2050 වර්ෂය වන විට ලොව වියපත් ජනගහනය මුළු ජනගහනයෙන් හරි අඩක් බවට පත්වේ. එනම් ලොවවින්
අඩක් යැපෙන්නෝ වෙති. වැඩිම වයස්ගත ජනගහනය ජපානයෙන් වාර්තා වනු ඇත. මේ කතාව මීට
සියවස් ගණනක් එපිට එවන් සමයක් පිළිබඳවයි.
ඒ ජපානයට හිම වැටෙන්නට ආසන්න කාලයයි. සරත් සමයේ
ජපානයේ ඇත්තේ කොළ හැළී ඉපල් වූ ගස් පමණකි. හිමෙන් වැසුණු ඈත කඳු ශිකර හාත්පස මවා පෑවේ
අඳුරු චිත්‍රයකි. තම නිවසට වී සීතලට රැළි ගැසුනු අත් ගින්නට අල්ලමින් මවගේ රස ආහාර බුදිමින් සිටින කොබයාෂි සිය මවගේ කටහඬට කන් දුන්නේ අකමැත්තෙනි. මව මතක්
කරන්නේ ඇය අද ගින්නට දැම්මේ අවසන් දර පතුර
බවයි.
“ දරුවෝ දැන්ම නොගියොත් මුළු සීතල කාලෙම දර නැතුව
දුක් විඳින්න වෙයි... වැඩි කල් නොගිහින් අද හෙටම හිම පතුරු පොළව වසා ගනීවි...”
මිචිකෝ තම පුතාට මදක් උස් හඩින් පැවසුවේ ඔහුගේ ස්වභාවය දන්නා නිසාය.
කොබයාෂි තම පොරව ද දර පතුරු මිටි බැඳීම සඳහා ගන්නා
ලනුව ද රැගෙන එළියට බහින තෙක් මව බලා හිටියේ නොඉවසිල්ලෙනි. ස්වභාව දහමට අවනතව
ජීවත් වීම මිචිකෝගේ නීතියයි.
කොබයාෂිගේ නිවස පිහිටා තිබුණේ කන්දක පාමුලයි. දැන්
දෙදෙනා මේ නගින්‍නේ ඒ මහා කන්දයි. නිවසට අවශ්‍ය දර සෙවීම කලකට පෙර කොබයාෂි බාර ගත්
වගකීමක් නමුදු මිචිකෝ කිසිම විටක තම තරුණ පුත්‍රයා තනිව එවන්නේ නැත. ඒ ඇයගේ
සෙවනැල්ල ස්වකීය පුත්‍රයා ලෙස සැලකීම හේතුවෙනි. මේ දෙදෙනා මෙවන් සීත කාල විසි
හතරක් තනිව ගෙවා ඇත්තෝ වෙති. කොබයාෂි කිසි දිනක තම පියා ගැන මවගෙන් අසා නැත. ඒ
පියා සදහටම වෙන් වී ගොස් ඇති බව දන්නා නිසා නොවේ, එසේ පියා ගැන අසන්නට තරම්
පාළුවක් දැනෙන්නට මව ඉඩ නොතැබූ නිසාය.
කොබයාෂි විසින් බිම දැමෙන ගස් කඳන් නැවත කුඩා
පතුරු වලට වෙන් කරන මිචිිකෝ කල්පනාවට
වැටෙයි. තම පුතාගේ තරුණ ජවය පිළිබඳ ඇයට ඇත්තේ මහත් ආඩම්බරයකි. කුඩා
කළ අපමණ දුක් විඳ ඔහු හදා වඩාගත්
ආකාරය පිළිබඳ සිහි කරමින් ඇය විටින් විට සුසුම් හෙළයි.
මව වෙනදා මෙන් කඩිසරව දර පතුරු එකතු නොකරන බවත්
මුහුණේ කිව නොහැකි දුක් සමුදායක් රැස් වී තිබෙන බව කොබයාෂිට පෙනේ. මවගේ මුහුණේ රැල්ලක් පවා ඔහුට කියවීමට
පුළුවන.
“මගේ පුතාට හෙටත් මේ කන්ද නගින්න වෙනවා....”
කොබයාෂිගේ මුුහුණ විශ්මයෙන් පිරේ. මව සිහින්
සිනාවක් පාමින් මෙසේ කියයි.
“ අමතක වුනාද? හෙටට මට අවුරුදු හැටයි....මාව
අරගෙන පුතාට හෙට මේ කන්ද මුදුනට එන්න වෙනවා..”
පොරව දැඩිව මිරිකමින් කොබයාෂි බිම වාඩිවෙයි.
දරුණු වේදනාවකින් ඔහුගේ හදවත මිරිකී යන්නට විය.
“ මේ වියරු අධිරාජ්‍යයා නිසා අපේ වැඩිහිටියෝ
සියල්ලම නැති වෙනවා...අනේ මගේ අම්මා...මගේ ජීවිතේ වටිනාම වස්තුව...හෙට මගෙන්
වෙනවා...” කොබයාෂි හිස දණිහිසේ රුවාගෙන හඩයි.
“දරුවෝ... මේක දුක් වෙන්න දෙයක් නෙවේ. මේක
චාරිත්‍රයක් වගේම අපේ අධිරාජ්‍යාගේ අණක්..අපි හැමෝටම අවුරුදු හැටේදි අර කන්දෙන්
පහළට අපේ අවසන් ගමන් යන්න වෙනවා. මම ඒකට සුදානම්. ඒත් මගේ පුතා ඒ වයසට
එද්දී අධීරාජ්‍යා මැරිලා ඉඳිවි. එතකොට මේ අණත් නැතිවෙලා තියෙයි.”
දර මිටි කරතබා ගත් කොබයාෂි පිටිපසින් මිචිකෝ
නිහඩවම පැමිණියාය. දෙදෙනාගේම වේදනා දෙන හදවත් නිහඩව වැලපෙන බව දෙදෙනාම දැනසිටියහ.
සමුගැනීම මෙතරම් වේදනාකාරී බවක් කොබයාෂි මින් පෙර දැන සිටියේ නැත.
මිචිකෝ එදින රෑ බත ඉතා ප්‍රණීතව සූදානම් කළාය.
ඉතා විශාල බත් පිඟානක් එදින කොබයාෂි අතට ලැබිණී.
“මගේ පුතාට හෙට කන්ද නගින්න හයිය ඕන වෙනවා. මගේ
බත් ටිකක් පුතාට දැම්මා..”
පසු දින අධීරාජ්‍යාට
සාප කරමින් , ශෝකයෙන් දැවෙමින් කොබයාෂි මව කරේ හොවාගෙන කන්ද නගින්නට පටන් ගත්තේය. ඊට
පෙර මිචිකෝ තමා සතුව තිබූ අගනාම වස්තුව වන ගෙත්තම් කරන ලද මිරිවැඩි සඟළ තම
අනාගත මුණුබුරන්ට දෙනු පිණිස කොබයාෂි අතට පත් කළේය.සැටවිය පැමිණි පසු ජපානයේ
වැඩිහිටියන් අධීිරාජ්‍යාගේ අණ පරිදි කන්දෙන් පැන සියදිවි හානිකර ගත යුතුය
.
කන්ද මුදුනට නැගුණු කොබයාෂි මව දෙස තව එක් වරක්
බැලුවේය. මිචිකෝ ද අවසන් වතාවට තම පුත්‍රයා දෙස බලා කදු බෑවුමට මුහුණ පා සිට
ගත්තාය. තව මොහොතකින් ඇය කඳු පාමුළ අවසන් ගමන් ගිය ගම්වැසියන්ගේ කණ්ඩාමට එකතු වනු ඇත.
තම මවට දෑස් පියා ගන්නා ලෙස පැවසූ කොබයාෂි
විශාල ගලක් දෑතින් ඔසවා ගෙන කඳු මුදුනේ සිටගත්තේය. මහත් වූ වැරෙන් ගල කඳු මුදුනේ
සිට අතහැර ඔහු මහා හඩින් මවගේ නම කියා වැලපෙන්නට විය. ගම් වැසියෝ කොබයාෂි වැළපෙන
හඩින් ඔහු මව සියදිවි හානිකරගත් බව තහවුරු කරගත්හ.
රහසේ මව නිවස වෙත රැගෙන ගිය කොබයාෂි ඇය නිවසේ
ගුහාවක සඟවා තැබුවේය. කිසිවෙකුටත් නොදැනේනට මව පෝෂණය කරමින් ඇය රැක බලාගනිමින් ඔහු
මව් සෙනහෙස විදිමින් රාජ්‍ය විරෝධියකු වී ජීවත් වන්නට පටන් ගත්තේය.
ජපන් අධිරාජ්‍යා තම බලය පිළිබඳව සෑම විටම සැක
පහළකරන්නේ වරින් වර තමාට වඩා ඥාණවන්තයෙක් සිටී දැයි බැලීමට අඩ බෙරයක් එවයි.
මිචිකෝ ගුහාවේ සිට ඒ හඬ අසා සිටියි. සිය පුත්‍රයාගෙන් විමසූ කළ ඒ රජතුමා අතින් අල්ලන්නේ නැතුව
හක් ගෙඩියක් තුළින් නූලක් යවන්නේ කෙසේ දැයි දන්නා නුවණැත්තෙක් සිටිදැයි බලා ගැනීම
පිණිස එවූ පණිවිඩයක් බව දැන ගනී. මිචිකෝ තම පුතුට නුවණ කියා දී ඔහු රජතුමා
ළගට යවයි. රජතුමා ඉදිරිපිට කොබයාෂි මව කියාදුන් පරිදි හාල් ඇටයක් නූලකින් ගැටගසා
හක් ගෙඩියක එක් කොනක තබා කූඹි ගුලක් ළඟ තබා පසු දින බලන ලෙස උපදෙස් දුන්නේය. කූඹින්
ඒ නූල රැගෙන හක් ගෙඩියේ අනික් පැත්තෙන් මතුවී තිබුණු අයුරු අධිරාජ්‍යා පසුදින
දුටුවේය .
ටික දිනකට පසු රජතුමා නැවතත් අණ බෙරයක් එවයි. ඒ අළු
වලින් ලණුවක් ගොතන ලෙසයි. ඒ ගැන කොබයාෂී මවගෙන් විමසන අතර මිචිකෝ නැවතත් පුතුට නුවණ කියා
දි යවයි.
කොබයාෂි අධිරාජ්‍යා ඉදිරියේ ගල් පතුරක් මත ලනුවක්
තබා යටින් ගින්දර දමා පෙන්වීය. මදකින් ලනුවට ගිනි ඇවිලී එය අළු බවට පත් වුවත් එහි
වියමන ගලමත ඉතිරි විය.
ජපන් තරුණයන් පිළිබඳව මනාව කරුණු දන්නා අධිරාජ්‍යා
නිසැකවම මේ දැනුම වැඩිහිටියෙක් ගෙන් ලබා
ගත් බව සිතා කොබයාෂිගෙන් ඒ පිළිබඳව දැඩිව විමසා සිටියේය. අධිරාජ්‍යාගේ උදහසට ලක්
වී හෝ තම මව බේරා ගැනීමට කොබයාෂි අදිටන් කොට සියල්ල හෙළි කර රටේ වැඩිහිටියන්ට
සියදිවි හානි කරගැනීමට පවතින නීතිය වෙනස් කර දෙන ලෙස අධීරාජ්‍යාගෙන් ඉල්ලා
සිටියේය.
තරුණයා තම මව කෙරෙහි දක්වන සෙනෙහස අධිරාජ්‍යාගේ
දැඩි පිළිවෙත සසල කිරිමට සමත් විය. ඔහු එතෙක් බලපැවැත්වූ රාජ නීතිය අහෝසි කොට
තම දියණිය ද කොබයාෂිට සරණ පාවා දුන්නේය. එයින් පසු දින අධිරාජ්‍යා තම මාළිගයෙන් නික්මී කන්ද මුදුනට
පැමිණියේය.
කඳු මුදුනේට සිට පහළ බලන ඔහුට පෙනෙන්‍නේ සියදිවි
නසාගත් වැඩිහිටියන්ගේ ඇටසැකිළි සමූහයක් හිමෙන් වැසී ඇති අන්දමයි. ඔහුගේ සිත
තුළ ඇතිවන පීඩනයෙන් ගැලවිය හැක්කේ ඒ වැඩිහිටින්ට යාමට සිදුවු මගම යාමෙන් බව ඔහුට දැණින.
කඳු මුදුනේ සිට පහළට පැනීමට පෙර ඔහු එක් වරක් හැරී තමා සදාකාලික බලය
වෙනුවෙන් තනා ගත් මන්දිරය දෙස හැරී බැලුවේය.
Have few more years if this rule is implemented here .... ha ha ha Any way great story on love and affection between a mother and a son.... touching... Congrats!!!! keep it up.....
ReplyDeleteAs usual thanks for the encouragement. Wrote this for the booklet
ReplyDeletewhat happen to your book launching? as you said it was scheduled on last march.
ReplyDeleteThat happened. My social media campaign was lost due to the ban . It is available at Godage Bookshop
ReplyDelete