Monday, July 27, 2015

අයිස් ක්‍රීම්


 

මේ සැරේ ඇසළ පෝයටත් දන්සැල් තිබුණා කොළඹ. බලන බලන තැන තිබුණේ අයිස් ක්‍රීම් දන්සැල්. පහසුව නිසාත්, ඉල්ලුම නිසාත් සංවිධායකයෝ අයිස් ක්‍රීම් දන්සැල් දෙන්න පෙළඹෙනවා ඇති. අම්මලාගෙන් බැනුම් අහ අහා පුංචි අය පෝලිමේ පොර කාලා ඇවිත් අයිස් ක්‍රීම් එක ගත්ත ගමන්ම එතනම ගල් වෙලා කෝන් එක වටේට දිව දාලා බේරෙන අයිස් ක්‍රීම් ටික එක සැරේ කවර් කරලා ගන්නවා. එතකොට පෝලිම එක තැන හිරවෙනවනේ. පිටිපස්සේ ඉන්න අයගේ ඉවසීම පනිනවා. පුළුවන් උපරිමේට තල්ලුවක් දෙනවා .ඉස්සරහ ඉන්න පොඩ්ඩා නිකම්ම විසිවෙනවා. අයිස් ක්‍රීම් කන  මුණේ තියන හිනාව දැක්කම සංවිධායකයෝ ඒ වෙලාවේ දිව්‍ය ලෝකේ යන්න තරම් පිනක් කරගත්තා කියලා හිතෙනවා. පොඩි අය තරමටම ලොකු අයත් අයිස් ක්‍රීම් කනවා දකින්න ලැබෙනවා. සමහර විට ඩයබිටික් තියන අයට ගෙදරින් කන්න දෙන්නේ නැති නිසා වෙන්න ඇති. එහෙමත් නැත්තං ඒ  පොඩි කාලේ ආසාව යනකල් අයිස් ක්‍රීම් කන්න නොලැබුණ අය වෙන්න ඇති.

පොඩි කාලේ ආසාව යනකල් අයිස් ක්‍රීම් කන්න නොලැබුණ අය ගොඩේ මාත් ඉන්නවා. අපේ පාර දිගේ අයිස් ක්‍රීම් වෙළෙන්දෝ දෙන්නෙක් ගියා. එක්කනෙක් හතරැස් පෙට්ටියක් කරේ තියාගෙන නලාව අතේ තියාගෙන “පෝපු පෝපු“  කිය කියා ගියේ. සේන අයිස්  පලම් කියලා පෙට්ටියේ ගහලා තිබුණා. ඒ අයිස් ක්‍රීම් කන්න නම් කවදාවත් ලැබිලා නෑ. බැරි වෙලාවත් කන්න ඇහුවත් කොහේ වතුර අරගෙන ඕවා හදනවද දන්නෑ කියලා අම්මා කඩාගෙන පනිනවා.

තව අයිස් ක්‍රීම් විකුණන කෙනෙක් හිටියා එයා නම් තරමක වෘත්තීය මට්ටමට ආව කෙනෙක්. බයිසිකලයක ලස්සන පෙට්ටි දෙකක් බැඳගෙන ආවේ. එකක අයිස් පලම්. අනිකේ අයිස් චොක්ස්. අයිස් චොක්ස් එකේ ජාති දෙකක් තිබුණා. එකක් වටේ චොක්ලට් තවරපු කිරි රස තියන පොප්සිකල් එකක්. අනිත් එක වේෆර්ස් වගේ බිස්කට් එකක් උඩට අයිස් ක්‍රීම් හැන්දක් දාලා දෙන එකක්. ඒ මොන එක කෑවත් මගදි කඩාගෙන වැටෙන නිසා අපි නම් පොඩි ප්ලාස්ටික්  කෝප්පයක් අයිස් ක්‍රීම් එක යටින් තියා ගත්තා. අයිස් ක්‍රීම් එක බිම වැටුනොත් ආය කවදා හරි අරන් දෙනකල් අර දුකෙන් පිච්චි පිච්චී ඉන්න වෙනවා.  අර චොක්ලට් කෝට් එකේ දිමියෝ පොඩි වුනාම දැනෙන රසයකුත් සමහර දාට එනවා.

හැමදාම අයිස් ක්‍රීම් විකුණන අය ආවේ නෑ . සතියට එක දවසක් වගේ තමා එන්නේ. ඒත් අපිට මාසෙකට සැරයක් විතර තමයි අරන් දෙන්නෙත්. අයිස් ක්‍රීම් කෑවම පණුවෝ ඇවිස්සෙනවා කියලා අපට ඒත්තු ගන්නලා තිබුණේ. ඒත් අයිස් ක්‍රීම් පෙට්ට්ය පාරේ යනවා දැක්කම පණුවෝ විතරක් නෙවේ අපේ හිතත් ඇවිස්සෙනවා.

අගෝස්තු නිවාඩුව ආවහම අපි වෙනදාට වැඩියෙන් අයිස් ක්‍රීම් කනවා. අම්මයි අප්පච්චියි විභාග ප්‍රශ්ණ පත්තර බලන්න ගියාම අපි නිදහස්. අරහෙන් මෙහෙන් එකතු කර ගත්ත සල්ලිත් තියනවා. රුපියල් දෙකක් ඕනේ චොක්ස් කන්න. කන දේ තීරණය වෙන්නේ තියන සල්ලි ගාන අනුව තමා. ඒත් අයිස් ක්‍රීම්කාරයා එනකොට ලොකු අප්පච්චී හිටියොත් වැඩේ හරි. ඉනේ තියන පොකට් එකෙන් රුපියල් හයක් අපි තුන්දෙනාට දෙනවා. අපට තව දවසකට අයිස් ක්‍රීම් කන්න සල්ලි ඉතුරු වෙනවා ඒ වැඩෙන්. සමහර දාට මග රැකගෙන හිටියත් අයිස් ක්‍රීම්කාරයා නෑ. එදාට නම් කන දෙයක්වත් දිරවන්නෑ හිතේ අමාරුවට. පහුවදා නැගිටින්නෙත් ඒ බලාපොරෙත්තුවෙන්මයි.

Baskin- Robbins අයිස් ක්‍රීම් ඉස්සරලාම කන්න ගිය දවසේ මට  පරණ අයිස් ක්‍රීම් මතකය ඇවිස්සුනා. දෙසිය ගානක් රස අනුව වර්ග කරපු අයිස් ක්‍රීම් තිබුණා.දෙසිය ගානම තව කන්න බැරි වුනා. එකේ ස්කූප්ස් හයක් දාලා ගන්නත් පුළුවන්. එකකොට එක සැරේ රස හයක් කන්න පුළුවන්නේ. මම එහෙම තමා මට පොඩි කාලේ කන්න බැරි වුන අයිස් ක්‍රීම් කන්න හදන්නේ.

ඒ විදිහට පොඩි කාලේ කරන්න බැරි වුන දේවල් කොච්චර පස්සේ කරන්න හදනවද? අපිට බැරි නම් අපේ දරුවෝ  ලවා හරි කරවන්න හදනවා. ඒ දේවල් කරන්න දරුවන්ට බල කරලා එයාලා ඉස්සරහාට යවන්නේ  අර මම මුලින්ම කියපු දන්සැල් පෝලිමේ තල්ලුව වගේ  දහ ගුණයක තල්ලුවක් දාලා.

No comments:

Post a Comment