Monday, May 30, 2016

ඇති නැති


 

‘අපේ තාත්තාගේ තමා අර පේන හොස්පිටල් එක......’

 ඈතට අත දික් කරපු කණ්නාඩි දෙකක් දාගෙන හිටපු කොලු පැංචා කීවා. අවුරුදු දොළහක විතර රවුම් මූණක් තියන ඊටත් වඩා රවුම් කණ්නාඩියක් දාගත්ත ‍පොඩ්‍ඩෙක්. බැලූ බැල්මටම පේනවා සැපට හැදුන පාට. ඉස්තරම්ම වර්ගයේ කමිසයක් ඇඳලා , හොඳම ජාතියේ සපත්තු දාලා හිටියා. මේසේ උඩ දෙකට නමලා හිටවලා තිබුණා නවීන උපකරණයක්.  විරුද්ධ පැත්තේ පුටුවේ හිටියා අවුරුදු දහයක විතර ගෑනු ළමයෙක් . එයා උනන්දුවෙන් පෙන්නපු දිහාව බැලුවා. මුහුදු හුළඟට අවුල් වුන හිසකේ තද කරලා අල්ලා ගන්න ගමන් හොස්පිටල් එකේ දිග පළල මැන ගත්තා.

“ අපේ තාත්තා නම් කවදාවත් මෙහේ හොස්පිටල් වලට යන්නෑ............ අපි යන්නේ සිංගපූර්වලට...” කෙල්ල කීවා.

“නියමයි... කොහේ හරි යන්න ඕනේ කියලා අපේ අම්මි කීවාම අපි යන්නෙත් එහේ. මේ ටැබ් එක ගත්තෙත්  ගිය පාර ගියාට පස්සේ...ඔයා ගිහින් තියනවද ඔචාර්ඩ් හවුස් .. ඒකෙන් ගත්තේ” කොල්ලා කියනවා.

“ඔචාර්ඩ් හවුස් ... අර  මිනිස්සු ගොඩක් නිතර ඉන්න තැනද? අපේ අම්මි ඒ තැන්වලට යන්නේ නෑ. අපි නැවතෙන හොටෙල් එක  වටේ තියන තැන් වලට විතරයි යන්නේ. ඒ තැන් වලට එන්නේ ලොකු ලොකු අය නිසා එහෙම තැන් වල බඩු හොඳයි”

“ මේකත් හොදම බ්‍රෑන්ඩ් එක මේ...” පිරිමි ලමයා  ටැබ් එක පෙන්නුවා.

“ ආ... ඔව් ඕක හොඳ එකක්.... අය්යාටත් තියනවා. මම නම් ගත්තේ නෑ ඒ ජාතිය එකක්. මම ආසා පාට තිබුණේ නැති නිසා” දෙන්නා පළමු වරට එක් දෙයකට එකඟ වුනා.

දෙන්නම තමන්ගේ පාසැල් ගැන කතා කරන්න පටන් ගත්තා. වටේ තියන ලස්සන මුහුද වත් වැලි කඳුවල සෙල්ලම් කරන ළමයි වත් ඒ දෙන්නට බලන්න ඉස්පාසුවක් නෑ. තමන්ගේ මිල අධික සෙල්ලම් බඩු, ගුවන් ගමන් , දේශීය සංචාර වල අතරමං වෙලා හිටියේ .

ඒක පොඩි සාදයක් එහෙම නැත්තං හමුවීමක් . පවුල් හතරක් විතර මුහුද අයිනේ හෝටලයක හැන්දෑව ගත කරන්න ඇවිත් . පොඩි දෙන්නෙකුට හිටියේ මේ දෙන්නා විතරයි. තාත්තලා එක මේසෙක. අම්මලා තව මේසෙක. කාගෙන් වත් කාටවත් බාධාවක් නෑ.

යන්තම් කරුවල ගලාගෙන එනකොට පුංචි කොට කෑල්ලකට නැග ගත්ත කාලවර්ණ කොලු ගැටයෙක් හරිම හුරුබුහුටි විදිහට එලියේ වහලවල් වල වීදුරු ලාම්පු පත්තු කරලා එල්ලුවා. ගෑනු ළමයා නහය අකුලාගෙන ඇස් කොනින් තමන්ගේ යාළුවට අර කොලු ගැටයා පෙන්නුවා. මේ වගේ ‍අය මොනවට මේ තැන්වල පේන්නවත් ඉන්නවද කියලා වගේ හැඟීමක් මූණේ තද කරගෙන රෝස පාට ඇඟලි තුඩු අගින් ජංගම දුරකතනය ඔබන්න පටන් ගත්තා. අන්තිම ලාම්පුව එල්ලලා ඉවර වුනත් කොල්ලට යන්න කල්පනාවක් නෑ. ඇස් පිය ගහන්නේ නැතුව ගෑණු ළමයා දිහායි පිරිමි ළමයායි දිහා බලාගෙන හිටිය කොලු ගැටයාට ඈතින් ඇනවුමක් ලැබුණා එන්න කියලා. එයා එක පිම්මේ දිව්වා හෝටලය පැත්තට.

සුදු ඇඳගත්ත වේටර්ලා කෑම පුරවපු පිඟන් බෙදන්න පටන් ගත්තා. ඒත් එක්කම තවත් තාත්තා කෙනෙකුයි පුතෙකුයි එතනට ඇවිත් හැමෝටම අත  දීලා අචාර කළා. පුතා කිසිම කුලෑටි කමක් නැතුව ඇවිත් අර ළමයි දෙන්නා ළඟ වාඩිවෙන්න ද කියලා අචාරශීලී විදිහට ඇහුවා. ළමයි දෙන්නා කිසිම අකමැත්තක් පෙන්නුවේ නෑ. ඒ ළමයාත් බොහෝම මිල අධික පාටයි.

“ඔයාගේ තාත්තා මොකද කරන්නේ? අනික් පිරිමි ළමයා ඇහුවා.

“මේ හෝටලේ අපේ තාත්තගේ.”

හෝටලේට දීලා තිබුණ තරු ගානම ගෑණු ළමයාගේ මූනේ පිපුණා. තමන්ට ගැලපෙන යාළුවෝ ලැබෙන කොට සන්තෝසයි නේ.

ආපහු තුන්දෙනා මුල ඉඳලාම කතා පටන් ගත්තා. එක්කෙනෙකුට එක්කනෙක් පරදින්නෑ. වයසින් විතරයි වෙනස්. හෝටල් හිමියාගේ පුතා තමා වැඩිමල්ම කෙනා. එයා අවුරුදු දහතුනක වගේ කෙනෙක්. තමන්ගේ හෝටලේ ගැන එයා අනික් අයට කියලා දුන්නා.

“මේක හොඳම හෝටලේ විදිහට තුන් පාරක් තේරුණා. අපි හැමෝටම මේකට එන්න බැරි විදිහට මේකේ ගාන වැඩි කරලා තියෙන්නේ. සමහර අය ආවහම හරියට හැඳ ගෑරුප්පු වලින්වත් කන්න දන්නෑ........ අපි වුනත් නිවාඩු ආවම මෙහෙට එන්නෑ. අපි රට යනවා එතකොට..” කතාව මොහොතකට නවත්තලා එයා ඈත බලලා කෑ ගැහුවා,

“චාලි .... චාලි..!”

එතකොටම විදුලියක් වගේ අර ලාම්පු පත්තු කරලා ගිය කොලු ගැටයා ආවා... අතේ තිබුණා ලොකු අවානක්. අමුත්තන්ට බාධා වෙන විදිහට හැසිරෙන කාක්කෝ එළවන්න තමා එයාව කැඳවලා තිබුණේ. වම් පැත්තටයි දකුණු පැත්තටයි දුව දුවා කාක්කේ එළවන්න ගත්ත කොල්ලා කකුල් රිදෙනකොට වැල්ලේ හයි කරපු ලී කොටේක ඉඳගන්නවා.

ආපහු තුන්දෙනා කතාව පටං අරගෙන.

“මට නම් ලංකාවේ කෑම කන්න එපා වෙලා. අපි  ඉන්ග්ලන්ඩ් ගියාම කන කෑම තරම් කොහේවත් කෑම රස නෑ. අපේ තාත්තට ගොඩක් සල්ලි තියන නිසා  කියන ඕන දෙයක් මට අරං දෙනවා..” ගෑණු ළමයා බැදපු මාළු කෑල්ලකට ඕනවට එපාවට ගෑරුප්පුවෙන් අනින ගමන් කීවා.

“නෑ මේවා හොඳම දේවල්.  අද හැදුවේ ‍ගොඩක් පිටරටින් ගෙනාපු  දේවල්. අපි මෙහෙම වෙලාවට ගන්න ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නපු ඒවා තියාගන්නවා. අපේ තාත්තා හැම වෙලාවෙම ගන්නේ ලෝකේ තියන හොඳම දේ. අපි ගෙදර කන්නෙත් ලෝකේ හොඳම දේවල්” හෝටල් හිමියාගේ පුතා කීවා.

“අපේ තාත්තා හැම වෙලාවෙම රටවල් වලට යන නිසා මම ඔයාලට වැඩිය එක එක රටවල කෑම කනවා. අපි නම් මෙහේ කිරි වත් බොන්නේ නෑ. ලෝකේ ඉන්න හොඳම චෙෆ් හදපු කෑමත් අපි කාලා තියනවා. ඒ චෙෆ් ට බ්ලූ ෆින් ටූනා කපලා දෙන්නෙත් ලෝකේ ඉන්න හොඳම මාළු කපන්නා” අනික් පිරිමි ළමයා කීවා.

හොඳම මාළු කපන්නා.....! චාලිට ඒ කෑල්ල පැහැදිලිව ඇහුනා.

“ඒ අපේ තාත්තා. මේ හෝටලේ මාළු කපන්නේ අ‍පේ තාත්තා. එයා තමා මේ ලෝකේ ඉන්න හොඳම මාළු කපන්නා.  ඒත් ..ඒත් ..මං කවදාකවත් ඒ හදන කෑම කාලා නෑ..............”

2 comments:

  1. Remove
    Malkanthi Jayarathne කතාව ගොඩක් රසවත් රේණූ...ඒ අස්සෙන් හීනියට හැමෝටම දැනෙන්න ඇති මේ කතාවේ යථාර්ථයත්. මේක අපි හැමෝම වෙනස් කරමු.
    Like • Reply • 4 hrs

    ReplyDelete
  2. මේ කතාවට ඔයා කැමති වෙන බව මම දැනගෙන හිටියා. ඔයා ව‍ගේම ලොඩමා අය්යත් කැමති ඇති. අපි කැම්පස් එකේ දී මත දෙකක හිටියට මමත් මෙතනදී නම් එකඟ වෙනවා. ඒ වුනත් මට හිතෙන්නේ මම උනත් එහෙම වෙලාවක කම්පා වුනාට , ලෝකේ හැමෝටම සාධාරණ වෙන්න ඕන කියලා හිතුවට ඒ ගැන කරන දෙයක් නෑ නේද කියලා. අනික් අතට මුල් බැහැගත්ත ක්‍රමයක් වෙනස් කරන්න ගොඩක් අමාරුයි. ඒත් කොතනින් හරි මේ දේවල් වෙනස් වෙන්න නම් ඕනෑ. හැමෝටම අවමයෙන් හරි දේවල් ලබාගන්න අයිතියක් තියනවා.

    ReplyDelete