උදේ කෑමෙන් පස්සේ වලව්වේ කාර් එකෙන් දළදා වඳින්න
මහ දෙන්නයි අළුත් දෙන්නයි පිටත්වුනාට ලොකු මැණිකේ ගියේ නෑ. ඒ වෙනුවට හීං උන්දෑ
ගියා. ජයවිරුගේ දෙවනි ගමනට කැවිලි හදන්න තෙල්
තාච්චිය ලිපේ තියන්නට ලොකු මැණිකේ ඉන්න ඕනෑ. පාන්දර එලිය වැටෙන්ටත් කලියෙන් වලව්වට
ආපු ගමේ ගෑනු දෙතුන් දෙනා ඒ වෙනකොටත් වැඩ පටන් අරං.
රෑ පෙඟෙන්ට දැම්ම හාල් ටික ගරලා වතුර බේරෙන්න ඇරලා
පන් වට්ටිවලට එකතු කරලා තිබුණා. වලව්වේ ඇතුල් කුස්සියට එබෙන්ට තහනම් නිසා ඒකේ තිබුණ
මුට්ටි ටික ගෙනත් දැම්මේ ඩිංගිරි මැණිකේ. එලියේ කුස්සියේ ඇති වෙන්න ඉඩපාඩු තිබුණ නිසා
හැමෝම පාන්දර සීතලෙන් බේරිලා ඒක ඇතුලේ පිටි කොටන්න ලෑස්ති වෙනවා. ගල් වංගෙඩි දෙක පිහදාලා
මෝල් ගස් දෙකක් හෝදලා ගත්ත ගුනේ උන්දෑයි පිංචිනායි දෙමෝලෙන් පිටි කොටන්න පටං ගත්තා.
හනසු ටික හීනියට ඉරලා ලිප ළඟට ගෙනාව රං කිරා සීතල
යන්නත් එක්ක ගොද ගොද ගගා පැහෙමින් තිබුණ වතුර ටිකක් මැටි කෝප්පෙට දමාගෙන ලිප ළඟ ඇණ
තියා ගත්තා. ගමේ ගෑනුන්ගේ කතා අහගෙන හූමිටි දිදී ඉන්න එක හරි සතුටට කාරණයක්. ගමේ ළමිස්සියොත්
රං කිරාගේ නෝන්ජල් කම විහිළුවට ගන්නවා.
“දිසාවේ මැණිකේ කීවා රං කිරාටත් ගැටිස්සියක් හොයාලා
දෙන්නටය කියලා ඕං! " පිංචිනා කට දෙපැත්තෙන් වැක්කෙරෙන බුලත් කෙල පිහ දාලා කිව්වා.
“නිකා ඉන්ට අක්කා... මට මොන ගැටිස්සියෝද?
මං මේ දුම්බර නගා මට බහ දෙනකල් ආය එක හිතිං ඉන්නවා නොවැ.. "
ජම්බු ගෙඩිය වගේ ඉන්න දුම්බර ගෙදර ගැටිස්සි දිහා
බලාගෙන රං කිරා තමන්ගේ අවංක ගැඟීම කීවා.
“ඒකි ගල් ගෙඩිය හේ ඇට්ටර කොමට මට වචනය නොදෙන්ට මෙලහකටත් අපට දළදා හාමුදුරුවන්ට
වයන්ට පැටෙක් දෙකෙක් ඉඳී"
“මගෙන් වචනේ ගලවා ගන්ට එපා උඹ.. අනේ මට පුරුසයෝ නැතිවට උඹ වගේ වැල මදුලක් සහේට
ගන්ට ... " දුම්බර ගැටිස්සි කේන්තියෙන් පුපුරු ගැහුවේ
ගමේ උන් කොක් හඩලාගෙන හිනා වුනාට.
“ඇයි උඹ බලාන ඉන්නේ නිළමේ කෙනෙක් ඇවිත් කැන්දන් යනකල්ද ? යකෝ මං වලව්වේ බැලකම් කොරාට මාත් දළදා වහන්සේට සද්ද
පූජා කොරන ගමේ බෙරවෙක් තමා"
රන් එතනා අරං ආව කිරිබත් පලංගාන දැකපු රං කිරාගේ
කට වැහුනා. රජනෑ වලව්වෙන් ඇන්න ආපු නාරං කැවුම් පිරුණ වට්ටිය ආවේ දෙවනුව. ගෑණු ටික
වැඩ නවත්තලා පිටි ගෑවිච්ච අත් පිහ පිහා කෙහෙල් කොලවලට කිරිබත් බෙදා ගත්තා. කෝපි මුට්ටියෙන්
පොල් කටු වලට කෝපි වක්කරලා දුන්නේ රං කිරා. තමන්ට කොච්චර අපහාසෙන් කතා කලත් ඉස්සරලාම
කෝපි දුන්නෙත් දුම්බර නගාට.
“තරහා ගන්න එපා නගා . මගේ හිතේ ඇගෑලුම්කම් වැඩි වෙනවා
ඕං මේ වලව්වේ මගුල් තුලා දැක්කම. අපේ අප්පේ දැක්කද අපේ අළුත් කුමාරිහාමිගේ සිරියාව!
බලා ඉන්ට ලෝබයි. රත්තරන් ගාලා හේ අත පය....... " රං කිරා කෝපි බෙදිල්ලට ටිකකට
නතර කරලා හුස්මක් උඩට ඇද්දා. පාන්දර ඉඳලා පින්නේ වැඩ කරලා නහයත් බුරුල් කරලා.
“උඹ මොකද කිරෝ මේ ගෑණු අස්සේ.. පලයං කීවා අර කොස්
ගෙඩි දෙකක් කඩාන වර! දාවලට කිරි කොස් මාලුවක් තනන්ට කීවා ලොකු මැණිකේ"
ඩිංගිරි මැණිකේ කුස්සිය මැද්දෑවට එනකලුත් කාටවත්
ඇහුනේ නෑ. හැමෝගෙම අතපය කඩිසර වුනා. බුලත් කකා හිටපුවත් ඉස්මොල්ලේ ගියා වගේ. පිටි කෙටිලි
, හැලිලි , පැණි රත් කිරිලි හැම දේකටම විධානයක් ආවා. බිම ඉහිරෙන හැම හාල් ඇටයකටම
දෝසාරෝපන ලැබුණා. වැඩ ටික එකලාසයක් වුනාම ලොකු මැණිකේ ඔසරි පොට ඉනේ ගහලා තද කරගෙනයි
කුස්සියට ආවේ . එතන ලොකු තාච්චිය තියලා පොඩි පුටුවක් තියලා තිබුණා. තෙල් තාච්චියට වැඳලා
සුබ දිසාව බලලා කහ පාට පිටි දියරෙන් නෑවුන හැඩයට කපාපු කෑලි තෙල් තාච්චියට වැටුනා.
තෙල් හැන්දෙන් හිමිහිට කැවුම් දෙක ඇලවෙන්න නැතිවෙන්න දෙපැත්තට කරා. කැවුම වටේ බුබුලු
දදා තෙල් නටනවා. පිම්බිලා රත්තරං පාට වෙන කැවුම් කිරි ගොට්ටක එකතු වෙනවා. කැවුම් ගෙඩි
දහයක් විතර උයලා ලොකු මැණිකේ තෙල් හැන්ද ඩිංගිරි මැණිකෙගේ අතට දීලා නැගිට්ටා. තුනටියේ
කැක්කුම නිසා එක දිගට ඉඳගෙන ඉන්න අමාරුයි. ඒ කොහොම වෙතත් එදා ඉඳන්ම ගමේ ගෑනු ආංබාං
කරන වැඩ ඩිංගිරිට බාර දීලා ලොකු මැණිකේ වලව්වේ වෙන වැඩ බලා ගන්නවා.
පොල් අතු පෙට්ටියට පුරවගෙන ආව කොස් ගෙඩි දෙකක් සද්දේ
එන්න බිම දැම්ම සන්තියා රං කිරාට කතා කළා.
“ කිරා මලයා...... මේං මේ ගෙඩිය අරං තියන්ට . හෙට
වෙනකොට කන්ට ඇහැකි. ගෙඩි දෙකෝම දෙකයි ගහ හරියටම තිබ්බේ"
“උඹ ආවේ මගේ හොඳ වෙලාවට.. නැහ්නං මං මේ ගහ බඩ ගාන්නේ
කොහොමද කියලා හිටියේ. උදේ පින්නට ගස් ලෙස්සනවා"
“අපේ නිළමෙලා සුනංගු නොවී එනවා මෙහෙ කියලා කීවා ලොකු
මැණිකේ. අද අර සුදු මහත්තැං කෙනෙක් එනවා කීවා නෙව වලව්වට අර ඇත් දත් ද මොනවද වගයක්
බලන්න යන්න සුන්දර නිළමේ එක්කාසු කොරගන්ට. ඒ රාජකාරිය අහවර වුන ගමන් මේ වලව්වට එනවාය කියැව්වා"
සන්තියා දෙකට නැමිලා පිහියෙන් බෙල්ල කසන ගමන් ලොකු
මැණිකෙට කීවා.
“පලයං කිරිබත් කෑල්ලක් කාලම මේ කොස් දෙක කොටලා අර
ළමිස්සියන්ට දීපං සුද්ද කරන්ට"
බිලිං ගහේ වැටුන ගෙඩි ටිකක් අහුලගෙන ඇවිත් රන් එතනා
වෙල් මාළුකූරි සුද්ද කරන හැටි බලන්න රං කිරා ඉඳගත්තා.
“මේ කූරි ලිස්සනවා.. මට අළු ටිකක් ගෙනත් දියං..
"’
"ඕං මේ කකුල් කෙඩෙත්තුව යන්න කියලා මම ඉඳගත්තා විතරයි
මට අළු ගේන්නලු. අනේ මේ ගෑණුන්ගේ අතපය කොර වෙන්ට ඔනෑ මාව තෙහෙට්ටු කොරනවාට..
"
මේ මගේ අළුත්ම නවකතාව වන “සොල්දර වලව්වේ “ එක
පරිච්ඡේදයක්. ඉතුරු ටික කියවන්න මම ඔයාලා
හැමෝටම ආරාධනා කරනවා. මාර්තු මාසේ මගේ පොත එළිදක්වන දවසට මම මේ විදිහටම ආරාධනාව
එවන්නම්..... මගේ බ්ලොග් කියෙව්වාට ඒ ගැන අදහස් දැක්වූවාට ගොඩාක් ස්තූතියි. ඒකෙන්
මට ලැබුණු සතුට තමා සොල්දර වලව්ව කියන්නේ....
සොල්දර වලව්ව ගන්නම එන්නං.
ReplyDeleteI will send the invitation
DeleteCongratulations!!!! Keep it up... Wish you all the very best and all success at the Book launch!!!!
ReplyDeletei will also come tell me the date.
ReplyDeletesure ...that is a great honour
ReplyDelete