Thursday, August 13, 2015

කඩේ යාම


 

විවිධ අර්ථකතන හේතුවෙන් මේ ශ්‍රේෂ්ඨ කර්තව්‍ය තරමක් බාල වෙලා. අද කාලේ අම්මලාට කඩේ යවන්න කෙනෙක් හොයන්න තියන තියන අමාරුවක්! අපි නම් ආසාවෙන්ම කරපු වැඩක් තමයි කඩේ යන එක. අපේ ගෙදර මට ඒ අවස්ථාව ලැබුණේ දෙන්නෙක්ගෙන් පස්සේ. අක්කලා දෙන්නම කඩේ යවන කාලේ ඉවර වුනාම අම්මා මට ඒ ස්වර්ණමය අවස්ථාව දුන්නා. මට පස්සේ කෙනෙක් හිටියේ නැති නිසා මම ඒ වරප්‍රසාදය සෑහෙන කාලයක් භුක්ති වින්දා. ගෙදරට අල්ලපු වත්තේ සම්පේ (සමූපාකාරය) තිබුණ නිසා මාසෙටම බඩු අරගෙන තියා ගන්න උවමනාවක් වුනේ නෑ. ඉරිදාට මොනවා හරි ගන්න වුනොත් කොන්ඩෝල් කඩේ (කන්ට්‍රෝල් - බඩු හිඟ කාලේ සීමා කරලා බඩු දීම සඳහා පවත්වාගෙන ගිය, පෞද්ගලික කඩයක්) තියනවා. මම වැඩිපුරම කැමති කොන්ඩෝලෙට යන්න.

සම්පෙත් බඩු හොඳයි. ඒ වුනාට ඒකේ නීති වලට අනුව මාරු කාසි නැතිවුනාම හිලව් වෙන්න පැණි රස කෑම දෙන්නේ නෑ. අනික සල්ලි දීලා වුනත් ගන්න තියෙන්නේ බුල්ටෝයි . පණුපෙතියි විතරයි. බිලක් දාලා දුන්නම සතයක් වත් අහාට මෙහාට වෙන්නේ නැතුව ගෙදරට ගණං හිලව් බේරන්න වෙනවා.

සම්පේ එහෙම වුනාට කොන්ඩෝලේ එහෙම නෑ. ඕන තරම් ටොෆි ජාති , බිස්කට් ජාති තියෙනවා. ලොකුම ලොකු වීදුරු බෝතලේක හුළං ඉස්කෝතු දාලා තියෙන්නේ. ඒකේ මූඩිය වහන්නේ සිලි බෑග් එකක් කට වටේ එතුවට පස්සේ. එහෙම කරන්නේ හුළං වැදිලා බිස්කට් පොඟන නිසා. ඒ උනත් කියන්නේ හුළං ඉස්කෝතු කියලා. උණ හැදුනු වෙලාවක ඇරුණු කොට අපි කොයිම වෙලාවකවත් ඒවා ඉල්ලන්නේ නෑ. තවත් ඒ වගේම බෝතලේක තියනවා ඉස්කිරිඤ්ඤා. සීනි දාපුවා ටිකක් ගණන්. අනික්වා ගත්තොත් නම් සීනි දාපු තේ එකක පොඟවලා තමා කන්නේ.  බොත්තමක් වගේ බිස්කට් එකක් උඩ   චුටි වෙහෙරක හැඩේට ගල් අයිසින් වක්කරලා තියනවා එක එක පාටින්. ඒ දවස්වල මොන නමක් කීවද මතක නෑ. ඒකේ නම ජෙම් බිස්කට්. ඒවා දෙන්නෙත් ගැනලා. ඉස්සරලාම කරන්නේ බිස්කට් ටික හිමිහිට කනවා අයිසින් කෑල්ල කඩලා අරගෙන. අන්තිමට තමන් කැමති පාට අනුව නිවාඩුව අයිසින් කෑලි ටික කනවා. අන්තිම එකක් කාපුවාම හිතෙනවා ටිකක් හිමින් සීරුවේ කෑවා නම් හොඳයි කියලා. අතේ ගුලි කරගෙන ඉඳලා අයිසින් වල පාටයි රසයි දෙකම අල්ලේ තැවරිලා. ඒකත් ලෙවකාලම ඉවර වෙනවා.

බුල්ටෝ කෑවොත් ගෙදරට අහු වෙනවා. බුල්ටෝ එක හපලා කට ඇර ගන්න බෑ. ඇඟිල්ල දාලා දත් ඇඳි දෙක වෙන් කරන්නේ. ආයෙත් හපපුවාම ආයෙත්  දත් ඇඳි දෙක ඇලවෙනවා.  තව තියෙනවා නාරං බික්. ඒකත් හොඳයි. සත පනහට 20 ක් විතර දෙනවා. මින්ට් රහක් එක කළුයි සුදුයි ඉරි මිශ්‍ර වුන සීනි බෝලේ ඊළඟට තියන හොඳම එක. ඩෙල්ටා ටොෆි තිබුණට ඒවා ගන්න උනන්දුවක් නැත්තේ ඒක ගෙදරට කීවහම අරන් දෙන එකම ජාතිය නිසා.

කොයි දේ ගත්තත් හරි සීරුවට කරන්නේ. එක දවසකට මොනවා හරි එක දෙයයි ගන්නේ. බඩු අරගෙන ඉතුරු දෙන වෙලාවට බලා ගෙන ඉන්නේ මාරු සල්ලි සත දහයක් හරි නැති වෙනකල්. එතකොට ගෙදර ගිහින්ම ඒ සත දහයට හිලව් කරපු දේවල් කන්න පුළුවන්. කඩේ ගිය කෙනාට වැඩි පංගුව.

සමහර වෙලාවට කරන්නේ සත විසිපහකට වගේ මොනවා හරි අරගෙන සාක්කුවේ දා ගන්නවා . අම්මා ගෙදර ඉඳන් පාර දිහා බලා ගෙන ඉන්නවා නම් තණකොළ ගොල්ලේ සත විසිපහ වැටුනා වගේ පීර පීර හොයනවා. එතකොට සත විසි පහ වැටුන බව අම්මට පැහැදිළියි.

දැං නම් වැඩිය කඩේ යන්නේ නෑ. සුපර් මාකට් මිසක්.  ඒවට ගියාම නම් ළමයි අම්මලාට පින්සෙණ්ඩු වෙවී ඉන්නේ නෑ. රාක්ක පිටින් ඇදලා ට්‍රොලියට දාගන්නවා. කවුන්ටරේ පෝලිම දිගයි නම් එතන තියලා තියන ටොෆි චොක්ලටුත් තෝරා ගන්නවා. හැබැයි එක දෙයක් සුපර් මාකට් වලත් මම අර කියපු නාරං බික් තියනවනේ.

 

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔය ලොකු බෝතලේ මටත් හොඳට මතකයි. වීදුරු වලින් හදපු අඩි එකහමාරක් විතර උස එකක්. කලුපාට මලකඩ කාපු, කුණු බැඳිච්ච මූඩියකින් තමයි වහලා තිබුනේ. ඒක අරියහම ටිකක් විතර මුඩු සුවඳක්/ගඳක් එනවා.

    මට මතක විදිහට එක බෝතලේක වෙෆස් බිස්කට් පුරවලා දාල තිබුනා.

    එක පාරක් මම කියපු ගමන් කඩේට ගියා. මොනවද ඕනෑ කියලා කඩෙන්, අහද්දී දන්නේ නැහැ, මොකද ඒක අහගන්න කලින් කඩේට දුවගෙන ගිහිල්ලා.

    මට හොඳට මතකයි "එක්කෙනෙක්" ඉස්සරහා තිබුණු අන්දර වැටට හැංගිලා මුළු ස්ටෝරියම බලාගෙන ඉඳලා ලුණු ඇඹුල් දාලා රිපෝර්ට් කරපු හැටි.

    ReplyDelete
  3. ඇත්තටම මගේ කඩේ යාම නැවතුනේ මගේ සේවයට කටුව ගහපු නිසානේ. ඒකනේ කඩේ යාම කියන කාර්යයේ මූලික ලක්ෂණවත් දැන ගන්නේ නැතුව පැන ගෙන ගියේ.

    ReplyDelete
  4. .











    Renu Tennakoon Thanks kusum .you like my post

    Like · Reply · 22 hrs
    ..










    Kusum Welpotuwa really nice stories. most of things experienced are my experiences as well with small changes. thanks so much for your nice posts

    Like · Reply · 21 hrs
    ..










    Renu Tennakoon Very happy to hear kusum. What I want is to bring back our past. We all belong to one era that is why you feel some similarity. Now it has gone forever.

    Like · Reply · 19 hrs
    ..










    Malkanthi Jayarathne අඩි 25 ක් වත් දුර නැති කඩේට බයිසිකලේ කකුල් යටින් දාලා පැදගෙන කඩේ ගිය මගේ මතකයත් අළුත් වුණා. තෑන්ක්ස්

    ReplyDelete