Wednesday, February 24, 2016

තෙල් ගාලා හිස පීරන් නෑනෝ


 

 

අපේ ගමෙත් නෑනලා ඔක්කොම එකතු වෙනවා ගොයම් කපන්න. අත්තමට කපනවා වගේම කුලියට කපන්නත් කට්ටිය ආවා. අපි හොඳටම ගොයම් කැපිල්ලට සහභාගී වෙන්නේ අගෝස්තු මාසේ ගොයම් කැපිල්ලට . ඉස්කෝලේ නිවාඩු නිසා අපි පූර්ණ කාලීනව වෙලේ. කුරුණෑගලට ගිනි ගහන අව්ව ඒ කාලෙට.

ගොයම් රත්තරන් පාටට සිලි සිලි ගාලා වියළි හුළඟට නැමෙනවා. පැහිලා වැඩි වුනොත් කුඹරේම වී ඇට හැලිලා  යනවා. ඊට කලින් ගොයම් ගෙට ගන්න ඕනෑ. මුළු පළාතේම එකම කාලෙට ගොයම් කැපෙන නිසා දකින දකින තැන ගොයම් කොල ගොඩ ගහලා තියනවා දකින්න පුළුවන්. උදේ හත විතර වෙනකොට ගොයම් කපන කණ්ඩායම වෙලට බහිනවා. අපි කලින් දවසේ දෑකැති හොයලා ගෙදර ගොඩගහලා තියනවා. දෑකැති අරගෙන යන ගමන් වතුර පෝච්චියයිබුලත් වට්ටියයි අරගෙන යනවා. කටපුරාම බුලත් විටක් ඔබාගෙන  දෑකැත්තේ මුවහත පරීක්ෂා කරලා කුඹුරට බහිනවා. ගොයම් කපන්න කලින්  දෑකැත්ත බිමින් තියලා වඳිනවා. කට්ටිය පේළියට ඉඳලා සමාන්තරව ගොයම් කපාගෙන ඉස්සරහට යනවා. එතකොට ගොයම් අතෑරෙන්නේ නෑ වම් අතින් ගොයම් මිටක් තද කරලා අල්ලාගෙන දෑකැත්ත දකුණු අතින් අල්ලගෙන ගොයම් ගහ මුලින්ම කැපිලා එන්න ඇදලා ගන්නවා.  ගොයම් ගහේ බූව දාඩියත් එක්ක ගෑවිලා කසන්න ගන්නවා. ගින්දර වගේ අව්ව යන්තම් හරි තුනී වෙන්නේ නියරේ තියන ගහක හෙවනැල්ලකින් විතරයි. ගොයම් කපන ගොඩේ ඉන්න කව්රු හරි ශරීර හොරෙක් නිතරම ඇවිත් ඒ හෙවනැල්ලේ ඉඳගන්නවා. හෙවනේ හංගලා තියන වතුර පෝච්චියට කටට ඇල කරගෙන  බීලා අනික් අය ආපහු වැඩට බහිනවා.  කාන්තා පාර්ශවය ගොයම් කපන්න යනවා අඩුයි . එයාලා කරන්නේ ගොයම් එකතු කරන එක. එක පාරට එකතු කරන්න බෑ. කපලා දාලා ගොයම් පිඩි වේලුනාම අනික් පැත්ත හරවනවා. එකවටයක් හරවලා ඉවර වෙනකොට කුඹුරෙන් බාගයක් විතර කපලා ඉවරයි.

කුඹුරට තේ ගේන වෙලාව හරි. ලොකු තේ පෝච්චියකුයි, වීදුරුයි, හකුරු කැටයි අරගෙන එක්කෙනෙක් එනවා. අනිත් අය උදේට කන්න පාන්, කිරිබත් වගේ දෙයක් අරගෙන එනවා. තේ තියන පමාවෙන් කට්ටියම අතපය හෝදගෙන ඇවිත් හෙවනක ඉඳගන්නවා. පාන් වලට නම් පරිප්පු හොදි තියෙන්නම ඕනෑ. ලොකු පොල්කටු හැන්දකින් පිඟාන පිරෙන්න හොදි  බෙදනවා. කහට වීදුරුව පැත්තකින් තියාගෙන බීබී තමා සමහර අය කන්නේ. කන්න වැඩි වෙලාවක් ගන්නේ නෑ . අව්ව සැර වෙන්න ඉස්සර ගොයම් කපලා ඉවර කරගන්න එක ගැන තමා වැඩි කල්පනාව.

ආපහු වෙලට බහින්නේ බුලත් හප දෙක තුනක් කටේ හිර කරගෙන. එතන ඉදන් වතුර බොන එකේ ඉවරයක් නෑ. පාන් කාලා එන වතුර තිබහ මදිවට ගින්දර වගේ අව්ව මුලු ඇඟම පුච්චනවා. කොච්චර අපහසු කම් මැද වුනත් කිසි කෙනෙක් තරහින් අකමැත්තෙන් තමන්ගේ වැඩේ කරන්නේ නෑ. කුඹුරේ එහා කොනේ ඉඳලා මෙහා කොනට කෑ ගහ ගහ අවුරුදු ගානක් පරණ සිද්ධි කියලා එක එක්කනා බයිට් කරනවා. කොච්චර තරහා යන කාරණයක් වුනත් ඉවසන්න වෙනවා. නැත්තං ඊළඟ කන්නේ වපුරනකල්ම ඒ විහිලුව දුර දිග යනවා.

කොහොම හරි දවල්ට කන්නේ ගොයම් ටික කපලා ඉවර වෙලා. ගොයම් වේලෙන්න දාලා දවල්ට කන්න ගොඩට එනවා. කයිය අරන් එනවා වෙලටම. වට්ටක්කා උයලා, බල කරවල තෙල් දාලා, අගුණකොළ මැල්ලුම් හදලා, මිරිස් කරල් බැදලා තව පපඩම් බදිනවා. බත් ටිකක් බෙරි වෙන්න වගේ උයන්නේ. ප්ලාස්ටික් පිඟන් වලට කොත ගහලා බෙදලා දුන්නාම තම තමන්ට ඕන තරමට වෑංජන බෙදා ගන්නවා. කෑම බෙදා ගන්න හැටි දැක්කම තව කුඹුරක් වපුරන්න වෙයිද කියලත් ඒ අතරම කෙනෙක් අහනවා. අපි කොච්චර බඩගිනි වුනත් ගොයම් කපන අය කාලා ඉවර වෙනකල් කන්නේ නෑ. අපට කන්න දෙන්නෙත් නෑ. දවල්ට කාලා කට්ටියම පැයක් විතර වැටුන වැටුන තැන් වල නිදා ගන්නවා. අපිත් එතනම ඉඳගෙන කෑම කාලා බාජන එකතු කරගෙන ගෙදර යනවා.

වේලිච්ච ගොයම් මිටි දහයක් විතර එකතු කරලා එක මිටියක් බඳිනවා කොහු ලනුවකින් තද කරලා. කොල අදින්නේ පිරිමි අය. ගෑනු කට්ටිය කොල එකතු කරලා මිටිය බැඳලා ඔලුවට උස්සලා දෙනවා. මිටි අරගෙන ගිහින් කමතට දානවා. කමතේ ඉන්න කෙනා ඒවා ලෙහෙලා පාගන්න පුළුවන් විදිහට රවුමක් වගේ අතුරනවා.

අපිට දෙන එපාම කරපු වැඩේ තමා බැරි වුන කරල් අහුලන එක. මුළු කුඹුරෙම ඇවිදලා කරල් එකතු කරලා කමතට ගිහින් දානවා. හවස හතර වෙනකොට වැඩේ ඉවරයි. වහින්න වගේ එනවා නම් ගොයම් කොලේ වහනවා පිදුරු දාලා. හවස තේ බීලා කට්ටියම විසිරිලා යනවා. කාටු ගෑවිච්ච පිටවල් කහ කහ , කටගැට ආපු අත් අත ගගා හෙට දවසේ කොල පාගන එක කතා වෙනවා ඊට කලින්. දවසක මහන්සිය නෙවේ එක කන්නක මහන්සිය ඒ අය අරන් යනවා.

මේ කියන කතාව ගොයම් කපන එකට සම්බන්ධයි.මම දන්න කියන කෙනෙක් ගැන. එයාගේ තාත්තා කුඹුරට තේ ගේන එක බාර දෙන්නේ මේ කොල්ලාටයි, අක්කාටයි. එදා තිබිලා තියෙන්නේ පරිප්පුයි පානුයි තේ වලට. ලොකු හැලියක පරිප්පු උයලා තාත්තා තව කෙනෙක් එක්ක එකතු වෙලා පරිප්පු  මුට්ටිටය වෙල ළඟින් තියලා තේ බොන අයට කතා කරන්න ගියා. මේ කොල්ලට තමා පරිප්පු එක බාර දීලා තියෙන්නේ පරෙස්සම් කරන්න. කොහොමත් සිහියක් පතක් ඒ වයසට නෑනේ. තාත්තා එනකල් අරහේ මෙහේ දුවලා හදිසියේම පරිප්පු මුට්ටිය මතක් වුනා. ඒ වෙලාවේ කාක්කෙක් මුට්ටියේ ගැට්ටේ වාඩි වෙලා ඔලුව නමලා පරිප්පු හොද්ද බොනවලු. ඔලුව පුරාම පරිප්පු ගැවිලා. යන්තං තාත්තා එන්න ඉස්සර වෙලා කාක්කා එලෙව්වලු. තාත්තා කට්ටියට තේ දීලා මෙයාටත් පාන් කන්න කීවලු. වෙනදා නම් කියන්න ඉස්සරලා අහලා පාන් කන කෙනා “ එපා එපා , අද නම් කීයටවත්  මට පාන් කන්න බෑ“ කියලා මගෑරලා ගියාලු.

1 comment:

  1. Dul Rathnayake i also experienced these things . when i read this i remember hw i did those things .very nice renu.nice language.I read the book you gave me ,the one you wrote .That was very nice .some parts of it are soo interesting .the stories written by ur daughter also very beautiful.even today my ones r reading it and the youngest too enjoying just looking at the pictures drawn by her .pls tell her that we enjoyed a lot and to continue writing. both of u are soo creative
    Like • Reply • 10 hrs

    ReplyDelete