Tuesday, May 24, 2016

එකක් කඩතොළු වසාගන්නට


 

අපේ ගෙදර එච්චර නෑදෑයෝ හිතමිත්‍රයෝ නිතර ගැවසුන තැනක් නෙවේ. අවුරුද්දට,  පිරිත් පිංකමකට හරි මොකක් හරි උත්සවයට වගේ වුනොත් මිසක නැත්තං විශේෂ හේතුවකට තමා කවුරු වුනත් එන්නේ. අපේ අම්මයි අප්පච්චි දෙන්නම ගුරවරු නිසා නිවාඩු කාලෙට විතරයි අපි ඇත්තටම ගෙදර  හිටියේ. අනික් දවස් වල දවල්ට ගෙදර වහලා නිසාත් සෙනසුරාදා ඉරිදා අපේ වැඩ වැඩි නිසාත් නිකමට ගෙට ගොඩවෙන අය අපේ ගෙදර ආවේ ගියේ නෑ.

කොහොම වුනත් අපේ ගෙදර ආව ගිය කෙනෙක් හිටියා. මොකක් හරි නෑදෑකමකුත් තිබුණා. එයා සේනානායක හාමිනේ .අම්මා කීවේ එයාට සේනානායක අක්කා කියලා. අපිත් කිව්වේ ඒ නම ම වෙන්න ඕනෑ. වැඩි ඈතක කෙනෙකුත් නෙවේ. මාස දෙක තුනකට සැරයක් ඇවිත් උදේ ඉඳන් හවස් වෙනකල් කතා කර කර ඉඳලා යනවා. මං හිතන්නේ ඒ විදිහට අපේ ගෙදරට ආව ගිය එකම එක්කනා එයා. ඒ වෙනකොට වයස අවුරුදු 50 ක් විතර  ඇති. ගොඩක් උස මහත පැහැපත් කෙනෙක්. ඇන්දේ ඔසරිය. රැළි තුනක් ඔසරි පොටට තියලා හොඳ පිළිවලට  ඇන්දා. ඕනෑම දෙයක් විනිවිද දකින්න පුළුවන් ඇස් දෙකක් තමා එයාට තිබුණේ.  අපි එයා එනවට කැමතියි මොකද කියන්නේ ආවහම අපේ අම්මා  කතාවට අහු වෙනවා. අපි නිදහස් එතකොට. ඒ වුනාට දහසකුත් එකක් ප්‍රශ්ණ අහනවා අපෙන්.

සේනානායක හාමිනේ ගොඩාක් ප්‍රසිද්ධ කාන්තාවක්. ඒ ඇස්වහ කටවහ සම්බන්ධයෙන්. මොකක් හරි දෙයක් කීවොත් නම් වෙනවම තමා. වැඩේ කියන්නේ හොඳ දෙයක් කලාතුරකින්වත් ඒ කටින් කියවෙන්නේ නැති එකනේ.

 සේනානායක හාමිනේ‍ගේ  කටහඩ ඈතින්ම ඇහෙන කොට අම්මා ඉදෙන්න හේත්තු කරලා තියන  කෙසෙල් කැන් ඇතුලේ කාමරෙන් අරං තියනවා. අහුලලා තියන දෙහි දොඩම් මොකක් හරි රෙද්දක් දාලා වහනවා. නැත්තං ගෙට ගොඩවෙන්නේම

“නංගියේ උපන්තේටකට දැකලා නෑ මෙහෙම කෙහෙල් කැනක්. කොහොම කාලා ඉවර කරන්නද නේද? ”කියාගෙන.

ආයි දෙකක් නෑ . එක්කෝ කෙහෙල් කැන මීයෝ කනවා. නැත්තං ආය කිසි දවසක ඒ ජාතියේ කෙසෙල් කැනක් අපේ වත්තේ හැදෙනවා බොරු.

එක සැරයක් අවුරුද්ද ළං වෙලා කැවිලි හදන දවසක සේනානායක හාමිනේ ආවා. අම්මා මුං කැවුම් හදන්න එදා උදව්වටත් කෙනෙක් ගෙන්න ගෙන. ඒ නැන්දට ඇස් දෙක පියාගෙන කැවුම් හැදුවත් පදම වරදින්නේ නෑ. සේනානායක හාමිනේට  තේ එකක් එහෙම බීලා අම්මගේ පරණ සාරියක් එයාගේ ඔසරිය උඩින් පටලගෙන කැවුම් උයන්න උදව් වෙන්න ආවා.

කැවුම් නැන්දාගේ මූණ හොඳ නෑ. එයා සද්ද නැතුව පැණි දදා පිටි අනනවා. සේනානායක හාමිනේ පැණි බෝතලේ දිහා බැලුවා.

“මේ පැණි නම් ඇඹුල් ඇති නංගියේ. මේවායින් නම් කැවුම් ගල් වෙනවා”

කැවුම් නැන්දා ගේ මූණ ගන්න දෙයක් නෑ. එයා ලොකු ළමයෙක් වෙන්නත් කලින්ලුනේ කැවුම් උයන්න ඉගෙන ගත්තේ. කොහොම හරි එදා කැවුම් හැදුවා කියමුකෝ. අවුරුද්දට කලින් කටේ තියන්‍න දෙන්නෙත් නෑනේ. අවුරුදු නැකතට අපි කෑවේ කලුගල් වගේ හය්ය ඇඹුල් රහ තියන කැවුම්. අපරාදේ කියන්න බෑ කැවුම් ටික විසිකරලත් අපි සේනානායක හාමිනේ අමතක කලේ නෑ.

තවත් දවසක එයා අපේ ගෙදර එනකොට පන්සලේ දානෙට උයන්න ගෙනාපු අල ගෝනියක් කුස්සියේ අතුරලා තිබ්බා.

“නංගියේ මෙහෙම අල තිබ්බම මීයෝ කන්නේ නැද්ද?”

කියලා කට කොනක් ඇද කරලා ඇහුවා.

පහුවදා දානේ උයන්න අම්මා බලන කොට හොඳම අල ගෙඩි ටික මීයෝ කාලා. වැඩේ කියන්නේ අපේ කුස්සියේ කිසි දවසක මීයෙකුට ඉන්න පූසා ඉඩ තියලා තිබුණෙත් නෑ.

 අපේ අක්කා පැල කරපු පේර ගහක් තිබුණා කුස්සියේ ජනේලේ ළඟ. ලොකු පේර හැදෙන්නේ. දැං ඔය කිලෝ පේර කියන්නේ අන්න ඒ වගේ පේර. අතු නැමිලා ගෙඩි හැදිලා තියන කාලෙක සේනානායක හාමිනේ ගහ දිහා බලං හිටියා. “ගහ කොහොම උහුලනවද දන්නෑ..” කියලා විතරයි කිවේ . සතියක් විතර  යනකොට ගහේ ගෙඩි වලට පණුවෝ ගැහුවා. කොළත් කොඩවුනා. ගහ අදටත් තියනවා. හැබැයි එක පේර ගෙඩියක් වත් කන්න ලැබෙන් නෑ.

අපේ කිරිඅම්මා ඒ කියන්නේ අප්පච්චිගේ ‍අම්මා ගොයම් කයියට එන අයට දෙන්න බුලත් කඩලා හෙප්පුවේ තියලා තිබුණා. සේනානායක හාමිනේත් එදා ඇවිල්ලා තේ බීලා කිරි අම්මා එක්ක කතාවට වැටුනා.

“ලොකු අම්මේ ..... මේ බුලත් කොළයෙන් බාගයක් නෑ අපේ බුලත් කොළයක්. ‍.......”

කිරි  අම්මට හීන් දාඩිය දැම්මේ බුලත් පාත්තියට දෙයියන්ගේ පිහිට නිසා. කටවහ තියන මනුස්සයාගෙන්ම ආපහු ඒකට අනික් පැත්තට වචනයක් කියවන්න එපායෑ.

“නෑ දුවේ .......... මේ මොන බුලත් ද? ඔහොමයෑ බුලත් හැදෙන්නේ සමහර පළාත්වල”

“ ඒ වුනාට ලොකු අම්මේ මෙහේ බුලත් පාත්ති හරි සරුයි. ඊට සරුයි ඒ මැද හැදිලා තියන කොච්චි ගස්. මෙහාට පේනවා . ගමටම බෙදන්න තරම් කොච්චි හැදිලා තියෙන්නේ.”

“අනේ.... මේ කොච්චි ගස් දෙක තුනෙන් මොනවා කරන්නද? ඔය නිකමට හැදිච්චනේ”

“එහෙම කියන්න එපා.. අර වැක්කෙරෙන්න හැදිලා තියන දෙල් ගහේ ගෙඩි තම්බලා  කොච්චි සම්බෝලයක් හදලා ගත්තා නම්  ආය කයියට  බත් මොකටද?”

එකක් කඩතොළු මකන්ට ගොස් කඩතොලු දහයක් හදාගත්තා වගේ නිසා කිරි අම්ම කට වහගත්තා.

“මේ ඔක්කොම ලොකු අම්මගේ අත්ගුණේට.... නැත්තං මේ අපිටත් මේ වගේ හරි යන්න එපාය. ලොකු අම්මා වැඩ කරන හැටි දැක්කම පිරිමි උනත් බය වෙනවා”

ඒ පාර නම් කිරි අම්මාගේ රැවිල්ලට සේනානායක හාමිනේ බය වෙලා කටවහගත්තා.

කොළ පාගලා වී ගෙට ගත්තා විතරයි එදා හවස වහින්න පටං ගත්තා . හුළඟට දෙල් ගහ ඇඹරිලා ඇඹරිලා  ඉදිරිලා වැටුනා බුලත් පාත්තිය උඩට. ඒ විතරක් නෙවේ දෙල් ගහේ ගෙඩි ටික කඩලා තියන්න ගිය කිරි අම්මා ලෙස්සලා වැටිලා දකුණු අත කඩා ගත්තා.

1 comment:

  1. Comments

    Remove
    Malkanthi Jayarathne hahaha...very funny dear... beautiful....grin emoticon
    Like • Reply • 23 hrs

    Remove
    Renu Tennakoon thanks tiki, I have experienced so many incidents
    Like • Reply • 1 • 11 hrs

    Remove
    Malkanthi Jayarathne ape miththa eke chandi wadeth rasata liyannako welawaka. oyage wachana walin eka ahanna asai
    Like • Reply • 10 hrs

    ReplyDelete