Sunday, April 23, 2017

දාං




“එකයි ... දෙකයි... තුනයි.. දැං දාං පටවහංකෝ...... පියදාස අනික් පැත්තේ ඉත්තෝ තුන් දෙනෙක් කපාගෙන දාං ගියා. ඕනෑවට එපාවට සෙල්ලමේ ඉතුරු ටික කරලා පියදාසට දිනුම දීලා ටෙනිසන් නැගිටලා ගියා.

ඇල් මැරිච්ච කහට කෝප්පේ එක උගුරට බීල දාන ගමන් පියදාස කල්පනා කලේ කවදාකවත් නැතුව  ටෙනිසන් අද පැරදුණේ කොහොමද කියලා. තේ එකේ සීනි අඩු බව දැනුනත් දිනපු එකේ සංතෝසෙට ඒ කහට ගතිය මැකිලා ගියා. කොහොමත් බේබි නෝනා තේ හදද්දි සීනි දාන්නේ පිරි මහලා.

“ ටෙනී අය්යා... අදිමුද තව අතක්?  පියදාස තමන්ගේ උද්යෝගේ මැකෙන්න කලින් ඇහුවා.

“අල්ලලා දාපං....... මට මේ බංකු රත් කර කර ඉන්න වෙන වැඩක් නෑනේ......ටෙනිසන් ඇල්මැරුණු උත්තරයක් දෙන ගමන් වීදුරු කබඩ් එක ඇරලා උදේ ඉතුරු වුන කිඹුලා බනිස් ගෙඩි පහයි , පාං ගෙඩියයි එලියට අරං බිම තිබුන බට පොතු කූඩෙට අතෑරියා. හවස බේකරියෙන් බාන පාන් බනිස් ගෙඩි පරණ ඒවට කලවම් කරන්න එපා කියලයි බේබි නෝනා කියන්නේ.

ටෙනිසන් දැං බේබි නෝනා කැන්දගෙන ඇවිත් මාස හයක් විතර. අම්මා කියන විදිහට නම් ටෙනිසන්ට සම්මජ්ජාතියේ හිතන්න බැරිතරං හොද බාරියාවක් ලැබුණේ. කොහොමත් අම්මා කැමතිනේ අරපිරිමහලා වැඩකරන අයට. ඒත් ටෙනිසන්ගේ තාත්තා කියන්නේ ඒකට කුණුකම් කරනවා කියලා.  නැන්දම්මගෙයි ලේලිගෙයි කේන්දර  හොඳට ගැලපෙන නිසා දෙන්නා තකට තක.

බේබි නෝනා කැන්දගෙන එනකොට ටෙනිසන්ලාගේ බේකරිය බොහොම සුළුවට තමා දිව්වේ. දෙපැත්තම කරවෙච්ච පාං ඇරුණ කොට වෙන කිසිම දෙයක් හැදුවේ නෑ. ටෙනිසනුයි තාත්තයි තමා කඩේ කරේ. තේ වතුර බොන්න වතුවල මිනිස්සුන්ට වෙන තැනක් තිබුණෙත් නැති නිසා වෙළදාම නරක නෑ. ඒත් අවුරුදු ගානක්ම එකම විදහ තමා කඩෙයි බේකරියයි. ටෙනිසන්ගේ අම්මා එමා නෝනා ඉඳලා හිටලා හැලප , තලගුලි එහෙම හදලා දාන නිසා වාසියක් තිබුණා මිසක ටෙනිසනුයි තාත්තයි නම් උදේ ඉඳන් බොයිලේරුව රත්කර ගෙන තේ හදලා දීලා ඒ එන මිනිස්සුත් එක්ක දාං අදින එකයි කයිවාරු ගහන එකයි විතරයි. දවල් කෑම අරගෙන එමා නෝනා ආවහම තමා කට්ටිය ටිකක් පිළිවෙල වෙන්නේ. උදේ ඉඳං කාපු කෙසෙල් වල ලෙලි තැන් තැන් වල. බෝතල් ඇරලා දාපු ගමං. ණය තුන්ඩු මේසේ වීදුරුව යට. තේ වීදුරු වල කූඹි පිරිලා. එමා නෝනා ඉන්න වෙලාවට තාත්තයි පුතයි දෙන්නම කඩිසරයි. ඒ වෙලාවට ඔය බංකු රත් කරන ගමන් ණයට බීඩියක් බොන්න, පොතට දාලා විස්කිරිඤ්ඤයක් කාලා තේ එකක් බීලා යන්න කවුරුවත් එන්නේ නෑ.

එමා නෝනට යකා වැහෙන්නේ හවසට ගණං බලන වෙලාවට. ලාච්චුව හිස්. ඒකට මොකද රුපියල් දෙක තුන ලියාපු ණය තුන්ඩු ඕන හැටියේ. රාක්ක වල සබන් කැටත් ඉවරයි ඒත් සල්ලි තමා එකතු වෙන්නේ නැත්තේ.

කඩ කෙරුවාව කරන්න තාත්තටයි පුතාටයි දුන්නොත් කිසි වගතුවක් නෑ කියන එක උදේ හවා කටපාඩං කරකර හිටපු එමා  නෝනාට කපු මහත්තයා කියාපු පණිවිඩේ ගැන හිත ගියා. ටෙනිසන් එකම දරුවා නිසා ගෙදරයි කඩෙයි බේකරියයි එයාටනේ. පණිවිඩේ විදිහට මනමාලිට ඉන්නේ අයියලා දෙන්නෙක්. දෑවැද්දකුයි ගොඩ ඉඩම් අක්කර දෙකකුයි ඇරුණාම මනමාලි අටේ පන්තියට යනකල් ඉගන ගෙනත් තියනවා. එමා නෝනගේ වදේට මනමාලි බලන්න ටෙනිසන් ඇදගෙන ගියාට බේබි නෝනා දැක්ක වෙලාවේ ඉඳලා ටෙනියට මගුල් විසේ ගැහුවා. මාස තුනක් යන්න කලින් මගුලක් අරගෙන කැන්දගෙනත් ආවා.  ඉස්කෝලේ දෙවනි පන්තියෙන් එහාට ගියේ නැතුවට ටෙනිසන් කකුල් දෙකටම කලිසන් අඳින නිසාත් හොද පෙනුමට හිටිය නිසාත් බේබි නෝනා කැමති වුනා.

ඒත් ඉතිං දීග ඇවිත් සතියක් දෙකක් යනකොට තමා දැනුනේ අම්මා දෙන දෙයක් කාලා බීලා ඉන්න හදනවා මිසක් දියුණුවක් වෙන්න මෙලෝ උවමනාවක් ඇති මිනිහෙක් නෙවේය කියලා. බේබි නෝනගේ අයියලාටත්  තියනවා බේකරි, කඩ . ඒ බේකරියි මෙහේ බේකරියයි දැක්කම බේබි නෝනට මේක අම්බලමක් වගේ . ටිකක් කල් යල් බලලා  ටෙනිසන්ගෙන් ඇහුවා බේකරිය ටිකක් සාරෙට කරමුද කියලා

“ඕන් නැං.. ඔය අමුතු දේවල් කරන්න ගිහිං අම්මගෙයි තාත්තගෙයි හිත රිදෙයිකියලා ටෙනිසන් ගත් කටටම කීවේ.

එමා නෝනා ටික ටික පුරුදු වුනා බේබි නෝනා අතේ දවල් කෑම එක යවලා හවසට විතරයක් බේකරියට ගොඩ වදින්නට. බේබි නෝනට බේකරියේ වැඩ පිළිවෙල අල්ලන්නෙම නෑ. බේකරියේ වැඩට හිටිය පියදාස සිහියේ තියෙන්නේ දාං ඇදිල්ල මිසක පාං පිච්චිල්ල නෙවේ . සමහර දාට පාං අමු. සමහර දාට කර දැවිලා ගිහින්.බලං ඉඳලා බැරිම තැන බේබි නෝනා ටෙනිසන් ඉන්න තැනම පියදාස මේ කාරණේ ටිකක් තදට කීවා. ඊට පස්සේ දවස් දෙක තුනක් යනකල් පාං ටික හොඳ තත්වේ තිබුණා. ඒත් ටික දවසයි. කොහොමත් ටෙනිසනුයි තාත්තයි කැමති නෑ නැන්දම්මලා ලේලිලා බේකරියට ගොඩ වෙනවට. ආපු වෙලාවේ ඉඳලා කරච්චලේ. තේ කොළ ටින් එක වහලා තියන්නලු, එක සැරේ තේ ටිකක් හදලා බෝතලේකට දාලා තියාගන්නලු, සීනි හැන්ද තේ ජෝගුවට ඔබන්න එපාලු, තේ බොන කෝප්ප ටික උණු වතුර බාජනේක දාලා හැම සැරේකම හෝදලා ගන්නලු ඔය වගේ විකාර කතා ඉවරයක් නෑ.

හවස් අතේ හතර දෙනාම කඩේ ලාබ පාඩු බල බලා ඉන්න වෙලාවක බේබි නෝනා ඇහුවා එයාට දෑවැද්දට හම්බ වුන සල්ලි ටිකක් දාලා බේකරියයි කඩෙයි ටිකක් ලොකු කරමුද කියලා. එමා නෝනාට ඉසේ මලක් පිපුණ ගානයි. පිරිමි දෙන්නා නම් ඇල්මැරුණ විදිහට කීවා මේ තියන විදිහට කරාම මොනවා වෙනවද කියලා. ඒත් එමා නෝනගේ කටේ සද්දෙට දෙන්නම බය වෙලා බේබි නෝනට ඉඩ දුන්නා.

එමා නෝනා ගෙදර වැඩ ටික සම්පූර්ණයෙන්ම තමන්ගේ කරට අරං බේබි නෝනට බේකරියේ වැඩ ටික බලා ගන්න ඉඩ හදලා දුන්නා. අත්දෙක පුරවගෙන බලාගෙන ඉන්න තමන්ගේ  පුතාට ලැබුණ ලේලිගේ උත්සාහයට බේකරිය අලුතින් ඉපදුනා වගේ නේද කියලා එයාට හිතුණා. බේකරියේ කෑම ජාති දහයක් විතර හැදෙනවා. වෙළඳාමත් ඒ වගේම තමයි. කඩේ වුනත් වෙනදා වගේ රාක්ක වේලි වේලි නෑ . බඩුපිරිලා. ටෙනිසන් ආඩපාලි කිය කියා සතියකට සැරයක් රත්නපුරේ ගිහින් බඩු අරං එනවා. එමා නෝනට සංතෝසම කාරණේ තමා අරහේ මෙහේ ණය තුණ්ඩු තියන්නේ නැතුව ඒවා පොතක ලියලා තියන එක. කොහොමත් බේබි නෝනට ගණං හිළව් හදන්න පුළුවන්.

ණය කාරයන්ට ඕනවට වඩා ණය දෙන්න බෑ කිව්වම කීප දෙනෙක් කඩේට නෑවිත් ඇරියා. ඒකට ටෙනිසන්ගේ තාත්තා බේබි නෝනට තදින් දොස් කීවා.

“ අපොයි තමන්ගේ කට්ටියට සලකාගන්න තියන අමාරුව.. ඕං දුවේ ඔය කට්ටියට කඩේ පස්පාගන්න අරින්න එපා...... එමා නෝනා ඒ විදිහට ගත්තේ බේබි නෝනගේ පැත්ත. තාත්තගෙ නෑදෑයෝ කඩේ කාබාසිනියා කරාපු ඉතිහාසය එදා කවුරු කවුරුත් දැන කියා ගත්තා.

පියදාසට අමතරව තව ගෝලයෝ දෙන්නෙක් බේකරියේ වැඩ. ඒ දෙන්නා බේබි නෝනගේ නෑදෑයෝ. ඒ හින්දා පියදාසටත් හොරට වැඩ කරන්න බෑ. එහෙම වුනොත් තමුන්ගේ රස්සාව නැතිවෙන එක ඉස්තිරයි. ඒත් බේබි නෝනා හැමෝටම හොඳ පඩි ගෙවුවා. බේකරිය දවසින් දවස ඉහල ගියාට, ටෙනිසන්ගේ හිතේ සතුට නං හැම වෙලේම පල්ලෙහාට ගියා.

අද දාං අත පැරදුනෙත් ඒකයි.

බේබි නෝනා තමුන්ට ඕනෑ විදිහට වැඩ කරන්න දෙන්නේ නැති බව අම්මට කීවත් වැඩක් වුනේ නෑ

“මොකද්ද පුතේ තමුන්ට ඕනෑ විදිහ.. අර ඉස්සර වගේ කරදැවිච්ච පාං විකුණලා උදේ හවා බංකු රත්කරන කඩ රස්සාවද? අතේ පිච්චියක් නෑ ඒ දවස්වල.... දැං බලපංකෝ   අම්මා එහෙම ඇහුවා

“ එමා නෝනෝ.......... මේකා පිරිමියෙක්. මොන පිරිමියා ද කැමති තමුන්ගේ ගෑණි හැම තිස්සෙම ඕඩර් දිදී ඉන්නවට? තාත්තා ඇහුවේ එහෙම‍

“ අනේ පුතේ ඔය මහලොකු පිරිමකම ඉස්සරහට දාලා කතා කරපංකෝ තමුන්ගෙන් ණය අරං වෙන කඩවලට රිංගන එවුන්ට. ගණං හදලා බලපං අපිට කොච්චර අලාබ කොරලාද කියලා. අන්තිම පාර බඩු දැම්මේ මගේ කණ කර උගස් කරලා. අර කෙල්ල අපේ පවුලට නොඑන්න මෙලහට අපිට බේකරියේ බිත්ති හතර විතරයි...... එමා නෝනා කඩ හඩ උස් කරා.

අම්මා මොනවා කීවත් බේබි නෝනා කඩ කෙරුවාවෙදි කැපිලා පේන එක ටෙනිසන්ට ඉසරදයක්. ඕන එකක් කරගන්න කියලා ගෙදරට වෙලා ඉන්න හිතුනත් පාං ගෙනියන්න එක එක එකාලා නිසා බේබි නෝනා තනියෙන් තියන්නත් බයයි. තාත්තා කියන විදිහට නැන්දම්මයි ලේලියි ගෙදර වැඩ බලාගත්තා නම් ඒ දෙන්නට ගමේ හෑල්ලක් කියාගෙන ඉස්සර වගේ කඩේට වෙලා ඉන්න තිබුණා.  ටෙනිසන්ගේ හිත වැඩිපුරම නරක් වුනේ ගස් කපන වැඩේට ගිහින්. බේකරියට දර මදි වෙලා ගස් ටිකක් හොයා ගන්න ඕනෑ වුනා.

“ අර තේක්ක ගස් ටික කපලා ගත්තොත් නරක ද ළමයෝ ? “ තාත්තා ඇදලා පැදලා ඇහුවේ බේබි නෝනා ගෙන්. දෑවැද්දට හම්බවුන ඉඩමේ තේක්ක ගස් ගැන ඇහැ ගහගෙනමයි තාත්තා හිටියේ. ටෙනිසනුත් එක පයින්ම කැමති වුනා නැත්තං ගස් ගොයන එකත් තමංගේ පිට වැටෙන නිසා.

“ ඒවා කපලා බෑ තාත්තේ. තව අවුරුදු දෙකක් විතර ගියාම හොද ගානකට දුන්නෑකි. ඇරත් මේ දරට ඒ තේක්ක ගස්? ඔය පරණ රබර් ගස් ටිකක් හොයාගන්න බලමුබේබි නෝනා  ගත් කටටම කීවේ නුරුස්සන විදිහට.

“ඇයි ඕවා ගෙනාවේ පරෙස්මට තියන්නද?  ටෙනිසන්ගේ නුහුරු කතාවට එමා නෝනට කේන්තිය ඉහලුම් නෑ.

“ඔව් ඔව් තාත්තලා පුතාලා කරේ ඕකම තමා. වටේ තියන ගස් ටික කප කපා වික්කා. දැං අත තියපල්ලකෝ මේ කෙල්ල ගෙනාපුවාටත්’’

“ මොනවද ගෙනාවේ....... අපිට තඹ සතයක් ලැබුණායැ අතට.... තාත්තා දුන්නා ටෙනිසන්ට සහයෝගෙට උත්තරයක්

තාත්තටයි පුතාටයි අතට සල්ලි ඕනෑ වෙන්නේ එදා දවස ගෙවා ගන්න විතරක් නිසා ඒ කියන කතා වලට වැඩ කරන්න එපා කියලා එමා නෝනා ලේලිට කීවා.

එදා ඒ කතාව නැවතුනාට තාත්තගේ හිතේ කහට ඇරුණේ නෑ. ටෙනිසන්ටත් එහෙම තමා. ඒත් එමා නෝනා ඉතසිතින්ම ලේලිගේ පැත්තේ හින්දා ගෙදර ගැටුමකට ඉඩ ලැබුණේ නෑ.

ඒකටත් ටෙනිසන්ට ආවා දවසක්.

රත්නපුරේ ගිහින් එමා නෝනා තමුන්ගේ සල්ලි වලට වීදුරු කබඩ් එකක් අරං ලොරි බාගෙක දාගෙන බේකරියට අරං ආවා.  බේකරියට තිබුණ ලොකුම අඩුපාඩුවක්  සම්පූර්ණ වුන එකට බේබි නෝනට සතුටුයි.

හවස ඇඟපත රත්කරගෙ ආව ටෙනිසන්ගේ තාත්තා එමා නෝනා එක්ක කටගහගෙන ආවා තමුන්ගේ සහෝදරයට සල්ලි උවමනාවක් වෙලා තියෙද්දිත් වීදුරු කබඩ් එකක් උස්සගෙන ආවා මිසක තමන්ට එක රුපියල් සීයක් නුදුන්න එකට. ඒ වෙලාවේ එමා නෝනාටත් කට උත්තර නැති වුනා. හැම වෙලාවෙම තමන්ට පිහිට වෙන නැන්දම්මා බේරාගන්න බේබි නෝනා කීවා ඒකට බාගයක් සල්ලි දුන්නේ තමන් කියලා.

ටෙනිසන්ගේ වාරේ ආවා.

තමන්ට සීට්ටුවට බඳින්න සල්ලි නුදුන්න ගෑනි වීදුරු කබඩ් එකට සල්ලි දුන්නේ මොන කුණු පෙරේත කමකටද කියලා ටෙනිසන් අඩි පොළවේ ගහලා ඇහුවා. බේබි නෝනා කැන්දගෙන ආව දවසේ ඉඳලා වෙච්ච අඩු පාඩු , ටෙනිසන් එකින් එක කීවා.

දෑවැද්ද දෙනවා කියලා තමන්ව රවටලා එමා නෝනා කරේ ගහපු විදිහත්, දෑවැද්ද දෙනවා කියලා ඒ විදිහටම තමන්ගේ පුතාගේ කරේ බේබි නෝනා ගහපු විදිහත් ටෙනිසන්ගේ තාත්තා අපූරුවට විග්‍රහ කළා.

මෙච්චර කුණු කන්දල් ගොඩක් එකතු කරගෙන තමන් පවුල් කෑවා නේද කියලා බේබි නෝනට වගේම එමා නෝනටත් හිතුණා. ඔක්කොට වඩා අන්තිමට ටෙනිසන් කියපු දේට බේබි නෝනාගේ හිත දෙදරුවා.

“ බේකරියක් දමාගෙන අපේ එවුන් ටික ඔක්කොම එතනින් එලවලා තමුන්ගේ කට්ටිය මෙතන පුරවා ගත්තට හිතන්න එපා අපේ අම්මා රවට්වගෙන ඕක තමුන්ගේ නමට ලියා ගන්නා.. කපටි හෙර...  බඩු දුන්න තරමක් දුන්නේ අය්යලාගේ කඩවලට.... මොකෑ ඒවගේ ගණං හිලව් අපිට පෙන්නුවද? ගෙනාපු දෑවැද්දක් නෙවේ. අපේ දේවල්නේ එහාට ඇද්දේ

මේ කතාව අමතක කරන්න මුළු රෑම බේබි නෝනා උත්සාහ කළත් හරි ගියේ නෑ. ආපහු ටෙනිසන් එක්ක පෑහෙන්න හිතකුත් නෑ. බේකරියට ගිහින් ගෝලයෙක් අතේ පණිවිඩක් ඇරියා අය්යාට ගෙදර ගිහින් එන්න ලොරිය එවන්න කියලා. තමුන්ගේ රෙදි ටිකක් බෑග් එකකට නවලා දාගන්න ගමන් එමා නෝනට කීවේ ටික දවසකට ගෙදර ගිහින් එන්නං කියලා මිසක් ආය එන්නෑ කියලා නෙවේ.

පහුවදා පුරුදු විදිහට ටෙනිසනුයි තාත්තයි බේකරිය ඇරියා. වෙනදා වගේ එළියක් නැති පාටයි. බේකරියේ පුච්චන පාන් බනිස් වීදුරු අල්මාරියේ පෙනෙන්න නැති නිසා කට්ටිය ඒ ගැන විපරම් කළා. ටෙනිසන්ගේ තාත්තට ඉවරයක් නෑ උත්තර බැඳලා.

“නැන්දම්මලා ලේලිලා කෙහෙවලු පටලගෙන ඔය දමා ගහලා ගෙදර ගියේ. දන්නැද්ද.......... ගෑණු දෙන්නෙකුට එකට ඉන්න බෑ කියනවනේ.........

එකයි , දෙකයි , තුනයි දැං පටවහං දාං....... පියදාස පරාද කරපු ටෙනිසන්ගේ හිතේ සතුට උතුරනවා.