Friday, July 17, 2015

නියං වැටකොළු


 

අපේ නාන ළිඳ ළඟ පුවක් ගහට යවපු නියං වැටකොළු වැලක් තිබුණා. ඒ නම කීවේ නියං කාලයට ඔරොත්තු දෙන නිසා වෙන්න ඇති. කුරුණෑගල අගෝස්තු පෑවිල්ල හරි තදයි. හැම ගහක් කොලක්ම වේලිලා ගියත් මේ වැල හොඳට හැදෙනවා. සාමාන්‍ය වැටකොළු වැලක තියන කොළ වලට වඩා කොළය පළල්, තද කොළ පාටයි.  මල් තද කහ පාටයි. තද තිත්ත ගතිය නිසා කෑමට ගන්නේ නෑ. වැටකොළු කරල පැහෙන්න ඇරලා එකේ කොස්ස ගන්නවා ඇඟ අතුල්ලන්න. ඒක තමයි ගන්න පුළුවන් එකම ප්‍රයෝජනය.

හොඳට පැහුණු වැටකොළු කරල වැලෙන් කඩලා අරගෙන  දෙපැත්ත කපලා වතුරට පෙඟෙන්න දානවා. දවස් තුනක් විතර තිබ්බාම වටේ  මදය ගැලවිලා ගිහින් කොස්ස විතරක් ඉතුරු වෙනවා. ඒක හොඳට තලලා හෝදලා ගත්තම ස්පොන්ජ් එකක් වගේමයි. පුංචි සබන් පොත්තක් අලවපුවාම තුන් හතර පාරක් ගාලා නාන්න තරම් සබන් පෙණ එනවා. දවස තිස්සේම අව්වේ ගස් උඩ සෙල්ලම් කරන්න අවසර තියන නිවාඩු කාලේ  හවසට ඇඟ හෝදන්න යනකොට අම්මා කෑ ගහලා කියනවා වැටකොළු කොස්සත් අරගෙනම යන්න කියලා. එතකොට ආපහු දුවලා ඇවිත් කොහෝ හරි වැටිලා තියන වැටකොළු කොස්ස හොයලා අරගෙන යනවා.

වැටකොළු කොස්ස ගැන මතකය ආපහු අළුත් වුනේ මට මෑතක දී ලැබුණ තෑග්ගක් නිසා. සීතල රටක පදිංචි වෙලා ඉන්න මගේ යාළුවෙක් සීතලෙන් බේරෙන්න නිවාඩුවකට මව් රටට එන්න වෙනවා කියලා මාසෙකට කලින් මට පණිවිඩයක් කීවා. අපේ රටේ දී අපිට හම්බනොවෙයි කියලා එයා හිතපු තෑගි ගොඩක් ගොඩක් එයත් එක්කම අපේ ගෙදර ආවා. ලස්සන හැඩයක් තියන හුරුබුහුටි කූඩයක් මට ගෙනත් තිබුණා. ඇසුරුමේ තිබුණේ  නාන කාමර ලාවන්‍ය කට්ටලයක් . ඒ රටේ ප්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයක නමක් තමා ඇතුලේ තිබුණ දම්පාට තුවායේ මහලා තිබුණේ. පුංචි පුංචි ආලේපන බෝතල් එකින් එක අරගෙන බලකොට දැක්කා රිබන් පටියකින් ඔතලා ගැටගහපු දෙයක් . ඒ සුවඳ කවපු වැටකොලු කොස්සක්. Aromatic Natural bath sponge”  කියලා ලේබලයක් ගහලා තිබුණා. මම පොඩි කාලේ දැක්කට පස්සේ ආයම නියං වැටකොළු වැලක් දැකලා තිබුණේ නෑ. පිටරටක ලාවන්‍ය කට්ටලයට ඇතුලත් වෙන්න තරම් වැටකොළු කොසු හොයන්නේ කොහොමද? වෙනත් රටවලින් අපනයනය කරපුවා වෙන්න ඇති.

මේච්චර වටිනාකමක් දීලා, මෙච්චර පෙනුමක් දීලා , මෙච්චර නිමාවකින්  මගේ අතට ආපහු එයි කියලා දන්නවා නම් පොඩි කාලේ අහාට මෙහාට විසිකරන්නේ නැතුව වැටකොළු කොස්සට ගෞරවයෙන් සලකනවා. මම නොදන්නා කාලේ වැරදි තක්සේරුවක් නිසා වුන වැරැද්ද නිවැරදි කර ගන්න ඕන නිසා ඒ කට්ටලය නාන කාමරයේ තියන රාක්කේ උඩම තට්ටුවේ තැන්පත් කළා.

4 comments:

  1. හ්ම් ... එතකොට ඒ නියං වැටකොළු එහෙනං ...

    මට ඇත්තටම වැටකොළු දකිද්දී අදටත් මතක් වෙන්නේ ඔය වැටකොළු කොස්ස. එත් අද තමා දැනගත්තේ ඒ නියං වැටකොළු කියලා. ඔබට තුති.

    ReplyDelete
  2. නියං වැටකොළු ගැන දන්නෑ වගේ කතා කරන්න එපා. ඔයා හොඳටම දන්නවා ඒ ගැන. අර ඩයිනෝසරයා බැඳපු ගහට එහා පැත්තෙන්නේ ඒ වැල තිබ්බේ. අනික වැටකොළු දකින ගානට වැටකොළු කොස්ස මතක් වෙන්නේ මෙච්චර කාලෙකට ගෙදර උයලා තියෙන්නේ කොස්ස එනකල්ම මෝරපු ඒවා වෙන්න ඇති.

    ReplyDelete
  3. මෙතන කරබස් බරබස්ට පුද්ගලිකව මඩ ගැසීම තරයේ හෙලා දකිමි.

    ReplyDelete
  4. හැබෑට. .....දැං කරබස් බරබස් මම මේ කියන්නේ (ඔන්න වෘත්තීය නාමයෙන් කතා කළා) ප්‍රොෆයිල් එකේ දාලා තියන ෆොටෝ එක අළුත් කරන්න කියලා. ඔය අර විප්ලවවාදියාට ඇඳලා හිටපු කාලේ රැවුල වවපු ගමන් ගත්ත එකක්නේ. සාමාන්‍ය තත්වයට පත් වෙලා ඒ කියන්නේ ආපහු මහ පොළොවට වැටිලා ඉන්න කොට ගත්ත පින්තූරයක් දාන්න.

    ReplyDelete