Monday, July 20, 2015

ඇඹුල් පේර


 

 පේර කියලා කිවුවට මේ පළතුරට වෙනම නමක් දාන්න තිබ්බේ. ඇතුලේ ඇට පේර ඇට වලට සමාන නිසාත් හැඩය පේර ගෙඩියට යන්තම් හරි සමාන කමක් දක්වන නිසාත් මේ නම කියන්න පටන් ගන්න ඇති. ඒත් අන්‍යන්‍යතාවයක් තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා.

කැම්පස් එකේ දෙවනි අවුරුද්දේ ඒ කියන්නේ විශේෂවේදී උපාධිය පටන් ගත්ත අවුරුද්දේ අපේ ළඟම ජ්‍යෙෂ්ඨ ශීෂ්‍ය කණ්ඩායමත් එක්ක ගියා ක්ෂේත්‍ර චාරිකාවක්. අපේ මානව සමාජවාදය සම්බන්ධයෙන් දේශන කටයුතු කරන කතිකාචාර්යතුමා ( දැන් නම් මහාචාර්යතුමා) යෝජනා කළේ දඹානේ ආදි වාසීන් බලන්න යාම . කොහොමත් ආධුනිකයන් විදිහට අපට වැදගත් හඞක් නොතිබුණ නිසාත් ඉදිරියෙන් හිටපු අයගේ කැමැත්ත නිසාත් යෝජනාව සම්මත වුනා. හැම වෙලාවේම ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්නේ නෑනේ.

යන්න කලින් සතියේ අනිවාර්ය දේශන පෙළක් තිබුණා ආදි වාසීන් අධ්‍යනය කිරීමේ දි සුහුඹුල් සාමාජ විද්‍යාවේදීන්ගේ මානසිකත්වය කෙසේ සකස් කළ යුතුද වගේ  මාතෘකා පෙළක් යටතේ. ඒ හැම එකකින්ම අවධාරණය කළේ අපිත් සමාජයේ එක් කොටසක් මිසක දියුණු , විශේෂ ජීවීන් කොටසක් නොවේය, වෙනත් ජන සමාජයක් තුලට ප්‍රවිශ්ඨ වීමේ දී සමාජ  අචාර ධර්ම කිසිම ආකාරයකින් කඩ නොකළ යුතුය කියන දේවල්.

සුන්දර තෙල්දෙණිය නගරය  පහු කරගෙන නකල්ස් කඳු වැටිය දිහා බල බලා මහියංගනයට ආවා. දවල් කෑම කන්න කාටවත් උවමනාවක් නොවුනේ දහ අට වංගුවේ දී කැලතුන බඩවල් නිසා වෙන්න ඇති. දඹානට ඇවිත් අපේක්ෂා කරපු විදිහේම වැදි ජනතාවක් බලා ගන්න බැරි වුනා. හොඳට ඇඳුම් ඇඳලා හිටියේ. සමහර අය නම් විදේශිය නාමයන් සටහන් කරපු කමිසත් ඇඳලා  හිටියලු. ඒ  සුද්දෝ ඇවිල්ලා අපේ ආදි වාසීන් ශිෂ්ඨාචාරගත කරන්න ගත්ත උත්සාහයක් වෙන්න ඇති. කොහොම උනත් ආදි වාසින් එයාලගේ ආදිම වාසීන් ගැන සාක්ෂි තියාගෙන හිටියා. දවසක එයාලගේ දරුවන්ටත් ඉතුරු වෙන්නේ ඒ සාක්ෂි විතරයි කියලා දන්න නිසා වෙන්න ඇති. අපිත් ඒවා බලලා සෑහීමක පත් වුනා.

ආපහු ගමනේ දී අපි අචාර ධර්ම පිළිපැදපු එක ගැන කතිකාචාර්යතුමා ගොඩක් සතුටු වුනා කියලා කිව්වත් අපේ තොරතුරු සෙවීමේ ක්‍රම වේදයන් ගැන නම් සතුටත් තිබුණේ නෑ. මහියංගනය පහුකරලා හැතැම්ම විස්සක් විතර එද්දී බස් එක ගැස්සිලා ගැස්සිලා නැවතුනා. පෙරමුණේ හිටිය සමාජවේදියෙක් “ලොරි බාගේ මග හිටියා එන කොට රෑ ජාමේ “ කියාගෙන බස් එක පැනලා රෝදවලට අඩ තිබ්බා. බස් එකේ දුනු කැඩිල ද මොකක්ද එකක් කීවට ගෑනු ළමයිට තේරුම් ගියේ තව පැය ගානකට මෙතනින් යන්න වෙන්නෑ කියන එක . ඔය අතරේ එක්කනෙක් සමාජවේදිනියන්ගේ බර කීයද කියලා අහා අහා ගියා දුනු පැන්නේ කාගේ වරදෙන්න ද බලන්න.“ඇයි මගේ බර හෑල්ලු කරන්න ද කීයද කියලා අහන්නේ?“ කියලා එක් කෙනෙක් දුන්න උත්තරෙන් ඒ වැඩෙත් ඇන හිටියා.

ඇඹුල් පේර විකුණන ළමයි ටිකක් එහා වංගුවේ ඉඳලා අපේ බස් එකට වුනේ මොකද බලන්න ආවා. වේවැල් කූඩ වල  ඇඹුල් පේර දාලා. කැන්ද කොලයකින් ගොට්ටක්  පුරවලා රුපියල් පනහකට දෙනවා. කොච්චර බඩගිනි තිබුණත් එක ගොට්ටක් රුපියල් පනහක් වටින්නේ නැති බවත්, ළමයි ඉල්ලුම මත මිළ ඉහල දමන න්‍යාය අනුගමනය කරන බවත් අපට තේරුම් ගියා.  යාළුවෙක් පාරේ එහා පැත්තේ ඉඳන් කෑ ගහලා කිව්වා එතන ඉඳලා දිගටම ඇඹුල් පේර ගස් තියනවා කඩාගෙනම කමු කියලා.රුපියල් පනහේ අසාධාරණයට විරුද්ධ හැමෝම ඒ පැත්තට ගියා. සූරාකෑම පිළිබදව ගැඟීමක් නොතිබුණ අය  ළමයින්ගෙන් පේර ගොටු සල්ලි දීලා අරගෙන කෑවා.

මාන පදුරු පාදගෙන පේර ගස් ළඟට ගිහින්,  දිමි ගොටු අයින් කරලා, කෝටු වලින් ඇනලා පේර කඩා ගත්තා. වැටිච්ච පේර අහුලන්න ඊට අමාරුයි. අතපය සූරගෙන ඇඟ පත කස කසා පේර ගෙඩි දෙක තුනක් අරන් එනකොට බස් එක හදලා. දුනු හොයන්න ආපහු දඹානේ ගියාද කියලා අපෙන් ඇහුවේ ඒ වෙලාවේ තිබුණ පෙනුම නිසා වෙන්නැති.

දාඩිය දාලා මානා වලට කැපුන තැන් කසනවා. දනවා. බස් එකේ ඉඳගෙන ඉන්නත් අමාරුයි. ගහෙන් කඩාගත්ත ඒවා හොස්ටල් ගෙනියන්න තියාගෙන දැනට මේවා කන්න කියලා කව්දෝ කෙනෙක් අපි ඉන්න පැත්තට පේර ගොටුවක් එවලා තිබුණා.

2 comments:

  1. මට ප්‍රශ්ණයක් ඇත.

    දඹානේ වැදි ජනයා කොහොමද "ආදි වාසීන්" වෙන්නේ ?

    ReplyDelete