මගේ බණ්ඩක්කා
බේසමට එක පාරටම දලු කරල් දෙක තුනක් වැටුණා. හීනි වළලු දෙකක් දාපු , කාලෙකට කලින් නිය
ආලේපන ගාපු අතක් ...
ඒ අත දිගේම
බලාගෙන ගියාම ඒ අතේ අයිතිකාරයා හම්බවෙනවා.
මැදිවිය ගෙවමින් ඉන්න රවුම් මූණක් තියන කාන්තාවක්. කොන්ඩේ නම් වයසට නොගැලපෙන තරම්
තරුණ පාටයි. ඒත් දැං කාලේ තැඹිලි ගෙඩියේ පාට කොන්ඩා හිමිකාරියෝත් ඉන්නවානේ.
“ නෝනාගේ ගෙදර
වැඩට ඉන්න කෙල්ල නම් කිසි කමකට නෑ.. ඔව්..”
අනාරාධනාවෙන්ම කාන්තාව කතාව පටන් ගත්තා.
“පහුගිය ටිකේ
නෝනා හවස් වරුවේ ගෙදරනේ... මේ දවස්වල එනකොට හතර පහු වෙනවා නේද?”
“ ඔව්”
“ඒකනේ.. .ඕන්න
හතර පහුවුනාම එහේ ගෙදර සද්දේ අඩුයි...නිතරෝම අර පොඩි ළමයාට කෑගහ ගත්ත ගමන්ම තමා අර
කෙල්ල....”
මගේ ගෙදර
විස්තර මටම කියන්න තරම් සමීප කෙනා කවුද කියන හිතුවිල්ලෙන් මම මෑකරල් තේරුවා.
“ගන්න එපා
නෝනා මේවා.. මේ එක පණුවෙක් නෑ ..ඒ කියන්නේ බෙහෙත් ගහලා වකාරෙට..” මම මෑකරල් අතෑරලා
වම්බටු පැත්තට හැරුණා.
“ මේං පණුවෝ
පිරිලා... කන්න එපා ජරා..ව” ඒ ඇඟිලි ගැහිල්ල මාව ලුහුබඳිනවා වගේ.
“ මම මේ
නෝනලාගේ එහා ගෙදර අර වයසක නෝනා බලාගන්න ආවේ.. දැං මාස හයක් විතර ඇති... අප්පේ වයසට
ගියාම තමා බලන්න අමාරු..පොඩි ළමයි තව හොඳයි.” කාන්තාව තමන් පිළිබඳව පැහැදිළි
කළා.
මගේ අසල්වැසි
ගෙදර. එහේ එක් සාමාජිකයෙක් හැරුණාම අනික්
අය හිම වැටෙන රටක ස්ථිර පදිංචියට ගිහින්.
සීතල ඔරොත්තු
නොදෙන නිසා ලොකු නෝනා විතරක් මෙහේ නැවතිලා. එයාට
රැකවරණය දෙන කාන්තාව තමා මට මේ හම්බ වුනේ.
“ කොහොමද දැන්
එහේ ලොකු නෝනට..?”
“පහුගිය ටිකේ
අසනීපෙන් හිටියා.. දැං ටිකක් හොඳයි.. උදේ
ඉඳන් හවස් වෙනකල්ම බණ දාගෙන බලනවා. මට නම් දැං කට පාඩම් ඔය හාමුදුරුගොල්ල
කියන ඒවා..”
“හ්ම්...”
“
හා...හා........රතු ලුණු ගිනි ගණන් .... බී ලූණු ගන්න නෝනා... ආයි මොකද කනකොට ඕකේ
වෙනසක් තියනවාද ? අනේ මම නම් පමණක් වෙලාවකට ලූනු නොදාත් උයනවා. මොකද අර ලොකු නෝනාට කෑම වල රහක්
දැනෙන එකක්යැ....”
“හ්ම්..”
“ මම මේ
කියන්නේ නෝනා..... අර පොඩි දරුවා තියන්න එපා අර කෙල්ල එක්ක. හැම වෙලේම බනිනවා.
ඕන්න කවන්න ගියත් මට ඇහෙනවා සැර දාන තරම්. කොටින්ම කියනවනේ කන්න බැරි නම් නිකං
ඉන්න කියලා..“
“ ඇත්තද..?”
“ ඒකනේ
කියන්නේ .. නෝනා ඕවා දන්නේ නැද්ද? අහන්නකෝ ලොකු බබාලා දෙන්නාගෙන්. ඒ දෙන්නා
ඉස්කෝලේ ඇරිලා ආවම තමා ඉතිං පොඩි දරුවට සහනේ.... අක්කලා එක්ක සෙල්ලම් කරන්න වත්
දෙන්නෑ මයේ හිතේ... අද බැන්නා ඇතුළට දාලා වහනවා දැඟලුවොත් කියලා... එහෙම කරනවත්
ඇති.. මොකද මට කියා හැම වෙලේම කන් දිහාගෙන ඉන්න වෙලාවක් නෑනේ... අපේ ලොකු නෝනා මම
පේන්න නොහිටියොත් සීතෝ... කියා ගත්ත ගමන් මයි”
“ එතකොට ඒ
නෝනා ළඟටම වෙලා නෙවෙයිද ඔයා ඉන්නේ...”
“ හපෝ..යි
එහෙම හිටියොත් මට කනක් ඇහෙන්නේ නැතිවෙයි. අරක හදලා දෙන්න .. මේක හදලා දෙන්න ඔහොම
තමා දවස තිස්සෙම.. මම මගෑරලා ඉන්නේ..”
“ආ...”
“ ඔන්න නෝනා
සමහර දාට ඔය දරුවට කරවල දෙනවා... කෑවේ නැතුවාම කෑ ගහනවා තුන් වේල චිකන් කන්න
පුළුවන්ද ? ලෙඩ වෙනවා නේද ? කියලා... අනේ මොන බොරුද .. මේ කෙල්ල කනවා ඇති නෝනා
හදලා යන කෑම.. ඊට පස්සේ පොඩි දරුවට කරවල දෙනවා ඇති... මම මේ කියනවාට දවසක හොයලා
බලන්නකෝ...“
“හරි...”
“ අනික නෝනා
දරුවා නාවන එක... හම්මේ යුද්ධයක් වගේ .... කොයි දරුවද වතුරට කැමති...මේක මේ දඟල
දඟලා තමා නාවන්නේ... ඒ කෙල්ලට හිනා... මට ඇහෙනවානේ සද්දේ වතුර බටෙන් තමා නාවන්නේ..
.නිකමට බේසමටක තියන්නේ නෑ මයේ හිතේ.....ඒ වෙලාවට නම් චාටු කතා කියනවා සීතල වතුරෙන්
නාවා ගන්න ඕන හින්දා වෙන්න ඇති හෙර....”
“ හ්ම්....”
“ නෝනා
මේ අර්තාපල් ගන්නකෝ .... තුන් වේල උයන්න පුළුවන්... අපේ
ලොකු නෝනට පෙන්නන්න බෑ.. ඒත් මම නම් උයනවා හැම නිතරම... සුද්ද කරන්න අමාරුවකුත්
නෑ... උදේට අල තෙල් දැම්මාම පහුවදාටත් කන්න පුළුවන් නරක් වෙන්නෑ..“
“ තුන් වේලම
අල දෙනවද නෝනට....“
“ එයැයිට
උයන්න මහන්සි වෙලා වැඩක් නෑ.. මම කටට රහට මුකුත් හදාගන්නවා මිසක ...” කාන්තාව
ටිකකට කතාව නැවැත්තුවා.
“එහෙනම් ඔයා
බඩු ටික ගන්න මම බිල දාන්න යනවා..” මට ඕන වුනේ ඉක්මන් සමු ගැනීමක්.
“අනේ නෝනා මේ
හිතවත් කමට කියන්නේ .. කේලමක් කියනවා කියලා හිතන්න එපා.. පහුගිය දවසක ඔය පොඩි
දරුවා අක්කලාගෙ පැන්සල් පෙට්ටියක් අරගෙන ... මං හිතන්නේ කිරි දත් නේ හපන්න ඇති. මේ
කෙල්ල කොහොම හරි ඕක උදුරලාම අරගෙන මදිවට
කෝටුවකිනුත තැලුවා දරුවාට......”
“ ඔයා
දැක්කද?’
“ නෑ මේ... මට
ඇහුනා .. මේ මම ගෙනාවා කෝටුව .....දෙන්න ද පාර කිය කියා පාරට්ටු කරනවා. ආයි දෙකක්
නෑ ගැහුවා දරුවාට.. ඇත්තට කීයක් ගෙවනවාද ඔය නැට්ටිච්චිට...“
“ටිකක් වැඩිපුර
දෙනවා. තුන් දෙනාම බලාගෙන මම එනකල් වැඩ ටිකක් කරනවානේ..”
“ අනේ ළමයි
බැලිල්ල... ඕං උදේට අතුගානවා ඇහෙනවා මිදුල... එතකොට අර දරුවා එනවා ඇති සෙල්ලමට ඇගේ
එතෙන්න... මේකි බනිනවා.. අතාරිනවා මගේ සාය... මේකත් ඉරන්නද හදන්නේ... දැං ඇඳුම්
කීයක් ඉරුවද වගේ කතා.... මේ දරුවා ඒත අතනෑරියොත් අතුගාන එක දමලා ගහලා යනවා.....ඕං
ඊට පස්සේ තකහනියේ මොනවත් දරුවට කවලා නිදි කරවලාද කොහොදෝ ඇවිල්ලා තමා පස්සේ අතුගාලා
දාන්නේ...“
“ ඒක කොහොමද
දන්නේ.... ?”
“ නෑ මට
ඇහෙනවනේ එතන වෙන දේවල් කනේ තිබ්බා වගේ ...... මේ කෙල්ල ඒ වෙලාවට කිවනවා ගිහින්
නිදාගන්නවකෝ මට කරදර නොකර කියලා.. මගේ පපුව පත්තු වෙනවා ඒවා අහන කොට. .. කියද වයස
දරුවාගේ”
“ තාම
අවුරුද්දක් නෑ......“
“ මං කියන්නද
නෝනා.. මට ඔය තව ටිකක් වැඩි කරලා දෙන්න ගාන .. මං එන්නං ඔය දරුවෝ බලා ගන්න.. අර
උඩැක්කිය යවන්න නෝනා ගමේ...”
“එතකොට එහේ
ලොකු නෝනා..?“
“ මේ වල පයයි
ගොඩ පයයි තියාගෙන ඉන්න නෝනා වගේද අර දරුවෝ තුන්දෙනා...”
ඒ කතාව තවත් ඉදිරියට ගෙනියන්න බැරි නිසා මම කලබලය
පිටින් දාලා මම එළියට බැස්සා
ගෙදර බෙල් එක ගහන පමාවට අපේ ගෙදර උඩැක්කිය ගේට්ටුව
ඇරියා. ඒ පිටිපස්සෙන් සීතා මෙච්චර වෙලා
කිව්ව දරුවා නැට්ට වනමින් මම එනකල් බලාගෙන හිටියා...
Wow! ඇඟිලි ශිල්පියා වගේ නමක් තියෙන කෙටි කතාවක් තියෙනව.... මේ වගේම!
ReplyDeleteThanks for the comment. Yet to find the story you mentioned
Deletehttps://www.google.com/url?q=http://www.netprof.pt/Ingles/PDF/TheHitchhikerb.pdf&sa=U&ved=2ahUKEwjMtt7OnZXZAhVLto8KHVGFBxYQFjALegQIEhAB&usg=AOvVaw0nGURO_XTN2mBk9FVAhk-L
Deleteනියමයි.
ReplyDeleteකියෙව්වාට ස්තූතියි. ඊටත් වඩා ඒ බව දැන්වූවාට බොහොම ස්තූතියි.
DeleteVery Common characters in the society... Most of the servants are of that nature.... Any experience???? Anyway nice story for such parents to think twice....
ReplyDeleteyes.. this is a firsthand experience!
ReplyDeleteනියමයි.
ReplyDelete