Friday, August 14, 2015

මහෝගනී


 

 

අගෝස්තු කියන්නේ ගොඩාක් පළාත් වලට පායන කාලයක්. අව්වත් සැරයි. ගොයම් කපන කාලේ නිසා වැස්ස ආවොත් කරදරයි. වියළි හුළඟත් එක්ක ගස්වල කොළ වෙනදා වගේ දෙගුණයක් වේගයෙන් වැටෙනවා. උදේ අතුගාපු මිදුල හවස් වෙනකොට වැහෙන්න තරම්  කොළ වැටිලා. කොළ හලන්න කියාපු ගහ තමා බුරුත. පුංචි පුංචි කොල වැටුනාම මිදුල අතුගාන වැඩේ තිත්ත වෙනවා. ඉදලෙන් කී පාරක්  අතු ගෑවත් කොළ යන්නේ නෑ. අනිත් ගස් වල කොළ මේ තරම් පුංචි නැති නිසා ඒ තරම් වදයක් දෙන්නේ නෑ.

අගෝස්තු මාසයේ කොළ හලන ගස් අතර මහෝගනී ගහ විශේෂයි.උසට උසේ හැදුන ගස් අතු පතර විහිදිලා පළාතම වැහෙන්න කොළ හලනවා. ගහකට මෙච්චර කොළ මොන එහෙකට තිබුණද කියලා . ඒ කාලෙට තමා මහෝගනී ගෙඩි පුපුරන්නේ. මහෝගනී ගෙඩියේ පොත්ත අඟල් දෙකක් විතර ඝනකම එකක්. ලීය වගේම හයියයි. ගෙඩි මෝරපුවාම කෑලි පහකට විතර පැලිලා පොත්ත බිම වැටෙනවා. ඇතුලේ තියන මහෝගනී බීජ හුළඟට කැරකිලා හැම තැනම විසිරෙනවා. සමහර වෙලාවට ගෙඩිය පිපිරිලා නැට්ටෙන් වෙන්වෙන්නේ නැතුව මලක් වගේ ඉහිරිලා ගහේම තියනවා. දුඹුරු පාට පොත්ත ඇතුලේ  ඇලිලා තියනවා තවත් පොත්තක්. දුඹුරු පොත්ත හොඳටම වේලෙනකොට ඒක වෙන් වෙනවා. ඒක එච්චර ඝනකම් එකක් නොවුනත් හරිම හය්යයි. වේලෙනකොට දෙකට මැදින් නැවෙනවා. ඒ විදිහේම ප්ලාස්ටික් හැඳි ජාතියකුත් තියනවා. අපි සෙල්ලම් ගෙවල් දානකොට හැඳි වලට ගන්නේ ඒවා.

මම මේ කියන කාලේ දරුණුවටම භීෂණය තිබුණ කාලයක්. හවස තුන විතර වෙනකොට ඇඟ සීතල වෙනවා. රෑ වෙනවා කියන එක මතක් කරන්න වත් කැමති නෑ. කොහෙමත් හවස හය වෙනකොට රෑට කාලා දොරවල් ජනෙල් වහගෙන කළුවරේ රහසින් තමා කතා කරන්නේ. කොහෙමත් ඒ දවස්වල නින්දක් කියල එකක් නෑ. එක දවසක් පාන්දර එකට විතර අඩි සද්දයක් විතරක් ඇහෙනවා. අපි හැමෝම හුස්ම ගන්න එකක් නතර කරලා අහගෙන හිටියා. ඒ ඇවිදින්නේ අපේ පේව්මන්ට් එක දිගේ. ඔන්න සද්දේ ඇහුන එක නතර වුනා. උඩට ගත්ත හුස්ම පහළට දැම්මා . දැං හුළං සද්දේ ඇහෙනවා. ආයමත් ටක් ටක් සද්දේ. කවුරු හරි අපේ ගෙදර  වටේ ඇවිදිනවා. කකුලක් උස්සලා අනික තියන්න බයයි. අපි තුන්දෙනා ඇඳවල් තුනට වෙලා කියන්න බැරි තරම් බයකින් එළි වෙනකල් හිටියා. දැං කවුරු හරි අපේ දොරට තට්ටු කරයි  කියන බයට උගුර කට වේලුණා. උදේ එළිය වැටෙන කල් ගෙවුවේ දිගම රැය. එළිය යන්තම් වැටුනාම අපි ගිහින් බැලුවේ කවුද රෑ ආවේ කියලා ? කිසිම ලකුණක් නෑ.

 එදා රෑ අගෝස්තු මාසයේ කුළුඳුල් මහෝගනී ගෙඩිය පැලිලා දුඹුරු පාට ලෙලි  අපේ පේව්මන්ට් එකට වැටිලා. හුළඟට සිමෙන්තිය උඩ අහාට මෙහාට විසිවෙන සද්දය තමා අපිට අඩි සද්දයක් වගේ ඇහිලා තියෙන්නේ.

3 comments:

  1. ඔබ තුමීට මතක නම් ඒකාලේ චන්දයක් ගැන ලිවීමට හැකි නම් හොඳයි.
    මොකද මේක චන්ද උණුසුම තියෙන කාලයක් නිසාත් අපි ආසයි 60 දශකයේ චන්ද විස්තර දැන ගන්නත්.

    ReplyDelete
  2. මට යන්තං වගේ මතකයි 88/89 භීෂණ කාලය. ඔය කියන 71 භීෂණ යුගයත් එච්චරම දරුණුද? අප්‍රේල් මාසේ නේද වැඩේ දරුණුවටම ගියේ?
    මම අහල තියෙන්නේ JVP අයට ඒකාලේ කිව්වේ "චේ ගුවේරා" කාරයෝ කියල.

    ReplyDelete
  3. මටත් හිතුනා . ටිකක් පහු කලේ මේ වගේ විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්න බ්ලොග් එකකින් මැතිවරණ ගැන ලීවාම එක් පාර්ශවයකට අගතියක් හෝ ප්‍රවර්ධනයක් වීමට හැකි නිසයි.( කරුණාකර මේ වචන මගේ වාග් මාලාව තුලින් මැ.කො. තමන්ගේ භාවිතයට එක් කරගෙන ඇති බව සලකන්න.)

    ReplyDelete