Wednesday, August 19, 2015

බයිසිකල් පැදීම


 

අපි පොඩි කාලේ ලංකාවේ ජනප්‍රියම වාහනේ තමා බයිසිකලේ. දුප්පතාගේ හිතවතා කියලනේ කියන්නෙත්. තමන්ගේ කකුල් දෙක හය්ය නම් ඕන දුරක් යන්න පුළුවන්. ඒ කාලේ තිබුණ ජනප්‍රියම බයිසිකල් තමා රැලේ. මම හිතන් හිටියේ එක රැලට පැදගෙන යන්න පුළුවන් නිසා ඒ නම දෙන්න ඇති කියලා. පස්සේ කාලෙක දැන ගත්තා ඒක ඉංග්‍රීසි නමක් කියලා. අපේ ගෙදර තිබුණේ ඒෂියා කියලා එකක්. ගෙදරට බයිසිකලයක් ගෙනාවම ඒක හෝදන්නත් පොර කනවා. හෝදලා පිහලා තමා ගෙට දාන්නේ. ඊළඟට හැදෙනවා බයිසිකල් පැදීමේ උණ.

බයිසිකල් පැදීමට පළමුවෙන්ම උස බලපානවා. දෙවනියට බය නැති කම.  ඉස්සරලාම කරන්නේ බයිසිකලේ පොල්ල යටින් පදින්න පුරුදු වෙන එක. වම් පැත්තේ කකුලෙන් පැඩ්ල් කරන ගමන් දකුණු කකුල බිමින් තිය තියා බැලන්ස් කර ගන්නවා. ටිකක් දවස් මෙහෙම කරන කොට එක පාරටම බැලන්ස් එක ඇඟට එනවා. ඒ වෙලාවට එක රවුමක් විතර පාගාගන්න පුළුවන්. වැඩිපුරම බයිසිකලය පෙරලාගෙන වැටෙන්නෙත් ඒ කාලෙට. රවුම් දෙකක් තුනක් විතර පාගන්න යනකොට බයිසිකලය පෙරලෙනවා. දකුණු පැත්තට පෙරලුනොත් පදින කෙනා යටවෙලා කවුරු හරි නරඹන්නෙක් ඇවිත් එයාව ඇදලා ගන්නවා. අනිවාර්යයෙන් දකුණු දණහිස ලෙලියනවා. එහෙමයි කියලා බයිසිකල් පැදීම දවසකට හරි නතර කළොත් ඇඟට ආපු බැලන්ස් එක නැති වෙනවා. පහුවදාටත් යකඩ ගොඩ අරං පදින්න  පුරුදු වෙනවා. තුවාලේ නිසා දනිස්ස නමනකොට නුල් කෑලි ඇදෙනවා වගේ දැනෙන්නේ.

සමහර අය යටින් පදින කාලේ එක අතකින් බයිසිකල් හැන්ඩ්ල් එක අල්ලාගෙන අනික් අතින් බයිසිකලේ පොල්ල හරි සීට් එක හරි අල්ලා ගන්නවා. වැඩේ කියන්නේ ටික දවසක් යනකොට සීට් එක ගැලවිලා අතට එනවා. ඒකේ එල්ලිලානේ පදින්නේ. තවත් සමහර අය අත් දෙකම හැන්ඩ්ල් එකේ තියාගෙන පදිනවා. එහෙම පුරුදු වෙන අයට උඩින් පදින්න පුරුදු වෙන්න ලේසියි. සතියක් දෙකක් විතර පැඩ්ල් කරලා රවුම් බාගෙ දෙක පැදලා ඔන්න බයිසිකලේ පදින්න පුරුදු වෙනවා. මුලම දවස් වල පැඩ්ල් එක දිහා බලාගෙන තමා පදින්නේ. එතකොට නතර වෙන්නේ පාරෙ එහා පැත්තේ කානුවේ වැටිලා. කීප පාරක්ම වැටුනාම දැන ගන්නවා කකුල ඉබේම පෑගෙනවා අපි ඉස්සරහා බලාගෙන පදින්න ඕන කියන එක. මුලදී හිතෙන්නේ බයිසිකල් හැන්ඩ්ල් එක තියෙන්නෙ එල්ලිලා පදින්න කියලා. පස්සේ තමා ඒකට ඒ නම කියන්නේ ඇයි කියලා තේරුම් යන්නේ.

දැං බයිසිකලේ යටින් පදින්න පුළුවන්. හරි ආසයි ඒ කාලෙට කොහේ හරි ගෙදරකට ගිහින් කොකිස් අච්චුවක් වුනත්  ඉල්ලා ගෙන එන්න කියනවානම්. සමහර වෙලාවට මීටර්  දෙක තුනක් බයිසිකලේ පැදගෙන ගිහින් ගහකට හේත්තු කරලා තව සෑහෙන දුරක් පයින් තමයි ඒ ගෙදරට යන්නේ. ඒත් ගමන බයිසිකලෙන් නේ පටන් ගන්නේ. කඩේ යන්නත් ආසයි ඒ කාලෙට. වෙනදා නහයෙන් අඩ අඩා යන හැම ගමනක්ම කියන පමාවෙන් ගිහින් එනවා. බයිසිකලේ යටින් පැදගන්න තරම්වත් බැරි අය බයිසිකලේ තල්ලු කරගෙනත් කඩේ එහෙම එනවා. බයිසිකලයක් පැද්දා තරම් සතුටක් ඒ අයට ඇති. කොහොමත් මේ වෙනකොට ඇගේ තුවාල දහයක් පහළොවක් හරි තියනවාමයි. හොඳ වෙන්නෙත් නෑනේ. එකම විදිහට බසිසිකල් පෙරලිලා එකම තැන් මයි ඇනෙන්නේ.

ටික කාලයක් ගියාම උඩින් පදින්න පුරුදු වෙන්න හිතෙනවා. යටින් පැද පැද හිටපු කෙනෙක් බයිසිකලේ උඩින් පැදගෙන යනවා දැක්කාම එදාට නින්ද යන්නෑ. ඒකට නම් කකුල් ටිකක් බිම තියෙන්න ඕනෑ. කකුල් දිග නැතුව පොල්ලට බැහැලා වමටයි දකුණටයි ඇඹරි ඇඹරි පදින කොට කියන්නේ මිරිස් අඹරනවා කියලා. කවුරු හරි  ඒක  කෑ ගහලා කියාපුවාම ඒකම ඇති පෙරලෙන්න. උඩින් පදින්න පුරුදු වෙද්දී ටිකක් ලොකු කෙනෙක් බයිසිකලේට නගින කොටයි බහින කොටයි අල්ලා ගන්න ඕනෑ. පොල්ලේ ඉදන් බයිසිකලේ පැඩ්ල් කරගෙන පළවෙනි රවුම පාගනකොටම සීට් එකට නැගගන්න ඕනෑ. ඊට පස්සේ ඇඟිලි තුඩු අගින් පාග පාග යනවා. පුරුදු වෙන කාලේ පොඩි කන්දක් වගේ තියනවා නම් එතනට ගිහින් බයිසිකලේ නැගලා නිකම්ම පහළට එනවා. සමහර වෙලාවට නිකම්ම බිමටත් වැටෙනවා. බ්‍රේක් අල්ලා ගන්න බැරි වුනොත් ඉස්සරහ දත් දෙක ෂුවර්. පරණ වුන බයිසිකල් වල බ්‍රේක් වදින්නේ නැති නිසා පෙරලෙන්න ඉස්සරලා පනිනවා.

උඩින් පදින්න පුරුදු වෙන කාලේ කකුල “පෝක්“ අස්සේ නොගිය කෙනෙක් ඉන්නවා නම්  ඒ කලාතුරකින්. ඒක බරපතල තුවාල ගෙන දෙන අනතුරක් පදින කෙනාට වගේම බයිසිකලයටත්. කකුලේ බාගයක් විතර ලෙලි ගිහින් කූරු පහ හයක් කැඩුනාම තමා කකුල අහුවුනා කියලා දැනෙන්නෙත්. ඒක දැනුන ගමන් බයිසිකලේ පෙරලෙනවා. එතකොට නම් ටික දවසකට බයිසිකල් පැදීමට තාවකාලික විරාමයක් දීලා ප්‍රධාන පාලක මැදිරියට යොමුවෙනවා.

නැවතත් සුපුරුදු වැඩසටහනට. පාර පුරා සිග් සැග් යන එක හරි යනවා සතියක් විතර බයිසිකලෙත් එක්ක ඔට්ටු වෙනකොට. ඒ වෙනකොට  හරියට සීට් එකේ ඉඳගෙන වට පිට බල බලා හුළං වැදි වැදී බයිසිකලයක් පදින්න පුළුවන්.

දහසක් බාධක මැද බයිසිකලේ පුරුදු වෙලා ඒ ශ්‍රාස්ත්‍රයේ කෙල පැමිණියාම  ලැගිජ් එකේ කවුරු හරි දාගෙන තව බයිසිකල් පොල්ලේ ඉස්සරහ  කවුරු හරි ඉන්දවාගෙන ඔය යන්නේ තුන්දෙනාම ඩබල් දාලා.........!

6 comments:

  1. පළමුවෙන්ම බෝහෝම ස්තූතියි බයිසිකල් පැදීමට. සුදු අරලිය කතා රසවත් වගේම බයිසිකල් පැදීම මම කියවපු පිටු වලින් මට හිතට, ගතට දැනෙන කතාවක්. මොකද මමත් තාත්තගේ රැලේ බයිසිකලය පැදලා කේෂාන්තයේ සිට පාදාන්තය දක්වාම හූර‍ගෙන තියෙනවා. අදටත් ඒ ලප කැලැල් නොමැකෙන මතක සටහන්. ඒ වගේම සතුටින් කියන්න ඕන ඒ බයිසිකලය තවම මම පදිනවා. ඒක පදින වෙලාවට රේණුගේ කතාව මතක් වෙලා හිනා ගිහිං බයිසිකලෙන් දොන්ත ගදං ‍නොවුනොත් පුදුමයි. නැවත වාරයක් ඔබට ස්තූතියි.....!

    ReplyDelete
  2. රැලේ බයිසිකල් හයිය නිසා තමා ජනප්‍රිය වුනේ. මම අවිවාදයෙන් පිළිගන්නවා ඒක. නැත්තං කොහොමද ඔයා වගේ කෙනෙක් පැදලා බයිසිකලය ඉතුරු වෙන්නේ. ඒ දවස් වල කෙල්ලෙක් ඉස්සරහින් පැදගන යද්දිම නේද කානුවට කැපෙන්නේ?

    ReplyDelete
  3. ඉතාම අලංකාර ලිපියක්. කෙලින්ම බයිසිකල් පුරුදු වෙච්ච අතිතෙටම යනවා.

    ඇයි අර බ්රේක් ගහන්න, ඇලේට තියෙන පොල්ල යට තියෙන කූර පාගන්නේ. ඒ දවස් වල සාමාන්‍යයෙන් ඒ කූර හෙනට වක්‍ර වෙලා තියෙන්නේ පාගලාම. ඉතිං ඒ හින්දා හැන්ඩ්ල් එකේ තියෙන බ්රේක් ලිවර් එක ඇද්දට පිටිපස්සේ බ්රේක් වදින්නේ බොහොම අඩුවෙන්.

    ඇත්තටම දැන් ඉන්න උන් බයිසිකල් යටින් පදින්නේ නැද්ද කියලත් හිතෙනවා. මොකද ඔය චිත්‍ර පටි වල සහ ටෙලි නාට්‍ය වල ඇරෙන්න යටින් පදින එක්කෙනෙක් දැකපු කාලයක් මතක නැති නිසා.

    බයිසිකලෙත් එක්කම මතක් වෙන්නේ වින්කලේ. වින්කලේ "සේන" අයියා තමා ඒ දවස් වල වීරයා. මම හිතන් උන්නේ මිනිහගේ බයිසිකලේ පදින්නේත් නැතුව ඉබේ යන්න හදාගෙන ඉන්නවා කියලයි.
    එත් එක්කම මතක් වෙන්නේ, බයිසිකල් ස්පෝක් වලින් හදපු බීරංග.

    ReplyDelete
  4. මට ඔය බ්රේක් කූර මතක් වුනා. ලියද්දි අමතක වුනා. අපට වෙන්නේ අන්තිම මොහොතේ බ්රේක් ගහන කොට වදින්නේ නැති එකනේ. එතකොට කකුලේ මාපට ඇඟිලි කරුවට දාලා කූර අදිනවා. ඒ වෙනකොට බයටම දාඩිය දාලා නිසා කූර තද කර ගන්න බෑ. අන්තිමට වැටුන විදහවත් මතක නෑ. මම පන්සලේ බෝක්කුව උඩින් ගියේ ඔය කූරට පින්සිද්ද වෙන්න.
    බීරංගය ගැන නම් මතක් කරපු එක හොදයි. පොඩ්ඩක් වත් මතකයක් තිබුණේ නෑ. ඒ වුනාට විශාල අමුද්‍රව්‍ය හිඟයක් නිසා ඒවා සිමා සහිතව පාවිච්චි කළේ.
    සේන අයියට සේන වින්කල් කියලා සම්පූර්ණ නම විදහට වුනත් පාවිච්චි කරන්න පුළුවන්

    ReplyDelete

  5. Thanks, Accepted your vebal comments. If you can post them, others will see. May be they are interesting than my posts

    Like · Reply · 15 hrs
    ..










    Upamali Gamlath Harima lassanai Renu

    Like · Reply · 11 hrs
    ..










    Renu Tennakoon Thanks upe. How can you find time to read?

    ReplyDelete
  6. few minutes read. How can you find time to write?

    upamali Gamlath

    ReplyDelete