Sunday, June 17, 2018

දේව වරම


අනෝ හාමි කකුල් දෙකම අතගාලා හිරමණේට ඉඳගත්තා. ටික කාලෙක ඉඳලා දණිස් අමාරුව. වෙද මහත්තුරු දෙන්නෙක්ගෙන් බෙහෙත් බීවට කිසි ගුණයක් නෑ. පුතා නම් කියනවා ඔය ලෙඩේ සුරුස් ගාලා ඉවරයි කියලා ඉංගිරිසි බෙහෙතක් බිව්වා නම් .
“ අනේ මේ අළුත් පන්‍නේ වැඩ..ඔය දොස්තර මහත්තැන් කොහොමද පපුවට නලාව තියලා ලෙඩ හොයන්නේ..ඒකට නාඩි බලන්න එපාය..”
“ ‍මොනවද අම්මා තනියම කියවන්නේ..? කුසුමා ඇහුවේ බැරිම තැන. ඉස්සර නම් අනෝ හාමිගේ කට ගමටම ඇහෙනවා. දැන් දැන් කැමැත්ත තියෙන්නෙ තනියම කියවන්න.
“ මේ ගෙදර එකෙක් ඉන්නවවද මම කියන ඒවා අහන්න..ඒ හින්දා තනියම තමා මට කියවන්න වෙලා තියෙන්නේ.. මේ කකුල් රුදාව කොයි කාලේ ඉඳලාද මම කියන්නේ.. මේ දණිස් අමාරුවෙන් මම මැරුණ දාට අඬාපල්ලා..”
අනෝ හාමිට කොයි වෙලාවෙත් ලේලි කියන ඒවට තරහා යනවා. කුසුමාත් වැඩිය ඉවසන කෙනෙක් නෙවේ. කුසුමා නම් කියන‍්නේ තමුන් මේ ගෙදරට ආව දවසේ ඉඳන්ම නැන්දම්මා කරපු වෙනස්කම්ම තමා.
“ හෙට යනින් ගමන් මම නොම්මරයක් අරං බස් එකේ එවන්නම් ... කුසුමා  දහය හමාරේ බස් එකේ අම්මා එක්ක එන්න.. මට පැනගන්න බැරි වෙයි හෙට ලොක්කා දවසම ඔෆිස් එකේ වැඩ..” සරත් ‍කුස්සියට ආවේ නැන්දම්මාගෙයි ලේලිගෙයි කතාව කොහෙන් නවතියිද දන්නේ නැති හින්දා. එයාටත් අම්මාගේ වැඩ සමහර වෙලාවට ඉවසන්න අමාරුයි.
කුසුමා නොරිස්සිල්ලෙන් හිස ගැස්සුවා. ළමයින්ගේ වැඩයි, මහත්තයාගේ වැඩයි , නැන්දම්මාගේ වැඩයි මදිවට තව සමිති සමාගම් ඔක්කගේම වැඩයත් තමන්ගේ පිට. අනික නැන්දම්මා කොච්චර හොඳ කරත් කියන්නේ තමන් කිසි දෙයක් කරේ නෑ කියලාම‍නේ..
“ දොස්තරට ගෙවන්න මගේ සීට්ටු සල්ලි ගත්තා නම් පුතේ...” අනෝ හාමි කුසුමා දිහා බැලුවේ ටිකක් ආඩම්බරේට. තමන්ටත් සල්ලි තියනවා හැම‍වෙලාවෙම පුතාට අතපාන්නෑ කියන අදහසින්.
“ කොහේ තියන සල්ලියක්ද? ඔය ගිය සැරේ මල්ල පිටින් අරං ගිහින් පන්සලේ පිංකටම පූ‍ජා කරේ..”
කුසුමාගේ කට කතුර වගේ. කුසුමට පෙන්නන් බැරි නැන්දම්මාගේ ඔය ගතිය තමා. වත්තේ පොල් කඩලා විකුණුවත් , කෙහෙල් කැනක් විකුණුවත් අතට එන්නේ කීයද දීලා ඇති පන්සලට.. ගෙදර උවමනාවක් වුනොත් අතේ සතයක් නෑ වගේ තමා කතාව. ආය ඉතිං පොඩි එකාට බස් එක වැරදුනොත් ප්‍රයිවට් බස් එකේ යන්නවත් රුපියල් විස්සක් දෙන්නෑ සරත්ම කීවොත් මිසක. හැබැයි ඉතිං ලොකු පුතා නම් ආච්චිගේ හැඹිලියට බහිනවා . ඉස්සර නම් අනෝ හාමි ටක්කෙටම දන්නවා හැඹිලියේ තියන ගාන. දැං ඒකත් කීප සැරයක් ගණිනවා මේ මතක නෑ.
“ මොකක් කීවා.. මේ ගිය මාසේ මම ගත්ත සල්ලි. .. අනුමානයක් නෑ ලොකු කොල්ලා ගන්න ඇති ඒක.. දැං මේ අම්මා සුද්ද කරනවා පුතණ්ඩියාව..”
“ අනේ ආච්චි අම්මේ .. මං ඉස්සරහාමනේ ආච්චි අම්මා හාමුදුරුවන්ට සල්ලි දිලා පෙරළී පෙරළී වැන්දේ... මට ඉස්කෝලේ ප්‍රශ්ණ පත්‍තර වලට දෙන්න නෑ කියලා කලින් දවසේ රෑ කියලා ඕන්න පහුවදා කරපු වැඩේ...”
ඒ කුසුමාගේම දුව. නිල්මිණි හැමවෙලාවේම අම්මාගේ පැත්තේ. අම්මාටයි දුවටයි දෙන්නටම අනෝ හාමි දෙහි කැපුවා. ආය සිට්ටු සල්ලි දුන්නා නම් ඔයාකාර අමතක වෙන්න පුළුවන්ද? ඔච්චර සල්ලි කන්දරාවක් හාමුදුරුවන්ට දෙන්න ආයි මොන යකෙක් වැහිලද?
“ ඈ ........පුතේ ...මොකක් මේ මම පන්සලට දුන්නා කියන්නේ සීට්ටු සල්ලි..”
“ අම්මා දෙන්නැති ... නැත්තං කවුරු ගන්නද ඔය සල්ලි... නිදියන්න ගියත් සල්ලි හැඹිලිය හැට්ට කරේ ගහගෙන නේ ඉන්නේ...”
පොල් ගාන එක නවත්තලා අනෝ හාමි නැගිට්ට‍ා. තරහට හිත පුපුරු ගහනවා. අතපය වලංගු නැති වුණාම කාටත් එපා වෙනවා. ගෙදර හැ‍මෝම දැං ‍තමන්ට විරුද්ධව බොරු කියනවා. දණිස් අමාරුව පැත්තකින් තියලා ‍අනෝ හාමි කන්ද නැගලා තමන්ගේ මිතුරිය හොයාගෙන ගියා.
“ ඈ.......... සුමනෝ මම සීට්ටු සල්ලි පූජා කොරාද අපේ පන්සලේ පිංකම දවසේ.... මේ අපේ ගෙදර ඔක්කොම එහෙම කියන්නේ..”
“ මට මතකයක් නෑ නංගියේ.. දැං එච්චර මට කල්පනාව මදි..” සුමනාවතී දෙකට දෙවාරනේ දුන්නා උත්තරයක්. අනෝ හාමි පොඩි බංකුවක ඉඳගෙන කතාවට වැටුණා. දෙන්නා එක්ක ඉස්කෝලේ ගිය කාලේ ඉඳන්ම යාළුවෝ. දෙන්නම හතරේ පන්තියෙන් මෙහාට ගියේ නෑ. ඒ කාලේ ගුටි කාපුවා අද වගේ මතකයි. සිංහල පාඩමට උගන්නපුවා අකුරක් ගානේ මතකයි. එහෙව් අනෝ හාමිට සීට්ටු සල්ලි තියාපු තැන මතක නැතිවෙන්න පුළුවන්ද?
ටිකක් දවල් වෙන්න ඇරලා අනෝ හාමි ගෙදර ආවා. කෑවායින් නොකෑවායින් ඇඳට වැටුණා. හෙට දැන් දොස්තරට දෙන්න සල්ලි කොහෙන් හොයන්නද? කුසුමාට ඇනෙන්න වෙනදාවගේ ආඩම්බර කතා කියන්න වෙන්නේ නෑ පුතාගේ සල්ලි වලට බේත් ගත්තාම. පුරුද්දට වගේ ලා නින්දකට වැටුණාට අනෝ හාමිගේ හිත නොසන්සුන්.
“ අම්මා කෑවද...? “ සරත් පුරුද්දට වගේ අහන්නේ  බත් එක අතට ගන්න ඉස්සර.
“ ඔය සුමනා නැන්දලාගේ ගෙදර ගිහින් ඇවිත් කෑවේ... “
අනෝ හාමි ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා. තාම මේ උදේට රොටියක් කාපු ගමන්. පුතාට ලේලි ඇදබාන බොරු... තමන් කෑවා නම් තමුන්ට මතක නැද්ද?
“ ඔය බොරු පුතේ .. මගේ බත් ‍එකවත් බෙදලා නෑ මේ හෙර අද... මොකෑ මම සීට්ටු සල්ලි හැඟිස්සුවානේ.......”
“ මොනවා .... පොඩි එකීමයි බත් ටික බෙදලා වැහුවේ..ආං අතෙන්ට බාගෙට බාගයක් හලලා නිදාගන්න ගියේ ... තණ්නාසේ .....දැං පූජා කරපු සල්ලි වලට තණ්නාසේ තැවෙනවා..කාපු බීපුවත් මතක නෑ..” කුසුමා කඩාගෙන පැන්නා.
“ ඈ..... මම කෑවා දවල්ට...? ‍අනෝ හාමි කුසුමා අත දික් කරපු පැත්ත දිහා බැලුවා. කැඩිච්ච වළඳකට කවුරු හරි බත් එකක් නම් හලලා තියනවා තමයි. ඒත් තමන් කෑවානම් ඒ ඩිංගට අමතක වෙනවද?
“ බොරු මායම් ..... ඉස්සර මට කියපු කරපු ‍බොරු මේ නාකි වයසටත් පටන් අරං.. දැං පුරුද්ට ගිහින්..ඔහොම අමතක වෙනවා නම් අර අපේ අම්මලා මට දෑවැද්දට දුන්න සල්ලි තාම ගණං හිලව් ඇතුව කියන්නේ කොහොමද?  කුසුමා ඒ පාර අනෝ හාමිව නිශ්ශබ්ද කරා.
“ මට දෙය්යෝ පෙන්නයි ඇත්ත නැත්ත.....” අනෝ හාමි කුසුමා දිහා බලලා දත්මිටි කෑවා.
රෑ තිස්සේ සරත් කල්පනා කළේ අම්මට මේ මොකද වෙලා තියෙන‍්නේ කියලා. දැං ටිකක කාලෙක ඉඳලා හැම එකම අමතක වුණා වගේ ඉන්නේ. ඒත් පරණ කතන්දර නම් අකුරක් නෑර මතක එකනේ පුදුමේ.. මේ විදිහිට ගියොත් ගෙදර එකම ගිනිවිජ්ජුම්බරයක් වෙයි..
ටවුමේ දොස්තර මහත්තයා හම්බ වෙන්න සරත්ම ගියා අම්මත් එක්ක. දොස්තර මහත්තයා ඉස්සරහා අනෝ හාමි දිගෑරියා ලේලිගේ කතන්දර. සල්ලි ටික නැති වුණාවගේම  අළුත් චීත්ත  එහෙමත් නැති වෙලා තියනවාලු. සමහර වෙලාවට කුසුමාම ආපහු ඒවා ගෙනත් දානවලු හොරේ අහුවෙයි කියලා. දොස්තර මහත්තයා ඇහුවනේ ඒවා කරන්නේ කුසුමා කියලා හරියටම දන්නේ කොහෙමද කියලා. ඒ වෙලාවේ ‍අනෝ හාමිගේ මූණට එළියක් වැටුණා.
“දොස්තර මහත්තයාට කියන්න මට දේව වරමක් තියනවා. මට දෙය්යෝ පෙන්නනවා ඔය ඔක්කොම..”
දණිස් අමාරුවට බෙහෙත්  ගන්න අම්මා එක්ක ආව සරත්ට අන්දුන් කුන්දුන්.. මේ වයස හැත්තෑ පහේදි දේව වරමක් ආවා කිව්වාම..........
දොස්තර මහත්තයා අනෝ හාමිගේ දණිස් බලලා බෙහෙත් ලිව්වා. සරත්ට කිව්වා අම්මාව එළියෙන් ඉන්දවලා ටිකක් ඇවිත් තනියම හම්බ වෙන්න කියලා.
“ අම්මට දේව වරමක් කිව්වේ දොස්තර මහත්තයා.. දැන් මොකද කරන්නේ අපි..?
“වෙන මොකවත් නෙවේ කරන්න තියෙන්නේ. මෙන්න මේ තුණ්ඩුව අරගෙන මහ ඉස්පිරිතාලෙට බදදා උදේට අම්මාව එක්ක යන්න. අම්මාට ටික කාලයක් බෙහෙත් ගන්න වෙයි. මේක මේ වයසට යනකොට එන මානසික ලෙඩක්. තාම මුල් කාලේ නිසා කඩා ගන්න පුළුවන් වෙයි..”
‍” දොස්තර මහත්තයෝ එතකොට දේව වරම...”
“පුලුවන් නම් අම්මාගෙන් ඉල්ලලා මට ‍ඒක දෙන්න..මට ලේසියි වරමෙන් බෙහත් අහලා කියන රස්සාව.   ලෙඩ්ඩු බලන්න අපි අවුරුදු හතක් ඉගනගත්‍ේත මොන එහෙකටද මන්දා...”

Tuesday, June 5, 2018

සෑම ජීවිතයකටම වටිනාකමක් ඇත


2050 වර්ෂය වන විට ලොව වියපත් ජනගහනය  මුළු ජනගහනයෙන් හරි අඩක් බවට පත්වේ. එනම් ලොවවින් අඩක් යැපෙන්නෝ වෙති. වැඩිම වයස්ගත ජනගහනය ජපානයෙන් වාර්තා වනු ඇත. මේ කතාව මීට සියවස් ගණනක් එපිට එවන් සමයක් පිළිබඳවයි.

ඒ ජපානයට හිම වැටෙන්නට ආසන්න කාලයයි. සරත් සමයේ ජපානයේ ඇත්තේ කොළ හැළී ඉපල් වූ ගස් පමණකි.  හිමෙන් වැසුණු ඈත කඳු ශිකර හාත්පස මවා පෑවේ අඳුරු චිත්‍රයකි. තම නිවසට වී සීතලට රැළි ගැසුනු අත් ගින්නට අල්ලමින්  මවගේ රස ආහාර බුදිමින් සිටින කොබයාෂි  සිය මවගේ කටහඬට කන් දුන්නේ අකමැත්තෙනි. මව මතක් කරන්නේ ඇය අද ගින්නට දැම්මේ අවසන්  දර පතුර බවයි.

“ දරුවෝ දැන්ම නොගියොත් මුළු සීතල කාලෙම දර නැතුව දුක් විඳින්න වෙයි... වැඩි කල් නොගිහින් අද හෙටම හිම පතුරු පොළව වසා ගනීවි...” මිචිකෝ තම පුත‍ාට මදක් උස් හඩින් පැවසුවේ ඔහුගේ ස්වභාවය දන්නා නිසාය.

කොබයාෂි තම පොරව ද දර පතුරු මිටි බැඳීම සඳහා ගන්නා ලනුව ද රැගෙන එළියට බහින තෙක් මව බලා හිටියේ නොඉවසිල්ලෙනි. ස්වභාව දහමට අවනතව ජීවත් වීම මිචිකෝගේ නීතියයි.
කොබයාෂිගේ නිවස පිහිටා තිබුණේ කන්දක පාමුලයි. දැන් දෙදෙනා මේ නගින්‍නේ ඒ මහා කන්දයි. නිවසට අවශ්‍ය දර සෙවීම කලකට පෙර කොබයාෂි බාර ගත් වගකීමක් නමුදු මිචිකෝ කිසිම විටක තම තරුණ පුත්‍රයා තනිව එවන්නේ නැත. ඒ ඇයගේ සෙවනැල්ල ස්වකීය පුත්‍රයා ලෙස සැලකීම හේතුවෙනි. මේ දෙදෙනා මෙවන් සීත කාල විසි හතරක් තනිව ගෙවා ඇත්තෝ වෙති. කොබයාෂි කිසි දිනක තම පියා ගැන මවගෙන් අසා නැත. ඒ පියා සදහටම වෙන් වී ගොස් ඇති බව දන්නා නිසා නොවේ, එසේ පියා ගැන අසන්නට තරම් පාළුවක් දැනෙන්නට මව ඉඩ නොතැබූ නිසාය.

කොබයාෂි විසින් බිම දැමෙන ගස් කඳන් නැවත කුඩා පතුරු වලට වෙන් කරන  මිචිිකෝ කල්පනාවට වැටෙයි. ‍තම පුතාගේ තරුණ ජවය පිළිබඳ ඇයට ඇත්තේ මහත් ආඩම්බරයකි. කුඩා කළ අපමණ දුක් විඳ  ඔහු හදා වඩාගත් ආකාරය පිළිබඳ සිහි කරමින් ඇය විටින් විට සුසුම් හෙළයි.
මව වෙනදා මෙන් කඩිසරව දර පතුරු එකතු නොකරන බවත් මුහුණේ කිව නොහැකි දුක් සමුදායක් රැස් වී ති‍බෙන බව කොබයාෂිට  පෙනේ. මවගේ මුහුණේ රැල්ලක් පවා ඔහුට කියවීමට පුළුවන.

“මගේ පුතාට හෙටත් මේ කන්ද නගින්න වෙනවා....”

කොබයාෂිගේ මුුහුණ විශ්මයෙන් පිරේ. මව සිහින් සිනාවක් පාමින් මෙසේ කියයි.

“ අමතක වුනාද? හෙටට මට අවුරුදු හැටයි....මාව අරගෙන පුතාට හෙට මේ කන්ද මුදුනට එන්න වෙනවා..”
පොරව දැඩිව මිරිකමින් කොබයාෂි බිම වාඩිවෙයි. දරුණු වේදනාවකින් ඔහුගේ හදවත මිරිකී යන්නට විය.

“ ‍මේ වියරු අධිරාජ්‍යයා නිසා අපේ වැඩිහිටියෝ සියල්ලම නැති වෙනවා...අනේ මගේ අම්මා...මගේ ජීවිතේ වටිනාම වස්තුව...හෙට මගෙන් වෙනවා...” කොබයාෂි හිස දණිහිසේ රුවාගෙන හඩයි.

“දරුවෝ... මේක දුක් වෙන්න දෙයක් නෙවේ. ‍මේක චාරිත්‍රයක් වගේම අපේ අධිරාජ්‍යාගේ අණක්..අපි හැමෝටම අවුරුදු හැටේදි අර කන්දෙන් පහළට අපේ අවසන් ගමන් යන්න වෙනවා. මම ඒකට සුදානම්. ඒත් මගේ පුතා ඒ වයසට එද්දී අධීරාජ්‍යා මැරිලා ඉඳිවි. එතකොට මේ අණත් නැතිවෙලා තියෙයි.”
දර මිටි කරතබා ගත් කොබයාෂි පිටිපසින් මිචිකෝ නිහඩවම පැමිණියාය. දෙදෙනාගේම වේදනා දෙන හදවත් නිහඩව වැලපෙන බව දෙදෙනාම දැනසිටියහ. සමුගැනීම මෙතරම් වේදනාකාරී බවක් කොබයාෂි මින් පෙර දැන සිටියේ නැත.

මිචිකෝ එදින රෑ බත ඉතා ප්‍රණීතව සූදානම් කළාය. ඉතා විශාල බත් පිඟානක් එදින කොබයාෂි අතට ලැබිණී.

“මගේ පුතාට හෙට කන්ද නගින්න හයිය ඕන වෙනවා. මගේ බත් ටිකක් පුතාට දැම්මා..”

 පසු දින අධීරාජ්‍යාට සාප කරමින් , ශෝකයෙන් දැවෙමින් කොබයාෂි මව කරේ හොවාගෙන කන්ද නගින්නට පටන් ගත්තේය. ඊට පෙර මිචිකෝ තමා සතුව තිබූ අගනාම වස්තුව වන ගෙත්තම් කරන ලද මිරිවැඩි සඟළ තම අනාගත මුණුබුරන්ට දෙනු පිණිස කොබයාෂි අතට පත් කළේය.සැටවිය පැමිණි පසු ජපානයේ වැඩිහිටියන් අධීිරාජ්‍යාගේ අණ පරිදි කන්දෙන් පැන සියදිවි හානිකර ගත යුතුය
.
කන්ද මුදුනට නැගුණු කොබයාෂි මව දෙස තව එක් වරක් බැලුවේය. මිචිකෝ ද අවසන් වතාවට තම පුත්‍රයා දෙස බලා කදු බෑවුමට මුහුණ පා සිට ගත්තාය. තව මොහොතකින් ඇය කඳු පාමුළ අවසන් ගමන් ගිය ගම්වැසියන්ගේ කණ්ඩාමට එකතු වනු ඇත.

තම මවට දෑස් පියා ගන්නා ලෙස පැවසූ කොබයාෂි විශාල ගලක් දෑතින් ඔසවා ගෙන කඳු මුදුනේ සිටගත්තේය. මහත් වූ වැරෙන් ගල කඳු මුදුනේ සිට අතහැර ඔහු මහා හඩින් මවගේ නම කියා වැලපෙන්නට විය. ගම් වැසියෝ කොබයාෂි වැළපෙන හඩින් ඔහු මව සියදිවි හානිකරගත් බව තහවුරු කරගත්හ.

රහසේ මව නිවස වෙත රැගෙන ගිය කොබයාෂි ඇය නිවසේ ගුහාවක සඟවා තැබුවේය. කිසිවෙකුටත්  නොදැනේනට මව පෝෂණය කරමින් ඇය රැක බලාගනිමින් ඔහු මව් සෙනහෙස විදිමින් රාජ්‍ය විරෝධියකු වී ජීවත් වන්නට පටන් ගත්තේය.

ජපන් අධිරාජ්‍යා තම බලය පිළිබඳව සෑම විටම සැක පහළකරන්නේ වරින් වර තමාට වඩා ඥාණවන්තයෙක් සිටී දැයි බැලීමට අඩ බෙරයක් එවයි. මිචිකෝ ගුහාවේ සිට ඒ හඬ අසා සිටියි. සිය පුත්‍රයාගෙන්  විමසූ කළ ඒ රජතුමා අතින් අල්ලන්නේ නැතුව හක් ගෙඩියක් තුළින් නූලක් යවන්නේ කෙසේ දැයි දන්නා නුවණැත්තෙක් සිටිදැයි බලා ගැනීම පිණිස එවූ පණිවිඩයක් බව දැන ගනී. මිචිකෝ තම පුතුට නුවණ කියා දී ඔහු රජතුමා ළගට යවයි. රජතුමා ඉදිරිපිට කොබයාෂි මව කියාදුන් පරිදි හාල් ඇටයක් නූලකින් ගැටගසා හක් ගෙඩියක එක් කොනක තබා කූඹි ගුලක් ළඟ තබා පසු දින බලන ලෙස උපදෙස් දුන්නේය. කූඹින් ඒ නූල රැගෙන හක් ගෙඩියේ අනික් පැත්තෙන් මතුවී තිබුණු අයුරු අධිරාජ්‍යා පසුදින දුටුවේය .

ටික දිනකට පසු රජතුමා නැවතත් අණ බෙරයක් එවයි. ඒ අළු වලින් ලණුවක් ගොතන ලෙසයි. ඒ ගැන කොබයාෂී මවගෙන් විමසන අතර  මිචිකෝ නැවතත් පුතුට නුවණ කියා දි යවයි.

කොබයාෂි අධිරාජ්‍යා ඉදිරියේ ගල් පතුරක් මත ලනුවක් තබා යටින් ගින්දර දමා පෙන්වීය. මදකින් ලනුවට ගිනි ඇවිලී එය අළු බවට පත් වුවත් එහි වියමන ගලමත ඉතිරි විය.

ජපන් තරුණයන් පිළිබඳව මනාව කරුණු දන්නා අධිරාජ්‍යා නිසැකවම  මේ දැනුම වැඩිහිටියෙක් ගෙන් ලබා ගත් බව සිතා කොබයාෂිගෙන් ඒ පිළිබඳව දැඩිව විමසා සිටි‍යේය. අධිරාජ්‍යාගේ උදහසට ලක් වී හෝ තම මව බේරා ගැනීමට කොබයාෂි අදිටන් කොට සියල්ල හෙළි කර රටේ වැඩිහිටියන්ට සියදිවි හානි කරගැනීමට පවතින නීතිය වෙනස් කර දෙන ලෙස අධීරාජ්‍යාගෙන් ඉල්ලා සිටියේය.

තරුණයා තම මව කෙරෙහි දක්වන සෙනෙහස අධිරාජ්‍යාගේ දැඩි පිළිවෙත සසල කිරිමට සමත් විය. ඔහු එතෙක් බලපැවැත්වූ රාජ නීතිය අහෝසි කොට තම දියණිය ද කොබයාෂිට සරණ පාවා දුන්නේය. එයින් පසු  දින අධිරාජ්‍යා තම මාළිගයෙන් නික්මී කන්ද මුදුනට පැමිණියේය.

කඳු මුදුනේට සිට පහළ බලන ඔහුට පෙනෙන්‍නේ සියදිවි නසාගත් වැඩිහිටියන්ගේ ඇටසැකිළි සමූහයක් හිමෙන් වැසී ඇති අන්දමයි. ඔහුගේ සිත තුළ ඇතිවන පීඩනයෙන් ගැලවිය හැක්කේ ඒ  වැඩිහිටින්ට යාමට සිදුවු මගම යාමෙන් බව ඔහුට දැණින. 

කඳු මුදුනේ සිට පහළට පැනීමට පෙර ඔහු එක් වරක් හැරී තමා සදාකාලික බලය වෙනුවෙන් තනා ගත් මන්දිරය දෙස හැරී බැලුවේය.