Wednesday, August 12, 2015

පණු බෙහෙත්


 

මේ වචනේ ඇහුනාම පණුවන්ට වඩා දඟලන්නේ අපි.

ඒ කාලේ ගස් යට වැටුනු පළතුරු කන්න තහනමක් නෑනේ. අනිත් එක දවසට පස් පාරක් තියා එක පාරක් වත් අත හෝදලා කන්න ඕනෑ කියලා නියමයකුත් නෑ. කොහොමත් ගස් නැගලා කඩා ගන්න ගෙඩි හෝදන්න ගහෙන් බහින්න යෑ. පේර ගෙඩි කාගෙන යද්දී එක පාරටම ගෙඩියෙන් ලොකු කෑල්ලක් හැපෙනවා. අමුතු රහකුත් එන නිසා බලනවා. එතකොට පේනවා පණුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒක වීසි කරලා අළුත් එකක් කඩාගෙන කනවා. අඹ කනකොට නම් වෙන්නේ  අඹ ගෙඩියේ එක තැනකින් පොත්ත ඇරලා  බාගයක් විතර කාලා අනික් පැත්ත කන්න පොත්ත කටින් ඇදලා දාද්දී දකිනවා පණුවෝ සිලි සිලි ගාලා ඉන්න එක. එතකොට විසිකරලා අත් දෙක පිහ ගන්නවා. අලි පේර නම් කපලා තමා කන්නේ . එක බෑයක් කාලා අනික කන්න ඇටේ ගලවද්දී තමා දන්නේ පනුවෝ අනික් බෑයේ රටා ඇඳලා කියලා. කජු පූලම් වලත් කජු ඇටය ළඟ පනුවෝ. සමහර වෙලාවට කන්න මොනවත් නැති වුනාම පණුවන්ට කරදරයක් නොවන විදිහට පූලමෙන් බාගයක් විතර කාලා විසිකරනවා.

පණු අමාරුව එන කොට ඒක අඳුරා ගන්න පොඩි පොඩි ලකුණු එනවා. මූනේ සුදු පාට පුල්ලි මතුවෙලා නම් ඒක එක ළකුණක්. තව කෑම කන්න හොර වෙනවා නම් ඒක කිසිම සැකයක් නෑ පණු අමාරුව නිසා කියලා තීරණය වෙනවා. හවසට මේකේ ලියන්න බැරි තැනක් කසන්න ගන්නවා නම් ඒක කිරි පණුවෝ නිසා වෙන්නේ.එහෙම වෙලාවට අත් බේත් තියනවා. එරබඳු කොල මැල්ලුම හදලා දෙන එක එකක්. තව කරවිල කොලත් එක බෙහෙතක්. සාදික්කා නෑඹිලියේ ගල ගාලා දෙහි ඇඹුලුයි ලුණුයි එක්ක උදේ හිස්බඩ බොන එකත් අත් දුටුවයි සත්තයි. මේ මොන බෙහෙත බීවත්  පණු පෙති බොන එකෙන් බේරෙන්න බෑ.

නිවාඩු දෙන දවසට ගුරු දෙගුරු පොතේ ලියලා එවනවා නිවාඩු මාසයේ දී පණු බෙහෙත් දුන් බව දන්වා එවන්න කියලා. මේක ගෙදරට පෙන්නන්නේ නැතුව පොත් ගොඩ අස්සෙම ගහලා තිබ්බත් පණු බෙහෙත් බොන්න වෙනවා කියන එක මතක් වෙන ගානට බඩ දනවා. නොකීවත් අම්මලා දන්නවා මාස තුනකට සැරයක් පණු බෙහෙත් දෙන්න ඕන කියලා. ඒකට තෝරා ගන්නේ නිවාඩුවේ දෙවනි සතිය වගේ. දවස් දෙකකට කලින් තෙල් කෑම දෙන එක නවත්තනවා. ඒ වගේම පැයෙන් පැයට නිවේදනය කරනවා තව දවස් දෙකකින් බෙහෙත් බොන්න තියනවා කියලා. පොඩි කාලේ බෙහෙත් බොනවා කියන එක හරි අසාමාන්‍ය දෙයක්. දවස් දෙකක් තිස්සේ ඒ පීඩනයෙන් ඉඳලා  ඔන්න බෙහෙත් බොන දවස එනවා. ඒ වෙනකොට වැඩිය සීනි කන්න දෙන්නෙත් නෑ. වැඩිපුර පැණි රස කෑවහම පණු අමාරුව ඇවිස්සෙනවා කියනවානේ. ගෙදර ඉන්න ළමයි හැමෝටම එක දවසේ තමා බෙහෙත් දෙන්නේ. නැත්තං කෑමෙන් පරෙස්සම් කරන්නේ කොහොමද? මට නම් මතක අපි දවසට එක ගානේ පණු පෙති තුනක් බීවා කියලා. රෑට කෑම කාලා පණු පෙති බොන්න පෝලිමේ ඉන්නවා. ඉස්සරලාම පවුලේ ලොකුම ළමයා බිලා මූණ ඇඹුල් කරගෙන  ඉන්නවා. එතකොට පැණී රස කෑමේ සහ ගඩා ගෙඩි කෑමේ ආදීනව ගැන වැඩිහිටි දේශනයක් නොමිලේම පැවැත්වෙනවා.  මට නම් එපාම කරපු දේ තමා මගේ වාරේ එනකල් බලාගෙන ඉන්න එක . ඉස්සරලාම ගිහින් මොනවා වෙන්න හරි බීවා නම් බය වෙවී ඉන්න වෙලාව ඉතුරුයි. පණු බෙහෙත් බීලා ඉක්මනට නිදා ගන්න කියනවා. නිකං හරි ඇහැරලා ඉන්න හැදුවොත් “ළමයෝ පණුවන්ට අමාරුයි . කියන දේ අහලා නිදා ගන්න“ කියලා කියනවා. ඉතිං පණුවන්ට සනීප දැනෙන්නද අපි බෙහෙත් බොන්නේ?

දවස් තුනක් යනකල් මෙලෝ රහක් නැති කෑම තමා දෙන්නේ. ඇඹුල් කන්න තියා බලන්නවත් දෙන්නෑ. නිකං හරි පේර ගහ ළඟට ගිහින් ආවොත් “කෑවද පේර ?“ කියලා සැර කරලා අහනවා. ඉවසන්නම බැරි දේ තමා අහල පහළ අය ඇවිත් අඹ,  පේර , නාරං පෙන්න පෙන්නා කන එක. දවස් තුන ගියාම නම් පොඩි බුරුලක් ලැබෙනවා. ඒත් එක පාරටම තහනම් ලැයිස්තුවේ ඔක්කොම කන්න බෑ. ඇත්තටම පණු බෙහෙත් බීලා දවස් දෙක තුනක් ගියාම බඩගිනි දැනෙනවා හොඳට. වෙනදා වගේ කෑම ඉතුරු කරලා බැනුම් අහන්නේ නැතුව බෙදන ඔක්කොම කනවා. “පේනවනේ මොන පණුවෝ කන්දරාවක් බඩේ ඉඳලා තියනවාද? වැඩේ අනං මනං කන එකමනේ“ කියලා එතකොට බනිනවා.

සෙල්ලම් කරන්න ගියාම පණු බෙහෙත් බීපු ළමයි වීර ක්‍රියාවක් කරපු අය වගේ සලකනවා. කණ්ඩායමේ ඉන්න අනික් අයත් කොහොම හරි ගෙදරට කියලා පණු බෙහෙත් බීලා අනික් අයට සම වෙනවා. අපි වැඩිය ගණං ගත්තේ නැති වුනාට මේ පණු අමාරුවට සිංහල  සාහිත්‍යයේත් තැනක් තියනවා.

එන සිකුරාදා
කොකු පණු දොස්තර
එනවලු ළමයිනි
ඩුං, ඩුං, ඩුං!

එදාට නෑවිත්
සිටියොත් ළමයිනි
දඬුවම් දෙනවලු
ඩුං, ඩුං, ඩුං!

1 comment:

  1. matath podi kale mathak una me panu huta patayak kiyawanna gihin

    ReplyDelete