Saturday, January 14, 2017

සර්ප්‍රයිස් පාටි


අවුරුද්දේ අන්තිම දවසේ හෝටලයකට එකතු වුන යාළුවෝ කට්ටියක් පුරුදු විදිහට තමන් අවුරුද්ද ගෙවපු විදිහයි ලබන අවුරුදේ බලාපොරොත්තු ගැන කතා කරා. මේක අවුරුදු ගනණාවක් පුරාම වෙන දෙයක්. පවුල් පිටින්ම එකතු වෙන නිසා හැමෝම එදාට විනෝදයක් ලබනවා.

පුරුදු විදිහට ළමයි එකතු වෙලා‍ සෙල්ලම් කරනවා. හෝටලයේ වත්ත ළමයි වෙනුවෙන්ම නඩත්තු කරලා තියන එකක් නිසා අම්මලාටත් වද වෙවී ළමයි පස්සේ ඉන්න දෙයක් නෑ. ඒ හින්දම එයාලා නිදහසේ කතා බහ කරගෙන ගියා. ඒ හින්දම මහත්තුරුත් නිදහස්. නැත්තං ළමයි බලලාම හෙම්බත් වන නෝනලා රවන්න පටං ගත්තම, අහන දේවල් වලට නොරිස්සුමෙන් උත්තර දෙන්න ගත්තම, මහත්තුරුන්ට ඇනුම් පද කියන්න පටං ගත්තම අර බොන බීමත් තිත්ත වෙනවා ආව ගමන වගේම.

නෝනලා ටික බොහෝම පොඩි  මාතෘකා වලින් පටං අරං දිග සංවාද වලට එකතු වෙනවා. මොන තරාති‍රමේ ජීවත් වුනත් එකම ජාතියේ අත්දැකීම් තමා එයාලට තියෙන්‍නේ. මේ කතාබහ ටිකකට හරි  බාදා වෙන්නේ ඉඳලා හිටලා කේලමක් කියලා යන්න එන පොඩි එකෙකුගෙන් හරි, බොරුවට තමන්ගේ නෝනට අවධානය පෙන්නන්න  මේසෙන් මොහොතකට නැගිටලා එන මහත්තයෙක්ගෙන් හරි විතරයි.

“ආ.... අපට කිව්වේ නෑ ‍නේද මේ සැරේ උපන් දිනේ?”  කාන්තා සංගමයට අර කිව්ව විදිහට කඩා වැටුන මහත්තයෙක් එක නෝනා කෙනෙකුගෙන් ඇහුවා. ඒ නෝනා තමන්ගේ උපරිම දායකත්වය  සාකච්ඡා වටයට ලබා දෙන කෙනෙක්. ඒ වගේම හැමෝගෙම අවධානය ලබන කෙනෙක්.

ඒ ප්‍රශ්නෙත් එක්ක නෝනගේ පැහැපත් මූණ තවත් පැහැපත් වුනා. කටහඩ  තවත් ප්‍රීතිමත් වුනා.

“ ආනේ අපේ විකී කිවේ නැද්ද අපි සෙලිබ්‍රේට් කරපු විදිහ?” එයා ඇහුවා.           

“නෑ... රටවත් ගියාද?”

“ නෑ  අය්යෝ ... එයා සප්‍රයිස් පාටියක් දුන්නා මට”

“අනේ විකී නම් හරිම රොමෑනිටික් ! කියන්‍නකෝ ඒ ගැන” නෝනලා මැඩ ගත්ත  ඉරිසියාවෙන් තමන්ගේ යෙහෙළියට බල කලා.

“එදා පුතාලා උදේම ප්‍රැක්ටිස් අරං ගිය නිසා විකීට වෙලාවක් තිබ්බේ නෑ විශ් කරන්නවත්. මට ටිකක් තරහත් ගියා ඒකට. මොකද මට පස්සේ හරි  කෝල් කරලා වත් එහෙම කරන්න  තිබුණානේ. ඔෆිස් එකේ යාලුවෝ අහන කොට මොනවද මහත්තයා තෑගි දුන්නේ කියලා මට  ලැජ්ජත් හිතුනා. එයා දවල්ට පොඩි පුතා අරං ඇවිත් මට කෝල් කරයිනේ කියලා හිතුවත් එහෙම කලෙත් නෑ. මට හරි කේන්තියි. මම වරුවෙන් ලොකු පුතාවත් අරගෙන ගෙදර ආවා. එයාලට එදා රෑ ඉස්කෝලේ ස්කවුට් කෑම්ප් එකට යන්න තිබුණා. විකී හවස ගෙදර ඇවිත් කිසි කතාවක් නැතුව පුතාලා දෙන්නා ඉස්කෝලෙට දාලා ආවා. ඇත්තටම මට ඇඩෙන්න තරම් දුකයි. මගේ උපන් දිනෙත් එයාලට කිසි වැඩක් නෑ. විකී ටිකක් කලබලයෙන් තමා ගෙදර ආවේ . ගෙදර එනකොට ලයිට් ගිහින්. එයා ඇගපත හෝදගෙන කළුවරේම බැල්කනියේ ඉඳලා මට කෑ ගහලා කීවා එයා පොඩ්ඩක් එළියට ගිහින් එනවා එනකොට කෑම  අරං එන්නං කියලා. මට එතකොට හිතුණා ලයි‍ට් නැතිවුන එකත් හොඳයි කියලා.විකී  ඉක්මනට ආපහු ආවා. ඇවිත් කිවා අද කෑම එළියට ගිහින් කමු, ලෑස්ති වෙලා එන්න කියලා. මම ලෑස්ති වෙලා එනකොට එයා බොහොම සැහැල්ලුවෙන් හිනා වෙලා කීවා අද අපි දෙන්නා පයින් යමු කියලා. මටත් පුදුමයි. අඩි දෙකක්වත් පයින් යන්න බැරි කෙනා. අ‍පේ ගෙදර ළඟ ඉඳලා කෙටි පාරක් තියනවා ටවුන් එකට. ඒ පාර දිගටම ගස් නිසා දවල්ටත් සීතලයි . හරිම නිස්කලංක පාර. ලයිට් නැති නිසා  යන්තමින් පාර පෙන්නේ. ඈත පත්තු වෙන ලචයිට් පේනවා පුංචි තිත් වගේ. මහපාරේ යන වාහන වල එළි එක දිගට වැලක් වගේ පුංචියට  පෙනුනා. පාර දිගටම රතු පාට මැයි මල් වැටිලා. අපි දෙන්නා ‍ගොඩක් කාලෙකට පස්සේ මේ වගේ  ඇවිදගෙන ගියේ. ඇත්තටම මගේ හිතට හරි සැහැල්ලුවක් දැනුනා. ඒ පාරේ කෙලවරේ තියෙන්නේ මම ආසම කරන රෙස්ටොරන්ට් එක. අපි දෙන්නා ඇවිදගෙන ගියේ ඒකට . එතන කොනේම මේසේ පුංචි ඉටිපන්දම් පත්තු කරලා තිබුණා. ඉටිපන්දම් මැද මල් පොකුරකුයි, තෑග්ගකුයි තිබුණා. හෝටලේ වේටර් ගෙනාව පොඩි කේක් එක කපලා ඉවර වුනාම විකී මට විශ් කරලා කීවා එයාට මාව සර්ප්‍රයිස් කරන්න ඕන වුනා කියලා. පුතාලත් කතා කරලා ඇහුවා අම්මිගේ සර්ප්‍රයිස් පාටි එක කොහොමද  කියලා.

“ප්ලසන්ට් සප්‍රයිස්!” එතන හිටිය නෝනලා කෑ ගැහුවා.

“ඔව් අනේ විකී මම ගැන කොච්චර හිතලද? එයාට මාත් එක්ක තනිවෙන්න ඕන වෙලා තිබුණා කියලා මට ‍තේරුණා. කොනේ මේ‍සේ  සාමාන්‍යයන් ඉඳගන්නේ ලවර්ස්ලා. එතන තියෙන්නේ පුටු දෙකයි. ඉටිපන්දම් එලියයි, අඳුරයි නිසා හරිම රොමෑන්ටික් . සතුට වැඩිකමට මම ගොඩක් කතා කළා. විකී කාලෙකට පස්සේ ඒ කියන්නේ අපි යාළුවෙලා ඉන්න කාලේ වගේ මට ගොඩක් ඇහුම්කන් දුන්නා. අපි ගෙදර ආවෙත් පයින්. ඒ වෙලාවේ  පුංචි සිරි සිරි ‍වැස්සක් වැටුනා. මට ඒ හැමදේකින්ම අපේ අතීතේ මතක් වුනා . ගෙදර ඇවිත් ලා හඳ එළියේ අපි නින්දට වැටුනේ. ඇත්තටම විකී මාව අළුත් කළා............”

“ආනේ....විකී කොච්චර ආදරේ ඇතිද? ඔයා නම් හරිම ලකී” නෝනලා හැමෝම කීවා.

සංගමයට කඩා වැදුන මහත්තයා බලං හිටියේ තමන්ගේ නෝනගේ මූණ දිහා. එයා සතුටක් පෙන්නුවට ඇතුලේ හැඟිම් කියවන්න පුළුවන්. තමන්ට මේ  වගේ උපන් දිනයට පාටියක් දීලා නැති වග එයාගේ ඇස් දෙකෙන් කියවුනා. වැඩි වෙලා එතන රැදෙන එක ගුණ නැති නිසා මහත්තයා හිමිහිට මාරු වුනා.  ගියාට කටපියාගෙන ඉන්න හිතෙන්නෙත් නෑ‍නේ. තමන්ගේ පාසල් කාලේ ඉදන්ම මිත්‍රයට ඇනුම්පදයක් කීමේ එයාගේ ආසාව බලවත් වුනා.

“විකී , උඹ හරිම රොමෑන්ටික් වෙලානේ... වයිෆ්ට නියම සර්ප්‍රයිස් එකක් දීලනේ.. ඇත්තට උඹ බැඳලා පිළිවලකට ඉන්න එක තමා මට නම් සර්ප්‍රයිස් එක”

විකීගේ මූණේ හීනි හිනාවක් ඇදුනා. යාළුවන්ගේ කුතුහලය පිරුණ මූණ දිහා බලලා එයා කතාව පටන් ගත්තා.

“මට මෙලෝ මතකයක් තිබු‍ණේ නෑ එදා මේධාගේ බර්ත් ඩේ කියලා. කොල්ලෝ දෙන්නට මට තරං වත් සිහියක් නෑනේ. උදේ මම එළියට යනකොට එයාගේ මූණ හොඳ නෑ කියලා නම් දැනුනා. ඕක ඉතිං අමුත්තක් නෑනේ. හවස ගෙදර එනකොටත් මුණ හොඳ නෑ. මම සද්ද නැතුව පුතාලා දෙන්නා කෑම්ප් එකට දාන්න ගියා. එදා මටත් ඔ‍ෆිස් එකේ මළ පැනලා තිබුණේ. මදිවට හවස ගෙදර එනකොට ලයිට් නෑ. කළු‍වරේම ඇග හෝදගෙන කෑමත් අරං එන්න එලියට බැස්සේ මාර කේන්තියෙන්. කෑම ඕඩරේ දාන තැන  මාර සෙනගක් . පැයක් විතර යයි කියලා කීව නිසා මම රෙස්ටොරන්ට් එකේ සෙටියට වෙලා ‍ෆේස් බුක් ගියා. හත්වලාමයි එතකොට තමයි දැක්කේ මේධාගේ බර්ත් ඩේ කියලා තිබුණ නෝටිස් එක. මට දෙලොව රත් වුනා. අවුරුදු ගානක් නෝක්කාඩු අහන්න වෙන ‍වැඩක් නේ . මම ඉක්මනට එතන මැනේජට කතා කරලා කීවා මට ඩිනර් ඇරේන්ජ් කරන්න කියලා. කරුමෙට ඉතුරු වෙලා තිබුණේ කොනේම මේසේ විතරයි.එතන දෙන්නෙකුට විතරක්  පුළුවන් නිසා බේරිලා තිබුණා. ලයිට් නැති නිසා ජෙනරේටරෙන් වැඩ    කරන ලයිට් විතරයි තිබුණේ. එතෙන්ට ඉටිපන්දම් දෙන්නං කීවා. මම කේක් එකකුත් ඕඩර් කරලා, තෑග්ගකුත් තෝරලා එතනට යවලා ආවා. මේධානිගේ මූණට එළියක් ආවේ මම ගෙදර ඇවිත් එයාට එළියට යන්න ලෑස්ති වෙන්න කීවම. කරුමෙට වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියා. මහ පුදුම කරුම දවසක්. මම ඒ බවක් නොකියා මේධාට කීවා පයින් යමු කියලා. එයා පැනලා කැමති වුනා.

“ආහ්.. කපල් එක අත් අල්ලගෙන යන්න ඇති පයින්..”

“මරු මචං.. ලයිට් නැතුව කරුවලේ, වැටිච්ච කොළ රොඩු පාග පාගා යනකොට ඈත කාර් ඉගිල්ලිලා යනවා පේනවා. මම නම් කීයටවත් පයින් යන්නෑ. වෙන කරන්නම දෙයක් නැතිවුනා. වැඩේ   මේධා පුදුම විදිහට සතුටු වුනා අර කනා ඉටිපන්දම් එළිවලටයි, කවුරුත් කැමති නැති මේසෙටයි. කොටින්ම තෑග්ග මොකද්ද කියලා බැලුවෙත් මං කීවට පස්සේ. කොල්ලෝ දෙන්නටත් කියලා තිබුණා ‍අම්මට කතා කරන්න කියලා. කන ගමන් අපි යාලු වුන කාලේ ඒවයි , දුන්න  තෑගියි, අපි බැන්ද දවස් වල ඒවයි ඉවරක් නැතුව කියවන්න ගත්තා. මහ කරච්චලේ. මම හ්ම් කිය කියා හිටියා නැත්තං බේරිල්ලක් නෑනේ. කාලා එළියට බැස්සේ ටැක්සි එකක එන්න. කරුමෙට කඩා වැ‍ටුන වැස්ස නිසා ටැක්සි ඔක්කොම මිනිස්සු දාගෙන ගිහින්. අර කලුවරේ චිරි චිරිය මැදින් ගෙදර ඇවිත් යංතං ඇඳට පැන්නා. මේධා නම් වැස්සට පස්සේ හඳ එළීය ලස්සනයි කිය කියා ජනෙල් ඇරලා බලලා මටත් කතා කළා ලස්සන බලන්න. ඇගේ ගෑවි ගෑවි හැමදාම බලන හඳ බලන්න ගිහින් මොන මරාලයක් කඩා වැටයිද දන්නැති නිසා අනේ මම නම් දෙවියන්ට මේ දවස ඉක්මනට  ඉවර කරලා දෙන්න කියලා නිදා ගත්තා.

“මරු සප්‍රයිස් එක..” මහත්තුරු අනුමත කලා.

“බලං යනකොට විකී රොමෑන්ටික් වෙන්න එච්චර අමාරුත් නෑ..” අර කතාව පටං ගත්ත මහත්තයා කිවා.


1 comment:

  1. Could be someone's experience and of most..... pleasure to read.....

    ReplyDelete