම් හොයනවා. සපත්තු හොයනවා. ඒ තරඟ වලට ගෙනියනවා. කොටින්ම කීවොත් අපේ ගෙදර එකම දේ වුනේ රූප රැජිනියක් බිහිකරන අරමුණට වැඩ කරන එක විතරයි. මම හම්බ කරන දේ මදි වුනා වියදම් කරන්න. මට ඕන වුනා ළමයි දෙන්නා සාමාන්‍ය ඉස්කෝල දෙකකට දාන්න. ඒ වෙලාවේ තුන්දෙනාම මට විරුද්ධ වුනා. මම ගොඩක් අසරණ වුනා. මම ටික ටික මගේ ඉතුරු කරලා තිබුණ සල්ලි වියදම් කරලා ඉවර කළා. දුවලා දෙන්නගේම නහයේ හැඩ වෙනස් කළා ප්ලාස්ටික් සර්ජරි කරලා. තව දත් හදන්න ගොඩක් වියදම් කළා. මට අම්මාගෙන් තාත්තාගෙන් කිසි දෙයක් ලැබුණේ නැති වෙලා මම ණය වෙලා හිටියේ. ඒත් මගේ දුවලා දෙන්නා යන යන තරඟ වලින් දිනනවා. ඒ දෙන්නා ගැන ඉන්දියාවට බලාපොරොත්තු තියාගන්න පුළුවන් බව තමා විදුහල්පතිනිය කීවේ.එයාලට පිටරට තරඟයකට යන්න අපේ ගෙදර විකුණන්න වුනා. ඒකට මම අකමැති ‍වුනා අන්තිමට සාවිත්‍රි එයා දිවි නසා ගන්නවා කියලා මට තර්ජනය කළා. මට ඒකටත් කැමති වෙන්න වුනා. මට ඉතුරු වුනේ රස්සාව විතරයි. අන්තිමට සාවිත්‍රි සල්ලි නැතුව ඇති වුන ප්‍රශ්ණ නිසා දිවි නසා ගත්තා. මට දුවලා දෙන්නාව  ඉස්කෝලෙන් අස්කරගන්නත් බෑ . වියදම් කරන්න සල්ලිත් නෑ. මේ අතරෙදි මගේ රස්සාවත් නැතිවුනා. ලොකු දුවගේ අවසාන අවුරුද්දේ තරඟයට ලක්ෂ ගාණක් වියදම් කරන්න වෙනවා කියලා දැනගත්ත දවසේ මටත් සාවිත්‍රි කරගත්ත දේම කරගන්න හිතුනා. ඒත් මම දරුවෝ අතෑරලා ගියොත් එයාලා තනි වෙනවා කියලා මට දැනුනා.”

“කොහොමද සල්ලි හොයා ගත්තේ...? විශ්වා හරිම අසරණ හිනාවකින් උත්තර දුන්නා.

“මම ඒකට තමා ලංකාවට ගියේ...”

“ඒ ගියේ අසනීපෙකට කියලනේ කී‍වේ ?” මම ඇහුවා.

“නෑ .... මම මගේ වකුගඩුවක් විකුණුවා... මට කරන්න තිබුණේ ඒ දේ විතරයි. මට ඒක කරන්‍න කීවෙත් මගේ දුව.. මේක ඉන්දියාවෙයි ලංකාවෙයි කෙරෙන බිස්නස් එකක්.  මට කිසි දුකක් නෑ මට ඕන සල්ලි ලැබුණා. මගේ දුවට මිස් ඉන්දියා වෙන්න ඉදිරිපත් වෙන්න ඉස්කෝලේ අනුමැතිය ලැබුනා.”

මම කැළඹුන සිතුවිලි වලින් විශ්වා දිහා බලාගෙන හිටියා.

“මම මේ සිංගප්පූරුවට ආවේ දුවලගේ වැඩකට. මට තවත් සැනසීමක් නෑ ‍මේ දේවල් වලින්....”

“ඇයි දැන් දුවගේ ප්‍රශ්ණේ හරිනේ... එයා දිනුවම හැම දේම හරියයි...” මම කීවා.

“ නෑ ... දැං අනික් දුව මට බලකරනවා මගේ අනිත් වකුගඩුවත් විකුණලා එයාගේ වියදම් ටික කරන්න කියලා....”

මම ඉහලට ගත්ත හුස්ම පහලට ගත්තේ නෑ.

“ඔයාටත් ඉන්නේ දුවලා දෙන්නෙක් නේද?” විශ්වා ආයමත් ඉස්සරලා අහපු ප්‍රශ්ණය ඇහුවා.

Wednesday, July 13, 2016

ගුණදාස


 

මම ගුණදාස ඉස්සරලාම දැක්කේ මගේ රස්සාවට ආව දෙවනි දවසේ. මම ඔෆිස් ගිය පළවෙනි දවසේ ගුණදාස ඇවිත් හිටියේ නෑ. දෙවනි දවසේ පඩිපෙළ උඩට නගිද්දී මට ඉඩ දීලා පොඩ්ඩක් අයින් වෙලා මූණේ පොඩි හිනාවක් එක්ක සුදු සරමකුයි කමිසයකුයි ඇඳපු අවුරුදු පනහක විතර උස කෙට්ටු කෙනෙක් හම්බ වුනා. එයා තමා ගුණදාස. අපේ රියදුරු මහතා බව දැනගත්තා පස්සේ. ඇත්තමට කීවොත් අපේ ප්‍රධානියාගේ රියදුරු. අපි දහ දෙනෙකුගෙන් යුත් විශාල කාර්යය මණ්ඩලයට රියදුරෝ තුන්දෙනෙක්ම හිටියා. ඒ අයගෙන් ගුණදාස තමා අඩුවෙන්ම අපේ වැඩ වලට ආවේ.

ගුණදාස ඇන්දේ සුදු පාට සරමයි කමිසෙයි විතරයි. දකුණු පළාතේ කෙනෙක්. ඒත් දීර්ඝ කාලයක් තිස්සේ කිරුලපනේ එයාලගේ අක්කගේ ගෙදර තමා නැවතිලා හිටියේ. කිරුලපනේ පාලම ළඟින් ඇතුලට යන පාරේ තමා ගේ තියෙන්නේ. ගුණදාස හරිම අඩුවෙන් කතා බහ කරන කෙනෙක් . මම හිතන්නේ ඒ සුදුසු කම නිසාම තමා එයා අපේ වැඩවලට නොඑන්නෙත් අපේ ප්‍රධානියාගේ වැඩ වලට එන්නෙත්. ඒ නුසුදුසු කම නිසාම , තනිකඩයෙක්.

“ගුණදාස හරි රෙගුලාසි කාරයා.........” පේරාදෙණිය කැම්පස් එකේ , අංශ ප්‍රධානියෙක් වෙලා ඉඳලා අවුරුදු ගණනාවක් දෙස් විදෙස් රටවල සේවය කරපු අපේ ප්‍රධානියා මට එයා ගැන පළමු හැඳින්වීම කරේ තද කරගත්ත හිනාවක් එක්ක.  මම අහන්නෙත් නැතුව නිධාන කතාව පටන් ගත්තා.

“ ගුණදාස  ආපු දවසේම මට  තේරුණා‍ බොහොම තැන්පත්, පිළිවෙලකට හැදිච්ච මනුස්සයෙක් කියලා. මම එයාව ගත්තෙත් ඒකයි. අනික් එක කතාව හරිම අඩුයි. මම ලෙක්චර්ස් වලට සූදානම් වෙන්නේ  කාරෙකේ යන අතරෙදි නේ. මට ඒ පිළිවෙල හරිම ලේසියි. කිසි දවසක පිටින් කන්නේ බොන්නේ නැති නිසා අතරමග ඒවට වාහන නවත්තන්නෙත් නෑ. හැබැයි හරියට දොළහට දවල්ට කන්න ඕනෑ කියලා වැඩ බාරගන්න කලින්ම මට කීවා. ඒක එච්චර දෙයක් නෙවේනේ. මම එකඟ වුනා. මම ගුණදාසත් එක්ක දෙවනි පාරට ගිය දවසේ ගියේ එම්බසි එකකට එහේ ජාතික දිනේ සමරන්න. උදේ එකොළහට ඇතුලට ගියපු මම එළියට එනකොට දෙකයි වෙලාව. අපි දෙන්නම කතාවක් නැතුව ගෙදර ආවා. වැඩ ඉවර වෙලා ගුණදාස ගියා. පහුවදා මම උදේ දහයට පදනම් ආයතනට යන්න ලෑස්තිවෙලා බලං ඉන්නවා ඉන්නවා ගුණදාස නෑ. මම කෝල් කරාම එයාගේ අක්කා කීවා මල්ලි ආය වැඩට එන්නේ නෑ මහත්තයා කියලා . මම එහෙම්මම කාරෙක අරගෙන ගුණදාස  ඉන්න ගෙදරට ගියා. මෙන්න ගුණදාස ගෙදර ඉන්නවා දොරකඩ පුටුවේ පත්තරයක් බල බලා. මම ඇහුවා ඇයි වැඩට නොඑන්න කා‍රණේ කියලා. කාරණේ එදා මම එක්ක ගිය දවසේ දවල් දොළහ පහුවෙලා එයාට කෑම කන්න බැරි වෙලා නිසා. මම කීවා මට සමාවෙන්න ආයෙමත් ඒ වැරැද්ද වෙන්නෑ කියලා. ඒ පාර එකඟ වුනා ආපහු වැඩට එන්න. එදා ඉඳන් මම දවස් දොළහට කොහොම හරි දවල් කෑම එක කන්න වැඩ පිළිවෙල හදලා දෙනවා. කොහේ ගියත් අක්කා කීයට හරි නැගිටලා හදලා දෙන කෑම එකනේ ......”

ඒ මුළු කතාවම ඉවර වෙනකල් අපේ ප්‍රධානියාගේ මූණේ තිබුනේ උපහාසයක් සහ ලැජ්ජාවක් මිශ්‍ර වුන හිනාවක්. අපේ ලොකු තැනට මෙහෙම නම් අපට මොන වගේ වෙයිද කියලයි මට හිතුනේ.

ගුණදාසක් එක්ක අපි කතා කරන්නේ බලෙන්. සමහර වෙලාවට අපි අහස පොළොව නුහුලන විහිළු කරගන්න කොට නම් එයාටත් හිනා යනවා. එතකොට තමා මම දැක්කේ ඉස්සරහ දත් දෙක නෑ කියලා. අපේ එකවුන්ටන් නෝනා කියනවා ඊළඟ ඉන්ක්‍රිමන්ට් එක දුන්නාම දත් දෙක දාගන්න කියලා. එතකොට ඔලුව බාගෙන නමලා ලාවට හිනාවෙලා ලිස්සලා යනවා. අපි මොකක් හරි හේතුවක් හොයා ගෙන පාටි දාපු දවසට ගුණදාසට මාර අප්සෙට්. මොන හෝටලේකින් ගෙනාවත් කේක් කන්නෑ. අපි බලකරන කොට තියන පුංචිම කෑල්ල අරං පහළට ගිහින් කුස්සියෙන් තියනවා.

ගුණදාස ඔෆිස් එන්නේ බයිසිකලේ. පරණ රැලේ බයිසිකලයක්. දවල්ට අපි එයාගෙන් ඒකේ යතුර ඉල්ලගෙන  බයිසිකල් පදිනවා. ඒ වෙලාවට නම් පණ යනකල් ගුණදාස හිනා.

අපේ ප්‍රොජෙක්ට්වල වැඩ වලට අපි නිතර ලංකාව පුරා ඇවිද්දා. කලාතුරකින් තමා ගුණදාස එන්නේ රියදුරු විදිහට . එදාට වාහනේ ඇතුලේ වැඩිය කෑ ගහන්නේ නැතුව යන්න අපි වගබලා ගන්නවා. රඹුටන් ගන්න, ගල් සියඹලා ගන්න නෝනිස් එකේ අළුවා ගන්න නතර කරගන්නේ වැඳලා. ඉස්සරහා බලාගෙන එක දිගට පැය ගානක්  වාහනේ  එලෙව්වත්  මැස්සෙක්වත් එයාගේ අතින් හැප්පෙන්නේ නෑ. අපි කොහේ හරි බැස්සොත් ගුණදාස වාහනේ අයිනක නවත්තලා එනවාමයි. ඇවිත් හරිම නොඉවසිල්ලෙන් අපි මොනවා හරි ගන්නකල් ඉඳලා ඉක්මනට ආපහු වාහනේට අපිට යන්න කියනවා. අපේ නවාතැන් වලට අපිව රෑ වෙන්න කලින් දාන්න ඕනෑ කියන එක ගුණදාසගේ ඔලුවේ හැම තිස්සේම තියන දෙයක්. අපි රෑ වුනාට කමක් නෑ කිව්වොත්

“මිස්ලා නං කියයි...... තනි පිරිමියා මම .. ආවා වගේම  පරෙස්සම් කරලා ආපහු ගිහින් දාන්න එපැයි” කියලා ‍බොහොම වැඩිහිටි විදිහට කියනවා.

එක දවසක් අපි පුත්තලමේ ගියා. අපි යන්නේ ගුණදාස එක්ක බව දැනගත්ත නිසා වෙලාවටත් කලින් මම ලෑස්ති වෙලා හිටියා. ඊටත් කලින් ගුණදාස ඇවිත්. අපි කියපු වෙලාවට කලින් ගමන පටන් ගත්තත් දවල් දොළහ වෙනකොට අතරමග හිටියේ. අපි දන්න තැනක වාහනේ නවත්තලා ගුණදාසට කෑම කන්න කීවා. අපි ඉතිං ශාරීරික අවශ්‍යතා කරගෙන වඩේ එකක් කාලා එහෙම ආපහු   එනකොටත් ගුණදාස වාහනේ ඉඳගෙන. කෑම කාලත් නෑ.

“මට විතරක් කන්න බෑ.......” කියලා උත්තර දුන්නා.

දොළහට කන්න දුන්නේ නැත්තං ආපහු ‍වැඩට එන්නේ නෑනේ. ඒ හින්දා අපි එදා එතන හෝටලෙන් මඩ පුවක් ගඳ ගහන හාලෙන් උයපු දවල් කෑම කෑවා ගුණදාසට එයාගේ කෑම එක කන්න කියලා.

අපේ රස්සාවේ එක අංගයක් තමා ෂොපින් යන එක. ඒකට අපි අපේ හාෆ් ඩේ එකක් කැපකරලා මාසේ අන්තිම දවසේ අවසර ඉල්ලා ගන්නවා. එදාට රාජ්‍ය අනුග්‍රහයෙන් වාහනේකුයි රියදුරු මහතෙකුයි ලැබෙනවා. බැරිවෙලා හරි ගුණදාස රියදුරු කමට ආවොත් අපි පොළිසියෙන් ෂොපින් ගියා වගේ තමා. ගියා , පළවෙනියටම දැක්ක ඇඳුම ගත්තා , ආවා.

ගුණදාස තවම බැඳලා නැත්තේ ඇයි කියන එක අපි සමහර දාට විග්‍රහ කරනවා. ගුණදාසගේ නීති රීති, කඩචෝරු නොකෑම , ඉස්සරහා දත් නැති වීම, උස වැඩි නිසා අනික් කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න බැරි වීම ආදී කාරණා නිසා යාළු වෙලා හිටපු ගෑනු ළමයා වෙන කෙනෙකුට බහ දෙන්න ඇති කියලා අන්තිමට අපිම තීරණය කරනවා.

මම ඒ ඔෆිස් එකෙන් අයින් වෙන දවසේ ගුණදාස නවත්තන්නේ නැතුව කතා කරා. කොහෙමත් මම දැනගෙන හිටියා බොහෝම හොඳ ගතිගුණ එයා ළඟ තියනවා කියලා. එදා ඒක තවත් දැනුවා. ඊට පස්සේ මට පරණ ඔෆිස් එකට ගිය හැමදාකම එයාව මුණ ගැහුණා. බොහොම හිතවත් කමට කතා කරා මාත් එක්ක.

මට ආයෙම ගුණදාස මුණ ගැහුණ දවසේ එයාට කතා කරන්න බෑ. ඒ එයාගේ අක්කලාගේ ගෙදරදී. අපේ යාළුවෙක් එක්ක උදේ මාතර යන්න පිටත් වෙච්චි ගුණදාසගේ වෑන් එක ගාල්ල හරියෙදි කන්ටේනර් එකකට යටවෙලා.  ‍ඒ දෙන්නා අඳුරා ගන්නවත් බැරි විදිහට තමයි ඒ අනතුර වෙලා තියෙන්නේ. වුනේ මොකක්ද කියලා අහගන්න දෙන්නම ජීවත් වෙලා හිටියේ නෑ. කන්ටේනර් එකේ රියදුරු කිව්වලු වෑන් එක වැරදි පැත්තෙන් ආවා කියලා. ඒත් ඒ වාහනේ පැදෙව්වේ ගුණදාස. මම එයාගේ මරණයට වඩා විශ්වාස කරනවා එයා අතින් වැරැද්දක් වුනේ නෑ කියන එක.

Monday, May 30, 2016

ඇති නැති


 

‘අපේ තාත්තාගේ තමා අර පේන හොස්පිටල් එක......’

 ඈතට අත දික් කරපු කණ්නාඩි දෙකක් දාගෙන හිටපු කොලු පැංචා කීවා. අවුරුදු දොළහක විතර රවුම් මූණක් තියන ඊටත් වඩා රවුම් කණ්නාඩියක් දාගත්ත ‍පොඩ්‍ඩෙක්. බැලූ බැල්මටම පේනවා සැපට හැදුන පාට. ඉස්තරම්ම වර්ගයේ කමිසයක් ඇඳලා , හොඳම ජාතියේ සපත්තු දාලා හිටියා. මේසේ උඩ දෙකට නමලා හිටවලා තිබුණා නවීන උපකරණයක්.  විරුද්ධ පැත්තේ පුටුවේ හිටියා අවුරුදු දහයක විතර ගෑනු ළමයෙක් . එයා උනන්දුවෙන් පෙන්නපු දිහාව බැලුවා. මුහුදු හුළඟට අවුල් වුන හිසකේ තද කරලා අල්ලා ගන්න ගමන් හොස්පිටල් එකේ දිග පළල මැන ගත්තා.

“ අපේ තාත්තා නම් කවදාවත් මෙහේ හොස්පිටල් වලට යන්නෑ............ අපි යන්නේ සිංගපූර්වලට...” කෙල්ල කීවා.

“නියමයි... කොහේ හරි යන්න ඕනේ කියලා අපේ අම්මි කීවාම අපි යන්නෙත් එහේ. මේ ටැබ් එක ගත්තෙත්  ගිය පාර ගියාට පස්සේ...ඔයා ගිහින් තියනවද ඔචාර්ඩ් හවුස් .. ඒකෙන් ගත්තේ” කොල්ලා කියනවා.

“ඔචාර්ඩ් හවුස් ... අර  මිනිස්සු ගොඩක් නිතර ඉන්න තැනද? අපේ අම්මි ඒ තැන්වලට යන්නේ නෑ. අපි නැවතෙන හොටෙල් එක  වටේ තියන තැන් වලට විතරයි යන්නේ. ඒ තැන් වලට එන්නේ ලොකු ලොකු අය නිසා එහෙම තැන් වල බඩු හොඳයි”

“ මේකත් හොදම බ්‍රෑන්ඩ් එක මේ...” පිරිමි ලමයා  ටැබ් එක පෙන්නුවා.

“ ආ... ඔව් ඕක හොඳ එකක්.... අය්යාටත් තියනවා. මම නම් ගත්තේ නෑ ඒ ජාතිය එකක්. මම ආසා පාට තිබුණේ නැති නිසා” දෙන්නා පළමු වරට එක් දෙයකට එකඟ වුනා.

දෙන්නම තමන්ගේ පාසැල් ගැන කතා කරන්න පටන් ගත්තා. වටේ තියන ලස්සන මුහුද වත් වැලි කඳුවල සෙල්ලම් කරන ළමයි වත් ඒ දෙන්නට බලන්න ඉස්පාසුවක් නෑ. තමන්ගේ මිල අධික සෙල්ලම් බඩු, ගුවන් ගමන් , දේශීය සංචාර වල අතරමං වෙලා හිටියේ .

ඒක පොඩි සාදයක් එහෙම නැත්තං හමුවීමක් . පවුල් හතරක් විතර මුහුද අයිනේ හෝටලයක හැන්දෑව ගත කරන්න ඇවිත් . පොඩි දෙන්නෙකුට හිටියේ මේ දෙන්නා විතරයි. තාත්තලා එක මේසෙක. අම්මලා තව මේසෙක. කාගෙන් වත් කාටවත් බාධාවක් නෑ.

යන්තම් කරුවල ගලාගෙන එනකොට පුංචි කොට කෑල්ලකට නැග ගත්ත කාලවර්ණ කොලු ගැටයෙක් හරිම හුරුබුහුටි විදිහට එලියේ වහලවල් වල වීදුරු ලාම්පු පත්තු කරලා එල්ලුවා. ගෑනු ළමයා නහය අකුලාගෙන ඇස් කොනින් තමන්ගේ යාළුවට අර කොලු ගැටයා පෙන්නුවා. මේ වගේ ‍අය මොනවට මේ තැන්වල පේන්නවත් ඉන්නවද කියලා වගේ හැඟීමක් මූණේ තද කරගෙන රෝස පාට ඇඟලි තුඩු අගින් ජංගම දුරකතනය ඔබන්න පටන් ගත්තා. අන්තිම ලාම්පුව එල්ලලා ඉවර වුනත් කොල්ලට යන්න කල්පනාවක් නෑ. ඇස් පිය ගහන්නේ නැතුව ගෑණු ළමයා දිහායි පිරිමි ළමයායි දිහා බලාගෙන හිටිය කොලු ගැටයාට ඈතින් ඇනවුමක් ලැබුණා එන්න කියලා. එයා එක පිම්මේ දිව්වා හෝටලය පැත්තට.

සුදු ඇඳගත්ත වේටර්ලා කෑම පුරවපු පිඟන් බෙදන්න පටන් ගත්තා. ඒත් එක්කම තවත් තාත්තා කෙනෙකුයි පුතෙකුයි එතනට ඇවිත් හැමෝටම අත  දීලා අචාර කළා. පුතා කිසිම කුලෑටි කමක් නැතුව ඇවිත් අර ළමයි දෙන්නා ළඟ වාඩිවෙන්න ද කියලා අචාරශීලී විදිහට ඇහුවා. ළමයි දෙන්නා කිසිම අකමැත්තක් පෙන්නුවේ නෑ. ඒ ළමයාත් බොහෝම මිල අධික පාටයි.

“ඔයාගේ තාත්තා මොකද කරන්නේ? අනික් පිරිමි ළමයා ඇහුවා.

“මේ හෝටලේ අපේ තාත්තගේ.”

හෝටලේට දීලා තිබුණ තරු ගානම ගෑණු ළමයාගේ මූනේ පිපුණා. තමන්ට ගැලපෙන යාළුවෝ ලැබෙන කොට සන්තෝසයි නේ.

ආපහු තුන්දෙනා මුල ඉඳලාම කතා පටන් ගත්තා. එක්කෙනෙකුට එක්කනෙක් පරදින්නෑ. වයසින් විතරයි වෙනස්. හෝටල් හිමියාගේ පුතා තමා වැඩිමල්ම කෙනා. එයා අවුරුදු දහතුනක වගේ කෙනෙක්. තමන්ගේ හෝටලේ ගැන එයා අනික් අයට කියලා දුන්නා.

“මේක හොඳම හෝටලේ විදිහට තුන් පාරක් තේරුණා. අපි හැමෝටම මේකට එන්න බැරි විදිහට මේකේ ගාන වැඩි කරලා තියෙන්නේ. සමහර අය ආවහම හරියට හැඳ ගෑරුප්පු වලින්වත් කන්න දන්නෑ........ අපි වුනත් නිවාඩු ආවම මෙහෙට එන්නෑ. අපි රට යනවා එතකොට..” කතාව මොහොතකට නවත්තලා එයා ඈත බලලා කෑ ගැහුවා,

“චාලි .... චාලි..!”

එතකොටම විදුලියක් වගේ අර ලාම්පු පත්තු කරලා ගිය කොලු ගැටයා ආවා... අතේ තිබුණා ලොකු අවානක්. අමුත්තන්ට බාධා වෙන විදිහට හැසිරෙන කාක්කෝ එළවන්න තමා එයාව කැඳවලා තිබුණේ. වම් පැත්තටයි දකුණු පැත්තටයි දුව දුවා කාක්කේ එළවන්න ගත්ත කොල්ලා කකුල් රිදෙනකොට වැල්ලේ හයි කරපු ලී කොටේක ඉඳගන්නවා.

ආපහු තුන්දෙනා කතාව පටං අරගෙන.

“මට නම් ලංකාවේ කෑම කන්න එපා වෙලා. අපි  ඉන්ග්ලන්ඩ් ගියාම කන කෑම තරම් කොහේවත් කෑම රස නෑ. අපේ තාත්තට ගොඩක් සල්ලි තියන නිසා  කියන ඕන දෙයක් මට අරං දෙනවා..” ගෑණු ළමයා බැදපු මාළු කෑල්ලකට ඕනවට එපාවට ගෑරුප්පුවෙන් අනින ගමන් කීවා.

“නෑ මේවා හොඳම දේවල්.  අද හැදුවේ ‍ගොඩක් පිටරටින් ගෙනාපු  දේවල්. අපි මෙහෙම වෙලාවට ගන්න ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නපු ඒවා තියාගන්නවා. අපේ තාත්තා හැම වෙලාවෙම ගන්නේ ලෝකේ තියන හොඳම දේ. අපි ගෙදර කන්නෙත් ලෝකේ හොඳම දේවල්” හෝටල් හිමියාගේ පුතා කීවා.

“අපේ තාත්තා හැම වෙලාවෙම රටවල් වලට යන නිසා මම ඔයාලට වැඩිය එක එක රටවල කෑම කනවා. අපි නම් මෙහේ කිරි වත් බොන්නේ නෑ. ලෝකේ ඉන්න හොඳම චෙෆ් හදපු කෑමත් අපි කාලා තියනවා. ඒ චෙෆ් ට බ්ලූ ෆින් ටූනා කපලා දෙන්නෙත් ලෝකේ ඉන්න හොඳම මාළු කපන්නා” අනික් පිරිමි ළමයා කීවා.

හොඳම මාළු කපන්නා.....! චාලිට ඒ කෑල්ල පැහැදිලිව ඇහුනා.

“ඒ අපේ තාත්තා. මේ හෝටලේ මාළු කපන්නේ අ‍පේ තාත්තා. එයා තමා මේ ලෝකේ ඉන්න හොඳම මාළු කපන්නා.  ඒත් ..ඒත් ..මං කවදාකවත් ඒ හදන කෑම කාලා නෑ..............”

Friday, May 27, 2016

එබිකම්


 

ගෑණු ළමයින්ගේ‍ හොස්ටල්වල, බෝඩින් වල , ඉස්කෝලේ ළඟ කැරකිලා යන බූතයෝ ඉන්නවා. එහෙම කෙනෙක් නොදැක්ක අය දැක්ක අයටත් වඩා හය්යෙන් කෑ ගහන හින්දා එහෙම බූතයෙක් ආව දවසට හරි කලබැගෑනියක් වෙනවා.

මම කොළඹ ආවට ඔය අනිත් හැමෝටම තියන නවාතැන් ප්‍රශ්නේ මට ආවේ නෑ. මගේ කළ්‍යාණ මිතුරියෝ තුන් දෙනෙක් කැම්පස් යන කාලේ නැවතුන තැනම තව දුරටත් නැවතිලා හිටපු නිසා මටත් එතනටම යන්න අවස්ථාව ආවා. ඒ ගෙදර උඩ තට්ටුව අපිට දීලා තිබුණේ. තවම කැම්පස් ඉන්න නංගිලා දෙන්නෙකුත් එක්ක අපි හය දෙනෙක් හිටියා. මට නම් දැනුනේ ආපහු හොස්ටල් ආවා වගේ.

මම ආවේ උඩ තට්ටුවේ අයිතිකාරයන් මාර්ගයෙන්නේ. අයිතිකාරයෝ කියන්නේ මේනුකා, නිසංසලා, ඉනෝකා සහ චමිලා. දුලානි ඒ වෙනකොට යාවජීව සාමාජිකත්වයෙන් අයින් වෙලා සති අන්තේ පශ්චාත් තාප ඩිග්‍රියට කැම්පස් යන්න තමා ඒ ගෙදරට ආවේ. රුවිනි ආවේ මම එතනට ගියාට පස්සේ.  ගෙදර  ඇත්තම ප්‍රධානියා හම්බ වෙලා කතා කරන එක යුතුකමක් නිසා අපි ගියා එයාව හම්බවෙන්න. ගෙදර අයිතිකාර අංකල් පිළිගැනීමේ කතාව කරනකොට එයාට තේ වතු රබර් වතු තිබුණා නම් අපිට සල්ලි නොගෙන නිකන්ම ඒ ගෙදර ඉන්න දෙනවා කියලා කීවා. අන්තිමටම

“ඔය අනං මනං කියලා මේ ළමයව බය කරන්න එපා”

 කියලා අනික් අයට අවවාද කරලා, ස්තුති කතාවත් එයාම කරලා අපිට යන්න අවසර දුන්නා. මට මාර ප්‍රශ්නේ‍. මොකද්ද මෙහේ මට බය හිතෙන්න තියෙන්නේ කියලා. අපරාදේ කියන්න බෑ අපේ අය වරකට දෙන්නා බැගින් ඒ කාරනේ පැහැදිළි කළා මට.

අපි හිටපු “ගිනි සිසිල”ට ( අපේ අය ගෙදරට දා ගත්ත නම) එහා පැත්තේ ලයින් ගෙවල් හයක් තියනවා. ඒ වගේ පැත්තක කොහොම ඒවා හැදුනද මන්දා. ඒකේ එක ගෙදරක ඉන්න මනුස්සයෙක් ඇවිත් රෑට හොල්මන් කරලා යනවා කියලා කට්ටිය දිලිසෙන ඇස් වලින් විස්තර කළා. මට ලොකු උවමනාවක් තිබ්බා ඒ අත්දැකීම විඳින්න . ඒ වුනත් තව සති දෙකක් විතර ඉවසන්න වෙන බව තමා යාළුවෝ ටික කීවේ.

“සොරි තමා. ලොකු අය්යා බලන්න තව සති දෙකක් විතර ඉන්න වෙනවා. එයාගේ අම්මා ඇප දෙන්න සල්ලි හොයා ගන්න කල්” සියළුම තොරතුරු වල‍ කේන්ද්‍රස්ථානය වන මේනුකා කීවා.

ලොකු අය්යා කියන සුරතල් නාමයෙන් හඳුන්වන්නේ මොනවා හරි ජිල්මාට් දාලා සල්ලි හොයන, සතියක් එළියේ සතියක් කූඩුවේ ඉන්න අවුරුදු හතලිහක විතර කෙනෙක් කියලා මට එයාලා කීවා. ලොකු අය්යා කියන නම වැටුනේ ඇයි කියන එකත් මට පැහැදිලි කලා.උඩ තට්ටුවේ අපි පාඩම් කරන තැන ජනේල් ඇරියාම හරියට ඒ ලයින් ගෙවල් වල මිදුලේ හිටියා වගේ තමා. පැහැදිළි දර්ශන.පුළුල් තිර. දවසක් මගේ යාළුවෝ ටික පාඩම් කර කර ඉන්නකොට නිසංසලාට මුළු පලාතම දෙබෑ කරගෙන කිබුහුමක් ගියාලු. එතකොට අර මනුස්සයා ගෙදර දොරකොඩ ඉඳගෙන

“දෙය්යො රකී...”

කීවලු. එච්චර කැක්කුමක් එන්න තමන්ගේ සහෝදරයෙක් වෙන්න එපැයි. ඒ නිසා එදා ඉඳන් එයා නිසංසලා ඇතුළු ප්‍රජාවගේ ලොකු අය්යා. ඒ විදිහට එයා මටත් ලොකු අය්යා වුනා. ලොකු අය්යා  දැක ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මට ආව කීවත් වගේම සති දෙකකින් විතර. කූඩුවෙන් එළියට ඇවිත් ගෙදර ඇවිල්ලා හිටිය ලොකු අය්යා හිටියායින් බාගයයි කියලා අපේ අය දුක් වුනා. මට ඉතිං එයාව දකින්න විතරයි තිබුණේ. සියලුම අංග ලක්ෂණ,   චරිත ස්වභාවය, හැසිරීම ගැන මට මනා වැටහීමක් ඇති කරලා තිබුණ නිසා මම දැක්ක ගමන් කෙනා කවුද කියලා හරියටම අනුමාන කලා.

එදා රෑම අපේ උඩතට්ටුවේ පඩිපෙළ ලඟ දොරේ බෝලේ  හය්යෙන් කරකවනවා ඇහුනා. අපි හෙමිහිට ජනෙල් රෙද්ද අයින් කරලා බලන කොට සුදු පාට රෙද්දක් ඔලුවට දා ගත්ත මිනිහෙක් වතුර ටැංකිය ළඟින් මාරු වෙලා යනවා දැක්කා. මොන කළුවරේ වුනත් අපේ අයට ‍ඒ ලොකු අය්යා කියලා අඳුරා ගන්න පුළුවන්. උදේ බලනකොට නිසංසලාගේ සුදුපාට සායක් තමා ඔලුවේ දාගෙන ඉඳලා තියෙන්නේ.

කොහොමත් ලොකු අය්යාගේ ඔරොප්පුවක් තිබුණා අපිත් එක්ක . අපි දිහා රවාගෙන තමා ඕනම වෙලාවක බලාගෙන ඉන්නේ. ඒ වුනත් අවුරුදු කාලේ මොකක් හරි රොබරියක පැටලිලා එයාව පොලිස් ජීප් එකේ දාගෙන ගියාම අපි හැමෝම අපේ ෆෙස්ටිවල් ඇඩ්වාන්ස්වලින් ඇප දෙන්න හිතාගෙන හිටියා කියලා එයා දන්නේ නැතුව ඇති.

වෙසක් පෝය වැටුන සතියේ ලොකු අය්යා සියළුම වැඩ අතෑරලා ගෙදරටම වෙලා ඉන්නවා දැක්කා. ඉනෝකා නම් කීවේ පොලීසියෙන් හතර හන්දි කඩලා නැගිටින්න බැරුව ඇති කියලා. එහෙම වුනත් එයා මහ රෑක බකට් එකක් පත්තු කරගෙන එයාගේ නංගිලා ටික බලන්න ආවා. එදා අපි මොකක් හරි දිග කතාවකට වැටිලා තේත් බිබී අපේ කොන්ෆරන්ස් රූම් එකේ හිටියේ. එක පාරටම රුවිනි ‍ඇස් දෙක ලොකු කරලා ආපහු හීනි කරලා අපිට ජනේල පැත්ත පෙන්නුවා. ඉ‍ටි පන්දමක් ගහපු බකට් එකක් කොරිඩෝව දිගේ අහාට යනවා මෙහාට යනවා. අපිට හෙල්ලෙන්නත් බයයි. චමිලා  අපරාදේ කියන්න බෑ හිමිහිට ගිහින් ට්‍රිප් ස්විච් එක නිවුවා. ලොකු අය්යා කලබල වුනා . අපිට ලා එළියෙන් පේනවා බැල්කනියෙන් එයා එහා පැත්තේ ස්ලැබ් එකට පනින්න හදනවා. කොහොම හරි බකට් එක අපිට දීලා මිනිහා මාරු. පහුවදා අපි උදේ  එයාගේ ගෙදර ළඟින්  යනකොට වෙන කාට හරි කියනවා වගේ අහක බලාගෙන කියනවා

“යන හැටි විතරක්... ඔය කලිසම් ගලවන්න ඕන ඔලුවෙන්......”

ඉතිං එදා අපේ කලිසම් ඇඳපු අය විතරයි බය වුනේ!

ආය දවසක රෑ මම බාත් රූම් එකේ ලයිට් එක දානකොටම ජනේලේ ළඟින් කළු ගුලියක් වගේ එකක් මෑත් වෙනවා දැක්කා. මම හරිම හිමින් කෑ ගැහුවේ . එදා නම් ගෙදර පල්ලෙහා අයටත් දැනෙන විදිහට වැඩ සිද්ධ වුනා. ලොකු අය්යා වතුර බටේ දිගේ බහින්න ගිහින් වැහි පිහිලිත් ගලවාගෙනම දුවලා ති‍බුණේ.

ලොකු අය්යාගේ හවුසින් ස්කීම් එකට ප්‍රසිද්ධ ලේඛකයෙක් නිතර එනවා යනවා. ඒක හොයා ගත්තෙත් මේනකා. එන හේතුව නම් හරියටම දැනගන්න බැරි වුනා. එයා ආව දවසක අපි එහෙන් මෙහෙන් එබිලා අපේ රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක කරන්න බැලුවා. අපි හාංකවිසියක් දැනංහිටියේ නෑ ලොකු ‍අය්යා දොරට මුවා වෙලා අපි දිහා බලං හිටපු බව.

“ඇයි බලන්නේ...  තොරං ද?.. මෙහෙටත් වැදගත් මහත්තුරු එනවා අරිද..........?”

කියලා ඇහුවා. අනේ ඉතිං අපිටත් සන්තෝසයි ලොකු අය්යගේ වැදගත් කම ගැන හිතුවාම.

එක දවසක් ලයින් පේළියේ මහා කලබැගෑනියක්. ‍පොලිස් ජීප් දූවිලි අවුස්සාගෙන එනවා. මිනිස්සු පිරිලා. ලොකු අය්යා අළුත් සරමක් එහෙම ඇඳගෙන බොහොම ගාම්බීර විදිහට ගිහින් ජීප් එකට නැග්ගා. අර අපි ගෙදර ඉඳන් බෝඩිමට එනවා වගේ තමා ගියේ.

ඒ තමා අපි ඒ සහෝදරයා දැක්ක අන්තිම දවස. එයා අවුරුදු දහයකට හිරේ ගිය කියලා දැනගත්තම අපි එයා දාලා ගිය බකට් එකට අළුත් ඉටිපන්දමක් ගහලා ගේ ඇතුලේ පත්තු කළා.