“අනේ රාළහාමි මගේ එහා ගෙදර මහා නැහැදිච්ච ගෑණියක්
ඉන්නේ.......” සුළු පැමිණිලි අංශයට ආව කාන්තාව එතන පුටුවේ ඉඳගෙන හිටපු පොලිස්
නිලධාරියාට කීවා.
දවසට අප්‍රමාණ
පැමිණිලි ගානක් එන තැනක ඉතිං මහා දේකුත්
නෙවේනේ මේක. ඒ වුනත් හිසකේ අවුල් වුන , බාගට සෙරෙප්පු දමා ගත් , කිසිම ලකයකට
ඇඳුමක් ඇදලා නොහිටපු කාන්තාවගේ හිතේ ලොකු පටලැවිල්ලක් තියන බව රාළහාමිට තේරුණා.
“ඇයි මුකුත්
තමුන්ගේ මහත්තයා එක්ක මොකක් හරි..................’’
“නෑ.........නෑ.....මම
තාම බැඳලත් නෑ.... අපි නම් නම්බුකාර විදිහට ඉන්නවා. ඒත් මෙහෙමත් ගෑනු!” කාන්තාව ආයෙමත් කම්පා වුනා.
“හරි
පැමිණිල්ල ලියමුකෝ. මොකක්ද දැං කාරණාව?’
“රාළහාමි මම
ඉන්නේ අපේ පරම්පරාගත ගෙදර. අපේ මල්ලිලා කවුරුත් මේකට අයිතිවාසිකම් කියන්නේ නෑ.
හැමෝම කැමැත්තෙන් මට මේක දුන්නා. මාව බඳින්න නම් ඕන තරම් අය ඉන්නවා. මේ දැං උනත්.
මම නම් එහෙම කැමති වෙන්නෑ. හොඳ හැදිච්ච කමක් තියන අය එහෙම ආවට ගියාට මගුල් තුලා
හොයා ගන්නේ නෑනේ.... ඕන කෙනෙකුගෙන් අහන්න රාළහාමි මම කොහොම කෙනෙක්ද කියලා.......”
රාළහාමි පෑන
පැත්තකින් තියලා කාන්තාවගේ උඩ ඉඳලා
පල්ලහාට බැලුවා. තැනින් තැන සුදුවුන හිසකේ, තරබාරු ශරීරය, බාගට නියපොතු ගෙවුන
ඇඟිලි නිසා අවුරුදු පනහකට වැඩි පෙනුමක් තිබුණා.
“දැං ප්‍රශ්නේ
මොකද්ද?”
“මේකයි
රාළහාමි, හැදිච්ච කමක් නැති ගෑණියකට මොනවා තිබුණත් මොකටද නේද?”
“ඒක ඉතිං
පැමිණිල්ලක් නෙවේනේ.......”
“’අපේ
එහා පැත්තේ ඉඩමේ අලුතින් ගෙයක් හදාගෙන ගෑණියක් ආවා පදිංචියට. අනේ ගෙවල් කීවට අපේ
ගෙවල් අහලකින් තියන්න බෑ. බිත්ති වලට ගල් අල්ලලා. ගල් කනු දාලා, මහා ලොකු හුළං කපොලු දාලා..... එක මලක් වත්
පිපෙන්නේනැති මල් පෝච්චි තියාගෙන...”
“ම්හු.....
ඒකෙත් පැමිණිල්ලක් දාන්න තරම් දෙයක් නෑ....”
“නෑ...
නෑ...... මේකයි කාරනේ .......... මේ ගෑනි පෙන්නගෙන ඉන්නේ හරි වැදගත් විදිහට. තනියම
කාරකේ යනවා එනවා... මොකද්ද ලෙච්චර් දෙන තැනකලු. නිකමටවත් අහල පහල කඩේකට යන්නෑ. කිසි කෙනෙක් එක්ක ඇයි හොඳයියක්
නෑ. කොටින් ම කීවොත් ගෙදරට ලඟට එන කීර කාරයාවත් බෙල් ගැහුවට එන්නෑලු. මෙහෙම කෙනා
නාන්නේ නිර්වස්ත්‍රයෙන්. ඇදුමක් නැති
ගානයි. පොත්ත සුදු වුනා කියලා හැදිච්ච ගෑනියකුට මේවා කරන්න පුළුවන්ද?”
“මොනවා
........ ප්‍රසිද්ධියේ එහෙම නානවද?’
“ඒකනේ
කියන්නේ...” කාන්තාවගේ හඩ ප්‍රබෝධමත් වුනා. “හැමදාම එහෙම තමා .. මටත් අහක බලාගෙන
ඉන්න තිබුණා මේ ඉලන්දාරි ටික නොහියා නම්”
“ඉලන්දාරි
කිව්වේ........?”
“ආ.........
මම ඉතිං මේ නිකං තියන ගෙදර පිරිමි ළමයි ටිකකට නවාතැන් දීලා තියනවා. මට ඇහිලා
තියනවා කට්ටිය මේ ගෑනි ගැන කියනවා . මොකද්ද වචනයක් මේ .... ඒංජල් ද මොකද්ද වගේ
කීවා. නම වෙන්ඩැති... මට බය මේ ගෑණි නාන විදිහ දැක්කොත් ... අනේ මේ අපිටත් ලැජ්ජයි....”කාන්තාව උරහිස් ඇකිලුවා. “
මේ කොල්ලෝ මම ගැනත් මොනවා කතා වෙනවාද දන්නෑ. දවසක් මේ ළමයි අපේ ළඟ ඉද්දී මේ
ඉස්කුරුප්පුව කිරිස් ගාලා කාර් එක ගසාගෙන ගියා. කොල්ලෝ පට්ට කීවා. නොකීවට රාළහාමි මේ ගෑනුන්ට කියන වචනය ඕක තමා....” කාන්තාව ලොකු හුස්මක් ඇරියා.
“මට
මේක මහා වදයක්. රාළහාමි මේ පැමිණිල්ල ලියාගන්න.”
“හොදයි.
තමුන් ගේ පැමිණිල්ල ගැන ඔය කියන
ඒංජල් නෝනා ගෙන්නලා බලමු...”
හිතේ
පිරුණු සහනයෙන් කාන්තාව නැගිට්ටා. ඒත් ආපහු
ඉඳගත්තා.
“මට
මේ ඉවසන්නම බැරි වුනේ පෙරේදා ඉඳන් ඔය බැඳලා ඉන්නවා කියන සුද්දා එක්කත් අර විදිහටම
නානවනේ. මොකද මේ රටේ මිනිහෙක් ඉන්නේ එයාට විතරයෑ..ඒ මිනිහා ගෙන්න ගත්තේ මට
පෙන්නන්න වෙන්න ඇති”
තව
දේවල් කියන්න උවමනාව තිබුණත් රාලහාමි ඔලුව
දුන්න සංඥාව තේරුම් අරං කාන්තාව ලොකු
හිනාවක් දාලා පොලීසියෙන් පිටවුණා.
මොකක්
හරි හේතුවක් නිසා පරික්ෂණය ඉක්මන් වුනා. රාලහාමි ගියා
පැමිණිල්ලටයි විත්තියටයි පොලිසියට එන්න කියලා නිල දැනුම් දීම කරන්න. පැමිණිලි
කාරයාගේ ගෙදර හොයා ගත්තා කියන්නේ විත්තිය එහා පැත්තේ ගෙදර ඉන්නවා කියන එකනේ.
බොහෝම
පරණ තාලේ ගෙයක් තමා දිලා තිබුණ ලිපිනයට
අදාල වුනේ. ගෙදර පරණ වුනාටත් වැඩියෙන් පරණ කම කැපිලා පේන්නේ එහා පැත්තේ තිබුන නවීන
පන්නේ ගෙදර නිසා. අළුත් ගෙදර ජර්මන් තාලෙට හදලා තිබුනේ. තොරතුරු ලබා දීමේ හොඳකම නිසා ‘ ඒ ගෙදර ඒන්ජල්
නෝනාගේ බව රාලහාමිට තේරුම් ගියා. පරණ ගෙදර මලකඩ කාපු ගේට්ටුව හිමින් තල්ලු කරගෙන
ගිහින් දෙපාරක් විතර දොරට තඩිබාන කොට අර කාන්තාව අත් දෙක හවුස් කෝට් එකෙන් පිහපිහා
දුවගෙන ආවා.
“හොඳ
වෙලාවට රාලහාමි ආවේ . මේ අර ගෑනි නාන වෙලාව.. අද නම් සාක්කි ඇතුවම උසාවි දාන්න
පුළුවන්....” එයා සතුටින් කීවා.
ඒ
ගෙදර පරණ වහලේ කඩා වැටෙයි කියලා හිතුනා මේ කෑ ගැහිල්ලට. කොහෙමත් අයිතිකාරයාත් ඒ ගෙදරම
කොටසක් වගේ. කිසිම නඩත්තුවක් නැතුව අභාවයට යමින් තිබුණා.
“අර
ඉලන්දාරි නවාතැන් අරං ඉන්නේ කොයි පැත්තෙද?”
“අනික්
පැත්තේ ..” කාන්තාව වම් අත පැත්තේ තියන ගෙට අල්ලපු කුඩා කාමර තුනක් පෙන්නුවා. ඒකයි
මහ ගෙදරයි සම්බන්ධ වෙන්නේ පොඩි ගේට්ටුවකින්. අර කියන නෝනගේ ගෙදර තියෙන්නේ ගෙට
දකුණ පැත්තෙන්.
“එහේ
ඉන්න ඉලන්දාරින්ට මේ පැත්තට එන්න පුළුවන්ද?”
“අපෝ
බෑ.. මම මේ ගේට්ටුව වහලාමයි තියන්නේ.”
“එතකොට
අර කියන ගෙදරට යන්න කොහොමත් බැරුව ඇති. පේන්නෙත් නැතුව ඇති”
“අපෝ
බෑ....”
“දැං
ඔය තැනැත්තී කොහොමද අර නෝනා නානවා
දකින්නේ?” රාලහාමි කුතුහලයෙන් ඇහුවා.
“එන්නකෝ
රාලහාමි පෙන්නන්න ...” කාන්තාව රාලහාමිට ඉස්සර වෙලා ගියා. එහා ගෙදර බිත්තියයි මේ
ගෙදරයි අතරේ අඩි දෙකක විතර පරතරයක් තිබුණා. දිය සෙවල බැදිච්චි බිත්තිය මග ඇරලා කඩා
වැටිලා තිබුණ වැහි පිහිලි උඩින් පැනලා කුණු ගඳ ගහන කානුව දිගේ දෙන්නම දුෂ්කර ගමනක්
ආවා.
“මම
මේ පැත්ත පාවිච්චි කරන්නේම නෑ. අතෑරලාමයි තියෙන්නේ” කාන්තාව කිව්වා.
“මේන්
මෙතන මේ ගැලවිච්ච ගඩොල් දෙකට අඩිය තියලා නගින්නකෝ”.
රාලහාමි
විධානයට අවනත වෙලා බයෙන් වගේ කඩාවැටෙන්න ඔන්න මෙන්න තියන තාප්පෙට නැග්ගා.
“තව
ගල් දෙකක් නගින්න... රාලහාමිත් නැග්ගා. මැසි මදුරුවෝ එලව එලවා පහර දෙන්න පටං
අරං...
“දැං
රාලහාමි ඔය උඩ තියන බාල්කෙට දාලා තියන
ලනුවේ එල්ලිලා තාප්පේ හිලෙන් අර ගෙදර පැත්ත බලන්නකෝ”
ලනුවේ
එල්ලුන සර්කස් කාරයා වගෙ රාලහාමිත් කැරකි කැරකි තාප්පේ හිලෙන් බලං හිටියා.
ඒන්ජල්සා බලන්න ලේසි නෑ.
ජර්මන්
ගෙදර නෝනා මේ කිසි දෙයක් දන්නෑ. එයා එයාගේ
මහත්තයා එක්ක තමන්ගේ නාන තටාකෙට බැහැලා ඉන්නවා. ලෝකේ සම්මත නාන ඇඳුම් තමා ඇඳලා
ඉන්නේ. බොහෝම විවේකී තැනක්. ඒ වගේම බොහොම පෞද්ගලික තැනක්. තමන් එල්ලිලා ඉන්නේ
ලනුවක බව රාලහාමිට මොහොතකට අමතක වුනා ඒන්ජල් නෝනාගේ ලස්සන දැකලා. ඇත්තටම කොල්ලෝ
දාපු නම හරි. ගෙදරත් දිව්‍ය ලොකේ වගේ තමා
“නානවා
නේද? හරිම හිරිකිතයි නේද? අපායෙන් කතා කරලා ඇහුවා.
තමන්
ආවේ රාජකාර ගමනක් බව මතක් වෙලා රාලහාමි බිමට බැස්සේ බාගෙට ගැලවුන ගඩොල් වලට වැලමිටි දෙකම
හූරාගෙන. සපත්තු දෙකේ දිය සෙවල ඇලිලා.
“දැක්කා
නේද? මම කීවේ. අපේ වැදගත් කම... “ රාළහාමිගේ රැවිල්ලට කතාව අතරමග නැවතුනා. කකුල්
දෙක පොලවේ ගහලා දිය සෙවල ඇර ගත්ත රාලහාමි අඩියට දෙකට ගේට්ටුව පැත්තට දීවා.
“
රාළහාමි කවදද ඒ ගෑනි පොලිසියට ගෙන්නනේ ....”
“ඕයි...
අඩුම ගානේ නෝනා දවසට සැරයක් හරි වතුරට
බහිනවනේ.. තමුනුත් ඒක බලලා නිකං
ඉන්නේ නැතුව දවසට සැරයක් හරි මූණ කට හෝදලා
දත් ටික මැදගන්නවා.... දඩාස් ගලා ගේට්ටුව වහගෙන එලියට පනින ගමන් රාළහාමි කීවා.
කාකි
කෝට් එකට වැහුනට මොකද වැලමිටි දෙක සීරුවට
ඇදුම් කනවා.
“පට්ට
තමා.......”රාළහාමි තමුන්ටම කියාගත්තා.