Monday, April 8, 2024

මැඩම් ඇවිත්

 

එක පාරටම අවට ලොකු නිශ්ශබ්දතාවයක් පැතිරිලා යනවා. මුළු ලෝකෙම කතා වෙලා එක වර හැම වැඩක්ම නැවත්තුවා වගේ දැනෙන්නේ. බාස්කට් බෝලෙ නවතිනවා එක තැනම. නෙට්බෝලෙත් නවතිනවා. ඩෙස් පුටු ඔක්කොම ගල් වෙනවා.

ඇහෙන එකම සද්දේ උල් අඩි ශබ්දයක් විතරයි. කන් දෙක රත්වෙලා අපි අහුවුනු පුටුවක ඉඳගන්නවා. ඒ නිශ්ශබද්ධතාවය හරියට තේරුම් ගත්ත කෙනා කොහොම හරි  තමන්ගේ පුටුවේ ඉඳගෙන පොතක් පෙරලාගන්න තරම් වාසනාවන්ත වෙනවා.

කකුල් දෙකෙන් පටන් ගත්ත රස්නයක් ඇඟ පුරාම ගිහින් බඩ කොරවෙන ගතියක් ඇති කරවනවා.“ අනේ අපේ පන්තියේත් මිස් කෙනෙක් මේ වෙලාවට හිටියා නං“  කියන ආගන්තුක දුක අපි හැමෝම වෙලා ගන්නවා.

උල් අඩි සද්දේ පන්තියේ දොර ළඟ නවතිනවා අපිට ඇහෙනවා. ඒත්  දකින්න නෑ. අපි පොත් දිහා බලාගෙන ඉන්නේ . පොත් අස්සේ තියන වචන ඉලිප්පි ඉලිප්පි මූණෙ වදින්න තරම් ළඟට එනවා. හීන් දාඩියක් කොන්ද දිගේ එනවා.

 “ දැං මොන විෂයද තියෙන්නේ ? “ අර උල් අඩි සද්දේ අයිතිකාරයා ඉංග්‍රීසියෙන් අහනකොට කෙල උගුරක් ගිලලා මොනිටර් වෙව්ලන ස්වරයෙන් උත්තර දෙනවා.

“මැඩම් ඇවිත් .......“

එතන ඉඳන් අහන ප්‍රශ්ණ වලට ඇත්තම උත්තරේ දෙන්න අපි හැමදෙනාම තනි තනියෙන් ප්‍රතිඥා දීගන්නවා. බොරු උත්තරයක් දීලා බේරුණ කෙනෙක් ඉස්කෝලේ ඉතිහාසෙටම ඉන්න විදිහක් නෑ. ඒක අපිත් අවුරුදු 13 ක් තිස්සේ ප්‍රත්‍යක්ෂ කරගත් දෙයක්. හැබැයි ඇත්ත කියලා බැනුම් අහලා එතනින් එහාට නොගිහින් බේරුම්කරණය කරගත්ත දේවල් අනන්තයිි.

මිස් කෙනෙක් ආවේ නැති දවසට එවන වැඩ කන්දරාව කරගන්න ඒ පීරියඩ් එක මදි. ඒක මදිවට අපේ ප්‍රින්සිපල් මැඩම් ඇවිත් පොත් බලලා , නෝට් එක ලීව තැන බලලා මදිවට පහුගිය වාර විභාගේ ලකුණු අහලා බඩේ බිත්තර කීයක් තම්බවනවද?

නෝට් එක ලියන්න පටං නොගෙන කෑ ගහන්න අරං තිබුනොත් එළියේ දණ ගස්සවනවා. ඒක දෙතුන් වතාවක් වුණොත් ඔෆිස් එක ඉස්සරහා ලෝකයාට පේන්න දණ ගස්සනවා. මැඩම් බැන්නා, දණ ගැස්සුවා කියලා නං අපිට කවදාකවත් තරහක් ඇවිත් නෑ. ඒත් අපේ හතුරන්ට අපේ ඉරණම පේන්න සලස්සපු එක නං ඉතාමත්ම වැරදි බව අපි අපි කතා කරගන්නවා.

සඳුදා උදේ රැස්වීමත් සමහරදාට ඉවර වෙන්නේ අපේ සතියම මස්ත බාල්දු කරලා. ඒ කියන්නේ කතා දෙකක් එක වර පැවැත්වීම නිසා තවත් විනාඩි දහයක් පහළොවක් අපේ පන්තිය විතරක් අව්වේ තියාගන්නවා. ඒ කියන්නේ මැඩම් කතා කරන වෙලාවට අපිත් අපේ කතා පටං ගත්තාම. අපිට හිතෙන්නේ නෑ අච්චර ළමයි ගොඩක් ඉන්න තැනක අපි කතා කරනවා පෙනෙයි කියලා. ඒත් අපේ හේවාවසම් මැඩම් ඒක පෙනිලනේ.

මැඩම් බැන්නත් ඒකෙත් ලස්සනක් තියන බව අපිට හිතෙනවා. ඇස් දෙක අඩවන් කරගන්නවා ඒත් හරියටම වැරදිකාරයාගේ ඇස් දිහා බලනවා. ඒ බැල්මට ලෝක බොරුකාරයෙක් වුනත් අඩපණ වෙලා ඇත්ත කියන නහර මතුවෙන්න පටං ගන්නවා. එතැන් පටං ඒ ළමයා සියළුම පාවාදීම් කරමින්, මීට පෙර කරන ලද කුමන්ත්‍රණ හෙළි කරමින් , ක්‍රියාදාම අපරාධකරුවන් හෙලිකරමින්  සත්‍ය පමණක් කතා කරනවා. එකා පිට එකා වැරදි වලට අහුවෙනවා. ඒත් කවදාකවත්  දිවි නසාගන්න, ඉස්කෝලෙට මුහුණ දෙන්න බැරි වෙන, ආත්ම ගෞරවය නැතිකරගන්න තැනකට අපිව යැව්වේ නෑ. ජීවිතේ කිසි දවසක ඒ වැරද්ද නොකරන්න තරම් විනයක් සහ අධිෂ්ථානයක් විතරක් අපිට ඉතුරු කළා. පරණ දේවල් ඇදලා අරගෙන අපට බැනලා නෑ. සමහර විට ඕනෑ තරම් අලුත් වැරදි ස්ටෑන්ඩ් බයි තිබුණ නිසා වෙන්න පුළුවන්.

ඔෆිස් එකේ ඉදන් පිට්ටනියේ එහා කොන, එහෙමත් නැත්තං ප්‍රධාන ගේට්ටුව ඇතුළුව ඉස්කෝලේ අස්සක් මුල්ලක් නෑර දකින්න යොදාගත්ත  තාක්ෂණය නම් සීසී ටීවී වලටත් වඩා දියුණු එකක් වෙන්න ඕනෑ. අවේලාවේ එළියට බැහැලා මැඩම් අහු නොවුන කවුරු හරි හිටියා නං ඒ කරුවල අඳුන ගා ගත්ත කෙනෙක් වෙන්නැති.

මම හරි ආසයි අපේ බෑන්ඩ් දෙක ඉස්සර කරගෙන මැඩම් ස්පෝට්ස් මීට් එනවා බලන්න. ප්‍රධාන අමුත්තට වඩා ආඩම්බරයි. ඒක නං හරියට මගේ දරුවෝ මෙච්චර දක්ෂයි කියලා පෙන්නන්න රජ දැක්මකට ගෙනියනවා වගේ ආඩම්බරයක්. ඒ ආඩම්බර හිනාවෙන් කොටසක් අපි හැමෝටම දෙනවා. ඉස්කෝලේ හැමෝම කොන්දේසි විරහිතව මැඩම්ට බැඳුනේ ඒක වෙන්නැති.

එකම චරිතයක් ඇතුලේ දැඩි බවක් සහ මෘදු බවක් සමබර කරගත්ත හොඳම චරිතයක් අපේ හේවාවසම් මැඩම්. හිත ඇතුළේ තියන ආදරය හැම වෙලාවෙම අපට දැනෙන්න ඇරියා. කිසි දවසක ගෞරවය නොඉල්ලුවත් අපේ හිතේ ගැඹුරුම තැනින් එන ගෞරවය මැඩම් දිනාගත්තා.

මම අදටත් මගේ ඉස්කෝලේ ගැන කියන වාක්‍ය දෙකක් තියනවා.

“මගේ පාසලේ විදුහල්පතිතුමිය පාසල තුල ශාරීරික දඩුවම් ලබා දීම තහනම් කරපු කෙනෙක් . ඒ වගේම පාසල් දරුවන් විසින් ගුරුවරුන්ට තෑගි දීම තහනම් කරපු කෙනෙක්“ .

ඒ වෙලාවට සභාවේ ඉන්න අයගේ ඇස්වල නොදැකපු විදුහල්පතිතුමියක් වෙනුවෙන් ඇඳෙන ගෞරවය ඇය වෙනුවෙන් මම බාරගන්නවා.

මලියදේව බාලිකාවෝ වෙනුවෙන් අවුරුදු 20ක් ! ඉස්කෝලේ ස්වරණමය දශක දෙක. ජීවිත කීයක් වෙනස් කරන්න ඇතිද? ඇස්දෙක අඩවන් කරගෙන නඩු විසඳලා එහෙමත් නැත්තං ආඩම්බරෙන් ප්‍රශංසා කරලා ජීවිත කීයක් වෙනස් කරන්න ඇතිද?

මේ ළඟදි ගොඩක් කාලෙකට පස්සේ අපි  මැඩම්ව බලන්න ගියා. එදා නම්  මැඩම් හිටියේ ඇස් පියාගෙන. ඉස්සර වගේම ආඩම්බර පාටයි. ආදරණීය පාටයි.

ඇස් පියාගෙන හිටියත් අපිව දකින්න ඇති. මොකද ඔය ඇස් දෙකට මලියදේව බාලිකාවන් නොපෙනී තියෙන්න විදිහක් නෑ.

මේ ජීවිත කාලය තුල අපි ආය ඔබතුමියව දකින්නේ නෑ.  සංසාර ගමන බොහොම දුර එකක් වුනත් අපි වෙනුවෙන් කළ සියළු යහපතින්  ඔබේ සසර ගමන කෙටි වේවා ! අමා මහ නිවන ඔබට දුර නොවේවා!

Friday, November 24, 2023

සත තිස්පහ

 

මම ළඟට ඉංජිනේරු මහත්තයෙක් ආවා බෙහෙත් ගන්න. මිනිහා ඉංජිනේරුවෙක් කීවට මේ දවස්වල කරලා තියෙන්නේ වෙන වැඩ. උදේට යනවා ගෙදරින් වැඩට යනවා වගේ. ආපිට එනවා ඉක්මනට . ගෙදර ඇවිත් නෝනට හොරෙන් නගිනවා සිවිලිමට ඉනිමගක් තියලා. සිවිලිමේ සිදුරක් හදාගෙන බලාගෙන ඉන්නවා නෝනට හොර මිනිහෙක් ඉන්නවද එයා ගෙදර එනවද කියලා. හොදයි නෝනට හොර මිනිහෙක් ඉන්නවමු කියමු ඒත් මොන යකාටද පුළුවන් දවසක් තිස්සෙ සිවිලිමක හැංගිලා බලාගෙන ඉන්න ? තව මදිවට නෝනා ගමනක් යනවා නම් යනවා පස්සෙන්. බස් එකට නැග්ගොත් ඉංජිනේරු මහත්තයාත් නගිනවා. හොරාට ඉඳගන්නවා නෝනට පිටිපස්සේ සීට් එකක. බැරි වෙලා  හරි නෝනා  කොල්ලෙකුට එහා පැත්තේ ඉඳගත්තෝත් ගහනවා ෆොටෝ හවසට අහනවා “ හා....... කවුරු එක්කද මේ ජෝඩු දාගෙන ගියේ කියලා.....“

තව ඉන්නවා රට ඉඳලා ආපු කෙනෙක්. දැං මාස දෙකකට වැඩියි ගෙදර ගිහින් නෑ. රෑට ගෙදර ළඟ කොස් ගහේ ඉන්නේ .. ඒත් නෝනගේ හොර අල්ලන්න.. වටේ පිටේ අයට අහුවෙලා තමා වැඩේ දැනගත්තේ නෝනත්. ඕං ඒපාර නෝනා ගියා අම්මත් එක්ක පේන අහන්න... එතනින් කිව්වා මහත්තයාගේ අම්මා බූතයෙක් වෙලා පවුල කඩනවා කියලා. දැං නැන්දම්මා අල්ලලා දානවා බෝතලේකට විසි කරනවා මුහුදට. එක පාරක් නැන්දම්මා අල්ලන්න ලක්ෂ එක හමාරක් ගන්නවා. එහෙම හතර පාරක් අල්ලලා මුහුදට දැම්මත් මහත්තයා තාම කොස් ගහ උඩ..

මේ වගේ වෙන්නේ ඇයි? අපේ මොළේ තියනවා කලාප සෙරටොනීන් සහ ඩොපමීන් (Serotonin /Dopamin) කියන රාසයනික නිපදවන. ඒ රසායනිකයේ ඝන වීමක් වුනාම මේ වගේ හැසිරීම් මතු වෙනවා. සැක කරනවා. මිනී මරණවා. අසරණ දරුපවුල් විනාශ වෙනවා. ජීවිත කාලයක් ගැහැණු මිනිස්සු විඳවනවා

මේකට තියනවා රෙස්පිරිඩෝන් (Risperidone) කියලා පෙත්තක් ...............සත තිස්පහයි !



(මේ කතාව මම ගත්තේ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතාගේ දේශණයකින්. පොඩි වෙලාවක් අරන් අහන්න. එක ජිවිතයක් හරි වෙනස් කරන්න පුළුවන්. )

https://www.youtube.com/watch?v=HCuT_yksP9M



Monday, September 10, 2018

රන් වන් රූ



“ නෑ අප්පොච්චා ......ඔයි කියන විදියේ දෙයක් වුණේ නෑ..... “ 

උපලි මේ කියන්නේ දහවෙනි නැත්තං දොළොස්වෙනි වතාවට.

“ ඒ කියන්නේ උඹේ කිසිම පයුරු පාසානමක් තිබුණේ නෑ ඔය කියන පිට දේශක්කාරයා එක්ක...?”

“ න්......නෑ......ඒත් මේ සිත්තර ඇත්තෝ හරි කුලුපඟුයි අපි හැමෝම එක්ක... ඒ ඇත්තෝ හරි සංවර හිත් ඇති කෙනෙක් අප්පොච්චා... ආයි මේ කාරිය කරන්නේ හරියට භාවනාවක් වගේ....අපි මිණි පා හෙලෙව්වත් ඒ ඇත්තෝ නෙවෙයි පින්සල අයින් කරලා අපි දිහා බලන්නේ.....”

උපලි කොච්චර පැහැදිළි කළත් ගම්බාරේට හිතේ කොතනක හරි කහටක් ඇති වුන ගානයි.

“ අප්පොච්චා ... මං දියට යනවා... දැනටත් මං සුනංගු නිසා මාව දමලා කෙල්ලෝ ගිහින් ඇති..”

දණිස්සෙන් පල්ලෙහාට කඩා වැටෙන කේශ කළාපය නිසා උපලිගේ නාරි ලාලිත්‍ය සම්පූර්ණයි. ගම්බාරේගේ බිරින්දෑ මේ ලෝකේ හැරලා යනකොට යන්තං උපලි අවුරුදු හත ලැබුවා විතරයි. තමන්ගේ රාජකාරි අතරේ උපලිව බලා ගන්න ගම්බාරේ කොච්චර කැප වුණාද කිව්වොත් ඒක ගමේ හැම කෙනෙක්ම දැනගෙන හිටිය දෙයක්. කෙල්ලට හව්හරණකට කියලාවත් එක දවසක් පිට තැනක නවත්තන්න ගම්බාරේ ඉඩ තිබ්බේ නෑ. ඒ කා අතින් හරි දෝණියැන්දාට අඩු පාඩුවක්‍ වේය කියලා.
එහෙව් ඇහේ තියන් හදපු දෝණිට මොකෑ මේ කයි කතන්දර .....
..
ගම්බාරේ එළියට බැහැලා තමන් ඉදිරියේ නැගී සිටින පර්වතය දිහා බැලුවා. මලය රටේ අභිමානය තමන් ඉදිරියේම ඇති බවක් ගම්බාරෙට දැනුනා.

“ඒත් දෙයි හාමුදුරුවනේ .....මේ සා ආරක්ෂාවක් හොයන්‍නේ ඒ රාජ බලය ඇතුළේ මොන තරං බයක් ඇති නිසා නොවෙයිද? එතුමා තමන්ගේ චිත්ත සන්තානේ ඇතිවෙලා තියන බය  මුළු ලෝකෙටම පෙන්නාවි දවසක.... “

ගම්බාරෙට පිය උරුමයෙන් පැවරිලා තිබුනේ ඉනාමලුව ‍කෝරලේ රාජකාරිය. එක එක රාජ නීතිවලට යටත් වෙළා රාජකාරි කොරන එක අසීරු ‍කටයුත්තක් . ඒත් රටවැසියන්ගේ තොරතුරු රජවාසලට නියමාකාරයෙන් ලබා දෙන එක ගම්බාරේ කටයුත්ත පැවරුණු කෙනාගේ රාජකාරිය. මේ රාජකාරිය හේතුවෙන් නිසා විතරක් නෙවේ ගම්බාරේගේ යහපත් පැවැත්ම නිසාත් ඉනාමලුවේ මිනිස්සු ගම්බාරෙට බොහෝම ගෞරවේට සැලකුවා.


කාශ්‍යප රජතුමා තමන්ගේ සහෝදරයා එක්ක විරසක මලය රටට පැනලා ආව බව ඉස්සරලාම දැනගත්ත කෙනෙක් ගම්බාරේ. එවක් පටන් රාජ ද්‍රෝහි කුමන්ත්‍රණ කෙලවරක් වුණේ නෑ. ඒත් කාශ්‍යප රජතුමා නිරුපද්‍රිතව මේ පර්වතය මුදුනට ගෙනියන්ට ගම්බාරේ ඇතුළු රාජ පාක්ෂිකයන්ට හැකි වුණා. ඒත් එක්කම කිසිදා නොවුණු සතුරු සිත් ඇත්තන් පිරිසක් රජුට සහ ඔහුගේ හිතැත්තන්ට එරෙහිව නැගී සිටියා. තමන්ටත් තමන්ගේ දෝණියැන්දාටත් තම නිවස ආරක්ෂා සහිත තැනක් නොවන බව දැනුණු ගම්බාරේ තමන්ගේ රාජකාරිය වෙනුවෙන් පිරිනැමුණු ගෘහයට යන්නට තීරණය කළා.

මහා පවුරු , දිය අගල් වලින් වටවුණු පාශාණය අලංකෘත කෙරුණු මල් ගොමුවලින් පිරුනු පර්වත මන්දිරය පිළිබඳ කතා උපලි අසා සිටියේ ඇය ඉදිරියේ මැවුන දිව්‍ය ලෝකයක විස්තර වගෙයි.

“අප්පොච්චා ... එක දවසක් මාව ඇන්න යන්ට ඔයි කියන මාළිගාව බලන්නට...”

“ උපලි .. උඹ දැං ළමිස්සියක්.. ඉස්සර මා පස්සේ ගංගොඩේ දිව්වා වගේ නෙවේ.. බලාපං ඔයි තරං ලස්සන කෙල්ලක් මේ මලය රටේම ඇද්ද කියලා......පරෙස්සම් වෙයං මගේ දුවේ...මේ රාජ අණක් නිසා මා යනවා නොවෙන්නට මම කැමති නෑ කොයියම්ම වෙලාවක වත් උඹ මගේ දෑහෑ ඉදිරියෙන් අයින් වෙනවා බලන්න........”

“ එහෙනං අර ජනකායක් හැමදාම උදේ හවා පර්වතය නගින්නේ....ඉන් වැඩි කොටස කාන්තාවෝ නොවැ...”
“ඒ යන්නෙ උඹලා වගේ සෙල්ලක්කාර කං කොරන්ට නොවේ.. ඒ රාජකාරියට.. අම්මේ ගිණි කූටකේ ගඩොල් ඇදලා පස් කඳු ඇදලා උන්ගේ දෑත් වල කරගැට....”

“ඒත් මට නම් අගෙයි අප්පොච්චා.....මේ ගෙයක් ඇතුළේ හිර වෙලා ඈත පේන පර්වතය දිහා බලා ඉන්නවාට වැඩිය...මට පේන්නේ ඒ මහා සිංහයාත් මට ඔච්චං කොරනවා වගේ....ඇයි මෙයාකර තහංචි මට... “

“ මගේ නේත්‍රා දෙක උඹයි උපලි......ඔයි නිලමක්කාරයන් ගේ ඇස් වලිං වහන් කොරලා උඹ තියන්ට ඕනෑ.. එහෙව් නැතුව උඹත් අර පේන පර්වතේ හිරවුණ අන්තපුර ඉස්තිරියාවක් වෙන්ට අරින්ට මට බෑ...”

උපලිගේ හිත මුරණ්ඩුයි. ගමේ කෙල්ලෝ දෑහින් දැක්කා වගේ කියන පර්වතය උඩ ඉදිවෙන මහා ප්‍රාසාදය බලාගන්න ඈට තියෙන්නේ තදබල ආශාවක්. ඒක ඉෂ්ට වුනේ ගම්බාරේ නොසිතූ අයුරින්.

ගමේ ඉන්නා ලස්සනම ලලනාවන් ප්‍රාසාදය වෙත ගෙන ආයුතු බවට රාජ අණක් නිකුත් වුණා. එසේම ඔවුන් අලංකාර පිළියෙන් සැරසී සිටිය යුතු බවත් එම අණෙහි තිබුණා. උපලී සඟවා තබන්නට ගම්බාරේට සිතුණත් ඇගේ රූප ශ්‍රීය පර්වතයේ අඹා ඇති සිංහයාත් දන්නවා ඇති.

“ කසුප් රජතුමා කාම ගිනියෙනුත් දැවෙන බව නොවේද මේ අණෙහි කියන්නේ..”
ගම්බාරේ ‍පුරා දෙදිනක් හාමත්ව තම දියණියට අත්වන්නට යන ඉරණම ගැන වැළපුණා. ඇය අන්ත:පුර කාන්තාවක් වනු දැකීම ඔහුගේ හද පාරවන්නක්. එහෙත් රාජ අණ...

උපලී සිය යෙහෙළියන් සමඟ පර්වතය නැගීමට පටන් ගත්තා. මද සිහිල් සුළං රැලි ඇගේ මුදුණට කර බැඳනු කොණ්ඩය අවුල් කර දැමුවා. සිහින් ඉන වසා සිටි ශ්වේත වස්ත්‍ර එහා මෙහා කර ඇගේ රන්වන් සිරුර මත හිරු එළිය ගැල්වූළුා. මහා කළුගල් පාෂාණය මත පඩිපෙළ නැග එන මනහර ස්ත්‍රින් අතරින් උපලී රුව මත රජුගේ නෙත නැවතුණා.

“ දියණිය ඔබ නවතින්න........”

උපලිගේ හද ගැස්ම මොහොතකට නැවතී සිටියා. තම පියා මේසා දුක් වූයේ තම ඉරණම කල් තියා දුටු නිසා නොවේද?

“කෝවින්ද මේ මා සෙවූ කාමිනියයි. ඇගේ රන්වන් රූපය මදුකුදු නොවෙනස්ව මේ මහා පර්වතය මත සිතුවම් විය යුතුයි. දියණිය ඔබේ රුවින්  මේ පාෂාණය සොදුරු ‍ දනව්වක් කිරිමට මට අවසර දෙන්න..”

මහා අධිරාජ්‍යක් ගොඩ නගන්නෙක් මේ සා නිහතමානීව ඉල්ලනේ කුමක්ද? උපලි නෙත් ඔසවා බලා සිටියා. ප්‍රතාපවත් සිරුරක් ඇති සෑම රෝම කූපයකින්ම රාජත්වය වෑහෙන ඔහු තම පියාණන්ගෙන් අවසර ඉල්ලා සිටිනු උපලි දුටුවා.


“ කුමකට ද රජතුමනි..?“ ගම්බාරේ අසා සිටින්නේ මුළු රැයක් පුරා වැළපිමෙන් බැරැන්ඩිවී ගිය කටහඩිනි.

“ මේ පර්වතය සෑම විටම දකින ජනයාගේ සිත් පිනවන්නක් විය යුතුය. එසේම එහි තේජෝ බල පරාක්‍රමය ලොව තුඩග පැතිරිය යුතුය. මෙය හුදෙක් මා සහෝදරයාගෙන් ආරක්ෂාවීමට තනවන්නක් නොවී සීහල ජනයාගේ විස්මිත නිර්මාණයක් ලෙස සදාකල් පැවතිය යුතුය. ගම්බාරේ මානවිකාවක් නොමැති තැනක ඒ හා මඟුල් ශ්‍රියක් පවතීද? නැත.. ඔබගේ දියණියන් සහ යෙහෙළියන්ගේ රුවින් මේ පර්වතයේ එක් අග්‍රයක් සිතුවම් විය යුතුයි. එහෙත් ඒ කාර්යයන් අවසාන වන තෙක් ඔවුන් සියළු දෙනාට මෙහි රැඳී සිටීමට සිදුවේ. එය මසක් ද දෙමසක්ද නැතහොත් දොළොස් මසක් ද යන්න මා නොදනිමි.....“

ගම්බාරේ තම දියණිය සහ යෙහෙළියන් තිදෙනා පර්වත රාජයා වෙත බාරදී ගම්බලා ගොස් දැන් හාරමසක් වේ. ඔවුන් සතුටින් කෙළිදෙලෙන් ඉතා ආරක්ෂිතව සිටින බව පමණක් නිවෙස් වලට ආරංචි වෙයි.

කසුප් රජු පවා සිිත්තම් කටයුතු සිදුවන ප්‍රදේශයට නොපැමිණෙන්නේ කෝවින්දගේ මනෝ වෘතය බිඳේයැයි යන බියෙනි. එහෙත් මහ රෑ බියකරු සිහින දැක නැගිටෙන රජුට කෝවින්ද රාත්‍රී කාලයේ සීතල පවා නොතකා සිතුවම් අඳිනු පිරික්සනු පෙනේ. දළ රෙදි කඩකින් වැසුන උත්තුංග දේහදාරී ශරීරයකින් යුක්ත තරුණයකු වන ඔහු තුල ඇති හික්මීම රජු පුදුම කරවයි. දිව්‍යාංගනාවන් වැනි රූ ඇති උපලි සහ යෙහෙළියන් කෙරෙහි ඔහුට සැබවින්ම ඇල්මක් ඇති නොවීම පුදුමයක්. ඇරත් මෙවැනි කාර්යකදී. විටෙක ඔහු බොහෝ ළංව ඔවුන්ගේ හැඩ රුව නීර්ක්ෂණය කරයි. විටෙක තමාට අවශ්‍ය ආකාරයට ඔවුන්ගේ ශරීර අත පය මෙහෙයවයි. එවන් මට සිළුටු ස්ත්‍රියකගේ ශරීර ස්පර්ශයක් ඔහුගේ ඉන්ද්‍රියන් අවදි නොකරන්නේද? නැත තමන් යොදවා ඇති  චර  පුරුෂයන් කිසිවෙක් එවැනි ආරංචියක් රැගෙන ආවේ නැත.

“නැගණිය ඔබගේ මුහුණේ තිබිය යුත්තේ ශාන්තිමත් හැඟීමකි“

එක් දිනක් කෝවින්ද උපලිට තරවටු කරන නියායෙන් කීවේ ඇයගේ දෑස තුළ පහළ වී ඇති ප්‍රේමණීය හැඟීම දුටු බැවිනි.

“ සිත්තර ඇත්තෝ කොච්චර ලස්සනට මාව සිතුවම් කළත් සැබෑවට නම් ස්ත්‍රියක් දෙස නොබලන පාටයි...“

“ උපලි , මේ මා පුරන එක් භාවනාවක්. මා ඔබගේ රුව දකින්නේ බුදුන් දකිනා ඇසෙන්මයි. කිසි කළෙක මට රාග සිතක් පහළ නොවේ. මා ඉන්දියාවේ සිටියදී බුදු රුව සිතුවම් කළ භක්තියෙන්ම  ඔබලාගේ රූවද සිතුවම් කරමි. සංසාරයේ මහා පුණ්‍ය කර්මයකින් ලද රන් රුවක් ඇති ඔබ ඔබගේ අනික් ආත්මය වෙනුවෙන්ද කුසල රැස් කරගත යුතුය..

“ මේ කුමන කුසලයක් ද ? මේ පර්වතය අලංකාර කරනු සඳහා පමණක් නොවේ ද ..?

“නැගණිය කිසිදු අවස්ථාවක එක් වරම සිතට නැගෙන දේ අනුව ක්‍රියා නොකරන්න. නොසිතන්න. එක් වරම ඔබට නොසිතෙන දේ නොපෙනෙන දේ බොහෝමයි...“

තවත් මසක් ඇවෑමෙන් උපලිි සහ යෙහෙළියන්ට රාජාවසරය මත සිංහගිරියෙන් නික්මුණා. ඔවුන්ගේ ජීවමාන රූපකායන් කටු සටහන් ලෙසින් පර්වතයෙහි එක් කොටසක සටහන් වී තිබුණා. ඔවුන් සියළු දෙනාට කහවණු පොට්ටනියක් ලැබී තිබීම ගම්මානයේ අනිකුත් අංගනාවන්ගේ තද ඊර්ශීයාවට හේතු පාදක වුණා.

කෝවින්ද දිනකට එක් වරක් පමණක් ඉනිමගෙන් බැස දවසටම සරිලන පරිදි ආහාර ලබා ගෙන ඉතිරි පැය සියල්ලේම සිතුවම් වර්ණ ගැන්විම කරන බව කසුප් රජු දැනගත්තා. සීහගිරියේ බැබළෙන මල් ගොමු, අලංකෘත දිය පොකුණු , ප්‍රතාපවත් සිංහ සෙය්යාව මේ සියළු දෙය කියාපෑයේ රජුගේ තේජෝ බලපරාක්‍රමයයි. එය සම්පූර්ණ වන්නේ මේ සිතුවම් දැක්මත් සමගමයි.

“ රජතුමනි ඔබගේ අභිලාෂය දැන් සම්පූර්ණයි. ඔබ පොරොන්දු වූ පරිදි දැන් මා හට බවුන් වැඩිම සඳහා වන ගත වීමට අවසර දෙන්න ...“

“කෝවින්ද මා මෙතෙක් නොඉවසිල්ලෙන් සිටි ලලනා රුව දැන් බැළීමට මට අවසරද?“

“එන්න රජතුමනි.. ඔබගේ සියළු සිතුවිළි මා ගල මත සිත්තම් කළෙමි..“

සුවඳ මල් දෝත දරමින් බුදු පුදට යන සුරංනාවන් සේ සිත්තම් වී ඇති උපලීගේ රුව කළු බේඳය මත ජිවමාන වී බුදුන් වහන්සේ කෙරෙහි තමා තුළ ඇති අප්‍රමාණ වූ භක්තිය සිත්තම්  තිබූ සැටි දුටු කසුප් රජ දොහොත් මුදුන් දී දුන් සාධුකාරය අවට වන ගැබ සිසාරා පැතිරිණි. ඒ සාධු නද අසා අමාත්‍යාදීන්ද සේවකයන් ද සිහගිරියේ සිතුවම් දැකීම සඳහා කඩිනම් වූහ.

ගම්වැසියන් ගම්බාරේ වෙත ගෙන ආවේ ඔහු කිසිවිටකත් අපේක්ෂා නොකළ පුවතකි.

“රන්කහවණු අහස උසට ගොඩ ගසා දුන්නත් අපගේ දැරිවියක් නම් පිට දේශක්කාරයෙක් ඉදිරියේ උඩු කරය සෙළුවෙන් නොසිටියි“ .

ඒත ගම්බාරේගේ දියණිය උපුලී තම සෙළුව ගල මත නෙලා ඇති බව පණිවිඩකරුවා මුළු ගම්මානයම ගිනි ලෑ අයුරුයි.

ගම්බාරේ තම දියණියගෙන් විමසුයේ එබන්දක් සිදුවියද යන්නයි. එහෙත් දියණීය කියන්නේ එසේ නොවුණු බවයි.

මේ පුවත මහා ලැව්ගින්නක්ව පැතිර යනු උපලීට පෙනේ. සිත්තර ඇත්තෝ මෙවන් සංවරයක් ඇති අයෙක්. නොසිරිත්ව අපගේ ස්පර්ශයක් වත් නොබැලු ඔහු කෙසේද යුවතියකගේ උඩුකය සිතුවම් සිතුවම් කරන්නේ..?
මෙය මුසාවකි. ගම් වැසියෝ මුසා පතුරති. එහෙත් එසේ සිතා සැනසීමට උපලීට නොහැක. ඇය හා කිසිදු යෙහෙළියක් කතා නොකරයි. ගම්මුන් කිසිවෙක් මුහුණ නොදෙති.ඇය වරදේ බැඳුනු කාන්තාවක් සේ  සලකමින්  පියාට ද අවමන් කරති.

ගම්බාරේ සිය දියණිය කැටුව ගොස් මෙය දෑසින් බලා ගතයුතු යයි සිතන්නේ දියණිය එක හෙලා එවන් සිතුවමක් සඳහා තමන් ඉඩ නොදුන් බව කියනා හෙයිනි.

උපලීගේ සියොළඟ පුරා දහඩිය රෑරා හැලෙන්නේ පර්වතය නැගීමෙන් වු මහන්සිය නිසා නොවේ. ලලනා රූපයන් දැකීම නිසාය. ඇයට අදහා ගත නොහැක්කේ කෝවින්දයන් තම මුහුණ සහිත රුවෙහි නුහුල් පොටක් හෝ දමා උඩුකය වසා නොමැති බැවිනි. කිසිදු ආකාරයකින් කාමයෙහි නොඇලුන සිත් ඇත්තෙක් වන ඔහු මෙවන් කටයුත්තක් කළේ කෙසේ දැයි ඇයට සිතා ගත නොහැක. තම පියාට වත් ලෝකයාටවත් නැවත මුහුණ දීමට නොහී තම කළයුත්තේ කුමක්දැයි සිහි එළවා ගත නොහුන දැරිය මහා ගල් පර්වතයෙන් බිමට පැන්නාය.

මහා පවුරු, දිය අඟල්, ආරක්ෂක කුටි, ස්වභාවික ගල් ආරුක්කු ආදියෙනුත්,මල් උයන්වලින් හා හිරිගල් නිමැවුණු සියුම්ව පිරිමැද සිනිඳු කළ හෙයින් ම කැටපත් පවුර යන නම් ලද මහ පවුරෙනුත් සමන්විත මේ වංකගිරිය විසින් සොරාගත් තම දියණිය සැබවින්ම ගම්බාරේට මානික්‍යක් විය. ඇයට උපලි යයි නම් තැබුවේ ද  ඒ අදහසිනි.

 උපලිගේ ක්‍රියාවෙන් පසු මහත් කම්පාවට පත් කස්සප රජු කෝවින්දයන් සොයා ගෙනැවිත් සියල්ලන්ම ඉදිරියේ ඇයගේ නිර්දෝෂ බව සපථ කළේය. ඔහු අජන්තාවේ ඇඳි සිතුවම්හි කාන්තා උඩුකය මෙහි සිතුවම් සඳහා යොදා ගත්තා විනා උපලි කිසි විටෙකත් එසේ සළු වෙන් තොර සිතුවම් සඳහා පෙනී සිට නැත. ඇයගේ නිර්දෝෂභාවය අසන්නට ඇය ජීවත්ව සිටියා නම් යැයි ගම්බාරේට දහස්වර සිතිණි

උපලීගේ වියෝවෙන් ගම්බාරේ ගිලන් විය. මෙය රජුගේ මහත් කනස්සල්ලට හේතු විය. ගම්බාරේට පොහොය දිනකදී  සිතුවම් සහිත පර්වත කොටසට යාමට මහත් දොලක් උපන්නේ එහි බුදු පුදට යන දිව්‍යාංගනාවන් සැරි සරන බව ඇසීමෙනි. රජ අණින් ඔහු මැස්සක නැගි තරුණයන් පිට මතින් එයි.

ගම්බාරේ සිතුවම් හොඳින් දර්ශනය වන තැනක වැතිර ගත්තේ තමා මේ පර්වතව වෙත පැමිණෙන අවසන් අවස්ථාවයැයි සිතු නිසාය. පර්වතයේ අනික් පඩිපෙළ ඔස්සේ කසාවත් හැඳි තෙරණියක් සන්සුන් ගමනින් පැමිණෙු ගම්බාරේට පෙනේ.

ඇය පැමිණ බුදු පුදට යන කාන්තාවන් දෙස බලා දොහොත් මුදුන් තබා වැන්දාය. ඉන්පසු නැවතත් සන්සුන් ගමනින් පැමිණ ගම්බාරේ පසුකර යන්නී මදක් නැවතී එහි වැතිර උන් මිනිසා දෙස බැලුවාය.

“අප්පොච්චා..“

“ මයේ උපලී...“

“මම දැන් මෙහෙනියක් . ...උත්පලවණ්නා..” 

ගම්බාරේ විමසිය යුතු කිසිවක් නොවිමසා කදුලින් වෑහෙන දෙනෙත් පිස දමන්නට විය.

“අප්පොචචා මම ගලෙන් පල්ලහාට පැන්නාට මියැදුනේ නෑ. කන්ද පාමුල ගස් ගොන්නක මා හිරවුණා. බවුන් වඩනා පින් ඇත්තන් පිරිසක් මා දැක ආරණ්‍යකට රැගෙන ගියා. මා මාස ගණනාවක් ඖෂධ ඔරුවක බහා තබා ඔවුන්  මගේ ජීවිතය නැවත ලබා දුන්නා.  කෝවින්ද සිත්තර ඇත්තෝ  කෙසේ හෝ ඇවිත් මා ගැන  සත්‍ය කියා තිබු බව මා දැනගත්තා. මට ඔහු මගේ ජීවිතයේ වටිනාකම කොතෙක් දැයි කියා දුන්නා. මගේ රුව ඇති සිතුවම් දැක බුදුන් කෙරේ සාධු නාද පවත්වන ඇත්තන්ගේ හඩ මට ඇසෙන්නට සැලැස්සුවා. මා සංසාරේ කළ කුසල කර්මයෙන් ලත් රුවින් මිනිස් සිත් සතන් පහන් කිරීමේ පින කොතෙක්දැයි මා හට ඔහු ඉගැන්නුවා. “

“ උපලී........“

“මෙතැන සාධු නාද පවත්වන හැම සිතක් නිසාම මට කුසලයක් අත් වන බව මා දන්නවා.
මා දුර දිග නොබලා දිවිය තොර කර ගත්තා නම් මට සංසාරේ කිසි දිනක නිවනට ලඟා වෙන්නට බෑ අප්පොච්චා. මා ධර්මය තුළින් නිවුණා... මා  ඔබටත් ඒ නිවනේ දොර හැර දෙන්නම්..“


(ලෝක සියදිවි නසා ගැනීම වැලැක්වීමේ දිනය අද එනම් සැප්තැම්බර් 10 වන දිනට යෙදී ඇත. සිය දිවි නසා ගන්නා රටවල් අතුරෙන් ලංකාව සිටින්නේ ලොව පස්වන ස්ථානයේය. එහෙත් අපට වඩා මරණයට බොහෝ හේතු ඇති වෙනත් රටවල් සියදිවි නසා ගැනීම අතින් අපට වඩා පහළින් සිටී. සියදිවි නසාගත් අයෙකුට තවත් එක් අවස්ථාවක් ජීවත් වීමට  ලබා දුන්නා නම් ඔහු නිසැකවම ජීවිතය තෝරා ගනු ඇත. මෙය , පදනම් ආයතනය මගින් එක් ජීවිතයක් හෝ  ඉන් මුදාගැනීමේ  අරමුණින්  Choose Life තේමාව යටතේ සංවිධානය කරන ලද සැමරුම් මාලාව උදෙසා අද දින ප්‍රකාශයට පත් කරන ග්‍රන්ථය සඳහා ලියන ලද්දකි.)

Thursday, August 16, 2018

පාට පිරුණු ජීවිත


රූපවාහිනියට යාබද තණ බිස්සේ තැන් තැන් වල සවිකරපු පුවරු වල දරුවෝ චිත්‍ර අඳිනවා. එයාලාට උපදෙස් දෙන්න චිත්‍ර කර්මය හදාරපු ප්‍රවීණයෙක් සැරෙන් සැරේ ඒ පුවරු වලට එබෙනවා. මොකක් හරි පොඩි අඩුපාඩුවක් දැක්කත් බොහෝම උනන්දුවෙන් දරුවාට ඒක කියලා දෙනකොට මැද්දට පනිනවා අම්මලා. දරුවට හරි විදිහට උපදෙස අහන්න ලැබෙන්නේ නෑ. ඒ මදිවට මැද්දට පනින ඒ අම්මලාට මතක නෑ එයාලා බාධා කරන්නේ අනෙක් දරුවන්ට බව.
“කරුණාකරලා අම්මලා ටික එහා පැත්තට වෙලා මෙතන දරුවන්ට නිදහස් කරලා දෙන්නකෝ. අපි දැන් රූප ගත කිරීම් පටන් ගන්න යන්නේ”  පැහැදිළී විධානයක් ලැබුණා. ඒ පණිවිඩේ නා ගස් යට පුටුවල ඉඳගෙන හිටපු මටයි කාන්ති අක්කාටයි දෙන්නටම ඇහුණා.
“ මේ අම්මලා ගෙවල් වලත් ඔය විදිහම ඇති. අර බලන්නකෝ ඈත ඉඳන් ළමයින්ට උපදෙස් දෙන හැටි.. ඔයාකාර බලකරලා මොකද මේ රට අල්ලන්න හදන චිත්‍රයක් අඳිනවා නෙවෙයිනේ නේද නංගි”
කැළණියේ ඉඳන් තමන්ගේ දුව රූපවාහිනියේ චිත්‍ර පැය වැඩසටහන ආව කාන්ති අක්කා මට හම්බ වුනේ එ් විදිහට.
“ කාලෙකට පස්සේ කකුල් දෙක දිගෑරලා ඉඳගන ඉන්නේ. ගෙදර ඉතිං කප්පරකට වැඩ.. අද මේ ආවෙත් පොඩි දුවට දුක හිතෙන හින්දා.. අද මහත්තයා  ඉරිදා නිසා ගෙදර .. දවල්ට උයලා තියන්නම් කිව්වා. ඒ හින්දා මම මේ  ආවේ.”
“ මහත්තයා ගෙදර වැඩට උදව් කරනවා වගේ? “ මම ඇහැව්වා
“ ඒ ඉවිල්ලෙන් නම් ඉතිං මට වැඩ වැඩි වෙනවා . ඒත් මේ පොඩි දුවගේ වැඩේ නෙකෙරෙන නිසා මම කුස්සිය බාර දීලා අ‍ාවේ. අනික කෙල්ලගේ වැඩක් පාඩු වෙනවාට එයා කැමති නෑ.”
“ කාන්ති අක්කට ඉන්නේ මේ දුව විතරද?”
“ මේ මගේ නංගිගේ දුව.. මාස තුනේ ඉඳලා මම හදන්නේ....මගේ දුව වගේම තමා ඉතිං. මටත් වඩා මගේ මහත්තයා තමා එයාට ආදරේ...”
නොකියවුණු දිග කතාවක් කාන්ති අක්කගේ මූණේ ලියවුණා. සතුටයි දුකකි දෙකම මිශ්‍ර වුණු කතාවක  පෙරවදන මම තනියම කියෙව්වා. කතාව අහන්න ලොකු පෙළඹවීමක් ආවා වුනත් දැඩි ශෝකයෙන් මි‍රිකෙන ඇස් වලට ටික වෙලාවක් දෙන්න වෙන බව මට දැණුනා.
“ මගේ නංගි හරි ලස්සනයි ඒ වගේ ම හිතුවක්කාරයි. ඉස්කෝලේ යන කාලේ සෙල්ලක්කාර කමට  යාළු වෙච්ච කෙනාම බැන්දා. අපි දන්නා තරම් කිව්වා ඒ කෙනා නංගිට ගැලපෙන්නේ නැති බව. මොන කනකට ගත්‍තේ නෑ. අන්තිමට දෙන්නා පැනලා ගියාම අපේ මහත්තයා කොහොම හරි දෙන්නාව ගෙනල්ලා බන්දලා දුන්නා. එතකොට මගේ පුතාට අවුරුදු හතක් විතර ඇති. ප්‍රශනේ පටන් ගත්තේ එතන ඉඳන්. අපේ මහ ගෙදර මගේ නමට ලියලා තිබුණු එකට නංගි පටන් ගත්තා රණ්ඩුව..  මගේ අම්මලාට කනක් ඇහිලා ඉන්න නැති පාර ඒක අපි දෙන්නම කතා වෙලා නංගි‍ගේ නමට ලිව්වා. ඒකට එයාගේ මහත්තයා අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා. අපිට දෙමව්පියෝ බලන්නවත් යන්න බැරි තැනට ප්‍රශ්ණ ආවේ. එයාගේ මහත්තයා බීමට ඇබ්බැහි වෙලා අන්තිමට නංගි දෙන්නා අතරේ කෙළවරක් නැති රණ්ඩු සරුවල් ආවා. එක දවසක් ලොකු රණ්ඩුවක් වෙලා මේ මිනිහා ගෙදරින් පැනලාම යන්න ගියා එයා ගහපු පාරකට නංගී මැරුණාම තමා කියලා හිතාගෙන . නංගිගේ ජීවිතේ බේරුණා. ඉස්පිරිතාලේ ඉඳලා ඇවිත් එයාට සාත්තු කරන්න මගේ වයසක අම්මාට බැරි හින්දා මම නංගිව ගෙදර ගෙනාවා. නංගිට ආපහු පවුල් කන්න උවමනාවක් තිබුනේ නෑ . එයාට ඕන වුනේ රට යන්න. අපි විරුද්ධ වුනා. මේ තරුණ කෙල්ල නොදන්න රටවල වහල් කමට යන්න පුළුවන්ද?”
“ ඉතිං නංගි ඒ අදහස අත් ඇරියද?
“ඔව් ටික දවසකට..”
“........................”
“ මොකද නංගි ඒ වෙලාවේ තමා දැනගත්තේ එයාට බබෙක් ලැබෙන්න බව.... එයාට ඕන වුනේ දරුවාව නැති කරලා නිදහස් වෙලා යන්න. අපි දෙන්නා ඒකට විරුද්ධ වුණා. එතන ප්‍රශ්ණ ගොඩක්. නංගිට දැන් මහත්තයකුත් නෑ, රස්සාවකුත් නෑ . අපිට තිබුනෙත් මහත්තයාගේ රස්සාව විතරයි. එයා බස් ඩ්‍රයිවර් කෙනෙක්. ඒ ආදායම අමාරුවෙන් පිරිමහගෙන හිටියේ. ඒත් දරුවෙක් නැති කරන්න හිතන්නේ කොහොමද? ඒ හැමදේම ඉවසන්න පුළුවන් අර අසත්පුරුෂයා එක එක්කනාට ආරංචි වෙන විදිහට කියන්න අරන් තිබුණා ඒ නංගිගේ බඩේ ඉන්නේ එයාගේ දරුවෙක් නොවන බව...”
“ ඓහමෙ ප්‍රශ්ණයකුත් තිබුණාද?”
“ ඒ මිනිහා ගොතපු බොරු. තමන්ගේ දරුවාගේ පියා කියලා පිළීගන්න කැමති නැති නරුමයෙක්”
කාන්ති අක්කා නොසරුප් වචනයක් කිව්වත් ආපහු මම දිහා බලලා සමාව ඉල්ලුවා.
“ ඒක නෙවේ දරුණුම කතාව. ඒ දරුවා මගේ මහත්තාගේය කියලා තමා ගමේ කතාව හදලා තිබුණේ. මට මුලින්ම ඉහිලුම් දුන‍්නේ නෑ.. මම දන්නවා මගේ මහත්තයා එයාගේ නෑනා දිහා බැලුවේ තමන්ගේ දරුවෙක් දිහා වගේ බව. ඒත් මගේ හිතට හරි වේදනවාවක් ඒ කතාව. නංගි ඉන්න තත්ත්වේ අනුව අපිට එයාට දුකක් දෙන්න බෑ. ඒ හින්දා අපි දෙන්නා කොහොම හරි එයාව බලාගෙන දරුවා ලැබෙන්න ඉස්පිරිතාලෙට නංගි ඇතුල් කළා. ඒ ලැබුනේ මේ දුව. ගෙදර ආවම නංගි දරුවා ගැන බැලුවේම නෑ.. එයාට රට යන පිස්සුවම තමා තිබුණේ. මට හරි කේන්තියි ඒකට. අපි දෙන්නා දවසක් වාද වුණාම මගේ නංගී මගේ මූණටම කිව්වා එයාගේ දරුවාගේ තාත්තා මගේ මහත්තයා බව. ඒ වෙලාවේ මගේ මහත්තයාට හැදුනා පපුවේ අමාරුවක්. ගමේ අය එකතු වෙලා එයාව ඉස්පිරිතානේ නොගෙනියන්න එයා අද ජීවතුන් අතර නෑ.”
“ නංගි කිව්වේ බොරුවක්ද?
“ඔව් මොකද මට අපේ මිඩ්වයිෆ් නෝනා ඒ කාරණේ පහදලා දුන්නා. මේක මේ අර විරසකය වෙන්න කලින් සිද්ද වුණ බව දින ගාන ගැනල‍ාම. එහෙම නොවෙන්න මාත් මගේ මහත්තයාව සැක කරයි. ඒ රණ්ඩුවෙන් පස්සේ නංගි ළමයා අපට දාලා ගියා. පස්සේ දිග ලියමනක් එවලා තිබ්බා එයාගේ දුව බලාගන්න ආයම මේ රටට එන්නෙ නෑ කියලා. කොටින්ම අපිට අන්තිම යුතුකම විදිහට මහ ගෙදරත් උකස් කරලායි ගිහින් රට තිබුණේ....”
“ දරුවාව අපි දෙන්නගේ නමට උප්පැන්නේ දාලා හැදුවා. මගේ මහත්තයා බෝධි සත්වයෙක්. දුවට කිසිදාක අඩුවක් කළේ නෑ. එයාට වැඩිකල් රස්සාව කරන්න බැරි වුනා . දියවැඩියාව ඇවිත් කකුලක් කපන්න වුනා. හැමදේම වුනේ මානසික පිීඩාව නිසා. මගේ පුතත් කරදරයක් නැති දරුවෙක්. එයාත් ඉගෙන ගත්තා. “
“දුව අම්මා ගැන දන්නේ නැද්ද?”
“ දන්නවා. එයා දැන් හත වසරේ ඉන්නේ. අපි හැමදේම කිව්වා පිටින් ආරංචි වෙන්න කලින්. එයාට අපෙන් අඩුවක් නොවුණු නිසා හොඳ කීකරුව ඉන්න දරුවෙක් වුනා. වැඩිම ආදරේ එයාගේ තාත්තාට තමා මටත් වැඩිය. දැං මහත්තයා රෑට සෙකුයුරිටි ‍ජොබ් එකක් කරනවා. එයාට දවල් වැඩ කරන්න බෑ..
“ඇයි ඉතිං ඔය අසනීප වලටත් හොඳ නෑනේ නිදිමරන්න?”
“මේකනේ නංගි දවල් සෙකුරිටි වැඩ කළෙ‍ාත්  සපත්තු දාන්න වෙනවා. එයාට තියෙන්නේ එක කකුලයිනේ..”
මේ සංවාදය දරුවො චිත්‍ර අඳිනකම්ම කෙරිලා තියන බව අපට දැනුනේ දරුවන්ගේ චිත්‍ර විග්‍රය පටන් ගත්තාම.
කාන්ති අක්කයි මමයි කොච්චර වෙලා කතා කරලා තිබුණද කියලා  කිව්වොත් ඒ කාල සීමාව ඇතුළත සුදු පාට පිටුවල ළමයින්ගේ ලෝක මැවිලා තිබුණා. ඈත මුහුදේ යන බෝට්ටු කිසි හව්හරණක් නැතුව පාවෙමින් තිබුණා. ඒවට එළිය  පෙන්නලා දෙන්න ප්‍රදීපාගාරයක්වත් අඳින්න දරුවට අමතක වෙලා හැඩයි. ඒත් සමහර වෙලාවට කොච්චර මග පෙන්නන්න එළියක් දුන්නත් ඒ කිසි දෙයක් ප්‍රයෝජනයට නොගන්න බෝට්ටුත් තියනවනේ.
සමහර චිත්‍ර වල තිබුණා වර්ණ තැවරුණු හැන්දෑවල්. කළු සුදු විතරක් තියන ජීවිත වලට වර්ණ තියන හැන්දෑවල් අත්දකින්න ලැබෙන්නේ නෑ.
තවත් සමහර චිත්‍රවල කිසිදාක දැකලා නැති ඝන කැලෑ. අපි පොඩි කාලේ නම් කැළෑවක් අඳින්න හිතුවේ වත් නෑ. ඒ අමුතුවෙන් අඳින්න ආසාවක් නැති නිසා. කොයි පැත්ත බැලුවත් කොළ පාට කැලෑවක් පේන්න තිබුණනේ. ඒත් මේ දරුවෝ ගොඩක් අය ඒ දර්ශන ඇඳලා තිබ්බේ තමුන්ට ඒවා දකින්න තිබුණ ආසාව නිසා වෙන්න ඇති.
චිත්‍ර ගුරුතුමා කොළ ටික ලොකු ලෑල්ලක එල්ලලා ප්ලාස්ටික් කූරු දෙකක් ගැහැව්වා. ‍චිත්‍ර වල අයිතිකාරයෝ පිළිවෙලකට එතන්ට ගිහින් ටීවී එකට තමන්ගේ නිර්මාණය ගැන කතා කරනවා.
කාන්ති අක්කගේ දුවගේ චිත්‍රය තිබුණේ තුන්වෙනියට. දෙපැත්තට දාලා තියන කොණ්ඩ දෙක වන වනා ගිහිල්ලා පොඩි කෙල්ල ඉඳගත්තා උස පුටුවේ. ඒ මූණත් චිත්‍රයක් වගේමයි. හැඟීම් ගොඩක එකතුවක්.
ඒ දුව ඇඳලා තිබුණේ තමන්ගේ ගෙදර. පාට පිරුණු ලස්සන චිත්‍රයක්. ඒ මගේ විග්‍රහය.
චිත්‍ර ගුරුවරයා දැක්කා ඊට වඩා දෙයක්. ගෙදරක් පසුබිම් කරගත් චිත්‍රයේ බාගෙට ඇරුණු ගේට්ටුවක් ළඟ පුංචි දරුවෙක් ඉන්නවා. එයා පාර දිහා බලාගෙන ඉන්නවා. පාරේ එනවා වැඩට ගිහින් එන තාත්තා. එතකොට මේ දුව ඉන්නේ තාත්තා එනකල්.
“මොකද්ද මේ චිත්‍රයෙන් කියවෙන්නේ දුවේ?”
“ මේ මගේ තාත්තා වැඩ ඇරිලා ගෙදර එනවා. මම හැන්දෑවට හැමදාම බලාගෙන ඉන්නවා එයා එනකල් . ඒක තමා මම ඇන්දේ...”
“ඇත්තද දුවේ ..... ඇයි ඒ තරම් ආසා දුව තාත්තා හවස ගෙදර එනවට..?”
“ඒ මගේ තාත්තාට කවදාකවත් හවසට ගෙදර එන්න නැති නිසා... ඒ කියන්නේ ...ඒ කියන්නේ එයා රෑ වැඩ රස්සාවක් කරන්නේ... මම හින්දා... ඒත් මම  ආසයි තාත්තා හවසට ගෙදර එනවා නම්... ඒකයි...මේ ඇන්දේ ”
චිත්‍ර ගුරුතුමා ආයාසයකින් කතාව වෙනස් කලා.
“ කොච්චර හොඳ හැඟීමක්ද බලන්නකෝ.. ඉතිං දුව කියන්න බලන්න මේ චිත්‍රයේ තාත්තාගේ සපත්තු දෙක මෙච්චර ලස්සනට ඇඳලා තියෙන්නේ ඇයි කියලා...” චිත්‍ර ගුරුතුමා  ආපහු අහනවා.
“ මගේ තාත්තට කිසි දවසක මේ වගේ සපත්තු දාන්න ලැබෙන්නේ නෑ... එයාගේ කකුලක් නෑනේ... මං ආසයි මගේ තාත්තාට ලස්සන සපත්තු දෙකක් දාන්න ලැබෙනවා නම් ඒකයි මෙහෙම ඇන්දේ ...”