Wednesday, July 13, 2016

ගුණදාස


 

මම ගුණදාස ඉස්සරලාම දැක්කේ මගේ රස්සාවට ආව දෙවනි දවසේ. මම ඔෆිස් ගිය පළවෙනි දවසේ ගුණදාස ඇවිත් හිටියේ නෑ. දෙවනි දවසේ පඩිපෙළ උඩට නගිද්දී මට ඉඩ දීලා පොඩ්ඩක් අයින් වෙලා මූණේ පොඩි හිනාවක් එක්ක සුදු සරමකුයි කමිසයකුයි ඇඳපු අවුරුදු පනහක විතර උස කෙට්ටු කෙනෙක් හම්බ වුනා. එයා තමා ගුණදාස. අපේ රියදුරු මහතා බව දැනගත්තා පස්සේ. ඇත්තමට කීවොත් අපේ ප්‍රධානියාගේ රියදුරු. අපි දහ දෙනෙකුගෙන් යුත් විශාල කාර්යය මණ්ඩලයට රියදුරෝ තුන්දෙනෙක්ම හිටියා. ඒ අයගෙන් ගුණදාස තමා අඩුවෙන්ම අපේ වැඩ වලට ආවේ.

ගුණදාස ඇන්දේ සුදු පාට සරමයි කමිසෙයි විතරයි. දකුණු පළාතේ කෙනෙක්. ඒත් දීර්ඝ කාලයක් තිස්සේ කිරුලපනේ එයාලගේ අක්කගේ ගෙදර තමා නැවතිලා හිටියේ. කිරුලපනේ පාලම ළඟින් ඇතුලට යන පාරේ තමා ගේ තියෙන්නේ. ගුණදාස හරිම අඩුවෙන් කතා බහ කරන කෙනෙක් . මම හිතන්නේ ඒ සුදුසු කම නිසාම තමා එයා අපේ වැඩවලට නොඑන්නෙත් අපේ ප්‍රධානියාගේ වැඩ වලට එන්නෙත්. ඒ නුසුදුසු කම නිසාම , තනිකඩයෙක්.

“ගුණදාස හරි රෙගුලාසි කාරයා.........” පේරාදෙණිය කැම්පස් එකේ , අංශ ප්‍රධානියෙක් වෙලා ඉඳලා අවුරුදු ගණනාවක් දෙස් විදෙස් රටවල සේවය කරපු අපේ ප්‍රධානියා මට එයා ගැන පළමු හැඳින්වීම කරේ තද කරගත්ත හිනාවක් එක්ක.  මම අහන්නෙත් නැතුව නිධාන කතාව පටන් ගත්තා.

“ ගුණදාස  ආපු දවසේම මට  තේරුණා‍ බොහොම තැන්පත්, පිළිවෙලකට හැදිච්ච මනුස්සයෙක් කියලා. මම එයාව ගත්තෙත් ඒකයි. අනික් එක කතාව හරිම අඩුයි. මම ලෙක්චර්ස් වලට සූදානම් වෙන්නේ  කාරෙකේ යන අතරෙදි නේ. මට ඒ පිළිවෙල හරිම ලේසියි. කිසි දවසක පිටින් කන්නේ බොන්නේ නැති නිසා අතරමග ඒවට වාහන නවත්තන්නෙත් නෑ. හැබැයි හරියට දොළහට දවල්ට කන්න ඕනෑ කියලා වැඩ බාරගන්න කලින්ම මට කීවා. ඒක එච්චර දෙයක් නෙවේනේ. මම එකඟ වුනා. මම ගුණදාසත් එක්ක දෙවනි පාරට ගිය දවසේ ගියේ එම්බසි එකකට එහේ ජාතික දිනේ සමරන්න. උදේ එකොළහට ඇතුලට ගියපු මම එළියට එනකොට දෙකයි වෙලාව. අපි දෙන්නම කතාවක් නැතුව ගෙදර ආවා. වැඩ ඉවර වෙලා ගුණදාස ගියා. පහුවදා මම උදේ දහයට පදනම් ආයතනට යන්න ලෑස්තිවෙලා බලං ඉන්නවා ඉන්නවා ගුණදාස නෑ. මම කෝල් කරාම එයාගේ අක්කා කීවා මල්ලි ආය වැඩට එන්නේ නෑ මහත්තයා කියලා . මම එහෙම්මම කාරෙක අරගෙන ගුණදාස  ඉන්න ගෙදරට ගියා. මෙන්න ගුණදාස ගෙදර ඉන්නවා දොරකඩ පුටුවේ පත්තරයක් බල බලා. මම ඇහුවා ඇයි වැඩට නොඑන්න කා‍රණේ කියලා. කාරණේ එදා මම එක්ක ගිය දවසේ දවල් දොළහ පහුවෙලා එයාට කෑම කන්න බැරි වෙලා නිසා. මම කීවා මට සමාවෙන්න ආයෙමත් ඒ වැරැද්ද වෙන්නෑ කියලා. ඒ පාර එකඟ වුනා ආපහු වැඩට එන්න. එදා ඉඳන් මම දවස් දොළහට කොහොම හරි දවල් කෑම එක කන්න වැඩ පිළිවෙල හදලා දෙනවා. කොහේ ගියත් අක්කා කීයට හරි නැගිටලා හදලා දෙන කෑම එකනේ ......”

ඒ මුළු කතාවම ඉවර වෙනකල් අපේ ප්‍රධානියාගේ මූණේ තිබුනේ උපහාසයක් සහ ලැජ්ජාවක් මිශ්‍ර වුන හිනාවක්. අපේ ලොකු තැනට මෙහෙම නම් අපට මොන වගේ වෙයිද කියලයි මට හිතුනේ.

ගුණදාසක් එක්ක අපි කතා කරන්නේ බලෙන්. සමහර වෙලාවට අපි අහස පොළොව නුහුලන විහිළු කරගන්න කොට නම් එයාටත් හිනා යනවා. එතකොට තමා මම දැක්කේ ඉස්සරහ දත් දෙක නෑ කියලා. අපේ එකවුන්ටන් නෝනා කියනවා ඊළඟ ඉන්ක්‍රිමන්ට් එක දුන්නාම දත් දෙක දාගන්න කියලා. එතකොට ඔලුව බාගෙන නමලා ලාවට හිනාවෙලා ලිස්සලා යනවා. අපි මොකක් හරි හේතුවක් හොයා ගෙන පාටි දාපු දවසට ගුණදාසට මාර අප්සෙට්. මොන හෝටලේකින් ගෙනාවත් කේක් කන්නෑ. අපි බලකරන කොට තියන පුංචිම කෑල්ල අරං පහළට ගිහින් කුස්සියෙන් තියනවා.

ගුණදාස ඔෆිස් එන්නේ බයිසිකලේ. පරණ රැලේ බයිසිකලයක්. දවල්ට අපි එයාගෙන් ඒකේ යතුර ඉල්ලගෙන  බයිසිකල් පදිනවා. ඒ වෙලාවට නම් පණ යනකල් ගුණදාස හිනා.

අපේ ප්‍රොජෙක්ට්වල වැඩ වලට අපි නිතර ලංකාව පුරා ඇවිද්දා. කලාතුරකින් තමා ගුණදාස එන්නේ රියදුරු විදිහට . එදාට වාහනේ ඇතුලේ වැඩිය කෑ ගහන්නේ නැතුව යන්න අපි වගබලා ගන්නවා. රඹුටන් ගන්න, ගල් සියඹලා ගන්න නෝනිස් එකේ අළුවා ගන්න නතර කරගන්නේ වැඳලා. ඉස්සරහා බලාගෙන එක දිගට පැය ගානක්  වාහනේ  එලෙව්වත්  මැස්සෙක්වත් එයාගේ අතින් හැප්පෙන්නේ නෑ. අපි කොහේ හරි බැස්සොත් ගුණදාස වාහනේ අයිනක නවත්තලා එනවාමයි. ඇවිත් හරිම නොඉවසිල්ලෙන් අපි මොනවා හරි ගන්නකල් ඉඳලා ඉක්මනට ආපහු වාහනේට අපිට යන්න කියනවා. අපේ නවාතැන් වලට අපිව රෑ වෙන්න කලින් දාන්න ඕනෑ කියන එක ගුණදාසගේ ඔලුවේ හැම තිස්සේම තියන දෙයක්. අපි රෑ වුනාට කමක් නෑ කිව්වොත්

“මිස්ලා නං කියයි...... තනි පිරිමියා මම .. ආවා වගේම  පරෙස්සම් කරලා ආපහු ගිහින් දාන්න එපැයි” කියලා ‍බොහොම වැඩිහිටි විදිහට කියනවා.

එක දවසක් අපි පුත්තලමේ ගියා. අපි යන්නේ ගුණදාස එක්ක බව දැනගත්ත නිසා වෙලාවටත් කලින් මම ලෑස්ති වෙලා හිටියා. ඊටත් කලින් ගුණදාස ඇවිත්. අපි කියපු වෙලාවට කලින් ගමන පටන් ගත්තත් දවල් දොළහ වෙනකොට අතරමග හිටියේ. අපි දන්න තැනක වාහනේ නවත්තලා ගුණදාසට කෑම කන්න කීවා. අපි ඉතිං ශාරීරික අවශ්‍යතා කරගෙන වඩේ එකක් කාලා එහෙම ආපහු   එනකොටත් ගුණදාස වාහනේ ඉඳගෙන. කෑම කාලත් නෑ.

“මට විතරක් කන්න බෑ.......” කියලා උත්තර දුන්නා.

දොළහට කන්න දුන්නේ නැත්තං ආපහු ‍වැඩට එන්නේ නෑනේ. ඒ හින්දා අපි එදා එතන හෝටලෙන් මඩ පුවක් ගඳ ගහන හාලෙන් උයපු දවල් කෑම කෑවා ගුණදාසට එයාගේ කෑම එක කන්න කියලා.

අපේ රස්සාවේ එක අංගයක් තමා ෂොපින් යන එක. ඒකට අපි අපේ හාෆ් ඩේ එකක් කැපකරලා මාසේ අන්තිම දවසේ අවසර ඉල්ලා ගන්නවා. එදාට රාජ්‍ය අනුග්‍රහයෙන් වාහනේකුයි රියදුරු මහතෙකුයි ලැබෙනවා. බැරිවෙලා හරි ගුණදාස රියදුරු කමට ආවොත් අපි පොළිසියෙන් ෂොපින් ගියා වගේ තමා. ගියා , පළවෙනියටම දැක්ක ඇඳුම ගත්තා , ආවා.

ගුණදාස තවම බැඳලා නැත්තේ ඇයි කියන එක අපි සමහර දාට විග්‍රහ කරනවා. ගුණදාසගේ නීති රීති, කඩචෝරු නොකෑම , ඉස්සරහා දත් නැති වීම, උස වැඩි නිසා අනික් කෙනාගේ ඇස් දිහා බලාගෙන කතා කරන්න බැරි වීම ආදී කාරණා නිසා යාළු වෙලා හිටපු ගෑනු ළමයා වෙන කෙනෙකුට බහ දෙන්න ඇති කියලා අන්තිමට අපිම තීරණය කරනවා.

මම ඒ ඔෆිස් එකෙන් අයින් වෙන දවසේ ගුණදාස නවත්තන්නේ නැතුව කතා කරා. කොහෙමත් මම දැනගෙන හිටියා බොහෝම හොඳ ගතිගුණ එයා ළඟ තියනවා කියලා. එදා ඒක තවත් දැනුවා. ඊට පස්සේ මට පරණ ඔෆිස් එකට ගිය හැමදාකම එයාව මුණ ගැහුණා. බොහොම හිතවත් කමට කතා කරා මාත් එක්ක.

මට ආයෙම ගුණදාස මුණ ගැහුණ දවසේ එයාට කතා කරන්න බෑ. ඒ එයාගේ අක්කලාගේ ගෙදරදී. අපේ යාළුවෙක් එක්ක උදේ මාතර යන්න පිටත් වෙච්චි ගුණදාසගේ වෑන් එක ගාල්ල හරියෙදි කන්ටේනර් එකකට යටවෙලා.  ‍ඒ දෙන්නා අඳුරා ගන්නවත් බැරි විදිහට තමයි ඒ අනතුර වෙලා තියෙන්නේ. වුනේ මොකක්ද කියලා අහගන්න දෙන්නම ජීවත් වෙලා හිටියේ නෑ. කන්ටේනර් එකේ රියදුරු කිව්වලු වෑන් එක වැරදි පැත්තෙන් ආවා කියලා. ඒත් ඒ වාහනේ පැදෙව්වේ ගුණදාස. මම එයාගේ මරණයට වඩා විශ්වාස කරනවා එයා අතින් වැරැද්දක් වුනේ නෑ කියන එක.

No comments:

Post a Comment