Monday, January 25, 2016

කෙස් ගහට


 

අපේ කාලේ කොහොමත් ගෑනු ළමයි , පිරිමි ළමයි කියලා වෙනසක් නෑ කොණ්ඩේ කපන කොට. පැත්තෙන් පීරුවා, කොරල් එක උඩට හිටින්න කැපුවා. ඒ සීමාව ඇතුලේ යම් යම් වෙනස් කම් එක්ක කොණ්ඩේ කපන එක සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඉතිං සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ බාබර්ගේ නම්‍යශීලීකම උඩ. සමහර බාබර්ලා ඉන්නවනේ ලෝකේ වෙනස් වුනත් තමන්ගේ ප්‍රතිපත්ති කෙස් ගහට ක්‍රියාත්මක කරන අය. එක අතකට එයාලා ලඟ සමානාත්මතාව තියනවා. එන්නේ කවුද කොණ්ඩේ කපන්නේ එකම විදිහට. කොන්ඩේ ඉත්තෑකූරු වුනත් එකම කට් එක. කොණ්ඩේ රෝල් වුනත් එකම කට් එක. සමහර බාබර්ලා නම් අම්මලා කියලා එවන විදිහටම කපනවා.

නිවාඩු කාලේ ඉවර වෙන්න සතියක් විතර තියලා අම්මලා මේ අවස්ථාව සූදානම් කරනවා. අපි කොණ්ඩේ කැපුවේ අපේ ගෙදර ළඟ ඉඳලා පයින් යන දුරක තිබුණ බාබර් සාප්පුවේ. ඒවට තමා මම හිතන්නේ දැං සැලෝන් කියලා කියන්නේ. එහෙම බැලුවොත් අපි කොණ්ඩේ කැපුවේ රන්හාමි සැලෝන් වලින්.

සෙනසුරාදා උදේ තමයි අපි සැලෝන් යන්නේ. කොහොමත් අපි ඔක්කොම හත් අට දෙනෙක් ඉන්නවා ඒ වැඩේට. උදේ නමය වෙනකොට රන් බාබර් ඇවිල්ලා. අපි තාර පාර දිගේ ගිහිල්ලා බණ්ඩයියාගේ කඩේ ළඟින් හැරෙනවා. එතන කජු ගහේ ගහපු ලීයක ලියලා තියනවා “කොණ්ඩා කැපීම“  කියලා .අපි සේරම පෝළිමට බාබර් සාප්පුවට හැරෙනවා. මට නිතරඟයෙන්ම පෝළිමේ පළවෙනි ස්ථානය ලැබෙනවා. රන් මාමා ඔලුව එලියට දාලා “හා බබාලා “ කියලා කියනවා. කොච්චර අකමැති වුනත් මෙතෙන්ට ආවම කොණ්ඩේ කපන්නම වෙනවනේ. මම මගේ අවස්ථාව ගන්නවා. බාබර් සාප්පුව පුංචි කාමරයක්. එකේ වහලට වීදුරුවක් දාලා තියෙන්නේ හොඳට එළිය වැටෙන්න. කොහෙමත් රූප ලාවන්‍ය කටයුතු වලදී මනා ආලෝකය වැදගත්නේ. එතන දිගට ගහපු ලෑල්ලක් තියනවා. ඒකට දැං කියන්නේ ඩ්‍රෙසින් ටේබල් කියලා. ඒක උඩ බාබර්ගේ සියලුම අඩුම කුඩුම ටික තියලා තියනවා.තැඹිලි පාට පව්ඩර් ටින් එකක්, පියරු මල, කතුරු සෙට් එක, දැලි පිහිය හැම දැම එකම විදිහයි.  පුටු ජාති දෙකක් තියනවා. සාමාන්‍ය ලී පුටුවකුයි තව ටිකක් උස ඇඳි තියන පුටුවකුයි.

මම ගියාම අර උස පුටුවේ ඇඳි දෙකට ලීයක් දාලා මාව ඉන්දවනවා. ඊට පස්සේ හැමෝටම දාන සුදු පාට රෙද්ද ගසලා ගසලා බෙල්ල වටේ බඳිනවා. කොහොමත් අපි යද්දිම කතා වෙලා යන්නේ ඒක බඳින කොට හොරෙන් බෙල්ලට ඇඟිලි දෙකක් තියා ගමු කියලා.නැත්තං ඒක බැන්දාම හුස්ම ගන්න බැරුව මැරිලා වැටෙනවා. ඇඟිලි දෙක තියාගන්න බැරි වුනොත් බෙල්ල පුම්බගෙන ඉන්නවා රෙද්ද බැඳලා ඉවර වෙනකල්.  පනාව අරගෙන මැදින් රොදක් තියලා කෙස්ටික උඩින් ගිහින් අනික් පැත්තට වැටෙන විදිහට පීරනවා. රන් මාමා  ටිකක් නැමිලා පැත්තකට බර වෙලා රොද හරිද කියලා බලනවා. බරස් බරස් ගාලා කොණ්ඩේ ගැට ටික කඩලා පිළිවෙළක් කරගන්නවා. වතුර විදගෙන යනකොට හරි සනීපයි. ඉස්සරලාම ගන්නේ දැති දැති තියන කතුර. බෙල්ල පල්ලහාට නමලා කෙස් ටික කපන්න ඕන විදිහට තුනී කර ගන්නවා ඒකෙන්. කෙස් තීරු තීරු සුද රෙද්දට වැටෙනවා. ඒවා අහුලන්න හදනකොටම හොල්ලන්න එපා කියනවා. අනික් කතුර අරගෙන ගානට කොණ්ඩේ කපාගෙන යනවා.  කන ළඟ කපන කොට කන පොඩ්ඩක් නමනවා. ඒත් කතුර අගට කනේ කෑල්ලක් අහුවෙනවා. ඒ දැවිල්ල හොඳටම දැනෙන්නේ ගෙදර ගිහින් නානකොට.ඉස්සරහට කොණ්ඩේ දාලා කපන කොට ඉවසන්න බෑ. ඇහැටමයි වැටෙන්නේ. මුළු මූණම කසනවා. කොණ්ඩේ කපලා ඉවරයි කියලා දැන ගන්නේ බෙල්ලේ බැඳලා තියන රෙද්ද ගලවලා ඒකෙන් ගසලා කෙස් කොට ගසන නිසා. දැනෙන සනීපේ කියන්න බෑ. බාබර්ම මාව බිමින් තියනවා.

ඊළඟට එන්නේ අක්කලාගේ වාරේ. එයාලා උස නිසා ලෑල්ල දාන්න වෙන්නෑ. පුටුවේ ඇඹරි ඇඹරි කොණ්ඩේ කපනවා දැක්කම මට හරි සන්තෝසයි. මම ඒ වෙලාවට කරන්නේ ජනෙල් කූරු වලින් එල්ලිලා ඒ දර්ශනය නරඹන ගමන් මගේ නිදහස භුක්ති විඳින එක. අයියලා කොණ්ඩේ කපන ස්වර්ණමය අවස්ථාන ඊළඟට එනවා. ඒ වෙනකොටත් එතන නටලා හොඳට දාඩිය පෙරාගෙන. බාබර් නහය අකුලගෙන තමා එක එක්කනාව ඇතුලට ගන්නේ. සුදු රෙද්ද බෙල්ල වටේ ඔතන්නෙත් හරිම  අකමැත්තෙන්. ඇත්තම කීවොත් ඒ සුදු රෙද්දේ තරම් ජරාව නෑ කොහේවත්. එයාලගේ කොණ්ඩේ කපන්න ට්‍රැක්ටර් එකක් තියනවා. ඒක ටිකි ටිකි ගාලා බෙල්ලේ කොණ්ඩේ කොටකරන හැටි හරිම පුදුමයි. අන්තිමට දැලි පිහිය අරං එල්ලලා තියන රබර් පටියේ දෙපැත්ත ගාලා  බෙල්ලේ කොණ්ඩය සීරුවට බානවා. වැඩේ ඉවර වෙනකන් කට්ටියම මොනවට හරි බැනුම් අහනවාමයි. මොන චණ්ඩියා වුනත් ඒ වෙලාවට සරෙන්ඩර්. කොල්ලන්ගේ කොණ්ඩේ කපලා ඉවර වුනාම අපායෙන් නිදහස් වුනා වගේ හැඟීමක් බාබර්ගේ මූනේ තියනවා. බලනකොට කොල්ලන්ගේ මූනේ තියෙන්නෙත් ඒ ගැඟීමමයි. දැලි පිහියට කැපිච්ච තැන් අතගගා, බාබර්ට කුටු කුටු ගගා බැන බැන එලියට එන අය්යලා අපේ මූණු වල තියන පවුඩර් දැක්කම අසාධාරණට විරුද්ධ වෙලා ආපහු ගිහින් පව්ඩර් ඉල්ලනවා. රන් මාමා ගේ මූඩ් එක හොඳයි නම් රතු වෙලා තියෙන බෙල්ලේ පව්ඩර් ටිකක් අතුල්ලනවා. නැත්තං නොමිලේ ලැබෙන හුළං තමා බෙල්ලේ අතුල්ලා ගන්න වෙන්නේ.

කොණ්ඩා කැපීමේ මහා උත්සවය ඉවර වෙලා අපි එතන තියන බණ්ඩයියාගේ කඩෙන් ශත වර්ෂයක් පරණ  ඉස්කිරිඤ්ඤා අරගෙන කකා එනවා. ඒ වෙලාවට බඩගින්නයි, බෙල්ලේ දැවිල්ලයි, කෙස් කොට නිසා එන කැසිල්ලයි මදිවට බාබර් බැනපු එකේ තරහයි එක්ක අපි එන්නේ හරිම නොරිස්සුමකින්. එහෙම එන අපෙන්

“ ආ..... නෑඹිලිය තියලද කොණ්ඩේ කැපුවේ ? “
                                                                             කියලා අහන එක හරිද?

No comments:

Post a Comment