Thursday, July 30, 2015

වල්ගා තරුව


 

පහුගිය සති අන්තේ අපේ මහ ගෙදර ගිය වෙලාවේ මම මගේ පරණ පොත් ඇවිස්සුවා. ඒ අතරේ තිබුණ රචනා පොතේ මැද පිටුවේ මුද්දර හතරක් තිබුණා. ඒ මුද්දර නිකුත් කරලා තිබුණේ හේලීගේ වල්ගා තරුව නිමිත්තෙන්. සත හැත්තෑ පහේ එකයි, සත පනහේ එකයි, රුපියල් හයයි පනහේ එකයි, රුපියල් අටයි පනහේ එකයි එතන තිබුණා.

1986 ලංකාවට හේලිගේ වල්ගා තරුව පෑයුවා. ඒ ගැන කාලයක් තිස්සේ පත්තර වලින් දැනුවත් කරලා තිබ්බේ. ආපහු 2061  ඒ කියන්නේ අවුරුදු හැත්තෑ ගණනකට සැරයක් විතර ආපහු දකින්න ලැබෙන නිසාත් , ලංකාවට ඉතා හොඳින් දකින්න ලැබෙන නිසාත් ඒක බලන්න ලොකු පෙළඹවීමක් තිබුණා. මිහිර පත්තරේයි විජය පත්තරේයි ඒ ගැන ලොකු විස්තර දාලා  තිබුණා. මිනිස්  ඇසින් ජීවිතයේ දෙවරක් දැකිය හැකි එකම වල්ගා තරුව කියලා හඳුන්වලා තිබුණා. වල්ගා තරුවක් කියන්නේ අසුබ නිමිත්තක් කියලා ගොඩක් අය විශ්වාස කළා. ඒ විශ්වාසය නිසා තරුව බැලීමේ උනන්දුව  අඩු වුනේ  නෑ.

එක දවසක පාන්දර එකට විතර අපේ ගෙදර ඔක්කොමලා නැගිටලා පල්ලහා වෙලට ගියා. කොච්චර නිදිමතේ උනත් තනියම ගෙදර නිදා ගන්න බය නිසා මමත් පිටිපස්සෙන් ගියා. වෙල මැදට ගියාම පුංචි තරු අතරේ වල්ගා තරුව හරිම අපූරුවට පෙනුනා. 2061 බලා ගන්න බැරි වුනොත් කියලා ජීවිතේටම මතක තියන විදිහට වල්ගා තරුව බලා ගත්තා. තරුවෙන් අඩි දෙකක් විතර දිග ඉතා දීප්තිමත් ආලෝක ධාරාවක් පිට වෙනවා අපිට පෙණුනා. මට නම් හිතුනේ වල්ගා තරුව කියලා දැම්මට වැඩිය වෙන නමක් දැම්මා නම් හොඳයි කියලා. ඒත් අදටත් ඒකට ගැලපෙන වෙන නමක් හිතා ගන්න බෑ.

සීතල හුළඟ හමන වෙල් යායක මේ වගේ වෙලාවක තරුවක් බලනවා කියන එකත් අමුතු ම අත්දැකීමක්. අපි විතරක් නෙවේ ගමේ කීප දෙනෙක්ම තාරකා නිරීක්ෂණ මධ්‍යස්ථානයට ඇවිත් හිටියා. මගේ බල්ලාට වත් එපා කියන්න බැරි නිසා වෙන්න ඇති ඒ අයත් එක්ක ගෙදර බල්ලෝත් ඇවිත් තිබුණා. මට මේ වල්ගා තරුව බලපු සිද්ධීය හොඳින් මතක තියෙන්න එක හේතුවකුත් ඒකයි. එදා වෙලට නරි දෙන්නෙක් ඇවිල්ලා. වෙනදත් එනවා ඇති. ඒත් එදානේ අපි වෙලට ගියේ. ගමේ ඉන්න බල්ලෝ ටික එකතු වෙලා අර නරි දෙන්නව ඒ මේ අතට එළවනවා. උන් දෙන්නා අන්තිමට බේරිලා උස ගලකට නැගලා හූ කියන්න පටන් ගත්තා. ඒ හූ සද්දෙටයි බල්ලෝ උඩු බුරලන සද්දෙටයි තමයි ගොඩක් අය වෙලට ආවේ. ඒත් ඒ කවුරුත් වල්ගා තරුව බලන්න ආව ගමන් බලු - නරි ගැටුම බැලුවා වගේ තමා කතා කලේ.

Tuesday, July 28, 2015

රෙජිස්ටර් කරපු නම්


 

සමහර   භාණ්ඩ වෙළඳ පළට ආවාම ඒකේ වෙළඳ නාමය අපේ හිතේ රෙජිස්ටර් වෙනවා. ඊට පස්සේ ඒකට ආදේශක කොච්චර ආවත් හඳුන්වන්නේ මුලින්ම ආව වෙළඳ නාමෙයෙන්මයි.

රබර් සෙරෙප්පු වලට බාටා කියන අය කොච්චර ඉන්නවද? මට බාටා දෙකක් දෙන්න කියලා ඩී. එස්. අයි කඩයකට ගිහින් ඉල්ලුවාම එයාලා කියන්නේ නෑනේ මේ කඩේ බාටා නිශ්පාදන නෑ කියලා. ඉල්ලන කෙනාට ඕන රබර් සෙරෙප්පු දෙකක් කියන එක වෙළෙන්දා දන්නවා. මගේ බාටා දෙක දැක්කද කියලා අපේ අත්තම්මා එළියට යන්න ලෑස්ති වෙලා අහන්නේ රබර් සෙරෙප්පු දෙක ගැන මිසක බාටා නාමය මුද්‍රිත සෙරෙප්පු කුට්ටම ගැන නෙවේ කියලා අපි දන්නවා. ඒ දවස්වල අහල පහල බලු පැටියෙක් හිටියා හම් සුවඳට ආසා කරන. අම්මා හවසට කියනවා බාටා එළියේ තියන්න එපා  බල්ලා කයි කියලා. අපි එතකොට බාටා, ඩී.එස් .අයි තව නම දන්නැති සියළුම වර්ගයේ සපත්තු සෙරෙප්පු අරගෙන ඇතුලේ තියනවා. අපි දවසක් පන්සල් ගිහින් එද්දි ගහක රබර් සෙරෙප්පුවක් එල්ලලා තිබුණා. පිරිසෙන් එක්කනෙක් කියනවා අන්න හොරකම් කරපු බාටා එකක් ගහේ එල්ලලා කියලා. එතකොට කවුරු හරි ඇහුවා ඔච්චර උඩ තියන සෙරෙප්පුවේ බාටා කියලා ගහලා තියනවා පේනවද කියලා.

දත් බෙහෙත් වලත් ප්‍රසිද්ධ නම සිග්නල්. උදේට අපි මූණ හෝදනකොට අම්මා අහනවා සිග්නල් ගත්තද කියලා. සමහර විට අපි එදා දත් මදින්නේ එස්.ආර් වලින් . ඒත් දත් බෙහෙත් වලට සමාන පදය සිග්නල්. රත්වුන දේකට පිච්චුනාමත් සිග්නල් ටිකක් ගෑවාම දිය බුබුළු එන්නේ නෑ කියලා පත්තරේ තිබුණා. ටිකක් දුර ලිපිය කියවද්දී තමා තේරුනේ දත් බෙහෙත් කෝක ගෑවත් හරි කියලා.

ඇස්ට්‍රා කියලා කියන්නේ මාගරින් වලට. ඇස්ට්‍රා ගාලා පාන් කෑවා කිවුවොත් සමහර විට බටර් වෙන්නත් පුළුවන් නැත්තන් වෙන මාගරින් ජාතියක් වෙන්නත් පුළුවන් . ඉස්සරලාම ආවේ ඇස්ට්‍රා නිසා මොන දේ ආවත් මාගරින් යනු ඇස්ට්‍රාම වේ.

අනිත් එක සෙල්ටෙල් . අපි හෑන්ඩ් ෆෝන් වලට කාලයක් යනකල්ම කීවේ ඒ නම. ඒක සේවා සපයන ආයතනයේ නම වුනාට ගඩොල් බාගයක් වගේ දුරකථන ඇමතුම් ගන්න උපකරණය සෙල්ටෙල්. මිනිහට සෙල්ටෙල් එකකුත් තියනවා කියලා කවුරු හරි   හෑන්ඩ් ෆෝන් එකක් පාවිච්චි කළොත් කියන්නේ.

මගේ යාළුවෙක් හිටියා වාද්දූවේ. එයාලාගේ ප්‍රධාන පාර ගාලු පාර නිසා ඕනම ප්‍රධාන පාරකට කියන්නේ ගාලු පාර කියලාලු. සාමාන්‍යයෙන් ගාලු පාර වගේ කියන්නේ වාහන ගොඩක් යනකොට නේ. මෙයාලා නුවර යන ගාලු පාර කියන්නේ නුවර යන ප්‍රධාන පාර කියන අදහසින්. එහෙම බැලුවොත් ගාල්ලට ඇරුණු කොට අනික් හැම තැනටම යන්න ගාලු පාරවල් තියනවා.

තව එකක් රෙදි හෝදන සබන් කියන්නේ සන් ලයිට්. වොන්ඩර්ලයිට් කියලා කොළේ නම ගහලා තිබුණත් ඒක සන්ලයිට් තමා. ඇයි ඒකෙන් කරන්නෙත් රෙදි හෝදන එකනේ. රෙදි හෝදන කුඩු කියන්නේ රින්සෝ. මොන මොන නම් වලින් ආවත් අදටත් හදිසියකට කියවෙන්නේ රින්සෝ ටිකක් දාලා පෙගෙන්න තියන්න කියලා.

පොත් වලට කවර දාන්න ගන්න කඩදාසි මොන පාට උනත් ඒක බ්‍රවුන් පේපර් කියලා තමා හැඳින්වුවේ. දවසක් ළමයෙක් රෝස පාට බ්‍රවුන් පේපර් එකක් ඉල්ලුවා. මුදලාලි එක පාරටම රෝස ඩිමයි කොළයක් අරන් දුන්නා. ඒක තමා ඉල්ලලා තියෙන්නේ. තව තියනවා අඟල් හයේ  අඩිරූල් එහෙමත්.

මළ ගෙවල් වලට බොන්න ගේන්නේ ඔරේන්ජ් බාර්ලි. හැබැයි ඒ ගේන බෝතල් වල ක්‍රීම් සෝඩා, නෙක්ටෝ කියලා ගහලාත්  තියනවා.  ලංකාවේ හැදෙන බොම්බයි ලූණුත් විකුණන්න තියනවා.

අපි උදේට නැගිට්ටාම අම්මා කට පාඩමින් කියනවා  තර්මර්ස්  එකේ වතුර දාලා තියනවා කිරි හදාගෙන බොන්න කියලා.  Thermos  කියන ලෝක ප්‍රසිද්ධ වෙළඳ නාමයෙන් ආපු නිසා උණු වතුර බෝතලේට ඒ නම කියනවා.

 මුල්ම දේ අපේ හිතේ රෙජිස්ටර් වෙන නිසා පස්සේ කොච්චර දේවල් ආවත් ඒක දෙවනි වෙන්නේ  නෑ. පළවෙනිම ඉස්කෝලේ, ටීචර් එතකොට යාළුවා වගේ දේවලුත් සදාකාලික මතකයේ තියන දේවල් නේ. අතීතයට යන්න පොඩි වෙලාවක් හරි ආවහම,  අපට නොදැනී වුනත්  අපේ මතකයේ ඒවා තැන්පත් වෙලා තියනවා කියලා දැනෙනවා.

Monday, July 27, 2015

අයිස් ක්‍රීම්


 

මේ සැරේ ඇසළ පෝයටත් දන්සැල් තිබුණා කොළඹ. බලන බලන තැන තිබුණේ අයිස් ක්‍රීම් දන්සැල්. පහසුව නිසාත්, ඉල්ලුම නිසාත් සංවිධායකයෝ අයිස් ක්‍රීම් දන්සැල් දෙන්න පෙළඹෙනවා ඇති. අම්මලාගෙන් බැනුම් අහ අහා පුංචි අය පෝලිමේ පොර කාලා ඇවිත් අයිස් ක්‍රීම් එක ගත්ත ගමන්ම එතනම ගල් වෙලා කෝන් එක වටේට දිව දාලා බේරෙන අයිස් ක්‍රීම් ටික එක සැරේ කවර් කරලා ගන්නවා. එතකොට පෝලිම එක තැන හිරවෙනවනේ. පිටිපස්සේ ඉන්න අයගේ ඉවසීම පනිනවා. පුළුවන් උපරිමේට තල්ලුවක් දෙනවා .ඉස්සරහ ඉන්න පොඩ්ඩා නිකම්ම විසිවෙනවා. අයිස් ක්‍රීම් කන  මුණේ තියන හිනාව දැක්කම සංවිධායකයෝ ඒ වෙලාවේ දිව්‍ය ලෝකේ යන්න තරම් පිනක් කරගත්තා කියලා හිතෙනවා. පොඩි අය තරමටම ලොකු අයත් අයිස් ක්‍රීම් කනවා දකින්න ලැබෙනවා. සමහර විට ඩයබිටික් තියන අයට ගෙදරින් කන්න දෙන්නේ නැති නිසා වෙන්න ඇති. එහෙමත් නැත්තං ඒ  පොඩි කාලේ ආසාව යනකල් අයිස් ක්‍රීම් කන්න නොලැබුණ අය වෙන්න ඇති.

පොඩි කාලේ ආසාව යනකල් අයිස් ක්‍රීම් කන්න නොලැබුණ අය ගොඩේ මාත් ඉන්නවා. අපේ පාර දිගේ අයිස් ක්‍රීම් වෙළෙන්දෝ දෙන්නෙක් ගියා. එක්කනෙක් හතරැස් පෙට්ටියක් කරේ තියාගෙන නලාව අතේ තියාගෙන “පෝපු පෝපු“  කිය කියා ගියේ. සේන අයිස්  පලම් කියලා පෙට්ටියේ ගහලා තිබුණා. ඒ අයිස් ක්‍රීම් කන්න නම් කවදාවත් ලැබිලා නෑ. බැරි වෙලාවත් කන්න ඇහුවත් කොහේ වතුර අරගෙන ඕවා හදනවද දන්නෑ කියලා අම්මා කඩාගෙන පනිනවා.

තව අයිස් ක්‍රීම් විකුණන කෙනෙක් හිටියා එයා නම් තරමක වෘත්තීය මට්ටමට ආව කෙනෙක්. බයිසිකලයක ලස්සන පෙට්ටි දෙකක් බැඳගෙන ආවේ. එකක අයිස් පලම්. අනිකේ අයිස් චොක්ස්. අයිස් චොක්ස් එකේ ජාති දෙකක් තිබුණා. එකක් වටේ චොක්ලට් තවරපු කිරි රස තියන පොප්සිකල් එකක්. අනිත් එක වේෆර්ස් වගේ බිස්කට් එකක් උඩට අයිස් ක්‍රීම් හැන්දක් දාලා දෙන එකක්. ඒ මොන එක කෑවත් මගදි කඩාගෙන වැටෙන නිසා අපි නම් පොඩි ප්ලාස්ටික්  කෝප්පයක් අයිස් ක්‍රීම් එක යටින් තියා ගත්තා. අයිස් ක්‍රීම් එක බිම වැටුනොත් ආය කවදා හරි අරන් දෙනකල් අර දුකෙන් පිච්චි පිච්චී ඉන්න වෙනවා.  අර චොක්ලට් කෝට් එකේ දිමියෝ පොඩි වුනාම දැනෙන රසයකුත් සමහර දාට එනවා.

හැමදාම අයිස් ක්‍රීම් විකුණන අය ආවේ නෑ . සතියට එක දවසක් වගේ තමා එන්නේ. ඒත් අපිට මාසෙකට සැරයක් විතර තමයි අරන් දෙන්නෙත්. අයිස් ක්‍රීම් කෑවම පණුවෝ ඇවිස්සෙනවා කියලා අපට ඒත්තු ගන්නලා තිබුණේ. ඒත් අයිස් ක්‍රීම් පෙට්ට්ය පාරේ යනවා දැක්කම පණුවෝ විතරක් නෙවේ අපේ හිතත් ඇවිස්සෙනවා.

අගෝස්තු නිවාඩුව ආවහම අපි වෙනදාට වැඩියෙන් අයිස් ක්‍රීම් කනවා. අම්මයි අප්පච්චියි විභාග ප්‍රශ්ණ පත්තර බලන්න ගියාම අපි නිදහස්. අරහෙන් මෙහෙන් එකතු කර ගත්ත සල්ලිත් තියනවා. රුපියල් දෙකක් ඕනේ චොක්ස් කන්න. කන දේ තීරණය වෙන්නේ තියන සල්ලි ගාන අනුව තමා. ඒත් අයිස් ක්‍රීම්කාරයා එනකොට ලොකු අප්පච්චී හිටියොත් වැඩේ හරි. ඉනේ තියන පොකට් එකෙන් රුපියල් හයක් අපි තුන්දෙනාට දෙනවා. අපට තව දවසකට අයිස් ක්‍රීම් කන්න සල්ලි ඉතුරු වෙනවා ඒ වැඩෙන්. සමහර දාට මග රැකගෙන හිටියත් අයිස් ක්‍රීම්කාරයා නෑ. එදාට නම් කන දෙයක්වත් දිරවන්නෑ හිතේ අමාරුවට. පහුවදා නැගිටින්නෙත් ඒ බලාපොරෙත්තුවෙන්මයි.

Baskin- Robbins අයිස් ක්‍රීම් ඉස්සරලාම කන්න ගිය දවසේ මට  පරණ අයිස් ක්‍රීම් මතකය ඇවිස්සුනා. දෙසිය ගානක් රස අනුව වර්ග කරපු අයිස් ක්‍රීම් තිබුණා.දෙසිය ගානම තව කන්න බැරි වුනා. එකේ ස්කූප්ස් හයක් දාලා ගන්නත් පුළුවන්. එකකොට එක සැරේ රස හයක් කන්න පුළුවන්නේ. මම එහෙම තමා මට පොඩි කාලේ කන්න බැරි වුන අයිස් ක්‍රීම් කන්න හදන්නේ.

ඒ විදිහට පොඩි කාලේ කරන්න බැරි වුන දේවල් කොච්චර පස්සේ කරන්න හදනවද? අපිට බැරි නම් අපේ දරුවෝ  ලවා හරි කරවන්න හදනවා. ඒ දේවල් කරන්න දරුවන්ට බල කරලා එයාලා ඉස්සරහාට යවන්නේ  අර මම මුලින්ම කියපු දන්සැල් පෝලිමේ තල්ලුව වගේ  දහ ගුණයක තල්ලුවක් දාලා.

Friday, July 24, 2015

ඇදගෙන නෑම


 

අපේ හිතවත් කෙනෙක්ට මේ ළඟදි  ළිදෙන් වතුර එකක් ගන්න ගිහින් වුන කරදරයක් ගැන ටිකක් දිග සංවාදයක් ඇති වුනා. එතන හිටිය හැමෝම පුංචි කාලේ හරි ළිඳකින් නාපු අය . තම තමන්ගේ අත් දැකීම් ගැන කතාවෙන කොට දැනුනා හැමෝම එකම විදිහේ දේවල් තමා කරලා තියෙන්නේ කියලා.

ඒ දවස්වල ගෙදරකට නාන ළිඳකුයි වතුර බොන ළිඳකුයි කියලා දෙකක් තියනවා. වතුර බොන ළිඳේ නාන්න නම් හිතන්න වත් බෑ. කෙටියෙන්ම කීවොත් ඒ ළිඳට  දාලා තියන බාල්දිය බිමින් තියන්නවත් අම්මලාගේ අවසරය නෑ.අපේ කතාවට සම්බන්ධ කවුරුත් වතුර බොන ළිඳෙන් නාන්න වරප්‍රසාද ලබපු අය නෙවේ.

නුවර , කෑගල්ල ,රත්නපුර වගේ පැති වල නම් ළිං තුන්සිය හැටපස් දවසේම උතුරලා යනවා. ඒ පැති වල ජීවත් වුන අය නම් ළිඳ ළඟට ගිහින් ලනුව නැතුව බාල්දියෙන් වතුර අරගෙනලු නෑවේ. ඒ ළිං වල තුන් පැත්තකින් බැමි බැඳලා නාන පැත්තේ පුංචි කොට බැම්මක් බඳිනවා. අපේ අත්තම්මලාගේ පැත්තේ ළිං වට කරලා වහලයක් ගහලා ගෙවල් වගේ හදලා තියෙන්නේ. කන් අඩි පැලෙන සීතල මදිවට ඉර අව්ව වැටිලාවත් ඒ වතුර රත් වෙන්නෑ.

හැබැයි ඇදගෙන නාන්න නම් බැම්ම උඩට බැඳපු ළිදක් වෙන්න ඕනෑ. පායන කාලෙට වතුර මට්ටම පහලට යනවා. ඒ නිසා ගොඩක් ළිං වලට බොලොක්කයක් දානවා වතුර ඇද ගන්න ලේසි වෙන්න. බොලොක්කයක් නැත්තං අතින්ම ඇදලා තමයි වතුර ගන්න වෙන්නේ . වතුර බාල්දිය නියම හැඩයට තියෙන්නේ ළිඳට දාපු අළුත විතරයි. ටික දවසක් යනකොට ළිදේ වැදිලම ඒකට විෂේශිත වුන හැඩයක් ගන්නවා. හොඳට හය්ය තියන කඹයක් තමා බාල්දියේ බඳින්නේ. ටික දවසක් යනකොට කඹය ගෙවිලා තැන් තැන් වලින් ගැලවෙන්න පටන් ගන්නවා. එතකොට කඔය බොලෙක්කෙක් පැනලා ඇනේ ළඟ හිරවෙනවා. වතුර පිරිච්ච බාල්දිය පිටින් හිරවුනාම ඒ බරට කඹේ කෑල්ල තවත් ඇතුලට යනවා. නාපු වතුර ටික වේලෙනකම්ම කඹේ ගලවා ගන්න බෑ. හොඳම හරිය තමා ඔය විදිහට පරණ වුන කඹය කඩාගෙන බාල්දිය ළිදට වැටෙන එක. එහෙම නැත්තං බාල්දිය කොක්කෙන් ගලවාගෙන ළිඳට වැටෙන එක.

එහෙම වැටුන බාල්දිය ගන්න අගට කටු කම්බියක් පටලවපු දිග ලීයක් ළිඳක් තියන හැම ගෙදරකම තියනවා. ළිං පතුලට ලීය දාලා කූරු ගාන කොට බාල්දිය කම්බියේ පැටලෙනවා. සීරුවට ලීය උස්සලා ගන්න ඕන. බාල්දිය අල්ල ගන්න ඔන්න මෙන්න කියලා තියන කොටම ආපහු ළිඳට වැටෙන වෙලාවලුත් එනවා. කොක්ක ගලවගෙන බාල්දිය වැටුනාම නම් ඉතිං කවුරු හරි බැහැලම තමා ගන්න වෙන්නේ.

පස්සේ කාලෙක කඹ වෙනුවට ටයර් වලින් හදපු දිග පටි පාවිච්චි කළා. ඒවායෙන් වතුර අදින්න ලේසි වුනත් ඇඟ පුරාම කළු පාට ඉහෙනවා. අපේ යාළුවෙක් ඉස්කෝලේ යන්න ලෑස්තිවෙලා වතුර එකක් ඇඳලා අරන් බස් එක එන සද්දෙට බාල්දිය ආපහු අතෑරලා දුවගෙන ඇවිත් බස් එකට නැග්ගලු. ඉස්කෝලේ ළගින බහින කොට තමා දැකලා තියෙන්නේ සුදු කමිසේ බතික් වෙලා කියලා.

ඊළඟට නයිලෝන් ලනු  ආවා. ඒවායේ තියන ලෙස්සන ගතිය නිසා තැන් තැන් වලින් ගැට දාලා තමා වතුර අදින්න පාවිච්චි කළේ. සබන් අතේ තියන වෙලාවක නම් එක පාරින්ම බාල්දිය ළිඳට අතාරින් පුළුවන්.

අවුරුදු විස්සක විතර කාලෙක ඉඳලා ළිඳ කියන සංකල්පය ඈත් වෙලා. දැන් කවුරු හරි කෙනෙක් කීවොත් අපිට ළිඳක් තියනවා, අපි නාන්නේ ළිදෙන් කියලා ඒක පුදුමෙකට කාරණයක් වෙනවා. එහෙම වෙලාවට මම මතක් කරන්නේ අන්තිමට ළිඳෙන් නෑව දවස කවදද කියලා. අපි සියළුම දේ කරන්නේ නල වතුරෙන් නේ. ජීවිතේ කිසිම දවසක ළිඳකින් නාපු නැති අයත් ඉන්නවා. ඒ අයට නොදැනුනාට ළිං වලින් නාලා තියන අයට නම් කොහේ හරි ළිඳක වතුර පිරිලා ඉතිරිලා යනවා දැක්කාම ඒ වතුරෙන් නාගන්න ආසාවක් ඇති වෙන බව මට විස්වාසයි.

Thursday, July 23, 2015

අපි බලපු කාටුන්


 

අපි පොඩි කාලේ සතියට එක දවසක් හවස පහේ ඉඳලා පහ හමාර වෙනකල් කාටුන් වැඩ සටහනක් කොටස් වශයෙන් පෙන්නුවා. බ්‍රහස්පතින්දා වෙන්න ඕන ඒ දවස. ඒ දවස මගහැරුනොත් ආය සතියක් ම බලන් ඉන්න වෙනවා. දැන් වගේ පියෝ ටීවී නෑනේ. ඒ නිසා මොන දේ තිබුණත් ඒ වෙලාවට අපි ටීවී එක ඉස්සරහ.

ගලිවර්ගේ සුවසැරිය, දොස්තර හොඳ හිත සහ  පිස්සු පූසා  කියන  සිංහල හඩ කවපු කාටුන් පෙළ මට අද වගේ මතකයි.

ගලිවර්ගේ සුවසැරිය හදලා තිබුණේ ලෝක ප්‍රකට Gulliver’s Travels කියන කතාව ඇසුරින්. ඒක පටන් ගන්නේ පසුබිම් කතනයකින්. “වයිටයි මමයි පාවෙලා ආවා ලිලිපුට්ටන්ගේ රටට. ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ . ඒ අය හිතුවෙ මම එයාලගේ සතුරෙක් කියලා. ඒත් එයාලගේ රජතුමා රාජාලියාගෙන් බේරා ගත්තට පස්සේ ඒ අය මිතුරු වුනා. දැන් මට තියෙන්නේ මගේ තාත්තා හොයා ගන්න එක“ ඔහොම තමයි පටන් ගන්නේ. ගලිවර් හරි කඩවසම් කෙනෙක් . ඒක රජතුමාගේ දුවටත් දැනිලා තිබුණා. ඒකනේ අර උපන් දින කේක් එකක් කපන්න ගිහින් වෙන ගෑනු ළමයෙක්ගේ පින්තූරයක් එතන තිබුණ කියලා එයා ගලිවර් එක්ක තරහා වෙන්නේ. අර කොළ දෙකක් ඔලුවට දාලා හිටිය චරිතය මතකද? ඕක නම් හරි යන්නෑ කියලා තමා කොයි දේත් පටන් ගන්නේ. මට එයාගේ නම මතක නෑ.  ඒ කණ්ඩායම කොච්චර අභියෝගවලට මුණ දෙනවද, කොච්චර කරදර එයාලා පස්සේ එනවද, තමන්ගේ අරමුණට යන්න කොච්චර වෙහෙසක් ගන්නවද කියන එක ටයිටස් තොටවත්ත හරි අපූරුවට දෙබස් මගින් ළමා මනසට කා වැද්දුවා. කවදාහරි තමන්ගේ කාටුන් රස විඳින දරුවෝ සමාජයේ මේ වගේ සැබෑ චරිත මුණ ගැහුණු දවසට ටයි මාමාව ආදරෙන් මතක් කරයි කියලා එයා දැනගෙන ඉන්න ඇති.

දොස්තර හොඳ හිත කියන්නේ Doctor Do Little නේ. සත්තු කතා කරන එක එයාට තේරෙනවා.

මුහුද මගේ ගොඩබිමයි.
එය මගේ නිවසට සමයි.
සියළු සතුන් මගේ තමයි 
දොස්තර හොඳ හිත මමයි    කියාගෙන තමයි දොස්තර  එන්නේ.

ඒ කාටුන් එකේ දුෂ්ඨ චරිතය  චව් චව් . එයා එනකොට අපිත් පුටුවේ අග්ගිස්සට ඇවිත්. එතන ඉඳන් වෙන සිහියක් නෑ. කොයි වෙලාවේ හරි දොස්තර හොඳ හිතට කරදරයක් කරයිද කියලා හිතේ ගින්දරෙන් අපි  ඉන්නේ. පොඩි කාලේ විතරක් නෙමේ අපි දැන් උනත් කාගෙන් හරි කරදරයක් වෙයිද කියලා හිතේ බයක් තියාගෙන ඉන්න වෙලාවල් තියනවා නේද?

පිස්සු පූසා නම් වෙනස් ම ආරක එකක් නේ. අර කුණු බක්කි දෙකක පියන් අරගෙන “පටාර්  ගාලා වැඩ පටාන් ගන්න“ කියලා අණ දෙනකොට නිදිමතේ ඇස් පිහ පිහා උපාසක, ඤාව්වා, පුරු පුරු දුවගෙන එනවා. ඒකෙත් දුෂ්ඨයෙක් ඉන්නවා. ඒ සාජන් මහත්තයා. ඒත් එයා අර කතාවල දුෂ්ඨයා තරම් නරක නෑ. සාජන් මහත්තයාගෙත් පපුව පූසන් වෙනුවෙන් උණු වෙන වෙලාවල් එනවා. කොච්චර  වැරදි කරලා අහුවුනත් එයාගේ හිත යට මුඩුක්කුවේ කාගෙන්වත් හව් හරණක්  නැතුව ජීවත් වෙන මේ සත්තු ගැන අනුකම්පාවක් තියනවා. ඒත් මේ පූස් රංචුව පොළීසියත් එක්ක සෙල්ෆි ගහන්නවත්, එයාලගේ හෙට්මට් උදුරාගෙන යන්නවත් හදන්නෑ.

දැන් නම් නානාප්‍රකාර කාටුන් තියනවා. රූපවාහිනී නාලිකා උනත් කීයක් ද? සමහර කාටුන් වල තේරුම් ගන්න බැරි හැඩ වල ජීවීන් ඉන්නේ. පිටසක්වල ජීවීන් එහෙමත් ඉන්නවා. ඒ වගේමයි ගෝෂාවත්. ඒත් මට නම් හිතෙන්නේ දරුවන්ට අමුතුවෙන් ඉගන ගන්න දෙයක් මේවාගෙන් ලැබෙන්නේ නෑ කියලා. අපේ දරුවෝ  අපි පොඩි කාලේ බලපු කාටුන් වලට කැමති වෙන එකකුත් නෑ. මේක වෙන්නැති පරම්පරා ඝට්ටනය කියන්නේ!

Tuesday, July 21, 2015

කොප්පරා මඩුව


 

කොප්පරා වේලන එක අවුරුද්දේ හැම මාසෙකම කරන වැඩක් නෙවේ. ඒකට වැහි නැති කාලගුණයක් තියන මාසයක් තමා තෝරගන්නේ. මාර්තු , අගෝස්තු වගේ මාස වල කොප්පරා මඩුව හරිම කලබලයි. කොප්පරා මඩුව අයිති අපේ ලොකු අප්පච්චිට. මේ වැඩේට හොඳ සූදානමක් ඕන. මුළු වත්තේම තැන් වල වැටිලා තියන පොල් ටික කිහිප දෙනෙක් එකතු වෙලා එකතු කරනවා. එදාට අගල්වල වැටිලා තියන, මඩවලවල් වල වැටිලා තියන පොල් ටික ඉතුරු වෙන්නේ නෑ. වක් පිහියට  හරි , ලී උලට හරි    ඇමිනිලා පොල් ගොඩට වැටෙනවා. පොල් ‍ගොඩට මෙහා පැත්තෙන් බිමට ඇනලා හිටවපු උලකින් දෙන්නෙක් විතර පොල් ලෙලි ගලවනවා.

පහුවදා උදෙන්ම බණ්ඩය්යා ලොකු වක් පිහියත් අරගෙන පොඩි පුටුවේ ඉඳගෙන පොල් බිදිනවා. අපි පොඩි කට්ටිය අමු ඉරටු සුද්ද කරලා අගින් ඉරටුව කරකවලා ගැටයක් දාගෙන වටේට බලං ඉන්නවා. අපි ඉන්න පිළිවලට තමා බණ්ඩයියා පැලපි දෙන්නේ. හැබැයි කාට වුනත් පැලවෙච්ච් පොලයක් දීලා තමන්ගේ වාරය ආවම බිඳවා ගන්න පුළුවන් . ඒ පැලපිය අයිති දුන්න කෙනාට. පැයක් විතර යනකොට හැමෝගෙම අතේ තියන ඉරට පැලපි වලින් පිරිලා. හැම ගස් වලම පැලපි රස නෑ. පුංචි ඒවා තමයි ගොඩක්ම රස. පොල් ගෙඩිය පිරෙන්නම තියන පැලපි ගලවන්න දෙකට කපන්න වෙනවා. ඒවා පුළුන් වගේ . රසෙනුත් අඩුයි. කවුරුත් දෙකට කැපිච්ච ඒවා ගන්න කැමති නෑ. පොල් ගැන විශේෂඥ දැනුමක් තියන කෙනෙකුට පොල් මොටය්යා දිහා බලලා තීරණය කරන්න පුළුවන් පැලපිය කොච්චර ලොකුද කියලා. අනපේක්ෂිත විදහට විශේෂඥ දැනුම වරදින වෙලාවල් එනවා. උදේ වරුවේ විතරයි පොල් බිඳින්නේ . දවස් දෙකක් විතර පොල් බිඳින වැඩේට යනවා. බිඳින බිඳින පොල් උඩ අතට හරවලා දවස් තුනක් හතරක් විතර වේලෙන්න අරිනවා. ඒ දවස් දෙක තුනේ හැම බල්ලෙක්ගෙම කටේ පොල් බෑයක් තියනවා.

පොල්  බාගෙට වේලෙද්දී  පොල් කට්ටත් පොල් මදයත් අතර පොඩි හිස්තැනක් එනවා. ඒ අතරට ලී උලක් දාලා අංශය තුන්සිය හැටට කරකවද් දී පොල් මදය ගැලවිලා එනවා. එහෙම ගලවපු මද තව දවස් තුනක් විතර වේලෙන්න තියලා කොප්පර මඩුවේ උඩ තට්ටුවේ අසුරනවා. කොප්පරා මඩුව හදලා තිබුණේ මැටි වලින් තට්ටු දෙකට. යට තට්ටුව කාමර දෙකකට බෙදලා තිබ්බා. තට්ටු දෙක වෙන් කරලා තිබුනේ පුවක් ලී පටි වලින්. ඒ උඩ තමා පොල් අතුරන්නේ. උඩට නගින්න පොල් කොට වලින් අපූරු පඩි පෙලක් හදලා තිබුණා.

අඟහරුවාදා දවස පන්නලා ලොකු අප්පච්චි කොප්පරා මඩුවට ගිනි අවුලවනවා. යට තට්ටු දෙකේ පුරවලා තියෙන්නේ වේලුන පොල් කටු . ඒවා හරිම තුනියි. හොඳට වේලිලා නිසා ඉක්මනට ගින්දර එක්ක යාළු වෙනවා. මුළු රැයක්ම පොල් කටු ඇවිලෙනවා . සැරෙන් සැරේ පුංචි දොර ඇරලා ඇවිලෙන පොල් කටු අවුස්සන්න ඕන. එදා මුළු රෑම ලොකු අප්පච්චී නිදියන්නෑ. තිරිසන් සතෙක් වත් නොදන්නා කමට මේකට පැන්නොත් අළු වෙලායනවනේ කියලයි ඒ ගැන අහපුවාම කීවේ. දෙවනි දවසේ පත්තු කරන්න තියෙන්නේ පොල් කටු අඟුරු. ඊට කලින් පොල් බෑ අවුස්සලා අනික් පැත්ත හරවනවා. එදා රෑට ගිනි අඟුරු වලට පොල් තෙල් වැටිලා පිච්චෙන සුවඳ ගම පුරාම පැතිරෙනවා. එතකොට ගොඩක් අය දැනගන්නවා කොප්පරා වේලනවා කියලා. කොප්පරා මඩුව බලන්න ඇවිල්ලා පැය දෙක තුනක් ගතකරලා තේ එකකුත් බීලා යන අය කිප දෙනෙක්ම හිටියා.
හොදට වේලුන කොප්පරා රත්තරන් පාටයි. හරිම සුවඳයි. රසයෙනුත් ඉහලයි. කොප්පරා වේලිලා ඉවර  වුනාම ඒවා ගන්න එදා ඉඳන්ම එන ගැනුම්කරුවා එනවා. ගෝනි පුරවලා කොප්පරා අරං යනවා. කොප්පරා එකතු කරද්දි පොඩි පොඩි පොල් කෑලි පුවක් පටි අතරින් පහල තට්ටුවට වැටෙනවා.ඒවා වෙනම එකතු කරලා අරන් තෙල් හිඳින්න යවනවා. තෙල් වලින් කොටසක් මාර්තු මාසේ තියන අලුත් සහල් මංගල්ලෙට වෙන් කරලා තියනවා. ඉතුරු කොටස කොප්පරා ව්‍යාපෘති නිලධාරින් අතරේ සමසේ බෙදෙනවා.

Monday, July 20, 2015

ඇඹුල් පේර


 

 පේර කියලා කිවුවට මේ පළතුරට වෙනම නමක් දාන්න තිබ්බේ. ඇතුලේ ඇට පේර ඇට වලට සමාන නිසාත් හැඩය පේර ගෙඩියට යන්තම් හරි සමාන කමක් දක්වන නිසාත් මේ නම කියන්න පටන් ගන්න ඇති. ඒත් අන්‍යන්‍යතාවයක් තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා.

කැම්පස් එකේ දෙවනි අවුරුද්දේ ඒ කියන්නේ විශේෂවේදී උපාධිය පටන් ගත්ත අවුරුද්දේ අපේ ළඟම ජ්‍යෙෂ්ඨ ශීෂ්‍ය කණ්ඩායමත් එක්ක ගියා ක්ෂේත්‍ර චාරිකාවක්. අපේ මානව සමාජවාදය සම්බන්ධයෙන් දේශන කටයුතු කරන කතිකාචාර්යතුමා ( දැන් නම් මහාචාර්යතුමා) යෝජනා කළේ දඹානේ ආදි වාසීන් බලන්න යාම . කොහොමත් ආධුනිකයන් විදිහට අපට වැදගත් හඞක් නොතිබුණ නිසාත් ඉදිරියෙන් හිටපු අයගේ කැමැත්ත නිසාත් යෝජනාව සම්මත වුනා. හැම වෙලාවේම ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්නේ නෑනේ.

යන්න කලින් සතියේ අනිවාර්ය දේශන පෙළක් තිබුණා ආදි වාසීන් අධ්‍යනය කිරීමේ දි සුහුඹුල් සාමාජ විද්‍යාවේදීන්ගේ මානසිකත්වය කෙසේ සකස් කළ යුතුද වගේ  මාතෘකා පෙළක් යටතේ. ඒ හැම එකකින්ම අවධාරණය කළේ අපිත් සමාජයේ එක් කොටසක් මිසක දියුණු , විශේෂ ජීවීන් කොටසක් නොවේය, වෙනත් ජන සමාජයක් තුලට ප්‍රවිශ්ඨ වීමේ දී සමාජ  අචාර ධර්ම කිසිම ආකාරයකින් කඩ නොකළ යුතුය කියන දේවල්.

සුන්දර තෙල්දෙණිය නගරය  පහු කරගෙන නකල්ස් කඳු වැටිය දිහා බල බලා මහියංගනයට ආවා. දවල් කෑම කන්න කාටවත් උවමනාවක් නොවුනේ දහ අට වංගුවේ දී කැලතුන බඩවල් නිසා වෙන්න ඇති. දඹානට ඇවිත් අපේක්ෂා කරපු විදිහේම වැදි ජනතාවක් බලා ගන්න බැරි වුනා. හොඳට ඇඳුම් ඇඳලා හිටියේ. සමහර අය නම් විදේශිය නාමයන් සටහන් කරපු කමිසත් ඇඳලා  හිටියලු. ඒ  සුද්දෝ ඇවිල්ලා අපේ ආදි වාසීන් ශිෂ්ඨාචාරගත කරන්න ගත්ත උත්සාහයක් වෙන්න ඇති. කොහොම උනත් ආදි වාසින් එයාලගේ ආදිම වාසීන් ගැන සාක්ෂි තියාගෙන හිටියා. දවසක එයාලගේ දරුවන්ටත් ඉතුරු වෙන්නේ ඒ සාක්ෂි විතරයි කියලා දන්න නිසා වෙන්න ඇති. අපිත් ඒවා බලලා සෑහීමක පත් වුනා.

ආපහු ගමනේ දී අපි අචාර ධර්ම පිළිපැදපු එක ගැන කතිකාචාර්යතුමා ගොඩක් සතුටු වුනා කියලා කිව්වත් අපේ තොරතුරු සෙවීමේ ක්‍රම වේදයන් ගැන නම් සතුටත් තිබුණේ නෑ. මහියංගනය පහුකරලා හැතැම්ම විස්සක් විතර එද්දී බස් එක ගැස්සිලා ගැස්සිලා නැවතුනා. පෙරමුණේ හිටිය සමාජවේදියෙක් “ලොරි බාගේ මග හිටියා එන කොට රෑ ජාමේ “ කියාගෙන බස් එක පැනලා රෝදවලට අඩ තිබ්බා. බස් එකේ දුනු කැඩිල ද මොකක්ද එකක් කීවට ගෑනු ළමයිට තේරුම් ගියේ තව පැය ගානකට මෙතනින් යන්න වෙන්නෑ කියන එක . ඔය අතරේ එක්කනෙක් සමාජවේදිනියන්ගේ බර කීයද කියලා අහා අහා ගියා දුනු පැන්නේ කාගේ වරදෙන්න ද බලන්න.“ඇයි මගේ බර හෑල්ලු කරන්න ද කීයද කියලා අහන්නේ?“ කියලා එක් කෙනෙක් දුන්න උත්තරෙන් ඒ වැඩෙත් ඇන හිටියා.

ඇඹුල් පේර විකුණන ළමයි ටිකක් එහා වංගුවේ ඉඳලා අපේ බස් එකට වුනේ මොකද බලන්න ආවා. වේවැල් කූඩ වල  ඇඹුල් පේර දාලා. කැන්ද කොලයකින් ගොට්ටක්  පුරවලා රුපියල් පනහකට දෙනවා. කොච්චර බඩගිනි තිබුණත් එක ගොට්ටක් රුපියල් පනහක් වටින්නේ නැති බවත්, ළමයි ඉල්ලුම මත මිළ ඉහල දමන න්‍යාය අනුගමනය කරන බවත් අපට තේරුම් ගියා.  යාළුවෙක් පාරේ එහා පැත්තේ ඉඳන් කෑ ගහලා කිව්වා එතන ඉඳලා දිගටම ඇඹුල් පේර ගස් තියනවා කඩාගෙනම කමු කියලා.රුපියල් පනහේ අසාධාරණයට විරුද්ධ හැමෝම ඒ පැත්තට ගියා. සූරාකෑම පිළිබදව ගැඟීමක් නොතිබුණ අය  ළමයින්ගෙන් පේර ගොටු සල්ලි දීලා අරගෙන කෑවා.

මාන පදුරු පාදගෙන පේර ගස් ළඟට ගිහින්,  දිමි ගොටු අයින් කරලා, කෝටු වලින් ඇනලා පේර කඩා ගත්තා. වැටිච්ච පේර අහුලන්න ඊට අමාරුයි. අතපය සූරගෙන ඇඟ පත කස කසා පේර ගෙඩි දෙක තුනක් අරන් එනකොට බස් එක හදලා. දුනු හොයන්න ආපහු දඹානේ ගියාද කියලා අපෙන් ඇහුවේ ඒ වෙලාවේ තිබුණ පෙනුම නිසා වෙන්නැති.

දාඩිය දාලා මානා වලට කැපුන තැන් කසනවා. දනවා. බස් එකේ ඉඳගෙන ඉන්නත් අමාරුයි. ගහෙන් කඩාගත්ත ඒවා හොස්ටල් ගෙනියන්න තියාගෙන දැනට මේවා කන්න කියලා කව්දෝ කෙනෙක් අපි ඉන්න පැත්තට පේර ගොටුවක් එවලා තිබුණා.

Friday, July 17, 2015

නියං වැටකොළු


 

අපේ නාන ළිඳ ළඟ පුවක් ගහට යවපු නියං වැටකොළු වැලක් තිබුණා. ඒ නම කීවේ නියං කාලයට ඔරොත්තු දෙන නිසා වෙන්න ඇති. කුරුණෑගල අගෝස්තු පෑවිල්ල හරි තදයි. හැම ගහක් කොලක්ම වේලිලා ගියත් මේ වැල හොඳට හැදෙනවා. සාමාන්‍ය වැටකොළු වැලක තියන කොළ වලට වඩා කොළය පළල්, තද කොළ පාටයි.  මල් තද කහ පාටයි. තද තිත්ත ගතිය නිසා කෑමට ගන්නේ නෑ. වැටකොළු කරල පැහෙන්න ඇරලා එකේ කොස්ස ගන්නවා ඇඟ අතුල්ලන්න. ඒක තමයි ගන්න පුළුවන් එකම ප්‍රයෝජනය.

හොඳට පැහුණු වැටකොළු කරල වැලෙන් කඩලා අරගෙන  දෙපැත්ත කපලා වතුරට පෙඟෙන්න දානවා. දවස් තුනක් විතර තිබ්බාම වටේ  මදය ගැලවිලා ගිහින් කොස්ස විතරක් ඉතුරු වෙනවා. ඒක හොඳට තලලා හෝදලා ගත්තම ස්පොන්ජ් එකක් වගේමයි. පුංචි සබන් පොත්තක් අලවපුවාම තුන් හතර පාරක් ගාලා නාන්න තරම් සබන් පෙණ එනවා. දවස තිස්සේම අව්වේ ගස් උඩ සෙල්ලම් කරන්න අවසර තියන නිවාඩු කාලේ  හවසට ඇඟ හෝදන්න යනකොට අම්මා කෑ ගහලා කියනවා වැටකොළු කොස්සත් අරගෙනම යන්න කියලා. එතකොට ආපහු දුවලා ඇවිත් කොහෝ හරි වැටිලා තියන වැටකොළු කොස්ස හොයලා අරගෙන යනවා.

වැටකොළු කොස්ස ගැන මතකය ආපහු අළුත් වුනේ මට මෑතක දී ලැබුණ තෑග්ගක් නිසා. සීතල රටක පදිංචි වෙලා ඉන්න මගේ යාළුවෙක් සීතලෙන් බේරෙන්න නිවාඩුවකට මව් රටට එන්න වෙනවා කියලා මාසෙකට කලින් මට පණිවිඩයක් කීවා. අපේ රටේ දී අපිට හම්බනොවෙයි කියලා එයා හිතපු තෑගි ගොඩක් ගොඩක් එයත් එක්කම අපේ ගෙදර ආවා. ලස්සන හැඩයක් තියන හුරුබුහුටි කූඩයක් මට ගෙනත් තිබුණා. ඇසුරුමේ තිබුණේ  නාන කාමර ලාවන්‍ය කට්ටලයක් . ඒ රටේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක නමක් තමා ඇතුලේ තිබුණ දම්පාට තුවායේ මහලා තිබුණේ. පුංචි පුංචි ආලේපන බෝතල් එකින් එක අරගෙන බලකොට දැක්කා රිබන් පටියකින් ඔතලා ගැටගහපු දෙයක් . ඒ සුවඳ කවපු වැටකොලු කොස්සක්. Aromatic Natural bath sponge”  කියලා ලේබලයක් ගහලා තිබුණා. මම පොඩි කාලේ දැක්කට පස්සේ ආයම නියං වැටකොළු වැලක් දැකලා තිබුණේ නෑ. පිටරටක ලාවන්‍ය කට්ටලයට ඇතුලත් වෙන්න තරම් වැටකොළු කොසු හොයන්නේ කොහොමද? වෙනත් රටවලින් අපනයනය කරපුවා වෙන්න ඇති.

මේච්චර වටිනාකමක් දීලා, මෙච්චර පෙනුමක් දීලා , මෙච්චර නිමාවකින්  මගේ අතට ආපහු එයි කියලා දන්නවා නම් පොඩි කාලේ අහාට මෙහාට විසිකරන්නේ නැතුව වැටකොළු කොස්සට ගෞරවයෙන් සලකනවා. මම නොදන්නා කාලේ වැරදි තක්සේරුවක් නිසා වුන වැරැද්ද නිවැරදි කර ගන්න ඕන නිසා ඒ කට්ටලය නාන කාමරයේ තියන රාක්කේ උඩම තට්ටුවේ තැන්පත් කළා.

Wednesday, July 15, 2015

වසන්තයේ නැලවෙන මල්


 

නුවර එළියේ සීතල ටිකකට හරි අඩු කරන්නේ ඉවරයක් නැතුව කඩා හැලෙන වැස්ස. රෑ තිස්සේ වැහැපු වැස්ස උදේ වෙනකොට පායලා. අනිත් අයට නිදාගන්න ඇරලා මම එළියට බැස්සා.තේ එකෙන් දුන්න උණුසුම  රැඳුනේ ටික වෙලාවයි. ඊයේ රෑ වැස්සක් වැටුන ද කියලා නොදන්නවා වගේ උදේ ඉර අව්ව රත්තරන් පාටින් මල් වල රටා ඇන්දා. නුරවඑළියේ ලස්සනම මල් වත්ත තියෙන්නේ ග්‍රෑන්ඩ් හෝටලයේ. රෑස්ස ගස් අතු පතර විහිදුවලා සීතල පිටවෙලා යන්න නොදී රැක ගත්තා.

හෝටලේට එළකිරි ගේන  අත්කරත්තේ තල්ලු කරගෙන ආවේ හීන්දෑරි කළු මනුස්සයෙක්. එච්චර සීතලේ උනත් ඇඳලා හිටියේ සරමක් විතරයි. කරත්තේ ගහ ළඟ නවත්තලා කිරි පිරුණ ඇලුමිනියම් භාජන දෙක  උස්සලා ගන්න කොට හීනි අත් දෙක වෙවුලුවා. කරත්තේ මුල්ලේ තිබුණ විශාල වේවැල් කූඩේ බිත්තර අසුරලා තිබුණා. අළුත් පිදුරු සුවඳ නැවුම් වාතය විනිවිද ගියා. අප්‍රේල් මාසයේ පැවැත්වෙන වසන්ත සැණකෙලිය ගොඩාක් දෙනෙකුට ජිවනෝපාය සරු කර දෙන බව පැහැදිළියි. ඒ කාළෙට හදිසියේ නුවර එළිය ආව කෙනෙකුට නවතින්න තැනක් හොයා ගන්න අමාරුයි.

හෝටලයේ රෝස මල් පාත්ති තියෙන්නේ පිටි පස්සේ. ඒත් එක්කම පල්ලෙහාට තියන පාර දිගේ ඇවිද ගෙන යන්න මට හිතුනා. පාර දෙපැත්තේ තණ කොළ වල පවා මල් පිපිලා, පින්නෙන් නෑවිලා. තාර පාර වැස්සට හේදිලා තිබුණත් ඇල්ල දෙපැත්තේ මල් නම් වැස්සට හේදිලා  තිබුණේ නෑ. එක යායට පිපුණ කහ පාට බටර් කප් මල් සුළඟ එන එන අතට නැමුනා. නම්‍යශීලී බව තමා  පැවැත්මේ රහස.

මාව පහු කරගෙන යන කුඩා ගෑණු ළමයි දෙන්නෙක් පුදුමෙන් වගේ මගේ දිහා බැලුවා. මෙච්චර වටිනා මල් තියද්දී  මොනවාට කැලෑ මල් ගැන උනන්දු වෙනවද කියලා හිතන්න ඇති. දිග සායවල් ඇඳලා ඔලුව ඔතාගෙන ගිය ගෑණු ළමයි දෙන්නා අතේ තිබුණා ලොකු කූඩ දෙකක්. නගරයට මොනවා හරි ගෙනියනවා ඇති.

පාර දිගේ පොඩි දුරක් යන කොට මල් විකුණන ලෑල්ලක් තිබුණා. මල් කප කපා මිටි බැඳලා එතනින් ගෙනත් තියනවා. දීප්තිමත් මල් වලින් පිරුණු මල් පොකුරු එකක් උඩ එකක් තියන කොට ස්වභාව දහමේ ලස්සනම දේ මේ වෙන්නැති කියලා මට හිතුනා.

මල් මිටියක් අරගන්න ලොකු ආසාවක් ඇති වුනා.හදිස්සියේ එළියට බැස්ස නිසා මම සල්ලි අරන් ඇවිල්ලා තිබුණේ නෑ. මල් දිහා බලාගෙන ඉඳලා ආපහු හැරුණා. ඒත් එක්කම එතන හිටිය කාන්තාව මට කතා කළා. සීතලට ඇකිලුණු කෙසඟ ඇඟිලි තියෙන අත් දෙකකින් මට පිරුණු මල් මිටියක් දිගු කරා. අනපේක්ෂිත ආගන්තුක සත්කාරය නිසා මල් මිටිය ගන්න කොට මගේ අත් දෙක වෙව්ලුවා. මුළු ජීවිත කාලයේම මල් කපලා මල් වල කහට රැඳුන,  කරගැට පිරුණු ඒ අත් දෙකේ තිබුණ උණුසුම මගේ ඇස් දෙක තෙත් කළා.

Tuesday, July 14, 2015

රිලව් නැටවීම


 

දම්වැලකින් බැඳගත්ත පුංචි රිලා පැටියෙකුයි, වේවැල් පෙට්ට් තුනකුයි කර ගහ ගත්ත මනුස්සයෙක් ආවා. රිලවා නටවලා පෙන්නන්නද බේබි කියලා අපේ බබාලාගෙන් ඇහුවා විතරයි ඒ රිලා පැටියා බිමට පැනලා දැන් මම නටන්නද වගේ මූණක් හදාගෙන අපි දිහා බලාගෙන හිටියා.

රිලා නැටුම් සම්ප්‍රදායේ විදිහටම නැන්දා මාමා බලන්න යන එක, නෝනා එක්ක තරහ වෙලා නිදා ගන්න එක, වැරදි කාරයෝ අත් දෙක බැඳලා පොළීසියට අරන් යන එක , උල  තියන එක රිලා පැටියා කරලා පෙන්නුවා. අන්තිමට චූටි ඇස් දෙක කරකව කවා අපි සල්ලි දෙනකල් බලන් හිටියා.

රිලව් නැටවීම වෘත්තියක්. ඒ වෘත්තිකයෝ කණ්ඩායම ගොඩගම පැත්තේ වත්තක කූඩාරම් ගහගෙන ඉන්නවා කියලා තමා රිලවාගේ  අයිතිකාරයා කීවේ. එයාගේ නම වේළු. වේවැල් කූඩ තුනේ හිටියේ නයෙකුයි, හැපින්නකුයි, පිඹුරෙකුයි. කැලේට ගිහින් නයි අල්ලන එක ගැන වේළු කතා කළේ හරිම තෘප්තියකින්. පිඹින සද්දේ අනුව නයෙක් ද  හැපින්නක් ද කියලා කියන්න එයාට  පුළුවන් කීවා. වැදගත්ම දේ තමා ඓතිහාසික වැරැද්දක් නිවැරදි කිරීම . හැපින්නට වඩා නයා නපුරුයි, සත්තුන්ගේ වුනත් ගැහැණු සතා නපුරු කමින් අඩුයි කියන එක තමා වේළු කියන්නේ. පෙට්ටිය ඇරියා විතරයි නයි දෙන්නා ඔලුව උස්සලා අපිට පිඹින්න පටන් ගත්තා. දවසම හිරවෙලා හිටපු එකේ කේන්තිය වෙන්න ඕන. දල කඩලා , පෙට්ටියක් ඇතුලට දාලා ඉන්න නාග රාජයකුට තමන්ගේ අභිමානය ගැන ප්‍රශ්ණයක් ඇති. අපි හැමෝම ඉස්සරහා බෙල්ලෙන් අල්ලලා පෙට්ටි පියනෙන් ගහලා දෙන්නව ඇතුලට දානකොට  අර අභිමානය ?.
 ලොකු පෙට්ටියේ හිටියේ පිඹුරෙක් . වේළු අත් දෙකෙන්ම උස්සලා ඌව බිමට දැම්මා. පිඹුරා ඇදි ඇදී හතර අතටම බඩ ගානවා. දුඹුරු පාට පැල්ලම් සහිත විශාල ශරීරය අපේ තණකොළ පොඩි කරගෙන ඇදෙන කොට මට බය හිතුනා කොහේ හරි අල්ලාගන්න බැරි තැනකට රිංගලා යයිද කියලා . ඒ වෙලාවේ රිලා පැටියත් වේළුගේ අතින් ඇද ඇද කියනවා පිඹුරව අල්ලා ගන්න කියලා.
වේළු ගිහින් පිඹුරව බඩ මැදින් අල්ලලා එතුවා. මට බලන් ඉන්න බෑ. මට දැනුනේ මම ඒ පිඹුරව අල්ලනවා වගේ. මගේ කෑගැහිල්ලට පිඹුරාව දෙපාරක්ම වේළු අතින් බිම වැටුනා. තුන්වෙනි පාර පිඹුරා හරිම දරුණු විදහට ගහක එතිලා වේළුව ප්‍රතික්ෂේප කළා. ඒ පාර වේළුත් ටිකක් කලබල වෙලා ගහටයි පිඹුරාටයි මැදින් අත දාලා වෙළුම ගලවන්න උත්සාහ කළ. මම තවත් හයියෙන් කෑ ගැහුවා.

වේළු හරිම අසහනකාරී මූණකින් මගේ දිහා බලන ගමන් මෙහෙම කීවා.

“නෝනා ඉතිං මමනේ මේ සතා අල්ලන්නේ....! ඇරත් මේ මගේ රස්සාවනේ“

Monday, July 13, 2015

නපුරු පාලකයෝ තුන්දෙනා


 

රුසියානු සාහිත්‍යට මම අසීමිතව ආදරේ කරනවා. අපි පුංචි කාලේ රුසියානු පොත් සල්පිලක් හැම අවුරුද්දේම පැවැත්වුනා. රාදුගා ප්‍රකාශන සහ දැදිගම වී. රැද්‍රිගු කියන නම් පොත් වල කවරේ වගේම සාහිත්‍යට බද්ධ වෙලා තිබුණ බව ඒ පොත් රස විඳපු අයට මතක ඇති. ලස්සන වසීලිස්සා, අපූරු කතා, හත් පෙති මල, වැඩ බැරි දාස, නිකීතාගේ ළමා කාලය, බූරතීනෝ සහ රත්තරන් යතුර  වගේ පොත් නම් මම ආපහු කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා මගේ ගෙදර තියාගන්න. ඒත් නපුරු පාලකයෝ තුන්දෙනා කියන පොත තවම හොයා ගන්න බැරි වුනා.

රටක විප්ලවයක් කරන්න නම් ඉස්සරවෙලා ම මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න ඕන කියන එකට හොඳ උදාහරණයක් තමා නපුරු පාලකයෝ තුන්දෙනා. රුසියාවේ පාලක පක්ෂය නියෝජනය කරන රජවරු තුන්දෙනා අසරණ මිනිස්සු පීඩාවට පත් කරගෙන සැප විදපු විදිහත් අවසානයේ දී ඔවුන්ට අත්වන ඉරණමත් දරුවන්ට තේරෙන විදිහට පොතේ තියනවා. මිනිස්සුන්ට තමන් දුක් විදින්නේ සුළුතරයක් සැප විඳින නිසාය කියන දේ තේරුම් කරලා දෙන්නේ අවුරුදු නමයක් විතර වෙන සුවිනි. එයාට කියන්නේ සුන්දර සුවිනි කියලා. එයා ඇත්තටම සුන්දර හදවතක් තියන පොඩි කෙල්ලක්. තමන්ගේ ජීවිතය පවා අවදානමේ තියලා පාලකයෝ තුන්දෙනාගෙන් රට වැසියන්ව නිදහස් කර ගන්නවා.

රුසියන් පොත් වල සාහිත්‍ය රසයට යටින් විප්ලවීය අදහස් ගැඹුරු විදිහට ගලාගෙන යනවා. විප්ලවීය අදහස් කෙනෙකුට කා වද්දන්න පුලුවන්ද? සමාජ ක්‍රමයක් වෙනස් විය යුතුයි කියන සැබෑ හැඟීම ඇති වුන හිතක විතරයි විප්ලවීය අදහස් උපදින්නේ. ඒ හැඟීම නැතුව, කෙනෙකුගේ වචන නිසාම බලහත්කාරයෙන් ඉපදුන විප්ලවීය අදහස්  එක තැනක දී තමන්ගේ සැබෑ හැඟීමට යටත් වෙනවා. විප්ලවය පාවා දුන්නා කියලා කියන්නේ ඒ වෙලාවට තමා.

මේ කියන පොත දැක්කොත් අරන් කියවන්න.

Friday, July 10, 2015

අම්මා දකිමි


ජීවිතේ හැලහැප්පීම් නිසාම සිහි කල්පනාව වෙනස් වුන දැන් අවුරුදු හැටක් විතර වෙන අම්මා කෙනෙක් කුරුණෑගල අපේ ගමේ ඉන්නවා. නීත්‍යානුකූල විවාහයක් නොවී නිවුන් පිරිමි දරුවන් දෙදෙනෙක් ලබපු මේ අම්මාගේ එක් දරුවෙක් කවුරු හරි කෙනෙක් දරුකමට හදාගන්න අරගෙන තියනවා. අනෙක් දරුවා අම්මා ළඟමයි හැදුනේ. මට මතකයි අපි පොඩි කාළේ  ඒ දරුවා ඉස්කෝලේ යනකොට අම්මත් පස්සෙන් යනවා. ඉස්කෝලේ ඉවර වෙනකල්ම ගේට්ටුව ළඟ ඉන්නවා. ගොඩාක් දවසට මොකක් හරි හේතුවක් හදාගෙන දරුවාව ඉස්කෝලෙන් කලින් අරන් යනවා. තමන්ගේ ඇස් මායිමෙන් එහාට දරුවාට යන්න දීලා නෑ. ගෙවල් වල වැඩක් පලක් කරන්න ගියත් දරුවා අරන් යනවා. කොහොම හරි දරුවාගේ අධ්‍යාපනයත් කඩා කප්පල් වුනා. පස්සේ කාලෙක ඒ ළමයා කොන්ක්‍රීට් වැඩ පොළවල් වලට අත් උදව් දෙන්න ගියා. කාලේ ගත වෙනවාත් එක්කම  අම්මගේ මානසික තත්වය තව තවත් නරක් වුනා. තමන්ගේ පුතා වැඩ ඇරිලා එනකල් ගමේ ගෙයක් ගානේ ගිහින් පුතා කොයි වෙලාවේ එයිද කියලා අහ අහා යනවා.

මම අපේ මහ ගෙදර ගියාම නොවැරදීම මම මේ අම්මාව දකිනවා. අර ප්‍රශ්නේ මගෙනුත් අහනවා. මටත් දැන් දරුවෝ ඉන්න නිසා  තේරුම් ගන්න පුළුවන් පුතා නැතුව අම්මාට දැනෙන අනාරක්ෂිත බව.  ස්වාමියා තමන්ව අතෑරලා ගියාට වඩා දුකක් වෙන්න ඇති එක දරුවෙක් වෙන් කරලා එයාගෙන් ගත්ත එක. තමන්ගේ එකම බලාපොරොත්තුව වුන අනෙක් පුතාව මොහොතකටවත් තනි කරන්න බැරි වුනේ ඒක වෙන්න ඇති. ජීවිතේ නොලැබීම් වලටම මුහුණ දුන් මේ කාන්තාව ජීවිතේ ලබපු වටිනාම දේ තමා තමන්ගේ දරුවගේ ආදරේ. වැඩට යන්න ඉස්සර වෙලා අම්මට උයලා තියලා අම්මව නාවලා යන, තමන්ගේ අම්මාව පණවගේ බලා ගන්න  ඉලන්දාරි පිරිමි දරුවෙක්  ඒ අම්මට ඉන්නවා. තමන්ගේ අම්මගේ ආදරය සැබෑ විදිහටම තේරුම් ගත්ත , අම්මාට නොලැබුන ආදරේ සහ ආරක්ෂාව දෙන ,  ඒ හැමදේටමත් වැඩිය දරුවෙකුට ඉන්නේ එකම එක අම්මා කෙනෙක් කියලා තේරුම් ගත්ත පුතෙක් ඒ අම්මාට ඉන්නවා.!

ජීවිතේ හැම දෙයක්ම හැමෝටම දෙන්නේ නෑ. ඒ වගේම කිසිම දෙයක් නොදී ඉන්නෙත් නෑ! විශ්වය සමබර වෙන්නේ එහෙමයි.

Thursday, July 9, 2015

අරලිය මල්


අරලිය මල් දකින හැම වෙලාවකම මට  පේරාදෙණියේ නාදන් ශාලාව මතක් වෙනවා. විශාල ගොඩනැගිල්ලේ දෙපැත්තේම තියන අරලිය ගස් වල මල් පිරිලා. කහපාට පොඩි අරලිය මල් කොළ පාට තණ බිස්සට වැටිලා . අහුලලා ගන්නත් ලෝබ හිතෙනවා. නේවාසිකාගාරයට ගිය මුල්ම දවස් වල නම් මල් දිහා බලාගෙන හිටියට අහුලන්න ගියේ නෑ. පස්සේ නවකයෝ විදිහට ගෙවිය යුතු කාලේ  ඉවර වුනාම මම පුරුද්දක් විදිහට උදේට මල් ඇහිලුවා. පේරාදෙණියේ සුන්දර පරිසරයේ තිබුන සුන්දරම මලක් තමයි කහ අරලිය මල. දළදා මාළිගාවට පූජා කරන්න ගියත් මම ගෙනිච්චේ කහ අරලිය මල්. කාලය ගතවෙලා. ඒත් ඒ අරලිය ගස් තාම තියනවා. ඉස්කෝලේ හිටපු අපිත් , පේරාදෙණියේ හිටපු අපිත් මේ ඉර හද යට ජීවත් වෙනවා. ලෝකේ වටේ ම ඉන්න යාළුවෝ මුණු පොතේ ඉන්නවා දරුවොත් එක්ක ම. එහෙම ඒ අයව දකින්න ලැබෙන එක හිත සතුටින්  පුරවන කාරණයක්. එහෙම නොවුනා නම් ආය කවදාකවත් එයාලව මුණ නොගැහෙන්න තිබුණා.  අපි සිතුවිලි වලින් කොච්චර වෙනස් වෙලාද කියලත් දැනගන්න තිබුණා නම් කියලා මට හිතුනා. මම මේ අරලිය මල අරගෙන එන්නේ ඒකයි. මට දැනෙන දේ ඔයාලට දැනෙන්නේ කොහාමද? මට ඒ ගැන කියන්න. අපි දිගටම කතා කරමු.