Monday, July 13, 2015

නපුරු පාලකයෝ තුන්දෙනා


 

රුසියානු සාහිත්‍යට මම අසීමිතව ආදරේ කරනවා. අපි පුංචි කාලේ රුසියානු පොත් සල්පිලක් හැම අවුරුද්දේම පැවැත්වුනා. රාදුගා ප්‍රකාශන සහ දැදිගම වී. රැද්‍රිගු කියන නම් පොත් වල කවරේ වගේම සාහිත්‍යට බද්ධ වෙලා තිබුණ බව ඒ පොත් රස විඳපු අයට මතක ඇති. ලස්සන වසීලිස්සා, අපූරු කතා, හත් පෙති මල, වැඩ බැරි දාස, නිකීතාගේ ළමා කාලය, බූරතීනෝ සහ රත්තරන් යතුර  වගේ පොත් නම් මම ආපහු කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා මගේ ගෙදර තියාගන්න. ඒත් නපුරු පාලකයෝ තුන්දෙනා කියන පොත තවම හොයා ගන්න බැරි වුනා.

රටක විප්ලවයක් කරන්න නම් ඉස්සරවෙලා ම මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න ඕන කියන එකට හොඳ උදාහරණයක් තමා නපුරු පාලකයෝ තුන්දෙනා. රුසියාවේ පාලක පක්ෂය නියෝජනය කරන රජවරු තුන්දෙනා අසරණ මිනිස්සු පීඩාවට පත් කරගෙන සැප විදපු විදිහත් අවසානයේ දී ඔවුන්ට අත්වන ඉරණමත් දරුවන්ට තේරෙන විදිහට පොතේ තියනවා. මිනිස්සුන්ට තමන් දුක් විදින්නේ සුළුතරයක් සැප විඳින නිසාය කියන දේ තේරුම් කරලා දෙන්නේ අවුරුදු නමයක් විතර වෙන සුවිනි. එයාට කියන්නේ සුන්දර සුවිනි කියලා. එයා ඇත්තටම සුන්දර හදවතක් තියන පොඩි කෙල්ලක්. තමන්ගේ ජීවිතය පවා අවදානමේ තියලා පාලකයෝ තුන්දෙනාගෙන් රට වැසියන්ව නිදහස් කර ගන්නවා.

රුසියන් පොත් වල සාහිත්‍ය රසයට යටින් විප්ලවීය අදහස් ගැඹුරු විදිහට ගලාගෙන යනවා. විප්ලවීය අදහස් කෙනෙකුට කා වද්දන්න පුලුවන්ද? සමාජ ක්‍රමයක් වෙනස් විය යුතුයි කියන සැබෑ හැඟීම ඇති වුන හිතක විතරයි විප්ලවීය අදහස් උපදින්නේ. ඒ හැඟීම නැතුව, කෙනෙකුගේ වචන නිසාම බලහත්කාරයෙන් ඉපදුන විප්ලවීය අදහස්  එක තැනක දී තමන්ගේ සැබෑ හැඟීමට යටත් වෙනවා. විප්ලවය පාවා දුන්නා කියලා කියන්නේ ඒ වෙලාවට තමා.

මේ කියන පොත දැක්කොත් අරන් කියවන්න.

3 comments:

  1. හා.. හා... බොහොම අපූරු කියමනක් ....

    " සමාජ ක්‍රමයක් වෙනස් විය යුතුයි කියන සැබෑ හැඟීම ඇති වුන හිතක විතරයි විප්ලවීය අදහස් උපදින්නේ. ඒ හැඟීම නැතුව, කෙනෙකුගේ වචන නිසාම බලහත්කාරයෙන් ඉපදුන විප්ලවීය අදහස් එක තැනක දී තමන්ගේ සැබෑ හැඟීමට යටත් වෙනවා. විප්ලවය පාවා දුන්නා කියලා කියන්නේ ඒ වෙලාවට තමා."

    බොහොමයක් දෙනාට සමාජ ක්‍රමය වෙනස් විය යුතුයි කියන සැබෑ හැඟීම තියෙනවා. හැබැයි ඔවුන් නොදන්නා දේ තමයි වෙනස් විය යුත්තේ කෙසේද කියන එක.
    මෙතනදී ගැලපෙන එක පිළිතුරක් තමයි නපුරු පාලකයෝ තුන්දෙනා පොතෙන් දෙන්නේ. ඒක හොඳම සහ එකම පිළිතුර නොවුනත් මට නම් කුඩා කාලයේදී මගේ ලෝකය මේ පොතෙන් වෙනස් කරා කිවුවෝතින් නිවැරදියි.

    ReplyDelete
    Replies
    1. මට ඔය පොත කියවනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
      අර චරිතයක් ඉන්නවා ප්‍රෝස්ප්‍රේ /ප්රෝස්ප්රෝව් වගේ නමක් තියෙන. මට ඕක කවදාවත් නිකමට හිතෙන් වත් උච්චාරණය කරන්න බැහැ.

      අනිත් ප්‍රශ්නේ මේ බ්ලොග් එකේ කතෘ තුමිය කිසිම කොමෙන්ටුවව්කට උත්තර දෙන්නේ නැහැ.....

      Delete
  2. මම උත්තර දෙන එක වැදගත් කියලා හිතුණා. ඇත්තම කීවොත් මම සෝවියට් පොත් කියවද්දී මට ඕන විදහට තමා ඒ නම් උච්ඡාරණය කරන්නේ. නම් ටික හරියට කියවන්න ගියොත් නම් පොත මුලදිම එපා වෙනවා. මම කිසිම දවසක මම කියවපු නම් හරිද වැරදිද කියලා හිතලා නෑ. කොටින්ම මට අර ප්‍රසිද්ධ කෙටි කතාව බිරීන සංග්‍රහයද? රිබීන සංග්‍රහය ද කියලාත් දැං ෂුවර් නෑ

    ReplyDelete