Monday, November 2, 2015

අපිටත් අවුරුදු


 

 
අප්‍රේල් නිවාඩුව හම්බවෙනවා පළවෙනි සතියේ සිකුරාදා වෙනකොට. ඒ තරම් ආසාවෙන් බලාගෙන ඉන්න නිවාඩුවක් නම් තවත් නෑ. හරියටම මාසයකට කිට්ටු වෙන්න නිවාඩුව තියෙනවා. ඉස්කෝලේ වැඩ පටවන්නෙත් නැති නිසා අපි නිදහස්. අවුරුදු පරිසරය එන්නේ මාර්තු අග ඉඳන්. දිග ඉඩෝරේ ඉවර වෙලා රෑට වහිනවා. උදේ නැගිටිනකොට පොළවේ නැවුම් සුවඳයි, එක එක මල් ජාතිවල සුවඳයි කලවම් වෙලා අවුරුදු සුවඳ එනවා. ජනේලය ඇරපුවාම මග රැකගෙන හිටියා වගේ සීතල හුළඟ කඩා වදිනවා. ඒ වුනත් දවල් කාලය නම් හරිම ඌෂ්ණයි. ඒ රස්නෙට තමා අඹ මල් , කජු මල් පීදෙන්නේ.

නිවාඩුව දුන්න ගමන් අම්මා අපේ ගවුම් මහලා ඉවර කරනවා. මල් තියන ගවුම් . කොලර් එකක් දාලා මැදින් බොත්තම් පේළියක් දාලා රැළි සාය, බෝරිච්චි අත් දෙක. පිටිපස්සට බඳන්න පටි දෙකක් තියනවා. ඒක කිටි කිටියේ ගැට ගහලා තමා ඇඟේ හැඩේ ගන්නේ.

අවුරුදු නිවාඩුවේ මුල ඉඳන්ම කරන්න තියන දේවල් අතර ගස් ගානේ ඇවිද ඇවිද ගෙඩි කඩාගෙන කන එක ඉදිරියෙන්ම තියනවා. පළතුරු වැඩියෙන්ම හැදෙන්නේ මේ කාලේ. අපිටයි සත්තුන්ටයි දෙගොල්ලොම කාලා ගස් යට වැටෙන්න තරම් පළතුරු හැදෙනවා. අවුරුදු ගේන කොහා වගේම එරබදු මල් අද නම් දකින්න ලැබෙන්නේ කලාතුරකින්.

අවුරුදු ළං වුනාම ගෙවල් දොරවල් සුද්ද කරන එක අනිවාර්යයි. ගොඩක් වෙලාවට අළුතින් තීන්ත ගානවා. ඊට කලින් පොල් අත්තක් හරි කැප්පිටියා කොල හරි බැඳපු ලීයක් අරගෙන මකුළු දැල් සුද්ද කරලා වහලයත් සුද්ද කරනවා. දැං වගේ වැහි පිහිළි දාපු ගෙවල් වැඩිය තිබුනේ නෑ. වැහි පිහිළි තියනවා නම් ඒ වැඩ  ටික ඉවර කරගන්න දවසක් විතර ගත වෙනවා. තීන්ත ගෑවාම මුළු ගෙදරම අලුත් වෙනවා. ඒ දවස් වලට බාස්ලා අල්ලන්න හරිම අමාරුයි. ගෙවල් ඇතුලත් ඒ වගේම අළුත් වෙනවා. පුටු කවර හෝදලා, මැක්‍රම් වලට අළුත් මල් දාලා දොර ජනෙල් රෙදි වෙනස් කරලා අවුරුද්දට ලෑස්ති වෙන්නේ. අවුරුද්දට දවස් හතරක් පහක් තියලා කැවුම් උයනවා. මුං කැවුම් , අතිරස , කොකිස් හැම ගෙදරකම හදනවා. ආස්මී හදන්නේ ඒකට විශේෂයෙන් හැකියාවක් තියන අය විතරයි. එක එක ගෙවල් තියනවා එක එක කෑමට විශේෂ වුන. අපි ඒ ගෙවල් වලට යන්නේ ඒ කෑම ජාතිය කන්න බලාගෙනමයි. කැවුම් හදන දවසට අහල පහල කීප දෙනෙක් එකතු වෙනවා. කැවුම් උයන කුස්සිය පළාතේ පොඩි ළමයින්ට එන්න දෙන්නෑ. අපිව ගන්නේ අත් උදව් දෙන්න විතරයි. පුංචි කෑලි වලට හනසු ඉරලා දෙන්න, පොඩි දර කෝටු ගෙනත් දෙන්න, කැවුම් අතුරන වට්ටි හෝදලා පිහලා දෙන්න, පොල් ගාලා දෙන්න, කෙසෙල් කොළ කපලා දෙන්න නම් අපිට කතා කරනවා. කොහොමත් අඟහරුවාදා දවස් වලට කැවුම් උයන්න ගන්නේ නෑ තෙල් පිච්චෙනවා වැඩි නිසා. එකම දවස් වලට ගමේ කීප තැනකම කැවුම් උයන නිසා හැම තැනින්ම තෙල් සුවඳ එනවා. ගොඩක් වෙලාවට එකම දවසේ තමා මුං කැවුනුයි කොකිසුයි හදන්නේ. කොකිස් හදන්න හොඳම අච්චු තියෙන්නේ ගමටම දෙක තුනක් විතරයි. ඒ හින්දා හිතූ හිතූ විදිහට කොකිස් හදන්නත් බෑ .වට්ටි ගානක් කැවුම් කොකිස් හැදුවට එකක්වත් කන්න ලැබෙන්නේ නෑ. අඩුම ගානේ දාලා කරවෙලා ගිය එකක්වත්. මුට්ටිවලට දාලා පත්තර පිටු තුන හතරික් වහලා සැනෙල් ලනු පොටවල් කීපයකින් කට තද කරනවා. අපිත් කට තදකරගෙන ඒක බලාගෙන ඉන්නවා. අතිරස හදනවා පහුවදාට. එතකොට ලොකු වැඩ ඉවරයි. අවුරුදු කිට්ටු කරලා දොදොල් , අළුවා , වැලි තලප වගේ දේවල් හදා ගන්නවා.

දොදොල් හදන්න ගන්නේ හවස් වරුවේ. අඩුම ගානේ පොල් ගෙඩි දොලහක් වත් අපි ගානවා. පැය හතරක් විතර හැඳි ගාලා ට්‍රේ වලට දාලා නිමෙන්න අරිනවා. එදාට තියන ලොකුම වැඩේ තමා සිමෙන්තිය මදින එක. දොදොල් වලට ගාපු පොල් වල ඉතුරු වෙන පොල් කුඩු මේකට කියාපු දේ. ගෙදර පුටු අස් කරලා අතු ගාලා කොනක ඉඳන් පොල් කුඩු දාලා කකුලෙන් අතුල්ලනවා. දාර නම් අතින් අතුල්ලන්න වෙනවා. පොල් කුඩු කලු පාට වෙනකොට ගේ සිමෙන්තිය රතු පාටින් දිලිසෙනවා. තෙල් ගතියත් එක්ක පොලිෂ් කරාට වැඩිය ලස්සනයි. ඒ වැඩ ටික ඉවර වෙනකොට මහ රෑ වෙනවා. ඒ වෙනකොට අපි කතා කරන දේ අපිට ඇහෙන්නේ නැති වෙන තරමට වැස්ස. අකුණු ගහනවා. ගොරවනවා. ඇඳට වැටෙනවා විතරයි දන්නේ. පහුවදා නැගිටින කොට අත පය තලලා දාලා වගේ. ඒත් පහුවදාටත් කරන්න වැඩ තියනවා.

අළුත් මේස රෙදි දාලා පිඟන් කෝප්ප කබඩ් ඇතුලෙන් අරන් හෝදනවා. ඒවා වතුර බේරෙන්න පත්තර පිටු උඩින් නමනවා. කුස්සියේ අච්චාරු දාන එකට ලූණු පොතු අරින්නත් අහු වෙනවා. කඳුලු පෙරිලාම වෙලාවට ඇස් නොපෙනී යනවා. ඒ  වෙලාවට අම්මා අපිව යවනවා අමු ගස් ලබු කඩා ගෙන එන්න. ලීයක් අරගෙන උඩ පැන පැන ගස් ලබු වලට අනින කොට හිතෙනවා ගෙදර බංකුවට වෙලා ලූණු පොතු අරින එක මීට වඩා හොඳයි කියලා.

අවුරුද්ද හෙටයි කියලා ලොකු කිරි කජු ගෝනියක් කඩවා ගන්නවා වත්තේ වැඩ කරන කාට හරි කියලා . මට පෙන්නන්නම බැරි වැඩේ ඒක තමා. කපන කිරි කජු ගලවන්න දෙන්නේ අපිට. බිම බලා ගෙන වරුවක් තිස්සේ ඉරට දෙකින් කජු මද ගලව ගලවා වතුර බාජනේට දානවා. ඉඳලා හිටලා හරි එකක් කෑවොත් ලෝක විනාසේ වුනා වගේ දකින කෙනා කෑ ගහන්නේ. තව ජාති හයක් ඒකට එකතු කරලා හත් මාළුව හදනවා අවුරුදු දවසේ දවල්ට කන්න. හවසට දහඅට මාසේ ගහෙන් පොළොස් ගෙඩි පහක් විතර ගෙනත් පොළොස් ඇඹුලක් හදලා එළියේ ලිපේ තැම්බෙන්න අරිනවා. ඒකට දාන්නේ බුරුත දර. ඒකට පොල් ගෙඩි දහයක් විතර ගානවා. ඒ පොල් කුඩු වලින් කුස්සියේ බිම සුද්ද කරනවා. ආය මේ කුස්සියේ උයන්නේ අලුත් අවුරුද්දට. ඒ වෙනකොට අළුත් ලිපක් තියනවා මැටි ගාලා හදපු. ඒ නැකතට කිරි උතුර වන්න. කොහොමත් කලින් දවසේ රෑ කෑම එච්චර සැලකිල්ලකින් හදන්නේ නෑ. පහුවදාට හදන දේවල් ඉවර කර ගන්න තමා බලන්නේ. දුම් ගහලා ඉදවපු කෙසෙල් කැන් ගෙදර ගෙනත් පරෙස්සමින් ඇවරි වලට කපලා බිම පැදුරක් දාලා අතුරනවා. ඒ කාමරේට ගියත් බඩ පිරෙනවා වගේ . කැවුම් සුවඳයි කෙසෙල් සුවඳයි කලවම් වෙලා .

තැන් තැන් වලින් රතිඤ්ඤා ඇහුනට කවුරුත් එක දිගට පත්තු කරන්නේ නෑ. අපරාදේ කියන්න බෑ වෙනදා කොහේද කියලා හොයා ගන්න බැරි බල්ලෝ ඒ දවස් වල ගේ ඇතුලටම වෙලා ඉන්නවා. අපි අපේ ළඟම නෑදෑයන්නේ ගෙවල් වල යන්නේ පරණ අවුරුදු දවසේ රෑ. බුලත් දීලා වැඳලා එනවා.

මට මතක තියන කාලේ ඉඳලාම නොනගතේ ආවේ උදේ වරුවේ. එහෙමයි කියලා අපි නොකා නම් ඉඳලා නෑ. හැබැයි උයන්නේ නෑ. රෑට වැඩියෙන් උයපුවා කාලා නැකැත් වෙලාව එනකල් ඇති තරම් සෙල්ලම් කරනවා. බැනුම් අහන්නේ නැතුව සෙල්ලමක් කරන්න තියන එකම වෙලාව ඒක විතරයි.

අළුත් අවුරුද්ද ලබන වෙලාවට එකම රතිඤ්ඤා සද්දයක්. ඒත් එක්කම වගේ කිරි උතුරවන වෙලාවත් එන නිසා කුස්සියේ කලබලය ආය පටන් ගන්නවා. අප්පච්චි ඔරලෝසුව ළඟ ඉඳගෙන වෙලාව බලාගෙන දැන් ළඟයි දැන් ළඟයි කියනවා. අම්මා දිසාව බලාගෙන ලිප පැත්තට හනස්ස දික්කර ගෙන ඉන්නවා. තව කෙනෙක් ගිනි පෙට්ටියට ගිනි කූර තියාගෙන බලාගෙන ඉන්නවා. අනිත් අය රතිඤ්ඤා වැල ළඟ. වෙලාව හරී කියන කොට ගිනි කූර  ගැහුවත් කලබලේට වදින්නේ නෑ. අඩුම ගානේ ගිනි කූරු පහක් විතර ගහන්න වෙනවා. ඒ වෙනකොට රතිඤ්ඤා පත්තු වෙලත් ඉවරයි. අළුත් අවුරුද්දේ බනින්න බැරි හින්දා අම්මා තරහව පෙන්නනනේ නැතිව ඉන්නවා. කිරි උතුරන වෙලාවට හැමෝම ඒක බලන්න එනවා. බුලත් කොලේකින් උතුරන කිරි ටික ටික අපේ ඔලුවේ ගානවා. අළුත් අවුරුද්ද ඇවිල්ලා.

අවුරුදු මේසෙට ගෙදර තියන හැම කෑමක්ම තියනවා. නැකත එනකල් ඉන්නේ අමාරුවෙන්. පහන පත්තු කරලා නැකතට කිරිබත් කනකොට මොන බඩගින්නක් තිබිලා තියනවාද කියලා දැනෙනවා. බුලත් දීලා අම්මටයි අප්පච්චිටයි වැන්දට අපට නම් ඒ වෙලාවට තෑගි වත් සල්ලි වත් ලැබිලා නෑ. ඒත් සමහර පළාත්වල නම් ඒ වෙලාවට ළමයින්ටත් සල්ලි දෙනවලු. අපරාදේ අපේ පවුලත් ඒ වගේ පළාතක ඉපදෙන්න තිබ්බේ!

අපේ ගමේ ගෙවල් හතලිහක් විතර තිබුණා. ඒ හැම ගෙදරකට කැවුම් පිඟානක් අරගෙන යනවා. ඒ හැම ගෙදරකින්ම කැවුම් කොකිස් කනවා. එක ගෙදරකින් තේ දුන්නොත් අනික් ගෙදරින් කිරි තේ. අනික් ගෙදරින් කෝපි. අනිත් ගෙදරින් ඔරේන්ජ් බාර්ලි. හවස වැස්සේ තෙමි තෙමී , වැටවල් වලින් පැන පැන , හපන්න එන බල්ලන්ගෙන් බේරිලා ගෙදර දුවගෙන එද්දී අර කාපු බීපු ඔක්කොම  එකට එකතු වෙලා හරියට බඩ ඇතුලේ පිස්සු බල්ලෝ වගේ!.

3 comments:

  1. Indika Arundathie Gamage like this.
    Comments

    Remove
    Indika Arundathie Gamage It's really nice Renu!
    Like • Reply • 16 hrs

    Remove
    Renu Tennakoon Thanks Indika. How was the new year in Kandy those days?
    Like • Reply • 55 mins


    Write a reply...



    Remove
    Menuka Jayaratne Well written Renu, the only day we didn't fight was new year day- we used to think if we do something bad/naughty on the new year day- it will continue till next year tongue emoticon ....And other best thing is 'parana awuruddata snanaya' smile emoticon we wash ourselves like we haven't had a wash for a single day in last year.....grin emoticon
    Like • Reply • 4 hrs

    Remove
    Renu Tennakoon Thanks for reminding me some parts I have missed. As we both lived in Kugala, Experience may be similar. Hw is the Avurudu in Aus?
    Like • Reply • 54 mins

    ReplyDelete
  2. this the best one for me create pictures in my mind when reading

    Dulani

    ReplyDelete
  3. How was the avurudu in Badulla?

    ReplyDelete