Monday, April 8, 2024

මැඩම් ඇවිත්

 

එක පාරටම අවට ලොකු නිශ්ශබ්දතාවයක් පැතිරිලා යනවා. මුළු ලෝකෙම කතා වෙලා එක වර හැම වැඩක්ම නැවත්තුවා වගේ දැනෙන්නේ. බාස්කට් බෝලෙ නවතිනවා එක තැනම. නෙට්බෝලෙත් නවතිනවා. ඩෙස් පුටු ඔක්කොම ගල් වෙනවා.

ඇහෙන එකම සද්දේ උල් අඩි ශබ්දයක් විතරයි. කන් දෙක රත්වෙලා අපි අහුවුනු පුටුවක ඉඳගන්නවා. ඒ නිශ්ශබද්ධතාවය හරියට තේරුම් ගත්ත කෙනා කොහොම හරි  තමන්ගේ පුටුවේ ඉඳගෙන පොතක් පෙරලාගන්න තරම් වාසනාවන්ත වෙනවා.

කකුල් දෙකෙන් පටන් ගත්ත රස්නයක් ඇඟ පුරාම ගිහින් බඩ කොරවෙන ගතියක් ඇති කරවනවා.“ අනේ අපේ පන්තියේත් මිස් කෙනෙක් මේ වෙලාවට හිටියා නං“  කියන ආගන්තුක දුක අපි හැමෝම වෙලා ගන්නවා.

උල් අඩි සද්දේ පන්තියේ දොර ළඟ නවතිනවා අපිට ඇහෙනවා. ඒත්  දකින්න නෑ. අපි පොත් දිහා බලාගෙන ඉන්නේ . පොත් අස්සේ තියන වචන ඉලිප්පි ඉලිප්පි මූණෙ වදින්න තරම් ළඟට එනවා. හීන් දාඩියක් කොන්ද දිගේ එනවා.

 “ දැං මොන විෂයද තියෙන්නේ ? “ අර උල් අඩි සද්දේ අයිතිකාරයා ඉංග්‍රීසියෙන් අහනකොට කෙල උගුරක් ගිලලා මොනිටර් වෙව්ලන ස්වරයෙන් උත්තර දෙනවා.

“මැඩම් ඇවිත් .......“

එතන ඉඳන් අහන ප්‍රශ්ණ වලට ඇත්තම උත්තරේ දෙන්න අපි හැමදෙනාම තනි තනියෙන් ප්‍රතිඥා දීගන්නවා. බොරු උත්තරයක් දීලා බේරුණ කෙනෙක් ඉස්කෝලේ ඉතිහාසෙටම ඉන්න විදිහක් නෑ. ඒක අපිත් අවුරුදු 13 ක් තිස්සේ ප්‍රත්‍යක්ෂ කරගත් දෙයක්. හැබැයි ඇත්ත කියලා බැනුම් අහලා එතනින් එහාට නොගිහින් බේරුම්කරණය කරගත්ත දේවල් අනන්තයිි.

මිස් කෙනෙක් ආවේ නැති දවසට එවන වැඩ කන්දරාව කරගන්න ඒ පීරියඩ් එක මදි. ඒක මදිවට අපේ ප්‍රින්සිපල් මැඩම් ඇවිත් පොත් බලලා , නෝට් එක ලීව තැන බලලා මදිවට පහුගිය වාර විභාගේ ලකුණු අහලා බඩේ බිත්තර කීයක් තම්බවනවද?

නෝට් එක ලියන්න පටං නොගෙන කෑ ගහන්න අරං තිබුනොත් එළියේ දණ ගස්සවනවා. ඒක දෙතුන් වතාවක් වුණොත් ඔෆිස් එක ඉස්සරහා ලෝකයාට පේන්න දණ ගස්සනවා. මැඩම් බැන්නා, දණ ගැස්සුවා කියලා නං අපිට කවදාකවත් තරහක් ඇවිත් නෑ. ඒත් අපේ හතුරන්ට අපේ ඉරණම පේන්න සලස්සපු එක නං ඉතාමත්ම වැරදි බව අපි අපි කතා කරගන්නවා.

සඳුදා උදේ රැස්වීමත් සමහරදාට ඉවර වෙන්නේ අපේ සතියම මස්ත බාල්දු කරලා. ඒ කියන්නේ කතා දෙකක් එක වර පැවැත්වීම නිසා තවත් විනාඩි දහයක් පහළොවක් අපේ පන්තිය විතරක් අව්වේ තියාගන්නවා. ඒ කියන්නේ මැඩම් කතා කරන වෙලාවට අපිත් අපේ කතා පටං ගත්තාම. අපිට හිතෙන්නේ නෑ අච්චර ළමයි ගොඩක් ඉන්න තැනක අපි කතා කරනවා පෙනෙයි කියලා. ඒත් අපේ හේවාවසම් මැඩම් ඒක පෙනිලනේ.

මැඩම් බැන්නත් ඒකෙත් ලස්සනක් තියන බව අපිට හිතෙනවා. ඇස් දෙක අඩවන් කරගන්නවා ඒත් හරියටම වැරදිකාරයාගේ ඇස් දිහා බලනවා. ඒ බැල්මට ලෝක බොරුකාරයෙක් වුනත් අඩපණ වෙලා ඇත්ත කියන නහර මතුවෙන්න පටං ගන්නවා. එතැන් පටං ඒ ළමයා සියළුම පාවාදීම් කරමින්, මීට පෙර කරන ලද කුමන්ත්‍රණ හෙළි කරමින් , ක්‍රියාදාම අපරාධකරුවන් හෙලිකරමින්  සත්‍ය පමණක් කතා කරනවා. එකා පිට එකා වැරදි වලට අහුවෙනවා. ඒත් කවදාකවත්  දිවි නසාගන්න, ඉස්කෝලෙට මුහුණ දෙන්න බැරි වෙන, ආත්ම ගෞරවය නැතිකරගන්න තැනකට අපිව යැව්වේ නෑ. ජීවිතේ කිසි දවසක ඒ වැරද්ද නොකරන්න තරම් විනයක් සහ අධිෂ්ථානයක් විතරක් අපිට ඉතුරු කළා. පරණ දේවල් ඇදලා අරගෙන අපට බැනලා නෑ. සමහර විට ඕනෑ තරම් අලුත් වැරදි ස්ටෑන්ඩ් බයි තිබුණ නිසා වෙන්න පුළුවන්.

ඔෆිස් එකේ ඉදන් පිට්ටනියේ එහා කොන, එහෙමත් නැත්තං ප්‍රධාන ගේට්ටුව ඇතුළුව ඉස්කෝලේ අස්සක් මුල්ලක් නෑර දකින්න යොදාගත්ත  තාක්ෂණය නම් සීසී ටීවී වලටත් වඩා දියුණු එකක් වෙන්න ඕනෑ. අවේලාවේ එළියට බැහැලා මැඩම් අහු නොවුන කවුරු හරි හිටියා නං ඒ කරුවල අඳුන ගා ගත්ත කෙනෙක් වෙන්නැති.

මම හරි ආසයි අපේ බෑන්ඩ් දෙක ඉස්සර කරගෙන මැඩම් ස්පෝට්ස් මීට් එනවා බලන්න. ප්‍රධාන අමුත්තට වඩා ආඩම්බරයි. ඒක නං හරියට මගේ දරුවෝ මෙච්චර දක්ෂයි කියලා පෙන්නන්න රජ දැක්මකට ගෙනියනවා වගේ ආඩම්බරයක්. ඒ ආඩම්බර හිනාවෙන් කොටසක් අපි හැමෝටම දෙනවා. ඉස්කෝලේ හැමෝම කොන්දේසි විරහිතව මැඩම්ට බැඳුනේ ඒක වෙන්නැති.

එකම චරිතයක් ඇතුලේ දැඩි බවක් සහ මෘදු බවක් සමබර කරගත්ත හොඳම චරිතයක් අපේ හේවාවසම් මැඩම්. හිත ඇතුළේ තියන ආදරය හැම වෙලාවෙම අපට දැනෙන්න ඇරියා. කිසි දවසක ගෞරවය නොඉල්ලුවත් අපේ හිතේ ගැඹුරුම තැනින් එන ගෞරවය මැඩම් දිනාගත්තා.

මම අදටත් මගේ ඉස්කෝලේ ගැන කියන වාක්‍ය දෙකක් තියනවා.

“මගේ පාසලේ විදුහල්පතිතුමිය පාසල තුල ශාරීරික දඩුවම් ලබා දීම තහනම් කරපු කෙනෙක් . ඒ වගේම පාසල් දරුවන් විසින් ගුරුවරුන්ට තෑගි දීම තහනම් කරපු කෙනෙක්“ .

ඒ වෙලාවට සභාවේ ඉන්න අයගේ ඇස්වල නොදැකපු විදුහල්පතිතුමියක් වෙනුවෙන් ඇඳෙන ගෞරවය ඇය වෙනුවෙන් මම බාරගන්නවා.

මලියදේව බාලිකාවෝ වෙනුවෙන් අවුරුදු 20ක් ! ඉස්කෝලේ ස්වරණමය දශක දෙක. ජීවිත කීයක් වෙනස් කරන්න ඇතිද? ඇස්දෙක අඩවන් කරගෙන නඩු විසඳලා එහෙමත් නැත්තං ආඩම්බරෙන් ප්‍රශංසා කරලා ජීවිත කීයක් වෙනස් කරන්න ඇතිද?

මේ ළඟදි ගොඩක් කාලෙකට පස්සේ අපි  මැඩම්ව බලන්න ගියා. එදා නම්  මැඩම් හිටියේ ඇස් පියාගෙන. ඉස්සර වගේම ආඩම්බර පාටයි. ආදරණීය පාටයි.

ඇස් පියාගෙන හිටියත් අපිව දකින්න ඇති. මොකද ඔය ඇස් දෙකට මලියදේව බාලිකාවන් නොපෙනී තියෙන්න විදිහක් නෑ.

මේ ජීවිත කාලය තුල අපි ආය ඔබතුමියව දකින්නේ නෑ.  සංසාර ගමන බොහොම දුර එකක් වුනත් අපි වෙනුවෙන් කළ සියළු යහපතින්  ඔබේ සසර ගමන කෙටි වේවා ! අමා මහ නිවන ඔබට දුර නොවේවා!