Thursday, January 14, 2016

තොවිල්


 

යක්කුන්ට බය වුනත්, ලෙඩ දුකක් වුනත් , ඉවරයක් නැති කරදර ආවත් ගමේ තොවිලයක් කරන කාලයක් තිබුණා. දැං නම් ඒවා බලන්න කිඹුලාවල හන්දියේ තියන කමතට එන්න වෙනවා. ඒවා ඉතිං කාට හරි  නැරඹීමේ අවශ්‍යතාව සපුරා ලීම සඳහා කරන ඒවා මිසක ඇත්තම ඒවා නෙවේනේ. ඒක හින්දා ඒක අනුකරණයක්.

ගමේ තොවිලයක් කියන්නේ උත්සව අවස්ථාවක් හා සමානයි. ඒවට විශේෂඥ දැනුමක් තියන තියන අය මුල ඉඳලාම සහභාගි වෙනවා. ගමේ ගුරුන්නාන්සේට බැරි නම් අල්ලපු ගමේ ගුරන්නාන්සේට හරි ඒක බාර ගන්න වෙනවා.ඒත් බෑ කියන්නේ අමාරුම කාරණයක්. එතකොට මාතර  ගුරුනාන්සේ බය නැත්තං ඌ යකෙක් වෙන්න බෑ.  මාතර ගුරුන්නාන්සේ එනවා කියන්නේ එදාට අල්ලපු ගම් වලිනුත් එනවා කියන එක. ඒත් එක්ක වැඩ ටික කර ගන්න ගෝලයෝ ටිකත් එනවා.තොවිලේ තියන දවසේ උදේම තමා වැඩ පටන් ගන්නේ.

තොවිල්  ජාති කීපයක් තියනවා. එකක් කරනවා හූනියම් කපන්න. ඒවට තමා පුහුල් , එක නැට්ටේ දෙහි , කොඩොල් අල , අහු එහෙම ගන්නේ. හවස හයට විතර පොල් අත්තක් නවලා හදපු පහන් පැල පත්තු කරලා පේ වෙලා ඉන්න ගුරුන්නාන්සේ මැතිරිල්ල පටන් ගන්නවා. කට්ටිය ටික ටික එක් රැස් වෙනවා ගෙදරට. දුම්මල අල්ලන ගෝලයාටත් ටික ටික ආඩම්බර හිතෙනවා කට්ටිය වැඩි වෙනකොට. පැය දෙකක් විතර මතුරලා තුන් සරණ ගිහිල්ලා මූලික වතාවත් කරලා ගුරුන්නාන්සේ පොඩි විවේකයක් ගන්නවා. මේ වෙලාවේ ගෙදර ආව අයට කඩි මුඩියේ කන්න දීලා එකලාසයක් කර ගන්නවා.

ආපහු දෙවනි වටේ පටන් ගන්නවා. එතකොට ගුරුන්නාන්සේ පා සළඹක් එහෙම දාලා සම්පූර්ණ කට්ටඩි ඇඳුම අඳිනවා. සාලේ මැද තට්ටුවක් තියනවා. මාළු පිණි හතක් එක්ක කහ කිරිබතක් ලුණු නොදා උයලා පිඟනක් තියනවා මැද. වතුර එකකුත් තියනවා. මල් ජාති හතක් පාන් පැලට තියනවා. වටේට පහන් ප්‍රමාණයක් පත්තු වෙනවා. මැටි වලින් , කොඩොල් අල වලින් , කිරි බත් වලින් රූප හදලා  තට්ටුවේ තියනවා. ගුරුන්නාන්සේ විතරක් දන්න භාෂාවකින් මතුර මතුරා සැරෙන්  සැරේ හූනියම කෙරිලා තියන අයට ආශීර්වාද කරනවා. පැය තුනක් විතර මෙහෙම එක දිගට සළඹ අතර අරං සද්දෙට මතුරනවා. රෑ මැදක් වෙන කොට ගුරුන්නාන්සේ ආවේස වෙලා වගේ ගෝලයොත් එක්ක ගෙදර වත්තේ කොහේ හරි තැනකට පැනලා බිම හාරලා මොකක් හරි අමුතු දෙයක් හොයලා ගන්නවා. ඒක තමා හූනියම. ඒක අරන් ඇවිත් තියන දස වද ඔක්කොම දීලා  මල් බුලත් තට්ටුවේ තියලා පාන්දර මිනිස්සු ඇහැරෙන්න කලින් ගෙනිහිල්ලා තුන් මං හන්දියක තියනවා. සමහර අය නම් වතුරේ පා කරලාත් යවනවා. ආපහු ගෙදර ඇවිත් ගෙදර අයට ශාන්ති කරලා දෙහි කපලා ඇස් වහ කට වහ දෝෂ අයින් කරලා ගුරුන්නාන්සේ තමන්ගේ යුතුකම ඉෂ්ඨ කරනවා.

අනිත් තොවිල් ජාතිය ශාන්ති කර්මයක් විදිහට කරන එකක්. ගමේ අස්වනු අරන් ඉවර වුනාම විවේක කාලයක් එනවා ගොවියන්ට වුනත් මේ අපට නැතුවාට. එතකොට  වෙල්යාය පිට්ටනියක් වගේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. මේවායේ ගරා යක්කු නටනවා. ගොරක් ගස් දෙකක් හරි ඒ වගේ  ශක්තිමත් ගස් දෙකක් තෝරා ගෙන  දිග ලීයක් බඳිනවා. ඒක උඩ තමා ගරා යකා නටන්නේ. ලස්සනට සද්දෙට කුඹුරු යායේ එහා කොටන ඇහෙන්න ශාන්ති කර්ම කවි කියනවා. රෑ පටන් ගත්තා ම උදේ තමා ඉවර කරන්නේ. ඒ කාලෙට කන බොන දේවලුත් හිඟ නැති නිසා ගමේ අයම කැවිලි පෙවිලි හදාගෙන එනවා. ශාන්ති කර්මේ ඉවර කරන්නේ ගොරොක් ගහේ අත්තක් කඩා ගෙන පාන්දර යාමේ නටන යකා බිමට පැන්නාම.

වාහල නැටුම නටන තවත් තොවිල් ජාතියක් තියනවා. ඒකෙදි ගුරුන්නාන්සේ ආවේශ වෙනවා. ඒ ආවේශ වෙන්නේ එක්කෝ මල ගිය ප්‍රාණ කාරයෙක් එහෙමත් නැත්තං යකෙක්. යකෙක් ආවේශ වුනොත් නම් ගුරුන්නාන්සේ යකා තමා. ඒ තොවිල් වල දී කුරාලයක් මිදුලේ හයි කරනවා. කුරාලේ කියන්නේ ලොකු පුවක් ගහකට හරි උස කණුවකට හරි. ඒක මිදුලේ ලොකු වලක් හාරලා අඩි දෙකක් විතර යට කරලා නොහෙලවෙන්න හයි කරනවා. යකා ආවේශ වෙන ගුරා රෑ මැදියමට එක හුස්මට කුරාලේ නැගලා මතුරලා දුම්මලා ගහලා යකා පරාජය කරනවා.

තොවිල් ජාතියක් තියනවා ඒකේ අවසාන අංගේ තමා දරහැවේ යන එක. මේ තොවිලේ කරන්නේ අසාධ්‍ය ලෙඩ්ඩු සනීප කරන්න. මාරයා පරාජය කරන්න වෙනත් විදිහට කිව්වොත්. අසනීපකාරයාට වරුවක් තිස්සේ දුම්මල ගහලා තෙල් ගාලා දෙහි කපලා සෙත් කවි කියලා ආශීර්වාද කරනවා. රෑ දෙකට තුනට විතර ගුරුන්නාන්සෙ සුදු රෙද්දක් ඔලුවේ ඉඳලා ඔතාගෙන හුස්ම ඇදලා ඇදලා මැරෙනවා. එහෙම කරන්නේ මාරයා රවට්ටන්න. දැං මාරයා හිතන්නේ ලෙඩා මැරිලා. ඒ නිසා වින කරලා වැඩක් නෑ .මම වෙන කෙනෙක් ළඟට යනවා කියලා. දැං ගුරුන්නාන්සේ මැරිලා. සොහානට ගෙනියන්න යන්නේ. දර වලින් හදපු යහනක ඒ කියන්නේ දර හැවේ දාගෙන උස්සගෙන යනවා. මේ වෙලාවට තොවිලේ බලන්න නිදාගෙන හිටපු අයත් ඇහැරලා එනවා. මළ ගෙදරක වගේම අඞ අඞා දර හැව පිටිපස්සේ යනවා. දුම්මල ගහ ගහ සොහොනට ගෙනිගිල්ලා දාලා කට්ටිය එනවා. ගුරුන්නාන්සේ තට්ට තනියම සොහොනේ ඉඳලා මතුරලා මාර පරාජය කරලා ඇවිත් ආතුරයාට නූලක් දාලා සුටුස් ගාලා ගැටයක් දැම්මා ම ලෙඩේ සනීපයි.

මේ කියපු දරහැවේ දැං ගුරුන්නාන්සේ කෙනෙක් යනවා. හුස්ම ගන්නේ වත් නැති තරමට සජීවී මළ මිනියක්. ගමේ කොල්ලෝ කුරුට්ටෝත් පස්සෙන්ම සොහොනට යනවනේ. දුම්මල ගහන කොල්ලා වගේම අඩන තැනත් නාහෙට අහන්නැති එව්වන්ගෙන් එකෙක් හිටියා. ගුරුන්නාන්සේගේ මූණටම දුම්මල ගහනවා. නාහෙට යන දුම්මල දුම ගුරන්නාන්සේගේ ඉහ මොළ රත්කරගෙන යනවා. ඒත් ඉතිං මැරිලනේ. දැඟලුවොත් මාරයා රවට්ටන්න බැරි නිසා ගුරා දත් සෙට් එක හපා ගෙන ඉන්නවා. දිගටම දුම්මල ගහනවා විතරක් නෙවේ හීනි ඉරටෙකින් අඩන ගමන් කකුලේ යටි පතුලට අනිනවා. ගුරුන්නාන්සේ සියළුම මුඛයන් තද කරගෙන ඉන්නවා  එහෙම නැත්තං මෙච්චර කරපු තොවිලේ වතුරේ. සොහොන පේන නොපෙනෙ මානෙට ආවම අර කොල්ලා ඉතුරු දුම්මල ටික ඔක්කොම එකට දාලා ගුරුන්නාසේගේ නහයටම සෙන්ටර් කරලා දුම ඇල්ලුවා. ඒ වෙනකොට ගුරුන්නාන්සේගේ ඉවසන තැන ගෙවිලා තිබුණේ.

“තොපේ ................. ..............................“ කියාගෙන ගුරුන්නාන්සේ දර හැවෙන් බිමට පැන්නම අනික් අයට කලින් මාරයා බයවෙලා දිව්වලු.

3 comments:

  1. හරියටම නංගි හරි නංගි, තොවිලේ බැලුවා වගේ ටක්කෙටම ලියල තියෙනවා.අහල දැකල තිබුණු දේවල් ඇහැ ඉදිරියේ මැවෙන්න පටන් ගත්තා.‍ගොඩක් ලස්සනයි. ස්තුතියි !

    ReplyDelete
  2. ඒ උනත් මේක බලලා කීව ඔයා තොවිල් ගැන කීව දේවල් අහලා මට හිතුනා මොන තරම් සතුටක් ඒවා බලලා ලබන්න ඇතිද කියලා. එච්චර තොවිල් බලපු කෙනාත් මේ විදිහට කමෙන්ට් කරපු එකට සතුටුයි.

    ReplyDelete
  3. Indika Arundathie Gamage Wow! Nice Renu!
    Like • Reply • January 21 at 5:53pm


    Renu Tennakoon replied • 1 Reply


    Remove
    Sudarshi Ranawaka Harima Lassanata leyala renu
    Like • Reply • January 22 at 2:54pm


    Renu Tennakoon replied • 1 Reply

    ReplyDelete