Friday, May 27, 2016

එබිකම්


 

ගෑණු ළමයින්ගේ‍ හොස්ටල්වල, බෝඩින් වල , ඉස්කෝලේ ළඟ කැරකිලා යන බූතයෝ ඉන්නවා. එහෙම කෙනෙක් නොදැක්ක අය දැක්ක අයටත් වඩා හය්යෙන් කෑ ගහන හින්දා එහෙම බූතයෙක් ආව දවසට හරි කලබැගෑනියක් වෙනවා.

මම කොළඹ ආවට ඔය අනිත් හැමෝටම තියන නවාතැන් ප්‍රශ්නේ මට ආවේ නෑ. මගේ කළ්‍යාණ මිතුරියෝ තුන් දෙනෙක් කැම්පස් යන කාලේ නැවතුන තැනම තව දුරටත් නැවතිලා හිටපු නිසා මටත් එතනටම යන්න අවස්ථාව ආවා. ඒ ගෙදර උඩ තට්ටුව අපිට දීලා තිබුණේ. තවම කැම්පස් ඉන්න නංගිලා දෙන්නෙකුත් එක්ක අපි හය දෙනෙක් හිටියා. මට නම් දැනුනේ ආපහු හොස්ටල් ආවා වගේ.

මම ආවේ උඩ තට්ටුවේ අයිතිකාරයන් මාර්ගයෙන්නේ. අයිතිකාරයෝ කියන්නේ මේනුකා, නිසංසලා, ඉනෝකා සහ චමිලා. දුලානි ඒ වෙනකොට යාවජීව සාමාජිකත්වයෙන් අයින් වෙලා සති අන්තේ පශ්චාත් තාප ඩිග්‍රියට කැම්පස් යන්න තමා ඒ ගෙදරට ආවේ. රුවිනි ආවේ මම එතනට ගියාට පස්සේ.  ගෙදර  ඇත්තම ප්‍රධානියා හම්බ වෙලා කතා කරන එක යුතුකමක් නිසා අපි ගියා එයාව හම්බවෙන්න. ගෙදර අයිතිකාර අංකල් පිළිගැනීමේ කතාව කරනකොට එයාට තේ වතු රබර් වතු තිබුණා නම් අපිට සල්ලි නොගෙන නිකන්ම ඒ ගෙදර ඉන්න දෙනවා කියලා කීවා. අන්තිමටම

“ඔය අනං මනං කියලා මේ ළමයව බය කරන්න එපා”

 කියලා අනික් අයට අවවාද කරලා, ස්තුති කතාවත් එයාම කරලා අපිට යන්න අවසර දුන්නා. මට මාර ප්‍රශ්නේ‍. මොකද්ද මෙහේ මට බය හිතෙන්න තියෙන්නේ කියලා. අපරාදේ කියන්න බෑ අපේ අය වරකට දෙන්නා බැගින් ඒ කාරනේ පැහැදිළි කළා මට.

අපි හිටපු “ගිනි සිසිල”ට ( අපේ අය ගෙදරට දා ගත්ත නම) එහා පැත්තේ ලයින් ගෙවල් හයක් තියනවා. ඒ වගේ පැත්තක කොහොම ඒවා හැදුනද මන්දා. ඒකේ එක ගෙදරක ඉන්න මනුස්සයෙක් ඇවිත් රෑට හොල්මන් කරලා යනවා කියලා කට්ටිය දිලිසෙන ඇස් වලින් විස්තර කළා. මට ලොකු උවමනාවක් තිබ්බා ඒ අත්දැකීම විඳින්න . ඒ වුනත් තව සති දෙකක් විතර ඉවසන්න වෙන බව තමා යාළුවෝ ටික කීවේ.

“සොරි තමා. ලොකු අය්යා බලන්න තව සති දෙකක් විතර ඉන්න වෙනවා. එයාගේ අම්මා ඇප දෙන්න සල්ලි හොයා ගන්න කල්” සියළුම තොරතුරු වල‍ කේන්ද්‍රස්ථානය වන මේනුකා කීවා.

ලොකු අය්යා කියන සුරතල් නාමයෙන් හඳුන්වන්නේ මොනවා හරි ජිල්මාට් දාලා සල්ලි හොයන, සතියක් එළියේ සතියක් කූඩුවේ ඉන්න අවුරුදු හතලිහක විතර කෙනෙක් කියලා මට එයාලා කීවා. ලොකු අය්යා කියන නම වැටුනේ ඇයි කියන එකත් මට පැහැදිලි කලා.උඩ තට්ටුවේ අපි පාඩම් කරන තැන ජනේල් ඇරියාම හරියට ඒ ලයින් ගෙවල් වල මිදුලේ හිටියා වගේ තමා. පැහැදිළි දර්ශන.පුළුල් තිර. දවසක් මගේ යාළුවෝ ටික පාඩම් කර කර ඉන්නකොට නිසංසලාට මුළු පලාතම දෙබෑ කරගෙන කිබුහුමක් ගියාලු. එතකොට අර මනුස්සයා ගෙදර දොරකොඩ ඉඳගෙන

“දෙය්යො රකී...”

කීවලු. එච්චර කැක්කුමක් එන්න තමන්ගේ සහෝදරයෙක් වෙන්න එපැයි. ඒ නිසා එදා ඉඳන් එයා නිසංසලා ඇතුළු ප්‍රජාවගේ ලොකු අය්යා. ඒ විදිහට එයා මටත් ලොකු අය්යා වුනා. ලොකු අය්යා  දැක ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මට ආව කීවත් වගේම සති දෙකකින් විතර. කූඩුවෙන් එළියට ඇවිත් ගෙදර ඇවිල්ලා හිටිය ලොකු අය්යා හිටියායින් බාගයයි කියලා අපේ අය දුක් වුනා. මට ඉතිං එයාව දකින්න විතරයි තිබුණේ. සියලුම අංග ලක්ෂණ,   චරිත ස්වභාවය, හැසිරීම ගැන මට මනා වැටහීමක් ඇති කරලා තිබුණ නිසා මම දැක්ක ගමන් කෙනා කවුද කියලා හරියටම අනුමාන කලා.

එදා රෑම අපේ උඩතට්ටුවේ පඩිපෙළ ලඟ දොරේ බෝලේ  හය්යෙන් කරකවනවා ඇහුනා. අපි හෙමිහිට ජනෙල් රෙද්ද අයින් කරලා බලන කොට සුදු පාට රෙද්දක් ඔලුවට දා ගත්ත මිනිහෙක් වතුර ටැංකිය ළඟින් මාරු වෙලා යනවා දැක්කා. මොන කළුවරේ වුනත් අපේ අයට ‍ඒ ලොකු අය්යා කියලා අඳුරා ගන්න පුළුවන්. උදේ බලනකොට නිසංසලාගේ සුදුපාට සායක් තමා ඔලුවේ දාගෙන ඉඳලා තියෙන්නේ.

කොහොමත් ලොකු අය්යාගේ ඔරොප්පුවක් තිබුණා අපිත් එක්ක . අපි දිහා රවාගෙන තමා ඕනම වෙලාවක බලාගෙන ඉන්නේ. ඒ වුනත් අවුරුදු කාලේ මොකක් හරි රොබරියක පැටලිලා එයාව පොලිස් ජීප් එකේ දාගෙන ගියාම අපි හැමෝම අපේ ෆෙස්ටිවල් ඇඩ්වාන්ස්වලින් ඇප දෙන්න හිතාගෙන හිටියා කියලා එයා දන්නේ නැතුව ඇති.

වෙසක් පෝය වැටුන සතියේ ලොකු අය්යා සියළුම වැඩ අතෑරලා ගෙදරටම වෙලා ඉන්නවා දැක්කා. ඉනෝකා නම් කීවේ පොලීසියෙන් හතර හන්දි කඩලා නැගිටින්න බැරුව ඇති කියලා. එහෙම වුනත් එයා මහ රෑක බකට් එකක් පත්තු කරගෙන එයාගේ නංගිලා ටික බලන්න ආවා. එදා අපි මොකක් හරි දිග කතාවකට වැටිලා තේත් බිබී අපේ කොන්ෆරන්ස් රූම් එකේ හිටියේ. එක පාරටම රුවිනි ‍ඇස් දෙක ලොකු කරලා ආපහු හීනි කරලා අපිට ජනේල පැත්ත පෙන්නුවා. ඉ‍ටි පන්දමක් ගහපු බකට් එකක් කොරිඩෝව දිගේ අහාට යනවා මෙහාට යනවා. අපිට හෙල්ලෙන්නත් බයයි. චමිලා  අපරාදේ කියන්න බෑ හිමිහිට ගිහින් ට්‍රිප් ස්විච් එක නිවුවා. ලොකු අය්යා කලබල වුනා . අපිට ලා එළියෙන් පේනවා බැල්කනියෙන් එයා එහා පැත්තේ ස්ලැබ් එකට පනින්න හදනවා. කොහොම හරි බකට් එක අපිට දීලා මිනිහා මාරු. පහුවදා අපි උදේ  එයාගේ ගෙදර ළඟින්  යනකොට වෙන කාට හරි කියනවා වගේ අහක බලාගෙන කියනවා

“යන හැටි විතරක්... ඔය කලිසම් ගලවන්න ඕන ඔලුවෙන්......”

ඉතිං එදා අපේ කලිසම් ඇඳපු අය විතරයි බය වුනේ!

ආය දවසක රෑ මම බාත් රූම් එකේ ලයිට් එක දානකොටම ජනේලේ ළඟින් කළු ගුලියක් වගේ එකක් මෑත් වෙනවා දැක්කා. මම හරිම හිමින් කෑ ගැහුවේ . එදා නම් ගෙදර පල්ලෙහා අයටත් දැනෙන විදිහට වැඩ සිද්ධ වුනා. ලොකු අය්යා වතුර බටේ දිගේ බහින්න ගිහින් වැහි පිහිලිත් ගලවාගෙනම දුවලා ති‍බුණේ.

ලොකු අය්යාගේ හවුසින් ස්කීම් එකට ප්‍රසිද්ධ ලේඛකයෙක් නිතර එනවා යනවා. ඒක හොයා ගත්තෙත් මේනකා. එන හේතුව නම් හරියටම දැනගන්න බැරි වුනා. එයා ආව දවසක අපි එහෙන් මෙහෙන් එබිලා අපේ රේඩාර් පද්ධතිය ක්‍රියාත්මක කරන්න බැලුවා. අපි හාංකවිසියක් දැනංහිටියේ නෑ ලොකු ‍අය්යා දොරට මුවා වෙලා අපි දිහා බලං හිටපු බව.

“ඇයි බලන්නේ...  තොරං ද?.. මෙහෙටත් වැදගත් මහත්තුරු එනවා අරිද..........?”

කියලා ඇහුවා. අනේ ඉතිං අපිටත් සන්තෝසයි ලොකු අය්යගේ වැදගත් කම ගැන හිතුවාම.

එක දවසක් ලයින් පේළියේ මහා කලබැගෑනියක්. ‍පොලිස් ජීප් දූවිලි අවුස්සාගෙන එනවා. මිනිස්සු පිරිලා. ලොකු අය්යා අළුත් සරමක් එහෙම ඇඳගෙන බොහොම ගාම්බීර විදිහට ගිහින් ජීප් එකට නැග්ගා. අර අපි ගෙදර ඉඳන් බෝඩිමට එනවා වගේ තමා ගියේ.

ඒ තමා අපි ඒ සහෝදරයා දැක්ක අන්තිම දවස. එයා අවුරුදු දහයකට හිරේ ගිය කියලා දැනගත්තම අපි එයා දාලා ගිය බකට් එකට අළුත් ඉටිපන්දමක් ගහලා ගේ ඇතුලේ පත්තු කළා.

1 comment:

  1. http://worldwithmithu.blogspot.com/ ඇවිල්ලම බලන්නකෝ

    ReplyDelete