Thursday, July 21, 2016

රුවට යටින්


 

චැන්ගි ගුවන් තොටුපළ පැය විසිහතරම හරිම ක්‍රියාශීලී තැනක්. ඒත් කිසි කලබලයක් මතුපිටින් පේන්නේ නෑ. රාජකාරි ගමනකින් පස්සේ බංගලාදේශයේ ඉඳන් ඇවිත් මම මේ ගුවන් තොටුපලට වෙලා බලාගෙන ඉන්නේ මගේ පවුලේ තුන්දෙනා එනකකල්. මම එනකොට උදේ පහ හමාරයි. එයාලා එන්නේ උදේ හත හමාරට. පැය දෙකක් මම කොච්චර නොඉවසිල්ලකින් ගෙවන්නද? ගුවන් තොටුපලෙන් එලියට ඇවිල්ලා මම කැෆේ එකක අයිනේ ආසනයක ඉඳ ගත්තා. බොහොම හිමින් කිරි තේ ලොකු කෝප්පයකුයි ටෝස්‍ට් කරපු පාන් පෙති කීපයකුයි කාලා වෙලාව බැලුවා. විනාඩි පහළවයි ගිහින් තියෙන්නේ. නිදිමතට ඇස් වැහෙනවා. අනික් පැත්තේ තියන දිග ආසනයකට මාරු වුනේ ටිකක් හරි නිදාගන්න බලන්න. එක පාරයි ඇස් වැහුනේ.

“ඔයා ලංකාවෙන් නේද?” මට ඉස්සරහා හිටිය අවුරුදු පනහක විතර පිරිමි කෙනෙක් දෙමළ උච්චාරණයක් සහිත ඉංග්‍රීසියෙන් ඇහුවා.

“ මම බෑග් එකේ ලියලා තියන එකෙන් දැනගත්තේ. හිටියා. අසනීපයක් වෙලා මම ගිය මාසේ ලංකාවේ හොස්පිටල් එකක හිටියා” එයා ස්වේච්ඡාවෙන් කීවා.

ඒ විශ්වාදරන්. ඉන්දීය ජාතිකයෙක්. විද්‍යා උපාධිධාරීයෙක්. රජයේ නිලධාරියෙක් විදිහට සේවය කරලා දුවලා දෙන්නගේ අධ්‍යාපන වැඩ නිසා කලින්ම සේවයෙන් අයින් වුනා කීවා. එයා බිරිඳ නැතිවුන දවසේ ඉඳලා දරුවෝ දෙන්නා ජීවිතේ එකම වස්තුව විදිහට සලකලා ජීවත් වෙන කෙනෙක් බව මට දැනුනා.

“මම මගේ දුවලා දෙන්නයි මහත්තයයි එනකල් මේ ඉන්නේ?” නිකම්ම කට පියාගෙන ඉන්න බැරි නිසාත් වෙන මොකක් හරි හේතුවක් නිසාත් මම කීවා.

“දුවලා දෙන්නෙක්.......... ? දෙන්නම දුවලද?”  විශ්වා බයවෙලා වගේ ඇහුවා.

මට දුවලා දෙන්නෙක් ඉන්න එකට එයා බය වෙන්නේ ඇයි?

විශ්වා ලොකු හුස්මක් පහළ දාලා කතාවක් පටන් ගත්තා.

“ මම මේ කතාව කාටවත් කියන්න හිතුවේ නෑ... ඒත් මට දැං ඒක කියන්න හිතෙනවා. මම බොහොම සැපට මගේ පොඩි කාලේ ගෙවපු කෙනෙක් . මගේ අම්මටයි තාත්තටයි හිටියේ මම විතරයි. මම ඉගනගන්න ගොඩක්  උනන්දුවක් දක්වපු කෙනෙක් නෙවේ. ඒත් ‍විද්‍යා උපාධියක් ගත්තා. ලේසියෙන්ම රස්සාවක් හොයා ගත්තා. අනික් අයට තිබුණ ප්‍රශ්ණ මට තිබුණේ නෑ. එකම ප්‍රශ්ණයකට තිබුණේ මට පොඩි කාලෙම බඳින්න කතා කරලා තිබුණ මගේ නෑදැයෙක්ගේ දුවව කසාද බඳින්න මට බෑකියලා හිතුන එක. මම ගෙදරට ඒ ගැන කීවා. අම්මයි තාත්තයි විරුද්ධ වුනා මම සාවිත්‍රි ඒ ‍කියන්නේ  මට කැම්පස් එකේදී හමුවුන ගෑණු ළමයා බඳිනවාට. මම එයාව බැන්දා. මුම්බායට මාරුවක් හදා ගත්තා. අතේ තිබුණ සල්ලි වලින් ගෙයක් ගත්තා. කාරෙකක් ගත්තා. අපි දෙන්නා හරිම හොඳ ජීවිතයක් පටං ගත්තා. මුබ්බාය කියන්නේ ෆිල්ම් වලට හැදුන තැනක් . අපි දෙන්නා හැමදාම ෆිල්ම් එකක් බලන්න ගියා. ඒ ෆිල්ම්වල හිටපු නිළියන්ට වඩා සාවිත්‍රි ගොඩක් ලස්සනයි. කොටින්ම කියනවානම් එයා යනකොට නිළියොත් හැරි හැරී බලනවා. මම ඒකට ගොඩක් ආඩම්බර වුනා. මම හැමතිස්සෙම එයාගේ ලස්සන පරෙස්සම් කරන්න හැදුවේ. සාවිත්‍රි රස්සාවකට යැව්වෙත් නෑනේ මම. එයා දවසම ගෙදරට වෙලා අව්වෙන් වැස්සෙන් පරෙස්සම් වෙලා , රූපේ ලස්සන වෙන දේ කාලා, මූණේ ගාලා  තවත් ලස්සන ‍වුනා. ඒත් ඒ වගේ ලස්සනක් දැකලාවත් අපේ අම්මගේ හිත හැදුනේ නෑ. මගේ විනාසය ඕක තමා කියලා කීවේ. ටික දවසක් යන කොට සාවිත්‍රිට නිළියක් වෙන්න ඕන වුනා. මම ඒකට නම් අවසර දුන්නේ නෑ. අපි දෙන්නා ගැටුම් ඇති කර ගත්තා ඒ නිසා. සාවිත්‍රි නොකා නොබී දුක් වුනා මගේ තීරණයට . අන්තිමට එයා තීරණය කළා එයාට බැරි දේ එයාගේ දරුවෝ ලවා කරවන්න. එයා හිතුවා වගේම අපට දෙපාරම ලැබුණේ දුවලා දෙන්නෙක්. පොඩි කාලේ ඉඳලාම ලස්සනයි. අපේ ලොකු දුවට අවුරුදු 5ක් වෙනකොට පොඩි දුවත් ලැබුණා. මුම්බායේ තියනවා රූප රැජිනියෝ බිහි කරන පාසල්. සාවිත්‍රි ලොකු දුව අවුරුදු හය සම්පූර්ණ කරනකල් බලාගෙන ඉඳලා එයාව ඒ පාසලකට දැම්මා තනි කැමැත්තට. ඒ පා‍සලෙන් කරන්නේ රූප රැජිනියකට ඒ තරඟවලට ගිහින් දිනන්න අවශ්‍ය සියළුම දේ උගන්නන එක. සාවිත්‍රිගේ ගතිගුණම දුවට ඇවිත් තියන නිසා වෙන්න ඇති එයා හරිම දක්ෂ විදිහට ඒ දේවල් ඉගන ගත්තා. ගෙදර ඇවිත් ඇවිද්දෙත් ඒ උගන්නපු විදිහට. මටත් හිත යටින් ආඩම්බරයක් දැනුනා. ඒත් අපි ඉගන ගත්ත දේවල් ඉගන ගන්න ඒ ළමයට අවස්ථාව නැති වුනා නේද කියලා මගේ හිතේ හැම වෙලාවෙම තැවුලක් තිබුණා......”

විශ්වා කතාව නවත්තලා වතුර බෝතලෙන් වතුර ටිකක් බීවා. ඒ බෝතලේ වතුර ප්‍රමාණය පැහැදිලිව සටහන් කරලා තිබුණා. එහෙම මැනලා වතුර බොන්නේ එයාගේ අසනීපය නිසා බවත් මට කීවා. ආයම කතාව.

“සාවිත්‍රි මගේ විරුද්ධත්වය තකන්නේ නැතුව පොඩි දුවවත් ඒ ඉස්කෝලෙට දැම්මා. සාවිත්‍රිට වෙන ලෝකයක් නෑ. දුවලට කෑම හදනවා. ඇඳුම් හොයනවා. සපත්තු හොයනවා. ඒ තරඟ වලට ගෙනියනවා. කොටින්ම කීවොත් අපේ ගෙදර එකම දේ වුනේ රූප රැජිනියක් බිහිකරන අරමුණට වැඩ කරන එක විතරයි. මම හම්බ කරන දේ මදි වුනා වියදම් කරන්න. මට ඕන වුනා ළමයි දෙන්නා සාමාන්‍ය ඉස්කෝල දෙකකට දාන්න. ඒ වෙලාවේ තුන්දෙනාම මට විරුද්ධ වුනා. මම ගොඩක් අසරණ වුනා. මම ටික ටික මගේ ඉතුරු කරලා තිබුණ සල්ලි වියදම් කරලා ඉවර කළා. දුවලා දෙන්නගේම නහයේ හැඩ වෙනස් කළා ප්ලාස්ටික් සර්ජරි කරලා. තව දත් හදන්න ගොඩක් වියදම් කළා. මට අම්මාගෙන් තාත්තාගෙන් කිසි දෙයක් ලැබුණේ නැති වෙලා මම ණය වෙලා හිටියේ. ඒත් මගේ දුවලා දෙන්නා යන යන තරඟ වලින් දිනනවා. ඒ දෙන්නා ගැන ඉන්දියාවට බලාපොරොත්තු තියාගන්න පුළුවන් බව තමා විදුහල්පතිනිය කීවේ.එයාලට පිටරට තරඟයකට යන්න අපේ ගෙදර විකුණන්න වුනා. ඒකට මම අකමැති ‍වුනා අන්තිමට සාවිත්‍රි එයා දිවි නසා ගන්නවා කියලා මට තර්ජනය කළා. මට ඒකටත් කැමති වෙන්න වුනා. මට ඉතුරු වුනේ රස්සාව විතරයි. අන්තිමට සාවිත්‍රි සල්ලි නැතුව ඇති වුන ප්‍රශ්ණ නිසා දිවි නසා ගත්තා. මට දුවලා දෙන්නාව  ඉස්කෝලෙන් අස්කරගන්නත් බෑ . වියදම් කරන්න සල්ලිත් නෑ. මේ අතරෙදි මගේ රස්සාවත් නැතිවුනා. ලොකු දුවගේ අවසාන අවුරුද්දේ තරඟයට ලක්ෂ ගාණක් වියදම් කරන්න වෙනවා කියලා දැනගත්ත දවසේ මටත් සාවිත්‍රි කරගත්ත දේම කරගන්න හිතුනා. ඒත් මම දරුවෝ අතෑරලා ගියොත් එයාලා තනි වෙනවා කියලා මට දැනුනා.”

“කොහොමද සල්ලි හොයා ගත්තේ...? විශ්වා හරිම අසරණ හිනාවකින් උත්තර දුන්නා.

“මම ඒකට තමා ලංකාවට ගියේ...”

“ඒ ගියේ අසනීපෙකට කියලනේ කී‍වේ ?” මම ඇහුවා.

“නෑ .... මම මගේ වකුගඩුවක් විකුණුවා... මට කරන්න තිබුණේ ඒ දේ විතරයි. මට ඒක කරන්‍න කීවෙත් මගේ දුව.. මේක ඉන්දියාවෙයි ලංකාවෙයි කෙරෙන බිස්නස් එකක්.  මට කිසි දුකක් නෑ මට ඕන සල්ලි ලැබුණා. මගේ දුවට මිස් ඉන්දියා වෙන්න ඉදිරිපත් වෙන්න ඉස්කෝලේ අනුමැතිය ලැබුනා.”

මම කැළඹුන සිතුවිලි වලින් විශ්වා දිහා බලාගෙන හිටියා.

“මම මේ සිංගප්පූරුවට ආවේ දුවලගේ වැඩකට. මට තවත් සැනසීමක් නෑ ‍මේ දේවල් වලින්....”

“ඇයි දැන් දුවගේ ප්‍රශ්ණේ හරිනේ... එයා දිනුවම හැම දේම හරියයි...” මම කීවා.

“ නෑ ... දැං අනික් දුව මට බලකරනවා මගේ අනිත් වකුගඩුවත් විකුණලා එයාගේ වියදම් ටික කරන්න කියලා....”

මම ඉහලට ගත්ත හුස්ම පහලට ගත්තේ නෑ.

“ඔයාටත් ඉන්නේ දුවලා දෙන්නෙක් නේද?” විශ්වා ආයමත් ඉස්සරලා අහපු ප්‍රශ්ණය ඇහුවා.

Wednesday, July 13, 2016

ගුණදාස


 

මම ගුණදාස ඉස්සරලාම දැක්කේ මගේ රස්සාවට ආව දෙවනි දවසේ. මම ඔෆිස් ගිය පළවෙනි දවසේ ගුණදාස ඇවිත් හිටියේ නෑ. දෙවනි දවසේ පඩිපෙළ උඩට නගිද්දී මට ඉඩ දීලා පොඩ්ඩක් අයින් වෙලා මූණේ පොඩි හිනාවක් එක්ක සුදු සරමකුයි කමිසයකුයි ඇඳපු අවුරුදු පනහක විතර උස කෙට්ටු කෙනෙක් හම්බ වුනා. එයා තමා ගුණදාස. අපේ රියදුරු මහතා බව දැනගත්තා පස්සේ. ඇත්තමට කීවොත් අපේ ප්‍රධානියාගේ රියදුරු. අපි දහ දෙනෙකුගෙන් යුත් විශාල කාර්යය මණ්ඩලයට රියදුරෝ තුන්දෙනෙක්ම හිටියා. ඒ අයගෙන් ගුණදාස තමා අඩුවෙන්ම අපේ වැඩ වලට ආවේ.

ගුණදාස ඇන්දේ සුදු පාට සරමයි කමිසෙයි විතරයි. දකුණු පළාතේ කෙනෙක්. ඒත් දීර්ඝ කාලයක් තිස්සේ කිරුලපනේ එයාලගේ අක්කගේ ගෙදර තමා නැවතිලා හිටියේ. කිරුලපනේ පාලම ළඟින් ඇතුලට යන පාරේ තමා ගේ තියෙන්නේ. ගුණදාස හරිම අඩුවෙන් කතා බහ කරන කෙනෙක් . මම හිතන්නේ ඒ සුදුසු කම නිසාම තමා එයා අපේ වැඩවලට නොඑන්නෙත් අපේ ප්‍රධානියාගේ වැඩ වලට එන්නෙත්. ඒ නුසුදුසු කම නිසාම , තනිකඩයෙක්.

“ගුණදාස හරි රෙගුලාසි කාරයා.........” පේරාදෙණිය කැම්පස් එකේ , අංශ ප්‍රධානියෙක් වෙලා ඉඳලා අවුරුදු ගණනාවක් දෙස් විදෙස් රටවල සේවය කරපු අපේ ප්‍රධානියා මට එයා ගැන පළමු හැඳින්වීම කරේ තද කරගත්ත හිනාවක් එක්ක.  මම අහන්නෙත් නැතුව නිධාන කතාව පටන් ගත්තා.

“ ගුණදාස  ආපු දවසේම මට  තේරුණා‍ බොහොම තැන්පත්, පිළිවෙලකට හැදිච්ච මනුස්සයෙක් කියලා. මම එයාව ගත්තෙත් ඒකයි. අනික් එක කතාව හරිම අඩුයි. මම ලෙක්චර්ස් වලට සූදානම් වෙන්නේ  කාරෙකේ යන අතරෙදි නේ. මට ඒ පිළිවෙල හරිම ලේසියි. කිසි දවසක පිටින් කන්නේ බොන්නේ නැති නිසා අතරමග ඒවට වාහන නවත්තන්නෙත් නෑ. හැබැයි හරියට දොළහට දවල්ට කන්න ඕනෑ කියලා වැඩ බාරගන්න කලින්ම මට කීවා. ඒක එච්චර දෙයක් නෙවේනේ. මම එකඟ වුනා. මම ගුණදාසත් එක්ක දෙවනි පාරට ගිය දවසේ ගියේ එම්බසි එකකට එහේ ජාතික දිනේ සමරන්න. උදේ එකොළහට ඇතුලට ගියපු මම එළියට එනකොට දෙකයි වෙලාව. අපි දෙන්නම කතාවක් නැතුව ගෙදර ආවා. වැඩ ඉවර වෙලා ගුණදාස ගියා. පහුවදා මම උදේ දහයට පදනම් ආයතනට යන්න ලෑස්තිවෙලා බලං ඉන්නවා ඉන්නවා ගුණදාස නෑ. මම කෝල් කරාම එයාගේ අක්කා කීවා මල්ලි ආය වැඩට එන්නේ නෑ මහත්තයා කියලා . මම එහෙම්මම කාරෙක අරගෙන ගුණදාස  ඉන්න ගෙදරට ගියා. මෙන්න ගුණදාස ගෙදර ඉන්නවා දොරකඩ පුටුවේ පත්තරයක් බල බලා. මම ඇහුවා ඇයි වැඩට නොඑන්න කා‍රණේ කියලා. කාරණේ එදා මම එක්ක ගිය දවසේ දවල් දොළහ පහුවෙලා එයාට කෑම කන්න බැරි වෙලා නිසා. මම කීවා මට සමාවෙන්න ආයෙමත් ඒ වැරැද්ද වෙන්නෑ කියලා. ඒ පාර එකඟ වුනා ආපහු වැඩට එන්න. එදා ඉඳන් මම දවස් දොළහට කොහොම හරි දවල් කෑම එක කන්න වැඩ පිළිවෙල හදලා දෙනවා. කොහේ ගියත් අක්කා කීයට හරි නැගිටලා හදලා දෙන කෑම එකනේ ......”

ඒ මුළු කතාවම ඉවර වෙනකල් අපේ ප්‍රධානියාගේ මූණේ තිබුනේ උපහාසයක් සහ ලැජ්ජාවක් මිශ්‍ර වුන හිනාවක්. අපේ ලොකු තැනට මෙහෙම නම් අපට මොන වගේ වෙයිද කියලයි මට හිතුනේ.

ගුණදාසක් එක්ක අපි කතා කරන්නේ බලෙන්. සමහර වෙලාවට අපි අහස පොළොව නුහුලන විහිළු කරගන්න කොට නම් එයාටත් හිනා යනවා. එතකොට තමා මම දැක්කේ ඉස්සරහ දත් දෙක නෑ කියලා. අපේ එකවුන්ටන් නෝනා කියනවා ඊළඟ ඉන්ක්‍රිමන්ට් එක දුන්නාම දත් දෙක දාගන්න කියලා. එතකොට ඔලුව බාගෙන නමලා ලාවට හිනාවෙලා ලිස්සලා යනවා. අපි මොකක් හරි හේතුවක් හොයා ගෙන පාටි දාපු දවසට ගුණදාසට මාර අප්සෙට්. මොන හෝටලේකින් ගෙනාවත් කේක් කන්නෑ. අපි බලකරන කොට තියන පුංචිම කෑල්ල අරං පහළට ගිහින් කුස්සියෙන් තියනවා.

ගුණදාස ඔෆිස් එන්නේ බයිසිකලේ. පරණ රැලේ බයිසිකලයක්. දවල්ට අපි එයාගෙන් ඒකේ යතුර ඉල්ලගෙන  බයිසිකල් පදිනවා. ඒ වෙලාවට නම් පණ යනකල් ගුණදාස හිනා.

අපේ ප්‍රොජෙක්ට්වල වැඩ වලට අපි නිතර ලංකාව පුරා ඇවිද්දා. කලාතුරකින් තමා ගුණදාස එන්නේ රියදුරු විදිහට . එදාට වාහනේ ඇතුලේ වැඩිය කෑ ගහන්නේ නැතුව යන්න අපි වගබලා ගන්නවා. රඹුටන් ගන්න, ගල් සියඹලා ගන්න නෝනිස් එකේ අළුවා ගන්න නතර කරගන්නේ වැඳලා. ඉස්සරහා බලාගෙන එක දිගට පැය ගානක්  වාහනේ  එලෙව්වත්  මැස්සෙක්වත් එයාගේ අතින් හැප්පෙන්නේ නෑ. අපි කොහේ හරි බැස්සොත් ගුණදාස වාහනේ අයිනක නවත්තලා එනවාමයි. ඇවිත් හරිම නොඉවසිල්ලෙන් අපි මොනවා හරි ගන්නකල් ඉඳලා ඉක්මනට ආපහු වාහනේට අපිට යන්න කියනවා. අපේ නවාතැන් වලට අපිව රෑ වෙන්න කලින් දාන්න ඕනෑ කියන එක ගුණදාසගේ ඔලුවේ හැම තිස්සේම තියන දෙයක්. අපි රෑ වුනාට කමක් නෑ කිව්වොත්

“මිස්ලා නං කියයි...... තනි පිරිමියා මම .. ආවා වගේම  පරෙස්සම් කරලා ආපහු ගිහින් දාන්න එපැයි” කියලා ‍බොහොම වැඩිහිටි විදිහට කියනවා.

එක දවසක් අපි පුත්තලමේ ගියා. අපි යන්නේ ගුණදාස එක්ක බව දැනගත්ත නිසා වෙලාවටත් කලින් මම ලෑස්ති වෙලා හිටියා. ඊටත් කලින් ගුණදාස ඇවිත්. අපි කියපු වෙලාවට කලින් ගමන පටන් ගත්තත් දවල් දොළහ වෙනකොට අතරමග හිටියේ. අපි දන්න තැනක වාහනේ නවත්තලා ගුණදාසට කෑම කන්න කීවා. අපි ඉතිං ශාරීරික අවශ්‍යතා කරගෙන වඩේ එකක් කාලා එහෙම ආපහු   එනකොටත් ගුණදාස වාහනේ ඉඳගෙන. කෑම කාලත් නෑ.

“මට විතරක් කන්න බෑ.......” කියලා උත්තර දුන්නා.

දොළහට කන්න දුන්නේ නැත්තං ආපහු ‍වැඩට එන්නේ නෑනේ. ඒ හින්දා අපි එදා එතන හෝටලෙන් මඩ පුවක් ගඳ ගහන හාලෙන් උයපු දවල් කෑම කෑවා ගුණදාසට එයාගේ කෑම එක කන්න කියලා.

අපේ රස්සාවේ එක අංගයක් තමා ෂොපින් යන එක. ඒකට අපි අපේ හාෆ් ඩේ එකක් කැපකරලා මාසේ අන්තිම දවසේ අවසර ඉල්ලා ගන්නවා. එදාට රාජ්‍ය අනුග්‍රහයෙන් වාහනේකුයි රියදුරු මහතෙකුයි ලැබෙනවා. බැරිවෙලා හරි ගුණදාස රියදුරු කමට ආවොත් අපි පොළිසියෙන් ෂොපින් ගියා වගේ තමා. ගියා , පළවෙනියටම දැක්ක ඇඳුම ගත්තා , ආවා.

ගුණදාස තවම බැඳලා නැත්තේ ඇයි කියන එක අපි සමහර දාට විග්‍රහ කරනවා. ගුණදාසගේ නීති රීති, කඩචෝරු නොකෑම , ඉස්සරහා දත් නැති වීම, උස වැඩි නිසා අනික් කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න බැරි වීම ආදී කාරණා නිසා යාළු වෙලා හිටපු ගෑනු ළමයා වෙන කෙනෙකුට බහ දෙන්න ඇති කියලා අන්තිමට අපිම තීරණය කරනවා.

මම ඒ ඔෆිස් එකෙන් අයින් වෙන දවසේ ගුණදාස නවත්තන්නේ නැතුව කතා කරා. කොහෙමත් මම දැනගෙන හිටියා බොහෝම හොඳ ගතිගුණ එයා ළඟ තියනවා කියලා. එදා ඒක තවත් දැනුවා. ඊට පස්සේ මට පරණ ඔෆිස් එකට ගිය හැමදාකම එයාව මුණ ගැහුණා. බොහොම හිතවත් කමට කතා කරා මාත් එක්ක.

මට ආයෙම ගුණදාස මුණ ගැහුණ දවසේ එයාට කතා කරන්න බෑ. ඒ එයාගේ අක්කලාගේ ගෙදරදී. අපේ යාළුවෙක් එක්ක උදේ මාතර යන්න පිටත් වෙච්චි ගුණදාසගේ වෑන් එක ගාල්ල හරියෙදි කන්ටේනර් එකකට යටවෙලා.  ‍ඒ දෙන්නා අඳුරා ගන්නවත් බැරි විදිහට තමයි ඒ අනතුර වෙලා තියෙන්නේ. වුනේ මොකක්ද කියලා අහගන්න දෙන්නම ජීවත් වෙලා හිටියේ නෑ. කන්ටේනර් එකේ රියදුරු කිව්වලු වෑන් එක වැරදි පැත්තෙන් ආවා කියලා. ඒත් ඒ වාහනේ පැදෙව්වේ ගුණදාස. මම එයාගේ මරණයට වඩා විශ්වාස කරනවා එයා අතින් වැරැද්දක් වුනේ නෑ කියන එක.