Tuesday, July 14, 2015

රිලව් නැටවීම


 

දම්වැලකින් බැඳගත්ත පුංචි රිලා පැටියෙකුයි, වේවැල් පෙට්ට් තුනකුයි කර ගහ ගත්ත මනුස්සයෙක් ආවා. රිලවා නටවලා පෙන්නන්නද බේබි කියලා අපේ බබාලාගෙන් ඇහුවා විතරයි ඒ රිලා පැටියා බිමට පැනලා දැන් මම නටන්නද වගේ මූණක් හදාගෙන අපි දිහා බලාගෙන හිටියා.

රිලා නැටුම් සම්ප්‍රදායේ විදිහටම නැන්දා මාමා බලන්න යන එක, නෝනා එක්ක තරහ වෙලා නිදා ගන්න එක, වැරදි කාරයෝ අත් දෙක බැඳලා පොළීසියට අරන් යන එක , උල  තියන එක රිලා පැටියා කරලා පෙන්නුවා. අන්තිමට චූටි ඇස් දෙක කරකව කවා අපි සල්ලි දෙනකල් බලන් හිටියා.

රිලව් නැටවීම වෘත්තියක්. ඒ වෘත්තිකයෝ කණ්ඩායම ගොඩගම පැත්තේ වත්තක කූඩාරම් ගහගෙන ඉන්නවා කියලා තමා රිලවාගේ  අයිතිකාරයා කීවේ. එයාගේ නම වේළු. වේවැල් කූඩ තුනේ හිටියේ නයෙකුයි, හැපින්නකුයි, පිඹුරෙකුයි. කැලේට ගිහින් නයි අල්ලන එක ගැන වේළු කතා කළේ හරිම තෘප්තියකින්. පිඹින සද්දේ අනුව නයෙක් ද  හැපින්නක් ද කියලා කියන්න එයාට  පුළුවන් කීවා. වැදගත්ම දේ තමා ඓතිහාසික වැරැද්දක් නිවැරදි කිරීම . හැපින්නට වඩා නයා නපුරුයි, සත්තුන්ගේ වුනත් ගැහැණු සතා නපුරු කමින් අඩුයි කියන එක තමා වේළු කියන්නේ. පෙට්ටිය ඇරියා විතරයි නයි දෙන්නා ඔලුව උස්සලා අපිට පිඹින්න පටන් ගත්තා. දවසම හිරවෙලා හිටපු එකේ කේන්තිය වෙන්න ඕන. දල කඩලා , පෙට්ටියක් ඇතුලට දාලා ඉන්න නාග රාජයකුට තමන්ගේ අභිමානය ගැන ප්‍රශ්ණයක් ඇති. අපි හැමෝම ඉස්සරහා බෙල්ලෙන් අල්ලලා පෙට්ටි පියනෙන් ගහලා දෙන්නව ඇතුලට දානකොට  අර අභිමානය ?.
 ලොකු පෙට්ටියේ හිටියේ පිඹුරෙක් . වේළු අත් දෙකෙන්ම උස්සලා ඌව බිමට දැම්මා. පිඹුරා ඇදි ඇදී හතර අතටම බඩ ගානවා. දුඹුරු පාට පැල්ලම් සහිත විශාල ශරීරය අපේ තණකොළ පොඩි කරගෙන ඇදෙන කොට මට බය හිතුනා කොහේ හරි අල්ලාගන්න බැරි තැනකට රිංගලා යයිද කියලා . ඒ වෙලාවේ රිලා පැටියත් වේළුගේ අතින් ඇද ඇද කියනවා පිඹුරව අල්ලා ගන්න කියලා.
වේළු ගිහින් පිඹුරව බඩ මැදින් අල්ලලා එතුවා. මට බලන් ඉන්න බෑ. මට දැනුනේ මම ඒ පිඹුරව අල්ලනවා වගේ. මගේ කෑගැහිල්ලට පිඹුරාව දෙපාරක්ම වේළු අතින් බිම වැටුනා. තුන්වෙනි පාර පිඹුරා හරිම දරුණු විදහට ගහක එතිලා වේළුව ප්‍රතික්ෂේප කළා. ඒ පාර වේළුත් ටිකක් කලබල වෙලා ගහටයි පිඹුරාටයි මැදින් අත දාලා වෙළුම ගලවන්න උත්සාහ කළ. මම තවත් හයියෙන් කෑ ගැහුවා.

වේළු හරිම අසහනකාරී මූණකින් මගේ දිහා බලන ගමන් මෙහෙම කීවා.

“නෝනා ඉතිං මමනේ මේ සතා අල්ලන්නේ....! ඇරත් මේ මගේ රස්සාවනේ“

4 comments:

  1. මෙතැන බරපතල ගනයේ සත්තුන්ගේ මානව හිමිකම් කඩ කිරීමක් වෙලා තියෙනවා.

    මේකට වහාම ගනනාථ ඔබේසේකර සහ ජැක්සන් ඇන්තනී ප්‍රමුඛ මානව/සත්ව හිතවාදීන් කැටුව පුළුල් පෙරමුණක් ගොඩ නගන්නට ඕන.

    ඒ වගේම වැරදි කාරයෝ අත් දෙක බැඳලා පොළීසියට අරන් යන එක , උල තියන එක තරයේ හෙළාදැකිය යුතුයි.

    ගෝත්‍රික කොදෙව් මානසිකත්වයෙන් මිදී නුතනවාදී දෘෂ්ටියකින් ගෝලීය සංස්කෘතියට දරුවන් පුරුදු කරවිය යුතුයි. මෙවැනි වැඩවසම් මානසිකත්වය පිළිඹිමු කරන රූපක දරුවන්ට පෙන්වීමෙන් ඔබ කර ඇත්තේ වරදකි.

    ReplyDelete
  2. අනේ මට තේරෙන බාසාවෙන් ලියලා එවන්න. ඔය කියන විදිහේ අපරාධයක් වත් ග්‍රෝතික යුගයේ ආගමනයක් වුනේ නෑ. මී ඇස් දෙක පල්!

    ReplyDelete
  3. "පිඹින සද්දේ අනුව නයෙක් ද හැපින්නක් ද කියලා කියන්න එයාට පුළුවන් කීවා."

    ඕක එච්චර දෙයක් නෙමෙයිනේ. මේක නයින්ට විතරක් පොදු දෙයක් නෙමෙයි.

    අපි මෙහෙම හිතමු.

    එකදිගට පිඹගෙන පිබගෙන යන සද්දයක් ඇහෙනවා.
    එහෙම කෝච්චියක් වගේ පිඹගෙන පිඹගෙන යද්දී හෙනයක් වගේ පිඹිල්ලක් අහුනොතින්, ඊට පස්සේ අර කෝච්චිය වගේ තිබ්බ පිඹිබිල්ලෙ සද්දේ බොහොම අඩු වෙලා සැරෙන් සැරේ හෙමිහිට පුෂ් පුෂ් ගාල පිඹිනවා නම් , බොහොම පැහැදිලිව නයා ගෙයි හැපින්නගේ වෙනස අඳුන ගන්න පුළුවන්නේ.

    ඕක තේරුම් ගන්න වේළු ඕනේ නැහැ....

    ReplyDelete
  4. පැහැදිළියි. අර හෙනයක් වගේ පිඹින්නේ හැපින්න වෙන්න ඕනෑ?

    ReplyDelete