Saturday, February 18, 2017

ඉණිමගේ ඉහලට


      

               අහාට මෙහාට දුව දුවා  සාලේ පුටු හදපු,  පවුඩර් ගාපු , මයික් වලට තට්ටු කරලා සද්දේ හරිද කියලා බලපු අය හැමෝම නිශ්ශබ්ද වුනා. ඔක්කොම ලයිට් දාලා තව මදිවට එහෙන් ගෙනාපු ලයිටුත් දැම්මම ගෙදර බඩු විතරක් නෙවේ නෝනයි මහත්තයයිත් දිලිසෙනවා.පියරු හත්තට්ටුවක් ගා ගාත්ත නිවේදිකාව තමන්ගේ අරුමෝසම් මාල වලලු ටික පේන විදිහට ඉත්තෑකූරු වගේ කොණ්ඩය දෙපැත්තට වනාගෙන  ඉඳගත්තා. වැඩ සටහනට දෙවනි තට්ටුවේ සාලෙ තෝරා ගත්තට ඒ ගෙදර ඕන තැනක් ඒ වැඩේට සුදුසුයි. හැම භාණ්ඩක්ම හොඳම නිමාවේ දේවල්. දොර ජනෙල් බිම අන්තිම ඉහල විදිහට හදලා. ජෝඩු පුටුවේ ගෙදර මහත්තයයි නෝනයි ජෝඩු දාලා ඉන්දවලා. මහත්තයා නිල් පාට කුරුතා ඇඳුමක් ඇඳලා, නෝනා ඒකට ළඟින් යන නිල් පාටක සාරියක් ඇඳලා.

තද රතු පාට තොල් දෙක උල් කරලා නිවේදිකාව ඒ දෙපළ ගැන හැඳින්වීමක් කළා. ඒ  අවුරුද්දේ හොඳම ව්‍යවසායකයාට ලැබෙන සම්මානය ලැබුනේ මහත්තයාගේ ෆැක්ටරියට. ඒක ඇඳුම් මහන ෆැක්ටරි එකක්. ඇඳුම් කියලා සරලව කීවට පිටරටවලට ක්‍රීඩා ඇඳුම් යවන ෆැක්ටරි එකක්. කලාතුරකින් ලංකාවේ සේල් වලටත් එවනවා රට යවන්න බැරි විදිහට මොකක් හරි අඩුපාඩු වුන ඒවා. උපරිම  සැලකිල්ලකින් ෆැක්ටරියේ වැඩ බැලෙන නිසා එහෙම වෙන අවස්ථා හරිම අඩුයි.

“අපි දැනගන්න කැමතියි මේ ව්‍යාපාරය ඔබතුමා පටන් ගත්ත විදිහ ගැන

“ඇත්තටම කිවුවොත් මම බින්දුවේ ඉඳන් පටන් ගත්ත කෙනෙක්. එහෙම නැත්තං ඉනිමගේ ඉහලට ආව කෙනෙක්. මගේ පළමු රස්සාවත් මේකම තමා. හැබැයි බොහොම උනන්දුවෙන් වැඩ කරගෙන ආව නිසා මට ඉක්මනට ප්‍රමෝෂන් ලැබුණා. වැඩ හොඳ නිසා හැම සෙක්ෂන් එකකටම දැම්මා ඒ තැන් හදලා ගන්න කියලා. මමත් ඒකට කැමති වුනේ කවදා හරි මගේ ව්‍යාපාරයක් කරන්න හිතේ තිබුණ හින්දා. අවුරුදු පහළොවක් විතර එකම තැන වැඩ කරලා මම අන්තිමට පිරිස් කළමනාකාරවරයෙක් තැනට ආවා. ඒ වෙනකොට මම සල්ලි ටිකක් එකතු කරගෙන හිටියේ. මම තීරණය කළා එතනින් අයින් වෙලා මගේ ගෙදර එක කෑල්ලක ඇඳුම් මහන්න කීපදෙනෙක් දාගෙන වැඩ කරන්න. මම මාකට් එකත් හදාගෙන හිටියේ. මම නෝනගේ අර්ථ සාධකේ සල්ලියි මම ඉතුරු කරපුවයි දාලා මැෂින් දහයකින් වැඩ පටන් ගත්තා.

“ඒ කියන්නේ ඔබතුමියත් රැකියාවක් කරලා තියනවා?

“ ඔව් මමත් වැඩ කලේ ඔය කියන ෆැක්ටරි  එකේ. අපි දෙන්නා හම්බ වුනෙත් එතනදී. මම බැඳුනේ ටිකක් ඉහල තනතුරකට. මොකද මම මගේ උපාධිය කලේ මේ විෂයට අදාලව. ඒත් හස්බන්ඩ් අයින් වෙනකොට මමත් අයින් වුනා

“ලොකු තීරණයක්! නිවේදිකාව බර කරලා ඇහුවා.

“ආ.. ඒ තීරණේ මගේ. මෙයා ලොකු තනතුරක හිටියා කීවට මේ  මොකද්ද රසායනික ඉංජිනේරු මොකක්ද නේද? මහත්තයා නෝනා දිහාට හැරිලා ඇහුවා.

“ ඉතිං ඔබතුමාට ලොකු අභියෝගයක් වෙන්න ඇති ව්‍යාපාරය දියුණු කරන එක.?

“ මම ඉතිං මගේ මුළු ජීවිතේ ම අභියෝගයක් විදිහට ගත්ත කෙනෙක්. මොකද මගේ තාත්තා නැති වුනේ මම දොළහේ පන්තියෙ දී. මට එතන ඉඳන් රස්සාවක් කරන්න වුනා. ඊට පස්සේ නංගිලා දෙන්නා බන්දලා දෙන එක. ඊට පස්සේ මෙයා බඳිනවට එයාලගේ ගෙදරින් ආව බාධක. මේ ව්‍යාපාරේ පටං ගත්තම ආපු තර්ජන.. ඔය හැමදේම අභියෝග.

“මේ ව්‍යාපාරේ දියුණුව ඔබතුමා කොහොමද දකින්නේ?

“මගේ කැපවීම. මම උදේ වැඩ කරන්න ගත්තම රෑ දෙක තුන වෙනකල් වැඩ කරනවා. කට්ටිය මාරු වුනාට මම එක දිගට වැඩ.  මම ම තමා ඇඳුම් චෙක් කරන්නේ. කොහොම හරි අවුරුද්දක් විතර යනකොට මම වෙන තැනක් කුලියට අරගෙන මැෂින් පනහක් විතර දාලා වැඩ කරන තැනට ආවා. මට හොඳ මාකට් එකක් ආවා. ඒවා කලෙත් මම ම රටවල් වලට ගිහින් ඕඩර්ස් අරං ඇවිත්.

“ ඔබේ බිරිඳ ගේ සහයෝගය ගැන කතා කළොත්

“මෙහෙමයි එයා ඉතිං රස්සාවෙන් අයින් වෙලා නිදහසේ හිටියා ගෙදර. මමත් තනියම වැඩකරන්න කැමති කෙනෙක්. අනික මම හැම දෙයක්ම හොඳට ඉගන ගෙන වැඩේට බැස්සේ.

“ අපි මෙතුමාගේ ප්‍රිය බිරිඳ දෙසට මදකට හැරෙමු. දැන් ඔබ කියන්න ඔබගේ කාර්ය භාරය, තමන්ගේ ස්වාමියා මෙච්චර කැපවීමක් කරද්දී බිරිඳක් විදිහට ඔබ දුන්න සහයෝගය

“ රස්සාවෙන් අයින් වුන දවසේ ඉඳන් මම තමා ගෙදර සියළුම වැඩ බලාගත්තේ. මට උදව්වට දෙන්නෙක් ඉන්නවා. දරුවන්ගේ ඉගන ගන්න දේවල්, සහෝදර සහෝදරියෝ තව නෑදෑයෝ ඒ හැම දෙයක්ම මම තමා බැලුවේ.

“ඉතිං ඔබතුමියටත් විශේෂ අවස්ථා ලැබෙන්න ඇති විදෙස් සංචාර වලට එහෙම . ලොකු වාසනාවක් ඒකත්

“ නැහැ මෙම මේ වෙනකල් කවදාකවත් එහෙම සංචාරයකට ගිහිල්ලා නෑ. මම පෝය දාට පන්සල් යන්නෙත් මහත්තයාගේ අම්මා සිල් ගන්න ඇරලවන්න විතරයි. මොකද දරුවෝ  අපි දෙන්නම  ගෙදර නැති වුනොත්  තනිවෙන නිසා

“ එහෙම නම් කියන්නකෝ  මෙතුමා එහෙම සංචාරයකට ගිහින් එනකොට ගෙනාව හොඳම තෑග්ග මොකක්ද කියලා ..නිවේදිකාව නෝනාගේ අපහසුතාවය මදක් අඩු කරන්න කටහඩ තොදොල් කරලා ඇහුවා.

“ වැඩේ මේකනේ. මම ගිහාම ෆැක්ටරි එකට ඕන දේවල් විතරයි ගේන්නේ. මට එතකොට වෙලාවකුත් නෑ ඔය බඩු හොය හොයා ඉන්න. අනික බඩුවල බරත් බලන්න එපැයි

ඒ කතාව හරියන්නේ නැති නිසා අහන්න හිටපු ප්‍රශ්න දෙක තුනක් මග ඇරලා නිවේදිකාව ව්‍යාපාරය පැත්තට යොමු වුනා.

“ අපි කැමතියි දැනගන්න මේ අද ඔබතුමා අංක එකේ ව්‍යවසායකයෙක් වුනේ කොහොමද කියලා

ව්‍යාපාරිකයා සතුටු හිනාවකින් මූණ සරසා ගත්තා.

“වැඩ කිරීම සහ කැපවීම. කැපවෙන්න ඕනෑ තමන්ගේ අරමුණට. මම අවුරුදු දහයක්ම හරියකට වෙලාවටක කෑමක් නොගෙන මේ තත්වයට ආවා. මම හොඳට මගේ සේවකයන්ට සලකනවා. මගේ දියුණුව තියෙන්නේ සේවකයන් උඩ. මගේ සතුට තියෙන්නේ සේවකයන් උඩ. මට එයාලගේ නම් , සේවය කරන අංශ කටපාඩම්. එයාලගේ ගෙවල් වල මරණයක් වුනත් මම පැයකට හරි ගිහින් එනවා. එයාලා සතුටින් තියලා තමා මම වැඩ ගන්නේ . මම ඒ යුතුකම් හරියටම කරන නිසා සේවකයොයි මායි අතරේ ලොකු බැඳීමක් තියනවා. අනික මම අවදානම් වලට මූණ දුන්න කෙනෙක්. මම බය නැතුව බැංකු ණය ගත්තා. ඒවා ව්‍යාපාරෙට යෙදෙව්වා. අද නම් මම කිසි කෙනෙකුට සතයක් ණය නෑ. මම සාර්ථක මිනිහෙක්!

ව්‍යපාරිකයා තමන්ගේ දියුණුවේ රහස් අනාගත ව්‍යවසායකයින් වෙනුවෙන් හෙළිකරනවා. කැමරාව එයා දිහාටම එල්ලවෙලා තියන නිසා නෝනා ලොකු කල්පනාවක.

......මමත් මගේ අරමුණට කැප වෙච්ච කෙනෙක් . මගේ අරමුණ වුනේ දරුවෝ තුන්දෙනාට උගන්නා ගන්න. තාත්තට තියන ලොකු ෆැක්ටරි එකෙන් දරුවන්ගේ හිත නොපිරෙන බව මම දන්නවා. මට ඕන හැටියේ රස්සාවකට යන්න තිබුණා. අතට පයට සේවකයෝ තියාගන්න තිබුණා. ඒත් මට දරුවන්ගේ ජිවිත අතරමංවෙයි කියලා බයක් දැනුනා. මාත් අවුරුදු දහයකටවත් හරියකට වෙලාවකට කෑම කාලා නෑ. නිදි නැතුව ගත කරපු රෑ අනන්තයි. දරුවෝ ඉස්කෝලේ ගෙනියන්න , අසනීප වලට බෙහෙත් ගන්න, නෑදෑයන්ගේ මළ ගෙවල්වල දානේ ගෙවල්වල යන්න හැම දේම මට කිසි කෙනෙකුට අඩුවක් නොකියන්න කළා. මගේ අම්මයි තාත්තයි ඉන්න කල් යුතුකම් කළා. මගේ සහෝදරියෝ නම් කිසි කෙනෙක් මගෙන් සත පහක දෙයක් ඉල්ලලා නෑ. ඒ අය මේ ගෙදර විදිහ තේරුම් අරං ඉන්නේ. මගේ දියුණුව තියෙන්නේ මගේ දරුවෝ මත. මමත් ලොකු අවදානමකට මූණ දෙන කෙනෙක් . සීයට සීයක් ව්‍යාපාරයකට කැපවුන මගේ මහත්තයා එක්ක පවුල් ජීවිතයක් ගෙනියෑමේ අවදානමට මුහුණ දෙන කෙනෙක්. මේ ගෙදර උගස් කරලා බැංකු ණය ගද්දී දරුවන්ට පාරට බහින්න වෙයිද කියන අවදානමේ ජීවත් වුන කෙනෙක්. මේ දේවල් නිසාම දරුවොයි මායි අතර ලොකු බැඳීමක් තියනවා. ඒත් මම නම් ජීවිතේ එක් කෙනෙකුට ණයයි. ඒ මගේ නැන්දම්මාට. මේ ලෝකේ අතාරින්න බැරි එකම බැඳීම දරුවො වෙනුවෙන් ජීවත් වෙන්න උගැන්නුවේ මගේ නැන්දම්මා....................... නෝනාගේ   හිතුවිලි එකක්වත් කැමරාව දැක්කේ නෑ.

නිවේදිකාව තමන්ගේ අවස්ථාව අරගෙන කතාව පටන් ගත්තා ආයෙම.

“අපි දැන් ටිකකට  යොමු වෙමු අනික් පැත්තට.. හැම සාර්ථක පුද්ගලයෙක් පසුපසම කාන්තාවක් ඉන්නවා කියනවනේ. අපි දන්නවා මේ හැමදේකම ඔබතුමිය හෙවනැල්ල වෙලා ඉන්නවා කියලා. ඔබට ගොඩක් සතුටු ඇති   මේ වගේ සාර්ථක පුද්ගලයෙක් ඔබේ ස්වාමියා වීම ගැන?

“ගොඩක් සතුටුයි. නෝනා අර කල්පනාව පිටම කිවා.

තමන්ගේ ජීවිතේ සතුට කියන්නේ මේකද? හිතේ අහු මුළු හිස්කමින් පුරවන , තමන්ගේ සියළුම සතුට අනුන්ගේ අරමුණකට කැප කරන්න සිද්ද වුන, නාම මාත්‍රයකින් වත් ඒ වෙනුවෙන් ඇගයීමක් නොලබන ජීවිතයක් උරුම වුන එක සතුටක්ද? ලෝකෙට ඒක පෙන්නන්න බැරි කමට හිනා වෙලා ඉන්න එක, දරුවෝ විතරක් එකම සැනසීම කරගෙන ජීවත් වෙන්න ලැබුන එක සතුටක්ද? කැමරාව ඉස්සරහා කඳුලු දෝරේ ගැළුවා.

“ ඇත්තටම වචනයෙන් කියන්න බැරි දහසක් දේවල් එක කඳුලකට කියන්න පුළුවන්. ඔබේ හැඟීම්බර බව අපිට කියන්නේ ඔබේ ජීවිතයේ පරිපූර්ණ බව. ඔබ කොතරම් වාසනාවන්ත කෙනෙක්ද කියලා මේ වැඩ සටහන නරඹන ප්‍රේක්ෂකයන්ට දැනේවි. ඇත්තටම මටත් ඒක දැනෙනවා.. නිවේදිකාව ග්ලිසරින් කඳුලක් පිස දැම්මා.


Friday, February 3, 2017

පිංකම්






මාතලේ අය්යා අන්තරාවෙලා කියලා ටෙලිග්‍රෑම් එක එද්දි  හේරත් බණ්ඩා හිටියේ කුඹුර මඩ කරන ගමන්.  පියුං ඇවිල්ලා මූණත් නරක් කරගෙනම දික් කරපු ටෙලි ග්‍රෑම් එක අතට ගන්න බැරිතරමට හේරත්ගේ අත වෙව්ලනවා. ඉර අව්වේ සැරට ඒකේ ලියලා තියන අකුරු පේන්නේ නැති වුන නිසා පියුංටම කියලා ඒක කියවා ගත්තේ. ආරංචියේ නරක කම නිසාම පියුනුත් ඒක කියෙව්වේ හිමින් වගේ. හේරත් බණ්ඩා ඒ ආරංචිය අහලා උදැල්ල අතෑරිලා නියර උඩ ඉන්ද වුනා. පියුං මොනවද කියනවා වගේ ඇහුනා . ආය එයා ඔලුවක් උස්සලා බැලුවේ නෑ . හරි කල්පනාවට ආවට පස්සේ ආපහු ටෙලිග්‍රෑම් එක කියෙව්වා. මාතලේ අය්යා අන්තරා වෙලා. කියලා එවලා තියෙන්නේ අය්යාගේ පුතෙක්.

මාතලේ අය්යා කියන්නේ හේරත් බණ්ඩාගේ මස්සිනා - පවුලගේ අයියා. මස්සිනා වුනාට හේරත් බණ්ඩා එයාට සැලකුවේ තමන්ගේ දෙමව්පියන්ට සලකනවා වගේ. ආතක් පාතක් නැතුව හිටපු තමන්ට නංගි බන්දලා දුන්නා විතරක් නෙවේ එයාගේ අම්මගේ උරුමෙන් හම්බවෙචච අක්කර දෙකක ගොඩ ඉඩමයි කුඹුරු අක්කරෙයි දීලා මනුස්සයෙක් කරලා දඹුල්ලට එවුවා. ඒ එවලත් හැම කන්නෙම තමන්ගේ ආදායමෙන් කොටසකුත් නංගිට සල්ලි කරලා එවනවා. කිසි අණක් ගුනක් නැති එකෙක් වෙලා මාතලේ කිරි පට්ටියක් බලාගෙන් ඉන්න කාලේ ජම්බු ගෙඩිය වගේ ඉන්න පද්මාවතී මුන ගැහුණේ හේරත් බණ්ඩාට‍ . ඒ කාලේ පද්මටත් ඉගනගැනිල්ලක් ඕන වෙලා තිබුණේ නෑ. කලිසං ඇඳගෙන කිරි ටැංකිය බයිසිකලේ බැඳලා පැදගෙන යන හේරත් එක්ක ලුණුයි බතුයි කාලා හරි ඉන්නවා කියලා ගෙදරටත් හොරෙං පැනලා ගියා. ගිහිල්ලා මාසයක් විතර ගියාම ඒ කාපු ලුණුයි බතුයි තිත්ත වෙලා හිමිහිට දෙන්නත් එක්ක මග ගෙදරට බඩ ගෑවා. පද්මාගේ අය්යා ඒ වෙනකොටත් බැඳලා නෑ. අම්මයි තාත්තයි පද්මා කියලා දුවෙක් හිටියේ නෑ කියලා තමන්ගේ පුතාටම දේපොල ලීවා. කොච්චර ඇවිටිලි කලත් ගේ හතර මායිමේ දෙන්නව වැද්දා ගත්තේ නෑ. අනුන්ගේ ඉඩමක කිරි පට්ටියක් බලාගෙන අවුරුදු දෙකක් විතර ඉන්නකොට පද්මට අවුරුද්ද එක ගානේ කොල්ලොම දෙන්නෙක්. ඒ වෙනකොට පද්මගේ අම්මයි තාත්තයි මැරිලා. තුන්මාසේ දානෙන් පස්සේ අය්යා මේ දෙන්නට එන්න කියලා තමන්ගේ නමට අම්මා ලියලා තිබ්බ දඹුල්ලේ ඉඩම් පද්මාගේ නමට ලියලා පුංචි ගේ පොඩ්ඩකුත් හදලා දෙන්නා එකලාසයක් කරලා දඹුල්ලට එවුවා. අය්යා එහෙම නොකරන්න මෙලහටත් හේරත් මැරුණ තැන් වල ගස් පැලවෙලා. කිසි අණක් ගුණක් නැති නිසා තරහාකාරයෝ පිරිලා. ඒත් පද්මාගේ අය්යා ඒ දේවල් කලේ යුතුකම බලලා මිසක් හේරත්ගේ නහරංකාර කමට නෙවේ. ඒක හේරත් දන්නවා‍‍.

දඹුල්ලට ආවට පස්සේ තමනුත්  මිනිහෙක් වුනා නේද කියන හැගීම හේරත්ට ආවා. ඒවගේම තමන් මිනිහෙක් කරේ මාතලේ අය්යා නේද කියන එකත් තදටම දැනුනා. ආපිට  අබමල් රේණුවක්වත් බලාපොරොත්තු නොවී වැටෙන හැම වෙලාවකම තමන්ව නැගිට්ටපු මාතලේ අය්යා ගැන හේරත්ගේ හිතේ තිබුනේ මහා ලොකු ගෞරවයක්. අවුරුද්දට බුලත් අතක් දීලා වදින්නේ තමන්ගේ තාත්තා මේය කියලා තමා.

ඒ මාතලේ අය්යා අන්තරා වෙලාලු.

පද්මා මාතලේ මහ ගෙදරට යනකල් හූල්ලා හූල්ලා ගියේ. කොල්ලෝ  දෙන්නත් බිරන්තට්ටු වෙලා. එයාලගේ ගෙදර මාතලේ මාමා ගැන නොකිය වෙන දවසක් නෑ. සතියක් විතර ඉස්කෝලේ යන්න නොලැබෙන සතුටයි මාතලේ අය්යලා බලන්න ලැබෙන සතුටයි නිසා මහ ලොකු කනගාටුවක් නම් පේන්න තිබුණේ නෑ.

පොල් තෙල් පානින්  ලා කරුවලට පේන  මාතලේ අය්යා දිහා හේරත් බලා ගෙන හිටියා. මොකක් වුනාද කියලා අහන්න තරං වත් හයියක් නෑ. උපන්තේකට මෙහෙම කම්පාවක් දැනිලා නැත්තේ පොඩි කාලෙම අනුන්ගේ තැන්වල බැල මෙහෙවරකම් කරලා පදම් වෙලා හිටිය නිසා. ඒ මේ අඩුව නම් ඉවසන්න බෑ.

“අනේ මල්ලියේ දවාලට කාලා බඩේ අමාරුවක්ය කියලා වෙද මහත්තයා හම්බ වෙලා බෙහෙත් අරගෙනත් ආවා. බඩ බුරුල් කරලාය කියලා අටට විතර කළුවරේම එළි බහින්න ගියා. යන පාරත් කළුවරේ. ගෙට ආවේ කෙදිරි ගාගෙන මං ඇහුවම කීවා කඩියෙක් ද කොහෙද කෑවා ටිකක් දැවිල්ලයි කියලා. මම දෙහි බෑයක් අතුල්ලන්න ඇහුවාමත් එපා කීවා. රාත්තිරියේ හුස්ම ගන්න බෑ කියලා කෑ ගහන කොට අර කඩියා කාපු තැන නිල් වෙලා. පුතා ගියා පන්සලේ කාරෙක අරං එන්න. ඩයිවර තැන ඉදලානෑ. ආපහු ඇවිත් වටේ පිටේ අයත් එක්ක පුටුවක තියාන ඉස්පිරිතාලේ අරං යන කොටත් පණ හැංගිලා... කාලා තියෙන්නේ කරවලයෙක් ....“ මාතලේ අක්කා අමාරුවෙන් සිද්ධිය කීවා.

මළ ගෙදරට ආව කෙනෙක් ඇත්තං කීවේ මාතලේ අය්යගේ ගුණමයි. පන්සලේ කුඹුර වැඩ කරලා දෙන්නේ අවුරුදු විස්සක ඉදන්ම මාතලේ අය්යා. සිල් ගන්නේ නෑ තමයි. ඒත් ඕනම පිංකමකට අත දිගෑරලා වියදම් කරයි. ගමේ නැතිබැරි කෙනෙක් දෙපාරක් නොහිතා එන ගෙදර  මේක. ඒ නිසාම වෙන්න ඇති දරුවෝ දෙන්නටත් ඉගනීම පිහිටන්නේ. ඉස්කෝලෙත් නැති බැරි දරුවන්ට පොත් කට්ටල අවුරුද්ද මුල අරගෙන දෙනවා. ගමේ මරණාධාර සමිතිය පිහිටෙව්වෙත් මාතලේ අය්යා. ඒත් පන්සලත් එක්ක ටිකක් ඈත් වුනා වගේ අන්තිම කාලේ. හාමුදුරුවරුන්ගේ අළුත් ඇවතුම් පැවතුම් ගැන පැහැදීමක් නැති තැන ටිකක් නිශ්ශබ්ද වුනා වෙන්න ඕන.

හත් දවසේ බණට ලොකු හාමුදුරවෝ වඩින්න අදිමදි කරෙත් මේක නිසාම වෙන්න ඇති. නමුත් අන්තිමට ඉස්කෝල ගුරු හාමුදුරුවෝ බොහොම තදින් ලොකු හාමුදුරුවොත් එක්ක වාද වුනාම ලොකු හාමුදුරුවන්ටත් මුල මතක් වුනාලු. හැම දායකයෙක් ම අහක බලපු වෙලාවේ මාතලේ අය්යා ගමේ හැමෝම එකතු කරලා ආපහු පන්සල ගම්මු යන එන තැනක් කලාය කියනවනේ.

ලොකු හාමුදුරුවෝ කාරෙකෙන් වැඩියට මොකද ඩ්‍රයිවර්ට ඒ කන්ද අද්දා ගන්න බැරි වුන නිසා පයින්ම ගෙට වැඩියා. මඩ ගෑවුන කකුල් දෙක ටිකක් සද්ද කරලා පිහ ගත්තා. ඉතිං මඩ ගෑවෙන නිසානේ එතන වතුර භාජනයක් තියලා කකුල් හෝදන්නේ.

හාමුදුරුවෝ ගිලන්පසත් එපා කියලම බණ පටං ගත්තා.

“අප මහා බුදුරජාණන් වහන්සේට වැඩ වාසය කරන සමයේ ජේත නම් කුමරෙකුට අයත්ව තිබූ ඉඩමක් මිලට ගෙන එහි විහාරයක් කරවා උන් වහන්සේට පූජා කළ හෙයින්  අනේ පිඩු සිටාන්නට මහා දිව්‍ය සම්පත් ලැබුණා...“

සාදු සාදු සා........

“මේ ඇත්තොත් කල්පනා කරන්ට ඕනෑ මේ මිය ගිය උපාසක තැන වෙනුවෙන් එවන් පිංකමක් කරලා පින් අනුමෝදන් කරන්ට‍.......

උපාසක තැනට සීලයක් සාමාදන් වෙන්ට වත් උවමානවක් නොතිබුණ නිසා ජීවත්ව ඉන්න ඇත්තන්ගේ යුතු කම තමා පින් පමුනුවන එක. දැං මේ පින්වත් ඇත්තෝ කල්පනා කරලා බලන්ට විහාරයේ වැඩ වාසය කරන හාමුදුරුන්ට පාවිච්චි කරන්ට තියන වැසිකිලි දෙක ගැන. ඒවාට රාත්තිරියක යනවා නම් සංඝාවාසේ දොර ඇරගෙන යන්ට ඕනෑ්‍ මේ විස්ස විද්‍යාලේ ඉදලා එම පොඩි නමවල්වලටත් ඒක කරදරයි. වැහි කාලෙට තවත් අපහසුයි. ඉතිං මම මේ ඇත්තන්ට කියන්නේ තම තමන්ගේ දෙමව්පියන්ට මියගිය අයට පින් තකා සංඝාවාසේ කාමර වලටම අල්ලලා නාන කාමර දෙක තුනක් හදවලා පූජා කරන්ට. මේවා මතු දිව්‍ය සම්පත් ලැබෙන පින්කම්“

හාමුදුරුවෝ එක හුස්මට දේසනා කළා. කවුදෝ කෙනක් කනට කොදුරලා මොකක්දෝ කීවට පස්සේ ටිකක් දේසනාවේ සැර අ ඩු වුනා.

“ඔව් ඔව් මට මතකයි මේ උපාසක තැන මුල් වෙලා තමා ඔය දැන් පාවිච්චි කරන සංඝාවාසේ හැදුවේ. තව මේ..... ලයිට් අරන් දුන්නෙත් උපාසක තැනගේ වියදමෙන් ද කොහේදෝ්‍‍ ඒත් මේ කුසලය කරගන්ට බැරි වුනානේ. මම කීප සැරයක්ම කීවා ඇතුලේ නාන කාමර හදවලා දෙන්ට කියලා. බලන්ට පින්වතුනි ඒකම මේ උපාසක තැනට කර්මය වුන හැටි ! වැසිකිලියට යනකොට සර්පයෙක් දෂ්ඨ කලා. ඒ ශීලය රකින උතුමෙකුගේ බහට කන් නොදීමේ පාප කර්මය‍‍.......

මාතලේ අය්යාගේ නැති වීමේ  දුකකයි, දවස් ගානක් නිදි මරපු එකේ අමාරුවයි හවස ගහපු හීන් අඩියේ සැරයි එක වරම හේරත් ගේ  ඇගේ කැලතිලා  ආවා. ඇග පත ගසා දාලා නැගිට්ටා

“අවසරයි අපේ හාමුදුරුවනේ... මම හේරත් මේ මැරුණේ මගේ මස්සිනා නැහ්නං මගේ දෙමාපියෝ දෙන්නා කීවත් හරි“

“මේ අර වසවර්තියා නේද? හාමුදරුවන්ගේ හිත කටුකුටු ගෑවා.

“ඔබ වහන්සේගෙන් ධර්ම කාරනයක් අහන්ට කියලා මේ නැගිට්ටේ. අපේ අය්යා පන්සලට කොරාපු තරම ඔබ වහන්සේ තරම් දන්න වෙන කෙනෙක් නෑ. අදටත් පන්සලේ විකුනන්නේ අය්යා වැඩ කරලා දෙන කුඹුරේ වී.  වෙන එකක් තියා පන්සලේ ඉන්න හරකුන්ටත් කන්න නැති කාලෙට තණකොළ කපලා ගෙනිහින් දුන්නේ අයියා. පන්සලේ ළිද කපලා දෙන කාලේ මේලෝ ගමේ එකෙක් ආවේ ගියේ නෑ පන්සලට. ඔබ වහන්සේ වැඩ වසන සංඝාවාසේ හදපු හැටිත් මතක ඇතිනේ. ඔය දැං විස්ස විද්‍යාලේ ගිහින් ඉන්න පොඩි දෙනම අටේ පන්තියෙන් පස්සේ ඉස්කෝලේ නොයවා පන්සලේ අත්වැඩට තියාගත්තම වියදම් දෙන්නං කියලා ආපහු ඉස්කෝලේ යැව්වේ කව්ද? සිල් නොගත්ත බව හැබෑව ඒත් අය්යට දිව්‍ය සම්පත්ති ලබන්ට මේ කරාපු හරිය ඇති. අනෙක හාමුදුරුවනේ අපේ අය්යට සර්පයෙක් වෙලා ආවේ  අර අහවල් අකුසල් කරුමේ නම් ඔය සමහර හාමුදුරුවරු කරන  දේ වලට මුචලින්ද නාග රාජයා ඇවිල්ලා...........“ ඉතුරු ටික කියා ගන්න හේරත්ට ලැබුණේ නෑ. ගමේ දෙතුන් දෙනෙක් ඇවිල්ලා ඇදගෙන ගියා.

“ ඉතිං  පිංවතුනි සම්මා සංකල්ල ලක්ෂයක් පෙරම් පුරා බුදු වූ බුදු රජාණන් වහන්සේටත් ගල් පෙරලපු දෙවිදත් හිටියා. සංසාරේ වෛයිරක්කාරයෝ හිටියා . ඒ හැම දෙනාම අවසානයේ අපා ගත වුනා තමන් කරගත් අකුසල් කර්මයෙන්...........“

“සාදු සාදු සා............“