Friday, February 16, 2018

සොල්දර වලව්ව










උදේ කෑමෙන් පස්සේ වලව්වේ කාර් එකෙන් දළදා වඳින්න මහ දෙන්නයි අළුත් දෙන්නයි පිටත්වුනාට ලොකු මැණිකේ ගියේ නෑ. ඒ වෙනුවට හීං උන්දෑ  ගියා.  ජයවිරුගේ දෙවනි ගමනට කැවිලි හදන්න තෙල් තාච්චිය ලිපේ තියන්නට ලොකු මැණිකේ ඉන්න ඕනෑ. පාන්දර එලිය වැටෙන්ටත් කලියෙන් වලව්වට ආපු ගමේ ගෑනු දෙතුන් දෙනා ඒ වෙනකොටත් වැඩ පටන් අරං.

රෑ පෙඟෙන්ට දැම්ම හාල් ටික ගරලා වතුර බේරෙන්න ඇරලා පන් වට්ටිවලට එකතු කරලා තිබුණා. වලව්වේ ඇතුල් කුස්සියට එබෙන්ට තහනම් නිසා ඒකේ තිබුණ මුට්ටි ටික ගෙනත් දැම්මේ ඩිංගිරි මැණිකේ. එලියේ කුස්සියේ ඇති වෙන්න ඉඩපාඩු තිබුණ නිසා හැමෝම පාන්දර සීතලෙන් බේරිලා ඒක ඇතුලේ පිටි කොටන්න ලෑස්ති වෙනවා. ගල් වංගෙඩි දෙක පිහදාලා මෝල් ගස් දෙකක් හෝදලා ගත්ත ගුනේ උන්දෑයි  පිංචිනායි දෙමෝලෙන් පිටි කොටන්න පටං ගත්තා.

හනසු ටික හීනියට ඉරලා ලිප ළඟට ගෙනාව රං කිරා සීතල යන්නත් එක්ක ගොද ගොද ගගා පැහෙමින් තිබුණ වතුර ටිකක් මැටි කෝප්පෙට දමාගෙන ලිප ළඟ ඇණ තියා ගත්තා. ගමේ ගෑනුන්ගේ කතා අහගෙන හූමිටි දිදී ඉන්න එක හරි සතුටට කාරණයක්. ගමේ ළමිස්සියොත් රං කිරාගේ නෝන්ජල් කම විහිළුවට ගන්නවා.


දිසාවේ මැණිකේ කීවා රං කිරාටත් ගැටිස්සියක් හොයාලා දෙන්නටය කියලා ඕං! " පිංචිනා කට දෙපැත්තෙන් වැක්කෙරෙන බුලත් කෙල පිහ දාලා කිව්වා.

නිකා ඉන්ට අක්කා... මට මොන ගැටිස්සියෝද? මං මේ   දුම්බර නගා මට බහ දෙනකල් ආය එක හිතිං ඉන්නවා නොවැ.. "

 ජම්බු ගෙඩිය වගේ ඉන්න දුම්බර ගෙදර ගැටිස්සි දිහා බලාගෙන රං කිරා තමන්ගේ අවංක ගැඟීම කීවා.

ඒකි ගල් ගෙඩිය හේ ඇට්ටර  කොමට මට වචනය නොදෙන්ට මෙලහකටත් අපට දළදා හාමුදුරුවන්ට වයන්ට පැටෙක් දෙකෙක් ඉඳී"

මගෙන් වචනේ ගලවා ගන්ට එපා  උඹ.. අනේ මට පුරුසයෝ නැතිවට උඹ වගේ වැල මදුලක් සහේට ගන්ට ... "  දුම්බර ගැටිස්සි කේන්තියෙන් පුපුරු ගැහුවේ ගමේ උන් කොක් හඩලාගෙන හිනා වුනාට.

ඇයි උඹ බලාන ඉන්නේ නිළමේ කෙනෙක් ඇවිත් කැන්දන් යනකල්ද ? යකෝ මං වලව්වේ බැලකම් කොරාට මාත් දළදා වහන්සේට සද්ද පූජා කොරන ගමේ බෙරවෙක් තමා"

රන් එතනා අරං ආව කිරිබත් පලංගාන දැකපු රං කිරාගේ කට වැහුනා. රජනෑ වලව්වෙන් ඇන්න ආපු නාරං කැවුම් පිරුණ වට්ටිය ආවේ දෙවනුව. ගෑණු ටික වැඩ නවත්තලා පිටි ගෑවිච්ච අත් පිහ පිහා කෙහෙල් කොලවලට කිරිබත් බෙදා ගත්තා. කෝපි මුට්ටියෙන් පොල් කටු වලට කෝපි වක්කරලා දුන්නේ රං කිරා. තමන්ට කොච්චර අපහාසෙන් කතා කලත් ඉස්සරලාම කෝපි දුන්නෙත්  දුම්බර නගාට.

තරහා ගන්න එපා නගා . මගේ හිතේ ඇගෑලුම්කම් වැඩි වෙනවා ඕං මේ වලව්වේ මගුල් තුලා දැක්කම. අපේ අප්පේ දැක්කද අපේ අළුත් කුමාරිහාමිගේ සිරියාව! බලා ඉන්ට ලෝබයි. රත්තරන් ගාලා හේ අත පය....... " රං කිරා කෝපි බෙදිල්ලට ටිකකට නතර කරලා හුස්මක් උඩට ඇද්දා. පාන්දර ඉඳලා පින්නේ වැඩ කරලා නහයත් බුරුල් කරලා.

උඹ මොකද කිරෝ මේ ගෑණු අස්සේ.. පලයං කීවා අර කොස් ගෙඩි දෙකක් කඩාන වර! දාවලට කිරි කොස් මාලුවක් තනන්ට කීවා ලොකු මැණිකේ"

 ඩිංගිරි මැණිකේ කුස්සිය මැද්දෑවට එනකලුත් කාටවත් ඇහුනේ නෑ. හැමෝගෙම අතපය කඩිසර වුනා. බුලත් කකා හිටපුවත් ඉස්මොල්ලේ ගියා වගේ. පිටි කෙටිලි , හැලිලි , පැණි රත් කිරිලි හැම දේකටම විධානයක් ආවා. බිම ඉහිරෙන හැම හාල් ඇටයකටම දෝසාරෝපන ලැබුණා. වැඩ ටික එකලාසයක් වුනාම ලොකු මැණිකේ ඔසරි පොට ඉනේ ගහලා තද කරගෙනයි කුස්සියට ආවේ . එතන ලොකු තාච්චිය තියලා පොඩි පුටුවක් තියලා තිබුණා. තෙල් තාච්චියට වැඳලා සුබ දිසාව බලලා කහ පාට පිටි දියරෙන් නෑවුන හැඩයට කපාපු කෑලි තෙල් තාච්චියට වැටුනා. තෙල් හැන්දෙන් හිමිහිට කැවුම් දෙක ඇලවෙන්න නැතිවෙන්න දෙපැත්තට කරා. කැවුම වටේ බුබුලු දදා තෙල් නටනවා. පිම්බිලා රත්තරං පාට වෙන කැවුම් කිරි ගොට්ටක එකතු වෙනවා. කැවුම් ගෙඩි දහයක් විතර උයලා ලොකු මැණිකේ තෙල් හැන්ද ඩිංගිරි මැණිකෙගේ අතට දීලා නැගිට්ටා. තුනටියේ කැක්කුම නිසා එක දිගට ඉඳගෙන ඉන්න අමාරුයි. ඒ කොහොම වෙතත් එදා ඉඳන්ම ගමේ ගෑනු ආංබාං කරන වැඩ ඩිංගිරිට බාර දීලා ලොකු මැණිකේ වලව්වේ වෙන වැඩ බලා ගන්නවා.

පොල් අතු පෙට්ටියට පුරවගෙන ආව කොස් ගෙඩි දෙකක් සද්දේ එන්න බිම දැම්ම සන්තියා රං කිරාට කතා කළා.

කිරා මලයා...... මේං මේ ගෙඩිය අරං තියන්ට . හෙට වෙනකොට කන්ට ඇහැකි. ගෙඩි දෙකෝම දෙකයි ගහ හරියටම තිබ්බේ"

උඹ ආවේ මගේ හොඳ වෙලාවට.. නැහ්නං මං මේ ගහ බඩ ගාන්නේ කොහොමද කියලා හිටියේ. උදේ පින්නට ගස් ලෙස්සනවා"

අපේ නිළමෙලා සුනංගු නොවී එනවා මෙහෙ කියලා කීවා ලොකු මැණිකේ. අද අර සුදු මහත්තැං කෙනෙක් එනවා කීවා නෙව වලව්වට අර ඇත් දත් ද මොනවද වගයක් බලන්න යන්න සුන්දර නිළමේ එක්කාසු කොරගන්ට. ඒ  රාජකාරිය අහවර වුන ගමන් මේ වලව්වට එනවාය කියැව්වා"

සන්තියා දෙකට නැමිලා පිහියෙන් බෙල්ල කසන ගමන් ලොකු මැණිකෙට කීවා.

පලයං කිරිබත් කෑල්ලක් කාලම මේ කොස් දෙක කොටලා අර ළමිස්සියන්ට දීපං සුද්ද කරන්ට"

බිලිං ගහේ වැටුන ගෙඩි ටිකක් අහුලගෙන ඇවිත් රන් එතනා වෙල් මාළුකූරි සුද්ද කරන හැටි බලන්න රං කිරා ඉඳගත්තා.

මේ කූරි ලිස්සනවා.. මට අළු ටිකක් ගෙනත් දියං.. "

"ඕං මේ කකුල් කෙඩෙත්තුව යන්න කියලා මම ඉඳගත්තා විතරයි මට අළු ගේන්නලු. අනේ මේ ගෑණුන්ගේ අතපය කොර වෙන්ට ඔනෑ මාව තෙහෙට්ටු කොරනවාට.. "





මේ මගේ අළුත්ම නවකතාව වන “සොල්දර වලව්වේ “  එක පරිච්ඡේදයක්. ඉතුරු ටික කියවන්න මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. මාර්තු මාසේ මගේ පොත එළිදක්වන දවසට මම මේ විදිහටම ආරාධනාව එවන්නම්..... මගේ බ්ලොග් කියෙව්වාට ඒ ගැන අදහස් දැක්වූවාට ගොඩාක් ස්තූතියි. ඒකෙන් මට ලැබුණු සතුට තමා සොල්දර වලව්ව කියන්නේ....






Tuesday, February 6, 2018

හොයන බලන අය






මගේ බණ්ඩක්කා බේසමට එක පාරටම  දලු කරල් දෙක තුනක්  වැටුණා. හීනි වළලු දෙකක් දාපු , කාලෙකට කලින් නිය ආලේපන ගාපු අතක් ...

ඒ අත දිගේම බලාගෙන ගියාම  ඒ අතේ අයිතිකාරයා හම්බවෙනවා. මැදිවිය ගෙවමින් ඉන්න රවුම් මූණක් තියන කාන්තාවක්. කොන්ඩේ නම් වයසට නොගැලපෙන තරම් තරුණ පාටයි. ඒත් දැං කාලේ තැඹිලි ගෙඩියේ පාට කොන්ඩා හිමිකාරියෝත් ඉන්නවානේ.

“ නෝනාගේ ගෙදර වැඩට ඉන්න කෙල්ල නම් කිසි කමකට නෑ.. ඔව්..”

 අනාරාධනාවෙන්ම කාන්තාව කතාව පටන් ගත්තා.

“පහුගිය ටිකේ නෝනා හවස් වරුවේ ගෙදරනේ... මේ දවස්වල එනකොට හතර පහු වෙනවා නේද?”

“ ඔව්”

“ඒකනේ.. .ඕන්න හතර පහුවුනාම එහේ ගෙදර සද්දේ අඩුයි...නිතරෝම අර පොඩි ළමයාට කෑගහ ගත්ත ගමන්ම තමා අර කෙල්ල....”

මගේ ගෙදර විස්තර මටම කියන්න තරම් සමීප කෙනා කවුද කියන හිතුවිල්ලෙන් මම මෑකරල් තේරුවා.

“ගන්න එපා නෝනා මේවා.. මේ එක පණුවෙක් නෑ ..ඒ කියන්නේ බෙහෙත් ගහලා වකාරෙට..” මම මෑකරල් අතෑරලා වම්බටු පැත්තට හැරුණා.

“ මේං පණුවෝ පිරිලා... කන්න එපා ජරා..ව”  ඒ ඇඟිලි ගැහිල්ල මාව ලුහුබඳිනවා වගේ.

“ මම මේ නෝනලාගේ එහා ගෙදර අර වයසක නෝනා බලාගන්න ආවේ.. දැං මාස හයක් විතර ඇති... අප්පේ වයසට ගියාම තමා බලන්න අමාරු..පොඩි ළමයි තව හොඳයි.” කාන්තාව තමන් පිළිබඳව පැහැදිළි කළා.

මගේ අසල්වැසි ගෙදර. එහේ එක් සාමාජිකයෙක් හැරුණාම  අනික් අය හිම වැටෙන රටක ස්ථිර පදිංචියට ගිහින්.

සීතල ඔරොත්තු නොදෙන නිසා ලොකු නෝනා විතරක් මෙහේ නැවතිලා. එයාට  රැකවරණය දෙන කාන්තාව තමා මට මේ හම්බ වුනේ.

“ කොහොමද දැන් එහේ ලොකු නෝනට..?”

“පහුගිය ටිකේ අසනීපෙන්  හිටියා.. දැං ටිකක් හොඳයි.. උදේ ඉඳන් හවස් වෙනකල්ම බණ දාගෙන බලනවා. මට නම් දැං කට පාඩම් ඔය හාමුදුරුගොල්ල කියන ඒවා..”

“හ්ම්...”

“ හා...හා........රතු ලුණු ගිනි ගණන් .... බී ලූණු ගන්න නෝනා... ආයි මොකද කනකොට ඕකේ වෙනසක් තියනවාද ? අනේ මම නම් පමණක් වෙලාවකට ලූනු  නොදාත් උයනවා. මොකද අර ලොකු නෝනාට කෑම වල රහක් දැනෙන එකක්යැ....”

“හ්ම්..”

“ මම මේ කියන්නේ නෝනා..... අර පොඩි දරුවා තියන්න එපා අර කෙල්ල එක්ක. හැම වෙලේම බනිනවා. ඕන්න කවන්න ගියත් මට ඇහෙනවා සැර දාන තරම්. කොටින්ම කියනවනේ කන්න බැරි නම් නිකං ඉන්න කියලා..“

“ ඇත්තද..?”

“ ඒකනේ කියන්නේ .. නෝනා ඕවා දන්නේ නැද්ද? අහන්නකෝ ලොකු බබාලා දෙන්නාගෙන්. ඒ දෙන්නා ඉස්කෝලේ ඇරිලා ආවම තමා ඉතිං පොඩි දරුවට සහනේ.... අක්කලා එක්ක සෙල්ලම් කරන්න වත් දෙන්නෑ මයේ හිතේ... අද බැන්නා ඇතුළට දාලා වහනවා දැඟලුවොත් කියලා... එහෙම කරනවත් ඇති.. මොකද මට කියා හැම වෙලේම කන් දිහාගෙන ඉන්න වෙලාවක් නෑනේ... අපේ ලොකු නෝනා මම පේන්න නොහිටියොත් සීතෝ... කියා ගත්ත ගමන් මයි”

“ එතකොට ඒ නෝනා ළඟටම වෙලා නෙවෙයිද ඔයා ඉන්නේ...”

“ හපෝ..යි එහෙම හිටියොත් මට කනක් ඇහෙන්නේ නැතිවෙයි. අරක හදලා දෙන්න .. මේක හදලා දෙන්න ඔහොම තමා දවස තිස්සෙම.. මම මගෑරලා ඉන්නේ..”

“ආ...”

“ ඔන්න නෝනා සමහර දාට ඔය දරුවට කරවල දෙනවා... කෑවේ නැතුවාම කෑ ගහනවා තුන් වේල චිකන් කන්න පුළුවන්ද ? ලෙඩ වෙනවා නේද ? කියලා... අනේ මොන බොරුද .. මේ කෙල්ල කනවා ඇති නෝනා හදලා යන කෑම.. ඊට පස්සේ පොඩි දරුවට කරවල දෙනවා ඇති... මම මේ කියනවාට දවසක හොයලා බලන්නකෝ...“

“හරි...”

“ අනික නෝනා දරුවා නාවන එක... හම්මේ යුද්ධයක් වගේ .... කොයි දරුවද වතුරට කැමති...මේක මේ දඟල දඟලා තමා නාවන්නේ... ඒ කෙල්ලට හිනා... මට ඇහෙනවානේ සද්දේ වතුර බටෙන් තමා නාවන්නේ.. .නිකමට බේසමටක තියන්නේ නෑ මයේ හිතේ.....ඒ වෙලාවට නම් චාටු කතා කියනවා සීතල වතුරෙන් නාවා ගන්න ඕන හින්දා වෙන්න ඇති හෙර....”

“ හ්ම්....”

“ නෝනා මේ  අර්තාපල්  ගන්නකෝ .... තුන් වේල උයන්න පුළුවන්... අපේ ලොකු නෝනට පෙන්නන්න බෑ.. ඒත් මම නම් උයනවා හැම නිතරම... සුද්ද කරන්න අමාරුවකුත් නෑ... උදේට අල තෙල් දැම්මාම පහුවදාටත් කන්න පුළුවන් නරක් වෙන්නෑ..“

“ තුන් වේලම අල දෙනවද නෝනට....“

“ එයැයිට උයන්න මහන්සි වෙලා වැඩක් නෑ.. මම කටට රහට මුකුත් හදාගන්නවා මිසක ...” කාන්තාව ටිකකට කතාව නැවැත්තුවා.

“එහෙනම් ඔයා බඩු ටික ගන්න මම බිල දාන්න  යනවා..”  මට ඕන වුනේ ඉක්මන් සමු ගැනීමක්.

“අනේ නෝනා මේ හිතවත් කමට කියන්නේ .. කේලමක් කියනවා කියලා හිතන්න එපා.. පහුගිය දවසක ඔය පොඩි දරුවා අක්කලාගෙ පැන්සල් පෙට්ටියක් අරගෙන ... මං හිතන්නේ කිරි දත් නේ හපන්න ඇති. මේ කෙල්ල  කොහොම හරි ඕක උදුරලාම අරගෙන මදිවට කෝටුවකිනුත තැලුවා දරුවාට......”

“ ඔයා දැක්කද?’

“ නෑ මේ... මට ඇහුනා .. මේ මම ගෙනාවා කෝටුව .....දෙන්න ද පාර කිය කියා පාරට්ටු කරනවා. ආයි දෙකක් නෑ ගැහුවා දරුවාට.. ඇත්තට කීයක් ගෙවනවාද ඔය නැට්ටිච්චිට...“

“ටිකක් වැඩිපුර දෙනවා. තුන් දෙනාම බලාගෙන මම එනකල් වැඩ ටිකක් කරනවානේ..”

“ අනේ ළමයි බැලිල්ල... ඕං උදේට අතුගානවා ඇහෙනවා මිදුල... එතකොට අර දරුවා එනවා ඇති සෙල්ලමට ඇගේ එතෙන්න... මේකි බනිනවා.. අතාරිනවා මගේ සාය... මේකත් ඉරන්නද හදන්නේ... දැං ඇඳුම් කීයක් ඉරුවද වගේ කතා.... මේ දරුවා ඒත අතනෑරියොත් අතුගාන එක දමලා ගහලා යනවා.....ඕං ඊට පස්සේ තකහනියේ මොනවත් දරුවට කවලා නිදි කරවලාද කොහොදෝ ඇවිල්ලා තමා පස්සේ අතුගාලා දාන්නේ...“

“ ඒක කොහොමද දන්නේ.... ?”

“ නෑ මට ඇහෙනවනේ එතන වෙන දේවල් කනේ තිබ්බා වගේ ...... මේ කෙල්ල ඒ වෙලාවට කිවනවා ගිහින් නිදාගන්නවකෝ මට කරදර නොකර කියලා.. මගේ පපුව පත්තු වෙනවා ඒවා අහන කොට. .. කියද වයස දරුවාගේ”

“ තාම අවුරුද්දක් නෑ......“

“ මං කියන්නද නෝනා.. මට ඔය තව ටිකක් වැඩි කරලා දෙන්න ගාන .. මං එන්නං ඔය දරුවෝ බලා ගන්න.. අර උඩැක්කිය යවන්න නෝනා ගමේ...”

“එතකොට එහේ ලොකු නෝනා..?“

“ මේ වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න නෝනා වගේද අර දරුවෝ තුන්දෙනා...”

ඒ කතාව  තවත් ඉදිරියට ගෙනියන්න බැරි නිසා මම කලබලය පිටින් දාලා මම එළියට බැස්සා

ගෙදර  බෙල් එක ගහන පමාවට අපේ ගෙදර උඩැක්කිය ගේට්ටුව ඇරියා.  ඒ පිටිපස්සෙන් සීතා මෙච්චර වෙලා කිව්ව දරුවා නැට්ට වනමින් මම එනකල් බලාගෙන හිටියා...