Monday, May 2, 2016

සිතට දරනු බැරි දුක්


 

අපේ කැම්පස් එකේ සංගීත සංදර්ශන කියන්නේ අමුතු දෙයක් නෙවේ. මොකක් හරි පීඨයකින් සංවිධානය කරන සංගීත සංදර්ශනයක් මාසෙකට සැරයක් නම් තියනවාමයි. තියෙන්නෙත් ජිම් එකේ. විශ්ව විද්‍යාල ප්‍රජාවට දෙපාරක් නොහිතා ගන්න පුළුවන් ගානට ටිකට් විකුණන නිසාත්, සම්භාව්‍ය සංගීතය රස විඳින්න පුළුවන් නිසාත් කවදාවත් සෙනග අඩුවෙන්නේ නෑ. ප්‍රේමය , විරහව ගැන වින්දනීය සිංදු අහන්න ප්‍රේමවන්තයෝ වගේම විරහව විඳින පරාජිතයොත් එකට ඉඳගන්නවා. කිසිම හේතුවක් නිසා වත් නිශ්ශබ්ද නොවන ශිෂ්‍ය ප්‍රජාව එදාට නිශ්ශබ්ද වෙනවා.

මේ සංගීත ප්‍රසංගය සංවිධානය කරලා තිබුනේ විද්‍යා පීඨයෙන්. පළවෙනියට ආපු ගායිකාව ආදරයේ මිහිර හැම හදවතකටම දනවලා වේදිකාවෙන් බැස්සා. දෙවනියට වේදිකාවට ආවේ ගායකයෙක්. පළවෙනියටම කිව්ව සිංදුවේ අන්තරා කොටස කියද්දි එයාගේ ඇස්වල කඳුලු කඩා වැටුණා..

“ කාටද රිදුනේ කවුරුද හැඩුවේ දුම්රිය මොහොතක් නතර වුනේ......“

සිංදුව ඉවර වෙනකොට කවුරුවත් අත්පුඩි ගැහුවේ නෑ. අසාමාන්‍ය නිශ්ශබ්දතාවයක් ශාලාව පුරාම පැතිරුනා.

“ඇයි දුවේ හදිසි වුනේ?........... කියලා ගායකයා ඇහුයා. ඊට පස්සේ ආපහු සිංදුවේ පද වැලක් කීවා.

වරක් නෙතඟ කඳුලැලි සැලුනාදෝ

සිතට දරා ගනු බැරි දුක් වීදෝ........ කියන පද දෙක කියලා වේදිකාවෙන් බැස්සා.

මට සමාවෙන්න. ඉතුරු සිංදු ටික මම පස්සේ කියන්නම්“…. එයා කීවා. මුළු සභාවම බිමට මුහුණ නැඹුරු කර ගත්තා.

අපි අතරන් වෙන්වුන ඒ සහෝදරියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු ….“කියලා නිවේදකයා බොහොම ශෝකී ස්වරයෙන්  ආපහු වැඩසටහනට යොමු වුනා.

මට ඉතුරු සිංදු මැදින් හැම වෙලේම නදීගේ මූණ මැවිලා පෙනුනා. මේ කතාවේ ප්‍රධාන චරිතය නදී . මට වඩා එක අවුරුදු තුනක් බාලයි. බොහොම නිවුණ ගතිගුණ තිබුණ , ඉගනීමේ දී එච්චර දක්ෂකම් දක්වපු  කෙනෙක් නෙවෙයි. ඒ වුනත් දාහක් මැද තිබුණත් ලස්සනයි කියන රූපයක් තිබුණා. රූපය නිසාම පිරිමි ළමයින්ගේ ඇවිටිලි නිසා පීඩා වින්දා. ඒත් හොඳ යාළුවෝ ටිකක් හැම වෙලේම එයා වටේ හිටිය නිසා නදී ලොකු කරදර වලට මූණ දුන්නේ නෑ.

මේ කතාවේ ඉතුරු ටික මම දැනගත්තේ එයාගේ හොඳම යෙහෙළියගෙන්. පාසල් කාලෙදි ම නදී ප්‍රේම කතාවක පැටලුනා. ඇත්තටම බැලුවොත් පටලා ගත්තා. ඒ එයා එක්ක පොඩි කාලේ ඉඳන්ම හැදුන වැඩුන එයාගේ මාමගේ පුතා එක්ක. නදීගේ පවුලේ හැමෝම එක වගේ රූප සම්පත්තිය පිහිටපු අය. ප්‍රේමයේ හැඟීම් එන වයස , ඒ වගේම ප්‍රේමයට සියළුම සුදුසුකම් සම්පූර්ණ කරලා තියන වෙලාවක නදී එයාගේ කඩවසම් පොඩි අය්යා - සුරාජ් එක්ක ආදරයකට මුල පිරුවා. සුරාජ් ඒ වෙනකොට පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එකට තේරිලා තිබුණේ. නදීට ඒ කාරණේත් බොහොම තදට හිතට වැදුනා. හැබැයි එයාගේ හිතේ නෑදෑකම ගැන ප්‍රශ්ණයක් තිබුණා. එත් සුරාජ් බොහොම ලස්සනට ඒ ප්‍රශ්ණ නදීගේ හිතෙන් අයින් කරලා දැම්මා. පොඩි කාළේ ඉඳන් එකට හැදුන දෙන්නා නිසා ගෙදරින් මේ දෙන්නගේ හිතවත් කම් ගැන සැකයක් තිබුණේ නෑ. සුරාජ් පේරාදෙණියට ආවට පස්සේ නදී ගොඩක් තනි වුණා වගේ පෙණුනා. නදීගේ අම්මාටත් වෙනසක් පෙනිලා තිබුණත් තමන්ගේ සහෝදරයෙක් වගේ හිටපු කෙනා වෙන් වුන නිසා වෙන්නැති කියලායි අම්මා හිතලා තිබුණේ.

සුරාජ්ට අසීමිත පිළිගැනීමක් තිබුණා පවුලෙන්. ඒකෙන් එයා ලොකු නිදහසක් නදීට අරගෙන දුන්නා. තරුණ හිත්, නිදහස , ලස්සන ඒ වගේම විශ්වාසය යන සියළු කාරණා ඒකරාශී වුනාම ආදරයට සීමා මායිම් තියනවද? නදීට මහමෙරක් තරම් තමන්ගේ ආදරේ ගැන විශ්වාසයක් තිබුණා. ඒත් සුරාජ්ට ඒ විශ්වාසයට නිසි ගෞරවයක් දෙන්න බැරි වුනා. කැම්පස් එකේ තියන අසීමිත නිදහසයි, චමත්කාර ජනක පරිසරයයි තමන්ගේ අධ්‍යාපන කටයුතු වලින් ආව පීඩනයයි නිසා සුරාජ් තව ආදර සම්බන්ධයක් ඇති කරගත්තා. නදීට මේ ගැන ආරංචි වුනත් එයා ඒක පිළිගත්තේ නෑ. ඒ විදහේ චරිත දෙකක් රඟපාන්න පොඩි අය්යාට බෑ කියලා එයා විශ්වාස කළා. සුරාජ්ගේ කඩවසම්කමටයි, එයාගේ ඉදිරි වෘත්තියටයි ගෑණු ළමයි බොහොම කැමැත්තෙන් ඉන්න බව සුරාජ් විහිලුවෙන් වගේ නදීට කියලයි තිබුණේ. අන්තිමට මේ ආරංචි ඇත්තක් බව නදීටම තේරුම් යන දවසක් ආවා. ඒ අවුරුද්දට ගෙදර ආව පොඩි අය්යා තමන්ව බලන්නවත් නෑවිත් ආපු පයින්ම කැම්පස් එකට ගිය නිසා. ඒ ගියේ එයාගේ ගෑණු ළමයා එක්ක බව නදී දැනගත්තා නන්නාදුන කෙනෙක් එවලා තිබුණ ෆොටෝ බලලා.

ඒ වෙනකොට  සුරාජ් නදීව මගාරිනවා. නෑදෑකම් නොගැලපෙන බව, වයස නොගැලපෙන බව, අධ්‍යාපන සුදුසුකම් නැති කම හැම දේම සුරාජ්ට මතක් වෙන්න පටන් අරගෙන.ගෙදරින්වත් , තමන්ගේ යාළුවන්ගෙන්වත් පිහිටක් ගන්න බැරි තැනක නදී හිටියේ. එයා කාටත් නොකියා තමන්ගේ පොඩි අය්යා හම්බවෙන්න කැම්පස් එකට ආවා. සුරාජ් එයාට මුහුණ දුන්නේ අමාරුවෙන්. මොන විදිහටවත් නදීගේ ආවේගය පාලනය කරන්න එයාට බැරිවුනා. කොච්චර බොරු කීවත් නදී දැනගෙන හිටිය ඇත්ත වහන්න එයාට බැරි වුනා. එයා කලේ නදී ව බලෙන්ම වගේ අරගෙන ඇවිත් බස් නැවතුමට දාලා අතුරුදහන් වෙච්ච එක.

ආපහු ගෙදර යන්න බැරි බව නදීට දැනුනා. එයා විජේවර්ධන ශාලාව ළඟින් පහලට බැස්සා. විනාඩි දෙකක් ගියේ නෑ ඒ රේල් පාරේ ආව කෝච්චියට නදී පැන්නා. ඒක දැකපු අය එයාව බේරාගන්න දුවගෙන එනකොටත් නදී එයාගේ ඉරණම සදාකාලිකව විසඳගෙන. ඒත් එතන මේ ලෝකේ එළිය නොදැකපු කෙනෙකුගෙත් ඉරණම විසඳිලා තිබුණා.

සුරාජ්ට ආරංචිය ලැබුණා. ඒත් තමන්ගේ නම පරෙස්සම් කරගන්න ඕන නිසා එයා මෝචරියට යන්න අකමැති වුනා. නමුත් මිතුරන් බලහත්කාරකමින් එයාව ඇදගෙන ගියා. තමන් එකට හැදුන වැඩුන, එකට සෙල්ලම් කරපු , ප්‍රේමයේ අකුරු කියලා දුන්න පුංචි කෙල්ල කෝච්චියට තැලිලා පොඩිවෙලා ඉන්නනවා එයා අදුරාගත්තා. නදීගේ අම්මලාට කතා කරලා වෙලා තියෙන දේ දැන්නුවා. සුරාජ්ට පමා වෙවී ඉන්න වෙලාවක් නෑ. තමන්ගේ ගෑනු ළමයට කතා කරලා කීවා කැම්පස් එකේ නරක ආරංචියක් යනවා එයා ගැන ඒ හින්දා ටික දවසකට ගෙදර ගිහින් ඉන්න කියලා එයාව ගෙදර ගිහින් ඇරලුවා.

නදීගේ මරණය සුරාජ්ට කොහොම දැනුනද කියන එක මට විග්‍රහ කරන්න බෑ. ඒත් හැමෝටම හෘද සාක්ෂියක් තියනවා. තමන්ට තමන් කතා කරන මොහොතක් එනවා. ඒ වෙලාවට දැනෙන හැඟීමට බොරු කරන්න කාටවත් බෑ.

කෝච්චියට පනින වෙලාවේ නදීගේ හිත කියවන්න පුළුවන් වුනා නම් “දුකම කොයි තරම් සතුටක් දෝ ...........“ කියලා  ගීත රචකයෙක් ලියන එකක් නෑ. තමන් කිසිදාක නොදැකපු යුවතියකගේ මරණය වෙනුවෙන් ඒ ගායකයා දක්වපු සංවේදී කමෙන් සියයෙන් එකක් සුරාජ්ට තිබුණා නම් ,

 නදී ඔයා අදත් ජීවතුන් අතර...........!

No comments:

Post a Comment