Friday, July 24, 2015

ඇදගෙන නෑම


 

අපේ හිතවත් කෙනෙක්ට මේ ළඟදි  ළිදෙන් වතුර එකක් ගන්න ගිහින් වුන කරදරයක් ගැන ටිකක් දිග සංවාදයක් ඇති වුනා. එතන හිටිය හැමෝම පුංචි කාලේ හරි ළිඳකින් නාපු අය . තම තමන්ගේ අත් දැකීම් ගැන කතාවෙන කොට දැනුනා හැමෝම එකම විදිහේ දේවල් තමා කරලා තියෙන්නේ කියලා.

ඒ දවස්වල ගෙදරකට නාන ළිඳකුයි වතුර බොන ළිඳකුයි කියලා දෙකක් තියනවා. වතුර බොන ළිඳේ නාන්න නම් හිතන්න වත් බෑ. කෙටියෙන්ම කීවොත් ඒ ළිඳට  දාලා තියන බාල්දිය බිමින් තියන්නවත් අම්මලාගේ අවසරය නෑ.අපේ කතාවට සම්බන්ධ කවුරුත් වතුර බොන ළිඳෙන් නාන්න වරප්‍රසාද ලබපු අය නෙවේ.

නුවර , කෑගල්ල ,රත්නපුර වගේ පැති වල නම් ළිං තුන්සිය හැටපස් දවසේම උතුරලා යනවා. ඒ පැති වල ජීවත් වුන අය නම් ළිඳ ළඟට ගිහින් ලනුව නැතුව බාල්දියෙන් වතුර අරගෙනලු නෑවේ. ඒ ළිං වල තුන් පැත්තකින් බැමි බැඳලා නාන පැත්තේ පුංචි කොට බැම්මක් බඳිනවා. අපේ අත්තම්මලාගේ පැත්තේ ළිං වට කරලා වහලයක් ගහලා ගෙවල් වගේ හදලා තියෙන්නේ. කන් අඩි පැලෙන සීතල මදිවට ඉර අව්ව වැටිලාවත් ඒ වතුර රත් වෙන්නෑ.

හැබැයි ඇදගෙන නාන්න නම් බැම්ම උඩට බැඳපු ළිදක් වෙන්න ඕනෑ. පායන කාලෙට වතුර මට්ටම පහලට යනවා. ඒ නිසා ගොඩක් ළිං වලට බොලොක්කයක් දානවා වතුර ඇද ගන්න ලේසි වෙන්න. බොලොක්කයක් නැත්තං අතින්ම ඇදලා තමයි වතුර ගන්න වෙන්නේ . වතුර බාල්දිය නියම හැඩයට තියෙන්නේ ළිඳට දාපු අළුත විතරයි. ටික දවසක් යනකොට ළිදේ වැදිලම ඒකට විෂේශිත වුන හැඩයක් ගන්නවා. හොඳට හය්ය තියන කඹයක් තමා බාල්දියේ බඳින්නේ. ටික දවසක් යනකොට කඹය ගෙවිලා තැන් තැන් වලින් ගැලවෙන්න පටන් ගන්නවා. එතකොට කඔය බොලෙක්කෙක් පැනලා ඇනේ ළඟ හිරවෙනවා. වතුර පිරිච්ච බාල්දිය පිටින් හිරවුනාම ඒ බරට කඹේ කෑල්ල තවත් ඇතුලට යනවා. නාපු වතුර ටික වේලෙනකම්ම කඹේ ගලවා ගන්න බෑ. හොඳම හරිය තමා ඔය විදිහට පරණ වුන කඹය කඩාගෙන බාල්දිය ළිදට වැටෙන එක. එහෙම නැත්තං බාල්දිය කොක්කෙන් ගලවාගෙන ළිඳට වැටෙන එක.

එහෙම වැටුන බාල්දිය ගන්න අගට කටු කම්බියක් පටලවපු දිග ලීයක් ළිඳක් තියන හැම ගෙදරකම තියනවා. ළිං පතුලට ලීය දාලා කූරු ගාන කොට බාල්දිය කම්බියේ පැටලෙනවා. සීරුවට ලීය උස්සලා ගන්න ඕන. බාල්දිය අල්ල ගන්න ඔන්න මෙන්න කියලා තියන කොටම ආපහු ළිඳට වැටෙන වෙලාවලුත් එනවා. කොක්ක ගලවගෙන බාල්දිය වැටුනාම නම් ඉතිං කවුරු හරි බැහැලම තමා ගන්න වෙන්නේ.

පස්සේ කාලෙක කඹ වෙනුවට ටයර් වලින් හදපු දිග පටි පාවිච්චි කළා. ඒවායෙන් වතුර අදින්න ලේසි වුනත් ඇඟ පුරාම කළු පාට ඉහෙනවා. අපේ යාළුවෙක් ඉස්කෝලේ යන්න ලෑස්තිවෙලා වතුර එකක් ඇඳලා අරන් බස් එක එන සද්දෙට බාල්දිය ආපහු අතෑරලා දුවගෙන ඇවිත් බස් එකට නැග්ගලු. ඉස්කෝලේ ළගින බහින කොට තමා දැකලා තියෙන්නේ සුදු කමිසේ බතික් වෙලා කියලා.

ඊළඟට නයිලෝන් ලනු  ආවා. ඒවායේ තියන ලෙස්සන ගතිය නිසා තැන් තැන් වලින් ගැට දාලා තමා වතුර අදින්න පාවිච්චි කළේ. සබන් අතේ තියන වෙලාවක නම් එක පාරින්ම බාල්දිය ළිඳට අතාරින් පුළුවන්.

අවුරුදු විස්සක විතර කාලෙක ඉඳලා ළිඳ කියන සංකල්පය ඈත් වෙලා. දැන් කවුරු හරි කෙනෙක් කීවොත් අපිට ළිඳක් තියනවා, අපි නාන්නේ ළිදෙන් කියලා ඒක පුදුමෙකට කාරණයක් වෙනවා. එහෙම වෙලාවට මම මතක් කරන්නේ අන්තිමට ළිඳෙන් නෑව දවස කවදද කියලා. අපි සියළුම දේ කරන්නේ නල වතුරෙන් නේ. ජීවිතේ කිසිම දවසක ළිඳකින් නාපු නැති අයත් ඉන්නවා. ඒ අයට නොදැනුනාට ළිං වලින් නාලා තියන අයට නම් කොහේ හරි ළිඳක වතුර පිරිලා ඉතිරිලා යනවා දැක්කාම ඒ වතුරෙන් නාගන්න ආසාවක් ඇති වෙන බව මට විස්වාසයි.

6 comments:

  1. මේක මම එච්චර කැමති මාතෘකාවක් නෙමෙයි.

    මොකද මීට අවුරුදු 20 කට 25 කට කලින් මට නම් හිතා ගන්න බැරුව හිටියේ මොන එහෙකට සීතලේ දුක් විඳ විඳ නානවද කියල.

    මගේ නෑමේ මුල්ම මතක සටහන් තියෙන්නේ අවුරුදු 28-30 කට කලින්, මාතලේ අපි හිටපු කෝටස් (Government Quarters )එකේ.
    එකේ තිබුණු නාන කාමරේ තමයි මම අකමැතිම තැන.
    මොකද අප්පච්චි මාව බලෙන්ම නාවන්නේ එකේ හින්දා. මට තාම හිතා ගන්න බැහැ ඇයි ඒක එච්චර සීතල කියලා.

    ඊට පස්සේ තමයි කුරුණෑගල ළිං වලින් නැමේ අත්දැකීම මට තියෙන්නේ.

    ඒ කාලේ ලිඳකට ගිහින් නානවා කියන්නේ ඉදිකටු ගහපු ලෑලි දෙකකින් ඉස්සරහිනුයි පස්සෙනුයි තියලා තද කරනවා වගේ වැඩක්. හරියට අර දොස්තර හොඳ හිත ව දියරකුස් විසින් කාමරයකට දාලා , සත්තුන්ට කතා කරන රහස කියන කල්, දෙපැත්තේ බිත්ති දෙක ලං කරලා තද කරනවා වගේ. ඉතිං ඒවගේ ඉදිකටුත් ගහලා තිබ්බොතින් එන වේදනාව හිතා ගත්ත හැකිනේ.

    පළවෙනි වතුර බාල්දිය නානවා කියන්නේ හරියට අර ඉදිකටු සෙල්සියස් 100 ට විතර රත් කරලා තියෙනවා වගේ. ඊට පස්සේ හරියට ටික ටික ඒ රස්නේ අඩු වෙනවා වගේ.

    මට මතකයි ඒ දවස් වල මට නීතියක් දාලා තිබුනා සබන් ගාන්න කලින් වතුර බාල්දි 10 කුයි , සබන් ගෑවට පස්සේ වතුර බාල්දි 10 කුයි නාන්න ඕන කියලා.
    කොහොම හරි මම වතුර බාල්දි 6 කින් විතර 10 ය හොරට හයියෙන් ගණන් කරනවා.

    හැබැයි ඇලකට හරි, වක්කඩක ට හරි, ඔයකට හරි පැනලා නාන කොට ඔය එකක්වත් අදාල නැහැ. වතුර මඩද , ගඳද කියන එකවත් ප්රයශ්ණයක් නෙමෙයි.

    මට ඇත්තටම නාන පුරද්ද ආවේ පේරාදෙණියේ කම්මල් කඩේට ගියාට පස්සේ.

    වඩාත් සවිස්තරව කිව්වොතින් පොඩිකාලේ ඉඳන් තිබුන සීතලට ඔරොත්තු දෙන්න පුරුදු උනේ අර “නවක අනුරූපිතා වැඩසටහන” හින්දා.
    මොකද සමහර දවසට ජේෂ්ඨ තුමාලා බොහොම කැපවීමෙන් පැණිදෙණියේ අපේ බෝඩිමට ඇවිල්ලා මහ රෑ අපිව ජලයෙන් ස්නානය කරවනවා.
    එහෙමත් නැතිනම් අක්බාර් ශාලාවට ගෙනිහින් ඔවුන්ගේ කාමර වල ඉඳලා අපිට පාඩම් කියලා දීල , අන්තිමට පාන්දර 2 ට 3 ට විතර පැයක් විතර හොඳට නාවලයි එවන්නේ.

    දැන් වෙලා තියෙන්නේ එකේ අනිත් පැත්ත. අඩුම තරමේ දවසට දෙපාරක් වත් නානවා. එක බැරි උනොතින් හෙනම අප්සට්. ආපහු අර විදිහට පුරුදු වෙන්න පුළුවන් නම් කියල හිතෙනවා.

    ReplyDelete
  2. මම නම් දන්නනවා ඔයා කීයටවත් මේ මාතෘකාවට කැමති නෑ කියලා. මම දන්නවනේ නාන්න තියන කැමැත්ත. කියනවට කැමති නැතුව ඇති කාළගුණේ කියන නම වැටුනෙත් ඒකනේ. උදේ ඉඳන්ම හිත හදා ගන්න ඕන නාන දවසට. ඒ වුනත් අර ඩයිනෝසරයා අරගෙන ගිහින් ගහේ බැඳලා වතුර පුරවපු බැරල් එකේ බැහැලා ඒ අසරණ සතාට වතුර ගහන කොට හිතන්න තිබුණනේ ඌටත් ඇන ගහනවා වගේ දැනෙනවා ඇති කියලා. කොහොම උනත් අපේ ගෙදර නිවාඩු කාලෙට නාන වෙලාවට හත් අට දෙනෙක් එකතු වෙනවනේ. එතකොට නාන එකත් හරිම ආස හිතෙන වැඩක්නේ. කොහෙමද අර වැලි ගොඩේ වැටුන සබන් කෑල්ල අරන් ඇඟේ ගාන කොට.........

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හොඳම වැඩේ "වැලි ගොඩේ වැටුන සබන් කෑල්ල" නෙමෙයි.....

      වත්තේ ලිඳ ළඟ සිමෙන්තිය කැඩිලා වලක් හෑරිලා තිබුනා.

      මම හිතන්නේ කට්ටියම ආසාම දේ තමයි ඒ වලට වැටිච්චි සබන් කෑල්ලක් අත දාල ගන්න එක සහ ඒ සබන් කෑල්ල ගාල නෑම.

      මට මතක විදිහට ඒ වලේ "හැට්ට කටු" දෙක තුනක් එහෙමත් තිබුණා.....

      ප. ලි .
      මේ කොමන්ටුව, "හැට්ට කටු" වලට අදාල තැනැත්තිය, බත් කෑමට මොහොතකට පෙර දැකීම මගේ අහිංසක ප්‍රාර්ථනාවකි....

      Delete
  3. You are taking us back to our beautiful old days Renu....the other thing link with the well is 'aguru keli' substitute of toothpaste and brush...and all black drawing all over well wall...

    Face Book Comment from Menuka

    ReplyDelete
  4. • Yes. Maybe I have willfully forgotten anguru. Because I don't want to recall the relationship between charcoal and me. I use to chew charcoal whenever I go to the well. How do you feel about our past? I feel it has gone for ever

    o
    Menuka Jayaratne

    Hmmm...it's a lost feeling, though we go back to same places and do the same things we wont get 'that feeling'...I think that feeling is gone with our age...


    • i experienced this when i went matale to my ammi s village and later in galle at kapila,s home . we bathe going to a pihilla my kids never know about theses things and when i told them they are just like magic to them .
    Like • Reply • 15 hrs


    Renu Tennakoon I too have experienced pihilla at my Attamma's house. Trilling and unforgetable experience.

    ReplyDelete