Friday, August 4, 2017

ඒ බරත් ඉවරයි...


නිවාඩු කාලේ පටන් අරගෙන දවස් තුනකට පස්සේ  කන්දක් උඩ පිහිටලා තියන ලස්සන බංගලාවට එක සීරුවට වාහන ඇ‍දෙනවා. අන්තිම ගේට්ටුව හදලා තියෙන්නේ  කළු ගල් වලින්. ඒක හරියටම බංගලාවේ බිත්තියට ගැලපෙනවා. දෙපැත්තේ ගානට කප්පාදු කරපු මල් පිරුණු ගස් දෙකක්. එතනින් එහාට වාහන ගන්න බෑ. හැමෝම එතන බැහැලා බංගලාවට ඇවිදගෙන යනවා. බෑග් ටික ගන්න වෙනම සේවකයෝ එතෙන්ට එනවා. පොඩ්ඩන්ට නම් බංගලාවේ කන්ද නගින තැන ඉඳලාම පයින් එන්න පුළුවන්. කන්ද වටේ රවුමට රවුමට පාර තියන නිසා අම්මලාට උඩ ඉඳගෙන බලාගෙන ඉන්න පුළුවන් ළමයි එනකල්.

වාහනෙන් බහින්න නෝනලාට ටිකක් අමාරුයි. දිග ගමනාන්තයක්. ගොඩක් වෙලාවට මහත්තුරු ඇවිත් බඳ පටිය ගලවලා උදව් කරනවා. අමාරුවෙන් දනිස් දෙක නවලා අරගෙන දොරේ එල්ලිලා බහින ගමන් කූඩැල්ලෝ එල්ලිලාද කියලත් බලන්න වෙනවා. තණකොළ අස්සේ කූඩැල්ලෝ එමට. හිමිහිට ඇවිද ගෙන යන ගමන් බලාපොරොත්තු පිරුණු මූණු වලින් බංගලාවේ වට පිට බලනවා.

ආපු පිළිවලට තමා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. කලින් මුදල් ගෙවලා ආපු අයට හරිම ලේසියි. එයාලව බංලාවේ ඇතුලේ අමුත්තන්ගේ කාමරේ තියලා තියන පොතේ තමන්ගේ විස්තර හරියට ලියලද බලලා අත්සනක් දාලා ඇවිත් එළියේ රතු පුටු වල වාඩි වෙනවා. එතකොට ඒ පවුලේ අයගේ උදේ කෑම වේල ලස්සන බන්දේසියක දාලා  හීනි හැඩ තරුණ ගෑණු ළමයි ඇවිත්  බොහොම උද්යෝගයෙන් දීලා යනවා. ඒ ගෑණු ළමන්ගේ හැඩ දැක්කම නෝනලාගේ හිත ඊටත් වඩා උද්යෝගෙන් පිරෙනවා.

මේ බර ශරීර බර අඩු කිරීමේ කඳවුරක්. අගනුවරින් ඈත සීතල පරිසරයක මාසයක් පුරා පැවැත්වෙන නේවාසික කඳවුරක්. හැබැයි කාන්තාවන්ට විතරයි. ඒ මාසේ ඇතුළේ ගෙදර යාම් ඊම් තහනම්. අනිවාර්යයනේම කඳවුරේ ආහාර පාන විතරයි. ටිකක් ලොකු ගාණක් තමා. ඒත් බර කිලෝ පහළවකින් අඩු කරලා දෙන එක ! ඒක ජීවිත කාලෙටම කරගන්න බැරි දෙයක් තනියම.
සමහර නෝනලා ආපහු හැරිලා යන අවස්ථාවලුත් තියනවා. ඒ වැඩසටහනේ විස්තර බලපුවාම ටිකක් හිත පසුබට වෙන නිසා. තමන්ගේ පුරුදු ජීවන රටාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයකට හැඩ ගැහෙන්න වෙනවට සමහර අය බයයි. ඉතිං බය නැති , ආපහු ළමිස්සියෝ වගේ ඇඟවල් හදාගන්න කැමති අය නවතිනවා. එයාලගේ මහත්තුරු දරුවොත් එක්ක ගෙවල් බලා යනවා මාසෙක බර හිතේ තියාගෙන.

ලියාපදිංචියේ දී ලොකු දෙයක් කෙරෙන්නේ නෑ.  ලස්සන මල් පිරුණ ඕකිඩ් කොටයක් ළග තියලා ෆොටෝ එකක් ගන්නවා. කොට දෙකයි ! මූලික විස්තර , රෝග වාර්තා ටික එකතු කරගෙන කට්ටියගේ බර මැන ගන්නවා. සමහර වෙලාවට  තරාදියේ කට්ට ඇඟ හිරිවට්ටන වේගෙන් දකුණට කැරකෙනවා. ඒ වෙලාවට තරාදිය උඩ ඉන්න නෝනගේ මූනේ හරිම කලකිරීමක් සටහන් වෙන්නේ. ඒත් එතන ඉන්න කාර්ය මණ්ඩලට නම් ඒක සතුටක්. මොකද ඒ නෝනා ගෙදර යන කොට ඔය කැරකුනු කට්ට වම් පැත්තට තමා බර වෙන්නේ!
මූලික වැඩ ඉවරයි. තමන් ඉල්ලපු කාමර වල යතුරු ලැබෙනවා. පුංචි පුංචි කාමර වෙන් කරලා හදලා තියෙන්නේ බංගලාවේ තේ වත්ත ඇතුලේ. හැම එකකටම පඩිපෙලක් නැගලා බහින්න වෙනවා. කැමති නම් දිග කොන්ක්‍රිට් පාර දිගේ ගිහින් යන්නත් පුළුවන්. ඒක ඈතයි. නුරුස්සන මූණින් සමහර නෝනලා කුෂන් කරපු පුටු වලින් නැගිටලා බාගෙට ඉවර කරපු කෑම බන්දේසි මේසෙන් තියලා තමන්ගේ කාමර වලට යන්න පටන් ගන්නවා.

දවල් එකට ආපහු පඩිපෙළ නැගලා බැහැලා කෑම කන්න එන්න වෙනවා. ඒක තියෙන්නේ එළිමහනේ. වැස්ස දවසට විතරක්  ඇතුලේ කෑම ලෑස්ති කරනවා. මුල දවස් ටිකේ කෑමට කට්ටිය ඇදිලා එනවා බලා ඉන්න ලස්සනයි. දැවැන්ත සතෙක් තමන්ගේ ගුහාවෙන් එනවා වගේ තමා පේන්නේ. බොහෝම හෙමින් . එහෙමත් කෙනෙක් තමා පඩි පහක් විතර එක දිගට නගින්නේ. කෑම විතරක් නෙවේ තේ බොන්න උනත් නියමිත තැනට එන්න වෙනවා. ප්ලේන් ටී එකක් බොන්න මේ තරම් මහන්සි වෙන්න කැමති නැති අය නෑවිත්ම ඉන්නවා. එහෙම වෙන්නේ මුල සතියේ විතරයි. කට්ටිය හොඳට යාලු වුනාම හැම වෙලේම එකට.
උදේ හය වෙනකොට උණු වතුර වීදුරු දෙකක් බීලා දවස පටන් ගන්නවා. හය හමාරට ව්‍යායාම කරන තැනට එන්න ඕනෑ හැමෝම.  උදේ පුරවලා කිරි වීදුරුවක් බොනකල් ඇ‍ඳෙන් බහින්න බැරි අයගේ මූණු වල තියන සිරියාව!  තද සීතල පින්න නිසා එළිමහනට යන්නෑ. මුලින්ම සැහැල්ලු ව්‍යායාම වලින් පටන් ගන්නවා. ව්‍යායාම වලට එන දෙන්නගේ ඇ‍ඟේ සැහැල්ලුව දැක්කම තම තමන්ගේ ඇගේ එල්ලෙන මේද තට්ටු අතින් හරි තද කරලා වහගන්න ගොඩක් දෙනෙකුට හිතෙනවා.  ශරීරය නමලා ව්‍යායාම කරන්න බැරි තරම් මහත අයට ව්‍යායාම උපකරන තෝරා ගන්න පුළුවන්. ඒත් හිත නැලවෙන ඇරොබික්ස් වලට නෝනලා ගොඩක් ආසයි. මුල පැය බාගෙන් පස්සේ විනාඩි තුනක් මහන්සි අරිනවා. ආයම පැයක් එක එක ඉරියව් මාරු කර කර ව්‍යායාම. පලවෙනි දවසේ බර අනුව කොටස් තුනකට කාණ්ඩය බෙදලා ඒ අනුව ව්‍යායාම ක්‍රම මාරු කරනවා. මුල ටික ඉවරයි. කැමති අයට තව ටික වෙලාවක් තමන් කැමති ව්‍යායාමයක් කරන්න පුළුවන්. ඒ වෙලාවට  යොදය රහිත කිරි වීදුරුවක් බොන්න අවසර තියනවා. නැත්නම් පොල් කිරි නැති කොළ කැඳ..
උදේ කෑම අරගෙනම කාමර වලට යන්න පුළුවන්. උදේ කෑමට ඕට්ස්, කඩල , නැත්තං පළතුරු .ඒකත් නියමිත ප්‍රමාණ විතරයි. ග්‍රීන් ටී එක අනිවාර්යයි.

ආපහු  උදේ දහයට පටන් ගන්නවා මයින්ඩ්  ඇන්ඩ් සෝල් වැඩසටහන. ‍ඒක මෙහෙයවන්නේ පළපුරුදු මනෝ විශේෂඥවරයෙක්. වැදගත්ම දේ තමා  එතන ඉන්න කාර්ය මණ්ඩලයේ හැම දෙනාම ඉතා ම හොඳින් තමන්ගේ සිරුරු පාලනය කරගෙන ඉන්න අය වීම. තමන්ගේ මානසික වියවුල් නිසා ශරීරය අසමතුලිත වෙන හැටි සහ ඒකෙන් තමන්ගේ රූපයට වෙන හානිය හොඳින් පැහැදිළි කරනවා. විවිධ මාතෘකා ඔස්සේ හැමදාම ඒ වැඩසටහනත් එයින් පස්සේ ‍පෞද්ගලික සාකච්ඡා වටයකුත් තියනවා. අර ‍පොදුවේ කතා කරනවාට වැඩිය පෞද්ගලික  කතා බහේදි ඇත්තටම ම‍නෝ චිකිත්සක ප්‍රතිකාර ලැබිය යුතු අයත් හම්බ වෙලා තියනවා.
උදේ වරුවේ වැඩ ඉවරයි. දවල් කෑම එක හමාර වෙනකල් තියනවා. කැමති අයට නාන කාමරෙන් හරි එළියේ ගල් ටැංකි වලින් හරි නාන්න පුළුවන්. අනිත් අයට පහළ දිය ඇල්ලට යන්න පුළුවන්. දෙවනි සතිය වෙනකොට නාන කාමර වලින් නාන අය නෑ. මහ කන්ද බැහැලා හැමෝම දිය ඇල්ලේ දිය කෙළියේ.

මුල දවස් දහයේ දවල් කෑමට බත් නෑ. එළවළු සලාද, තම්බපු එළවලු , සුප් සහ විවිධ විධියට තම්බපු , ග්‍රිල් කරපු මාලු ජාති. ඒත් ප්‍රමාණය ඉක්මවන්න බෑ. ඒ දවස් ටිකේ කිරිම පිරියක් නැතුව කෑම කන්නේ හැමෝම. වැඩි සීමාවක් නොකර ලැබෙන පළතුරු නිසා හිත හදා ගන්න පුළුවන්.

හවසට යෝග වැඩසටහනකුයි , භාවනා වැඩසටහනකුයි  තියනවා.  කැමති දෙයක් තෝරා ගන්න පුළුවන් .මේ දෙකෙන්ම කරන්නේ තමන්ගේ අරමුණ වෙනුවෙන් හිත පුහුණු කරන එක. මොකද මෙතන ඉන්නේ තමන්ගේ  ජිවිතේ සැප ම ලං කරගෙන තරබාරු බවින් පෙළෙන අය. එයාලට කැපවීම් කරන්න ටිකක් අපහසුයි. තාවකාලික දුකක් විඳින්නවත් හිත හදාගන්න අමාරුයි. නමුත් මේ කඳවුරේ අරමුණට ළං වෙන්න ඒ කැපවීම සියයට සියයක් අවශ්‍යයි. මොකද මාසයක් ඉවර වෙනකොට ඒ නියමිත බර අඩුවෙලා නැත්නම් ගත්ත සල්ලි ටික ආපහු දෙන කොන්දේසිය උඩ තමා කට්ටිය කඳවුරට එන්නේ. ඒ හින්දා පුංචි අතපසු වීමක් වත් නොවී හැම කෙනෙක් ගැනම විශේෂ අවධානයකින් කඳවුරේ වැඩ කෙරෙනවා.

ඒ වැඩ සටහන් දෙක ඉවර වෙලා හැමෝම සැහැල්ලු ගමනක යෙදෙනවා කඳු දෙක අතර . එක රවුමක් කිලෝ මීටර තුනයි. ඒක මොන අමාරුවෙන් හරි යන්න වෙනවා මොකද ගියපු තැනට එන්න වෙන්නේ ඒ රවුම ගහලා මයි. ඒ වෙලාවට පරිසරයේ ලස්සනට කොළඹ නෝනලා වශීවෙනවා. ඒකම තමා තියන පෙළඹ වීමත්. නැත්නම් සැපට හිටපු එයාලට ඒ දවස අන්තිම පැය කීපය හරිම මන්සියි. ගෙදර නම් අතට පයට සේවකයෝ සමහර අයට.  ගොඩක් අය විශේෂ හේතුවක් නැතුව රවුම් දෙකක්ම යනවා. සමහර වෙලාවට කතාව නවත්තන් වෙනවට වඩා රවුමක් යන එක හොඳයි කියලා හිතන අයත් ඉන්නවා ඇති . ඒකයි. කතාව ගමනට ඉණිමගක් නොවැ!

හවසට ගිහින් ඇඟ පත හෝදා ගත්තම ගොඩක් අයට ආපහු එන්න කම්මැලි රෑ කෑමට. කෑම කිව්වට මාළු පෙත්තයි , සුප් එකයි. නමුත් ඒක අනිවාර්යයි. රවුම් දෙකක් ගහපු අය එහෙම්ම කෑම අරගෙන කාමර වලට යනවා. අනික් අය සැහැල්ලු ඇඳුමින් ඇවිත් කෑම අරගෙන එතන තියන සඟරාවල එක මිටට ඉන අල්ලන්න පුළුවන් ගෑනු ළමයින්ගේ ඇඳුම් විලාසිතා බලනවා. තව සති කීපයකින් තමන් අඳින්න බලාපොරොත්තු වෙන ඇඳුම්.

දෙවනි සතියත් ගියාම හැමෝම වගේ වැඩ සටහනට ඔරොත්තු දෙනවා. වෙනදට වඩා ව්‍යායාම වැඩියි. අහාර පාලනය තිතට. බැලූ බැල්මට ඇගේ වෙනස් කම් පේනවා. තරාදියත් කිරි කිරි ගාන්නේ නෑ නැග්ගම. මුල දවස්වල ගස් යට වැටිලා නරක් වුන පේර දැන් ගැට වෙද්දිම ඉවරයි. හරිම ඉක්මනට හිත හැදෙනවා එළවලු , පළතුරු විතරක් කන්න. කිලෝ මීටර දෙකක් පයින් ගිහින්  පල්ලහා ෆාම් එකෙන් පළතුරු ගන්න අවසර ලැබෙනවා හැමෝටම  දෙවනි සතියේ ඉඳන්.  හැබැයි අලිපේර , කෙසෙල් හොරෙන් වත් කන්න බෑ. ‍ලොවි ගෙඩි පහක් දවසට අනිවාර්යයි. ඒ කෑම දිරවන එක ලේසි කරන නිසා.

තුන්වෙනි සතිය වෙනකොට ආසාවට කවුරුත් පුටු උඩ නෑ. එක්කෝ නෙට්බෝල් නැත්තං බැඩ්මින්ටන් නැත්තං දොලේ පිහිනුම්.  රෑට ෆයර් කෑම්ප්. ඇති වෙන්න සින්දු කියන්න , නටන්න පුලුවන් . මදි පාඩු සංගීතයට සීතලේ පින්නේ තෙමෙන ගෙම්බෝ කෑ ගහනවා.  කොළඹ දී නම් බාර්බක්‍යු නයිට් එකක දී මොන තරමක්  තෙලුයි පිටියි ශරිරයට බස්සා ගන්වද කියලා හැමෝම කතා වෙනවා. ඒ වෙනකොට ඒ කෑම දැක්කත් අරගෙන කන්න බෑ. ඒකට මනස හදලා ඉවරයි.

අන්තිම සතියේ යන්න දෙනවා ළගම තියන ටවුන් එකට . ඒ අළුත් ඇඳුම් ගන්න . එකකොට ගෙනාව ඒවා ගොඩක් බුරුල්. තමන්ගෙ ඉන මනින නෝනලා කෑ ගහන්නේ පුදුම සතුටින්. ඒත් ඇඳුම් දෙකකට වඩා ගන්න එපා කියනවා. ඒ අනිත දවස් හයේදි තව ගොඩාක් බර  අඩුවෙන නිසා.

කඳවුරේ අන්තිම දවසට කලින් දවස. හැමෝගම අතර පෙර / පසු කියලා ෆොටෝ එකක් ලැබෙනවා. පෙර කියන්නේ කඳවුරට ආව දවසේ ගත්ත ‍ෆොටෝ එක. පසු කියන්නේ කලින් දව‍සේ අන්තිම වැඩසටහනේ දී ගත්ත එක. ඒ ‍පසු ෆොටෝ එකේ නොවැරදීම තියන ලක්ෂණ දෙකක් තියනවා. එකක් බොහොම හැඩැති සිරුරක්. අනික ප්‍රීතිමත් හිනාවක්. මේ දෙක ජීවිතේ හැමදාම තියාගන්න විදිහ අන්තිම දවසේ හිතේ පතුළටම දානවා. ඒ වෙනකොට කඳවුරෙන් ලබපු ශික්ෂණයයි, අත්දැකීමයි නිසා තමන්ට ලැබෙන දේශනයේ හැම අකුරකම ඇති වැදගත් කම අවබෝධ වෙනවා. මෙච්චර කැපවීමක් කරලා ලබා ගත්ත දෙයක් නැති කරගන්න අකමැති කව්ද?

අන්තිම දවස......

උදේ නමය වෙනකොට තමන්ගේ බෑග් ඇදගෙන පාර දිගේ කඩිසර ගමනින් එක නෝනලා ටිකක්. වෙනදාට නම් මහත්තුරුන්ට ඇගේ හැඩයෙන් කියන්න පුළුවන් අර ඈත එන්නෙ මගේ නෝනා කියලා.  ඔක්කොමලා දැං ළමිස්සියෝ ව‍ගේ. අර යාළුවෙලා ඉන්න කාලේ වගේ. මහත්තුරු එක එක්කනා හොරෙන් තමන්ගේ මහත අතපය, ඉදියට ආව බඩවල් දිහා බලනවා.

හැම විදිහටම ලස්සන වුන නෝනා කෙනෙක් ඇවිත් තමන්ගේ දරුවො මහත්තයා ඉස්සරහා හිනා වෙලා හිටගන්නවා. ඒ හිනාව දැක්කම මහත්තයාගේ හිතේ තිබ්බ බර නෝන‍ගේ අඩු වෙච්ච බරට සමානවම නැතිවෙලා යනවා.

මාසෙකට කලින් අමාරුවෙන් කඳු අද්දපු වාහනේ හරිම පහසුවෙන් කොළඹ බලා පිටත් වෙලා යනවා.

ඒ බරත් ඉවරයි.


(සැ.යු. මගේ හඳහන බලපු දෛවඥයෙක් කිව්වා මහ ධන යෝගයක් මට තියනවා කියලා. මට කෝටි ගානක ලොතරැය්යක් ඇඳු‍නේ නැත්තං එතුමා ප්‍රසිද්ධියේ වෙඩි තියාගන්නවා කිව්ව නිසා මම ඒක ඇත්ත බව විශ්වාස කරනවා. මේ ලියලා තියන්නේ ඒ සල්ලි යොදවලා කරන්න යන WEIGHT LOOSING CAMP එක ගැන. වැඩේ ස්ථිරයි. හැම නිවාඩු කාලෙකම‍ කෙරෙනවා. දැං තියා රෙජිස්ටර් වෙන්න පුළුවන් ගාස්තුවෙන් බාගයක් ගෙවලා. ලයික් කිරීම පණමක් මූලික වටයේ රෙජිස්ටර් කටයුතු සඳහා සෑහේ)