Tuesday, July 28, 2015

රෙජිස්ටර් කරපු නම්


 

සමහර   භාණ්ඩ වෙළඳ පළට ආවාම ඒකේ වෙළඳ නාමය අපේ හිතේ රෙජිස්ටර් වෙනවා. ඊට පස්සේ ඒකට ආදේශක කොච්චර ආවත් හඳුන්වන්නේ මුලින්ම ආව වෙළඳ නාමෙයෙන්මයි.

රබර් සෙරෙප්පු වලට බාටා කියන අය කොච්චර ඉන්නවද? මට බාටා දෙකක් දෙන්න කියලා ඩී. එස්. අයි කඩයකට ගිහින් ඉල්ලුවාම එයාලා කියන්නේ නෑනේ මේ කඩේ බාටා නිශ්පාදන නෑ කියලා. ඉල්ලන කෙනාට ඕන රබර් සෙරෙප්පු දෙකක් කියන එක වෙළෙන්දා දන්නවා. මගේ බාටා දෙක දැක්කද කියලා අපේ අත්තම්මා එළියට යන්න ලෑස්ති වෙලා අහන්නේ රබර් සෙරෙප්පු දෙක ගැන මිසක බාටා නාමය මුද්‍රිත සෙරෙප්පු කුට්ටම ගැන නෙවේ කියලා අපි දන්නවා. ඒ දවස්වල අහල පහල බලු පැටියෙක් හිටියා හම් සුවඳට ආසා කරන. අම්මා හවසට කියනවා බාටා එළියේ තියන්න එපා  බල්ලා කයි කියලා. අපි එතකොට බාටා, ඩී.එස් .අයි තව නම දන්නැති සියළුම වර්ගයේ සපත්තු සෙරෙප්පු අරගෙන ඇතුලේ තියනවා. අපි දවසක් පන්සල් ගිහින් එද්දි ගහක රබර් සෙරෙප්පුවක් එල්ලලා තිබුණා. පිරිසෙන් එක්කනෙක් කියනවා අන්න හොරකම් කරපු බාටා එකක් ගහේ එල්ලලා කියලා. එතකොට කවුරු හරි ඇහුවා ඔච්චර උඩ තියන සෙරෙප්පුවේ බාටා කියලා ගහලා තියනවා පේනවද කියලා.

දත් බෙහෙත් වලත් ප්‍රසිද්ධ නම සිග්නල්. උදේට අපි මූණ හෝදනකොට අම්මා අහනවා සිග්නල් ගත්තද කියලා. සමහර විට අපි එදා දත් මදින්නේ එස්.ආර් වලින් . ඒත් දත් බෙහෙත් වලට සමාන පදය සිග්නල්. රත්වුන දේකට පිච්චුනාමත් සිග්නල් ටිකක් ගෑවාම දිය බුබුළු එන්නේ නෑ කියලා පත්තරේ තිබුණා. ටිකක් දුර ලිපිය කියවද්දී තමා තේරුනේ දත් බෙහෙත් කෝක ගෑවත් හරි කියලා.

ඇස්ට්‍රා කියලා කියන්නේ මාගරින් වලට. ඇස්ට්‍රා ගාලා පාන් කෑවා කිවුවොත් සමහර විට බටර් වෙන්නත් පුළුවන් නැත්තන් වෙන මාගරින් ජාතියක් වෙන්නත් පුළුවන් . ඉස්සරලාම ආවේ ඇස්ට්‍රා නිසා මොන දේ ආවත් මාගරින් යනු ඇස්ට්‍රාම වේ.

අනිත් එක සෙල්ටෙල් . අපි හෑන්ඩ් ෆෝන් වලට කාලයක් යනකල්ම කීවේ ඒ නම. ඒක සේවා සපයන ආයතනයේ නම වුනාට ගඩොල් බාගයක් වගේ දුරකථන ඇමතුම් ගන්න උපකරණය සෙල්ටෙල්. මිනිහට සෙල්ටෙල් එකකුත් තියනවා කියලා කවුරු හරි   හෑන්ඩ් ෆෝන් එකක් පාවිච්චි කළොත් කියන්නේ.

මගේ යාළුවෙක් හිටියා වාද්දූවේ. එයාලාගේ ප්‍රධාන පාර ගාලු පාර නිසා ඕනම ප්‍රධාන පාරකට කියන්නේ ගාලු පාර කියලාලු. සාමාන්‍යයෙන් ගාලු පාර වගේ කියන්නේ වාහන ගොඩක් යනකොට නේ. මෙයාලා නුවර යන ගාලු පාර කියන්නේ නුවර යන ප්‍රධාන පාර කියන අදහසින්. එහෙම බැලුවොත් ගාල්ලට ඇරුණු කොට අනික් හැම තැනටම යන්න ගාලු පාරවල් තියනවා.

තව එකක් රෙදි හෝදන සබන් කියන්නේ සන් ලයිට්. වොන්ඩර්ලයිට් කියලා කොළේ නම ගහලා තිබුණත් ඒක සන්ලයිට් තමා. ඇයි ඒකෙන් කරන්නෙත් රෙදි හෝදන එකනේ. රෙදි හෝදන කුඩු කියන්නේ රින්සෝ. මොන මොන නම් වලින් ආවත් අදටත් හදිසියකට කියවෙන්නේ රින්සෝ ටිකක් දාලා පෙගෙන්න තියන්න කියලා.

පොත් වලට කවර දාන්න ගන්න කඩදාසි මොන පාට උනත් ඒක බ්‍රවුන් පේපර් කියලා තමා හැඳින්වුවේ. දවසක් ළමයෙක් රෝස පාට බ්‍රවුන් පේපර් එකක් ඉල්ලුවා. මුදලාලි එක පාරටම රෝස ඩිමයි කොළයක් අරන් දුන්නා. ඒක තමා ඉල්ලලා තියෙන්නේ. තව තියනවා අඟල් හයේ  අඩිරූල් එහෙමත්.

මළ ගෙවල් වලට බොන්න ගේන්නේ ඔරේන්ජ් බාර්ලි. හැබැයි ඒ ගේන බෝතල් වල ක්‍රීම් සෝඩා, නෙක්ටෝ කියලා ගහලාත්  තියනවා.  ලංකාවේ හැදෙන බොම්බයි ලූණුත් විකුණන්න තියනවා.

අපි උදේට නැගිට්ටාම අම්මා කට පාඩමින් කියනවා  තර්මර්ස්  එකේ වතුර දාලා තියනවා කිරි හදාගෙන බොන්න කියලා.  Thermos  කියන ලෝක ප්‍රසිද්ධ වෙළඳ නාමයෙන් ආපු නිසා උණු වතුර බෝතලේට ඒ නම කියනවා.

 මුල්ම දේ අපේ හිතේ රෙජිස්ටර් වෙන නිසා පස්සේ කොච්චර දේවල් ආවත් ඒක දෙවනි වෙන්නේ  නෑ. පළවෙනිම ඉස්කෝලේ, ටීචර් එතකොට යාළුවා වගේ දේවලුත් සදාකාලික මතකයේ තියන දේවල් නේ. අතීතයට යන්න පොඩි වෙලාවක් හරි ආවහම,  අපට නොදැනී වුනත්  අපේ මතකයේ ඒවා තැන්පත් වෙලා තියනවා කියලා දැනෙනවා.

7 comments:

  1. මේක කියවපු යාළුවෙක් මතක් කළා වේදනා නාශක ඉල්ලන්නේ පැනඩෝල් කියලනේ. බැරි වෙලාවත් පැරසිටමෝල් කියවෙන්නෙත් නෑ. දත් කැක්කුමට තියන්නේ ඩිස්ප්‍රින් කියන පැනඩෝල් වර්ගය. තව කිරිපිටි කියන්නේ ඇන්කර්. කහට එකක් බොනවද ඇන්කර් බොනවද කියලා තමා කාගෙන් හරි අහන්නේ.

    ReplyDelete
  2. මේක මම අහපු කතාවක්,,,,

    අවුරුදු 25 කට 30 කට කලින් ගමට ලියුං බෙදුවේ "ඇල්බට්" කියල එක්කෙනෙක්. බොහොම හොඳ කෙනෙක්. එයා තමා බොහොම කාලයක් ලියුං බෙදන වැඩේ කලේ.
    ඔහු ඉතින් විශ්‍රාම ගත්තා. ඔක ඉතින් හැමෝටම කීය කීය යන්නේ නැහැනේ මම හෙට ඉඳලා පෙන්ෂන් ගන්නවා කියල.

    ඔන්න පහුවදා ලියුම් මල්ල අරගෙන වෙනින් එක්කෙනක් අර බයිසිකලේ ම නැගල, ඒ මල්ලම අරගෙන එනවා ලියුං බෙද බෙදා...

    එතකොට ඒක දැකපු ගමේ ගෑනු එක්කෙනෙක් කියනවා,,

    "ආ... අද ලියුං බෙදන්නේ අළුත් ඇල්බට් කෙනෙක් නේ " කියලා...

    ප.ලි.
    කතාවේ කර්තෘ අයිතිය : සුධීර;

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. yes. I remember him. He was an icon.

    ReplyDelete
  5. නමෝ මුඛ බන්ධ මෝක්ශ මුඛ බන්ධ හැස්වාහ්

    ReplyDelete