Friday, August 28, 2015

බෙහෙත් පෙවීම


 

 

අපි පොඩි කාලේ හෙම්බිරිස්සාවක් උණක් හැදුනාට අපිටවත් අම්මලාටවත් දොස්තරලාටවත් එච්චර ගානක් නෑ. පෙනඩෝල් බොනවා කියලා එකකුත් නෑ. හැබැයි ඉඳලා ඉඳලා හැදෙන උණ නම් කාලයක් යනකල් මතක තියනවා. උණ හැදීගෙන එද්දී  ඉඟුරු කොත්තමල්ලි  තම්බලා බොන්න දෙනවා. ඒක වේල් දෙක තුනක් බොනකොට සාමාන්‍ය හෙම්බිරිස්සාවට ආපු උණක් නම් අඩු වෙනවා. ඒකෙන් බැරි නම් තව වේල් තුනක් විතර වෙනිවැල් ගැට දාලා කොත්තමල්ලි දෙනවා. ඒත් හරියන්නේ නැත්තං තමා ඩිස්පෙන්සරි එකට යන්නේ. ඒ වෙනකොට උගුර කන් රිදෙන්න පටන් අරං . හුළං වදින්න හොඳ නෑ කියලා අත් දිග ඇඳුම් අන්දවලා, තොප්පි දාලා තමා එක්ක යන්නේ. දොස්තර නලාව තියලා බලලා කහින්න කියලා බෙහෙත් දෙනවා. අනිවාර්යයෙන්ම එතනදි බොන්න කියලා  මෙලෝ රහක් නැති  කහ පාට බෙහෙතක් දෙනවා. ඊට අමතරව රතුපාට සිරප් එකකුයි, කොළපාට සිරප් එකකුයි දෙනවා. පෙති ජාතියකුත් දෙනවා. රතු පාටයි කළු පාටයි කරලකුත් දෙනවාමයි. සීතල කෑම කන්න එපා කියනවා. ගෙදර ඇවිත් ජනෙල් වහපු කාමරේ රෙද්දකුත් පොරවලා නිදි කරනවා. දාඩිය දාලා තමා උණ බහින්න අරින්නේ. ඒ මදිවට කන්න දෙන්නේ  පතෝල හොදියි බතුයි වගේ ලෙඩ කෑම. තව ප්ලේන් ටී එක්ක හුළං ඉස්කෝතු දෙනවා. ඒවා කනවට වඩා හොඳයි දීලා තියන බෙහෙත් පෙත්තක් බීලා බඩ පුරවා ගන්න එක. උණ ටිකක් හොඳ වුනාම ජර්සි එකක් දාගෙන ටිකක් එළි පහළියට එන්න පුළුවන්. අපරාදේ කියන්න බෑ දෙපාරක් බෙහෙත් ගන්න වෙන්නේ කලාතුරකින්. ලෙඩේ හොඳයි දුන්න බෙහෙත් ටික ඉවර වෙන්නත් කලින්.

ඒ වුනාට දැං පොඩි අයට ලෙඩක් හැදුනොත් කොහොමද?

ගණන් හදලා බැලුවොත් අවුරුද්දේ සෑහෙන දවස් ගාණක් එයාලා බෙහෙත් බීලා තියනවා.

පුංචි පොද වැස්සකට අහු වුනොත්, නැත්තං ගඟක හරි මුහුදක හරි බැහැලා නෑවොත් අඩු ගානේ හෙම්බිරිස්සාවක්වත් හැදෙනවා. එක්කෝ වැඩිපුර පූල් එකේ ඉඳලා ආවාමත් හරි. දානේ ගෙදරක ගිහින් අයිස් ක්‍රීම් කාලා, කිරි කාලා, ඊට උඩින් අයිස් ක්‍රීම් කාපුවාම හවසට උගුර රිදිලා, රෑට නහය හිර වෙලා උදේට උණකුත් එක්ක හොඳටම හෙම්බිරිස්සාව.

සමහර වෙලාවට කෑමක් වෙනස් වෙලා පොඩි බඩේ අමාරුවක් ඇවිල්ලා පස්සේ උණ එනවා. කොයි දේ කලත් අන්තිමට වෙන්නේ බෙහෙත් පොවන්න වෙන එක.

බෙහෙත් ගන්න ගිහින් ඩොක්ටර්ගේ එපා ලිස්ට් එක නැවත වාරයක් අහගෙන, ළමයින්ටත් අස්සවාගෙන සිරප් ගොඩකුයි, පෙති ගොඩකුයි, සමහර වෙලාවට ඉන්හේලරුයි අරගෙන ගෙදර එනවා. පොඩි අය ඔක්කෝටම එක සැරේනේ අසනීප වෙන්නේ.

පුංචිම කාලේ නම් බෙහෙත් පෙවිල්ල ටිකක් භයානක අත්දැකීමක්. දත් නැති කාලේ නම් බෙහෙත් බොන්නේ නැති වෙන කොට හරහට තියලා අල්ලාගෙන දිව උඩ හැන්ද තියලා තද කරලා පොවනවා. අඩනකොටම බෙහෙත් පෙවිලා ඉවරයි. ඊට පස්සේ තරහට ඊළඟ බෙහෙත් වේල එනකල්ම අඩනවා. දත් තියන කාලේ හැන්ද හරි ඩ්‍රොපර් දැම්ම ගමන් හපාගෙන ඉන්නවා බෙහෙත් ටික කට දෙපැත්තෙ වැක්කෙරෙන්න ඇරලා.  තව ටිකක් ලොකු වුනාම තිත්ත බෙහෙත් පෙති කුඩු කරලා පොවන කොට, අමුතු රහක් තියෙන සිරප් දුන්නාම වමනේ කරනවා. පළවෙනි බේත් වේල කොහොම හරි දුන්නා කියමුකෝ. අනික් වේල නම් දෙන්නම බෑ. බිමත් පෙරළිලා අඩන්නේ. කොහොම පෙව්වත් වමනේ දානවා. ආපහු දෙන්න බෑ කොච්චරක් පෙවුනද කියලා දන්නේ නැති නිසා. සමහර වෙලාවට රෑට නින්දෙන් කිරි එකට දාලා පොවනවා. ඒත් වෙනස් රහක් දැනුන ගමන් නිදාගෙන ඉන්න ඉන්ද්‍රියන් සියල්ල අවදි වෙලා කිරි බොන එක නවත්තනවා. එතකොටත් ප්‍රශ්ණයක් කොච්චරක් පෙවුනද කියලා දන්නෑ. හොඳම දේ තමා නින්ද කැඩුන එකටයි, කිරි එක අමුතු රහ වීමේ තරහයි නිසා අඩන්න පටන් ගන්න එක. එතකොට ගෙදර හැමෝම සර්වරාත්‍රික. තිබ්බ ඒවා මදිවට නහයත් හිර වෙලා නිසා ඩ්‍රොප්ස් දෙකක් විතර දාලා පරෙස්සමට නිදි කරවනවා. පහුවදාට බෙහෙත් ටිකක් හරි පෙවිලා තිබුණොත් ලෙඩේ පොඩ්ඩක් හොඳ වෙනවා. කොහොමත් දෙවනි තුන්වෙනි දවස වෙද්දී අම්මලායි දරුවෝයි දෙපාර්ශවයම බෙහෙත් දීමට සහ බීමට පුරුදු වෙනවා. පොවන්නම බැරිම බෙහෙතක් නම් ෆාමසි එකට ගිහින් ඒකට සමාන වෙනත් රසක් තියන එකක් ගෙනත් පොවනවා. හැම තැනම සිරප් හලලා නිසා ඒ දවස් වලට ගෙදරට කූඹි එනවා වැඩියි.

ඊළඟට එන ප්‍රශ්ණේ, නිවාඩු ගන්න එක. ඔතෙන්ට ආවහම නම් ගෙදර අයගේ හිතත් නරක් වෙනවා සමහර වෙලාවට. කොහොමත් අසනීප නිසා ළමයි හුරතල් වෙලා වැඩීනේ වෙනදාටත් වැඩිය. පුංචි දේටත් හරි අමාරුයි.

එක ලෙඩ සැසියක් ඉවර වෙන කොට බෙහෙත් බෝතල් විස්සක් විතර එකතු වෙනවා. මම ඉස්සර කළේ ඒ බෝතල් හෝදලා වේලලා එකතු කරලා බෝතල් එකතු කරන්න එන මනුස්සයෙකුට පරිත්‍යාග කරන එක. ඒ මනුස්සයා ආයුරුවේදේ ළඟ තියාගෙන ඒවා විකුණලා කීයක් හරි හොයාගන්නවානේ. අපේ ගෙදරට ආවහම ආයේ කොහේවත් බෝතල් හොයන්න යන්න ඕන නෑ කියලා  ඒ මනුස්සයා කියනවා. එක මාසෙක මම දොස්තර මහත්තයා කියපු විදහටම පොඩි දෙන්නව කෑමෙන් ,  නෑමෙන් පරෙස්සම් කළා. ඒ මාසේ නම් බෙහෙත් දෙන්න වුනේම නැති තරම්. ඔන්න පුරුදු විදිහට බෝතල් එකතු කරන මනුස්සයා ආවා. දෙන්න බෝතල් නෑ.

“අය්යෝ  නෝනා .... මේ සැරේ බබාලා අසනීප වුනේ නැද්ද ?  ඒ මනුස්සයා කම්පා වෙලා ඇහුවා.

බලං යනකොට දරුවන්ගේ අසනීප නිසා කී දෙනෙක් රස්සාවල් හොයා ගන්නවාද ?

“බබාලට දැන් බෝතල් වල බෙහෙත් දෙන්නෑ.. ආය මෙහේ එන්න එපා“ කියලා මම තරහා පිටින්ම කියලා දැම්මා.

Wednesday, August 26, 2015

රෙස්ටුරන්ට් කෑම


 

ගෙදර උයන කෙනා නැති වුනාම, උයලා උයලා එපා වුනාම, නැත්තං මොකක් හරි විශේෂ අවස්ථාවක් සමරන්න තියෙන කොට එළියෙන් කෑමක් කන්න අවස්ථාව හදා ගන්නවා. එදාට ගෙදර හැමෝටම සැහැල්ලුවක් තියනවා. එක විනාඩි ගානෙන් කාලා ඉවර කරන වේලක් උයන්න මොනතරම් කාලයක් අපි යොදවනවද කියලා තේරෙනවා. මොකක් හරි අමතර වැඩක් කර ගන්න පුළුවන් එදාට.

කලින් සැලසුම් කරපු එකක් නම් කන්නේ කොහෙන්ද කියලා තීරණය කරනවනේ. එහෙම නැතුව අරමුණක් නැතුව එළියට බැහැපු වෙලාවක නම් වෙන්නේ වාහන නවත්වන්න පහසුකම් තියන , ට්‍රැෆික් අඩු පැත්තක තියන රෙස්ටුරන්ට් එකක් තෝරා ගන්න එක.

කොයි තැනකට හරි  ගියා කියමුකෝ. අපිට කලින් එතෙන්ට ගිය අයගේ කෑම දීලනේ අපිට දෙන්නේ. පොඩි අයත් එක්ක ගිහින් මේසෙට වාඩි වෙනවා. ගොඩක් වෙලාවට සිද්ද වෙන්නේ අපි පෙන්නපු මේසේ නෙවේ වෙන එකක ඉඳ ගන්න එයාලට ඕන වෙන එක. එහෙම නැත්තං කාට හරි වෙන් කරලා තියන මේසයක් පෙන්නලා ඒකට අපිට යන්න බැරි ඇයි කියලා දහ පාරක් විතර අහනවා.

වේටර් ඇවිත් මෙනු කාර්ඩ් එක දුන්නම ඉස්සරලාම ඒක  අරගන්නේ ළමයි. ඊට පස්සේ ඒවා කියව කියවා තේරුම් ගන්න බලනවා. ඒ වෙලාවට අපි කවුරු හරි ඒක අරගෙන ඕඩර් නොකොලොත් පහුවදා උදේට තමා කන්න වෙන්නේ. එක්කෙනෙකුට චිකන් ඩෙවල් ඕන කිව්වොත් අනිවාර්යයෙන්ම අනිත් එක්කනා කියන්නේ එයාට රෝස්ට් චිකන් ඕන කියලා. ඒ විදිහට පවුල් දෙක තුනකට හරියන්න කෑම ඕඩර් කරන්න වෙනවා අන්තිමටම.  ඒ වෙනකොට වේටර්ටත් ඇති වෙලා . ගෝසාව මැද්දේ ලියා ගන්නත් ඕන. මේ  එපා කියන දේ අනික් තප්පරේට ඕන වෙනවා.

ඊළඟට කෑම එනකල් බලාගෙන ඉන්නවා. වෙන වෙන මේස වලට කෑම අරන් යනකොට ඒ  අපේ ඕඩරේ වෙන්න ඇති කියලා ගැස්සිලා පුටුවේ හරියට ඉඳගන්නවා. ටික වෙලාවක් යනකොට ඉවසන්න බැරි තරම් බඩගින්න වැඩි වෙනවනේ. එතකොට අනේ අපිට තාම කෑම නෑ කිය කියා ළමයි අනිත් අය කන දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙනකොට මේසේ තියන හැඳි ගෑරුප්පු කීප සැරයක් බිමට වැටිලා ඉවරයි. අත් පිස්නා වලින් නෙලුම් මල් හදලා නැත්තං රෝල් කරලා පෑන් කේක් වගේ හදලා පැත්තකින් තියනවා. ඒ සෙල්ලමත් එපා වුනාම මේසේ තියලා තියන ලුණුයි ගම්මිරිසුයි කන්න පටන් ගන්නවා. ලුණු අල්ලට දාලා කාලා ඒකටම ගම්මිරිස් හලා ගන්නවා.  හාස් හූස් ගාලා වතුර වීදුරුව බොනවා. ආයෙත් ලුණු කනවා. ඒ වැඩෙත් ඉවර වුනාම චිලි පේස්ට් කනවා. හැම හැන්දක්ම ඒකට ඔබනවා. හොඳ වෙලාවට මේ වෙනකොට  සුප් එක ලැබෙනවා. අතට අහුවෙච්ච හැන්දක් ඔබලා තමයි ළමයි ඒක බොන්න පටන් ගන්නේ. හැඳි දෙකක් විතර බීලා රහ නෑ කියලා සුප් එක පැත්තකට තල්ලු කරනවා. තවත් ටිකක් වට පිට බල බලා ඉද්දී කෑම අරන් එනවා. ඉහලට ගත්ත හුස්ම පහළට දාලා පොඩි අය බත් බෙදද්දිම කන්න පටන් ගන්නවා. අනික් දේවල් බෙදන කොට තමන් ඉල්ලුවේ මොනවද නැද්ද කියලා මතකයක් නෑ. අන්තිමට කන්නේ හැමදාම කන දේවල්ම තමයි. ටිකක් වෙලා හැන්දයි ගෑරුප්පුවයි අරගෙන කාලා පුරුදු විදිහට අතින් කන්න පටන් ගන්නවා. මොනවා කෑවත් අතර මැදට  කූල් කරපු බීමක් නම් බොනවා. ගෙදර නෙවේ නිසා සැර කරලා එපා කියන්නත් බෑනේ.

කෑම කද්දිම වේටර් ඇවිත් ළමයිගෙන් අහනවා මොනවද ඩෙසර්ට් කියලා. එතකොට අනිවාර්යයෙන්ම අයිස් ක්‍රීම් ඉල්ලනවා. පිට තැනක් නිසා  ගන්න පුළුවන් හැම වාසියක් ම අරගෙන අන්තිමට ටුත් පික් එකත් අරං හප හපා ඉන්නවා. එහෙම නැත්තං දත් අස්සේ ඇනගෙන අඬනවා.

වේටර්ට ටිප් එකක් දෙනකොට එහෙම දෙන්නේ ඇයි කියලා වටේ ඉන්න හැමෝටම ඇහෙන්න අහනවා. හැමදාම පැහැදිළි කලත් ඊළඟ දවසෙත් ඒකම අහනවා. ගෙදර කවුරු හරි ඉන්නවා නම් එයාටත් එතනින්ම කෑම පාර්සලයක් අපි අරන් යනවා. අපේ පොඩි දෙන්නානම් කරන්නේ ගෙදර ආව ගමන්ම ඒ පාර්සලේ දෙකට බෙදා ගෙන කන එක!

Monday, August 24, 2015

අල්මාරිය අස් කිරීම


 

සමහර දවස් වලට මූඩ් එකක් එනවා ගෙවල් අස් කරන්න . එදාට පොත් මේස , පරණ පත්තර , ලාච්චු ඔක්කොම අස් වෙලා ගෙදරින් අයින් ම වෙලා යනවා. කිසිදාක වැඩක් වෙන්නේ නැති දේවල් ගොඩ ගහගෙන නේද කියලා එදාට හිතෙනවා. ඒත් පහුවදාට වෙන්නේ ඒ විසි කරපු දේම ඕන වෙන එක. එහෙමත් නැත්තං වැඩක් නෑනේ කියලා කබඩ් එකේ ඇතුලෙන්ම තිබ්බ දේ ඕන වෙනවා. එතකොට පුටුවක් තියලා නැගලා පිළිවෙලකට අස් කරපු බඩු ඔක්කොම ඇදලා ඕන දේ හොයා ගන්නවා.

අල්මාරිය අස් කරන එකට නම් මූඩ් එක තදටම එන්න ඕනි. ගොඩක් වෙලාවට අල්මාරිය අරිද්දී රෙදි ගුලියක්ම බිම වැටෙනවා. බාගෙට දියවුන කපුරු බෝල උඩින් එනවා. ඒක ඇතුලේ හොයන ඇඳුම තිබ්බොත් හොඳයි. නැත්තං ඉතුරු ටිකත් ඇදලා බිමට දාලා ඇඳුම හොයා ගන්න වෙනවා. ආපහු රෙදි ටික ගුලියක් හදලා අල්මාරියට දාලා ඉක්මනට දොර වහනවා ආපහු වැටෙන්න කලින්. සමහර විට අල්මාරිය අරින කොටම ඕන කරන ඇඳුමේ කොටසක් පේනවා. ඒක ඇදලා ගද්දී ඉස්සරලා කියපු විදිහටම රෙදි ගුලියක් ඇඟට පෙරලෙනවා. ඔහොම ඉඳලා ඉඳලා දවසක අල්මාරිය අස් කරන්න හිතෙනවා. එදාට රෙදි ටික ඔක්කොම ඇඳලා ඇඳ උඩට දාලා කොනක ඉඳන් රෙදි තෝරලා නමනවා. අදින්න අකමැති , අඳින්න බැරි , වෙන කාට හරි දෙන්න හිතෙන ටික අයින් කරනවා. අනික් ඒවා ඉතාම නිර්මාණශීලී විදිහට වර්ග කෙරෙනවා. නිතර උවමනා නොවෙන, පන්සල් අඳින, ගෙදරට අඳින වගේ විවිධ නිර්නායකයන් ඔස්සේ . රෙදි නමන විදිහත් වෙනස් කරනවා. ඉස්සර දෙකට නමලා තිබුණා නම් මේ සැරේ හතරට විතර නමලා බලනවා ඉඩ ඉතුරු කර ගන්න පුළුවන්ද කියලා. කමිස , බ්ලවුස් එහෙම එල්ලලා තියන එක හොඳයි කියලා හිතෙනවා.

ඇඳුම් ටික පිළිවලකට අහුරා ගෙන අහුරා ගෙන යනකොට ඉඩ මදි වෙනවා. ආයම පිළිවෙල පොඩ්ඩක් වෙනස් කරලා අස් කරනවා. මොන දේකට මේ වගේ ඇඳුම් ගත්තද කියලා ඒ වෙලාවට හිතෙනවා. මෙච්චර ඇඳුම් ගොඩක් තිබුණත් ගමනක් යන්න ඇඳුමක් නෑ නේද කියලාත් ඒ එක්කම මතක් වෙනවා. ඇඳුම් ටික අහුරලා ඉවරයක් කරන්න බැරි සෑහෙන ඇඳුම් ප්‍රමාණයක් එළියේ නිසා. ඒවත් නමලා නමලා පුළුවන් විදිහට දානවා. අයින් කරන ඇඳුම් කාට හරි දෙනකල් කොහේ හරි තියා ගන්නත් වෙනවා. ඒකත් කරදරයක් . ගුලි වෙලා හරි අල්මාරිය ඇතුලේ තිබුණානම් වෙනම ඉඩක් යන්නේ නෑ.

අල්මාරියට කපුරු බෝල දාලා වහනවා. පිළිවෙලකට අස් කරපු ඇඳුම් ටික දැක්කාම හිතත් සන්සුන් . කොච්චර පහසුවක් ද කියලා තේරෙනවා. සමහර ඇඳුම් දකින්නේ කාලෙකට පස්සේ. ටික දවසක් යනකල් ඇඳුමක් ගන්නේ නමලා තියන ඇඳුමට යටින් අත දාලා රෙදි ගොඩ ඇවිස්සෙන්නේ නැති වෙන්න.

ඒත් ඇස්වහ වැදෙනවා ද මන්දා , සතියක් විතර යනකොට ආපහු අල්මාරිය අරින කොට රෙදි ගුලියක් එනවනේ ඇඟටම.

Thursday, August 20, 2015

ඡන්දේ


 

මැතිවරණයක් කීවට ඡන්දයක් කියනවා තරම් ගතියක් නෑ . අපි දන්න කාලේ ඉඳන්ම දිනුවේ අලියා. එතකොට ඡන්දේ නම් අලියා , අලියා නම් ඡන්දේ වගේ. අනිත් එක නිතර නිතර ඡන්ද තිබ්බෙත් නෑ. තිබුණේ ජනාධිපති තෝරන්නයි, මන්ත්‍රීවරු තෝරන්නයි විතරයි. ඒ නිසා උණුසුම නම් හොදටම තියෙනවා.

අපි කැපුවත් කොළ, කැපුවත් නිල් කියන කාලේ තමා ඒ. කතාව ඇත්ත. ආගම මාරු කලත් පක්ෂ මාරු කලේ නෑ. අපේ ගම්වලට නම් ඔය පාවෙන ඡන්ද සංකල්පය තිබුණේම නෑ. උපන්ගෙයි යූ එන් පී කාරයොයි , ශ්‍රී ලංකා කාරයොයි තමා හිටියේ. ඡන්දේ ළං  වෙනකොට වාහන වලින් කියා ගෙන යනවා ඔබේ වටිනා ඡන්දය අහවලාට දෙන්න කියලා. සෙනග ටිකක් වැඩියෙන් ඉන්න තැන්වල හරි විරුද්ධවාදියකුගේ ගෙදරක් ළඟ හරි ටික වෙලාවක් වාහනේ නවත්තාගෙන පක්ෂයේ වර්ණනාව කරනවා. එතකොට ගෙදර මිනිස්සු එළියට බැහැළා අගේට මැතිවරණ උණුසුම විඳිනවා. අපි ආසා වුනේ පත්‍රිකා දාගෙන යන එකට. එනවුන්ස් කරන ගමන් ප්‍රචාරක පත්‍රිකා බෙදනවා. බොහෝම බාල කොළයක තමන්ගේ පක්ෂේ පාටින් අකුරු මුද්‍රණය කරන්නේ. ගොඩක් වෙලාවට අකුරු එක උඩ දෙපාරක් වැදිලා නිසා කියවන්නත් අමාරුයි. අපිට සැරයක් හම්බවුනා “තිබේ“ කොල. උඩින්ම ගහලා තිබුණා තිබේ කියලා. යටින් හාල් ගෝනියක් ඇඳලා ඇති තරම් හාල් තිබේ කියලා තිබුණා. ඔය විදිහට මිරිස්, රෙදි , කිරිපිටි ඇඳලා තිබේ කියලා ලොකු විස්තර කියලා තිබුණා. අපි පරෙස්සමට ඒවා අරගෙන තියා ගත්තා රූප කපලා අලවන්න. කොල හම්බවුනේ නැති අය වාහනේ පස්සෙන් කොලයක් බිම දානකල්ම දුවනවා.

පෝස්ටර් එහෙම තිබුණා. සමූපකාරේ ලෑලි ටික උඩ එක දිගට පාප්ප ගාලා අලවපුවාම පහුවදා මැන්ජර් මහත්තයා ඇවිත් උදේ දොරවල් අරින්න ඒ ලෑලි ටික වෙන් කරගන්නේ වැඩිහිටියන්ට පමණයි දේවල් කිය කියා. ෆොටෝ වැඩිය දැම්මේ නෑ. නමයි, අංකෙයි, පක්ෂයේ ළකුණයි විතරයි තිබුනේ. ඒ පෝස්ටරේ පක්ෂයටයි අංකයටයි  ඉස්සරහා කතිරය ගහන්නේ කොහොමද කියන එක පැහැදිලිව තිබුණා. කිසිම අකුරක් නොදන්න කෙනෙක් වුනත් තමන්ගේ ඡන්දය දාන්න ඒවගෙන් ඉගන ගන්නවා. දැං තියන පොස්ටර් වල  නමයි අංකෙයි නැතුව අනික් ඔක්කොම ටික තියනවා. වැඩිපුරම පෝස්ටර් ඇලවුවේ  නාන ලිං වල එහෙමත් නැත්තං බෝක්කු උඩ. ඒ දෙකම ගමේ ජනයා එකතු වෙන තැන්. දැං භාෂාවෙන් කීවොත් දේශපාලන වාද පිටි. ළිං වටේ අලවපු පෝස්ටර් වල ෆොටෝ තිබුණොත් නම් අඟුරු කෑලි වලින් රැවුල් , උපන් ලප , ඇස් බැමි එහෙම ඇවිත් අපේක්ෂකයා හරිම ෆොටෝ ජෙනික් විදහට පෙනී ඉන්නවා. සමහර වෙලාවට එක පක්ෂයක පෝස්ටර් අනික් පක්ෂයේ අය ඉරාගෙන යනවා. එතකොට අන්තිමට ඉතුරු වෙන්නේ පොල් ගස් වල උඩ හරියේ අලවපුවා විතරයි.

අපේ ගමේ ඡන්ද මධ්‍යස්ථානේ තිබුණේ ඉස්කෝලේ. රාජකාරි වලට එන අයට ගමේ අය ඉතාම උවමනාවෙන්   සලකනවා. නැවතුන දවසේ ඉඳලාම කෑම දෙනවා. තේ දෙනවා. රෑට කෝපි දෙනවා. සැරෙන් සැරේ ගිහින් ප්‍රැට්‍රෝමැක්ස් එකේ හුළං ගහනවා.

ඡන්දේ දවසේ කවුරුත් ඉන්නේ කලබල ගතියෙන්. උදේම යනවා ඡන්දේ දාන්න. දාලා ඉවර වෙලා ගෙවල්වල එළියේ ඉඳන් ඡන්දේ දාන්න යන අය ගනිනවා. අර පක්ෂෙට ඡන්ද කීයක් වැටුනද කියලා හවස් වෙනකොට කියන්න පුළුවන්. ගමේ මිනිහා ඒ තරම්ම පක්ෂෙ නමට හංවඩු හැගිලා. එදාට ගෙවල් වල ඉන්න හපන බල්ලෝ බඳිනවා. හවස තුන විතර වෙනකොට ඔක්කොමලා වගේ ඡන්දේ දාලා ඉවරයි. මැරුණු අයට, ඇවිද ගන්න බැරි අයට ආපු ඡන්ද ටිකක් ඒ වෙනකොට වැටිලා. හවස හතර වෙනකොට ඡන්ද පෙට්ටි උස්සනවා. ඒ වෙනකොට ගමේ ඉන්න කෙරුම්කාරයෝ ටික තමන්ගේ පක්ෂ නියෝජනය කරමින් සාක්ෂිකාරයෝ විදහට එතනට යනවා. පෙට්ටි පටවලා වාහනේ ගියාම මුළු ඡන්දෙම වැඩ තමන්ගේ කරපිට වැටුනා වගේ තමා එන්නේ.

රෑට ඡන්දේ අහනකොට කන්න කඩල තම්බනවා. අග්ගලා හදනවා. ලොකු උණු වතුර බෝතලේට කහට තේ දාලා තියනවා. හැමෝටම රේඩියෝ නැති නිසා රේඩියෝ තියන ගෙවල් වල සෙනග එකතු වෙනවා. හැබැයි කොයිම වෙලාවකවත් පක්ෂ දෙකේ අය කලවම් වෙන්නේ නෑ. ප්‍රතිඵල කියන්න කලින් එන තේමා වාදනේ අපේ ජාතික ගීය තරම්ම හුරු පුරුදුයි. තබ්ලා හඩත් එක්ක මෙන්න තවත් චන්ද ප්‍රතිඵලයක් කියනකොට කට්ටිය මීයට පිම්බා වගේ. දිනපු අය රතිඤ්ඤා දානවා. ප්‍රතිවාදී ගෙවල් පැත්තට හැරිලා හූ කියනවා. ඩොල්කි ගහනවා. ප්‍රතිඵල කියනකම් ලස්සන සින්දු ඇති වෙනකල් අහනවා. ඇනස්ලි, සැමුවෙල් , බර්ටි ත්‍රිත්වයේ කොමික් කෑලිත් දාන නිසා අපි නම් ඒවට බාධා වෙන විදිහට මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් කියනවට ආසා නෑ. පාන්දර තුන විතර වෙනකොට කොයි පක්ෂෙ ද දින්නේ කියලා තීරණය වෙලා. පැරදීගෙන එන අය හිමින්ම රේඩියෝ වහලා නිදා ගන්නවා. ඒ වෙලාවට දිනා ගෙන එන අයගේ ජය ගෝෂා කනට යවුල් අනිනවා වගේ.

පහුවදාට ගමේ රණ්ඩු තුන හතරක් වෙනවාමයි. දිනපු අය බයිසිකල් පැදගෙන ගම වටේම යනවා. හැබැයි තමන්ගේ ඡන්දේ ගත්ත අය තමන්ට මොනවද දුන්නේ කියලා නිකමටවත් හිතන්නේ නෑ. ඒ වෙනුවට ගමේ දුකට සැපට හිටපු අයත් එක්ක තරහ පිරි මහනවා. මන්ත්‍රීවරු පත් වෙන වෙලාවට ඒ ගෙවල්වල අයට වඩා රතිඤ්ඤා මෙහේ පත්තු වෙනවා. සතුට සමරන්න ටිකක් මොනවා හරි කටේ ගාගත්තාම පරණ කෝන්තරත් ඇති වෙනවා. ඒ කාලෙට විරුද්ධවාදියාගේ කඩෙන්  බඩු වත් ගන්නෑ.

ඡන්දේ ඉවර වුනාම ගමේ අය ආපහු පුරුදු විදිහට කුඹුරට බහිනවා. වෙනදා වගේම අනුන්ගේ ළිං වලින් වතුර ගන්නවා. මළ ගෙවල් මගුල් ගෙවල් වලට යනවා. ඒත් ඡන්දේ නිසා ඇතිවුන කහට හිත් ඇතුලේ තියනවා. අපරාදේ කියන්න බෑ ගමේ අය සමහර සිද්ධි නිසා සදා කාලික වෛරක්කාරයෝ වුනත් ඡන්දෙන් පත්වෙලා ගිය මන්ත්‍රිවරු ගමේ මිනිස්සු උන්නද මළාද කියලා දන්නෑ.

Wednesday, August 19, 2015

බයිසිකල් පැදීම


 

අපි පොඩි කාලේ ලංකාවේ ජනප්‍රියම වාහනේ තමා බයිසිකලේ. දුප්පතාගේ හිතවතා කියලනේ කියන්නෙත්. තමන්ගේ කකුල් දෙක හය්ය නම් ඕන දුරක් යන්න පුළුවන්. ඒ කාලේ තිබුණ ජනප්‍රියම බයිසිකල් තමා රැලේ. මම හිතන් හිටියේ එක රැලට පැදගෙන යන්න පුළුවන් නිසා ඒ නම දෙන්න ඇති කියලා. පස්සේ කාලෙක දැන ගත්තා ඒක ඉංග්‍රීසි නමක් කියලා. අපේ ගෙදර තිබුණේ ඒෂියා කියලා එකක්. ගෙදරට බයිසිකලයක් ගෙනාවම ඒක හෝදන්නත් පොර කනවා. හෝදලා පිහලා තමා ගෙට දාන්නේ. ඊළඟට හැදෙනවා බයිසිකල් පැදීමේ උණ.

බයිසිකල් පැදීමට පළමුවෙන්ම උස බලපානවා. දෙවනියට බය නැති කම.  ඉස්සරලාම කරන්නේ බයිසිකලේ පොල්ල යටින් පදින්න පුරුදු වෙන එක. වම් පැත්තේ කකුලෙන් පැඩ්ල් කරන ගමන් දකුණු කකුල බිමින් තිය තියා බැලන්ස් කර ගන්නවා. ටිකක් දවස් මෙහෙම කරන කොට එක පාරටම බැලන්ස් එක ඇඟට එනවා. ඒ වෙලාවට එක රවුමක් විතර පාගාගන්න පුළුවන්. වැඩිපුරම බයිසිකලය පෙරලාගෙන වැටෙන්නෙත් ඒ කාලෙට. රවුම් දෙකක් තුනක් විතර පාගන්න යනකොට බයිසිකලය පෙරලෙනවා. දකුණු පැත්තට පෙරලුනොත් පදින කෙනා යටවෙලා කවුරු හරි නරඹන්නෙක් ඇවිත් එයාව ඇදලා ගන්නවා. අනිවාර්යයෙන් දකුණු දණහිස ලෙලියනවා. එහෙමයි කියලා බයිසිකල් පැදීම දවසකට හරි නතර කළොත් ඇඟට ආපු බැලන්ස් එක නැති වෙනවා. පහුවදාටත් යකඩ ගොඩ අරං පදින්න  පුරුදු වෙනවා. තුවාලේ නිසා දනිස්ස නමනකොට නුල් කෑලි ඇදෙනවා වගේ දැනෙන්නේ.

සමහර අය යටින් පදින කාලේ එක අතකින් බයිසිකල් හැන්ඩ්ල් එක අල්ලාගෙන අනික් අතින් බයිසිකලේ පොල්ල හරි සීට් එක හරි අල්ලා ගන්නවා. වැඩේ කියන්නේ ටික දවසක් යනකොට සීට් එක ගැලවිලා අතට එනවා. ඒකේ එල්ලිලානේ පදින්නේ. තවත් සමහර අය අත් දෙකම හැන්ඩ්ල් එකේ තියාගෙන පදිනවා. එහෙම පුරුදු වෙන අයට උඩින් පදින්න පුරුදු වෙන්න ලේසියි. සතියක් දෙකක් විතර පැඩ්ල් කරලා රවුම් බාගෙ දෙක පැදලා ඔන්න බයිසිකලේ පදින්න පුරුදු වෙනවා. මුලම දවස් වල පැඩ්ල් එක දිහා බලාගෙන තමා පදින්නේ. එතකොට නතර වෙන්නේ පාරෙ එහා පැත්තේ කානුවේ වැටිලා. කීප පාරක්ම වැටුනාම දැන ගන්නවා කකුල ඉබේම පෑගෙනවා අපි ඉස්සරහා බලාගෙන පදින්න ඕන කියන එක. මුලදී හිතෙන්නේ බයිසිකල් හැන්ඩ්ල් එක තියෙන්නෙ එල්ලිලා පදින්න කියලා. පස්සේ තමා ඒකට ඒ නම කියන්නේ ඇයි කියලා තේරුම් යන්නේ.

දැං බයිසිකලේ යටින් පදින්න පුළුවන්. හරි ආසයි ඒ කාලෙට කොහේ හරි ගෙදරකට ගිහින් කොකිස් අච්චුවක් වුනත්  ඉල්ලා ගෙන එන්න කියනවානම්. සමහර වෙලාවට මීටර්  දෙක තුනක් බයිසිකලේ පැදගෙන ගිහින් ගහකට හේත්තු කරලා තව සෑහෙන දුරක් පයින් තමයි ඒ ගෙදරට යන්නේ. ඒත් ගමන බයිසිකලෙන් නේ පටන් ගන්නේ. කඩේ යන්නත් ආසයි ඒ කාලෙට. වෙනදා නහයෙන් අඩ අඩා යන හැම ගමනක්ම කියන පමාවෙන් ගිහින් එනවා. බයිසිකලේ යටින් පැදගන්න තරම්වත් බැරි අය බයිසිකලේ තල්ලු කරගෙනත් කඩේ එහෙම එනවා. බයිසිකලයක් පැද්දා තරම් සතුටක් ඒ අයට ඇති. කොහොමත් මේ වෙනකොට ඇගේ තුවාල දහයක් පහළොවක් හරි තියනවාමයි. හොඳ වෙන්නෙත් නෑනේ. එකම විදිහට බසිසිකල් පෙරලිලා එකම තැන් මයි ඇනෙන්නේ.

ටික කාලයක් ගියාම උඩින් පදින්න පුරුදු වෙන්න හිතෙනවා. යටින් පැද පැද හිටපු කෙනෙක් බයිසිකලේ උඩින් පැදගෙන යනවා දැක්කාම එදාට නින්ද යන්නෑ. ඒකට නම් කකුල් ටිකක් බිම තියෙන්න ඕනෑ. කකුල් දිග නැතුව පොල්ලට බැහැලා වමටයි දකුණටයි ඇඹරි ඇඹරි පදින කොට කියන්නේ මිරිස් අඹරනවා කියලා. කවුරු හරි  ඒක  කෑ ගහලා කියාපුවාම ඒකම ඇති පෙරලෙන්න. උඩින් පදින්න පුරුදු වෙද්දී ටිකක් ලොකු කෙනෙක් බයිසිකලේට නගින කොටයි බහින කොටයි අල්ලා ගන්න ඕනෑ. පොල්ලේ ඉදන් බයිසිකලේ පැඩ්ල් කරගෙන පළවෙනි රවුම පාගනකොටම සීට් එකට නැගගන්න ඕනෑ. ඊට පස්සේ ඇඟිලි තුඩු අගින් පාග පාග යනවා. පුරුදු වෙන කාලේ පොඩි කන්දක් වගේ තියනවා නම් එතනට ගිහින් බයිසිකලේ නැගලා නිකම්ම පහළට එනවා. සමහර වෙලාවට නිකම්ම බිමටත් වැටෙනවා. බ්‍රේක් අල්ලා ගන්න බැරි වුනොත් ඉස්සරහ දත් දෙක ෂුවර්. පරණ වුන බයිසිකල් වල බ්‍රේක් වදින්නේ නැති නිසා පෙරලෙන්න ඉස්සරලා පනිනවා.

උඩින් පදින්න පුරුදු වෙන කාලේ කකුල “පෝක්“ අස්සේ නොගිය කෙනෙක් ඉන්නවා නම්  ඒ කලාතුරකින්. ඒක බරපතල තුවාල ගෙන දෙන අනතුරක් පදින කෙනාට වගේම බයිසිකලයටත්. කකුලේ බාගයක් විතර ලෙලි ගිහින් කූරු පහ හයක් කැඩුනාම තමා කකුල අහුවුනා කියලා දැනෙන්නෙත්. ඒක දැනුන ගමන් බයිසිකලේ පෙරලෙනවා. එතකොට නම් ටික දවසකට බයිසිකල් පැදීමට තාවකාලික විරාමයක් දීලා ප්‍රධාන පාලක මැදිරියට යොමුවෙනවා.

නැවතත් සුපුරුදු වැඩසටහනට. පාර පුරා සිග් සැග් යන එක හරි යනවා සතියක් විතර බයිසිකලෙත් එක්ක ඔට්ටු වෙනකොට. ඒ වෙනකොට  හරියට සීට් එකේ ඉඳගෙන වට පිට බල බලා හුළං වැදි වැදී බයිසිකලයක් පදින්න පුළුවන්.

දහසක් බාධක මැද බයිසිකලේ පුරුදු වෙලා ඒ ශ්‍රාස්ත්‍රයේ කෙල පැමිණියාම  ලැගිජ් එකේ කවුරු හරි දාගෙන තව බයිසිකල් පොල්ලේ ඉස්සරහ  කවුරු හරි ඉන්දවාගෙන ඔය යන්නේ තුන්දෙනාම ඩබල් දාලා.........!

Friday, August 14, 2015

මහෝගනී


 

 

අගෝස්තු කියන්නේ ගොඩාක් පළාත් වලට පායන කාලයක්. අව්වත් සැරයි. ගොයම් කපන කාලේ නිසා වැස්ස ආවොත් කරදරයි. වියළි හුළඟත් එක්ක ගස්වල කොළ වෙනදා වගේ දෙගුණයක් වේගයෙන් වැටෙනවා. උදේ අතුගාපු මිදුල හවස් වෙනකොට වැහෙන්න තරම්  කොළ වැටිලා. කොළ හලන්න කියාපු ගහ තමා බුරුත. පුංචි පුංචි කොල වැටුනාම මිදුල අතුගාන වැඩේ තිත්ත වෙනවා. ඉදලෙන් කී පාරක්  අතු ගෑවත් කොළ යන්නේ නෑ. අනිත් ගස් වල කොළ මේ තරම් පුංචි නැති නිසා ඒ තරම් වදයක් දෙන්නේ නෑ.

අගෝස්තු මාසයේ කොළ හලන ගස් අතර මහෝගනී ගහ විශේෂයි.උසට උසේ හැදුන ගස් අතු පතර විහිදිලා පළාතම වැහෙන්න කොළ හලනවා. ගහකට මෙච්චර කොළ මොන එහෙකට තිබුණද කියලා . ඒ කාලෙට තමා මහෝගනී ගෙඩි පුපුරන්නේ. මහෝගනී ගෙඩියේ පොත්ත අඟල් දෙකක් විතර ඝනකම එකක්. ලීය වගේම හයියයි. ගෙඩි මෝරපුවාම කෑලි පහකට විතර පැලිලා පොත්ත බිම වැටෙනවා. ඇතුලේ තියන මහෝගනී බීජ හුළඟට කැරකිලා හැම තැනම විසිරෙනවා. සමහර වෙලාවට ගෙඩිය පිපිරිලා නැට්ටෙන් වෙන්වෙන්නේ නැතුව මලක් වගේ ඉහිරිලා ගහේම තියනවා. දුඹුරු පාට පොත්ත ඇතුලේ  ඇලිලා තියනවා තවත් පොත්තක්. දුඹුරු පොත්ත හොඳටම වේලෙනකොට ඒක වෙන් වෙනවා. ඒක එච්චර ඝනකම් එකක් නොවුනත් හරිම හය්යයි. වේලෙනකොට දෙකට මැදින් නැවෙනවා. ඒ විදිහේම ප්ලාස්ටික් හැඳි ජාතියකුත් තියනවා. අපි සෙල්ලම් ගෙවල් දානකොට හැඳි වලට ගන්නේ ඒවා.

මම මේ කියන කාලේ දරුණුවටම භීෂණය තිබුණ කාලයක්. හවස තුන විතර වෙනකොට ඇඟ සීතල වෙනවා. රෑ වෙනවා කියන එක මතක් කරන්න වත් කැමති නෑ. කොහෙමත් හවස හය වෙනකොට රෑට කාලා දොරවල් ජනෙල් වහගෙන කළුවරේ රහසින් තමා කතා කරන්නේ. කොහෙමත් ඒ දවස්වල නින්දක් කියල එකක් නෑ. එක දවසක් පාන්දර එකට විතර අඩි සද්දයක් විතරක් ඇහෙනවා. අපි හැමෝම හුස්ම ගන්න එකක් නතර කරලා අහගෙන හිටියා. ඒ ඇවිදින්නේ අපේ පේව්මන්ට් එක දිගේ. ඔන්න සද්දේ ඇහුන එක නතර වුනා. උඩට ගත්ත හුස්ම පහළට දැම්මා . දැං හුළං සද්දේ ඇහෙනවා. ආයමත් ටක් ටක් සද්දේ. කවුරු හරි අපේ ගෙදර  වටේ ඇවිදිනවා. කකුලක් උස්සලා අනික තියන්න බයයි. අපි තුන්දෙනා ඇඳවල් තුනට වෙලා කියන්න බැරි තරම් බයකින් එළි වෙනකල් හිටියා. දැං කවුරු හරි අපේ දොරට තට්ටු කරයි  කියන බයට උගුර කට වේලුණා. උදේ එළිය වැටෙන කල් ගෙවුවේ දිගම රැය. එළිය යන්තම් වැටුනාම අපි ගිහින් බැලුවේ කවුද රෑ ආවේ කියලා ? කිසිම ලකුණක් නෑ.

 එදා රෑ අගෝස්තු මාසයේ කුළුඳුල් මහෝගනී ගෙඩිය පැලිලා දුඹුරු පාට ලෙලි  අපේ පේව්මන්ට් එකට වැටිලා. හුළඟට සිමෙන්තිය උඩ අහාට මෙහාට විසිවෙන සද්දය තමා අපිට අඩි සද්දයක් වගේ ඇහිලා තියෙන්නේ.

Thursday, August 13, 2015

කඩේ යාම


 

විවිධ අර්ථකතන හේතුවෙන් මේ ශ්‍රේෂ්ඨ කර්තව්‍ය තරමක් බාල වෙලා. අද කාලේ අම්මලාට කඩේ යවන්න කෙනෙක් හොයන්න තියන තියන අමාරුවක්! අපි නම් ආසාවෙන්ම කරපු වැඩක් තමයි කඩේ යන එක. අපේ ගෙදර මට ඒ අවස්ථාව ලැබුණේ දෙන්නෙක්ගෙන් පස්සේ. අක්කලා දෙන්නම කඩේ යවන කාලේ ඉවර වුනාම අම්මා මට ඒ ස්වර්ණමය අවස්ථාව දුන්නා. මට පස්සේ කෙනෙක් හිටියේ නැති නිසා මම ඒ වරප්‍රසාදය සෑහෙන කාලයක් භුක්ති වින්දා. ගෙදරට අල්ලපු වත්තේ සම්පේ (සමූපාකාරය) තිබුණ නිසා මාසෙටම බඩු අරගෙන තියා ගන්න උවමනාවක් වුනේ නෑ. ඉරිදාට මොනවා හරි ගන්න වුනොත් කොන්ඩෝල් කඩේ (කන්ට්‍රෝල් - බඩු හිඟ කාලේ සීමා කරලා බඩු දීම සඳහා පවත්වාගෙන ගිය, පෞද්ගලික කඩයක්) තියනවා. මම වැඩිපුරම කැමති කොන්ඩෝලෙට යන්න.

සම්පෙත් බඩු හොඳයි. ඒ වුනාට ඒකේ නීති වලට අනුව මාරු කාසි නැතිවුනාම හිලව් වෙන්න පැණි රස කෑම දෙන්නේ නෑ. අනික සල්ලි දීලා වුනත් ගන්න තියෙන්නේ බුල්ටෝයි . පණුපෙතියි විතරයි. බිලක් දාලා දුන්නම සතයක් වත් අහාට මෙහාට වෙන්නේ නැතුව ගෙදරට ගණං හිලව් බේරන්න වෙනවා.

සම්පේ එහෙම වුනාට කොන්ඩෝලේ එහෙම නෑ. ඕන තරම් ටොෆි ජාති , බිස්කට් ජාති තියෙනවා. ලොකුම ලොකු වීදුරු බෝතලේක හුළං ඉස්කෝතු දාලා තියෙන්නේ. ඒකේ මූඩිය වහන්නේ සිලි බෑග් එකක් කට වටේ එතුවට පස්සේ. එහෙම කරන්නේ හුළං වැදිලා බිස්කට් පොඟන නිසා. ඒ උනත් කියන්නේ හුළං ඉස්කෝතු කියලා. උණ හැදුනු වෙලාවක ඇරුණු කොට අපි කොයිම වෙලාවකවත් ඒවා ඉල්ලන්නේ නෑ. තවත් ඒ වගේම බෝතලේක තියනවා ඉස්කිරිඤ්ඤා. සීනි දාපුවා ටිකක් ගණන්. අනික්වා ගත්තොත් නම් සීනි දාපු තේ එකක පොඟවලා තමා කන්නේ.  බොත්තමක් වගේ බිස්කට් එකක් උඩ   චුටි වෙහෙරක හැඩේට ගල් අයිසින් වක්කරලා තියනවා එක එක පාටින්. ඒ දවස්වල මොන නමක් කීවද මතක නෑ. ඒකේ නම ජෙම් බිස්කට්. ඒවා දෙන්නෙත් ගැනලා. ඉස්සරලාම කරන්නේ බිස්කට් ටික හිමිහිට කනවා අයිසින් කෑල්ල කඩලා අරගෙන. අන්තිමට තමන් කැමති පාට අනුව නිවාඩුව අයිසින් කෑලි ටික කනවා. අන්තිම එකක් කාපුවාම හිතෙනවා ටිකක් හිමින් සීරුවේ කෑවා නම් හොඳයි කියලා. අතේ ගුලි කරගෙන ඉඳලා අයිසින් වල පාටයි රසයි දෙකම අල්ලේ තැවරිලා. ඒකත් ලෙවකාලම ඉවර වෙනවා.

බුල්ටෝ කෑවොත් ගෙදරට අහු වෙනවා. බුල්ටෝ එක හපලා කට ඇර ගන්න බෑ. ඇඟිල්ල දාලා දත් ඇඳි දෙක වෙන් කරන්නේ. ආයෙත් හපපුවාම ආයෙත්  දත් ඇඳි දෙක ඇලවෙනවා.  තව තියෙනවා නාරං බික්. ඒකත් හොඳයි. සත පනහට 20 ක් විතර දෙනවා. මින්ට් රහක් එක කළුයි සුදුයි ඉරි මිශ්‍ර වුන සීනි බෝලේ ඊළඟට තියන හොඳම එක. ඩෙල්ටා ටොෆි තිබුණට ඒවා ගන්න උනන්දුවක් නැත්තේ ඒක ගෙදරට කීවහම අරන් දෙන එකම ජාතිය නිසා.

කොයි දේ ගත්තත් හරි සීරුවට කරන්නේ. එක දවසකට මොනවා හරි එක දෙයයි ගන්නේ. බඩු අරගෙන ඉතුරු දෙන වෙලාවට බලා ගෙන ඉන්නේ මාරු සල්ලි සත දහයක් හරි නැති වෙනකල්. එතකොට ගෙදර ගිහින්ම ඒ සත දහයට හිලව් කරපු දේවල් කන්න පුළුවන්. කඩේ ගිය කෙනාට වැඩි පංගුව.

සමහර වෙලාවට කරන්නේ සත විසිපහකට වගේ මොනවා හරි අරගෙන සාක්කුවේ දා ගන්නවා . අම්මා ගෙදර ඉඳන් පාර දිහා බලා ගෙන ඉන්නවා නම් තණකොළ ගොල්ලේ සත විසිපහ වැටුනා වගේ පීර පීර හොයනවා. එතකොට සත විසි පහ වැටුන බව අම්මට පැහැදිළියි.

දැං නම් වැඩිය කඩේ යන්නේ නෑ. සුපර් මාකට් මිසක්.  ඒවට ගියාම නම් ළමයි අම්මලාට පින්සෙණ්ඩු වෙවී ඉන්නේ නෑ. රාක්ක පිටින් ඇදලා ට්‍රොලියට දාගන්නවා. කවුන්ටරේ පෝලිම දිගයි නම් එතන තියලා තියන ටොෆි චොක්ලටුත් තෝරා ගන්නවා. හැබැයි එක දෙයක් සුපර් මාකට් වලත් මම අර කියපු නාරං බික් තියනවනේ.

 

Wednesday, August 12, 2015

පණු බෙහෙත්


 

මේ වචනේ ඇහුනාම පණුවන්ට වඩා දඟලන්නේ අපි.

ඒ කාලේ ගස් යට වැටුනු පළතුරු කන්න තහනමක් නෑනේ. අනිත් එක දවසට පස් පාරක් තියා එක පාරක් වත් අත හෝදලා කන්න ඕනෑ කියලා නියමයකුත් නෑ. කොහොමත් ගස් නැගලා කඩා ගන්න ගෙඩි හෝදන්න ගහෙන් බහින්න යෑ. පේර ගෙඩි කාගෙන යද්දී එක පාරටම ගෙඩියෙන් ලොකු කෑල්ලක් හැපෙනවා. අමුතු රහකුත් එන නිසා බලනවා. එතකොට පේනවා පණුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒක වීසි කරලා අළුත් එකක් කඩාගෙන කනවා. අඹ කනකොට නම් වෙන්නේ  අඹ ගෙඩියේ එක තැනකින් පොත්ත ඇරලා  බාගයක් විතර කාලා අනික් පැත්ත කන්න පොත්ත කටින් ඇදලා දාද්දී දකිනවා පණුවෝ සිලි සිලි ගාලා ඉන්න එක. එතකොට විසිකරලා අත් දෙක පිහ ගන්නවා. අලි පේර නම් කපලා තමා කන්නේ . එක බෑයක් කාලා අනික කන්න ඇටේ ගලවද්දී තමා දන්නේ පනුවෝ අනික් බෑයේ රටා ඇඳලා කියලා. කජු පූලම් වලත් කජු ඇටය ළඟ පනුවෝ. සමහර වෙලාවට කන්න මොනවත් නැති වුනාම පණුවන්ට කරදරයක් නොවන විදිහට පූලමෙන් බාගයක් විතර කාලා විසිකරනවා.

පණු අමාරුව එන කොට ඒක අඳුරා ගන්න පොඩි පොඩි ලකුණු එනවා. මූනේ සුදු පාට පුල්ලි මතුවෙලා නම් ඒක එක ළකුණක්. තව කෑම කන්න හොර වෙනවා නම් ඒක කිසිම සැකයක් නෑ පණු අමාරුව නිසා කියලා තීරණය වෙනවා. හවසට මේකේ ලියන්න බැරි තැනක් කසන්න ගන්නවා නම් ඒක කිරි පණුවෝ නිසා වෙන්නේ.එහෙම වෙලාවට අත් බේත් තියනවා. එරබඳු කොල මැල්ලුම හදලා දෙන එක එකක්. තව කරවිල කොලත් එක බෙහෙතක්. සාදික්කා නෑඹිලියේ ගල ගාලා දෙහි ඇඹුලුයි ලුණුයි එක්ක උදේ හිස්බඩ බොන එකත් අත් දුටුවයි සත්තයි. මේ මොන බෙහෙත බීවත්  පණු පෙති බොන එකෙන් බේරෙන්න බෑ.

නිවාඩු දෙන දවසට ගුරු දෙගුරු පොතේ ලියලා එවනවා නිවාඩු මාසයේ දී පණු බෙහෙත් දුන් බව දන්වා එවන්න කියලා. මේක ගෙදරට පෙන්නන්නේ නැතුව පොත් ගොඩ අස්සෙම ගහලා තිබ්බත් පණු බෙහෙත් බොන්න වෙනවා කියන එක මතක් වෙන ගානට බඩ දනවා. නොකීවත් අම්මලා දන්නවා මාස තුනකට සැරයක් පණු බෙහෙත් දෙන්න ඕන කියලා. ඒකට තෝරා ගන්නේ නිවාඩුවේ දෙවනි සතිය වගේ. දවස් දෙකකට කලින් තෙල් කෑම දෙන එක නවත්තනවා. ඒ වගේම පැයෙන් පැයට නිවේදනය කරනවා තව දවස් දෙකකින් බෙහෙත් බොන්න තියනවා කියලා. පොඩි කාලේ බෙහෙත් බොනවා කියන එක හරි අසාමාන්‍ය දෙයක්. දවස් දෙකක් තිස්සේ ඒ පීඩනයෙන් ඉඳලා  ඔන්න බෙහෙත් බොන දවස එනවා. ඒ වෙනකොට වැඩිය සීනි කන්න දෙන්නෙත් නෑ. වැඩිපුර පැණි රස කෑවහම පණු අමාරුව ඇවිස්සෙනවා කියනවානේ. ගෙදර ඉන්න ළමයි හැමෝටම එක දවසේ තමා බෙහෙත් දෙන්නේ. නැත්තං කෑමෙන් පරෙස්සම් කරන්නේ කොහොමද? මට නම් මතක අපි දවසට එක ගානේ පණු පෙති තුනක් බීවා කියලා. රෑට කෑම කාලා පණු පෙති බොන්න පෝලිමේ ඉන්නවා. ඉස්සරලාම පවුලේ ලොකුම ළමයා බිලා මූණ ඇඹුල් කරගෙන  ඉන්නවා. එතකොට පැණී රස කෑමේ සහ ගඩා ගෙඩි කෑමේ ආදීනව ගැන වැඩිහිටි දේශනයක් නොමිලේම පැවැත්වෙනවා.  මට නම් එපාම කරපු දේ තමා මගේ වාරේ එනකල් බලාගෙන ඉන්න එක . ඉස්සරලාම ගිහින් මොනවා වෙන්න හරි බීවා නම් බය වෙවී ඉන්න වෙලාව ඉතුරුයි. පණු බෙහෙත් බීලා ඉක්මනට නිදා ගන්න කියනවා. නිකං හරි ඇහැරලා ඉන්න හැදුවොත් “ළමයෝ පණුවන්ට අමාරුයි . කියන දේ අහලා නිදා ගන්න“ කියලා කියනවා. ඉතිං පණුවන්ට සනීප දැනෙන්නද අපි බෙහෙත් බොන්නේ?

දවස් තුනක් යනකල් මෙලෝ රහක් නැති කෑම තමා දෙන්නේ. ඇඹුල් කන්න තියා බලන්නවත් දෙන්නෑ. නිකං හරි පේර ගහ ළඟට ගිහින් ආවොත් “කෑවද පේර ?“ කියලා සැර කරලා අහනවා. ඉවසන්නම බැරි දේ තමා අහල පහළ අය ඇවිත් අඹ,  පේර , නාරං පෙන්න පෙන්නා කන එක. දවස් තුන ගියාම නම් පොඩි බුරුලක් ලැබෙනවා. ඒත් එක පාරටම තහනම් ලැයිස්තුවේ ඔක්කොම කන්න බෑ. ඇත්තටම පණු බෙහෙත් බීලා දවස් දෙක තුනක් ගියාම බඩගිනි දැනෙනවා හොඳට. වෙනදා වගේ කෑම ඉතුරු කරලා බැනුම් අහන්නේ නැතුව බෙදන ඔක්කොම කනවා. “පේනවනේ මොන පණුවෝ කන්දරාවක් බඩේ ඉඳලා තියනවාද? වැඩේ අනං මනං කන එකමනේ“ කියලා එතකොට බනිනවා.

සෙල්ලම් කරන්න ගියාම පණු බෙහෙත් බීපු ළමයි වීර ක්‍රියාවක් කරපු අය වගේ සලකනවා. කණ්ඩායමේ ඉන්න අනික් අයත් කොහොම හරි ගෙදරට කියලා පණු බෙහෙත් බීලා අනික් අයට සම වෙනවා. අපි වැඩිය ගණං ගත්තේ නැති වුනාට මේ පණු අමාරුවට සිංහල  සාහිත්‍යයේත් තැනක් තියනවා.

එන සිකුරාදා
කොකු පණු දොස්තර
එනවලු ළමයිනි
ඩුං, ඩුං, ඩුං!

එදාට නෑවිත්
සිටියොත් ළමයිනි
දඬුවම් දෙනවලු
ඩුං, ඩුං, ඩුං!

Monday, August 10, 2015

පැට්‍රෝමැක්ස්


 

මේක වෙළඳ නාමය වුනාට ඒකට කියන්න ඕන හරිම නම මොකද්ද කියලා මම දන්නේ නෑ. විදුලි බලය දීලා නැති දවස්වල ඉහලම ඉල්ලුමක් තියන සහ විශේෂ වැදගත් කමකින් යුක්ත ලාම්පුව තමා මේ. ලාම්පුතෙල් පරිභෝජනය වැඩි නිසා හරි ලාම්පුව පත්තු කරන්න විශේෂඥ දැනුමක් ඕන නිසා හරි හැමදාම මේක පත්තු කරන්නෙත් නෑ. ගෙදර විශේෂ අවස්ථාවක් වෙලාවට, කමතේ කොළ පාගන වෙලාවට නැත්තං පන්සලේ උත්සවයක දී නම් පැට්‍රෝමැක්ස් නැතුවම බෑ. කඨින පිංකමක් වෙලාවට නම් මුළු ගමේම පැට්‍රෝමැක්ස් ටික එකතු කරලා පෙරහැරේ පත්තු කරගෙන යනවා.

ලාම්පුවේ තියෙන විවාදාත්මක කොටස තමා මැන්ටල් එක . ඒ නම වෙන වෙන අදහස් දෙන නිසා ලියන්නත් මොකද්ද වගේ . මැන්ටල් එක රවුම් මලක් වගේ එකක් . ඒක ලාම්පුවේ උඩ කොටසට හයි කරන්න ඉස්සරලා නූල ඇදලා හදා ගන්න ඕනෑ. එකකොට ඒක මල් පොහොට්ටුවක වගේ හැඩයක් ගන්නවා. නූලෙන් තමා මෙන්ටල් එක ලාම්පුවේ බඳින්නේ. පරෙස්සමට ඒක පත්තු කරලා හුළං ගහනවා. හුළං ගහන්න ගහන්න ලාම්පුවේ දීප්තිය වැඩි වෙනවා. එක ප්‍රමාණයකට වඩා හුළං වැඩිවුනොත් ලාම්පුව පිපිරෙන්න පුළුවන්. ඒකයි මම කීවේ ලාම්පුව පත්තු කරන්න විශේෂඥ දැනුමක් ඕන කියලා.

ලාම්පුව පත්තු කරලා ටික වෙලාවක් යන කොට දීප්තිය අඩු වෙනවා. එතකොට ලාම්පුව බිමට බාලා ආපහු හුළං ගහන්න වෙනවා. එහෙම හුළං ගහන වෙලාවට ලාම්පුව තියා ගන්නේ ගෝනියක් උඩ. එහෙම නැතිවුනොත් ටැංකිය හිල් වෙන්න පුළුවන්.  අපි පොඩි කාලේ පැට්‍රෝමැක්ස් එක පත්තු කළාම වටේ ඉඳගෙන කෑම කනවා. එතකොට බත් එක පිරෙන්නම පුංචි පුංචි සත්තු වැටෙනවා. අපිත් ඒ පුංචි සත්තුත් එක හා සමානව ඒ එළියටත් නොනවත්වා නැගෙන ෂ්............ සද්දෙටත් ආසා ඇති. ලාම්පුවේ ටැංකියට ලංවෙලා බලන කොට අපේ මුණ විකාර රෑපී වෙලා පේන්නේ. හිනාවෙන කොට කට දිගට පේනවා. ඇස් දෙක එළියට පැනලා වගේ.

ලාම්පුවේ චිමිනිය බිඳුනාම ඒක වීදුරු පටි වලට වෙන්වෙනවා. ඒවාගෙනුත් කරන්න වැඩක් තියනවා. ඒ පටි තුනක්  ප්‍රිස්මයක හැඩයට තියලා නූලකින් තදට ඔතනවා. ඊට පස්සේ කළු කොළයක් වටේ ඔතනවා. ඒකේ අඩියට ඉටි කොලයක් දාලා කවර් කරනවා. ඇතුලට වී ඇටයක්  දාලා බලන කොට වී ඇට සීයක් විතර පේනවා. පාට පාට මල් පෙති කීපයක් දාපුවාම කියන්න බැරි තරම් රටා හැදෙනවා.

දියවන්නාව ළඟ  ඇවිදින්න හදලා තියන පාර ළඟ තියන “කමතේ“ නම් සෙනසුරාදා ඉරිදාට පැට්‍රෝමැක්ස් බලන්න පුළුවන්. ඒ එළියෙන් තොවිලයක් එහෙම කරනවා දැක්කම  වටේ ලයිට් තියෙද්දී මොන එකකට කරදර වෙනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.

Tuesday, August 4, 2015

ඩයට් කිරීම


 

බර මැනලා ස්කේල් එකෙන් බහින කොට හරි , ගිය අවුරුද්දේ ඇඳුමක් අඳින්න බලන කොට හරි, එහෙමත් නැත්තන් අවුරුදු ගානකට ඉස්සර ගත්ත ෆොටෝ එකක් හරි දකින කොට එන එක හැඟීමක් තමා මම හෙට ඉඳන් ඩයට් කරනවා කියන එක. ඒත් ඒ හෙට  ළඟ ට්‍රිප් එකක් , වෙඩින් එකක් වගේ දෙයක් එහෙම  නැත්නම් බේරෙන්නම බැරි පාටි එකක්  තියනවානම් ඩයට් කිරීම ටිකක් පස්සට යනවා. ඩයට් කරලා බර අඩු කරගෙන ඇඟ හීනි කරගත්තම ඒක වැඩි පුර දැනෙන්නේ අපේ හිතට. කවුරු හරි කෙනෙක් කීවම ඔයා කෙට්ටු වෙලා කියලා ඒ සන්තෝසෙට තව කිලෝ මීටරයක් වැඩිපුර දුවලා එක කෑම වේලක් අතෑරලා ඉන්න තරම් සතුටක් දැනෙනවා. ඒකේ අනික් පැත්ත බරපතලයි. තමන් ඩයට් කරනවා යන හැඟීමෙන් කෑම ගන්න කෙනෙකුට මහත් වෙලා කීවම , ඒක කීව කෙනා කන්න තරම් තරහයි. එදාට ඉතිං කිසිම විනයක් නැතුව අතට අහුවෙන තරම් බෙදාගෙන කනවා. වැඩක් නෑනේ ඩයට් කරාට. අනිත් අය කන ඒවත් අල්ලන්නේ මගේ ඇඟට. පන්සීයක් කෑවහම කිලෝ එකක් බර වැඩිවෙනවා ඔය වගේ නානාප්‍රකාර හිතුවිලි ඇවිත් අර කෙට්ටු වීමේ හීනය බිඳිනවා.

බබාලා පොඩි කාලේ නම් එයාලට හදන කෑම ඉතුරු වුනාම අපරාදෙනේ කියලා කනවා. කඩෙන් කෑම ගෙනාවාම විසිකරන්නේ අපරාදේ කියලා කනවා. කොහේ හරි ගියාම ප්ලේට් එකට මෙච්චර ගෙවලා කන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා කනවා. අම්මලාගේ ගෙවල්වල ගියාම අම්මා හදපු කෑම කොච්චර කාලෙකින් ද කන්නේ කියලා කනවා. අවුරුද්ද ආවම ආය කන්නේ ලබන අවුරුද්දේ නිසා අදට විතරක් කනවා. තමන්ම ඊවොත් මමම උයලා අහක දාන්නේ අපරාදේ කියලා කනවා. එහෙම වෙලා කෙට්ටු වීමේ හීනය තවත් ඈතට යනවා.

මොකක්  හරි තදටම වැදිච්ච හේතුවක් උඩ දැඩි අධිෂ්ඨානයකින් ඩයට් කරන්න පටන් ගන්නවා කියමුකෝ. උදේ කිරි තේ එකත් කපලා දාලා සීනිත් පොඩ්ඩක් දාලා කහට තේ බොනවා. උදේටත් පොඩ්ඩක් කාලා දවල් තේ එකත් සීමා කරගෙන ඉන්න කොට බඩගින්න දෙගොඩ තලා ගෙන එනවා. ඒ වුනාට හීනි සන්තෝසයක් හිතේ තියනවා මට හිත පාලනය කරන්න පුළුවන් කියලා.ඔන්න එදාටම කවුරු හරි පාටි එකකට හරි ගෙදරින් ගෙනාපු පැණි රසක් හරි කන්න කතා කරනවා. ඉතිං එතෙන්ට ගිහින් හිත තද කරගෙන ගෙනාපු දෙයක් ඇඟලි තුඩු අගට අරගෙන කාලා පැත්තකට වෙලා ඉන්නකොට එක එක්කෙනා අහනවා නොකා ඉන්නේ ඇයි කියලා. මම දැන් ඩයට් කරනවා කියලා හරි අභිමානයකින් එතකොට කියන්න පුළුවන්. ඇයි උදේ ඉඳලම තේ එකේ ඉඳලා කැප කරලානේ ඉන්නේ. දවල්ටත් බාගෙට කාලා ඉන්නවා. රෑ වෙනකොට යකෙක් අමුවෙන් හරි කන්න පුළුවන්. අර කන්න බැරි වුන වේල් දෙක තුන අල්ලලා රෑ කෑම කනවා රජෙක් වගේ. සමහර විට ඒක චයිනීස් වෙන්නත් පුළුවන්.  ඒ කන්නෙත් කමක් නෑ මම අද උදේ ඉඳන් ඩයට් කරානේ කියලා හිතලා. පහුවදා ඇඳුම් අඳින කොට හැරී හැරී කණ්නාඩියෙන් බලනවා පොඩ්ඩක් හරි කෙට්ටුද කියලා.

එහෙම නැත්තං මෙහෙමත් වෙන්න පුළුවන්. රෑට කන්නෙම නෑ කියලා ඉන්නවා. ටික ටික අධීෂ්ඨානය දියවෙලා සුප් එකකින් සෑහීමකට පත් වෙනවා. තව ටිකකින් බිස්කට් දෙක තුනක් කාලා බඩේ  දැවිල්ල ගතිය නිවා ගන්නවා. ඩෙසර්ට් එකට කෙසෙල් ගෙඩියකුත් අරගෙන තව පැයක් විතර ගියාම බඩ ගින්නට බඩ පපුව දෙකම දන්න පටන් ගන්නවා. එතකොට කරන්නේ වෙනදා කන ගානටම බත් බෙදාගෙන කන එක.

මේක වෘත්තීමය උපදෙස් අනුව කරන්නත් පුළුවන්. දවස් හතේ , දවස් දාහතරේ   වගේ ඩයට් ප්ලෑන් තියනවා. ඒවා අනුව සතියට කිලෝ හතරක් විතර බර අඩු කරන්න පුළුවන් හැබැයි ඒ කියන විදිහටම කරලා තියෙන්න ඕනෑ. දවස් හතේ ප්ලෑන් එකේ මුල දවස් දෙක තුන පළතුරු හරි එළවළු හරි විතරමයි. ඒ මුල දවස් දෙක තුන පන්නගන්න බැරුව ඩයට් කරන එක  අතර මග දාලා සාහසික විදිහට කෑම කන අයත් ඉන්නවා.

මුණු පොතේ  පරණ යාළුවෙක් ඉරට්ටක් වගේ ඉන්නවා දැක්ක දවසක  වේල් තුනම හරි නොකා ඉඳලා කෙට්ටු වෙනවා කියලා හිතා ගත්ත මගේ හොඳම යාළුවෙක්  දවස් දෙකක්ම හාමතේ හිටියලු. තුන්වෙනි දවසේ උදේ බර මැනල ස්කේල් එක ඇතුලට දාන්න නැමුනාම කරකැවිල්ලක් ආවා විතරක්  මතකයිලු. හොස්පිටල් ගිහින් සේලයින් දෙකක් දීලා පැය හයක් එතන තියාගෙන ඉඳලා ආපහු එව්වලු. එවද්දී දොස්තර මහත්තයා කීවලු “ඔන්න මම ඔයාගේ අම්මට කීවා ඔයා කැම්පස් ඇඳපු කාලේ ඇදුම් ටිකක් ගෙදර එවන්න කියලා. දැන් කෙට්ටු වෙලා තියන තරමට ඇඳ ඇඳ හිටපු ඇඳුම් එල්ලා වැටෙනවා ඇති“ කියලා. එයාගේ මහත්තයා තමා දොස්තර මහත්තයා. කාරකේ දාගෙන යනකොට නාඩි වැටෙන වේගෙත් අඩු වෙලා තිබුණා කියලා පස්සේ දවසක එයාට කියලා තිබුණා.

Monday, August 3, 2015

නිවාඩු කාලේ


 

පාසල් නිවාඩුව පටන් ගත්තා කියලා හොඳටම දැනෙනවා. කිසිම තර්කයක් නැතුව මට පැයක් වැඩිපුර නිදා ගන්න පුළුවන්.  දරුවෝ දෙන්නට පැය දෙකක් වැඩිපුර නිදා ගන්න පුළුවන්. හේතුවක් නැතුව උනත් පුරුදු වෙලාවට ඇහැරෙනවා. එකකොට දැං නිවාඩු කාලේ නේද කියලා හිත පුරා හුස්මක් අරගෙන විනාඩි දහයක් තව නිදා ගන්නවා කියලා ඇස් පියා ගන්නවා. අපරාදේ කියන්න බෑ ඇස් දෙක ආපහු ඇරෙන කොට අඩුම ගානේ විනාඩි හතලිස් පහක්වත් ඒ වෙනකොට ගතවෙලා. එතකොට ඇඳෙන් බැහැලා බෑ .එක සැරේ පනින්න ඕනෑ.ඒත් වැඩ ටික කරගන්න වෙලාව ඇති. පෑන් , පැන්සල් , මකන කෑලි හොයලා පෙට්ටි වලට දාන වෙලාව සම්පූර්ණයෙන්ම ඉතුරුයි. පාට පැන්සල් උල් කරන වෙලාව සම්පූර්ණයෙන්ම ඉතුරුයි. උදේට , දවල්ට, ඇවිල්ලා කන්න කියලා වෙන වෙන ම කෑම හදලා දාන්න ඕනෙත් නෑ. යුනිෆෝම් අන්දවන්න සපත්තු දාන්න යන කාලෙත් ඉතුරුයි.  අපේ විතරක් නෙවේ ඉස්කෝලේ පටන් ගන්න වෙලාවට පාරේ වාහන එළවගෙන යන හැමෝගෙම වෙලාව ඉතුරුයි. එහෙම බැලුවොත් ඉස්කෝලේ නිවාඩු දෙන කාලෙට අපි පෙට්‍රල් , ඩීසල් වෙනුවෙන් වෙන රටවල්වලට ගෙවන සල්ලිත් ඉතුරුයි.

අපි පොඩි කාලේ නම් අගෝස්තු නිවාඩුව කියන්නේ එකම සෙල්ලම් කාලයක්. නිවාඩුවත් දිගයි. වහින්නේ එහෙම නැති හින්දා දවසම සෙල්ලම් කරන්න පුලුවන්. අපිට නිවාඩු කාලේ ඉස්කෝලේ වැඩ කියලා දෙන්නෙත් නෑනේ. පොත් බෑග් එක අදින්නේ නැතුව වහලා තිබ්බොත් , සපත්තු හෝදලා අරගෙන තිබ්බොත් නිවාඩු ඉවර වෙන දවසටත් ගින්නක් නැතුව ඉන්න පුළුවන්. එහෙම නැතුව අරහේ මෙහේ දාපුවා හොයන්න ගියාම ඊළඟ නිවාඩුවත් අප්පිරියා වෙන කල්ම බැනුම් අහනවා. අගෝස්තු සරුංගල් මාසය. ගොයම් කපලා කුඹුරු හිස් වෙලා තියන නිසා අපිත් නූල කැඩුන සරුංගල් වගේ තමා. අර නියරෙන් මේ නියරට  , අර ගහෙන් මේ ගහට පැන පැන නටන එක ඉවර වෙන්නේ හවස කරුවල වැටෙන කොට. ඒ වෙන කොට රණ්ඩු දෙක තුනකුත් වෙලා . කට්ටිය බෙදිලා තම තමන්ගේ ගෙවල් වලට යන්නේ විරුද්ධවාදීන්ගේ නම් අඬගහමින්. තමන්ගේ ඇත්ත නම කීවට වඩා දැනෙන්නේ හදපු නම කියලා කෑ ගහන කොට. කියන කෙනාගේ නමත් එතකොට අහගන්න පුළුවන්. දවස තිස්සේ නටලා නටලා තවත් මදි වෙලාද කියලා අම්මලා කෑ ගහන කොට හිමින්ම නාන ළිඳ ළඟට මාරු වෙනවා. නාන්න වතුර එකක් දාගත්තම තමයි උඩ යන්නේ. දවල් තිස්සේ කැපිච්ච හීරිච්ච තැන් වලට වතුර ගෑ වෙනකොට උඩ පැන්නෙනවා. කොහේ දී මොනවා උනාද කියලා මතක නෑ. සමහර විස කටු වලට හීරුන තැන් තුවාල වෙලා. නාලා ලිඳ ළඟ තියන ගලේ කුරුම්මා ඇට්ටියක් ගාලා ඒක එතන තවරපුවාම පහුවදා උදේට තුවාලේ සනීපයි.

රෑට මොකක් හරි පාඩම් වැඩක් කරන්න ස්වේච්ඡාවෙන්ම ඉදගන්නේ පහුවදාටත් සෙල්ලමට පනින්න ඕන නිසා. පාඩම් කරනවා කියන්නේ කොච්චර නීරස වැඩක් ද කියලා ඒ කාලෙට හොඳටම තේරුම් යනවා. අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන හැඟීම ප්‍රබල විදිහට හිතට දැනෙන්න පටන් ගත්තාම පොත වහලා දාලා නැගිටිනවා. රෑ කෑම ගැන කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ නෑ. බැරි වෙලාවත් මොකක් හරි දෙයක් කන්නේ නැතිව ඉතුරු කළොත් අපේ අම්මා ඒ නොකාපු දේ සහ දවසම සෙල්ලම් කිරීම අතර ධනාත්මක සම්බන්ධයක් හොයා ගන්නවා.

පහුගිය අවුරුදු නිවාඩුවේ දරුවන්ට බලන්න ඕන නිසාම ගමනක් අතර මගදී යන පාර වෙනස් කරලා දුෂ්කර පාරක යන්න තීරණය කළා. ඉලුක් වහපු ගෙවල්, ගස් උඩ හදපු පැල් , මඩේ එරී එරී මල් කඩන ළමයි  දිහා බල බලා මම දිග විස්තරයක් කළා. පොඩි දෙන්නගේ කිසිම ප්‍රතිචාරයක් නැති හින්දා පිටි පස්සේ සීට් එකට එබිලා බලන කොට ඒ දෙන්නා වීඩියෝ ගේම් එකේ  උඩින් එන පිට සක්වල ජීවීන්ට එක පිට එක පිට ප්‍රහාර එල්ල කරමින් හිටියා.