Monday, January 23, 2017

ධනපති පන්තිය




අබේරත්න මේසේ උඩ තිබුණ කෑම පෙට්ටි දෙක පරෙස්සමින් ඩිකියට දා ගත්තා. සර් කෑම එක  කොටු වැටුන දිස්නේ ගහන සර්වියට්  එකකින් බැඳලා තියනවා. ඉරි  තියන සාමාන්‍ය සර්වියට් එකකින් බැඳලා තියෙන්නේ අ‍බේරත්නගේ කෑම එක. මේක අබේ ආව දවසේ ඉඳලාම වෙනස් නොවෙන දෙයක්. අමාත්‍යාංශයෙන් සර් ට දීලා තියන රියදුරු තමා අ‍බේරත්න. එයා මීගොඩ ඉඳන් බස් එකේ ඇවිත් ‍කොට්ටාවෙන් බැහැලා සර්ගේ ගෙදරට යනවා හත වෙනකොට. හත හමාරට සර් ව කාර් එකේ  දාගෙන අමාත්‍යාංශෙට යනවා අට හමාර  වෙන්න කලින්. ආපහු ගෙදර එන වෙලාව නම් කියන්න බෑ. වැඩ ඉවර වුනාම , රැස්වීම් ඉවර වුනාම තව කොන්ෆරන්ස්, සෙමිනාර්, හදිසි සාකච්ඡා ඉවර වෙලා තමයි එන්න වෙන්නේ.


මීට කලින් අබේරත්න වැඩකරපු තැන සර් නම් හතර හමාර වෙනකොට ගෙදර එන්න පිටත් වෙනවා. ඒ‍ත් අතර මගදී අ‍බේ දහ පොළක විතර බැහැලා බඩු එකතු කරනවා. අඳුරන කෙනෙක් හම්බ වුනොත් කියන්නේ එ් ගෙදර වැඩට ඉන්න මනුස්සයාට සනීප නැතුව අද බඩු ගන්න එයා ආවා කියලා. එහෙම කරලත් ගෙදර ගියාම බේබිලාගේ ඉස්කෝ‍ලේ වැඩ වල ගේන්න කියපුවා හදලා දෙන්න වෙනවා. නැත්තං පන්ති ඉවර වුනාම එයාලව  ගේන්න යන්න වෙනවා. එපාම කරපු දේ තමා ඒ ගෙදර පාටියක් තියන දවසට ඇවිත් උදව් වෙන්න කියන එක


“ තමුසේ ඩ්‍රයිවර්නේ  බොන්න එහෙම ලෑස්ති  වෙන්නෑ..” පරණ සර් කියනවා.


මදිවට බයිට් එකක්වත් නෑ. රෑ දෙගොඩ හරියේ පාටිය ඉවර වුනාම වෙරි වෙච්ච මහත්තුරු ගෙවල් වල ගිහින් දාලා ආපහු යන්න පිටත් වෙන කොට ඔය ඉතුරු බිතුරු දාලා හදලා දෙන බත් එක දික්  කරන කොට අබේට දැනෙන කේන්තිය කියන්න බෑ.


අපරාදේ කියන්න බෑ දැං සර් ෙග් ගෙදරින් නම් උදේ කෑමත් දීලා, දවල් කෑමත් දීලා ගොඩක් රෑ වුන දවසට රෑටත් කන්න දීලා තමයි අබේව ගෙදර යවන්නේ. අබේ තනිකඩයා. අම්මාත් ගොඩක් වයසයි. පාන්දර නැගිටලා උයන්න අමාරු නිසා ඉස්සර අබේ කෑවේ කඩෙන්. දැං සර් කෑම දෙන නිසා පඩියෙන් සෑහෙන ගානක් මාසේ අන්තිමට ඉතුරු වෙනවා.



දවල්ට කෑම කන්න අමාත්‍යාංශෙ ඩ්‍රයිවර් ලා ඔක්කොම එකතු වෙනවා කැන්ටිමට. ඕපාදූප දැනගන්න කියාපු තැන. ගෙවල්වල ඒවයි, ඇමතිතුමාගෙන් සර් ලා බැනුම් අහපුවයි, සර් ලගේ රට සවාරියි ඔය හැමදේම දන්න අය තමා ඩ්‍රයිවර් කියන්නේ. සමහර සර් ලා ගැන කියන කතා අහපුවාම නම් ටයි කෝට් දාගෙන ආවට වැඩක් නෑ කියලා හිතෙනවා. ඇයි මෙතන ඒ ඔක්කොම ගලවනවනේ. මේ කතා බොහොම උනන්දුවෙන් අහගෙන ඉදලා ඔෆිස් එක පුරාම ඒවා පතුරන කොටසකුත් ඉන්නවා. තමන්ට නිවාඩු අනුමත නොකරපුවාම, හොර නිවාඩු පොතේ දාන්න කීවාම නැත්තං කෑමට ගිහින් හරියටම පැයෙන් ඇවිත් ඉඳගන්න කිවාම සර් ලට විරුද්ධව කියන්න දෙයක් තියෙන්නත් එපැයි!



අබේරත්න වැඩිය මේ කතා වලට හූමිටි තියන්න යන්නෑ. අනිත් අය කියන්නේ සර් ෙග්  රස්නේ වැදිලා කියලා. පිළිවෙලකට ජීවත් වෙන අයට ටිකක් අනික් අයගේ අකමැත්තකුත් තියනවනේ.  ඒ කොහොම වුනත් බත් එක දිගෑරගත්තම නම් නොවැරදීම ළං වෙන කීප දෙනෙක්ම ඉන්නවා. ඒ කාගේවත් කෑම එකක් අබේට හම්බවෙන බත් එක තරම් සරු නෑ. ළං වෙන අය බත් එකට අතදාලා මාලු කෑල්ලක්  හරි මස් කෑල්ලක් හරි ගන්න ගමන් තමන්ගේ බත් එකේ මෙ‍ලෝ රහක් නැති මොකක් හරි  වෑංජනයක් අබේගේ බත් එකට හලනවා. සර්ලගේ ගෙදරින් බොහොම පිරිසිදුව හදලා දෙන කෑම එකට එක එකා ඇඟිලි ගහන්න පටං ගත්තම  බඩගින්නත් අතුරුදහන්. අන්තිමට අනිත් අයට කන්න ඇරලා අබේ නැගිටිනවා කෑම එක දාලා. අනිත් අය ඒ කන ගමන් අබේට තුන්වේල ඒ ගෙදරින් කන්න හම්බවෙන එක ගැන ඇනුම්පදත් කියනවා. නොවැරදි ම සොයිසා ඒ කියන්නේ  ලේකම්තුමාගේ ඩ්‍රයිවර් තැන එතන ඉන්නවාමයි. මිනිහට කියන්නේ හැකර සොයිසා කියලා. ඕනම කෙනෙකුගේ කෙන්දක් කන්ද කරලා ගන්න උපන් හපන් කමක් තියන පුතයෙක්!



“ඈ අබේ ... උඹට කරවල දීලා සර් ලා නම් කනවා ඇති තෝර මාලු.... මොකද්ද මචං බල්ලට දාපන්කෝ මේ කෑම එක”



හැකර  සොයිසා එහෙම කියන්නේ හොඳම කරවල කෑල්ල අරගෙන තමන්ගේ දිය හොදි බත් එකට දාගන්න ගමන්.



කෑම එකේ  මාළු තිබුනොත්

 “මොකද්ද අබේ උඹලට කටු මාළු දීලා මහත්තුරු හොඳ කෑලි කනවා ඕක තමයි පාලක පන්තිය හැමදාම කරන්නේ. අපට  හැමදාම පිඩනය තමා”  කියනවා.


  දවසක බත් එකට එබිලා එදාට බිත්තර තිබුණෝතින් අබේට කුකුල් මස් නොදී ලාබ බිත්තරයක් දිලා කියනවා.



“ සහෝදරයා, උඹලට නාඩු හාල් කවලා සුපිරි පන්තිය බාස්මතී කනවා....මේක තේරුම් ගන්න බැරිතාක් උඹ‍ට වෙන්නේ ඔතනට කඹුරන්න...”



ඒවට උල්පන්දම්  දෙන්න කට්ටිය ඕන තරම්.



“ හැබෑව. ඔය ගෙවල් වල ඩ්‍රයිවර්ලට, වැඩකාරන්ට වෙනම උයනවා. වෙනම කියන්නේ ඔය සෙකෙන්ඩ් කොලිටියේ ඒවා...”



තමන්ටත් එහෙම වෙනවද කියලා අබේ මතක් කරනවා. ගමෙන් ගෙනාව දෙයක් වුනත් තමන්ට කොටසක් සර්   ගේගෙදරින් ලැබෙනවා නේද කියලා හිතට එනවා. හිතා මතා තමන්ට වෙනස් කමක් කරලා සලකලා නැති බව තමා  දැනෙන්නේ. ගෙදර ඉන්න අනිත් සේවකයන්ට වුනත් සැලකිල්ලේ වරදක් කවදාවත් අබේ දැකලා නෑ.


ඒත් සොයිසලා මෙච්චර මේ කියන්නේ එයාලගේ අත්දැකීම් නිසා නේද? තමන් උදේ සුක්කානම කරකවන්න පටං ගත්තම සමහරදාට රෑ දොළහ වෙන‍කොටත් ඒකෙන් නිදහසවෙලා නෑ නේද කියලා අබේට දැනෙන්නෙ ආත්ම අනුකම්පාවක් එක්ක. සර් ට නගින්න  බහින්න දොර අරින්න , බෑග් එක ඔෆිස් එකට අරං යන්න, අර තදබදේ එක සීරුවට වාහනේ ගාවන්නේ නැතුව ගෙනියන්න ඉන්න මට සලකන්න ඕනෑ තමයි අබේට හිතෙනවා. අපිත් මනුස්සයෝනේ. අපි දෙන්නම රජ‍යේ  සේවකයොනේ.



“සහෝදරයා අපි මහජන සේවකයෝ. හැමෝම බදු සල්ලි වලින් පඩි ගන්නේ. ඒකට පන්ති බේදයක් නෑ”



 හැකර සොයිසා කියන කතාවත් ඇත්ත තමා.



ඇත්තට හිතුවොත් අපේ ශ්‍රමය සූරා කනවා කියන්නේ මේක තමා. මම මේ වාහනේ කරකැව්වේ නැත්තං කොහොමද සර් මෙතෙන ඉන්නේ. අබේගේ හිත සැරෙන් සැරේ වෙනස් වෙනවා. එදා නම් හිත නරක් වෙලා තිබුණේ ටිකක්. කලින් දවසම සුද්දන්ගේ මිටින් ඉවර වෙනකල් හෝටලේ රස්තියාදු වෙවී ඉන්න වෙච්ච එකට. අනික් අය කැන්ටිමට වෙලා කකා බිබි කතා කර කර ඉන්නවා ඇති කියලා අබේට හිතුණා . එක අතකට මටත් පූල් එකේ ඩ්‍රයිවර් වෙන්න තිබුනේ. සොයිසත් ඔය කියන්නේ ලේකම්තුමා එන්න දෙන්නේ නෑ මිසක් නැත්තං එයා පූල් එකට එනවා කියලා.



“අබේරත්න සහෝදරයා මම කියනවට එක දවසකට ලොක්කගේ කෑම එක අරං බලනව‍කෝ. තමුසෙට එදාට පෙනෙයි ධනපතියන්ගේ ජිවිත දර්ශනය. ඔය.. කියනකොටත් තමුසේ බයයි. මේ මානසිකත්වය අපි අවබෝධ කරගත්තේ නැත්තං කිසි දවසක අපට විප්ලවයක්  ........................”



සොයිසා කතාව නැවැත්තුවේ අබේ නැගිටලා යන්න ගියපු නිසා.



එදා අබේගේ‍ හිතෙත්  මේ විප්ලවීය වෙනස වුනා. සර් කාර් එකෙන් බැහැලා ගියාට පස්සේ එයා තමා කෑම එක ලන්ච් රෑම් එකෙන් තියන්නේ. අබේ හිමිහිට කෑම පෙට්ටි දෙකේ සර්වියට් මාරු කලා. එදා පීඩිත පන්තියෙ කෑම එක ගියා ධනපතියන්ගේ කාමරේට.



දවල් කෑම වෙලාවෙදි අබේ ඉඳගත්තතේ සොයිසට කෙලින්ම පේන මේසෙක. විප්ලවය පටන් ගත්ත හිතේ සතුටත් එක්කම කෑම එක ඇරියා. අබේගේ සතුටු මූණ දැකලා සොයිසත් පුටුවෙන් පැනලා වගේ එතෙන්ට ආවා. හිමිහිට දැවටුම ඇරුණා. රතු හාල් බත් හැන්දකුයි, තම්බපු බිත්තර සුදු මද දෙකකුයි, කැරට් අලයකුයි , මිරිසට උයපු මාළු කෑල්ලකුයි  ධනපති පන්තියේ දවල් කෑමට තිබුණා.

Saturday, January 14, 2017

සර්ප්‍රයිස් පාටි


අවුරුද්දේ අන්තිම දවසේ හෝටලයකට එකතු වුන යාළුවෝ කට්ටියක් පුරුදු විදිහට තමන් අවුරුද්ද ගෙවපු විදිහයි ලබන අවුරුදේ බලාපොරොත්තු ගැන කතා කරා. මේක අවුරුදු ගනණාවක් පුරාම වෙන දෙයක්. පවුල් පිටින්ම එකතු වෙන නිසා හැමෝම එදාට විනෝදයක් ලබනවා.

පුරුදු විදිහට ළමයි එකතු වෙලා‍ සෙල්ලම් කරනවා. හෝටලයේ වත්ත ළමයි වෙනුවෙන්ම නඩත්තු කරලා තියන එකක් නිසා අම්මලාටත් වද වෙවී ළමයි පස්සේ ඉන්න දෙයක් නෑ. ඒ හින්දම එයාලා නිදහසේ කතා බහ කරගෙන ගියා. ඒ හින්දම මහත්තුරුත් නිදහස්. නැත්තං ළමයි බලලාම හෙම්බත් වන නෝනලා රවන්න පටං ගත්තම, අහන දේවල් වලට නොරිස්සුමෙන් උත්තර දෙන්න ගත්තම, මහත්තුරුන්ට ඇනුම් පද කියන්න පටං ගත්තම අර බොන බීමත් තිත්ත වෙනවා ආව ගමන වගේම.

නෝනලා ටික බොහෝම පොඩි  මාතෘකා වලින් පටං අරං දිග සංවාද වලට එකතු වෙනවා. මොන තරාති‍රමේ ජීවත් වුනත් එකම ජාතියේ අත්දැකීම් තමා එයාලට තියෙන්‍නේ. මේ කතාබහ ටිකකට හරි  බාදා වෙන්නේ ඉඳලා හිටලා කේලමක් කියලා යන්න එන පොඩි එකෙකුගෙන් හරි, බොරුවට තමන්ගේ නෝනට අවධානය පෙන්නන්න  මේසෙන් මොහොතකට නැගිටලා එන මහත්තයෙක්ගෙන් හරි විතරයි.

“ආ.... අපට කිව්වේ නෑ ‍නේද මේ සැරේ උපන් දිනේ?”  කාන්තා සංගමයට අර කිව්ව විදිහට කඩා වැටුන මහත්තයෙක් එක නෝනා කෙනෙකුගෙන් ඇහුවා. ඒ නෝනා තමන්ගේ උපරිම දායකත්වය  සාකච්ඡා වටයට ලබා දෙන කෙනෙක්. ඒ වගේම හැමෝගෙම අවධානය ලබන කෙනෙක්.

ඒ ප්‍රශ්නෙත් එක්ක නෝනගේ පැහැපත් මූණ තවත් පැහැපත් වුනා. කටහඩ  තවත් ප්‍රීතිමත් වුනා.

“ ආනේ අපේ විකී කිවේ නැද්ද අපි සෙලිබ්‍රේට් කරපු විදිහ?” එයා ඇහුවා.           

“නෑ... රටවත් ගියාද?”

“ නෑ  අය්යෝ ... එයා සප්‍රයිස් පාටියක් දුන්නා මට”

“අනේ විකී නම් හරිම රොමෑනිටික් ! කියන්‍නකෝ ඒ ගැන” නෝනලා මැඩ ගත්ත  ඉරිසියාවෙන් තමන්ගේ යෙහෙළියට බල කලා.

“එදා පුතාලා උදේම ප්‍රැක්ටිස් අරං ගිය නිසා විකීට වෙලාවක් තිබ්බේ නෑ විශ් කරන්නවත්. මට ටිකක් තරහත් ගියා ඒකට. මොකද මට පස්සේ හරි  කෝල් කරලා වත් එහෙම කරන්න  තිබුණානේ. ඔෆිස් එකේ යාලුවෝ අහන කොට මොනවද මහත්තයා තෑගි දුන්නේ කියලා මට  ලැජ්ජත් හිතුනා. එයා දවල්ට පොඩි පුතා අරං ඇවිත් මට කෝල් කරයිනේ කියලා හිතුවත් එහෙම කලෙත් නෑ. මට හරි කේන්තියි. මම වරුවෙන් ලොකු පුතාවත් අරගෙන ගෙදර ආවා. එයාලට එදා රෑ ඉස්කෝලේ ස්කවුට් කෑම්ප් එකට යන්න තිබුණා. විකී හවස ගෙදර ඇවිත් කිසි කතාවක් නැතුව පුතාලා දෙන්නා ඉස්කෝලෙට දාලා ආවා. ඇත්තටම මට ඇඩෙන්න තරම් දුකයි. මගේ උපන් දිනෙත් එයාලට කිසි වැඩක් නෑ. විකී ටිකක් කලබලයෙන් තමා ගෙදර ආවේ . ගෙදර එනකොට ලයිට් ගිහින්. එයා ඇගපත හෝදගෙන කළුවරේම බැල්කනියේ ඉඳලා මට කෑ ගහලා කීවා එයා පොඩ්ඩක් එළියට ගිහින් එනවා එනකොට කෑම  අරං එන්නං කියලා. මට එතකොට හිතුණා ලයි‍ට් නැතිවුන එකත් හොඳයි කියලා.විකී  ඉක්මනට ආපහු ආවා. ඇවිත් කිවා අද කෑම එළියට ගිහින් කමු, ලෑස්ති වෙලා එන්න කියලා. මම ලෑස්ති වෙලා එනකොට එයා බොහොම සැහැල්ලුවෙන් හිනා වෙලා කීවා අද අපි දෙන්නා පයින් යමු කියලා. මටත් පුදුමයි. අඩි දෙකක්වත් පයින් යන්න බැරි කෙනා. අ‍පේ ගෙදර ළඟ ඉඳලා කෙටි පාරක් තියනවා ටවුන් එකට. ඒ පාර දිගටම ගස් නිසා දවල්ටත් සීතලයි . හරිම නිස්කලංක පාර. ලයිට් නැති නිසා  යන්තමින් පාර පෙන්නේ. ඈත පත්තු වෙන ලචයිට් පේනවා පුංචි තිත් වගේ. මහපාරේ යන වාහන වල එළි එක දිගට වැලක් වගේ පුංචියට  පෙනුනා. පාර දිගටම රතු පාට මැයි මල් වැටිලා. අපි දෙන්නා ‍ගොඩක් කාලෙකට පස්සේ මේ වගේ  ඇවිදගෙන ගියේ. ඇත්තටම මගේ හිතට හරි සැහැල්ලුවක් දැනුනා. ඒ පාරේ කෙලවරේ තියෙන්නේ මම ආසම කරන රෙස්ටොරන්ට් එක. අපි දෙන්නා ඇවිදගෙන ගියේ ඒකට . එතන කොනේම මේසේ පුංචි ඉටිපන්දම් පත්තු කරලා තිබුණා. ඉටිපන්දම් මැද මල් පොකුරකුයි, තෑග්ගකුයි තිබුණා. හෝටලේ වේටර් ගෙනාව පොඩි කේක් එක කපලා ඉවර වුනාම විකී මට විශ් කරලා කීවා එයාට මාව සර්ප්‍රයිස් කරන්න ඕන වුනා කියලා. පුතාලත් කතා කරලා ඇහුවා අම්මිගේ සර්ප්‍රයිස් පාටි එක කොහොමද  කියලා.

“ප්ලසන්ට් සප්‍රයිස්!” එතන හිටිය නෝනලා කෑ ගැහුවා.

“ඔව් අනේ විකී මම ගැන කොච්චර හිතලද? එයාට මාත් එක්ක තනිවෙන්න ඕන වෙලා තිබුණා කියලා මට ‍තේරුණා. කොනේ මේ‍සේ  සාමාන්‍යයන් ඉඳගන්නේ ලවර්ස්ලා. එතන තියෙන්නේ පුටු දෙකයි. ඉටිපන්දම් එලියයි, අඳුරයි නිසා හරිම රොමෑන්ටික් . සතුට වැඩිකමට මම ගොඩක් කතා කළා. විකී කාලෙකට පස්සේ ඒ කියන්නේ අපි යාළුවෙලා ඉන්න කාලේ වගේ මට ගොඩක් ඇහුම්කන් දුන්නා. අපි ගෙදර ආවෙත් පයින්. ඒ වෙලාවේ  පුංචි සිරි සිරි ‍වැස්සක් වැටුනා. මට ඒ හැමදේකින්ම අපේ අතීතේ මතක් වුනා . ගෙදර ඇවිත් ලා හඳ එළියේ අපි නින්දට වැටුනේ. ඇත්තටම විකී මාව අළුත් කළා............”

“ආනේ....විකී කොච්චර ආදරේ ඇතිද? ඔයා නම් හරිම ලකී” නෝනලා හැමෝම කීවා.

සංගමයට කඩා වැදුන මහත්තයා බලං හිටියේ තමන්ගේ නෝනගේ මූණ දිහා. එයා සතුටක් පෙන්නුවට ඇතුලේ හැඟිම් කියවන්න පුළුවන්. තමන්ට මේ  වගේ උපන් දිනයට පාටියක් දීලා නැති වග එයාගේ ඇස් දෙකෙන් කියවුනා. වැඩි වෙලා එතන රැදෙන එක ගුණ නැති නිසා මහත්තයා හිමිහිට මාරු වුනා.  ගියාට කටපියාගෙන ඉන්න හිතෙන්නෙත් නෑ‍නේ. තමන්ගේ පාසල් කාලේ ඉදන්ම මිත්‍රයට ඇනුම්පදයක් කීමේ එයාගේ ආසාව බලවත් වුනා.

“විකී , උඹ හරිම රොමෑන්ටික් වෙලානේ... වයිෆ්ට නියම සර්ප්‍රයිස් එකක් දීලනේ.. ඇත්තට උඹ බැඳලා පිළිවලකට ඉන්න එක තමා මට නම් සර්ප්‍රයිස් එක”

විකීගේ මූණේ හීනි හිනාවක් ඇදුනා. යාළුවන්ගේ කුතුහලය පිරුණ මූණ දිහා බලලා එයා කතාව පටන් ගත්තා.

“මට මෙලෝ මතකයක් තිබු‍ණේ නෑ එදා මේධාගේ බර්ත් ඩේ කියලා. කොල්ලෝ දෙන්නට මට තරං වත් සිහියක් නෑනේ. උදේ මම එළියට යනකොට එයාගේ මූණ හොඳ නෑ කියලා නම් දැනුනා. ඕක ඉතිං අමුත්තක් නෑනේ. හවස ගෙදර එනකොටත් මුණ හොඳ නෑ. මම සද්ද නැතුව පුතාලා දෙන්නා කෑම්ප් එකට දාන්න ගියා. එදා මටත් ඔ‍ෆිස් එකේ මළ පැනලා තිබුණේ. මදිවට හවස ගෙදර එනකොට ලයිට් නෑ. කළු‍වරේම ඇග හෝදගෙන කෑමත් අරං එන්න එලියට බැස්සේ මාර කේන්තියෙන්. කෑම ඕඩරේ දාන තැන  මාර සෙනගක් . පැයක් විතර යයි කියලා කීව නිසා මම රෙස්ටොරන්ට් එකේ සෙටියට වෙලා ‍ෆේස් බුක් ගියා. හත්වලාමයි එතකොට තමයි දැක්කේ මේධාගේ බර්ත් ඩේ කියලා තිබුණ නෝටිස් එක. මට දෙලොව රත් වුනා. අවුරුදු ගානක් නෝක්කාඩු අහන්න වෙන ‍වැඩක් නේ . මම ඉක්මනට එතන මැනේජට කතා කරලා කීවා මට ඩිනර් ඇරේන්ජ් කරන්න කියලා. කරුමෙට ඉතුරු වෙලා තිබුණේ කොනේම මේසේ විතරයි.එතන දෙන්නෙකුට විතරක්  පුළුවන් නිසා බේරිලා තිබුණා. ලයිට් නැති නිසා ජෙනරේටරෙන් වැඩ    කරන ලයිට් විතරයි තිබුණේ. එතෙන්ට ඉටිපන්දම් දෙන්නං කීවා. මම කේක් එකකුත් ඕඩර් කරලා, තෑග්ගකුත් තෝරලා එතනට යවලා ආවා. මේධානිගේ මූණට එළියක් ආවේ මම ගෙදර ඇවිත් එයාට එළියට යන්න ලෑස්ති වෙන්න කීවම. කරුමෙට වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියා. මහ පුදුම කරුම දවසක්. මම ඒ බවක් නොකියා මේධාට කීවා පයින් යමු කියලා. එයා පැනලා කැමති වුනා.

“ආහ්.. කපල් එක අත් අල්ලගෙන යන්න ඇති පයින්..”

“මරු මචං.. ලයිට් නැතුව කරුවලේ, වැටිච්ච කොළ රොඩු පාග පාගා යනකොට ඈත කාර් ඉගිල්ලිලා යනවා පේනවා. මම නම් කීයටවත් පයින් යන්නෑ. වෙන කරන්නම දෙයක් නැතිවුනා. වැඩේ   මේධා පුදුම විදිහට සතුටු වුනා අර කනා ඉටිපන්දම් එළිවලටයි, කවුරුත් කැමති නැති මේසෙටයි. කොටින්ම තෑග්ග මොකද්ද කියලා බැලුවෙත් මං කීවට පස්සේ. කොල්ලෝ දෙන්නටත් කියලා තිබුණා ‍අම්මට කතා කරන්න කියලා. කන ගමන් අපි යාලු වුන කාලේ ඒවයි , දුන්න  තෑගියි, අපි බැන්ද දවස් වල ඒවයි ඉවරක් නැතුව කියවන්න ගත්තා. මහ කරච්චලේ. මම හ්ම් කිය කියා හිටියා නැත්තං බේරිල්ලක් නෑනේ. කාලා එළියට බැස්සේ ටැක්සි එකක එන්න. කරුමෙට කඩා වැ‍ටුන වැස්ස නිසා ටැක්සි ඔක්කොම මිනිස්සු දාගෙන ගිහින්. අර කලුවරේ චිරි චිරිය මැදින් ගෙදර ඇවිත් යංතං ඇඳට පැන්නා. මේධා නම් වැස්සට පස්සේ හඳ එළීය ලස්සනයි කිය කියා ජනෙල් ඇරලා බලලා මටත් කතා කළා ලස්සන බලන්න. ඇගේ ගෑවි ගෑවි හැමදාම බලන හඳ බලන්න ගිහින් මොන මරාලයක් කඩා වැටයිද දන්නැති නිසා අනේ මම නම් දෙවියන්ට මේ දවස ඉක්මනට  ඉවර කරලා දෙන්න කියලා නිදා ගත්තා.

“මරු සප්‍රයිස් එක..” මහත්තුරු අනුමත කලා.

“බලං යනකොට විකී රොමෑන්ටික් වෙන්න එච්චර අමාරුත් නෑ..” අර කතාව පටං ගත්ත මහත්තයා කිවා.


Friday, January 6, 2017

සිල් පෝය


වටපිට  බලලා පන්සලේ දැහැත්  වට්ටියෙන් කටේ දා ගත්ත දුං කොළේ සැරට බිසෝ මැණිකෙගේ කනින් දුං  පිටවුනා. උදේ පින්නෙම පන්සලට ආවේ කනුවක් අල්ලාගෙන සිල් සමාදන් වෙන්න  හිතාගෙන. ඒත් ගිය පෝයට ඉඳගත්ත ගමන්ම කට්ටිය තාමත් ඒ තැන්වලම හිටිය නිසා ඒ වැඩෙත් බකල්. වෙනදා ගෙදර ළගින් වැට පැනලා ලලිතාගේ ගෙදර හරහා ආවා නම් පරක්කුවක් නෑ. ඒත් ඒ යාළුකම් පලුදු වෙලා නිසා මම නම් හතර හන්දි කැඩුනත් උන්ගේ මිදුලේ පස් පාගන්නෑ කියලයි බිසෝ කී‍වේ. ලලිතාගේ දුව චින්තා, කැම්පස් තේරුන එක හතර පෝයට සිල් ගත්ත බිසෝ‍ට ඉහලුම් දුන්නෑ. ලොකු කොල්ලට බන්දලා දෙන්න බලා ගෙන හිටියට දැං නම් ඒකිව අල්ලන්නවත් වෙන්නැති බව බිසෝ දන්නවා. ලලිතාටත් දැං සිල් ගන්න උනන්දුවක් නෑ. ඇයි ‍දෝණියැන්දා ඉන්නව‍නේ හතර වරි‍ගේ ගොඩදාන්න. හිතේ පටලැවෙන මේ රොඩු බොඩු නිසා අන්තිමට වුනේ දුර පාරකින් ඇවිත්  පන්සලේ කනුවත් නැති කර ගත්ත එක.

හාමුදුරුවො උපාසක කට්ටියට සිල් දීලා පන්සලට වැඩියා. උදේ දානේ අරගන හැමෝම පුංචි පුංචි  රවුම් හදාගෙන ධර්මයේ සැකමුසු තැන් විචාරනවා. ගිය පෝයට ආවෙත් නැති  දැන ගන්න දේවල් බොහොමයක් තියනවා. දුංකලේ කටේ දාගත්තා විතරයි කන් අගුලු වැටුන එකයි ඔලුවේ බර ගතියයි ගියාට කොන්දේ හීන් කැක්කුමක්   උඩ පහල දුවනවා. ඒ හැමදේකින්ම බිසෝ ගේ හිතේ නොරිස්සිල්ලක් ඉපදුනා. ඒ නොරිස්සිල්ලේ හරි මැද ඉන්නේ ලලිතාගේ දුව චින්තා. ඇත්තටම ඒ කෙල්ල කැම්පස් නොයන්න මේ මොකවත් වෙන්නෑනේ.

“හැබෑට!  

ගිය සති‍යේ ධර්ම සාකච්චාව ගැන අඩු වැඩිය සපයන කවයෙන් එක්කනෙක් කටහඩ උස් කරලා ඇහුවා. ඒ උපාසක අම්මගේ මූ‍ණේ තිබුන පුදුමය දැකලා බිසෝ ඉක්මනට ඒ පැත්තට ඇදුනා. මොකක් නමුත් තමන්ගේ හිතට සතුට දෙන එතන කතා වෙන බව දැනුනා.

“අනේ අක්කේ මුල ඉඳලම කීවනං කතාව..... මමත්  ගිය පෝයට බත් තම්බ තම්බා ගෙදර. අදත් නාවා නම් කිසි දෙයක් දැනගන්න වෙන්නෑ...” ඒ තව කෙනෙක්

“මොකද්ද නම කීවේ ? “ ඒ තවත් කෙනෙක්.

“චිං--“ ලොකු උපාසක අම්මා නම කීවේ හෙමිහිට.

බිසෝ මැණිකෙට ඇහුනේ මුල අකුර විතරයි.හිතේ විදුලියක් කෙටුවා වගේ සතුටක් දැනුනා. ඒ කී‍වේ චින්තා  ගැන නේද? . මොකක් නමුත් අඩව්වක් අල්ලලා වගේ. ඕනවට එපාවට  ඒ කතාව දිහාට ඇදුනාවගේ පෙන්නුවාට බිසෝගේ හිතේ නොඉවසිල්ලට කතාව කියපු කෙනාව හොල්ලලා ඉතුරු ටික අහගන්න තරම් හිතුනා.

“එන්න බිසෝ අක්කේ ... හොඳ කතාවක් තියනවා අහගන්න”

“අනේ අපිට මොකටද  අනුන්නේ දේවල්... කමන් නෑ.. මම නම් මේ බල කරන නිසා අහනවා..’

ලොකු උපාසක අම්මා කතාව පටන් ගත්තා‍

“මම නම් මේක අපේ හාමුදුරුවෝ නොකියන්න විස්වාස කරන්නෑ. අනේ මෙහෙමත් දේවල් අහන්න සිද්ධ වුනානේ. චීවරයක් දරාන ඉන්න උන්නාන්සේටත් ඉන්න ‍දෙන්නේ නැති අඟනෝ...’”

ලොකු උපාසක අම්මාගේ කටින් පිට වෙන වචනයක් ගානේ බිසෝ මැණිකෙගේ හිතේ ඇ‍‍දෙන්නේ චින්තාගේ රූපේ. පොත්ත රතු වුනාට ළමිස්සියෙක් ගෙන් වැඩක් තියේද? අනේ අපේ කොල්ලට ඕන නෑ මෙහෙම කතා හදා ගත්ත එකියක්. ඒත් හෙට අනිද්දට උපාධියක් අරං ඇවිත් ආණ්ඩුවේ රස්සාවකට යනකොට? එක අතකට මේ හදාගෙන තියන පදේ හින්දම ලලිතා කැමති වෙන්නත් පුළුවන් අපේ කොල්ලට චින්තා කසාද බන්දලා දෙන්න. අපිත් ටිකක් අදිමදි කරලා තමයි කැමති වෙන්නේ.

“උන්නාන්සේ පස්සෙන් සෑහෙන කාලයක් ඇවිත් තියනවා ආපහු ගිහිගෙට ගන්න බලාගෙන. කොච්චර දර්මේ කියලා දුන්නත් කනකට ගත්තේ නෑ කියන්නේ....” ලොකු උපාසක අම්මා කටහඩ තාලයකට උස්පහත් කරනවා.

එතකොට මේ පටලැවිල්ල ඇතිවෙලා තියෙන්නේ මේ කෙල්ල දහම් පාසල් යන කාලෙද? අපි නායක හාමුදුරුවන්‍ට කීවා පන්සලේ දහම් පාසලට කෙල්ලෝ‍ කොල්ලෝ ඇවිත් දඟලනකොට මේවා වෙයි කියලා.  කොලු හාමුදුරුවරුත් පැනලනේ දහම් පාසලේ උගන්නන්න ආවේ. අපේ කොල්ලා දහම් පාසල් එන්න අදිමදි කරෙත්  මේකයි හොරේ එහෙනම්. මං දැනං හිටියා නම් කොහොම හරි කොල්ලව එවනවා. එතකොට මේ කෙල්ල උනත් හාමුදුරුවෝ පස්සෙන් යන එක නවත්තයිනේ. බි‍සෝ මැණිකේ තමන්ගේ හිතත් එක්ක කතාව.

“’ටික කාලයක් යනකොට මේක කටින් කට ගිහිල්ලා දායකයනුත් උන්නාන්සේ ගැන සැක පහල කලාලු. ඇයි මේ අඟන කියනවාලුනේ සම්බන්ධයක්  තිබුණාමය කියලා. සමහරු ඒක විස්වාස කලාලු. සමහර අය නැතිලු. වැඩේ තියෙන්නේ’ ගොඩක් අය දැකලා තියනවනේ නිතර දෙවේලේ පන්සලටම වැදිලා හිටපු හැටි. අන්තිමට මිනිස්සු උන්නාන්සේට බොහොම පරිබව කරලා කතා කරාලු”

මිනිස්සු පන්සලයි අතරේ මේ වගේ වෙච්ච දෙයක් නම් බිසෝට මතකයක් නෑ. කොහොමත් තමන් සීට්ටු දානයක්වත් අරං පන්සල පැත්තේ ආවේ ගියේ නෑ කියලා මතක් වුනා ඒත් එක්කම. ඉඳලා හිටලා කටිනයකට අතගැහැව්වට වෙසක් පෝයටවත් සිල් ගත්තේ නෑ ඒ කාලේ. අනේ මොකට ඇවිත් දානේ දෙනවද? බලං යනකොට කෙල්ලො හාමුදුරුවන්ගේ ඇගේ ගහන්න බලාගෙන ඉන්න අම්මණ්ඩිලා තමයි මේ හතර පෝයට ඇවිත් පන්සලේ වැටෙන්නේ. අනුමානයක් නෑ ඔය කෙල්ල විස්ස විද්‍යාලේ ගිහින් නෑ. විභාගේ පාස් වෙලත් නැතිව ඇති. මේ හාමුදුරුවොත් එක්ක නටන්න හදපු නාඩගම වැරදුනාට පස්සේ ලලිතා හිමීට කෙල්ල ගමෙන් පිට කරන්න ඇති. ඇයි දෙය්යනේ ගමේ  තියාගන්නේ කොහොමද? මදෑ කපටි කමක තරම. බිසෝගේ හිත ටික ටික සීතල වෙනවා. බණ පදයක් ඇහුවේ නැති වුනත් දැං නම් හිතට නිවනක්.

තවත් ටිකක් ලොකු උපාසක අම්මා ළඟට කිට්ටු වුනේ වෙලා තියෙන දේ සහසුද්දෙන් දැන ගන්න.

“හැබැයි උන්නාන්සේට නිග්‍රහ කරලා මේ අඟන ගියේ කොහාටද දන්නවාද?”

“කොහාටද අක්කේ? බිසෝ කලබල වෙලා ඇහුවා.

“අවිචි මහා නරකාදියට...තාම පැහෙනවාලු.....”

බිසෝ අන්දුන් කුන්දුන් වෙලා අ‍නිත් අය දිහා බැලුවා. ඒ අය කාටවත් ප්‍රශ්ණයක් නැති ගානයි.

“එතකොට අක්කේ මේ කෙල්ල විස්ස විද්‍යාලේ ගියේ නැද්ද?”

“ මොන කෙල්ලද? කවුද? “ ලොකු උපාසක අම්මා බිසෝට වැඩිය අන්දුන් කුන්දුන්.

“ඇයි ඔය කිව්වේ ලලිතාගේ කෙල්ල චින්තා... කොයි දැං ඒ කෙල්ල?”

 “මොකක්? මේ ගිය සැරේ බණට හාමුදුරුවෝ කියපු චිංචි මානවිකාවගේ කතාව......”