පහුගිය සතියක උසස්
පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඒ ප්‍රතිඵල තමන්ගේ දක්ෂකමේ , ධෛර්යවන්ත කමේ වගේම කැපවීමේ
ප්‍රතිඵලයක් බව එයින් හොඳට සමත් වුන
දරුවන්ට දැනුණා. තමන්ට මීට වඩා කැපවෙන්න
තිබුණ බව අනික් දරුවන්ට හරියටම දැනෙන්නේ අනික් අයගේ හොඳ ප්‍රතිඵල දැක්කාම.
අම්මලා උදේ හවා කිව්ව දේවල් හොඳින් තේරුම් යන්නෙ ඊට පස්සේ. එහෙම දරුවන්ට තමා දෙවනි
සැරේට විභාගෙට ඉඳගන්න අවස්ථාවක් හදලා දීලා තියෙන්නේ.
මේ විභාගයට අත්තිවාරම
දාන්නේ ඉස්කෝලෙට ඇතුළත් වෙන්නත් කළීන්. ඒ කියන්නේ අකුරු කියවන දවසේ ඉඳලා කිව්වොත්
හරි. ඒකට බොහෝම කල්පනාවෙන් නැකැත් බලලා උගතෙකු ලවා අකුරු කියවන්නේ ඒකයි. ලංකාවේ
මොනවා නැතත් තවමත් අධ්‍යාපනයට සලකනවා. ඉගනගත් පුද්ගලයෙකුට ලොකු ගෞරවයක් සමාජයේ
තියනවා.
මම මේ කියන්න යන්නේ
පොඩි කොලු පැටියෙක් ගැන. පවුලේ අන්තිමයා නිසා පොඩ්ඩා කිව්වේ. අක්කලා තුන් දෙනෙකුට
පස්සේ ඉපදුන කොල්ලා අන්තිම නරක් වුණා වැඩිපුර ලැබුණු ආදරයට. තාත්තා අකුරු කියවන්න
නැකතක් බලන්න ගියාම තුන් පළකින් කිව්වා ඉස්කෝලේ නම් යවන්න බැරිවෙයි අවුරුදු
දහයකවත් කියලා. අතේ පයේ වැඩක් පුරුදු කිරීම තම ලැබුණ උපදෙස වුනේ.
අකුරු කියවන දවසට ආවේ ඉස්කෝලේ මහත්තයෙක්. ඉස්කෝ්ල් මහත්තයා ඒ
වෙනකොට පෙන්ෂන් ගිහන් . පොඩ්ඩා ඉස්කෝලේ අත්තාව හොඳට අඳුරනවා. ඊටත් වඩා ඉස්කෝලේ
අත්තා පොඩ්ඩාව මොන ජාතියේ කෙකේද කියලා අඳුරාගෙන හිටියේ. අකුරු කියවන නැකත ආවා.
අක්කලා ඉස්කෝලේ යන්න ඇඳගෙන පොඩ්ඩා වටේ ඉන්නවා. වෙනදට නැති කෑම වටේට පිරිලා නිසා
පොඩි උනන්දුවකුත් ආවා. නැකත් වෙලාව ආවා. නැකතේ හැටියට ඉස්සරලාම කියවන්න තිබුනේ ස යන්න.
ඉස්කෝලේ අත්තා උගුර පාදලා ස්වස්ථි සිද්ධම් කියලා ස යන්න කිව්වා.
ම්හු..................කිසි
සද්දයක් නෑ
“ස“ ආපහු කිව්වා. ඒත්
සද්දයක් නෑ.
'පොඩ්ඩා මේ අකුර මාත්
එක්ක කියවන්න’ අත්තා ඉල්ලා
හිටියා
“ අනේ බෑ අත්තේ
......මම ඔය අකුරට ආසා නෑ... මට ඒ අකුර පේන්නේ බකමූණෙක් වගේ“
තාත්තගේ මූණ නරක්
වෙනවා දැක්ක අක්කලා හිමිහිට මාරු වුණා. නැකතත් පහුවේගන එනවා.
‘නෑ ... පුතා කියවන්න
ඕන නෑ.. මට කියලා දෙන්නකෝ’ තාත්තා
කේන්තිය මට්ටු කරගෙකන කිව්වා.
“ තාත්තා මේ අකුර දන්නෑ..........?
ඇයි අත්තේ තාත්තාට අකුරු කියවද්දි මේ අකුරු තිබ්බේ නැද්ද?
ඔය විදිහේ තර්ක විතර්ක
මිසක එදා කිසිම අකුරක් කියවුනේ වත් ලියවුනේ වත් නෑ. හඳහන් කාරයෝ කිව්ව දේ නම් ඇත්ත
බව තාත්තාට තේරුම් ගියා.
අවුරුද්දක් කළින්
මොන්ටිසෝරි යැව්වෙත් මොකක් හරි පිළිවෙලක් කරගන්න. ඒකත් මේ ආවට ගියාට නෙවෙයි. එළියට
එනකොට වාක්‍ය දෙක තුනක් ලියන්න පුළුවන් මොන්ටිසෝරියකට තමා යැව්වේ! කොල්ලට ඒ
මොන්ටිසෝරිය එපා වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. අත්වැඩ ටික කරලා දැම්මට අකුරු
ලියවිල්ල කරවන්න බැරි වුණා.
ඉස්කෝලේ තුනේ පන්තියට
විතර එද්දි අකුරු ටික ලිව්වා. ඉලක්කනුත් ලිව්වා. ඒත් මේ ඒ පන්තියේ ටීචර්ගේ හිත
රිදවන්න බැරි කමට මිසක උවමනාවකට නෙවේ. තාත්තා මේ කොල්ලට මොනවා කරන්ද කියලා දහ අතේ
කල්පනා කරනවා. අක්කලාටත් ඉස්කෝලේ පැමිණිලි ඉවරයක් නෑ මල්ලි නිසා. ලොකුම පැමිණිල්ල
ඉස්කෝලේ වත්තේ බල්ලන්ට පූසන්ට කෑම දීලා උන් හුරතල් කරන එකට. දවසක් පොඩ්ඩා ආවා අත
දිගේම ලේ පෙරාගෙන.
තාත්තා හවස ගෙදර
එනකලුත් අක්කලා දැකලා තිබුණේ නෑ. තාත්තා
හිනි කෝටුවක් කඩාගෙන පොඩ්ඩාව ඇදලා ගත්තේ වෙන විදිහකට ඇහුවට උත්තර දෙන්නනේ නැති
නිසා.
‘මොකද මේ තුවාලේ ?’
‘නෑ ............
ඉතිං මම සාධාරණේට බෙදලා දෙන කෑම කන කොට
රණ්ඩු වෙන එක වැරදියිනේ.......’
‘ඒ කිව්වේ ?’
‘අද අර පිටේ මල් තියන
පූසයි, කළු පාට මේස් දාගෙන වගේ ඉන්න පූසයි දෙන්නම එක සැරේ ආවනේ..’.
‘කොහාටද?’
අපේ පන්තිය පිටිපස්සට
, උන් දන්නවා මම දවල්ට කෑම කන්නේ නැති බව. කෑම අහක යන නිසා ඒ දෙන්නට දෙනවා කෑම..’
‘ඉතිං….?
‘අද මාළු කෑල්ල බෙදා
ගන්න බැරුව පිටේ මල් පූසා අනිකට හැපුවනේ’
‘ඔව් ඉතිං? ‘
‘ඉතිං කියන්නේ තාත්තේ
මම එයාව අල්ලාගෙන පැත්තට කරලා තියාගත්තා අනිත් කෙනා කනකල්...............මේ ඒකට
තරහා ගිහින් මගේ අත හැපුවා..’
අන්තිමට ඉස්පිරිතාලේ
ගිහින් ඉංජෙක්ෂන් විදලා තමයි ගෙදර ගෙනාවේ. ඒත් පූසන් බල්ලන් හුරතල් කරන වැඩේ
අතෑරුනේ නෑ.
පොඩ්ඩා ඉස්කෝලේ දහයේ
පන්තියේ විතර ඉද්දි තාත්තාට තමන්ව ඇවිත් හම්බවෙන්න කියලා ඉස්කෝලේ ප්‍රින්සිපල්
පණිවිඩයක් එව්වා. තාත්තා පොඩ්ඩෙගේ මූණ දිහා බලං හිටියේ කරලා තියන නසරානි වැඩේ දිග
පළළ තේරුම් ගන්න. මොන ඒ මූනේ කිසි වෙනසක් නෑ.
වැඩේ මේකයි. පොඩ්ඩලා
විද්‍යාගාරේ වැඩ කරද්දි අළුතින් ආපු සර් අළුත් අළුත් පරීක්ෂණ කරවලා.
ඇමෝනියා වායුවත් හදලා එදා. පොඩ්ඩා කරලා තියෙන්නේ බෝතලේකට ඒ කියපු දේවල් ටික දාලා
ප්‍රින්සිපල්ගේ ජනේලෙන් එහා පැත්තේ තියලා. එදා කාමරේ මහා කුණු ගඳක් එනවා කියලා
දවසම කාමරේ අස් කරවලා , කාණු සුද්ද කරවලා. ඒත් ඒ ගඳ එනවලු. පස්සේ තමා අර
බෝතලේ සිද්ධිය සහ මහා මොළකරුව හොයාගෙන තියෙන්නේ. එදා නම් පොඩ්ඩෙට ඉස්කෝල රැස්වීමෙ
දීම ප්‍රසංසනීය ඇගයුම් සහ ගෙදරදී පසු ඇගයුම් ලැබුණා. හැබැයි කොල්ලා එහෙම හිතා
මතා ප්‍රින්සිපල්ට අපහාසයක් නොකළ බව ප්‍රින්සිපල් යටි හිතෙන් පිළිගත්තා.
දහයේ විභාගේ ගන්න කාලේ
වත් වැඩක් කළේ නෑ. අක්කලා දෙන්නා එතකොට ඉස්කෝලේ ගිහින් ඉවරයි. එක්කනෙක් ගුරු විද්‍යාලේ.
අනිත් කෙනා ප්‍රතිඵල එනකල් හිටියේ. ඒ දෙන්නා කොහොම හරි එකතු වෙලා පොඩ්ඩෙව ඒ ලෙවල්
කරන තරමට ගොඩ දැම්මා. තාත්තා පොඩ්ඩෙව
අතෑරලා දාලා හිටියේ මොන තරම් දඩුවම් කළත් වැඩක් නැති නිසා. හැබැයි කොල්ලා කිසි දාක
අනිත් කොල්ලන්ට එකතු වෙලා රවුම් ගහන්න , රණ්ඩු වෙන්න නොගිය නිසා තාත්තාට
සහනයක් තිබ්බා.
තමන්ට ගණිතය කරන්න
දෙන්නෙ නැත්තං ඉස්කෝලේ නොයා ඉන්නම් කියලා ඉස්තීරෙටම කිව්ව නිසා තාත්තා උසස් පෙළට
ගණිතය කරන්න ඉඩ දුන්නා. හනේ නිකම්ම ඒ අවුරුදු දෙක ගෙවුණා කියමුකෝ. ඒත් එස් තුනක්
අරන් තිබුණා. ඒ වෙනකොට දෙවනි අක්කා විශ්ව විද්‍යාලේ. එයා කිව්වේ මල්ලි පාඩම් කළා නම් එයා ඉන්න තැන හිතා ගන්න
බැරි තරම් දක්ෂයෙක් කියන එක. විභාගෙට තමන් මොන තරම් මහන්සි වුණා ද කියලා එයා මතක්
කළා.
පොඩ්ඩෙට යන
කළ දසාව ගැන තාත්තා හරියට කම්පා වුණා. අර අකුරු කියවපු අත්තා නම් කිව්වා
කොල්ලාගේ හිත වෙනස් කරොත් එයා ඉගන ගන්නවාමයි කියලා. ඒ හිත වෙනස් කරන්න අඟහරුලෝකෙන්
එන්න වෙයි!
අන්තිමට හැමෝගෙම
කැමැත්ත බලලා තාත්තා තීරණය කළා පොඩ්ඩෙලාගේ පරණ කඩ කෑල්ලේ ගරාජ් එකක් දාල
දෙන්න. මොකද කැඩිච්ච වාහනයක් පිටින් බලලා වෙලා තියන දේ කියන්න කොල්ලට පුළුවන්.
ලොකු ශ්‍රමදානයක් දාලා කඩ කෑල්ල අස් කරා. අක්කලාගේ පරණ පොත්, තාත්තාගේ ෆයිල්
එකක් නෑර බලලා තමා ගිනි තිබ්බේ. හවස් වෙනකොට
මුළු කාමරේම හිස් කරලා ගත්තා. එදා රෑ ඔක්කොමලා එකතු වෙලා ගන්න ඕන බඩු
ලැයිස්තුව සාකච්ඡා කළා. ඒකේ මූලිකත්වය ගත්තේ දෙවනි අක්කා බඳින්න හිටපු ඉංජිනේරු
අය්යා. ඒ අය්යා නම් විරුද්ධ වුණා මල්ලි ගරාජ් දානවට. තමන්ට ගාණක් කියලා දෙන්න
තරම් පොඩ්ඩට මොළේ තියනවා කිව්වේ දවසක්.
තාත්තේ මම දෙවනි පාරට
විභාගේ ගන්නවා..........
පොඩ්ඩා එක පාරට
කිව්වා.
මේකගේ හිත වෙනස් වුනේ
කොහොමද තාත්තා ඇස් උඩ තියාගෙන ඇහුවා.වෙච්ච දෙයක් කාටවත් තේරුම් ගන්න බැරි වුණත්
පොඩ්ඩේ පන්ති ගියා . පාඩම් කළා.වෙන්ඩ මස්සිනා ගෙන්නා ගෙන ගණන් අහගත්තා.
මස්සිනාට තේරුණා මොකක්
නමුත් ලොකු විපර්යාසයක් වෙලා බව. එයා දවසක් පොඩ්ඩෙගේ පොත් අතර දිනපොතක් දැක්කා. ඒක
පෙරලුවාම දැනගත්තේ පොඩ්ඩෙගෙ අම්මාගේ බව. ඒකේ පොඩ්ඩෙව ලැබෙන්න කලින් අම්මා එයා ගැන
මවපු හීන ලියලා තිබ්බා. අම්මා තරයේම විශ්වාස කරලා තිබුණා මේ පාර ලැබෙන්න ඉන්නේ
පුතෙක් බව. එක සටහනක තිබ්බා එයාගේ පුතා හොඳට ඉගෙන ගෙන ලොකු තැනක ඉන්නවා බලන එක තරම්
ආසාවක් තවත් නැති බව. ඒ පිටුවට පොඩ්ඩේ සටහනක් දාලා තිබුණා.
පහුගිය දා ප්‍රතිඵල
ආවේ පොඩ්ඩේ දෙවනි සැරේට ලියපු විභාගේ. කොල්ලා ඒ තුනක් අරං පාස් වෙලා හිටියා.
තාත්තාගේ ඉහිලුම් නැති සතුට ඉස්සරහා පොඩ්ඩෙ පුරුදු විදිහට නිශ්ශබ්දව හිටියා.
‘උඹට මගේ සතුටවත්
තේරුම් ගන්න බැරිද පුතේ ....‘ තාත්තා කම්පාවෙලා
ඇහුවා
‘ මගේ අම්මා මට තේරුම්
කරලා දුන්න විදිහට මට ඒ දුක සතුට තේරුම්
කරලා දෙන්න තාත්තේ..........’
තමන් ඇස් අරින
වෙලාවෙදි මේ ලෝකේ අතෑරලා ගිය අම්මා වෙනුවෙන් යුතුකම් ඉටුකරපු පුතෙකුගේ කඳුළු
තාත්තා ඒ වෙලාවේ දැක්කා.
Good story for the children to read......It is a matter of destiny and perseverance. keep writing ......
ReplyDeleteela
ReplyDeleteතවත් සින්ඩියක් http://sithuwilisatahan.com