Wednesday, May 11, 2016

නැති බැරි මොහොතක


 

මොරටුව කැම්පස් එක තියන හරියෙන් ගෑනු ළමයෙකුට නවතින් තැනක් හොයාගන්න අමාරුයි. අමාරුයි කියන්නේ ගමෙන් ආව ළමයෙකුට තවත් අමාරුයි. අනික් එක අම්මායි තාත්තයි හිතන්නේ ඉස්කෝලේ ගිහින් ඉවර වුන, කැම්පස් එකටත් තේරුණ තමන්ගේ දරුවා කිරි සප්පයෙක් කියලනේ. අනික මුළු ලෝකෙම තියෙන හොඳම තැන වෙන්න එපායෑ තමන්ගේ දරුවා නවත්වන්න.

බදුල්ලේ සීතල කඳු අතරේ ඉඳලා ඇවිත් ඉංජිනේරු ෆැකල්ටි එකට තේරුණ දුවට  නවතින්න තැනක් හොයන්න මුළු දවසක්ම ගියා. හැම ගෙදරකම මොකක් හරි ප්‍රශ්ණයක්. එක්කෝ දුර වැඩියි. නැත්තං එක කාමරේ හතර පස් දෙනෙක්. නැත්තං කොල්ලොයි කෙල්ලොයි දෙගොල්ලම එක තැන. කරුවල වැටෙන කොටත් කිසිම තැනක් හොයා ගන්න බැරුව අම්මයි තාත්තයි , දුවයි තුන්දෙනාම හෙම්බත් වෙලා. රෑ අටට විතර  නෑදෑයෙක් දුන්න පණිවිඩයක් අනුව තට්ටු දෙකේ ගෙදරක් ළඟට ගිහින් තුන්දෙනාම බෙල් එක ගැහුවා. දෙපාරක් බෙල් එක ගහන්න නොතියා වයසක ජෝඩුවක් ඇවිත් ගේට්ටුව ඇරියා. බොහෝම හිතවත් විදිහට ගෙදර ඇතුලට ආරාධනා කළා. අම්මටයි තාත්තටයි මේ ගෙදර නම් දුවට හරි යයි කියලා හිතුණා. ඒත් තමන්ගේ උවමනාව පැහැදිළි කරන්නත් ඉස්සරලා ගෙදර ගෘහ මූලිකයා කතා කළා

“අපි කවුරුත් ගෙදර නවත්වාගන්නේ නෑ. මම ඔයාලට එන්න කීවේ අද ආපහු යන්න බැරිව අතරමං වෙන නිසා. දවස් දෙක තුනක් මෙහේ ඉඳලා දුවට හොඳ තැනක් හොයා ගෙන එයා නවත්වන්න.. අපි බොහෝම නිදහසේ ඉන්න දෙන්නෙක්. අපේ ළමයි තුන් දෙනාම ඉන්නේ පිටරට. අපිත් ඉතිං එයාලා නවත්තන්න තැන් හොයන්න ගිහින් ඔය වගේම අතරමං වුනා. ඒත් දැං නම් හිත හදාගෙන අපි මෙහාට වෙලා ඉන්නවා. අපිට නිවාඩුවට ටිකට් එව්වම ගිහින් ඒ තුන්දෙනාව බලලා එනවා.’’

මොකද්ද මේ දරුවගේ නම’’ ? නෝනා ඇහුවා

“මාධවී……..’’

අපේ ලොකු දුවගේ නමත් මාධවී . මට මේ දරුවා දැක්ක වෙලාවේ මතක් වුනෙත් ලොකු දුවමයි’’. ආපහු නෝනා කීවා.

අම්මයි තාත්තයි දවස් දෙකක් විතර මහන්සි වෙලා මාධවී නවත්වන්න තැනක් හෙවුවා. අන්තිමට තනි කාමරයක් හොයා ගන්න පුළුවන් වුනා. ආපහු බෑග් ටික අහුරාගෙන තුන්දෙනාම සමරසිංහ යුවළගෙන් සමුගන්න ගියේ. ඒත් දෙගොල්ලන්ටම ඒක ටිකක් අපහසු බව දැනුනා.

සමරසිංහ මහත්තයා ඉස්සරලාම කතා කළා.

“අපි දෙන්නා ඊයේ රෑ තිස්සේ කල්පනා කළේ මේ දරුවා නාඳුනන තැනක නවත්තන්නේ කොහොමද කියලා. මට අපේ දරුවෝ තුන්දෙනත් කීවා මේ දරුවා නවත්තා ගන්න කියලා. හැබැයි අපේ නීති රීති තදයි. අනික අපි  පෙන්ෂන්කාරයෝ. ඒ හින්දා මට නවාතැන් ගාස්තුවක් ගන්නත් වෙනවා. ’’

ඒ තීරණය බලාපොරොත්තුවෙන් හිටියා වගේ මාධවීට දැනුනේ. ඒ මොහොතේම තුන්දෙනා ඒ තීරණයට එකඟ වුනා. අර කාමරයට ගෙවන්න හිටපු රුපියල් හයදාහ මෙතන්ට දෙන්න තාත්තා පොරොන්දු වුනා. රුපියල් හයදාහක් මාසෙකට දෙන්න අමාරු ගානක්. ඒත් කොළඹ නවාතැන් හරි ගණන්!

එදා රෑම සමරසිංහ නෝනා මාධවීට නීති රීති ලැයිස්තුව දුන්නා. රෑ වෙන්න බෑ. අම්මටයි තාත්තටයි ඇරුනාම කිසි කෙනෙකුට එයාව බලන්න එන්න බෑ. ගෙදර උයන දේවල් කන්න ඕන. රෑ තිස්සේ ටී.වී. බලන්න බෑ. හරියට විසිපස් වෙනිදා වෙනකොට නවාතැන් ගාස්තුව ගෙවන්න ඕනෑ. පාටි වලට යනවා නම් අම්මගේ තාත්තගේ අවසරය අරං දන්වන්න ඕනෑ. තමන් ඉන්න කාමරය අස් කරලා ලස්සනට තියාගන්න ඕනෑ. මාධවී කොහොමත් නිවිච්ච ගති ගුණ තියන කිසි කෙනෙකුගේ හිත රිදවන්න කැමති නැති කෙනෙක්. ඒ නීති රිති මැද්දේ තමන්ට තියන ආරක්ෂාව එයා තේරුම් ගත්තා. සමරසිංහ යුවළ හිතුවටත් වඩා එයා ඉහලින්ම නීති පිළිපැද්දා. කිසි දවසක ගෙදර උපකරණයක් අහන්නේ නැතුව පාවිච්චි කළේ නෑ . ගෙදර හැමෝටම කලින් නැගිටලා තුන්දෙනාටම තේ හැදුවේ එයා. ගෙදර උදව්වටවත් කෙනෙක් නොහිටියේ වයසක දෙන්නගේ  නිදහසට බාදාවක් කියලා සලකපු නිසා වෙන්න ඇති. කැම්පස් යන්න කලින් මාධවී දෙන්නටම වැඳලයි ගියේ. තමන්ට අමතර යතුරු දීලා තිබුණත් කාමරේට එළියේ දොරින් ඇතුළුවුනා මිසක කවදාකවත් ඒ දෙන්නා නැති වෙලාවට ගෙදර දොරවල් ඇරියේ නෑ. සෙනසුරාදට මුළු ගෙදරම අතුගාලා සුද්ද කළා. ගෙදර උයන පිහින වැඩෙත් නිවාඩු දවසට බාර ගත්තා.

ටික දවසක් යනකොට සමරසිංහ මහත්තයා බලු පැටියෙක් අරං ආවා මාධවී පාඩම් කරනකල් ඇහැරලා ඉන්න කෙනෙක් ඕන කියලා. මාධවී ගෙදර එන්න පරක්කු වෙන දවසට ඌ ගේට්ටුව යටින් බල බලා උඩු බුරලනවා කියලා ගෙදරට එන යාළුවන්ට සමරසිංහ මහත්තයා කියනවා. පෝය දවසට  ජෝඩුව සිල් ගන්න යන්නේ මේ දෙන්නට ගෙවල් බාර දීලා.

මාධවී තේරුම් ගත්ත එක දෙයක් තිබුණා . ඒ මේ යුවළගේ තියන සකසුරුවම් කම. අන්තිම සතේට ගනුදෙනු බේරණවා. ගෙදර තිබුණ බඩු ගොඩාක් පරණ ඒවා. ඒත් හරිම පරෙස්සමින් පාවිච්චි කරලා තිබුණේ. තමන්ට කියලා කිසිම දෙයක් නැතුව ජීවිතේ ගොඩනගාගත්ත විදිය සමරසිංහ මහත්තයා මාධවීට කිසිදවසක අමතක නොවන විදිහට කියලා දීලා තිබුණා. ඒ නෝනයි මහත්තයි දෙන්නම යාළුවෙලා තියෙන්නෙත් කැම්පස් එකේදී. බොහෝම දුක් මහන්සියෙන් රස්සා කරලා ගෙවල් දොරවල් හදාගෙන ළමයින්ට උගන්නපු විදිහ ගැන කියන කොට  විශ්වාස කරන්නත් අමාරුයි. උසස් සමාජ තලයක ජීවත්වෙමින් පරණ අතීතයට ආදරය කරන අය හරිම අඩුයි. ඒත් ඒ දෙන්නා තුල තිබුණ විනය සහ ඉවසීම ජීවිතේ ආව හැම අභියෝගයක්ම ජය අරගෙන තිබුණා. එයාලා තමන්ගේ දරුවෝ හදලා තිබුණෙත් ඒ විදිහට. එයාට මාධවීගෙනුත් අපේක්ෂා කරේ ඒ හැසිරීම. හැම වෙලාවෙම මාධවී ගැන අනුකම්පාවක් එයාලගේ හිතේ තිබුණා. ජීවිතේ පළමු වරට කොළඹ ආපු, නන්නාදුන තැනක නවතින්න යන දරුවා තමන්ගේ ලඟ නවත්වාගන්න තීරණය කළෙත් ඒකයි. හැබැයි ඒ තීරණය ඒ දෙන්නට ලොකු සතුටක් ලබා දුන්නා. කිසි දවසක තමන්ගේ වචනයට පිටු නොපාපු දරුවෙක් විදිහට එයාලා මාධවීව දැක්කේ. ඒ වගේම හරිම නිදහසේ තමන්ගේ රට ඉන්න දරුවෝ ළඟ නිවාඩුව ගත කරලා ආවේ මාධවිගේ අම්මටයි තාත්තාටයි ගේ බලාගන්න බාර දීලා.

කැම්පස් එකේ අවසාන අවුරුද්දේ මාධවීට සති දෙකක පුහුණුවක් ලැබුණා ඇමරිකාවේ සුවිසල් සමාගමක. නමුත් ගමන් ගාස්තු තමන් දරන්න ඕනෑ. ලක්ෂ කිහිපයක වියදමක් සහිත ගමනක් වුනත් ඒකෙන් එයාගේ ඉදිරි රැකියාව තීරණය වෙනවා. අම්මලා ලඟ ඒ තරම් මුදලක් නැති බව ස්ථිරයි.

සමාගමේ නම අහලා සමරසිංහ මහත්තයා ඇස් උඩ තියාගත්තා. දවසකට හරි ඒ සමාගමේ වැඩකරන්න ලැබීම ගෞරවයක්. අනික මේක දීලා තියෙන්නේ ලංකාවෙන් ම තුන්දෙනෙකුට විතරයි.! ඒත් යන වියදම ගැන ප්‍රශ්ණයක් තියනවා.

තමන්ගේ අවස්ථාව වෙන කෙනෙකුට දීලා හිත හදාගන්න මාධවී තීරණය කළා. මුළු රෑම නිදන්නේ නැතුව ගත කළේ. කිසිදාක නොදැනුන ලෝබ කමකින් හිත පෙළුනා. තමන් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් පෙනි පෙනී අහිමි වෙනවා වගේ එයාට දැනුනේ.

පීඨාධිපතිට නිදහසට කරුණු කියලා ලියුම ලියද්දී සමරසිංහ මහත්තයා ආවා. උදේම ගිහින් බැංකුවේ ඉන්න එයාගේ ඥාතියා හම්බවෙලා මොකක් හරි ක්‍රමයක් තියනවා ද බලලාම තීරණයක් ගන්න කීවා. බැංකුවේ නම කියද්දී නම් එයාට මතක් වුනා තමන් අවුරුදු ගානකට කලින් ගිණුමක් ඇරියා කියලා. ඒත් ඒ සමරසිංහ නෝනාගේ බලේට. ගිනුම් පොත තිබුනෙත් නෝනා  ලඟ. අනිත් එක ඉතුරු කරන්න තරම් සල්ලියක් එයාට තිබුණෙත් නෑ.

බැංකුවට ගියත් කරන්නේ මොකක්ද කියලා එයාට හිතා ගන්න බැරි වුනා. සමරසිංහ මහත්තයාගේ ඥාතියා එයාගේ අතට බැංකු පොත දීලා ඕක දිගෑරලා බලන්න කියලා වගේ එයා දිහා බලාගෙන හිටියා. ඒ පොතේ හැම විසි හය වෙනිදාකම රුපියල් හයදාහක් වැටිලා තිබුණා. හැම තිස්වෙනිදාකම තවත් රුපියල් හාරදාහක් වැටිලා තිබුණා. ඒ තමන් නවාතැන් ගාස්තු විදිහට ගෙවපු මුදලයි, සමරසිංහ යුවළගේ ලොකු දුව එයා වෙනුවෙන් හැම මාසෙකම එවපු සල්ලියි.

“ඔයාගේ හැම ප්‍රශ්ණයක්ම මේකෙන් විසඳෙයි..... ඔයා කොච්චර හොඳ කෙනෙක් ද කියලා මාත් දැනගෙන හිටියා’’. බැංකු මහත්තයා කීවා.

“තමන්ගේ හොඳ තමන්ටම පිහිට වෙනවා...... ’’ සමරසිංහ මහත්තයා නිතර කියන කියමන ඒ වෙලාවේ මාධවිට ඇහෙනවා ඇහෙනවා වගේ දැනුනා.

No comments:

Post a Comment