Thursday, November 19, 2015

ස්කූල් බස්


 

ඉස්කෝලේ ගිය කාලේ  අමතක වුනා කියමු. ඒත් ස්කූල් බස් මතකය නම් අමතක වෙන එකක් නෑ. මේ දවස්වල ෂෝක් බයිට් එක කියලා කෙල්ලන්ගේ බස් එකකට බැරි වෙලා නැග්ග කොල්ලෙක් පෙන්වන බිස්කට් දැන්වීමකුත් තියෙන්නේ. මේවා ඇත්තටම   කරපු අය අද තමන්ගේ දරුවොත් එක්ක ටී.වී එකේ යන මේ දැන්වීම බලනවා ඇති.

ස්කූල් බස් කීවට ඒක ඒ බස් පාරේ තියන එකම ලංගම බස් එක වෙන්න පුළුවන්. උදේ බස් එක යන වෙලාවට ඉස්කෝලේ අය හැමෝම ඒකට නගින නිසා ඒක නිකම්ම ස්කූල් බස් එක වෙනවා. පයින් යන දුරක ඉස්කෝලේ තිබුණ අයට නම් මේවායේ ගානක් නෑ. ඒ දවස් වල ස්කූල් වෑන් තිබුණෙත් නැති නිසා වෙන විකල්පත් නෑ.

අපි අපේ බස් එකට කීවේ හයයි කාලේ බස් එක කියලා. ඒ අපේ ගෙදර ළඟින් යන්නේ ඒ වෙලාව නිසා. හවසට බස් එක අන්තිමට යනකොට අපි බලා ගන්නවා ඩ්‍රයිවර් කවුද කියලා. එයාම තමා පහුවදා උදේට එන්නෙත්. ඩ්‍රයිවර් අනුවත් වෙලාව වෙනස් වෙනවා. ඒ බස් එක බැරි වුනොත් එන අනික් බස් එක ටවුන් එකට යනකොට ඉස්කෝලේ පටන් ගන්න වෙලාව පැනලා. අනික ඒ බස් එකේ ඔෆිස් යන අය පිරිලා. බැරි වෙලා හරි උදේ බස් එක නැති වුනොත් අපිට දෙවනි බස් එකක් නෑ කියලා හිත හදා ගෙන වෙන ක්‍රමයකට ඉස්කෝලේ යන්න වෙනවා. නැතිවුන බස් එකේ සෙනඟයි ඒ බස් එකේ සෙනඟයි නිසා අපට බස් එක නවත්තන්නේ නෑ.

අපේ බස් එක කිලෝ මීටර දොළහක් විතර ගෙවලා අපේ ගෙවල් ළඟට එනකොට. තවත් කිලෝ මීටර හතරක් තියනවා එතන ඉඳන්. බස් එක උදේ පහයි හතළිස් පහට විතර පටන් ගන්නවා. එතනින්ම නගින අයට කැමති සීට් අල්ලා ගන්න පුළුවන්. අපි නගින තැන වෙනකොට අපිට ඒ සීට් අල්ලාගෙන හිටගෙන යන්න පුළුවන්.

ගොඩක් වෙලාවට අපිට ස්ථිර තැන් තිබුණා බස් එකේ හිටගෙන යන්න. තඩි බෑග් පිටේ පටවාගෙන බස් එකේ සෙනඟ පීරඟෙන යාළුවෝ ඉන්න තැනට එනවා. අනික් අයගේ මූණවල් සමතලා කරගෙන බෑග් ගලවලා ඉඳගෙන ඉන්න අයගේ ඔඩොක්කුවට දෙනවා. ඒ අය වැහෙන තරමටම බෑග් පිරෙනවා ටික දුරක් යනකොට. ෆුඩ් බෝඩ් වල එල්ලෙන කොල්ලන්ගේ පොත් මිටි ජනෙල් වලින් ඇතුලට අතාරිනවා. ඒ දවස් වල හිතා ගන්න බෑ ඒ අය්යලාගේ පොත් මිටි ඒ අක්කලාගේම ඔඩොක්කුවට වැටෙන්නේ කොහාමද කියලා.  ඉඳගෙන ඉන්න ඒ අක්කගේ හිත වේදනාවෙන් පිරිලා යනවා තනි කකුලෙන් ෆුඩ් බෝඩ් යන අය්යා දැක්කම. පස්සේ දැන ගත්තා ඒකට තමා කියන්නේ කැපවීම කියලා.

අපේ බස් එකේ ප්‍රබලම චරිතය තමා කොන්දොස්තර. ළමයි නැග්ග වෙලේ ඉඳලාම එයා කෑ ගහනවා. බස් එකේ සීට් ටික පිරෙනවා පළවෙනි කිලෝ මීටර දෙක එනකොටම. එතන ඉඳන් ළමයි නැග්ගාම “"පුතාලා ඉස්සරහාට යන්න" කියනවා.

තවත් කිලෝ මීටර දෙකක් විතර ගියාම බස් එක සෑහෙන්න පිරිලා. එතකොට "ළමයි කතාකර  කර ඉන්නේ නැතුව ඉස්සරහාට යන්න" කියලා කට හඩ උස් කරලා කියනවා.

තව කිලෝ මීටර හතරක් යද්දී බස් එක පිරිලා. "මේ ඕයි කන් ඇහෙන්නේ නැද්ද යනවලාකෝ ඉස්සරහට ඔය කණු ඇතෑරලා" කියලා කෑ  ගහනවා.

තවත් කිලෝ මීටර දෙකක් යද්දී කොන්දොස්තර තනි කකුලෙන් හිටාගන ටිකට් ලියනවා. සීසන් චෙක් කරනවා. ෆුඩ් බෝඩ් එකේ ඉඳලා සෙනඟ පිරිලා හුස්ම ගන්නවත් බෑ. තවත් ළමයි නගිනවා. " යකෝ කන්  ඇහෙන්නේ නැද්ද? පලයව් කෝ ඉස්සරහට. මේ ළමයිට නගින්න ඉඩ දීලා .... කල්පනා කරපල්ලකෝ තමුන්ගේ යාළුවෝ නේද කියලා.. " මෙහෙම කෑ ගහලා කොහොම හරි ළමයි ටික දාගන්නවා.

තවත් කිලෝ මීටරයක් විතර යන්න තියනවා. එතනදි එයා බැහැලා ඒ ඉඩත් ළමයින්ට දීලා පිම්බිලා තියන බස් එකට ටිකට් පොතෙන් තඩි බාලා මැද ඉන්න ළමයි කිටි කිටියේ ළං කරවනවා. "යකුනේ දැං මං එන්නේ පයින්ද? "කියලා බිම  ඉඳලා කෑ ගහනවා. එතකොට ඩ්‍රයිවර් කියනවා "කොන්දොස්තර නැතුව මට බස් එක අදින්න බෑ" කියලා. එතකොට ළමයි සීට් අස්සටත් රිංගලා ඉඩ අරන් දෙනවා. කොන්දොස්තර බස් එකේ එල්ලිලා "හරී යං" කියනවා. ඒ බෙල් එක ගහන්න තියා බෙල් එක තියන තැනවත් හොයා ගන්න බැරි නිසා.

කොහොමත් ස්කූල් බස් එකේ කණ්ඩායම් කීපයක් හිටියා. සමහර අයට සෙට් වෙන්න කණ්ඩායමක් නැති වුනාම හොඳටම නැගලා යන කණ්ඩායමක කෙල්ලන්ට කෝචොක් කර කර වෙලාව ගෙවා ගන්නවා. තමන්ගේ ඉස්කෝලෙට මොකක් හරි කිව්වොත් ඒක ඉතිං සදාකල් පවතින තරහක්.

"මේ ඉස්කෝලෙට මොනවත් කියන්න එපා හරිද ? "

කියලා තමයි වලිය පටං ගන්නේ එදා බස් එකෙන් බැහැලා යනකොටත් ඒ කොල්ලන්න රව රවා තමා යන්නේ. ඒත් ඒ ළමයි පහුවදා බෑග් එක දුන්නොත් රවාගෙන හරි ගන්නවා. තනි කකුලෙන් බස් එකේ යන අමාරුව හැමෝම දන්නවා . අනික් එක ළමයෙකුට යන ඉඩකට වඩා ඉඩක් බෑග් එකකට යන නිසා ඒක කාට හරි දෙන්නම වෙනවා. සමහර ළමයි හිටියා සුදු ගවුම පොඩි වෙයි කියලා වැඩිය බෑග් ගන්නේ නැති අය. එතකොට නසරානි කොල්ලෝ කරන්නේ අනික් අයගේ බෑග් බලෙන් අරගෙන එහෙම කෙල්ලන්ට පටවන එක. අය්යලා නිසා බෑ කියන්නත් බෑ. සුදු ගවුම පොඩි වෙන නිසා අරගන්නත් බෑ. සමහර   වෙලාවට බෑග් එකේ පිටිපස්සේ පටි දෙක බකල් එකෙන් ගලවලා හිමිහිට ආපහු දෙනවා. නොබලා කරේ දාගත්තොත් බෑග් එක  බිම. කෙල්ලන්ගේ රිබන් එකට බඳන එක, ගවුම් එකට තියලා කටු ගහන එක මම හිතන්නේ හැමෝටම පොදු අත්දැකීමක්.

ඒ දවස් වල අපි දැම්මේ කැන්වස් සපත්තු . ඒ වගේ කීප දෙනෙකුගේ අඩි පාරවල් තියනවා බහින කොට. සපත්තු දෙක පෑගෙන එක ගැන නම් පොඩි අකමැත්තක් තියනවා. මොකද සතිය මැද ඒක හෝදන එක කීයටවත් කරන්න බැරි නිසා. ටවුන් එකට එනකොට සෙනඟ ටිකක් තුනී වෙලා අතරමග තියන ඉස්කෝල වල ළමයි බැහැලා නිසා. අපිත් බිමට බැහැලා සපත්තු පොළවේ ගහලා , අතපය දිගෑරලා ඇඟේ හැඩේ හදාගෙන කොන්ද දෙකට කැඩෙන බෑග් එක දාගෙන ඉස්කෝලෙට දුවනවා.

දැං නම් අපේ දරුවෝ ඉස්කෝලේ එක්කගෙන යන විදිහ කල්පනා කරන කොට අපි මොන දුකක් විඳලා තියනවද කියලා හිතෙනවා. ඒත් ඒ කාලේ ඒක මොනතරම් සතුටක්ද? ස්කූල් බස් එක නැතිවුන දාට තියන පාළුව කොච්චරක්ද?

1 comment: