Thursday, July 23, 2015

අපි බලපු කාටුන්


 

අපි පොඩි කාලේ සතියට එක දවසක් හවස පහේ ඉඳලා පහ හමාර වෙනකල් කාටුන් වැඩ සටහනක් කොටස් වශයෙන් පෙන්නුවා. බ්‍රහස්පතින්දා වෙන්න ඕන ඒ දවස. ඒ දවස මගහැරුනොත් ආය සතියක් ම බලන් ඉන්න වෙනවා. දැන් වගේ පියෝ ටීවී නෑනේ. ඒ නිසා මොන දේ තිබුණත් ඒ වෙලාවට අපි ටීවී එක ඉස්සරහ.

ගලිවර්ගේ සුවසැරිය, දොස්තර හොඳ හිත සහ  පිස්සු පූසා  කියන  සිංහල හඩ කවපු කාටුන් පෙළ මට අද වගේ මතකයි.

ගලිවර්ගේ සුවසැරිය හදලා තිබුණේ ලෝක ප්‍රකට Gulliver’s Travels කියන කතාව ඇසුරින්. ඒක පටන් ගන්නේ පසුබිම් කතනයකින්. “වයිටයි මමයි පාවෙලා ආවා ලිලිපුට්ටන්ගේ රටට. ලිලිපුට්ටෝ කුරුමිට්ටෝ . ඒ අය හිතුවෙ මම එයාලගේ සතුරෙක් කියලා. ඒත් එයාලගේ රජතුමා රාජාලියාගෙන් බේරා ගත්තට පස්සේ ඒ අය මිතුරු වුනා. දැන් මට තියෙන්නේ මගේ තාත්තා හොයා ගන්න එක“ ඔහොම තමයි පටන් ගන්නේ. ගලිවර් හරි කඩවසම් කෙනෙක් . ඒක රජතුමාගේ දුවටත් දැනිලා තිබුණා. ඒකනේ අර උපන් දින කේක් එකක් කපන්න ගිහින් වෙන ගෑනු ළමයෙක්ගේ පින්තූරයක් එතන තිබුණ කියලා එයා ගලිවර් එක්ක තරහා වෙන්නේ. අර කොළ දෙකක් ඔලුවට දාලා හිටිය චරිතය මතකද? ඕක නම් හරි යන්නෑ කියලා තමා කොයි දේත් පටන් ගන්නේ. මට එයාගේ නම මතක නෑ.  ඒ කණ්ඩායම කොච්චර අභියෝගවලට මුණ දෙනවද, කොච්චර කරදර එයාලා පස්සේ එනවද, තමන්ගේ අරමුණට යන්න කොච්චර වෙහෙසක් ගන්නවද කියන එක ටයිටස් තොටවත්ත හරි අපූරුවට දෙබස් මගින් ළමා මනසට කා වැද්දුවා. කවදාහරි තමන්ගේ කාටුන් රස විඳින දරුවෝ සමාජයේ මේ වගේ සැබෑ චරිත මුණ ගැහුණු දවසට ටයි මාමාව ආදරෙන් මතක් කරයි කියලා එයා දැනගෙන ඉන්න ඇති.

දොස්තර හොඳ හිත කියන්නේ Doctor Do Little නේ. සත්තු කතා කරන එක එයාට තේරෙනවා.

මුහුද මගේ ගොඩබිමයි.
එය මගේ නිවසට සමයි.
සියළු සතුන් මගේ තමයි 
දොස්තර හොඳ හිත මමයි    කියාගෙන තමයි දොස්තර  එන්නේ.

ඒ කාටුන් එකේ දුෂ්ඨ චරිතය  චව් චව් . එයා එනකොට අපිත් පුටුවේ අග්ගිස්සට ඇවිත්. එතන ඉඳන් වෙන සිහියක් නෑ. කොයි වෙලාවේ හරි දොස්තර හොඳ හිතට කරදරයක් කරයිද කියලා හිතේ ගින්දරෙන් අපි  ඉන්නේ. පොඩි කාලේ විතරක් නෙමේ අපි දැන් උනත් කාගෙන් හරි කරදරයක් වෙයිද කියලා හිතේ බයක් තියාගෙන ඉන්න වෙලාවල් තියනවා නේද?

පිස්සු පූසා නම් වෙනස් ම ආරක එකක් නේ. අර කුණු බක්කි දෙකක පියන් අරගෙන “පටාර්  ගාලා වැඩ පටාන් ගන්න“ කියලා අණ දෙනකොට නිදිමතේ ඇස් පිහ පිහා උපාසක, ඤාව්වා, පුරු පුරු දුවගෙන එනවා. ඒකෙත් දුෂ්ඨයෙක් ඉන්නවා. ඒ සාජන් මහත්තයා. ඒත් එයා අර කතාවල දුෂ්ඨයා තරම් නරක නෑ. සාජන් මහත්තයාගෙත් පපුව පූසන් වෙනුවෙන් උණු වෙන වෙලාවල් එනවා. කොච්චර  වැරදි කරලා අහුවුනත් එයාගේ හිත යට මුඩුක්කුවේ කාගෙන්වත් හව් හරණක්  නැතුව ජීවත් වෙන මේ සත්තු ගැන අනුකම්පාවක් තියනවා. ඒත් මේ පූස් රංචුව පොළීසියත් එක්ක සෙල්ෆි ගහන්නවත්, එයාලගේ හෙට්මට් උදුරාගෙන යන්නවත් හදන්නෑ.

දැන් නම් නානාප්‍රකාර කාටුන් තියනවා. රූපවාහිනී නාලිකා උනත් කීයක් ද? සමහර කාටුන් වල තේරුම් ගන්න බැරි හැඩ වල ජීවීන් ඉන්නේ. පිටසක්වල ජීවීන් එහෙමත් ඉන්නවා. ඒ වගේමයි ගෝෂාවත්. ඒත් මට නම් හිතෙන්නේ දරුවන්ට අමුතුවෙන් ඉගන ගන්න දෙයක් මේවාගෙන් ලැබෙන්නේ නෑ කියලා. අපේ දරුවෝ  අපි පොඩි කාලේ බලපු කාටුන් වලට කැමති වෙන එකකුත් නෑ. මේක වෙන්නැති පරම්පරා ඝට්ටනය කියන්නේ!

3 comments:

  1. මම ඔය හින්දම "දොස්තර හොඳ හිත" හොයාගෙන ගිහින් බබාලා දෙන්නට දාල දුන්නා. හැබැයි දැන් නම් ටිකක් ඕක බැලන්නේ නැහැ.
    මොකද ලොකු දුව "දොස්තර හොඳ හිත" දාපු ගමන් පොඩි දුව යුද්ද ප්රලකාශ කරනවා එයාට "බානි" Barney & Friends (TV Series 1992 ) බලන්න ඕන කියලා. අන්තිමේදී කටේ සද්දේ වැඩි පොඩි දුව ජය ගන්නවා.

    දොස්තර හොඳ හිත එකේ දුෂ්ටයා “චව් චව්” නෙමෙයිනේ. “දිය රකුස්” තමයි දුෂ්ටයා. “චව් චව්” තමා දුෂ්ටයාගේත් දුෂ්ටයා. මොකද චව් චව් තමයි දියරකුස්ගේ වැඩ අබ්ලික් කරන්නේ.

    දියරකුස් කියද්දී මතක් උනේ අපේ faculty එකේ lecturer කෙනෙක් හිට්යා “දිය රකුස්” කියලා. මොකද මිනිහා ඉගැන්නුවේ “Fluid Mechanics”, ඒ හින්දා.

    මම තාම බොහොම අසා සිංදුවක් තමයි තණකොළ පෙත්තාස් ගරූප් එකේ " බැහැයි කියල බෑ " සිංදුව.

    අපි හැදුනේ රට රකින්න,
    බැහැයි කියලා බෑ..
    රට වෙනුවෙන් වැඩ කරන්න,
    බැහැයි කියලා බෑ..
    යුතුකම් ඇත ඉටුකරන්න,
    බැහැයි කියලා බෑ..
    නගේ මලේ කිසිම දෙයක්, බැහැයි කියලා බෑ..

    මට නම් හිතෙන්නේ ටයිටස් තොටවත්ත මහත්මයාත් එක්ක අද ඉන්න අයට හැරෙන්න වත් බැහැ. අඩුම තරම් ඔහුගේ ගෝලයා වන “අතුල රන්සිරිලාල්” මහතාට වත්.

    ඇයි මතක නැද්ද ඒ කාලේ ගියපු “රසාර” ?
    මම තාම හොයනවා ඔකේ පොඩි කෑල්ලක් වත් තියෙයිද කියලා දුවල දෙන්නට පෙන්නන්න. තාම හොයා ගන්න බැරි උනා.

    මට හොඳට මතකයි එකේ හිටපු “එළුසන්” , “බගලවතී ඉස්කෝලේ හාමිනේ” අර ලොකු කන් දෙකක් තිබුන තට්ට චරිතේ නම මතක් වෙන්නේ නැහැ. පොර තමා එතන පණ්ඩිතයා.

    ReplyDelete
  2. මම කැමති නෑ බගලවතී ඉස්කෝලේ හාමිනේ ගැන කියනවට. මටත් සමහර වෙලාවට මෙහේ අය ඒ නම කියනවා. ඉරිසියාව තමා. මටත් ඒකේ චරිත මතක නෑ. ඇයි බලනකල් අම්මා කෑ ගහනවා. එක හිතෙන් බලන්න දෙන්නේ නෑනේ. කොහොමද දැන් අපි අපේ ළමයිට කෑ ගහන්න ගියොත්. එහෙම නම් හැමදාම තුනේ ඉඳන් හය වෙනකල් ටීවී එකේ මොන චැනල් එක දැම්මත් කෑ ගහන්න තමයි වෙන්නේ. ඩබ් කරපුවා නම් ගන්න දෙයක් නෑ. ඒවගේ තියන වචන අහන කොට ටයි මාමා දැන් මෙහේ නැති එකම එයාට සැනසීමක් වෙයි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා .... ඇත්තම තමයි...

      බගලවතී ඉස්කෝලේ හාමිනේ...

      Delete