Tuesday, July 21, 2015

කොප්පරා මඩුව


 

කොප්පරා වේලන එක අවුරුද්දේ හැම මාසෙකම කරන වැඩක් නෙවේ. ඒකට වැහි නැති කාලගුණයක් තියන මාසයක් තමා තෝරගන්නේ. මාර්තු , අගෝස්තු වගේ මාස වල කොප්පරා මඩුව හරිම කලබලයි. කොප්පරා මඩුව අයිති අපේ ලොකු අප්පච්චිට. මේ වැඩේට හොඳ සූදානමක් ඕන. මුළු වත්තේම තැන් වල වැටිලා තියන පොල් ටික කිහිප දෙනෙක් එකතු වෙලා එකතු කරනවා. එදාට අගල්වල වැටිලා තියන, මඩවලවල් වල වැටිලා තියන පොල් ටික ඉතුරු වෙන්නේ නෑ. වක් පිහියට  හරි , ලී උලට හරි    ඇමිනිලා පොල් ගොඩට වැටෙනවා. පොල් ‍ගොඩට මෙහා පැත්තෙන් බිමට ඇනලා හිටවපු උලකින් දෙන්නෙක් විතර පොල් ලෙලි ගලවනවා.

පහුවදා උදෙන්ම බණ්ඩය්යා ලොකු වක් පිහියත් අරගෙන පොඩි පුටුවේ ඉඳගෙන පොල් බිදිනවා. අපි පොඩි කට්ටිය අමු ඉරටු සුද්ද කරලා අගින් ඉරටුව කරකවලා ගැටයක් දාගෙන වටේට බලං ඉන්නවා. අපි ඉන්න පිළිවලට තමා බණ්ඩයියා පැලපි දෙන්නේ. හැබැයි කාට වුනත් පැලවෙච්ච් පොලයක් දීලා තමන්ගේ වාරය ආවම බිඳවා ගන්න පුළුවන් . ඒ පැලපිය අයිති දුන්න කෙනාට. පැයක් විතර යනකොට හැමෝගෙම අතේ තියන ඉරට පැලපි වලින් පිරිලා. හැම ගස් වලම පැලපි රස නෑ. පුංචි ඒවා තමයි ගොඩක්ම රස. පොල් ගෙඩිය පිරෙන්නම තියන පැලපි ගලවන්න දෙකට කපන්න වෙනවා. ඒවා පුළුන් වගේ . රසෙනුත් අඩුයි. කවුරුත් දෙකට කැපිච්ච ඒවා ගන්න කැමති නෑ. පොල් ගැන විශේෂඥ දැනුමක් තියන කෙනෙකුට පොල් මොටය්යා දිහා බලලා තීරණය කරන්න පුළුවන් පැලපිය කොච්චර ලොකුද කියලා. අනපේක්ෂිත විදහට විශේෂඥ දැනුම වරදින වෙලාවල් එනවා. උදේ වරුවේ විතරයි පොල් බිඳින්නේ . දවස් දෙකක් විතර පොල් බිඳින වැඩේට යනවා. බිඳින බිඳින පොල් උඩ අතට හරවලා දවස් තුනක් හතරක් විතර වේලෙන්න අරිනවා. ඒ දවස් දෙක තුනේ හැම බල්ලෙක්ගෙම කටේ පොල් බෑයක් තියනවා.

පොල්  බාගෙට වේලෙද්දී  පොල් කට්ටත් පොල් මදයත් අතර පොඩි හිස්තැනක් එනවා. ඒ අතරට ලී උලක් දාලා අංශය තුන්සිය හැටට කරකවද් දී පොල් මදය ගැලවිලා එනවා. එහෙම ගලවපු මද තව දවස් තුනක් විතර වේලෙන්න තියලා කොප්පර මඩුවේ උඩ තට්ටුවේ අසුරනවා. කොප්පරා මඩුව හදලා තිබුණේ මැටි වලින් තට්ටු දෙකට. යට තට්ටුව කාමර දෙකකට බෙදලා තිබ්බා. තට්ටු දෙක වෙන් කරලා තිබුනේ පුවක් ලී පටි වලින්. ඒ උඩ තමා පොල් අතුරන්නේ. උඩට නගින්න පොල් කොට වලින් අපූරු පඩි පෙලක් හදලා තිබුණා.

අඟහරුවාදා දවස පන්නලා ලොකු අප්පච්චි කොප්පරා මඩුවට ගිනි අවුලවනවා. යට තට්ටු දෙකේ පුරවලා තියෙන්නේ වේලුන පොල් කටු . ඒවා හරිම තුනියි. හොඳට වේලිලා නිසා ඉක්මනට ගින්දර එක්ක යාළු වෙනවා. මුළු රැයක්ම පොල් කටු ඇවිලෙනවා . සැරෙන් සැරේ පුංචි දොර ඇරලා ඇවිලෙන පොල් කටු අවුස්සන්න ඕන. එදා මුළු රෑම ලොකු අප්පච්චී නිදියන්නෑ. තිරිසන් සතෙක් වත් නොදන්නා කමට මේකට පැන්නොත් අළු වෙලායනවනේ කියලයි ඒ ගැන අහපුවාම කීවේ. දෙවනි දවසේ පත්තු කරන්න තියෙන්නේ පොල් කටු අඟුරු. ඊට කලින් පොල් බෑ අවුස්සලා අනික් පැත්ත හරවනවා. එදා රෑට ගිනි අඟුරු වලට පොල් තෙල් වැටිලා පිච්චෙන සුවඳ ගම පුරාම පැතිරෙනවා. එතකොට ගොඩක් අය දැනගන්නවා කොප්පරා වේලනවා කියලා. කොප්පරා මඩුව බලන්න ඇවිල්ලා පැය දෙක තුනක් ගතකරලා තේ එකකුත් බීලා යන අය කිප දෙනෙක්ම හිටියා.
හොදට වේලුන කොප්පරා රත්තරන් පාටයි. හරිම සුවඳයි. රසයෙනුත් ඉහලයි. කොප්පරා වේලිලා ඉවර  වුනාම ඒවා ගන්න එදා ඉඳන්ම එන ගැනුම්කරුවා එනවා. ගෝනි පුරවලා කොප්පරා අරං යනවා. කොප්පරා එකතු කරද්දි පොඩි පොඩි පොල් කෑලි පුවක් පටි අතරින් පහල තට්ටුවට වැටෙනවා.ඒවා වෙනම එකතු කරලා අරන් තෙල් හිඳින්න යවනවා. තෙල් වලින් කොටසක් මාර්තු මාසේ තියන අලුත් සහල් මංගල්ලෙට වෙන් කරලා තියනවා. ඉතුරු කොටස කොප්පරා ව්‍යාපෘති නිලධාරින් අතරේ සමසේ බෙදෙනවා.

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මට ඇත්තටම මේ ලිපිය කියවන්න සතියකට විතර කලින් ඔය කොප්පරා මඩුවයි, ඊට එහායින් තිබුන පොල්කටු අඟුරු ගන්න හදල තිබුනු වලවල් ටිකයි, මතක් උනා.
    ඒ මතකය මාව වචන වලට පෙරලන්න බැරි අවුරුදු 25-28 ක විතර ඈත අතීතය ට කැන්දගෙන ගියා.
    දැන් ආපහු හැරිලා බලද්දි ඒ යුගය බොහොම සුන්දර යුගයක්(කාලකණ්ණි භීෂණ කාලෙ හරුනු කොට).

    හැබැයි අවාසනාවකට හෝ වාසනාවකට ඒ ගෙවෙන්නෙ ජීවිතේ හම්බ වෙන සුන්දරම වකවානුව කියල ඒ කාලෙදි දැනගෙන හිටියෙ නැහැ.

    මට දැනෙන්නෙ ඔය කොප්පරා මඩුව සහ ඊට පහලින් සැපදිල්ල ගහ ලඟ තිබුනු වී අටු ටික අපට පාඩමක් කියලා දීලා වියෝ උනා කියලයි.
    ඒ ආහාර වලින් ස්වයංපෝෂිත, ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් තිබුනු ගමක්, සෝබන වෙළඳ ආර්ථික රටාවකට ග්‍රහණය වීමේ දුක්මුසු කතාව කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  4. අපිට ඒ දවස් වල තිබුණ දේවල් අමුතුවට නොපෙනුනාට දැන් තමා තේරෙන්නේ ගමේ තිබුණ හැම දෙයක්ම එක දම්වැලක පුරුක් වගේ කියලා. එක තැනකින් ලෙහිලා ගියාම ටික කාලෙකදී දම්වැලේ හැම පුරුකක්ම හැලෙනවා. දැන් නම් කොප්පරා මඩු , අටුව, වී බිස්ස ඔය වගේ දේවල් මතකයක් විතරයි. මට නම් හරියට අඳින්න වත් බෑ. ඒත් සමහර ප්‍රදර්ශන වලට අමුතුවෙන්ම ඔය දේවල් හදනවනේ. ඒ වෙලාවට ළඟටම ගිහින් අළුතෙන්ම දැක්කා වගේ බලලා එනවා.

    ReplyDelete