Thursday, July 9, 2015

අරලිය මල්


අරලිය මල් දකින හැම වෙලාවකම මට  පේරාදෙණියේ නාදන් ශාලාව මතක් වෙනවා. විශාල ගොඩනැගිල්ලේ දෙපැත්තේම තියන අරලිය ගස් වල මල් පිරිලා. කහපාට පොඩි අරලිය මල් කොළ පාට තණ බිස්සට වැටිලා . අහුලලා ගන්නත් ලෝබ හිතෙනවා. නේවාසිකාගාරයට ගිය මුල්ම දවස් වල නම් මල් දිහා බලාගෙන හිටියට අහුලන්න ගියේ නෑ. පස්සේ නවකයෝ විදිහට ගෙවිය යුතු කාලේ  ඉවර වුනාම මම පුරුද්දක් විදිහට උදේට මල් ඇහිලුවා. පේරාදෙණියේ සුන්දර පරිසරයේ තිබුන සුන්දරම මලක් තමයි කහ අරලිය මල. දළදා මාළිගාවට පූජා කරන්න ගියත් මම ගෙනිච්චේ කහ අරලිය මල්. කාලය ගතවෙලා. ඒත් ඒ අරලිය ගස් තාම තියනවා. ඉස්කෝලේ හිටපු අපිත් , පේරාදෙණියේ හිටපු අපිත් මේ ඉර හද යට ජීවත් වෙනවා. ලෝකේ වටේ ම ඉන්න යාළුවෝ මුණු පොතේ ඉන්නවා දරුවොත් එක්ක ම. එහෙම ඒ අයව දකින්න ලැබෙන එක හිත සතුටින්  පුරවන කාරණයක්. එහෙම නොවුනා නම් ආය කවදාකවත් එයාලව මුණ නොගැහෙන්න තිබුණා.  අපි සිතුවිලි වලින් කොච්චර වෙනස් වෙලාද කියලත් දැනගන්න තිබුණා නම් කියලා මට හිතුනා. මම මේ අරලිය මල අරගෙන එන්නේ ඒකයි. මට දැනෙන දේ ඔයාලට දැනෙන්නේ කොහාමද? මට ඒ ගැන කියන්න. අපි දිගටම කතා කරමු.

3 comments:

  1. කාලෙකින් පේරා ගැන මතක් කරාට බොහොම ස්තුතියි.
    අපි හිතාගෙන හිටියේ අරලිය ගස් හැදුනේ මෑත කාලේ කියලයි. බලාගෙන ගියාම 1960 මැද කාලේ ඉඳලා තිබිල තියෙනවා නේද?
    ඒ කාලේ කොච්චර ලස්සනට තියෙන්න ඇතිද? ඒ කාලේ ගත්ත ෆොටෝ එහෙම තියෙනවා නම් දැම්මොතින් අපේ මෑත කාලේ හිටපු පේරාවන්ට හුඟක් වටිනවා.

    මට මතක විදිහට අපේ බැච් එකේ ප්රවධාන කණ්ඩායම් දෙකක් හිටියා.
    1. නාදන් පටි බලකාය
    2. මිත්තා පටි බලකාය
    වාසනාවකට හරි අවාසනාවකට හරි මට ඔය දෙකින් එකක වත් නිත්ය සාමාජිකත්වය ඕනා උනේ නැහැ.
    නැත්තම් මටත් වෙන්නේ මර්වින් පෙරේරාගේ “මේ නගරය “ සිංදුව ජාතික ගීතය කරගෙන ඉන්නයි. අපේ හුඟක් උන්ට උනා වගේ.

    දිගටම ලියන්න වෙලාව සහ උවමනාව ලැබේවා...


    ReplyDelete
  2. මෙන්න මෙ බ්ලොග් එකෙත් නාදන් එක ගැන කතාවක් තියෙනෙව.

    http://ru-sirini.blogspot.com.au/2012/02/at-least-i-want-to-sleep.html

    ReplyDelete
    Replies
    1. මමම comment දාල මන්ම reply දාන එක අප්සට්ද මන්දා. ඔය උඩ තියෙන ලින්ක් එකෙ කතවට සමාන දෙයක් අක්බාර් එකෙත් උනා.
      ඒක මේකේ කොටනකන් ඇඟිලි කහනවා.
      අපෙත් ඔය වගේම තලයෝ සෙට් එකක් හිටියා. අක්බාර් නෙල් ශාලාවේ බිම් මහලේ මට මතක විදිහට. ඔන්න අපේ දෙමළ සහෝදරවරු සෙට් එක මහ රැ හෙන පාටියක්. අපිත් පුරුද්දක් විදිහට මුන් ට එච්චර කරදර කරන්නේ නැහැ මොකද ගෙවල් වල යන්නේ බොහොම කලාතුරකින් හින්දා.
      එදා ටිකක් විතර බිසී දවසක්. මොකද පහුවදා ටුයුටෝරියල් (Tutorial) දෙන්ඩ තිබුනා. වැඩිපුරම කාර්යක්ෂමව වැඩ කලේ එක වන්ටු ගහපු උන්. මොකද උන් හොඳට ඉවර කරපු Tutorial කීපයක් හොයාගෙන හොඳම උත්තර ටික තෝරලා අරගෙන, හොඳම Turorial Submission එක කරනවා.
      අපේ හිටියා “ගල් පුරෙන්” ආපු එල කොල්ලෙක් “ගලියා” කියලා. මුගේ ඉවසීමේ සීමාව පැන්නා තලයන්ගේ කෑ ගැහිල්ලට. මොකද මුන් ටික කොරිඩෝවටත් ඇවිල්ලා හෙනම සද්දේ.
      ගලියා කාමරෙන් එලියට බැස්සා “මම තොපිට .... “ කියාගෙන.
      රූමට මූව ශේප් කරන්නවත් වෙලාවක් නැහැ.
      රූමා එලියට බැහැලා බලද්දී ගලියා වම් අතින් සරම කරට එනකං උස්සා ගෙන , අනිත් අතේ දබර ඇඟිල්ල උලුප්පගෙන තලයෝ ටික කෑ ගහන පැත්තට යනවා “අඩෝ ....” කියාගෙන.
      අපේ දෙමළ සහෝදරවරු ටික බිරාන්ත වෙලා මූ දිහා බැලුවා.
      ගලියා ගත් කටටම කියපි.

      “අඩෝ .... ඩෝන්ට් ෂටප් .... හරිද..“ කියලා. (Don’t Shut-Up)

      ඇත්තටම ඊට පස්සේ මුන් කෑ ගැහුවේ නැහැ. බයටද නැත්තන් දුකටද දන්නේ නැහැ.

      හැබැයි ගලියට නම් සතියක් විතර පාරේ බැහැලා යන්න හම්බ උනේ නැහැ.

      එදායින් පස්සේ බැච් එකේ ශබ්ධ කෝෂයට “Don’t shut up” කියන්නේ සද්ද කරන්න එපා කියන එක register උනා.

      ගැට පද විවරණය
      තලයෝ - අපේ කාලයේ බැච් එකක් තුනකට බෙදිය හැක.
      1. අලයෝ - රැග් වෙන්නේ නැති සෙට් එක.
      2. තලයෝ - දෙමළ භාෂාව මව් භාෂාව උන සෙට් එක.
      3. මේ දෙකටම අයිති නැති උන්.( අලයෝ මේ කොටසට කිව්වේ බතලයෝ කියල)
      වන්ටු - One to One කොපි කොට, හොයාගන්න බැරි විදිහට අනා, නිර්මාණය කරන කොපියකි.
      ගල් පුරය - පොළොන්නරුව
      රූමා - කාමරයේ අනෙක් සගයා හෝ සගයන් කීප දෙනාගෙන් එකෙක්.

      Delete