අනෝ හාමි කකුල් දෙකම අතගාලා හිරමණේට ඉඳගත්තා. ටික
කාලෙක ඉඳලා දණිස් අමාරුව. වෙද මහත්තුරු දෙන්නෙක්ගෙන් බෙහෙත් බීවට කිසි ගුණයක් නෑ. පුතා
නම් කියනවා ඔය ලෙඩේ සුරුස් ගාලා ඉවරයි කියලා ඉංගිරිසි බෙහෙතක් බිව්වා නම් .
“ අනේ මේ අළුත් පන්‍නේ වැඩ..ඔය දොස්තර මහත්තැන්
කොහොමද පපුවට නලාව තියලා ලෙඩ හොයන්නේ..ඒකට නාඩි බලන්න එපාය..”
“ මොනවද අම්මා තනියම කියවන්නේ..? කුසුමා ඇහුවේ
බැරිම තැන. ඉස්සර නම් අනෝ හාමිගේ කට ගමටම ඇහෙනවා. දැන් දැන් කැමැත්ත තියෙන්නෙ
තනියම කියවන්න.
“ මේ ගෙදර එකෙක් ඉන්නවවද මම කියන ඒවා අහන්න..ඒ
හින්දා තනියම තමා මට කියවන්න වෙලා තියෙන්නේ.. මේ කකුල් රුදාව කොයි කාලේ ඉඳලාද මම
කියන්නේ.. මේ දණිස් අමාරුවෙන් මම මැරුණ දාට අඬාපල්ලා..”
අනෝ හාමිට කොයි වෙලාවෙත් ලේලි කියන ඒවට තරහා
යනවා. කුසුමාත් වැඩිය ඉවසන කෙනෙක් නෙවේ. කුසුමා නම් කියන‍්නේ තමුන් මේ ගෙදරට ආව
දවසේ ඉඳන්ම නැන්දම්මා කරපු වෙනස්කම්ම තමා.
“ හෙට යනින් ගමන් මම නොම්මරයක් අරං බස් එකේ
එවන්නම් ... කුසුමා දහය හමාරේ බස් එකේ අම්මා
එක්ක එන්න.. මට පැනගන්න බැරි වෙයි හෙට ලොක්කා දවසම ඔෆිස් එකේ වැඩ..” සරත් කුස්සියට
ආවේ නැන්දම්මාගෙයි ලේලිගෙයි කතාව කොහෙන් නවතියිද දන්නේ නැති හින්දා. එයාටත්
අම්මාගේ වැඩ සමහර වෙලාවට ඉවසන්න අමාරුයි.
කුසුමා නොරිස්සිල්ලෙන් හිස ගැස්සුවා. ළමයින්ගේ
වැඩයි, මහත්තයාගේ වැඩයි , නැන්දම්මාගේ වැඩයි මදිවට තව සමිති සමාගම් ඔක්කගේම වැඩයත්
තමන්ගේ පිට. අනික නැන්දම්මා කොච්චර හොඳ කරත් කියන්නේ තමන් කිසි දෙයක් කරේ
නෑ කියලාමනේ..
“ දොස්තරට ගෙවන්න මගේ සීට්ටු සල්ලි ගත්තා නම්
පුතේ...” අනෝ හාමි කුසුමා දිහා බැලුවේ ටිකක් ආඩම්බරේට. තමන්ටත් සල්ලි තියනවා හැමවෙලාවෙම
පුතාට අතපාන්නෑ කියන අදහසින්.
“ කොහේ තියන සල්ලියක්ද? ඔය ගිය සැරේ මල්ල
පිටින් අරං ගිහින් පන්සලේ පිංකටම පූජා කරේ..”
කුසුමාගේ කට කතුර වගේ. කුසුමට පෙන්නන් බැරි නැන්දම්මාගේ
ඔය ගතිය තමා. වත්තේ පොල් කඩලා විකුණුවත් , කෙහෙල් කැනක් විකුණුවත් අතට එන්නේ
කීයද දීලා ඇති පන්සලට.. ගෙදර උවමනාවක් වුනොත් අතේ සතයක් නෑ වගේ තමා කතාව. ආය ඉතිං
පොඩි එකාට බස් එක වැරදුනොත් ප්‍රයිවට් බස් එකේ යන්නවත් රුපියල් විස්සක් දෙන්නෑ සරත්ම
කීවොත් මිසක. හැබැයි ඉතිං ලොකු පුතා නම් ආච්චිගේ හැඹිලියට බහිනවා . ඉස්සර නම් අනෝ
හාමි ටක්කෙටම දන්නවා හැඹිලියේ තියන ගාන. දැං ඒකත් කීප සැරයක් ගණිනවා මේ මතක නෑ.
“ මොකක් කීවා.. මේ ගිය මාසේ මම ගත්ත සල්ලි. ..
අනුමානයක් නෑ ලොකු කොල්ලා ගන්න ඇති ඒක.. දැං මේ අම්මා සුද්ද කරනවා පුතණ්ඩියාව..”
“ අනේ ආච්චි අම්මේ .. මං ඉස්සරහාමනේ ආච්චි අම්මා හාමුදුරුවන්ට
සල්ලි දිලා පෙරළී පෙරළී වැන්දේ... මට ඉස්කෝලේ ප්‍රශ්ණ පත්‍තර වලට දෙන්න නෑ කියලා
කලින් දවසේ රෑ කියලා ඕන්න පහුවදා කරපු වැඩේ...”
ඒ කුසුමාගේම දුව. නිල්මිණි හැමවෙලාවේම අම්මාගේ පැත්තේ.
අම්මාටයි දුවටයි දෙන්නටම අනෝ හාමි දෙහි කැපුවා. ආය සිට්ටු සල්ලි දුන්නා නම් ඔයාකාර
අමතක වෙන්න පුළුවන්ද? ඔච්චර සල්ලි කන්දරාවක් හාමුදුරුවන්ට දෙන්න ආයි මොන යකෙක්
වැහිලද?
“ ඈ ........පුතේ ...මොකක් මේ මම පන්සලට දුන්නා
කියන්නේ සීට්ටු සල්ලි..”
“ අම්මා දෙන්නැති ... නැත්තං කවුරු ගන්නද ඔය
සල්ලි... නිදියන්න ගියත් සල්ලි හැඹිලිය හැට්ට කරේ ගහගෙන නේ ඉන්නේ...”
පොල් ගාන එක නවත්තලා අනෝ හාමි නැගිට්ටා. තරහට
හිත පුපුරු ගහනවා. අතපය වලංගු නැති වුණාම කාටත් එපා වෙනවා. ගෙදර හැමෝම දැං තමන්ට
විරුද්ධව බොරු කියනවා. දණිස් අමාරුව පැත්තකින් තියලා අනෝ හාමි කන්ද නැගලා තමන්ගේ
මිතුරිය හොයාගෙන ගියා.
“ ඈ.......... සුමනෝ මම සීට්ටු සල්ලි පූජා කොරාද
අපේ පන්සලේ පිංකම දවසේ.... මේ අපේ ගෙදර ඔක්කොම එහෙම කියන්නේ..”
“ මට මතකයක් නෑ නංගියේ.. දැං එච්චර මට
කල්පනාව මදි..” සුමනාවතී දෙකට දෙවාරනේ දුන්නා උත්තරයක්. අනෝ හාමි පොඩි බංකුවක
ඉඳගෙන කතාවට වැටුණා. දෙන්නා එක්ක ඉස්කෝලේ ගිය කාලේ ඉඳන්ම යාළුවෝ. දෙන්නම හතරේ
පන්තියෙන් මෙහාට ගියේ නෑ. ඒ කාලේ ගුටි කාපුවා අද වගේ මතකයි. සිංහල පාඩමට උගන්නපුවා
අකුරක් ගානේ මතකයි. එහෙව් අනෝ හාමිට සීට්ටු සල්ලි තියාපු තැන මතක නැතිවෙන්න
පුළුවන්ද?
ටිකක් දවල් වෙන්න ඇරලා අනෝ හාමි ගෙදර ආවා. කෑවායින්
නොකෑවායින් ඇඳට වැටුණා. හෙට දැන් දොස්තරට දෙන්න සල්ලි කොහෙන් හොයන්නද? කුසුමාට
ඇනෙන්න වෙනදාවගේ ආඩම්බර කතා කියන්න වෙන්නේ නෑ පුතාගේ සල්ලි වලට බේත් ගත්තාම. පුරුද්දට
වගේ ලා නින්දකට වැටුණාට අනෝ හාමිගේ හිත නොසන්සුන්.
“ අම්මා කෑවද...? “ සරත් පුරුද්දට වගේ අහන්නේ බත් එක අතට ගන්න ඉස්සර.
“ ඔය සුමනා නැන්දලාගේ ගෙදර ගිහින් ඇවිත් කෑවේ... “
අනෝ හාමි ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා. තාම මේ උදේට
රොටියක් කාපු ගමන්. පුතාට ලේලි ඇදබාන බොරු... තමන් කෑවා නම් තමුන්ට මතක නැද්ද?
“ ඔය බොරු පුතේ .. මගේ බත් එකවත් බෙදලා නෑ මේ හෙර
අද... මොකෑ මම සීට්ටු සල්ලි හැඟිස්සුවානේ.......”
“ මොනවා .... පොඩි එකීමයි බත් ටික බෙදලා
වැහුවේ..ආං අතෙන්ට බාගෙට බාගයක් හලලා නිදාගන්න ගියේ ... තණ්නාසේ .....දැං පූජා
කරපු සල්ලි වලට තණ්නාසේ තැවෙනවා..කාපු බීපුවත් මතක නෑ..” කුසුමා කඩාගෙන පැන්නා.
“ ඈ..... මම කෑවා දවල්ට...? අනෝ හාමි කුසුමා අත
දික් කරපු පැත්ත දිහා බැලුවා. කැඩිච්ච වළඳකට කවුරු හරි බත් එකක් නම් හලලා තියනවා
තමයි. ඒත් තමන් කෑවානම් ඒ ඩිංගට අමතක වෙනවද?
“ බොරු මායම් ..... ඉස්සර මට කියපු කරපු බොරු මේ
නාකි වයසටත් පටන් අරං.. දැං පුරුද්ට ගිහින්..ඔහොම අමතක වෙනවා නම් අර අපේ අම්මලා මට
දෑවැද්දට දුන්න සල්ලි තාම ගණං හිලව් ඇතුව කියන්නේ කොහොමද? කුසුමා ඒ පාර අනෝ හාමිව නිශ්ශබ්ද කරා.
“ මට දෙය්යෝ පෙන්නයි ඇත්ත නැත්ත.....” අනෝ හාමි කුසුමා
දිහා බලලා දත්මිටි කෑවා.
රෑ තිස්සේ සරත් කල්පනා කළේ අම්මට මේ මොකද වෙලා
තියෙන‍්නේ කියලා. දැං ටිකක කාලෙක ඉඳලා හැම එකම අමතක වුණා වගේ ඉන්නේ. ඒත්
පරණ කතන්දර නම් අකුරක් නෑර මතක එකනේ පුදුමේ.. මේ විදිහිට ගියොත් ගෙදර එකම
ගිනිවිජ්ජුම්බරයක් වෙයි..
ටවුමේ දොස්තර මහත්තයා හම්බ වෙන්න සරත්ම ගියා
අම්මත් එක්ක. දොස්තර මහත්තයා ඉස්සරහා අනෝ හාමි දිගෑරියා ලේලිගේ කතන්දර. සල්ලි ටික
නැති වුණාවගේම අළුත් චීත්ත එහෙමත් නැති වෙලා තියනවාලු. සමහර වෙලාවට කුසුමාම
ආපහු ඒවා ගෙනත් දානවලු හොරේ අහුවෙයි කියලා. දොස්තර මහත්තයා ඇහුවනේ ඒවා කරන්නේ කුසුමා
කියලා හරියටම දන්නේ කොහෙමද කියලා. ඒ වෙලාවේ අනෝ හාමිගේ මූණට එළියක් වැටුණා.
“දොස්තර මහත්තයාට කියන්න මට දේව වරමක් තියනවා. මට
දෙය්යෝ පෙන්නනවා ඔය ඔක්කොම..”
දණිස් අමාරුවට බෙහෙත් ගන්න අම්මා එක්ක ආව සරත්ට අන්දුන් කුන්දුන්..
මේ වයස හැත්තෑ පහේදි දේව වරමක් ආවා කිව්වාම..........
දොස්තර මහත්තයා අනෝ හාමිගේ දණිස් බලලා බෙහෙත් ලිව්වා.
සරත්ට කිව්වා අම්මාව එළියෙන් ඉන්දවලා ටිකක් ඇවිත් තනියම හම්බ වෙන්න කියලා.
“ අම්මට දේව වරමක් කිව්වේ දොස්තර මහත්තයා.. දැන්
මොකද කරන්නේ අපි..?
“වෙන මොකවත් නෙවේ කරන්න තියෙන්නේ. මෙන්න මේ
තුණ්ඩුව අරගෙන මහ ඉස්පිරිතාලෙට බදදා උදේට අම්මාව එක්ක යන්න. අම්මාට ටික කාලයක්
බෙහෙත් ගන්න වෙයි. මේක මේ වයසට යනකොට එන මානසික ලෙඩක්. තාම මුල් කාලේ නිසා කඩා
ගන්න පුළුවන් වෙයි..”
” දොස්තර මහත්තයෝ එතකොට දේව වරම...”
“පුලුවන් නම් අම්මාගෙන් ඉල්ලලා මට ඒක දෙන්න..මට
ලේසියි වරමෙන් බෙහත් අහලා කියන රස්සාව. ලෙඩ්ඩු බලන්න අපි අවුරුදු හතක් ඉගනගත්‍ේත මොන එහෙකටද මන්දා...”
Frankly not an interesting one this time. However a good one for those believe in myths. Keep writing like to read your blogs.
ReplyDeletethanks for the genuine comments
ReplyDelete