Wednesday, April 20, 2016

අරුන්දතී


 

කාලෙකට පස්සේ තුඹහේ නාට්‍යක් බැලුවා. කොයි වෙලේ හරි මැදින් නැගිටලා ගෙදර එන්න වෙයි කියලා අපි ඉඳගත්තේ අයිනෙම පුටුවල. බොහොම පොඩි පුටු ප්‍රමාණයක් නේ තියෙන්නේ. නාට්‍ය සිංහ බාහු. පොඩි දෙන්නා ඉවර වෙනකල්ම ප්‍රශ්ණ ඇහුවා ඒත් හෙල්ලෙන්නේ නැතුව නාට්‍ය බැලුවා. මම මැද විවේකෙදි ඇහුවා තේරෙනවද කියලත් . ඔක්කොම තේරුනේ නැති වුනත් නාට්‍ය හරිම ලස්සනයි කියලා ඒ දෙන්නා කීවේ. මම සිංහබාහු බලපු හැම සැරේකටම වඩා මේ පාර ලස්සනයි කියලා මටත් හිතුනා. ලබන සැරේ ඊටත් වඩා ලස්සන වෙයි.  සර්ව කාලීනයි කියන්නේ ඒක තමා!

ඒකේ එක තැනක කියනවා කාලය විසින් ගෙන දෙන රුදුරු පීඩා වලට ආදරය කියන අඳුන දිව ඔසුවක් කියලා. මට අරුන්දතී මතක් වුනා.

මට අරුන්දතී ඉස්සරලාම හම්බවුනේ කැම්පස් එකේ පුස්තකාලේ කවුන්ටරයක් ළඟදි. එයා එතන ඉන්න අයගෙන්  පොතක් තියාගන්න දෙන කාලය  දික් කරගන්න විදිය අහනවා. ඒ වුනාට ඒ පොත වෙන ගොඩක් අය ඉල්ලලා තියන නිසා ආයම පාරක් එයාට දෙන්න බෑ කියන එකට වාදයක්. අරුන්දතී වාද කාළේ අපි මේ නිකමට  කතා කරන තරම් හෙමින්. කොච්චර හිමින් කතා කරත් හරිම පැහැදිළි තීව්‍ර කටහඩක්. ඒ අසාමාන්‍ය කම නිසාම මම එයා දිහා බැලුවා. අපි කැම්පස් ඇවිල්ලා මාස 05 විතර ඒ වෙනකොට. අන්තිමට අරුන්දතී පොත අතෑරලා වෙන්න ඇති වෙන පොතක් අරගෙන පුස්තකාලෙන් එලියට ආවා මාත් එක්කම. එයා දැනගෙන ඉන්න ඇති මමයි එයයි එකම බැච් එකේ කියලා.

‘’මට ඒ පොත මෙහෙන් ගන්න ඕන නෑ  අය්යා හිටියා නම්.....’’.

අරුන්දතී එක පාරටම මට කීවා. මම එයා දිහා බැලුවේ ඒක පැහැදිළි කරලා තේරුම් ගන්න පුළුවන් විදිහට මට කියන්න කියලා.

‘’අය්යා මේ දවස්වල පී.එච්.ඩී එකට රට ගිහිල්ලා. එයා ළඟ මේ හැම පොතක්ම තියනවා.’’

අරුන්දතී මාතලේ. ගෙදර ඉඳන් තමා කැම්පස් ආවේ. අය්යා කීවේ එයා යාළු වෙලා හිටපු කෙනාට. එදා මම දැනගත්තේ එච්චරයි.

දෙවනි පාරට හම්බ වුනේ වලේ නාට්‍යක් බලන කොට. එදා එයා මම ළඟින්ම ඉඳ ගත්තා. හරිම තෝරා ගත්ත පිරිසක් ආශ්‍රය කරපු කෙනෙක් නිසා මගේ හිතෙත් අරුන්දතීට කැමැත්තක් තිබුණා.

අරුන්දතී හරිම පැහැපත් පාටක් සහ හරිම ලස්සන මූණක් තිබුණ කෙනෙක්. ටිකක් මහත ගතියක් තිබුණේ උස අඩු නිසා. කැරලි වැටුන කොණ්ඩේ දනිස්සෙන් පහලට තිබුණත් ගොඩක් වෙලාවට හිස් මුදුනේ ගෙඩියක් බැඳගෙන තමා හිටියේ. අර භාව භාව ලීලා, කටාක්ෂ නිරීක්ෂණ, මන්දස්මිත හැම දේම මූනේ තිබුණා. මම අහන්නේ නැතුව එයා ගැන විස්තර කීවා. නාට්‍ය ඉවර වෙනකල්ම පඩි පෙලට වැටුන මල් පොඩිකර කර හිටියට නාට්‍ය බැලුවේ නැති බව පෙනුනා.

මම මේකේ රඟපාලා තියනවා ..........’’ එයා එක පාරටම කීවා. මම කළේ පොඩි චරිතයක්.  ප්‍රධාන නිළිය නැති දවසට ඒකත් මම කළා.

හැබැයි ඒක ඇත්තක් කියලා මට තේරුණා. ඒ චරිතටය සියළුම සුදුසුකම් එයාට තිබුණා.

ඇයි අතෑරියේ ?. මේ වගේ අවස්ථාවක් මම ඇහුවා.

අය්යා කීව නිසා. ඔයා දන්නවාද මගේ අය්යා කියන්නේ අහවලාගේ පුතා....

මගේ ඇස් දෙක උඩ ගියා. රටේ කලාවට සම්බන්ධ ප්‍රධාන චරිතයක පුතෙක්!

නාට්‍ය මැද ඒ ප්‍රේම කතාව කියද්දී අරුන්දතීගේ කටහඩ වේවලනවා. සමහර තැන්වලදි අඩනවා. මට නම් ඒ කතාවේ අඩන්න කිසි දෙයක් නෑ. නාට්‍යකටම සුදුසු කතාවක්. සමහර විට අඩන්නේ තාවකාලික වෙන්වීම නිසා වෙන්න ඇති.

පුදුමේ කියන්නේ ඊට පස්සේ අරුන්දතී මගේ මූණවත් නොබලා හිටියා මාස ගාණක්.අපි හන්තානේ නගින්න ගිය දවසේ අරුන්දතී අපේ බැච් එකේ ළමයි එක්ක බොහොම කටකාර විදිහට කතා කර කර හිනා වෙවි එයා නාට්‍ය කරපු විදිහ විස්තර කරනවා ඇහුනා. අර නාරි ලතා කොහේද ගියේ?

ටිකක් අතිශෝක්තියක් එක්ක කීව නිසා මට නොගැලපෙන ගතියකුත් දැනුනා. හැබැයි කොයිම වෙලාවකවත් තමන්ගේ පෙම්වතා ගැන කීවේ නෑ. අපේ පිරිමි ළමයි එයා ගැන ඒ ගමනින් පස්සේ ගොඩක් උනන්දු වුනා. මම ඒක දැනගත්තේ එයා මාස ගාණක් කැම්පස් ආවේ නෑ කියලා කට්ටිය කතා වෙද්දී.

තමන්ගෙම කියලා නිවාඩුවක් අරගෙන අරුන්දතී ආපහු ආවට පස්සේ මට මුණ ගැහුණා. කාලාන්තරයක් තිස්සේ ආශ්‍රය කරපු යාළුකමක් තියනවා වගේ මාත් එක්ක කතා කළේ. කැම්පස් එන්න කම්මැලි හිතුන නිසා ගෙදරට වෙලා ටික දවසක් හිටියා කීවේ. අපි නම් එක දවසක් ලෙක්චර් එකක් මගෑරුනොත් ඒ ගැන හිතේ අමාරුවක් ඇති කර ගන්නවා.

පළවෙනි අවුරුද්දේ විභාගේ ඉවර වෙලා යනකොට කීවා මම නම් බැන්දොත් ආය කැම්පස් එන්නෑ. අය්යා ඉන්න රටටම යනවා කියලා. මට ඉතිං මැජික්. අපට තව මොන බැඳිල්ලක් ද?

දෙවනි අවුරුද්දේ අපි හොස්ටල් ගන්න  ආව දවසේ අරුන්දතී ඇවිත් හිටියා එයාගේ අය්යත් එක්ක. බඳිනවා කීව කෙනා මේං හොස්ටල් ඉල්ලලා. අරුන්දතී එක්ක ඉස්කෝලේ ඉඳන්ම ආශ්‍රය කරපු , නාට්‍ය කරපු මගේ හොඳම යාළුවෙක් එදා කැම්පස් එකට නිකමට වගේ ඇවිත් හිටියා. මම ඇහුවා අරුන්දතී බඳින්න ඉන්නේ අහවලාගේ පුතා ද කියන එක. මගේ යාළුවා කීවේ

 ‘’එයා නම් නෙවේ මේ. ඒ සම්බන්ධය නැතිවෙලා ගොඩක් කල්. දැං එයා රටෙත් නෑ.මෙයා අන්තිමට හිත හදා ගත්තේ ඒ රූපයට බොහොම සමාන කෙනෙක් හොයාගෙන’’

තුන්වෙනි අවුරුද්ද වගේ වෙනකොට අරුන්දතී උපාධිය පැත්තකින් තියලා  එයාගේ නැතිවුන ප්‍රේමය  හැබෑවක් කර ගන්න හැම උත්සාහයක් ම දරන බව මට පෙනුනා. අර හිටපු ප්‍රේමවන්තයාගේ රටට පී.එච්.ඩී කරන්න එයත් යනවා කීවා. ඒත් උපාධිය ඉස්සරලා අරගන්න එපැයි. ලෙක්චර්ස් යන්නේ නැතුව කැම්පස් එකේ ලස්සනට මල් පිපිච්ච ගස් යට වාඩි වෙලා ඈත බලාගෙන ඉන්න එක නිතර දකින්න පුළුවන් වුන දර්ශනයක් තිබුණා. කැම්පස් එකේ තිබුණ ලස්සනයි, අරුන්දතීගේ ලස්සනයි එකට එකතු වුනාම ඕන කෙනෙකුට ඒ දිහා බලාගෙන ඉන්න හිතෙනවා. කහ මල් පිපුණ දවසක දිග සුදු ගවුමක් ඇඳලා නාට්‍යාංගනාවක් වගේ වැටිච්ච ගල් කනුවක් උඩ ඉඳගෙන සෙනෙට් ගොඩනැගිල්ල දිහා බලං හිටපු අරුන්දතීගේ රූපය  පස්සේ කාලෙක කැම්පස් එකේ තිබුණ චිත්‍ර ප්‍රදර්ශනයකත් සටහන් වෙලා තිබුණා.

ඒ වගේ සුන්දර හිතක් තියන, සුන්දර රූපයක් තියන කෙනෙක්ව ලබා ගන්න අකමැති කවුද? ඒත් අරුන්දතී බලා ගෙන හිටියේ අකාරුණික විදිහට තමන්ව අමතක කරපු ප්‍රේමය එයාව හොයාගෙන එකකල් . එයාගේ ප්‍රේම කතාවේ මම නොදැක්ක හිස්තැනක් ප්‍රේමවන්තයා දකින්න ඇති. මුලදී අරුන්දතී එයාගේ පහන් තරුව කීවට පස්සේ නිකම්ම නිකන් තාරකාවක් වෙලා නිවිලා යන්න ඇති. ඒත් අරුන්දතී කිසි දවසක ප්‍රේමයෙන් පරාජය වුන විදිහට හිටියේ නෑ . එයා හැම වෙලේම ජීවත් වුනේ එයාගේ ලෝකේ.

 අන්තිමට මට අරුන්දතීව හම්බ වුනේ සැප්තැම්බර් මාසේ. අනෝරා වැහි වහින කාලේ. මම හොස්ටල් එකට යන්න කන්දෙන් පඩිපෙල නගිද්දී කුඩයක් වත් නැතුව ගහක් යට තෙමි තෙමී හිටියා. මාව නොදැක්ක වගේ අනික් පැත්ත හැරුණා. මට ආය අරුන්දතී  දකින්න වෙන්නේ නෑ කියලා දන්නවා නම්  මම කොහොම හරි එදා එයත් එක්ක කතා කරනවා.

මේ වෙනකල් මම ආය එයාව දැක්කේ නෑ. අරුන්දතී අසනීප වෙලා කියලා දැන ගන්න ලැබුණා. අපි හැමෝම අන්තිම විභාගයෙන් වෙන් වෙලා කැම්පස් එකේ මතකය  අරන් ආවා. අරුන්දතී ඔයත් ඒ මතකයේ ඉන්නවා. තමන්ගේ ප්‍රේමය ජීවිතය කරගත්ත, සියළුම අරමුණ ඒ වෙනුවෙන් කැප කරපු , තවක් කෙනෙක් වෙනුවෙන් සදාකල් මග  බලාගෙන හිටපු ඔයා මගේ මතකයේ ඉන්නවා.

ප්‍රේමතී ජායතෝ සෝකෝ!

1 comment:

  1. soo sad if it was a true story .same type of story there in sunethra rajakaruna's story in different way . i do not remember the name of the story.any idea wat happened to her 2n love and the 1st boy/? finding gossip still cant stay away that most important thing .
    Like • Reply • April 20 at 9:07pm • Edited

    Remove
    Renu Tennakoon True. She never found him. Heard no news about her. Thanks for responding her true love. I know you are very sensitive. Appreciate you lot dula
    Like • Reply • 1 • April 20 at 10:37pm

    Remove
    Renu Tennakoon Second left her after realizing her never ending love towards the first
    Like • Reply • 1 • April 20 at 10:43pm

    ReplyDelete